"මට ඕන ඔයාව අඳුනගන්න"
අහලා පුරුදු කතාවක් වෙනස් කටහඬකින් ඇහුණම ඒකේ ස්වර උච්ඡාවචනයවීමයි අර්ථ විවරණයයි විශ්ලේෂණය කරන්න මගේ මනස එරමිණියා ගොතාගෙන වාඩිවුණේ කොන්දට සැප කොට්ටයක් හේත්තු කරවගෙන ලකලෑස්ති වෙලා.
"ඉතින් ඔයා මාව අඳුනනවනේ" කටට ආපු සරදම් හිනාව බීම වීදුරුවෙන් මුවා කරගෙන පුළුවන් තරම් සාමාන්‍ය විදිහට කිව්වේ අනුන්ගේ පව් තවකෙක් පිටින් යවන්න අවශ්‍ය නෑ කියලා හිතුණ හින්දා.
"ඔව් අඳුනනවා. ඒත් ඊට වඩා ඔයා ගැන දැනගන්න මං කැමතියි"
ඉංග්‍රීසියෙන් ආදරේ කරාම දැනෙන්නේ නෑ කියලා එකඟතාවක හිටිය, අමතක කරලා දැම්ම අතීත කතාවක් නාලාගිරි වේගෙන් ඔලුවට කඩාවැදුණා. ඔව් ඒක ඇත්ත තමයි. සම්බන්ධතාවකදී ඉංග්‍රීසිය භාවිතා කරන්නේ මම පුද්ගලයන්ව අතේ දුරින් තියාගන්නකොට, ඒත් නැත්නම් තරහක් පිටකරනකොට කියලා සමහරු තේරුම් අරගත්ත තැනුත් තිබ්බා. සමහර දේවල් ඉංග්‍රීසියෙන් කිව්වම දැනෙනවා, සමහර දේවල් නෑ. ආදරේ නම් තමන්ගේ භාෂාවෙන් අහන එක තමා සුන්දර. ඒවුණාට මේ කතන්දරේ මව් භාෂාවෙන් නොවෙන එක හොඳයි, ඇලෙන්න තියෙන ඉඩ අඩු කරගන්න එකනේ අරමුණ.
"වචන හැමෝටම දෙන්න පුළුවන්, වඩා වැදගත් ක්‍රියාවනෙ" කියලා කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් මගෙ කටින් පැන්නා නොහිතාම. ඒ වෙලාවේ මට අනිකව පෙනුණත් මගෙ බැල්ම අරමුණක් නැතිව වෙන කොහෙද මාත් නොදන්නා තැනක තිබ්බේ. ඒත් අනිකා පුදුමයෙන් වගේ මා දිහා බැලුවා මිසක් ඒ කතාව දිගේ නොයා එයාගේ අතීත කතන්දරයක් කියන්න පටන් ගත්තා. අනිවාර්යයෙන්ම අර පළවෙනි කතාව වගේ මගේ අනිච්ඡානුග උත්තරෙත් එයත් ඕනෑතරම් අහලා ඇති.
