Sunday, August 21, 2022

බුදුන්ගේ අමා ධර්මේ

රෑ අටට බස් එකකට නැග්ගම සාමාන්‍යයෙන් දකින්න පුළුවන් මොනවද? හැම මනුස්සයෙක්ම වගේ විඩාපත් වෙලා ගෙදර යාගන්නෙ කොයි වෙලේද කියලා ඉන්න හැටි, තවත් සමහරු දහසක් දුක්ඛ දෝමනස්ස මෙනෙහි කරකර බලාගත් අත බලං යන හැටි, සමහරු නොනවත්වා ජංගමයා එක්ක ඔට්ටු වෙන හැටි, සමහරු නිදි කිරන හැටි. මේ බස් එකේ ඊට අමතරව සුමිහිරි ගායනයක් ඇහෙනවා, හැබැයි කව්රුවත් හිටගෙනත් නැහැ. "මේ නොනිමෙන දිවි ගමනේ" ගයනවා පුදුම මිහිරට. බලද්දි වාඩිවෙලා යන මගියෙක්. ටිකක් වයසයි. ගෙදර යනගමන් අනුමත වෙච්චි ගතියකුත් ලාවට පේනවා. හැබැයි ගායනාව සුපිරි!😍👌

කව්රුවත් දිහා බලන්නෙවත් නැතිව ඉස්සරහා බලං තනියම සිංදු කියකියා යනවා මේ මනුස්සයා. මොකද්ද ලොකු පාර්සලයකුත් අතේ තියාගෙන. හැබැයි තව සගයො කීපදෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අන්කල් හිටිය ආසනේට සමාන්තර ආසනේ වාසනාවට වගේ මට වාඩිවෙන්න ලැබුණා. එතකොට 'මේ නොනිමෙන දිවි ගමනේ' අවසන් කරලා 'බුදුන්ගේ අමා ධර්මේ'ට ඇවිත් තිබුණේ. පුදුම මිහිරියි කියන්නේ බෙග් මාස්ටර්ට ළංවෙන්න පුළුවන් මට්ටමටම මිහිරට කියනවා. ඕක වැඩිපුරම ඇහෙන්නේ වෙසක් කාලේට, දන්සැල් කාලේට වුණාට මං බෙග් මාස්ටර්ගේ ගීතවලින් ආසම එකක් ඒ. ඒක හොඳට, කලබල නැති තැනක ඉඳන් ඇහුවොත් මොකද්දෝ මහ අමුතු හැඟීමක් එනවා.
කපුගේ "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ" කියනකොට වඩා, බෙග් මාස්ටර්:

බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලිලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාවේ.. //
බුදුන්ගේ අමා ධර්මේ..

මලේහි වසා බඹරා උරා රොන් ගනීවී
එයින් ඌ පලා ගියදා මැරී මල් හැලේවී
මෙසේ ලෝක න්‍යායේ... //
ලෙසින් වේය පාපේ
වෙලිලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාවේ..

අස්ථිර වේ ජීවේ තණ අගේ පිණි සේ
ස්ථිර නෑ ලෝකේ ළඟාවේ විනාසේ
සොයාලා බැලූවෝතින්.. //
පෙනේ මේ මනාසේ
වෙලිලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාවේ..

කියද්දි ඒක මාර විදිහට දැනෙනවා. මෙලඩි එක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ අලුතින්. අර අන්කල් ඕකේ 'මෙසේ ලෝක න්‍යායේ..'  කියලා හැඩ කරන තැන එහෙම ඒ විදියටම කිව්වා😍👌 මාරම ලස්සනයි. ඒත් සිංදුව ඉවර කරන්න කලින් මේ මනුස්සයා කලබලෙන් බැහැලා ගියානේ. අපරාදේ!

සමහර නොහිතන පුංචි සිද්ධිවලට පුළුවන් තව කෙනෙකුට ලොකු සතුටක් දනවන්න. ඒවා අණබෙර ගහමින් කළ යුතු නෑ. සවන සැනසීමත් හිත සැනසීමේම කොටසක්. එහෙම බැලුවම ඒ අන්කල් නොහිතා කරලා තියෙන්නෙත් පිනක්! ❤️
අන්කල් ආයෙත් දවසක ඔහොම මිහිරට ගයමින් යන බස් එකකට ගොඩ වෙන්න මට වාසනාවක් තියේවි කියලා හිතනවා😇
ඒ නන්නාඳුනන අන්කල්ට තවතවත් මිහිරට ගයන්න හැකියාව, ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. 💐

~✒️Aash Weerasinghe

#AW #thaniya #medusa #thanitharuwa #medusasjournal

https://youtu.be/HilHUE6hZbM



2 comments:

  1. ela...ela post..ඒ නන්නාඳුනන අන්කල්ට තවතවත් මිහිරට ගයන්න හැකියාව, ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete