Saturday, October 18, 2014

ඒ කාලේ ටෙලි!

සාමාන්‍යයෙන් සෙනසුරාදා තමයි අපේ පැරණි රසාංග දවස..ඒ කිව්වේ අතීතාවර්ජන, පැරණි ඕපාදූප, අලගිය මුලගිය වැලගිය තැන් කතා වෙන දවස..එදාට එක එක මාතෘකා එහෙම මතුවෙනවා..ඒ වගේ අද ඇදිලා ආවේ ඉස්සරකාලේ ගිය ටෙලි නාට්‍ය ගැන...දැන් එව්වා නම් නාට්ටි..ඉස්සර එව්වා නාට්‍ය කියලා හිතෙන්න ගත්තේ ඒවා ගැන හොයලා බලන්න ගත්තුවම...බලමුකෝ මෙව්වා ඔහේලටත් මතකද කියලා...

ඕං ඔය ලින්කුවෙන් බැලුවම මතක් කොරගන්න ඕනෑ අය..මට මතක හැටියට මේක විකාශය වුණේ 90 දශකයේ මුල භාගේ වගේ..ඒ කාලේ බට්ටියෙක් වුණාට මට ඕක හොඳට මතක කතාවක්..කොටින්ම කිව්වොත් මම ඕකේ විස්තර කථනය දුන්නු හැටි අහං හිටි අපේ අම්මා මට හෙණ නෝණ්ඩියකුත් දාපි! "ඒ කාලේ චූටි ලු, ඒ වුණාට ඔව්වා නම් හොඳට මතකයිනේ??මටවත් මතක නෑ!" O_o

ඔය කතාව තියෙන්නේ වලව්වක ජීවත්වෙන අම්මයි දුවල තුන්දෙනායි ගැන..දුවල තුන්දෙනායි සෙට්වෙන්නේ හෙණ සිරා සල්ලිකාර කොල්ලෝ තුන්දෙනෙක්ට...ඔන්න ඒකයි කතාවේ සාරාංශය...ඉතින් ඔහේලට හිතාගතහැකිනේ ඇයි අම්මා මාව නෝණ්ඩි කළේ කියලා..අපි පුංචි දවසේ ඉඳන් ප්‍රේමයට සංවේදී නෙව! ;)

ඒ විතරයැ ඕකේ රඟපානවා නෙව අපේ මාමා...කවුද ඉතින් මහින්ද මාමා...ඕකෙ ඔය වලව්වේ කෙල්ලෝ තුන්දෙනාගේ ඇමති මාමා තමයි එයා..ඇමති මාමා ආව දුරක් ඈ! :D

තව ඔය පටන්ගැන්මේ බලන්ටකෝ දමිත් ෆොන්සේකා, අමිත්ත වීරසිංහ, අජිත් ජිනදාස වගේ අයගේ හැඩ..! එයාලා තමයි ඔය වලව්වේ දූලා තුන්දෙනාට දැල දාන්නේ..:D

ඔය කතාවේ කඩු හරඹ ටිකක් තිබ්බා...මොකද සුපිරි පැළැන්තිය ගැන කතාවක් නෙව..ඒ වුණාට ඔහේලා බලන්ට ඉතින් දැන් කාලේ නාට්ටි, චිත්‍රපටි වගේ එව්වායේ ෆ්ලැට් යන කඩු වගේද මේවායේ කඩු..ඔය රූප පෙට්ටිය ලඟින් අරහෙට මෙහෙට යද්දි ඇහෙන දකින එව්වයේ රජා මරන හැටි දැක්කම අනේ අම්මපා මට වැලලෙන්න හිතෙනවා..මම මේ හිනාවෙනවා නෙවෙයි..ඒවුණාට නොදන්න හරඹ නොකර ඉන්න එපැයි මං අහන්නේ..සමහරු හෙණ පොෂ් කියලා හිතං කෑලි දාන්න ගිහිං නාන නෑම ඉස්තරං! අනික දැන් කට්ටිය හිතන්නේ කඩු හරඹ ටිකක් නොතිබ්බොත් කොලිටිය අවුල් කියලනේ...දැක්කේ නැතෙයි අපේ පොෂ් මද්දුම බණ්ඩාර වීරයා දත් අස්සෙන් හුළං යද්දි වෙව්ල වෙව්ල "එම්බා වධකය, මගේ ගෙල එක කඩු පහරින් කපාපියව්!" කිව්ව හැටි..හැක් හැක!! :D :D


2.කන්දේ ගෙදර

ඇයි හත් ඉලව්වේ කන්දේ ගෙදර!
ඔය කන්දක් මුදුනේ තියෙන පඩිපෙළකින් යන්න ඕන ගෙදර බොහොම කාලයක් මගේ හිතේ හොල්මන් කළා හරියට මම ඒ ගෙදර ඇත්තටම දැකලා තියෙනවා වාගේ..:)

ඕකේ ඔය වීඩියෝව බලන්ටකෝ..හිනා කාල පණ යනවා සමහර එව්වාට...
මම හිතන්නේ ඒ කාලේ මිනිස්සුන්ට සින්තටික් හාස්‍යයක් නැතුව ඒක ඉබේම ඇතිවෙන්න ඉඩ දෙන්න තේරුණා කියලා..දැන් සමහර විහිළුවලට හිනා වෙන්න ඕන හිතලා..අනික ඒ ලෝකේ දශක දෙක තුනකට වෙනස් වෙච්චි හැටි බලමුකෝ ඉතින්..

දැන් ඔය කොටසේ ඉන්න මිනිස්සු දැන් වෙනස් වෙලා තියෙන හැටි දැක්කම පුදුම හිතෙනවා..එයාලටමත් එහෙම පුදුම හිතෙනවා ඇති..ජැකාගේ මඟුලෙන් නේ කතාව පටන් ගන්නේ...ජැකාගේ බුරුසු කොණ්ඩේ දැක්කම හිතෙනවා දැන් ඉන්නේ ඒ ජැකාමද කියලා...අනික මඟුල් පිරිවරේ එන වාහන ටික බලන්ටකෝ...අනේ අවංකවම මම ඒ ආදිකාලේට හරිම පෙරේතයි..දැන් වාගේ සංකීර්ණ නැති ලෝකේ කොච්චර සරලද...

ඒ එක්කම කන්දේ ගෙදර නම් "කාලගුණේ"ව කොහොම අමතක කරන්නද..ඉස්සර මිනිස්සු "කාලගුණේ" කියලා විහිළු කරගන්නවත් මතකයි...ඒ චරිතය රඟපෑව නළුවාට මොනවා වුණාද දන්නේ නෑ...ලංකාවේ මීඩියා ගැන නම් කතා කරලා වැඩක් නෑ..සති අන්ත පත්තර ගත්තොත් හැමදාම ටැබ්ලොයිඩ් කෑල්ලේ ඉන්නේ එකම සෙට් එක..එක නාට්ටියක රඟපෑවොත් මාස 3-4ක් පත්තර අරක් ගත හැකියි!ඒකත් රඟපෑමක් නම් කමක් නෑ කියමුකෝ..නිකං රූකඩ වගේ නළු නිළි නාමේ විතරනේ ඔය හුඟක් උන්ට තියෙන්නේ...පොත්ත ටිකක් සුදු නම් උඩ පනින්න පුළුවන් "එයා දැන් නළුවෙක්/නිළියක්"..පිස්සු හැදෙයි සඳ බබළයි...

ඔය මීඩියා කාරයන්ට පරණ කාලකාරයෙක් ගැන මතක් වෙන්න එක්කෝ ඒ මනුස්සයා මරණාසන්න වෙන්න ඕන නැත්නම් මැරෙන්න ඕන..! එතකල් අර ආතල් කෑලි සූප්පු කර කර ඉන්න එක තමයි කොරන්නේ! :@


3.පළිඟු මැණිකේ

පළිඟු මැණිකේ නම් සූරසේන! සූරසේන නම් පළිඟු මැණිකේ!!



මේ කතාව පස්සෙ කාලේක රූපවාහිනියේ හවස 3ටද 3.30ටද කොහෙදත් පෙන්නුවා...ඒ කාලේ තරු බබා ඉක්කෝලේ ඇරිලා ඇවිත් බත් කන්නේ ඕක බල බලා..ඔන්න ඒ කාලේ හිට්ස්!:) 

ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රඟපෑම තමයි පළිඟු මැණිකේ ජනප්‍රියවෙන්න ලොකුම හේතුව කියලා තරු බබා නිගමනයකට ඇවිත් උන්නා..කාලෙකට පස්සේ ගමට ආවම තමන්ගෙ පරණ කෑල්ල තලත්තෑනි මනුස්සයෙක් බැඳන් ඉන්නවා දකින්න වෙන සීන් කෝන් එකක්නේ ඕකේ තියෙන්නේ...පරණ ලව් එකට පේන්න පොඩි ෂෝ එකක් දැම්මාවුණත් ඒකෙත් නිකං අමුතු ගතියක් තිබ්බාය කියලා ඒ කාලේ පොඩිවුණාත් මට මතකයි ඉතිං..

අනික ශ්‍රියන්ත මෙන්ඩිස් ලකුණ, අර මූණ පුරා වැව්ව රැවුල ඔය හින්දම සූරසේන ලකුණ වුණාය කියලත් හිතෙනවා..අනික් කාරණේ ඔහුගේ හැකියාව...ඒ කාලේ කොලු චරිතේ කළ ශ්‍රියන්තලා, ජැකාලා, කමල්ලා අද මැදිවියේ චරිත රඟපානවා..හැබැයි ඔවුන් එදත් අදත් එක හා සමානවම දක්ෂයි කියලා මට හිතෙනවා...අද ඉන්න නළුවෝ සමහරු දත්මිටි කාගෙන රඟපාන්න ට්‍රයි කරද්දි මේ කට්ටිය ඒ චරිතවල සැහැල්ලුවෙන් ජීවත්වුණා කියලයි මට හිතෙන්නේ...අද ඒ වගේ හැකියාවක් මට පේන්නේ පුබුදු චතුරංගගෙන් විතරයි..."සමනළ සංධ්වනියේ" ඔහුගේ රඟපෑම ඒ වගේ...


4.අසල්වැසියෝ

අම්මයි දුවලා තුන්දෙනයි ඉන්න ගෙදරක ඇනෙක්ස් එකේ කුලියට එන තාත්තයි පුතාලයි ගැන තිබ්බ කතාවක් ඕක..හෙව්වට මට වීඩියෝ එකක් නම් හොයාගන්න බැරිවුණා..ඒවුණාට කතාව නම් ජොලි කියල හොඳට මතකයි..

අවාසනාවකට වගේ මට මතක නෑ එකේ අම්මාගේ තාත්තාගෙයි චරිත රඟපෑවේ කවුද කියලා නම්..ඒත් ගෙදර දුවල තුන්දෙනා ප්‍රියා රණසිංහ, සමන්ති ඈපාසිංහ සහ තමාලි පීරිස් කියලා නම් මතකයි..සහ එක පුතෙක්ට හිටියේ ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ මතකයක් තියෙනවා..මොනාවුණත් ඒක හෙන ජොලි කතාව..රෝලක් ගහං ජීවත්වෙන මධ්‍යම පාංතික මිනිස්සුන්ගේ ජීවිත අස්සේ හැංගිච්ච හිනායන වැඩ ගැන තිබ්බ කතාවක් නිසා ඒක නැගල ගියා කියලා මට හිතෙනවා...ඔය කතාවේ හැටියට ගෙදර අයිතිකාර ඇන්ටි (දුවලගේ අම්මා) ඇනෙක්ස් එකේ වතුර නවත්තනවා කුලිය ගෙවන්න පරක්කුවුණාම..ඒ වුණාට කුලියට ඉන්න පවුලෙ එක පුතෙක් මෙහෙ දුවෙක් ලව්වා තමන්ගේ ඇඳුම් ටික මද්දවගන්නවා සතේට ගණං බලන ඇන්ටිගේ බිලෙන්...:D

ඕක මොන හේතුවක් නිසා ජංජාලේ නැද්ද මංදා..අපරාදේ...


