Saturday, September 20, 2014

සකායි

ඈත ඔරලෝසු කණුවේ අළුයම දෙකේ කණිසම වදිනවා ඇහුණේ හීනෙන් වගේ..මංවත් නොදැන ගලාගිය කඳුළක තෙත මුහුණ මත...මාව මේ තරම් ප්‍රබල කම්පනයකට පත්කරවන්න සමත්වුණ "සකායි" සීතල අඟිලිතුඩුවලට හිරවෙලා හිටියා..මං කියවමින් උන්නේ අවසාන පිටු කීපය...වෙලාව කොතරම් ඉක්මණින් ගතවෙනවාද කියලවත් නිච්චියක් නොවෙන තරමට මං ජොසුයි සකායිගේ පුදුමාකර ප්‍රේමය තුළ හිරවෙලා හිටියේ...

මං තේරුම් ගන්න උත්සහ ගත්තා, අහඹුවක් වගේ ලැබුණ එක බැල්මක් දිගේ ගමන් ගත්ත ජොසුයි සකායිට ඇලන් කෙනඩිගෙන් ලැබුණේ ඇත්තටම ප්‍රේමයක්ද නැත්නම් ඇගේ සුකොමළකමට, ඇගෙන් පළවුණ පෙරදිග ලාලිත්‍යවත් ගැහැණුකමට ඇතිවුණ නොනිම් ආසාවක්ද කියලා..තමන් දැඩිව ආදරය කළ සාම්ප්‍රදායික ජපන් දෙමව්පියනුත්, තමාට දැඩිව ලෙංගතුවුණ යහපත් තරුණයෙකුත් හැර දමා ඇය ගිය ගමන නැවතුණේ කොතැනද?..

මේ 'ප්‍රේමය' කියන සංවේදනය නැතිනම් හැඟීම මහ පුදුමාකාර දෙයක්...මිනිස් ප්‍රාණියෙක් කොතරම් ශක්තිමත්වුණත් බලගතුවුණත් මේ ප්‍රේමයෙන් බිඳුවක් ඇති ඔහුට දුර්වලවන්නට..ඒත්, ඒ ප්‍රේමයේ සියළුම මුහුණුවර හමුවේ ජොසුයි සකායි හිතාගන්නටත් බැරිතරම් ශක්තිමත්....