ඒක ලස්සන අවන්හලක්. මුහුදේ හඬයි අවන්හලේ සංගීතේ හඬයි ද්වන්ධ සටනක ඉන්න අතරේ වුණත් මම නිශ්ශබ්දව ඔහුගේ නොස්ටැල්ජියාව අවදිකිරීම අහන් හිටියා. මිනිස්සු තමන් ආස දේ,තමන්ට වටිනා දේ ගැන කතා කරද්දි ඒ දිහා බලං ඉන්න එක වෙනමම මොකද්දෝ එකක්. සාමාන්‍යයෙන් බැරෑරුම් මුහුණින් ඉන්න මනුස්සයෙක් දිලිසෙන ඇස්වලින් හිනා වපුර වපුර පරණ ප්‍රේම කතාවක් කියද්දි අවුරුදු විස්සක් ආපස්සට ගිහින් අහිංසක සතුටක් ලබන ඒ ජීවියගෙ කණෙන් ඇදලා වර්තමානයට ගන්න තරම් ලොකු ආකර්ෂණයක් තාම ඇතිවෙලා නැති හින්දා සාමාන්‍යයෙන් ආදරේදී එන මගේ ඉරිසියාව ලා හිනාවක් ඇඳගෙන ආඩම්බර ලාලිත්‍යයෙන් පැත්තකට වුණා. මගෙන් කතන්දර බලාපොරොත්තු වෙන්නට ඇති නමුත් ඒකට ඉල්ලීමක්වත්, බලකිරීමක්වත් නොකෙරුණ හින්දා මාත් නිශ්ශබ්දව හිටියා. මගේ වාරේ ආවහම අවුරුදු ගාණක් පුරුදු පුහුණු කළ වඩා ආරක්ෂිත පියවරට කතාව හරවාගන්න හැටිත් මම දන්නවානේ.
පුරුෂ ඇස්වල ආලෝක පුංජයන් දුවන හැටි නටන හැටි නොදැක නැතිවුණත් මේ මනුස්සයා ගැන නම් මට පුදුම නොවී ඉන්න බැරිවුණා. ප්‍රේමයෙන් උණුවෙලා වැගිරෙන මිනිස්සු වගේම ඔය ඇස්වල දුවන නානාප්‍රකාර තොරණ් ගණන් නොගෙන නොදැක්කා නොදැනුණා වගේ ඉඳීමේ "ලාදුරු කලාව" ප්‍රගුණ කරපු කෙනෙක් පුදුමයට පත්වීම කියන පුදුමය ඔඩුදුවන්න කලින් නතර කරගෙන මම කදිමට ලුණු තවරපු නිවිති කොළයක් ගෑරුප්පුවෙ ඔතාගත්තා.
"ඔයා වැඩිය කතා කරන්නේ නෑ නේද?"
"නෑනේ.."
"හ්ම්ම්.. ඒක තමයි."
ඒකත් මේ විශ්වයේ කීවතාවක් නම් ගෑණු මිනිස්සු අතර ඇතිවෙලා ඇති දෙබසක්ද කියලා ආයෙමත් හිනාවක් මතුවේගෙන ආවත් මෙච්චර දුකක් විඳලා ලස්සන හැන්ඳෑවක කතාබහක් කරන්නට කරපු ආරාධනාවට ඒ වගේ අවිනීතකමක් කරන්න තරම්ම මගේ හිත නරක්වෙලා තිබ්බේ නැති බව මම මටම මතක් කරගත්තා.
ටික වෙලාවකින් ඉබේම මම මගේ ආරක්ෂිත පියවරට සංවාදය හරවාගෙන තිබ්බ නිසා ඒ වෙද්දි දෙන්නම හරිහරියට ව්‍යාපාරික සංවාදයක් පටන් අරගෙන ඒ අතරම කෑමත් ඉවර කරලා තිබ්බේ. සෙනගත් තුනීවෙමින් සංගීතයත් ටිකක් තුනීවෙමින් තිබුණු හින්දා පේන මානේ මුහුද විතරක් ජයග්‍රහණය සමරමින් හිටියා.
"මං ආසයි මුහුදට, වෙරළට, බහින ඉරට" අනිකා කිව්වේ සපත්තු දෙක ගලවලා පුටුව යටින් තියන ගමන්.
මාත් කැමතිම වුණත් 'මාත්' කියන උත්තරේ කටින් එළියට නෑවිත් ආඩම්බරකමට මුලුගැන්නිලා හිනාවක් විතරක් එළියට තල්ලු කළා.