5.හිරුට මුවාවෙන්

ඉඳිආප්ප ගෙදර කතාව!
අන්න ඒ කාලේ ආදර කතාව ඈ! :)

කමල්, ශ්‍රියන්ත සහ චම්පා ශ්‍රියානි රඟපෑව මේ කතාවේ තිබ්බ මොකද්දෝ හිත් ඇදගන්නා ගතියක් එක්ක හොඳ හාස්‍යමය රසයක්..ලංකාවේ 'චකබ්ලාස්' කියලා සෙල්ලමක් ප්‍රසිද්ධ වුණේ මේ කතාව හින්දා...කොටින්ම අපේ ඩැඩාට සිද්ධවුණා මට ආපිකෝ එකෙන් (ඒ කාලේ අළුත් අළුත් සුකුරුත්තං තිබ්බේ එහෙ විතරයි) චකබ්ලාස් එකක් අරන් දෙන්න...ඒ කාලේ අපේ ගෙදර තිබ්බා සීයගේ පරණ කළුපාට (5ශ්‍රී2916) ෆරීනා මොඩ්ල් බෙන්ස් එකක්..ඩඩ්ලි සේනානායක මහත්තය ලඟ තිබ්බ එකක් (ඇන්ටික්).. ඕක ගැන කමල් අද්දරාඅරච්චිට හිතක් පහළවෙලා අපේ ගෙදර ඇවිත් තියෙනවා..තිරයේ හෙන සෙල්ලක්කාරයා වුණාට මට මතකයි හීන්දැරි සුදු උස කොලුවෙක් ඇවිත් දොරකොඩ ඇඹරි ඇඹරි ඉන්නවා..මං කතාවේ පුරුද්දට එයාට කිව්වේ "චකබ්ලාස් අන්කල්" කියලා..ඒවුණාට ගෙදරට ආව මනුස්සයට එහෙම කිව්වේ නෑ..ඒකටත් එක්ක අපේ අම්මා මගේ පටි රෝල් කලා ඒක කියලා..:D :D

සාමාන්‍යයෙන් සිංහල නාට්ටිවල කොල්ලෝ වෙන්න ට්‍රයි කරන අංකල්ලාගේ හැටිය එක්ක බලද්දි මේ කතාවෙ කමල්ගෙයි ශ්‍රියන්තගෙයි ඇක්ටිං ස්වාභාවිකයි..සහ ඒකේ තියෙනවා අර කොල්ලෝ කියන ගතියක්..නිකං පොරක් වෙන්න කරන දැඟලීමක් නෙවෙයි...ඒ ඇරුණම අද වගේ වාහනවලින් සල්ලිවලින් සහ ලොල්ලෙක් සේ රඟපෑමෙන් කෙල්ලෝ ඉම්ප්‍රෙස් කරලත් නෑ...:D

තව රෝහණ බෝගොඩ සහ දමයන්ති ජයසූරිය ගයන ඕකේ තේමා ගීතයත් බොහොම ජනප්‍රිය වුණා..තාමත් සමහරවෙලාවට ඇහෙනවා...


6.යශෝරාවය


සෝමවීර සේනානායක මහත්මයාගේ නවකතාව ඇසුරෙන් නිර්මාණයවුන යශෝරාවය බොහොම සංවේදී කතාවක්..ඒකේ අම්මායි තාත්තායි දරුවෝ නිසා මූණ දෙන දේවල් ගැන දුක හිතෙනවා...හැම අම්මෙක්ගෙම තාත්තෙක්ගෙම පැතිකඩක් වගේ..දරුවන්ගේ වෙනස්වෙන, උඩුයටිකුරු වෙන ලෝකේ දෙමව්පියෝ හැපි හැපි විසිවෙනා හැටි කිව්වා වාගේම වයසට යනතුරුත් දෙදෙනෙක් අතර පවතින බැඳීම පෙන්වපු හොඳ කතාවක්..


8.සුසීමා

"දෑස පියාගත්කල මට පෙනෙන්නේ ඔබේ රුව
ඈත කඳුරෙන් එන නල ගෙනෙන්නේ ඔබේ හඬ
කුමාරියේ...
අමතක නොවේ ලස්සන රුවේ
සිත සැනසුවේ..."


තුන්කොන් ආදර කතාවක් එක්ක සංගීතයයි කුඩු ජාවාරමකුයි එකතුවෙච්ච තව හිට් එකක්..ක්ලැරන්ස්ගේ ලස්සන සිංදු ගොඩක්  කීපයක්ම තිබ්බ මේ කතාව එක්කම ඒ සිංදුත් සෑහෙන්න හිට් වුණා..ජැක්සන් ඇන්තනි ගායනයෙන් ප්‍රසිද්ධ වුණේ ඒකෙනුයි මට මතක හැටියට...ජැක්සන් ඇන්තනි, මැණික් කුරුකුලසූරිය සහ පාලිත සිල්වා ප්‍රධාන චරිත මැව්ව මේ කතාවේ රීමේක් එකක් කියලා චිත්‍රපටියක් පහුකලෙක ආවත් ඔරිජිනල් සුසීමා බැලුව මිනිස්සුන්ට ඒකේ මෙලෝ රහක් නොදැනුන නිසාද කොහෙද වැඩිය දිව්වේ නෑ...

මේක තවත් නැගලා යන්න හේතුවෙන්න ඇත්තේ ඒ කාලේ තරුණ පරම්පරාවට සංගීතයත් එක්ක තිබ්බ බැඳීම වෙන්නත් ඇති..අනික් අතට, ගිටාරයක් වයන ගීයක් ගයන හීනයක් එක්ක හැමදාම තාරුණ්‍යයට ලොකු බැඳීමක් තියෙනවා කියලයි මට හිතෙන්නේ...


9.හිමගිරි අරණ


පුංචිවුණත් ඒ කාලේ මාව කම්පනයට පත්කළ කතාවක්..
තමන්ගේ ලේලියට කෙළවරක් නැති ගැහැට පමුණුවපු අවසානයේ බිරිඳ ජීවත්ව සිටියදීම වෙන ගැහැණියක් ගෙදරට ගේන්නට තම පුතාට ඉඩ දුන්න නැන්දම්මෙක් ඒ ලේලිව කාමරයක හිරකරලා තියාගෙන වස දීලා මරාදානවා...ඒ ලේලිට කෑම පිඟාන ගෙනියන්නේ පුංචි දුව...ඒ දුව අතේම යවන කෑම පිඟානට වස දාලා නින්දිත විදියට මරාදාන අම්මාගේ දුව පසුව ඒ ඇත්ත එළිකරවාගන්නවා...අම්මා සහ දුවගේ තරුණ කාලය රඟ පෑවේ ගීත කාන්ති ජයකොඩි..ඒකේ නම් වීඩියෝවක් හම්බවුණා..
  

10.ගංගා සහ නිශ්ශංක

ගමක පෙම් පුවතක් බව නම් මතකයි..ඒත් හොඳටම මතක නෑ...අතරින් පතර සමහර සිදුවීම් ගැන මතකයක් තියෙනවා...වැඩියෙන්ම මතක ඕකේ තේමා ගීතය...ලක්ෂ්මන් විජේසේකර සහ සමිතා මුදුන්කොටුව ගැයූ තාමත් ජනප්‍රිය ගීතයක්නෙ...

"සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී..
ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ.."


මම හිතන්නේ මේවායෙන් වැඩිහරියක් ටොරානා ලඟ තියෙනවා වෙන්න ඕන..වෙලාවක හොයන්න ඕන ගිහිං...

ඕවා හොඳට මතක වුණාට මට 2001 පස්සෙන් ආපු නාට්ටි ගැන නම් මතකක්වත් දැනුමක්වත් නෑ..මොකද මම හූනියම් පෙට්ටිය බැලීම නැවැත්තුවේ 2001දි..ඊටපස්සේ කාලෙක ඉඳල හිටලා බැලුවත් බැලුවේ මොකක් හරි විශේෂම දෙයක්, වැඩසටහනක් තිබ්බොත් විතරයි... 

දැන් මට පුළුවනි අයිස් බකට්, අමුමිරිස් චැලේන්ජ් වගේ "පැරණි රසාංග චැලේන්ජ්" එකක් පටන්ගන්න...හික් හික්...බලමු කාටවත්ම මෙව්වා මතකද කියලා...:P 

115 comments:

  1. තන් තරුවේ.. ආයෙත් ඒ කාලෙට ගියා වගේ...

    මතක නැද්ද මේ සිංදුව තිබුනේ..

    "අතීතය සිහිනයක් පමණයි - සැබෑ සුවඳක් නෑ..
    එදා සෙනෙහින් නොබැඳුනානං මෙදා වියොවක් නෑ.."

    කරුණාරත්න දිවුල්ගනේ ගයන්නේ..

    නාට්ටියේ නම මේ.. මේ.. ලෝකාන්තය වෙන්න ඕන

    රසබර මතකයක් ජය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. චකබ්ලාස් කිව්වම මතක් උනේ ධන + ලකුනේ ගේම් එක...
      ඒ කාලේ හැමෝම පිස්සු වැටිලා හිටියේ..

      Delete
    2. විදානේ මට ඒ කතාව මතක නෑ නේ..සිංදුවට නම් බොහොම කැමතියි :)
      ඔව් ඔව් අන්න ඒ ගේම් එක තමයි..ඒකට ඇබ්බැහිවුණාම පිස්සු වගේ ඒ දවස්වල...වෙන වැඩක් කරත් කල්පනා වෙන්නේ දිනන්න තියෙන ක්‍රම ගැන..හී හී!!

      Delete
    3. ගංගා සහ නිස්සංක එකේ රබර් වත්තක් මැද තමයි කපල් එක වැඩිපුරම පෙම් කොරේ

      Delete
    4. විදානේට මතක හිට්ට ඒවා බලහංකෝ ඉතිං..:P
      ඔව්නේ...ඔය කතාවේ රබර් වත්තක් තමයි මගේ මතකේ වැඩිපුරම තිබ්බේ...ලව් කොරාද කියලා නම් මතක නෑ අපි ඉතින් පුංචි එවුන් නේ ඒ කාලේ...:D

      Delete
  2. කාළගුණේගෙ හරි නමට "රන්හොට්ටි" කියල කෑල්ලක් තිබුන මතකයි.ඔහු මෑතකදි මිය ගිය බව ඇසුවාත් මතකයි.ඔබ කියනාකාරයටම මමත් පාසල් ගොස් දවල් කෑම කකා පළිගු මැණිකේ බැලුව හැටි මැවිල පේනව.ඒ කාලෙම ඒ වෙලාවට 666 කියල එකකුත් ගියා.ඒකත් නැවත විකාශයක්.ඒකෙ හිටිය කිත්තා කියන මේන් රෝල් එකත් හෙන ජොලි.ලෝකාන්තය ගියේ මතක හැටියට වෙන්න ඕන.හවස 6.30.ඒකෙ හිටියෙත් කමල්,චම්පා ශ්‍රියනි,සිරිල් .....(ඉතුරු කෑල්ල මතක නැ.ඔහු ලගදි විදේශයකදී මිය ගියා).ඒකෙ තව ලස්සන සින්දුවක් තිබුන.මුලනම් මතක නෑ.ඒ කාලෙ පොඩි එකා උනාට තාමත් එක පද පේළියක් මතකයි.
    "මියගිය ඊයේ නටඹුන් අතරේ
    පවුරු බැදන් සුසුමන් හෙළනා සද
    හද කුටියේ මා වෙත ඉඩ ඇති බව
    කෙළෙස කෙසේනම් මා පිළිගන්නද......"
    නන්දා මාලනි වෙන්න ඕන කියන්නේ

    ReplyDelete
    Replies
    1. ලෝකන්තය ගියේ මතක හැටියට mtv එකේ

      Delete
    2. තනි තරුවට ගොඩවැදුණු පළමු වතාව වෙන්න ඕන දිමුතු..සාදරයෙන් පිළිගන්නවා! :)
      මට මතක පළිඟු මැණිකේ විතරයිනේ..:O 666 කියලා එකක් මතක නෑ...
      ලෝකාන්තයත් හරියටම මතක නෑ වගේ..ඔබ කියන්නේ සිරිල් වික්‍රමගේ ගැන වෙන්න ඕනෑ..ඔහු ළඟදි ඕස්ට්‍රේලියාවේදි මියගියා...පව්..අර හිරුට මුවාවෙන් එකේ මර්සි අයියාට ඉන්නෙත් ඔහුම තමයි...
      ඔය කියන ගීතය මේක නේද? https://www.youtube.com/watch?v=QQBKCNlKmps

      Delete
    3. කාලගුණේට හිටියේ ගුණරත්න රංහොටි. අංශබාගේ හැදිලා ඉඳලා මැරුණා.

