Saturday, September 28, 2024

ප්‍රශස්ති වන්නම

චාටුව සහ ප්‍රශංසාව එකම කාසියක දෙපැත්තකි. ශ්‍රී ලාංකිකයා ඔවුන්ගේ පසුබිම සහ ඇති හැකි බව අතින් කොයි තලයක සිටියද ප්‍රශංසාවට ප්‍රියය, චාටුවට ගිජුය. 

ධනය සහ බලය එක්වූ තැන චාටුව සහ ප්‍රශංසාව අතරවන සියුම් බෙදුම් රේඛාව බොඳවෙයි, එය හඳුනාගැනීමේ විචාර බුද්ධිය සැඟවෙයි.
ඔබට ධනයද බලයද ඇත්නම් වාසි ලාභ ප්‍රයෝජන තකා ඔබ වටකරගන්නට බලාසිටින චාටුකාරයො බොහෝය. 'අපිව අන්දන්නත් බෑ, තම්බන්නත් බෑ' කියනා උගත් බුද්ධිමතුන්ද පණ්ඩිතයන් ද හැඩට අන්දවන්නට චාටුකාරයන්ට හැකිය. උන් තමන්ට කර ඇති බව දැනගන්න හැකිවන්නෙ බොහෝ ප්‍රමාද වූ පසු වෙන්නටත් පුළුවන් ය.

ලංකා ඉතිහාසයේ සිටම ප්‍රශස්ති ගායනා කිරීම ජයටම කෙරුණු වැඩක්ය. වන්දිභට්ටයො පරපුරෙන් පරපුරට තම හැකියාව වැඩිදියුණු කරගන්නවා මිස අනික්වා මෙන් මොට කරගෙන නැති බව ඔබ වටා සිටින්නන් දෙස වඩා විමසිල්ලෙන් බැලූ විට පෙනෙනු ඇත. ඔබට ධනයද කිසියම්මාකාර වූ බලයක් හෝ තාන්නමාන්නයක් හෝ ඇත්නම් ඔබ හැලි වඳුරෙකු වුවද ඔබට 'අනෙ ශ්වීට් ගර්ල්, යු ආ සෝ හොට්, හායි හැන්සම්, අනේ අපේ සර්/ අපේ මැඩම්, අයියෝ සර් වෙනුවෙන් මැරෙන්න වුණත් ඉන්නවා, මැඩම් වෙනුවෙන් ඕන දෙයක් කරනවා' යනාදිය අසන්නට ලැබෙනවාය. ඔබගෙ පා දෝවනයට ද, වෙනත් ඕනෑම අවශ්‍යතාවක් පිරිමැසීමටද සට්ටෑඹියන් බොහෝ බව ඔබට පෙනෙනු ඇති නමුත් බොහෝවිට ඔවුන්ගේ ප්‍රශස්ති ගායනාවන්ගෙන් ඔද තෙද වැඩී, පපුව පිම්බී, පොර මානසිකත්වයෙ පරතෙරට ගොස් සිටින මොහොතක නම් මේවා තේරුම් ගැනීම දුෂ්කර ක්‍රියාවක් වනු ඇතිය.

අනේකවිධ චාටු, වර්ණනා, ප්‍රශංසාවෙන් පිරි ලංකාවේ රජවරු සහ පසුකාලීනව දේශපාලකයන් ප්‍රශස්ති වන්නමේ ප්‍රබලතම ගොදුරුය. අවසාන සිංහල රජු වූ මහනුවර රාජධානියේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1707 - 1739) රජුට ගැයුණු මේ ගීය ප්‍රසිද්ධ ඒවායෙන් එකක් ය.

වරමාති සුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිංහ නෘපතේ

භෝජරාජ සම තේජභිරාමා
ත්‍යාජකාම රණ භූෂණ සෝමා
වාජිත කුල ධෘති වන්නභිරාමා
නරේන්ද්‍රසිහ නරනායක භූමා

දුජ්ජන දුෂ්ට විභජ්ජන කෝපා
සජ්ජන සත්ත සුරක්ෂ මනාපා
වජ්ජිත රිෂ්ටා වද්‍ය සුපාපා
අජ්ජුන භූභුජ ශ්‍රීධර චාපා..

(අකුරු අඩුපාඩු තිබිය හැකිය)

එතැනින් නොනැවතී ප්‍රශස්ති ගී අද වනතුරුද ගැයෙයි. ඒ කාලේය මේ කාලෙය කියා වෙනසක් නැත. 