කිසිම සංවාදයක් නැතුවම අවන්හලේ ලී වැට හරියෙන්ම මුහුද පැත්තට හිටගත්තමයි ඒ වෙරළ තීරයේ ලස්සන පේන්නේ. නානාප්‍රකාර කහපාට විදුලි සැරසිලි පෙළක් තිබිලත් මුහුද තිබ්බේ අඳුරක. ලාවට සුදු පාට රළ විතරක් පේන තරම් අඳුරක. ඒත් වෙරළේ පිළිම දෙකක් වගේ හිටගෙන හිටිය අපිට උඩින් හඳ මුදුන් වෙලා, වටකුරුවට පායලා තිබ්බ හඳ වටේ විශාල රැස් වළල්ලක් ඇතිවෙලා තිබ්බේ. ඒක ඇත්තටම හරිම ලස්සනයි.
ඒ මොහොතේ හඳ එළියෙන් නෑවෙමින් පිළිම දෙකක් වගේ හිටගෙන මුහුද දිහා බලා ඉන්න ගැහැණියෙකුයි පිරිමියෙකුයි කොච්චර ප්‍රේමාන්විත, රෝමාන්තික දර්ශනයක් මවනවා වෙන්න පුළුවන් ද. එහෙම දෙයක් මම දැක්කා නම් අර අවන්හලේ පොල් අතු හෙවිලි කළ මේසෙකට වෙලා කවි කීයක් නම් ලියන්න තිබ්බද මෙලහකට.. අපරාදේ මං මේ ඉන්නේ ඉන්න ඕන තැන නෙවෙයිනෙ..
සාමාන්‍යයෙන් හැඟීම් දැනීම් තියෙන, වැරදි වැරදි හරි තවම ලබ්-ඩබ් ගාන හෘදය වස්තුවක් තියෙන මනුස්සයෙක් හැටියට මේ තියෙන සුන්දරත්වය නිසා හරි කවි කීයක් ලියවෙන්න තිබ්බද?..ඒත් ඒ ඔක්කොම නිකං ගල් ගැහිලා ගිහින් වගේ. හිතයි හදවතයි වෙන්කරන සන්ධියෙ මොකද්දෝ ලොකු ගුලියක් හිරවෙලා වගේ හිතත් වැඩ නොකරන හදවතත් වැඩ නොකරන මෙලෝ රෝමාන්තික ගතියක් නොදැනෙන ලෝකෙක හඳ එළියෙන් නෑවෙන ගෑණු ප්‍රතිමාව හිටියේ. පිරිමි ප්‍රතිමාව නං හඳ තරමටම ලස්සන ආලෝක කිරණ ඇස්වලින් නිකුත් කරනවා ගෑණු ප්‍රතිමාව නොදැක්කා නොවෙයි, නොදැක්කා වගේ හිටියා.
ඒ ඔක්කොම පැත්තක තියලා මං ආයෙත් සඳරැස් වළල්ල බලන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් තරුවලට පුදුමාකාර ආස මම මේතරම් ලස්සන සඳරැස් වළල්ලක් නම් දැක්කේ එවෙලේ තමයි.
බෙල්ල කැඩෙන්න තරම් නවාගෙන අහස බලන මාව දැක්කම අනිකාට හිනාගියා.
"ලස්සනයි නේද? දැක්කද අර රැස් වළල්ල?"
"හ්ම්ම්..ඔව්, ලස්සනයි"
"ආ.. මම ආසයි පින්තූර ගන්න" මම එකසැරේම බොහොම කලබලයෙන් කියලා දැම්මා. ඒ අර මාව අඳුනගන්න තරම් දෙයක් මම තාම කිව්වේ නෑ නේද කියන කල්පනාව හින්දා වෙන්න ඇති කියලා මං හිතන්නේ අනිකාටත් තේරෙන්න ඇති.
"ඉතින් දැනුත් ගන්න පිංතූර.. "
" නෑ.. කොච්චර පිංතූර ගත්තත් පියවි ඇහැට පේන හඳේවත් තරුවලවත් ලස්සන ඒ විදියටම පිංතූරවලට ගන්න බෑ.." මහ ලොකු කැමරාකරණ පිකාසෝ කෙනෙක් වගේ මම උත්තර දුන්නා.