      Delete
    4. මටත් ඒ ටෙලිය මතක තිබ්බෙ කාලගුනේ හන්ද.. නැත්තං ඔය කාලෙ මොන ටෙලි මතක තිබ්ල්ලක්ද...
      කාලගුනේ හෙන අපූරු ඩෑල් එක අනේ

      Delete
    5. ස්තූතියි තිසර..මට නම් මතක තිබ්බේ නැහැනේ..පව්..:(

      Delete
    6. හ්ම්ම් හ්ම්ම්!! මහේෂ්ට සුසීමාව නම් මතක ඇති මං හිතන්නේ..හැඩ කෙල්ල නේ! හී හී හී...!! :P

      Delete
    7. තනි තරුව.....මේක නිවැරදි කරන්න....සිරිල් වික්‍රමගේ තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඕස්ට්‍රේලියාවේදි මිය ගියේ සිරිල් ධර්මවර්ධන.

      Delete
    8. අරූ අයියේ බොහොම ස්තූතියි වාසගම පැටලිලා නේද හෆොයි!! දිමුතු සමාවෙන්න වැරදීමට ඔබ කියලා තියෙන්නේ සිරිල් ධර්මවර්ධන ගැන..

      Delete
    9. සිරිල් කියන එක මතක තිබුනට වාසගම මටත් මතක තිබුනෙ නෑ.සිරිල් වික්‍රමගේ කියන්නේ "මැණික් නදිය ගලා බසියි" එකේ මුදලාලි

      Delete
    10. දිමුතු: කිව්වට පස්සේ මම යුටියුබ් එකේ ලෝකාන්තය බලන්න ගත්තා මචෝ..හිනාවෙලා පණ නෑ..අර සිරිල් ධර්මවර්ධනගේ ගෙදර කුස්සියේ ඉන්න ඩබලගේ පිස්සු වැඩ..හැක් හැක්...ඒ ඉන්නේ අකාලයේ නැතිවුණ ග්‍රැන්විල් රොද්‍රිගු සහ අනික් කෙනගේ නම මතක නෑ...හැබැයි ඔහු මම හිතන්නේ දැන් ජීවතුන් අතර නැහැ...සුර අසුර එකේත් හිටියා මතකයි...

      Delete
  3. සෑහෙන පරණ මතක අවුස්සන්නෙ :)

    රේඛාව, රටගිය ඇත්තෝ, තාරාදේවි ( අනෝජ වෙන ටෙලියක මම දැක්කෙ නෑ ඒකෙ ඇර ) වගේ තව ඒකාලෙ නාට්‍ය තිබ්බ. දැණුත් හොඳ ඒව යනව. දැක්කද "අහසින් වැටුනා" කියන ගිය අවුරුද්දී ගිය ටෙලිය?

    දැන් ශ්‍රියන්තල වගේම හොඳට බිමල්, ජගත් චමිල, රොෂාන් රවීන්ද්‍ර වගේ අය රඟනව.

    කාළගුණේ කියන්නෙ ගුණරත්න රංහොටී. අනුරාධපුරේ අහිංසක මණුස්සයෙක්. නැතිවෙලා කාලයක් වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ ටික නම් මතකක් නෑ ඉන්දික..සමහරවිට ඒ කාලේ හුඟක් පොඩි වෙන්න ඇති..දැනම් නාට්‍ය බලන්නෙම නෑ...වෙලාවකුත් නැහැ..ආසාවකුත් නැහැ...

      ඔව් ජගත් චමිල, බිමල් වගේ හොඳට රඟපාන අය ඉන්නවා..මම කිව්වේ අර කොල්ලාගේ චරිතේ කමල් ශ්‍රියන්ත ජැක්සන් ආයාසයකින් තොරව අපූරුවට රඟපෑව හැටි...ඉලන්දාරිකම මවානොගෙන කළ රඟපෑමට මම තාම කැමතියි...:)
      එහෙම කොල්ලගේ චරිතේ කළ බවට මතකයක් තියෙන්නේ මෑත කාලීනව නම් පුබුදු ගැන විතරයි..

      බලන්න ඒ වගේ මිනිස්සු කීදෙනෙක් අපිට අමතක වෙලා ඇතිද? පව්..ලෝකේ හැටි ඔහොම තමයි..කාටත් ඔය ටිකයි..:(

      Delete
    2. ඉන්දික "රේඛා" ටෙලිය මතක නැද්ද ....චන්ද්‍රලේඛා යි ,ලක්ෂ්මන් විජේසේකර රඟපෑවා .ලස්සන සින්දු සෙට් එකක් තිබුනා ...තව "රන්කහවනු සල්ලි සල්ලි කියලා එකක් තිබුණා ...

      "දැල්වූ පහන් දැල්වී තිබේවා
      සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
      ළං වූ ලවන් හමු වී තිබේවා
      වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

      විරහී හඳින් ගලන දුක් වේදනාවන්
      සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
      නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
      පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා

      දැල්වූ පහන් දැල්වී තිබේවා
      සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
      ළං වූ ලවන් හමු වී තිබේවා
      වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

      ගායනය - ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා

      වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
      දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
      ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
      මනු ලෝ තලයේ වාසනාවන්

      වල්මත් වූවන් දැක මහ වන මැද
      යා යුතු මාවත පෙන්වා
      ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
      ඉටු දෙවියන් ලොව සිටිනා

      කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
      මුවගේ හසරැළි රඳවා
      තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
      පුද දෙමු දෙවොලට කැඳවා

      ගායනය -චන්ද්‍රලේඛා පෙරේරා
      ගී පද - සුනිල් ආරියරත්න
      සංගීතය - රෝහණ වීරසිංහ

      Delete
    3. සින්දු ඇනෝ තනිතරුවට සාදරයෙන් පිළිගන්නවා! :)
      බොහොම ස්තූතියි ලින්කු ටිකට...මම බලන්නම්..
      රේඛාව ඒ තරම් මතක නෑ..ඒක ටිකක් "අභිමාන්" ටයිප් කතාවක්ද? මම හිතනවා එහෙනම් ඒ චන්ද්‍රලේඛා පෙරේරාගේ මුල්ම හා අවසාන රඟපෑම කියලා. මම හරිද දන්නේ නෑ..

      Delete
  4. අසල්වැසියෝ එකේ හිටියේ එලන් සිල්වෙස්ටර් (අම්මා) සහ හේමසිරි ලියනගේ (තාත්තා). අයි නෝ ද ලෝ කෑල්ල ආවෙ මේකෙන් නේ.
    ඇයි අප්පේ 'රේඛා' අමතක උනාද? ඇඬෙන සිංදු සැට් එකක්ම තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ!! බොහොම ස්තූතියි ඔබට! :)
      ඔය දෙන්නා නේන්නම් අර තකට-තක ජෝඩුව! මට තාම මැවිලා පේනවා වගේ පොල්කටි හැන්දත් ඉනේ ගහං එලන් සිල්වෙස්ටර් බණින හැටි..:D
      රේඛා කියන්නේ චන්ද්‍රලේඛා රඟපෑව එකක් නේද? හරි හරි ලාවට මතකයක් තියෙනවා...දැන් මේ ජංජාලෙන් තමයි හරියටම බලාගත්තේ..ප්‍රසිද්ධ සිංදු සෙට් එකක්ම තියෙනවනේ ඒකේ...;)
      තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා ඔබව! :)

      Delete
    2. අයි නෝ ද ලෝ /// දැං මට මතකයි මොකද්ද මේ අසල් වැසියෝ කියල...
      පහු කාලෙ රැල්ලට යන්න ගත්ත චන්න යශෝධා එහෙම ආවෙත් ඔයිට පස්සෙ ඒ මොඩල් එකට අපු වැන් නේද..
      අර සත්පුර වැසියෝ දූ දරුවෝ නෑදෑයෝ වගේ සැට් වලින්...
      ලාවට මතකයි...
      ඔක්කටම වඩා මතක යශෝදව.. අර ඉන්න අදත් ඒ වගේ අහිංසා...

      අහිංසා ඔයා කියන තරමට ජනප්‍රිය වුණා නෙව පහු කාලෙක ත්‍රීවිල් වලටත් ගහල තිබ්බ ඕක

      Delete
    3. නෑ නෑ...අසල්වැසියෝ ආවේ චන්න-යශෝධා ප්‍රේමවෘතාන්තය පටන් ගන්න හුඟක් කලින් මහේෂ්..ඔව් ඔය ඒ කාලේ තිබ්බ ලොකුම ප්‍රෑන්ක් එක තට්ටුවක් දාලා "අහිංසා ඔයා?" කියලා අහන එකනේ..ඒ දෙන්නා බොහොම ජනප්‍රිය වුණා තමයි...හැබැයි අර නිතර දකින කුකුළට වෙච්චි දේ වුණා කියලයි මට හිතෙන්නේ...
      යේශ් යේශ්!! අයි නෝ ද ලෝ පුතා!! :P

      Delete
  5. මේ නාට්‍ය අමත නොවෙන්නේ එපිසෝඩ් පොඩි ගනනකින් නිමා උන නිසා. අද නාට්ටි නම් එකක්වත් බලන්නේ නෑ. මම බලන්නේ බෝයිස් ඕවර් ෆ්ලවර්ස් විතරයි. දැන් ඉන්න පට්ට නළුවෙක් තමයි සරත් කොතලාවල.. මම හිතන්නෙ තන්හා රති රඟා එකේ චරිතෙත් පට්ටෙටම දෙනවා ඇති.. බලලා කීයන්නම්..

    නාටි ටික වගේම ළිපියත් රසවත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතේ..:)
      දැන් එව්වා බලනවාට වඩා හොඳයි....! නෑ එක්කෝ ඕන නෑ..:D
      මාත් මග බලා ඉන්නේ තණ්හා රති රඟා එනකල් නොඉවසිල්ලෙන්..
      සරත් කොතලාවලට මාත් කැමතියි..ඒ ඇරුණම රොජර් සෙනෙවිරත්නගේ රඟපෑමටත් කැමතියි..තව නිළියන්ගෙන් නම් දුලීකා මාරපනට..

      Delete
  6. ආපහු අතිතෙට ඇදගෙනගියානේ...........නියමයි.ඔය අසල්වැසියො වල තාත්ත සම්පත් ස්‍රි නන්දලොචන නේද.අර "අයි නොද ලො පුතා" කියකිය හිටියෙ.අනිත් පුතා සුමින්ද සිරිසේන මට මතක හැටියට.
    නියමයි තැන්ක්ස්

    ReplyDelete
    Replies
    1. මචන් ...

      අයි නො ද ලෝ කියන්නේ " හේමසිරි ලියනගේ"

      සුමින්ද සිරිසේන හිටියේ බෝඩින් කාරයෙක්ගේ රෝල් එකකට නේද ?

      Delete
    2. අන්න හරි දමිත්, සුමින්ද සිරිසේනත් හිටියා ඒකේ..එයා තමයි ලොකු පුතා...මට මතක විදියට ප්‍රියා රණසිංහ ට්‍රයි කළේ එයාට..
      අයි නෝ ද ලෝ පුතා! හේමසිරි ලියනගේ නේන්නම්..!

      Delete
    3. විභී..සුමිද සිරිසේනත් හිටියා අසල්වැසියෝ එකේ...ලොකු පුතාට...බෝඩිමත් සිරා කතාව...:D

      Delete
  7. ගංගා සහ නිශ්ශංක එකෙක් තමයි තිබ්බේ මේ සින්දුව මතකද තනියා

    අදර සීනුව පෙම්ලෝව දොරලග රැව්දෙන්නේ
    ජිවන විජිතේ අදර දෙවගන හිනා හෙන්නේ
    ලස්සන හදවටත් පමණඉ හදුනන්නේ
    මේ ආදරයක යා හැකි
    දුර නැහැ මා දන්නේ ...... //

    කගේ වේවා ලේ අක වගේ දිස්වන්නේ
    අහසඉ මුහුදඉ ලංවී දෙමුවන් රවටන්නේ
    අලය මයා සිහිනය වේදෝ නැහැ දන්නේ
    කාලය විසදුම් දෙනතුරු හින්දද සිදුවන්නේ

    අදර සිහිනුව පෙම්ලොව දොර ලග රුදෙන්නෙ
    ජිවන විජිතේ අදර දෙවගන හිනා හෙන්න
    ලස්සන හදවටත් පමණඉ හදුනන්නේ
    මේ ආදරයක යා හැකි දුර නැහැ මා දන්නේ .....

    චකබ්ලාස් කතාව තාම මතකයි , මතකද එකේ අර පුසව හොයන හැටි , ජැක්සන් ජැක්සන් කියා කියා

    ReplyDelete
    Replies
    1. හුටා වැරදුනා ..මේ සින්දුව තිබ්බේ මේකේ නෙවෙයි "ගමන" හරි " ප්‍රමාද වැඩියි" හරි නාට්‍ය දෙකෙන් එකක වෙන්න ඕන ,මතක නෑ බොල

      Delete
    2. මට මතකයි
      කඩවර - නිහාල් ප්‍රනාන්දු සහ රාධා ද මැල්
      රන්මසු උයන - සුසන්තා චන්ද්‍රමාලි හඳුන්වා දුන්නේ මේ නාට්‍යයෙන්

      Delete
    3. ඉවානයෝ දැන් කවදා ඉඳලද උඹේ දොරකඩ සීනු වදින්න ගත්තේ? නත්තල කලින් උදාවෙලා වෙන්ටැ!
      ග්‍රේෂන් ආනන්දගේ ලස්සන සිංදුවක් ඒ..කතාව නම් මතක නෑ මචෝ..මම හිතන්නේ ITN එකේ ගිය එකක් නේද?
      ඔව් ඔව් අර රටටම ඇහෙන්න ජැක්සන් ජැක්සන් කියකියා කෑ ගහන්නේ...හී හී හී!!
      කඩවරත් මරු කතාව බං...මතකද රාධා ඩි මෙල් හැඳි ගෑරුප්පුවලින් කන්න ගිහිං මස් කෑල්ල විසිවෙලා අනික් එකාගේ මූණේ වදිනවා...
      රන්මසු උයන මතක නෑ..:( කතාව නම් කියෝලා තියෙනවා...

      Delete
    4. ඉවාන් මේක "ගමන" ටෙලියේ සින්දුව .....මතකද ලයනල් රන්වල බයිසිකලේට හුළං ගහන විදිහ ...
      "වා නම් වා පො නම් පෝ , කම්ම ගෝ චිකාගෝ " කියලා ...

      Delete
    5. ඕඕ යේස් ගමන තමයි , අර කොස් ඇට පුච්චලා විකුනන්නේ ..."කොස් ඇටස්ස් " කියලා

      Delete
    6. සින්දු ඇනෝ & ඉවාන් > මට ඔය කතාව මතක නෑ නේ..:O මතක සිංදුව විතරයි..:(

      Delete
    7. වා නම් වා කියන්නෙ රන්වලයන් නෙමෙයි.එයා තමයි වඩේ විකුනන්නේ.අර කතාව කියන්නේ වෙන නලුවෙක්.එතුමාත් පහුගිය කාලෙදි මියගියා.නමනම් මතක නෑ.ඒත් ජීවත් වුනෙ කෝට්ටේ පැත්තේ

      Delete
    8. දිමුතු....ඒ රංජිත් පෙරේරා නේද...උතුරේ රාහුල වේදිකා නාට්ටියේ හිටියේ. පස්සේ කේ.ඒ.ඩබ්.පෙරේරාගේ ටෙලි නාට්ටිවල හිටියා. මම මෑන්ව දන්නවා ඉස්සර. මැරුනාද...

      Delete
    9. අරු අය්යා තැන්කු වේවා නිවැරදි කලාට ......

      Delete
    10. ඔවු.රන්ජිත් පෙරේරා තමයි.ඔහු මියගිහින් දැන් අවුරුදු 2-3 වෙනව අරූ

      Delete
  8. හම්මේ අතීත මතක පට්ටා ගහන එකත් මාරු නේද? ඔය චක බ්ලාස් සෙල්ලම මටත් මතකයි, පොඩි එකා කාලේ මොකක්ද එකතු කිරීමේ ලකුණක් වගේ වලවල් තියෙන බෝඩ් එකක දැන් අදිනවා වගේ එකක් කළා, අපේ පුංචි අම්මලාගේ ගෙදර විදුරු කැබිනට් එකේ තාමත් ඕක තියෙනවා.

    මී කලේ අපිට ටීවී එකක් තිබුනෙත් නැහැ, ජංගි කොට ගහගෙන මායි අයියයි අල්ලපු ගෙදරට දුවලා ගිහින් බලපු හැටි මතකයි. ඉස්සර ඒ ගෙදරට හවස ෆිල්ම් හෝල් එකක් වගේ හවුස් ෆුල් වෙනවා. අයි ඩෙක් පීස් ආපු කාලේ බලපු චිත්‍ර පටි, මතක විදියට ද්‍රකියුලා පිලුම් එක බැලුවේ සතිය යට ඉඳන් ඇත දෙකෙන් මුණ වාහන ඇඟිලි අස්සෙන් හැක හැක.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සොමියා! වල්ලා පට්ට!! "අතීතයකින් තොර වර්තමානයකවත් අනාගතයකවත් පැවැත්මක් නැත" කියනවනේ..
      ඒ කාලේ තමයි මචං කාලේ...ආයේ විභාග කරන්න නැත්නම් මම කාලයේ තීර්ථ යාත්‍රිකයා වෙන්නේ එක පයින්! :D
      තැන්කූ තැන්කූ! ජයවේවා!!

      Delete
  9. පට්ටයි ඈ...

    මටනම් මතක ඔය ලිස්ට් එකෙන් කන්දෙ ගෙදර විතරයි. යශෝරාවය බැලුවා නැවත විකාශයක්. හොඳටම මතක හිටියෙ දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, සින්තටික් සිහින, රතුරෝස.....

    ReplyDelete
    Replies
    1. එයි බස්සි යේ..

      රතු රෝස එකත් පන්කාදු පහයි බන්.

      යූටියුබේ පීරලා බැලුව. එත් එක කෑල්ලක්වත් හොයාගන්න බැරි වුන...

      තීම් මෙලඩි එක විතරයි හොයාගන්න ලැබුනේ..

      Delete
    2. තැන්කූ බස්සියෝ! :)
      දඬුබස්නාමානය අන්න අමතක වෙච්ච එකක්...:( මම ඒකට කැමතියි..අකාල සන්ධ්‍යා නම් බැලුවේ උඩින් පල්ලෙන් වගේ...රතු රෝසත් නැවත විකාශ කීයක් නම් කලාද...ඒකත් හොඳට මතකයි...චාපාගේ කටහඬ තමා සෝක්! :) උඹ ඉතිං අපිටත් වඩා ටිකක් පොඩී නෙව..ඔය සේරම මතක නැතුව ඇති :)

      Delete
    3. බස්සි කියපුනාට්ටි තුන ගැන අහල අඩුගානෙ දඩුබස්නා මානය වත් මතක නැද්දකියල අහන්න හිටියෙඅදටත් හොදටම මතක නාට්ටි තුන තමා ඔය...
      මාර ආසයි ඒ දවස් වල
      අකාල සන්ධ්‍යා බලන්න... මට මතකයි මම ඒකෙ ඉන්න ඩෑල් එක වගේ බාවනා කොරන්න පටං ගත්ත ඒ වගෙත් කැරකිල අනාගතේට යන්න හිතං
      හෙක් හෙක්

      Delete
    4. උඹ කැරකිලා බිම වැටිල නොහිටි එකයි පුදුමේ..එහෙම මේ හැමෝටම අනාගතේට යතහැකිද කොලුවෝ? එව්වාට රාජානුග්‍රහය තියෙන්ට ඕන!! :P

      Delete
    5. මම ඉතාම ආසවෙන් බලපු නාට්ටියක් තමයි ධර්මසේන පතිරාජගේ කඩුල්ල. හඳගමගේ දුන්හිද අද්දර

      Delete
    6. කඩුල්ල මට සම්පූර්ණයෙන්ම මතක නෑ අරූ අයියේ..දුන්හිඳ අද්දර නම් ලාවට මතකයක් තියෙනවා..

      Delete
  10. තරු වෝ...
    උඹේ පොස්ට් එක මේ විභීෂණ ව පැංචා කාලෙට අරන්ගියා.

    පොස්ට් එකේ තියෙන කලෙක්ෂන් එකෙන් "හිම ගිරි අරණ " ගැන නම් එච්චර මතකයක් නැහැ.

    එත් අනිත් හැම එකටම මාත් බොහොම මනාපයි කෑදරයි...
    සුසීම එකේ සින්දු ටික නම් පංකාදු පහයි...කියල වැඩක් නැහැ..

    අර උදාගිර එකේ අපේ ලොකු මාමගේ සීන් කෑලිත් ටික ටික මතකයි. මට මතක හැටියට ඒ එලිය ගහල තිබ්බේ රිච්මන්ඩ් වලව්වේ .

    උඹ ලිව්වා වාගේම ඉස්සර ගිය පට්ට ටෙලි තව තියෙනවා.

    මතකද "සුර අසුර " , අර වසන්ත කොටුවැල්ල යි , වීණා ජයකොඩි යි රඟපෑවේ. ඉස්ටෝරිය තිබ්බේ මට මතක හැටියට සිංහල ඩොක්ටර් කෙනෙකුයි ටැමිල් කෙල්ලෙකුයි අතර ඇතිවන ලව් සීන් එකක්.

    ඇයි බන් උඹට අමතක් වුනාද "කඩුල්ල " යි "දඬුබස්නාමාය " යි.

    අන්න සුපිරි ටෙලි. තාමත් එකෙක්ට බැරි වුනා මේ දේකට ගහන්න පුළුවන් විදියේ ටෙලියක් හදන්න..

    මෙව්වා එක්ක තිබ්බම දැන් යන ටෙලි හරියට මපට් ෂෝ වගේ.