අනිකා ඉස්ඉස්සෙල්ලාම ගෑණු ළමයෙක්ට කතා කරන්න ආව නවයෞවනයෙක් වගේ ලැජ්ජාවෙන් හිනාවෙවී මුහුදු වැලිවලට පයින් ගගහා මගේ කතාවට හූමිටි තිබ්බා. මාත් දිගටම හඳේ හැඩ බැලුවා. එතකොට තමයි අහන්න ඕනම කතාවක් මතක් වුණේ.
" ඇයි ඔයාට මට කතා කරන්න හිතුණේ?"
"දන්නේ නෑ. මට හිතුණා කතා කරලා බලනවා කියලා අපිට ඉදිරි ගමනක් තියෙනවද කියලා."
"ඇයි ඉතින් මම? මට නං ඒකට හේතුවක් පේන්නේ නෑ" සාමාන්‍යයෙන් ගෑණු එහෙම කතා කියන්නේ තමන්ට ආස උත්තරේ අනිකගෙන් අහන්න වුණත් මම ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ ඇහුවෙ නම් ඇත්තටම. පරණ කළකිරීමුත් අඳුරු මුහුදු මායිමේ පෙනීනොපෙනී යමින් තිබ්බා වගේ දැනුණ හින්දා. කොහොමටත් මොන උත්තරේ ආවත් මේ ගල් ගැහුණු හෘදය දියකරන්න ආයෙත් ඉතින් පුලුවන් වෙන සමතෙක් ඉන්න බෑ.
"හ්ම්ම්.. ඇයි ඔයා.. ඒක මම තාම දන්නේ නෑ. ඒකනේ ඔයාව අඳුනගන්න හදන්නේ. ඔයාට ආකර්ෂණයක් තියෙනවා. ඔයාගෙ පෞර්ෂයයට මම කැමතියි. ඔයා ලස්සනයි. හැබැයි ඒක හින්දමයි කියලා කියන්න මම කැමති නෑ. ජීවිත කාලෙම ඉන්න කෙනෙක් ගැන එච්චර ලේසියට තීරණය කරන්න බෑ.."
කපටි උත්තරයක් වගේ එකක් ආවා නේද කියලා මම හිතෙන් හිනාවෙන්න පටන්ගත්තා. ඒත් මූණෙන් හිනාවක් පළ නොකර බැරෑරුම් බැල්මෙන්ම හිටියා.
" හදිස්සියක් නෑ. අපි අපේ සංවාදය සාමාන්‍ය විදිහට පවත්වාගෙන ගිහින් බලමු වෙනසක් වේවිද කියලා.. වෙනසක් වුණොත් ඒක මගේ වාසනාවක්.. නැත්නම් ඉතින් සාමාන්‍ය විදිහටම යාලුකමක් තියෙයි.."
"හ්ම්ම්..."
මගේ ඔලුව ඇතුලේ එහෙම අදහසක් නැතිබව නොදන්නා අනිකාගේ සුබවාදී ආකල්පයට අගෞරවයක් නොකර ඉන්න තරම් පරිණතකමක් කාලය ලබාදීලා තිබීම කොච්චර නම් හොඳ ද කියලා ඒවෙලාවෙ නම් මට හිතුණේ ඇත්තටම. කාලය මොනවා කරාවිද කියලා අපි දන්නේ නෑ නේද කියන පුදුමය ඕනෑතරම් අත්විඳලා තියෙන හින්දා මම නිශ්ශබ්ද වුණා.
"අපි ආයෙත් දවසක මුණගැහෙනවනේ?"
"බලමු.."
අනිකා සුන්දර හිනාවක් ඉහලා රේල්පාරෙන් එතෙර වෙන්න අත පෑවා.
~තනියා
✒️ Aash Weerasinghe
#AW #thaniya #medusasjournal