    ReplyDelete
    Replies
    1. විභී! හිමගිරි අරණ එච්චර ප්‍රසිද්ධවුණාද මංදා..මොකක් හෝ හේතුවකට මට ඒක මතක හිට්ටා!
      අනිවා මචං ඒ අතීතෙට මම මාර පෙරේතයි! අපේ ගෙදර මට කාර්ඩ් වැදිලා තියෙන්නේ පුනරුත්පත්තිය කියනවා වගේ කියලා..:D
      අන්න දුක හිතෙන කතාව...සුර අසුර කොහොමද දෙයියනේ මට අමතක වුණේ..ඒක සිංහල කොල්ලෙකුයි දෙමළ ඩොක්ටර් කෙනෙකුයි අතරේ සම්බන්ධයක් ඇතිවෙලා විවාහවෙලා ඊටපස්සේ කළු ජූලියට මූණ දෙන හැටිනේ තිබ්බේ...මතකද චන්ද්‍රිකා සිරිවර්ධන ඒකට කියපු සිංදුව..
      "වියෝ වී මිහි මඬල
      ඉකි බිඳී
      රළු සුළඟ සේ
      වියෝ වී මිහි මඬල
      ඉකි බිඳී
      රන් සුළඟ සේ
      අළු යටින් මතු වී
      ඇවිලෙනා ඇවිලෙනා
      නොනිවි ගින්නක් වී
      ඉකි බිඳී මිහි මඬල
      සාපයක් දෝ දෙවියන්ගේ
      පාපයක් දෝ මිනිසුන්ගේ

      බිඳි සෙනෙහෙ අවුරා
      ළං කළ හැකිද
      හඬන සිත් තැවෙන සිත්

      සාපයක් දෝ දෙවියන්ගේ
      පාපයක් දෝ මිනිසුන්ගේ ///"
      https://www.youtube.com/watch?v=PSQAABYwyGA

      දඬුබස්නාමනය සහ කඩුල්ල අමතක වුණා බං..කඩුල්ල නම් සම්පූර්ණයෙන්ම මතක නෑ අවංකවම කිව්වොත්..

      අනිවා මචෝ ඒ කාලේ තමයි ටෙලි තිබ්බේ..දැන් ආත භූත නැතුව මෙගා හදන අම්බරු රෑන දක්කන් ගිහිං පෙන්නන්න ඕන ඕවා...:@

      Delete
    2. හිමගිරි අරණ හොඳ ටෙලියක් නොවුනාට ඒ කතාව නිසා ජනප්‍රිය වුනා. වසන්ත කොටුවැල්ල දක්ෂයෙක්. ඔහු හොඳ නිර්මාණවලට දායක වුනා. දැන් රටේ නැහැ මගේ හිතේ.

      Delete
    3. ඒක තමයි එහෙනම් ඔහු පහුකලෙක නිර්මාණවල දකින්න නොලැබුණේ..හැබැයි සුර අසුර නාට්‍යයේ රඟපෑමෙන් ඔහු දක්ෂතාව පෙන්නුවා සහ ජනප්‍රිය වුණා..

      Delete
  11. මට මතක නෑ අවුරුද්දකට හරි දෙකකට හරි කලින් ජාතික රුපවාහිනියේ ඔය පරණ නාට්‍ය වගයක් ආයෙත් පෙන්නුව ආයේ ආයේ පෙන්නුවත් බලන්න ආස හිතෙන නාට්‍ය ..පොඩි කාලේ නාට්‍ය බැලුවට නම් වලින්නම් කියන්න මතක නෑ .හැබැයි අසල්වැසියෝ, දූ දරුවෝ,කන්දේ ගෙදර නාට්‍ය බැලුව කියල නම් මතකයි.මේ දවස් වල රුපවාහිනියේ 8 ඉඳන් 9.30 වෙනකන් යන නාට්‍ය මෙලෝ රහක් නෑ බැයිද දන්නෑ ඒ ගොල්ලන්ට ඔය නාට්‍ය නැතුව ඉස්සර පෙන්නුව හරවත් ලස්සන නාට්‍ය දෙක තුනක් ආයෙ පෙන්නන්න.

    ReplyDelete
    Replies
    1. හංසි තාම හිච්චි කෙලී නෙව..ඔව්වා මතක නැතුවට කාරි නෑ..හී හී..
      මටත් තියෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙමයි..නිකං මෙලෝ රහක් නැති කුණුහරුප හදන්න නාස්තිකරන වෙලාවේ ඔය පරණ කතා ටිකක් පෙන්නුවානම් ඉවරනේ...:D

      Delete
    2. දෙරණ පටං ගත්ත කාලෙ ඔය පරණ නාට්ටි හුගක් ආයෙ ඒකෙ පෙන්නුව... මටමතක විදියට සෑහෙන නාට්ටි ගාණක් පෙන්නුව

      Delete
    3. සිරාවට? :O දැනගෙන හිටියා නම් බලනවා..අයියෝ!

      Delete
  12. අඩෝ තනිතරුවා! නයිට්ටු මීට්ටූ බන්!! :P

    ReplyDelete
    Replies
    1. සේම් හියර් යාර්..!! වට් එ කොයින්සිඩන්ස් නෙහ්! :D

      Delete
    2. මොකෝ ඉවාන් අළුත් මද්දුම බණ්ඩාර කොලුවගේ වගේ දත් අස්සෙන් හුළං ගියැයි? :P

      Delete
    3. ඕකාට ජෙල! ඩයල් එක නුගේගොඩ පහු කරල ගියා විතරලු. හොඳ වැඩේ

      Delete
    4. සිරාවට? ඊයේ අපි දෙන්නා නම් මුණගැහෙන්න නියමවෙලා තිබිලා තියෙන්නේ..හැක් හැක්!!

      @ඉවාන් >නුගේගොඩ ටුක් ටුක් එකක ගහලා තිබ්බා "රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව" කියලා...:P :P

      Delete
    5. හොඳවෙලාවට මම නුගේගොඩින් ගියා විතරයි . නැත්තං මේ පිස්සෝ දෙන්නෙකුට අහුවෙනවා... ඕ යේස් ...

      Delete
    6. හහා...ඉවාන්ට ලග්න ඒරාෂ්ටකයක් තිබිලා වෙන්ටැ...:P

      Delete
  13. අර නාට්‍යයේ නම් අසල්වැසියෝ ද කියලා නම් මතක නෑ. හැබැ‍යි ඔය නාට්‍යයේ තාත්තට හිටියේ හේමසිරි ලියනගේ, ලොකු පුතා සුමින්ද සිරිසේන. "අයි නෝ ද ලෝ, පුතා" කියන එක භාවිතයට ආවේ ඔය නාට්‍යයෙන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර! මට නම අමතක වෙලා හිටියේ කවුද කියලා..අයි නෝ ද ලෝ!! හා හා..ඕකෙන් පස්සේ මොකද්ද මෝටර් ස්පෙයාර් පාර්ට්ස් ඇඩ් එකකටත් එයාව ගත්තනේ...

      Delete
  14. හම්මේ ඒ දවස් වලමොන වර්ණ ඒවද බැට්ටියක් ගෙනත් කළු සුදු එකෙන් තමා බැලුවෙ හම්මේ ඒම කාලයක්...
    මං මේ ගැන පොස්ට් එකක් අද දාන්නං කියල හිතං හිටියෙ...
    ඒත් දැං නං ඕන නෑ වගේ හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. කම්මැලි නොවී ලියනවකෝ ඒ ගැන..මට මතක නෑ බැට්ටි කතාවක්..:O
      ලියන්න ලියන්න...දවස් 2යි දෙන්නේ බොට!

      Delete
  15. පිස්සු හැදෙයි කිව්වලු. මේ කියන ඔක්කොම නාට්‍ය මගේ ඔලුවේ අදටත් වැඩකරනවා. ඒ හින්ද එකක් කියල කියන්න බෑ. සුසීමා කියන්නේ මම පිස්සු වට්ටපු සින්දු තියෙන කතාවක්. මම බැලුවේ අපේ අප්පච්චිගේ කලෙක්ෂන් එකෙන්.
    ලා හිරු දහසක්
    දිමුතු මුතු
    ඉරට හඬන මල්
    නිදිකුම්බා මල්
    දුන්හිද අද්දර
    ඇල්ල ළඟ වලව්ව
    වෙදහාමිනේ
    පස්සේ ගෙනා මනමාලි
    රට ගිය ඇත්තෝ
    රුපියල් සත

    දුදරුවෝ සහ ඒ හා සම්භන්ධ කිසිම නාට්‍යකට මම ඉස්සර ඉඳන්ම කැමති නැහැ. අදටත් ඒ වගෙයි. ඒ උනාට බර්ට්‍රම් නිහාල්ගේ කතා නම් හැංගිලා හරි බලනවා.

    රඟපෑම් අතින් නම් අදට රොෂාන් රවින්ද්‍ර ( අප්පා... මගේ ආසම!! ), ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, සෞම්‍ය ලියනගේ ටිකක් විතර හොඳයි. අනිත් උන් නම් ගන්න දෙයක් නැහැ. මම හිතන්නේ නිළියෝ නම් නැති තරම්. ( අලුත් අය ... චාන්දනී ඉස්සර වගේම හොඳයි.)

    මේ හා සමාන වෙනත් සාකච්චා සිද්ද උනා... මෙන්න මෙතන - නිදහස් සිතුවිලි ලියනකොට . මමත් ලිව්වා, මම හිතන්නේ මම මගේම ලින්ක් දානෙක හොඳ මදි කියල

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා තනිතරුවට ගොඩ වැදුණට ස්තූතියි! සාදරයෙන් පිළිගන්නවා..:)
      ඔයාගේ ලිස්ට් එකේ මට මතකයි නිදිකුම්බා මල්, වෙද හාමිනේ සහ දුන්හිඳ අද්දර...නිකුම්බා මල් වගේ තව එකක් ගියේ "කුමාරයාණෙනි මගේ කිරුළ හිමි"..අන්න ඒකේ අමරසිරි පීරිස් මහත්මයගේ "අත්වැල ගිලී ලොව තනිවූදා.." සිංදුවට මං හරි කැමතියි...:)
      අපොයි ලංකාවේ දැන් නිළියෝ ඉන්නවද? මට පේන්නේ නෑ නේ! :/
      මාත් කැමතියි චාන්දනීට සහ දුලීකාට...
      තමන්ගේ ලින්කුව තමන් දැම්ම කියලා මක්වෙනවද? මම කියවන්නම්..තැන්කූ! :)

      Delete
    2. //ලංකාවේ දැන් නිළියෝ ඉන්නවද? මට පේන්නේ නෑ නේ!//

      මටත් එහෙමනෙ.

      Delete
    3. එකනේ! කොහේවත්ම පේන්න නෑ..:D

      Delete
    4. ඉස්සර මම ආසම වැඩේ තමයි අම්ම ඉදගන ඉන්න කොට එයාගෙ කකුල් 2 මැද්දට වෙලා බිම ඉදගන t.v. බලන එක.ඔය ඇල්ල ලඟ වලවුවට පොඩි එවුන් කාලෙ හෙන බයයි.ඕකෙ පසුබිම් සන්ගිතෙත් ඊට වඩා බය හිතෙනව.ඕකෙ theme music යනකොට බයවෙලා අම්මා ඇදන් ඉන්න ඇදුම උස්සල මුණ වහ ගන්නව.ඔය වැඩේට හැමදාම බැනුම් අහනව

      Delete
    5. ATTENTION!!!!!!!!!!උපේක්ෂා...බස්සි......තනි තරුව. (යකා නැගලා ලියන්නේ )
      පව්ඩර් බබාලා නොවෙන හොඳ රංගන ශිල්පිනියෝ ඉන්නවා. සමාධි ලක්සිරි, සමනලී ෆොන්සේකා, උදයකාන්ති කුලතුංග, ගංගු රොශානා,මාධනී මල්වත්ත, ජයනී සේනානායක, දුලීකා මාරපන...තව ගොඩාක් ඉන්නවා. මේ පබා, බබා,කොබා මොඩ්ල් එකේ අය නෙමේ. රංගනය හොඳින් වටහාගත් අය. අද ඇඩ් එකක හෙට නාට්ටියක වර්ගයේ අය නෙමේ. උන්ට නිලියන් කියා කියන්නවත් එපා.

      තෝරා බේරාගෙන නාට්‍ය බලනවානම් ඔය අවුල වෙන්නේ නැහැ. මේ නිලියන් වගේම නළුවන් කොටසකුත් ඉන්නවා. මේ අය නිහඬව තම රාජකාරිය කරනවා. වැටෙයි, නියරෙයි.පිලෙයි,පැදුරෙයි, මඩුවෙයි,අගුවෙයි හැම තැනම නැහැ.

      Delete
    6. @දිමුතු :
      ඇල්ල ලඟ වලව්ව මතක නෑ මට..:O
      ඇයි ඒ වගේමනේ "ගිරය"...ලුසිහාමිව මතකද? ලුසිහාමිට රඟපෑ ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මිය අකාලයේ මියගියානේ...ඒ කතාවේ ලුසිහාමි නිතරම අරං යන ගැහැණු ඔළුවක් මිටේ කැටයම් කළ ගිරය මතකද?? ඒකෙත් තේමා සංගීතය ඇහෙද්දි බයයි..ඒවුණාට බලන්නත් ඕන...:D

      Delete
    7. අරූ අයියට යකා නැගලා!! :O

      මේකනේ අරූ අයියේ බහුතරයක් මෙගාවලත් නිතරෝම පත්තරවල ටීවීවල පේන්නෙත් එකම සෙට් එකක්...ඔබ කියූ අයගෙන් මම කැමතිම දුලීකා මාරපනට..තැන්පත් අහිංසක චරිතයක සිට පිස්සු පීකුදු චරිතයක් දක්වා නියමෙට රඟපාන්න ඇයට තියෙන හැකියාවට මම මාරම කැමතියි...ඒ ඇරුණුකොට සමනලීගෙ "ආකාස කුසුම්" හැරුණුකොට වෙන රංගනයක් මම දැක නෑ..ඒත් හැකියාවක් ඇති බව හිතනවා...තව නිලිමිණි තෙන්නකෝන්ගේ රඟපෑමටත් මම කැමතියි..උදයකාන්ති නම් අනේ මංදා (කලර් ඇරුණුකොට මම වෙන නිර්මාණයක් දැකලා නෑ)..ජයනි දක්ෂයෙක් අනිවාර්යෙන්ම...මාධනීත් බොහොම දක්ෂබව ගෙදර කට්ටිය කියනවා..මම නම් දැකලා නෑ...
      අවංකවම කියනවානම් අරූ අයියේ දැන් කතා බලන්න පිරියක් නෑ..ඉඳලා හිටලා කම්මැලිකමට වගේ ටීවී එක ඉස්සරහට ගියොත් මිසක්...හැබැයි එතකොට දකින එව්වායෙන් ඒකත් එපා වෙනවා...මම හිතන්නේ හැබැයි ඔය ට්‍රෙන්ඩ් එක නිසාමද කොහෙද දැන් මිනිස්සු ටිකක් වේදිකා නාට්‍ය සහ චිත්‍රපටි පැත්තට උනන්දුවක් දක්වනවා කියලා..

      අරූ අයියේ දැන් ශාන්ති ශාන්ති නොවේවා කේන්තී! :D

      Delete
    8. අරූ අයියේ සමාව බාජනේකට දාන්න!!

      ඇත්ත තමයි. මාධනී මල්වත්ත මම කැමතිම නිළියක්. දුලීකාත් හොඳයි. ඒත් කිසිම ආයාසයකින් තොරව සුපිරියට රඟපාන මගේ ප්‍රියතම නිළිය තමයි චාන්දනී සෙනෙවිරත්න. ඒත් අද එයාලව දකින්න හරිම අමාරුයිනේ....

      ජයනි සේනානායක මේ දවස්වල දකිද්දි බඩ දඟලන මෙගාවක ඉන්නවා. කිරි කළේට ගොම බිංදුවක් හලා ගත්තා වගේ. අපරාදේ.

      සමනලී ෆොන්සේකාත් හොඳයි නේද. ඒත් දකින්නෙ අඩුවෙන්.

      Delete
    9. උදයන්ති කුලතුංග ..ඊයා ..

      ජයනි සේනානායක , මාධනී මල්වත්ත නම් හොඳයි ඔය නවපරපුරේ සෙට් එකෙන් හොඳ සමාධි ලක්සිරි තමා

      Delete
    10. හත්ඉලව්වේ.. දැන්නේ බොලේ අපේ අරූ මට ඉංගිරිස් වලිනුත් බැනල, පිහියක් පෙන්නලා තියෙන විත්තිය.... තරා ගන්ට කාරී නෑ අනේ... මම කිව්වේ 'ඇත්තෙම නැති තරම්' මිසක් නැත කියා නෙවෙයිනේ. ඔයාගේ ඔය ලිස්ට් එකම මගේ ඔලුවෙත් ඉන්නවා, වැඩේ කියන්නේ ඔවුන්ගේ ප්‍රතිභාව බලන්න තරම් නිර්මාණ වෙන්නේ නැති එක. සමනලී නම් මේ ළඟදී 'A /L ඉවරයි' කතාවේ උන්නා, නියමයි. මෑත කාලේ ඒවා කිව්වේ නැත්තේ මෙතන කතාව යන්නේ ගොඩක් ඉස්සර නාට්‍ය ගැන හින්ද.
      වෙද හාමිනේ
      මනෝ කාය
      පස්
      පුංචි පැටව්
      අඹ යහළුවෝ
      රන්සිරිගේ සංග්‍රාමය
      රොමාගේ වාසනාව
      අකරදාරුව
      කඩවර


      මෑත කාලේ
      දළ රළ පෙළ
      පිටගම්කාරයෝ
      කටුඉඹුල

      මක්කොරන්නද අරූ, අපේ හොඳම කාලේ වෙනකොට බලන්න නාට්‍ය නැහැ. මම තෝරලා බලන්නේ. ඒ අතුරින් මෑතක ගිය 'චෙස්' ගැන පොස්ටුවකුත් දාල ඇති මම. ඒ එක්කම
      අහසින් වැටුණා
      ඇබෑර්තු ඇත
      ගිරිකුල
      සඳගිරි පව්ව
      තක්සලාව
      අප්පච්චි
      වගේ නිර්මාණත් අමතක කරන්න බෑ. බැරිවෙලාවත් මම වෙනත් වෙලාවක දාන්නේ නැහැ TV එක නම්, හිරිකිතේ බැහැ ප්‍රවීන , ටැලන්ට් එකක් තියෙන නළු නිළියන්ගේ අසරණකම ප්‍රයෝජනයට අරගෙන හදල තියෙන කසිකබල් කතාවක් පෙනෙයි කියල. පිලේ, පැදුරේ විතරක් නෙවෙයි, සමහර අය හොයාගන්නත් නැහැ. ඇඹරි ඇඹරි කතාකරන 'පුයර' කොල්ලන් සහ කෙල්ලන් වැහිවහල.

      යකාට කියන්ට දැන් බිමට බහින්ට කියල....

      Delete
    11. උපේක්ෂා.......හුස්ම සහ ඔක්සිජන් කියන ටෙලිය බලන්න. සමනලී,බිමල්,කළණ,සම්පත් වගේ හොඳ කාස්ට් එකක් ඉන්නවා. ඒක ටිකක් වෙනස්.

      Delete
    12. මෑතම කාලෙනම් නෙවෙයි.ඒත් කටුස්ස ටෙලි බැලීම අතරින්න කලින් බලපු එකක් "ඉඩෝරයක පොද වැස්සක්".ස්වර්ණවාහිනියෙ ගියේ.රොෂාන් රවින්ද්‍ර,වසන්ති චතුරානි,සරත් කොතලාවල,හේමසිරි ලියනගේ,ජයසිරි හිටියෙ.ඒකනම් පට්ට ටෙලියක්.ලස්සන සින්දුවකුත් තිබුන.ඒ වුනාට ජාලෙ කිසිම තැනක ඒක ගැන සදහනක්වත් නෑ.

      Delete
  16. හැබැයි මම ආසයි අර හඳගමගේ සින්තටික් සිහින නාට්‍යයට , නාට්‍යය එච්චර මතක් නෑ , ඒත් මතකයි සින්දුව

    ඉර හඳට වඩා
    අපි ඈත බව දන්නවා
    ඒ උනත් අහම්බෙන්
    එකම එක මොහොතකට
    ඔබට මා හමුවෙලා

    දැන් ඉතිං වෙන කුමක් කරන්නද..//
    ආදරය කරනු මිස..//


    මහා පතරංගෙටත් වඩා
    දිග කතාවක
    කොම්බුවක් තරම් නැති
    අපේ ලව් සිංදුවේ
    අන්තරා පේළියක සමන්ති
    මා ඔබව ඉම්බා.. !

    පැය කටුව කුමකටද
    ඔරලෝසු මුණකට
    ඔරලෝසු මුණකට
    කල්පයක් කියන්නේ
    තත්පරෙන් බිඳක් නම්
    කල්පයක් කියන්නේ
    තත්පරෙන් බිඳක් නම්
    සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්
    මා ඔබට තුරුළු වී
    නිදිබරව උන්නා සමන්ති
    සමන්ති

    ඔබේ තොල් පෙති වැදී
    මගේ නළලේ කොණක
    කේෂ නාලිකාවක් පිපිරුණා...//
    දැන් ඉතිං වෙන කුමක් කරන්නද...//
    ආදරය කරනු මිස...////

    ගායනය - අතුල අධිකාරි
    ගී පද - අශෝක හඳගම

    ReplyDelete
    Replies
    1. ඉවාන් මටත් ඒ නාට්‍යය ගැන ලොකු මතකයක් නෑ..මම හිතන්නේ ඒක ටිකක් රැඩිකල්, සාම්ප්‍රදායික කලාවෙන් බැහැර වෙච්ච එකක්..අතුල අධිකාරි සහ රාජු බණ්ඩාර නළුවෝ වුණේ ඒකෙන් නේද? :)

      Delete
    2. පුහ්! ඕකට වඩා මේක ලස්සනයි ගෙම්බෝ... :P

      එක දවසක් හැන්දෑවක
      කණාමැදිරි එළි පාරක
      මං හෙව්වා තරු කැටයක්
      මං හෙව්වා තරු කැටයක්
      නිල් පාටින් පායා දිලෙන
      නිල් පාටින් පායා දිලෙන..

      සිහිනයක ගිලී මා සිටියා
      කවුරුදෝ විත් දොර බිදිනා විට
      සුළං පොදක් වත්
      ඇරුණු දොර පියනින් ආවා නම්
      සිහිනයේ සුව අරං
      නන්නාදුනා දෑසක්
      නිවී නිවී දිළිසුනා මොහොතක්..

      සුහද ආරාධනාවක්
      අරන් ඈ ඇවිත් දොරකඩට
      පවන් පොදකටවත්
      ඉඩක් නෑ නොවෙද
      අවකාශයම වසාගෙන
      ඈ සිටිනා විට මා අසළ
      ඈ සිටිනා විට මා අසළ..

      එක දවසක් හැන්දෑවක..

      මා අසළ ලැගුම් ගනු පෙරතුව
      මා තුලට මොහොතකට එබුනා නම්
      පැහැදිලිව දකින්නට තිබුණා
      මා තුලම මා නොවන
      පිටස්තරයෙකු සිටිනා වග..

      ඔබේ පෙම මා හටද
      මා නොවන ඒ අමුත්තා වෙතද
      ඔබේ පෙම මා හටද
      මා නොවන ඒ අමුත්තා වෙතද..///

      Delete
    3. බොලා දෙන්නා සින්දු ඇනෝගේ ගෝලයෝද? බිස්නස් පාර්ට්නර්ස්ලද? :P :P

      Delete
    4. ඇයි මේක ..........

      ආ මග වැරදී යන මං නොපෙනී
      තනිවී දෙවිඳූන් නැති දෙවොලේ
      කවුරු යදින්නද කවුරු පතන්නද
      හිරු සඳූවත් නැති මිහිමඬලේ

      සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
      නුඹෙ සෙවණැලි පාවෙයි නිල් දියරැළි අතරේ
      දං පඳූරේ මංකඩ ළඟ ගොම්මන් අඳූරේ
      දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

      හඬ දොඩා කීවත් දුක කවුරුද ඇසුවේ
      ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
      මන්දාරම් අහස වැසූ මිහිදුම් සළුවේ
      කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙලුවේ

      සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
      නුඹෙ සෙවණැලි පාවෙයි නිල් දියරැළි අතරේ

      - අමරසිරි පීරිස්
      - ශශිකා නිසංසලා

      Delete
  17. තනි තරුව...හොඳ මතකය අවධි කිරීමක්!!

    උදාගිරේ ඩිරෙක්ටර් රන්ජන් සිල්වා දැන් මාමාගේ උපදේශකයෙක් මගේ හිතේ. මාමා නම් බැරිවුනත් තාම ඇක්ටින්නේ. අමිත්ත තාම රඟපානවා. අජිත් ජිනදාස බොහෝ කාලයකට පෙර පලාබබෙක් වෙලා හිටියා ඌව පලාතේ. මාමා තව නාට්ටියක මගේ මචං එක්ක රඟපෑවා. ජූඩි ඩි සිල්වා ඉස්සර හොටෙල්ස්වල ඉංග්‍රීසි සින්දු කිව්වා. අපේ ඇම් ඇස් අය්යාව කාලෙකින් දකින්න ලැබුනා.
    කන්දේගෙදර කාලගුනේ ගුණරත්න රංහොටි අනතුරකට ලක්ව ඉතා අසරණ තත්වයෙන් අනුරාධපුර පලාතේ ජීවත්වුනා කාලයකට ඉස්සර.පසු ආරංචියක් නැහැ.
    තව කමෙන්ට්ස් දාන්න ආසයි. තව ටිකකින් දාන්නම් :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ අයියේ..:)

      ආහ් ඒකත් එහෙමද? ඒ කියන්නේ මාමා එහෙනම් කළගුණ සලකලත් තියෙනවනේ..හැක් හැක්..
      ඔව් අමිත්ත තාමත් රඟපානවා..ඔව් අජිත් ජිනදාස පළා බබෙක් වෙලා ඉඳලා ඊටපස්සේ රට ගියානේද? මාස කීපෙකට කලින් මම දැක්ක පත්තරේක ලිපියක් තියෙනවා නිවාඩුවකට ආවා කියලා...දමිත් නම් දැන් පේන්නවත් නෑ නේ..
      කවුදා අරූ අයියේ මචං කිව්වේ?
      ජුඩී ගැනත් දැන් ආරංචියක් නෑ නේද? සිංදු කිව් කතාවක් මටත් මතකයි..:)
      ගුණරත්න රංහොටී මහත්මයත් මියගියා කියලා ආරංචි වුණා.පව්..:(

      Delete
    2. අජිත් ජිනදාස පලා බබා උනේ ඌව පළාතේ නොවෙයි සබරගමුව පළාතේ.... එතුමාගේ ගම හංගමුව නොවැ..... මට මතකයි 1988 එක්සත් සමාජවාදී පෙරමුණෙන් ජන්දේ ඉල්ලුවේ..... විජයට වෙඩි තියල මැරුවට පස්සේ නායකයා උනේ ඔසී අබේගුණසේකර....
      මට මතකයි සුදුම සුදු පට අජිත් ජිනදාසතුමා අපේ ගම පළාත වන කුරුවිට පැත්තේ ඒ කාලේ චන්ද රැස්වීම් වලට ආපු හැටි

      Delete
  18. පළිඟු මැණිකේ.......සී ද එස් කුලතිලක මහත්මයා සංගීතය මෙහෙයවපු එකම ටෙලිය මෙයද දන්නේ නැහැ. සුනිල් හෙට්ටිආරච්චිත් දැන් ලෙඩ ඇඳේ. ඔයා කිව්වා වගේ පුබුදු චතුරංග දක්ෂ නළුවෙක්.

    එලන් සිල්වෙස්ටර් තමයි අසල්වැසියෝ අම්මා. දක්ෂ නිලියක්. ඇය ජීවතුන් අතර සිටීද නොදණිමි.

    හිරුට මුවාවෙන්......කට්ටියක් කිව්වේ චක බ්ලාස් නාට්ටිය කියල...කට්ටියක් කිව්වා ඉඳි ආප්ප නාට්ටිය කියලා...අපි කිව්වේ ස්ට්‍රින්ග්ස් කියලා (අපි පොෂ්නේ) ඩිරෙක්ටර් හර්බට් රංජිත් පීරිස් හිත හොඳ මිනිහෙක්. අකාලයේ මියගියා.

    10/07/2011 සිළුමිණ රසඳුන විශේෂාංගයේ මොහු ගැන ලියැවුනු මේ සටහන කියවන්න.



    ///////බුබුළක විසූ මිනිසා සොයා ගිය ගමන
    මීට අවුරුදු 15 කට විතර ඉස්සර ‘රසඳුන’ අතිරේකය පටන් ගනිද්දී එහි ආරම්භක සංස්කාරක වූ ධර්මසිරි ගමගේ මහතා මට ලියන්න විශේෂාංගයක් පැවරුවා. ඒ අසම්මත ජීවිත ගත කරන කලාකරුවන් ගැන වූ ලිපි පෙළක්. ඒ යටතේ මා ආවරණය කරගත් එක්තරා අපූර්ව කලාකාරයෙක් තමයි හර්බට් රංජිත් පීරිස්.

    මා මිතුරු උපාලි සමරසිංහත් කැමරා ශිල්පී ප්‍රියන්ත හෙට්ටිගේත් මමත් මහරගම වත්තෙගෙදර පැත්තේ පිහිටි රංජිත් අයියාගේ ගෙදරට ගිය ගමන මට අද වගෙ මතකයි.

    ‘ඇන් ඕපන් ඉන්විටේෂන් - හව් එබවුට් අ ඩ්‍රින්ක්?

    රංජිත් ගේ කාමරයේ දොර මත එසේ ලියවුණු පුවරුවක් එල්ලා තිබුණා. රංජිත් කන පැලෙන්න බොන මිනිහෙක් බව අපිත් දැනගෙන හිටියා. අපි සංවාදය පවත්වගෙන යන අතර වාරයේ ඔහු අරක්කු ස්වල්පයක් පමණක් ඉතිරිව තිබූ බෝතල් තුන හතරක් ගෙනැවිත් මේසය මත තිබ්බා. (අපි ඒවට කියන්නෙ ‘කොට කෑලි’ කියලා.)

    “මම බුබුළක ජීවත්වන මිනිහෙක්. ඒ ලෝකයේ දුක් කම්කටොලු නැහැ. හරිම සුන්දරයි.”

    රංජිත් අපිත් එක්ක කිව්වා.

    ඔබේ ජීවිතයේ සුන්දරම දේ මොකක්ද?

    මම රංජිත්ගෙන් අහද්දී ඔහු පිළිතුරු දුන්නේ මෙහෙම.

    “ගැහැනිය”

    එතකොට අසුන්දරම දේ?

    “ඒත් ගැහැනිය”

    රංජිත් හිනාවෙවී කිව්වා. තමා ‘P’ අකුරෙන් හැඳින්වෙන කට්ටියට කැමැති නැති බව ඒ සාකච්ඡාවේදී ඔහු අප සමඟ කියා සිටියා.

    කවුද ඔය ‘P’ අකුරේ කට්ටිය?

    ප්‍රියන්ත හෙට්ටිගේ ප්‍රශ්න කළා.

    ‘පොලිස්’ (පොලිසිය), ‘පොලිටීෂන්’ (දේශපාලනඥයෝ), ‘ප්‍රිස්ට්’ (පූජකවරුන්) ‘ප්‍රොක්ටර්ස්’ (නීතිඥවරුන්) වගේ.

    එවිටම මට මතක් වුණේ ‘ප්‍රොස්ටිටියුට්’ (ගණිකාව) වචනය පටන්ගත්තෙත්’P’ අකුරෙන් වන බවයි. මම ඒ ගැන රංජිත්ට කිව්වට ඔහු දෙවරක් නොසිතා පිළිතුරු දුන්නේ මේ අයුරින්.

    “ආ එහෙනම් ‘P’ අකුරේ කටිටිය හොඳයි.”

    මට මේ අවස්ථාවේ හර්බට් රංජිත් පීරිස් මතක් වුණේ ඔහුගේ අනුස්මරණය මේ මස 6 වැනි දිනට යෙදී තිබුණු නිසයි.//////

    ReplyDelete
    Replies
    1. සුනිල් හෙට්ටිආරච්චි මහත්මයා ලෙඩ ඇඳට වැටුණු බව අපි දන්නෙත් එහෙම කාලයක් තිස්සේ දුක්වින්ඳාට පස්සේ නේද? "නාමේ නොදිරන කුණුකය දිරනා - අරුමෙකි සොභා සංසාරේ" කිය කියා ඔහු ජීවන් හිටි චිත්‍රපටියක රඟපෑවා...කොච්චර නිර්මාණ කල මනුස්සයෙක්ද...දුකයි...:(

      එලන් සිල්වෙස්ටර් ගැනත් කිසිම ආරංචියක් නෑ...ඉන්නවාද නැද්ද දන්නේත් නෑ..

      පොෂ් ඈ? :P හර්බට් රංජිත් පීරිස් මහත්මයගේ නාට්‍යවල තියෙන ප්‍රහසන ගතියට මම හරි කැමතියි...දිමුතු කියලා තිබ්බ ලෝකාන්තය මට මතක නැතිනිසා යූටියුබ් එකේ බලන්න ගත්තා...එක දිගට කොටස් ගාණක්ම බැලුවා පිස්සුවෙන් වගේ තනියෙන් හිනාවෙවී...:D
      ඒ වගේම ඔහු දක්ෂයෙක්..අපරාදේ අකාලයේ යන්න ගියේ...
      ඔහු ගැන සමහර කතා මාත් අහලා තියෙනවා..ඒත් මේක දැකලා තිබුණේ නෑ...තැන්කූ අරූ අයියේ..

      Delete
    2. සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු පිරිස රඟපාපු බෝඩිම අමතක වෙන්නේ නැ ...තව එකක් ගියා "ගමේ විත්ති " කියලා .

      Delete
    3. සින්දු ඇනෝ : බෝඩිමත් පිස්සු ලෝකයක් :D..අපි ආසාවෙන් බැලූ කතාවක්..රොඩ්නි වර්ණකුල ප්‍රසිද්ධ වුණේ ඔය බෝඩිමෙන් නේද? :)

      Delete
  19. තව තව යශෝරාවය වගේ නිර්මාන බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැර ඒ නාට්‍යය ගැන කියන්න දෙයක් නැහැ. අති විශිෂ්ඨ ශිල්පීන්. ජී.ඩබ්ලිව් සුරේන්ද්‍ර, අයිරාංගනී සේරසිංහ අමතක නොවේ. ඔවුන් උගත් බුද්ධිමත් උදවිය. සුරේන්ද්‍ර මයාව මට වරක් අඩියක් ගහන්න ලැබුනා. ඒ මට වඩා බොහෝ දැණ උගත් පිරිසක් සමග. ඔවුන් කතාබස් කරන දේ අහන් ඉන්න ආසයි. 1998 මෙතුමා මියගියා.

    සුසීමා.....රෑ තාරකාවෝ සින්දුව මතකද..ක්ලැරන්ස්,ජැක්සන්, ජෝර්ජ් සේනානායක කිව්වේ. ජෝජ් දක්ෂ ගායකයෙක්..ඔයා දාලා තියෙන ක්ලිප් එකේ ඉන්නේ එයා.ආසාවෙන් කියවපු චිත්‍ර කථාවක්, ආසාවෙන් බලපු නාට්ටියක්.

    හිමගිරි අරණ ඇත්ත කතාවක් ඇසුරෙන් දයානන්ද ජයවර්ධන ඩිරෙක්ට් කරේ. මගේ මචංතුමා හොඳ චරිතයක් කරා. ඔයාට මතකද එක් මෘඝාංගනාවියක් නාට්ටියේ විලී මහත්තයා...පොද වැස්ස රතු මහත්තයා...

    ගංගා සහ නිශ්ශංක මට මතක නැහැ. මගේ ප්‍රියතම ගායකයෙක් නිසා ගීතය මතකයි.

    හ්ම්....තනිතරුවගේ මේ පෝස්ට් එක ඇතුලේ මම කිමිදුනා. හරිම රසවත් මතකයක්. මට ඒ නිසා කිසි වැඩක් කරගන්න බැරිවුනා :D
    දැන් කමෙන්ට්ස් කියවන්න යනවා. අද නම් මට වයිෆ්ගෙන් ෆුල් පෝරියල් :D

    ReplyDelete
    Replies
    1. අරු අය්යා මෙන්න ----

      රෑ තාරකාවෝ බැලුවා එබී
      කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
      ඊයේ දවාලේ අපගේ ලොවේ
      ආශා ගඟුල් යා වුණා //

      කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
      මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
      ආශා විශාලයි ඉවසීම හීනයි
      දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ

      රෑ තාරකාවෝ බැලුවා එබී...

      හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
      ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
      හදවත කොනේ මා කඳුලක් තියෙනවා
      කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ

      රෑ තාරකාවෝ බැලුවා එබී...

      මෙන්න රෑ තාරකාවෝ බැලුවා එබී


      ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන/ ජැක්සන් ඇන්ටනි / ජෝජ් සේනානායක

      Delete
    2. දේවතාවන් සිතන දේවල්
      දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
      හිරු රැසින් හැම පිණිබිඳක් වත්
      දිලිසි දිලිසි අවදි වෙන්නෑ

      දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
      දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්
      රඟන රැඟුමක් දෝ

      දඟකාර සමනල් අවදියේ අපි
      ඉගිලුනේ අපේක්ෂාවන් කරා
      පිණි සුළගේ දැවටෙමින්
      කාන්සියට ගී ගැයුවා
      අපේ ගී ඇසුනේ අපට පමණයි

      දේවතාවන් සිතන දේවල්
      දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
      හිරු රැසින් හැම පිණිබිඳක් වත්
      දිලිසි දිලිසි අවදි වෙන්නෑ

      දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
      දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්
      රඟන රැඟුමක් දෝ

      Suseema teledrama song

      ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

      Delete
    3. මමත් ඒ ලෙසම ඒ ප්‍රාර්ථනාව කරනවා...ඒ කතාව එච්චරටම සංවේදී කතාවක්...මමත් කැමති චරිතයක් සුරේන්ද්‍ර මහත්මයා..ඔහුගේ පෙනුම තුළ පවා තාත්තෙක් ජීවත් වුණා කියලා මට හිතෙනවා..ඒ නිසාමද මංදා චරිතයට ඉන් ලැබුණු එළියක් තියෙනවා...

      සුසීමා...අන්න සිංදු!:) ඒ සිංදු සෙට් එක තාමත් ජනප්‍රියයිනේ...පොඩිකමට මාත් ආසවෙන් බැලූ නාට්‍යයක්...

      හිමගිරි අරණ ඇත්ත කතාවක් කියලා අදයි දැනගත්තේ..ඒක හරි භයානක සහ සංවේදී කතාවක්...විලී මහත්තයා කිව්වේ සිරිල් ධර්මවර්ධනද? මට මතක නෑ කවුද කියලා අරූ අයියගේ මචං...:(

      අනිවාර්යෙන්ම...ලක්ෂ්මන් විජේසේකරගේ හඬේ හරි තැන්පත් රොමෑන්ටික් ගතියක් තියෙනවා කියලා මට හිතෙනවා..මම ඒ හඬට ආසයි..:)

      //තනිතරුවගේ මේ පෝස්ට් එක ඇතුලේ මම කිමිදුනා. හරිම රසවත් මතකයක්. මට ඒ නිසා කිසි වැඩක් කරගන්න බැරිවුනා //

      අරූ අයියේ බොහොම ස්තූතියි සහ මට හුඟක් සතුටුයි එහෙම රස මතක ගේන්න පුළුවන් වුණාට...:) :) අද එහෙනම් කණ පිරෙන්න අහගතහැකි වේවී නේද? එහෙම වුණොත් අක්කාටත් දෙන්න කියවන්න...අපිට අමතක වෙච්ච තව දේවල් එයාට මතක් වේවි නේ..:D

      Delete
    4. සින්දු ඇනෝ සුපිරි! තැන්කු තැන්කූ..!! :D

      Delete
    5. සින්දු,අරූ අයිය කියන්නෙ ඔය රෑ තාරකවො ගැන නෙමෙයි.ඕක ක්ලැරන්ස් තනියම කියන්නෙ.අරූ අයිය කියන එක තමයි මේ.ඒත් ඔක්කොම පද මතක නෑ.පුලුවන්නම් හොයා ගන දාපන්
      රෑ.....රෑ තාරකවො.......
      ---------------------------
      බෑ....අදහන්න බෑ....
      -----------------------
      (කියන්න හැදුවට මතක නෑලු ඉතින්.හොයල දාපන්ලු ඉතින්)

      Delete
    6. රෑ රෑ තාරකාවෝ
      මුමුණා කියයි
      දිලි දිලි යලි

      බෑ අදහන්න බෑ
      ඒ කී කතා
      ඇසුවද ප්‍රියේ

      ලංවී දෙනෙත් මිතුරු කියනා කතා
      රහසේ හෙමින් සවන වැකෙනා කතා
      දෑසේ වේලි කියන හදබැඳි කතා
      කාටද ඇසෙන්නේ ඉතින්...


      මතක ඔච්චරයි!! මේ සින්දුවේ ඕගන් එකෙන් මාර ඉෆෙක්ට් එකක් අරගෙන තිබ්බ. මම මියුසික් දන්නේ නැහැ, ඒ හින්ද මොකද්ද කියන්න හරියටම දන්නේ නෑ

      Delete
    7. රෑ....රෑ තාරුකාවෝ මුමුනා කියයි
      දිලි දිලි යලි......
      බෑ....අදහන්න බෑ ඒ කී කතා 
      ඇසුවද ප්‍රියේ.......

      ලන් වී දෙනෙත් මිතුරු කියනා කතා
      රහසේ හෙමින් සවන වැකෙනා කතා......
      දෑතේ වෙලී කියන හද බැදි කතා
      කාටද ඇසෙන්නේ ඉතින්

      රෑ....රෑ තාරුකාවෝ

      රඟන රැගුමන් ගයන ගී
      බලන බැල්මන් නෙත් කොනින්
      කියන කරන දේ බලන සොයන දේ
      සුදුද කලුද එය හොදද නරකදැයි කියලා.....

      ගායනය : ක්ලැර්න්ස් විජේවර්ධන සහ ජැක්සන් ඇන්තනී

      Delete
  20. ///////එහෙම වුණොත් අක්කාටත් දෙන්න කියවන්න...අපිට අමතක වෙච්ච තව දේවල් එයාට මතක් වේවි නේ..:D/////////

    ආපු ගමන් මේක පෙන්නලා ෂේප් වුනා : D ගම කනවා කියන්නේ එයා වරු ගානක් මේකේ තියෙන නාට්ටි හොය හොය බලන්න පටන් ගත්තනේ. ඔයාත් දාන ලෙඩ. ඒක හොඳයි. අලුත් මෙතඩ් එකක් හම්බවුනා මට. පරන ටෙලියක් හොයලා දීලා මට පාඩුවේ අඩියක් ගහගෙන රෑ වෙනකම් ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හා හා..ඔය තියෙන්නේ සම්‍යක්ප්‍රයෝග! :D
      අරූ අයියට එහෙනම් අද රෑ පාටි ඈ? :P

      Delete
    2. තරූ,සිරාවටම සුපිරි පෝස්ට් එකක්.ගොඩ දෙනෙක් කියවල අදහස් දැක්වීමෙන්ම ඒක පේනවනෙ.ඒ අතීතයට කට්ටිය කොච්චර කැමතිද කියල දැක්කද?ඒත් මට පේන විදිහට ඒක සතුටු වෙන්න දෙයක්නම් නෙමෙයි.ඒකෙන් පේන්නෙ දැන් තියන ටෙලි වල සුපිරි බව තමයි.තවත් මතක පොත අවුස්සන්න සමත් ලිපි ලිවීමට ධෛර්ය ලැබෙත්වා

      Delete
    3. කටුසු බොහොම ස්තූතියි..! :)
      අවංකවම කියනවා නම් මෙච්චර කල් ලිව්වට මගේ පෝස්ටුවක මෙහෙම සංවාදයක් ගොඩ නැගිච්ච ප්‍රථම වතාව වෙන්න ඕන මේ...ඒ ගැන හුඟක් සතුටුයි..ඒ වගේම අපි වගේ අතීතකාමයෙන් පෙලෙන හුඟ දෙනෙක් ඉන්න බව දැනගත්තම ඊටත් වඩා සතුටුයි...මතක පොතේ තව ලියන්න දේ තියෙනවා...බලමු හිමිහිමීට ලියන්න...අගය කිරීමත් දිරිදීමත් දෙකටම බොහොම පින්! :)

      Delete
  21. පොස්ට් එක කියවල ටිකකට අතීතෙට ගියා..... සතියකට දවසක් තියෙන නාට්ටිය බලන්න ගමේම තියන එකම රූපවාහිනිය වටේ එකතුවෙන ගමේ පිරිස කොයිතරම් එකමුතුව ඒ නාට්‍ය නැරඹුවද..... අද අල්ලපු ගෙදර ඉන්න මිනිස්සු අඳුනන්නේ නැතිතරම් සම්භන්ධතා දුරස් වෙලා..... ලා හිරු දහසක්, මැණික් නදිය ගලාබසී ,.. කෝපි කඩේ , පොද වැස්ස , ,,වගේ නාට්‍ය කොයිතරම් මනුස්ස ජීවිත ස්පර්ශ කරාද ඒ කාලේ........අද දවසගානේ නාට්ටි පෙන්නලත් එදා සතියකට සතියකට වරක් ගිය නාට්‍යක තිබ්බ ජනප්‍රියත්වය ගන්න පුළුවන් වෙලාද?????????

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩයාව සාදරයෙන් පිළිගන්නවා තනිතරුවට.
      ඒක ඇත්ත.ඒ කාලේ මිනිස් ජීවිත සරලයි සුන්දරයි මානුෂීයයි මීට වඩා..මම ඒ කාලේට හරිම පෙරේතයි..

      Delete
    2. අපිට කවදාවත් ඒ මතකයන්ගෙන් මිදෙන්න බැරිවෙයි.. අපි තව වයසට යද්දිත් අද ගතවෙන වර්තමානයට වඩා ලොකු ඉඩක් ආත්මය ඇතුලේ ඒ සුන්දර ඈත අතීත මතකයන්ට තියේවි කියල මට හිතෙනවා..

      Delete
  22. කියල වැඩක් නැ.මේ වගේ තව අලුත් විචාරයක් දාන්න.ජයන්ත චන්ද්‍රසිරි,අශෝක හදාගම වගේ අයත් සිංහල නාට්‍යට ලොකු දායකත්වයක් දුන්න.

    ReplyDelete
  23. කාට හරි මතකද ප්‍රමාද වැඩී එකේ කතාව.

    ආදර සීනුව පෙම් ලොව දොර ලඟ

    සින්දුව තිබ්බෙ ඒකෙ නේද

    ReplyDelete