මෑත කාලීනව ප්‍රශස්ති ගායනා නිසා අවලාදයට, නින්දාවට, ගැරහුමට ලක්වූ ප්‍රබලයෙකි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. 
එදා ඒ හෙලා දැකි අවශේෂ ජනයාද දැන් ඒ මගම යන්නේ දෛවයේ සරදමක් ලෙස වාගේය.
රාජාවලියද ඉතිහාසයද අවඥාවෙන් බැහැර කරනවුන්ට පවා වන්දිභට්ටයන්ගෙන් ගැලවීමක් නැත. 
සැක නම් නව පාලනයේ පෙරගමන්කාර මාධ්‍යකරුවන්ද අනුගාමිකයන්ද දෙස බලන්න.

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka #politics

Thursday, September 26, 2024

ටුකුවක ධර්ම සංවාද

අපි සමහර වෙලාවට නොහිතන මිනිස්සු නොහිතන වෙලාවල විවෘත වෙනවා. සමහරවිට නන්නාඳුනන කෙනෙකුට තමන්ගෙ සිතුවිලි හරි ප්‍රශ්නයක් හරි කීම වඩා හොඳයි කියන හැඟීමෙන් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මොකක් හරි විශ්වාසයක කම්පන තරංගයක් අල්ලා ගන්න හින්දා වෙන්නත් පුළුවන්. වාසි ප්‍රයෝජනයක් බලාගෙන කතා කිරීමකට වඩා මගෙ අත්දැකීම මිනිස්සු ඇහුම්කන්දෙන්නෙක් ඉස්සරහ තමන්ගෙ හිත නිදහස් කරගන්න උත්සහ කරනවා කියන එක. ලියනවා නම් පොතක් ලියන්න තරම් එහෙම අත්දැකීම් තියෙනවා.

ඊයේ ලඟ ගමනකට ටුකුවකට ගොඩ වැදුනෙ සුපුරුදු ඌබර් කාඩ් ද කෑෂ් ද ප්‍රශ්නෙ අනුව එකක් ප්‍රතික්ෂේප කළාට පස්සෙ. ඊළඟ රියැදුරු මහත්මයා ඒ ගැන ප්‍රශ්න නොකළත් මගෙ යුතුකමට ටුකුවට ගොඩ වෙද්දිම මම කිව්වා කාඩ් කියලා. 'ආ කමක් නෑ මිස්' කියලා හිනාවෙන් පිළිඅරන් මට පැහැදිලි කිරීමකුත් කළා කාඩ් සහ කෑෂ් අතර වෙනසක් නැතිකමත් රියැදුරන්ගෙ තියෙන අනවබෝධය සහ අනෙක් ප්‍රායෝගික ප්‍රශ්න ගැනත්. ඒක නෙවෙයි වැදගත් කතාව.

සාරාංශ කළාම මේ මනුස්සයගෙ කතාවෙ අන්තිම ටිකයි වැදගත්. 
"අපි ජීවත්වෙන කාලය සීමිතයිනෙ මිස්, ඒ ටිකෙ හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන. ඕනෑම දෙයක් ලොකුවට හිතෙන් අල්ලගත්තමනෙ දුක වැඩි. උදහරණෙකට ආදරේ වැඩිවුණාම දුක වැඩිවෙනවා. මොකද ආදරේ හින්දනෙ ඒ කෙනා කරන කියන දේකින් හිත රිදෙන්නෙ. තමන්ට පුලුවන් දේ ඒ සීමාවෙ ඉඳන් තමයි කරන්න ඕන. කෙනෙකුට හානියක් හිත්  රිදීමක් නොකරන තරමට තමන්ගෙ හිත සැහැල්ලුයි. ගෙයක් හැදුවත් මට පුලුවන් පර්චස් 6ක ගෙයක් හදන්න නම් මම පර්චස් 10-12කට අමාරුවෙන් උත්සහ කරල ස්ට්‍රෙස් වෙන එක තේරුමක් නෑ. බුදුහාමුදුරුවො කිව්ව පන්සිල් පහ රැක්කා නම් ඇති ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් හැටියට හොඳින් ජීවත් වෙන්න. අපි මැරෙනවා කියන එක දවස ගානෙ මෙනෙහි කරන්න ඕනත් නෑ, එතකොට කලකිරෙනවා මිසක් ජීවත් වෙන්න බැරිවෙනවා. මැරෙන බව දැනගෙන ජීවත් වුණාම හරි. අපි මැරිලා ගිහින් වෙන කොහෙ ඉපදෙයිද අපි දන්නෙ නෑනෙ මිස්. හැබැයි අපි ආදරෙ කළ අයට පසුතැවීමක් නැතිවෙන විදියට ජීවත් වුණාම ඉවරයි. උදාහරණෙකට මිස්, මගෙ නෝනා එක්ක මම තරහ වෙලා නින්දට ගිහින් නින්දෙදි මම මැරුණොත්, එයාට කොයිතරම් නම් පසුතැවීමක් ඇතිවෙයිද ජීවිත කාලෙම එයා මට අන්තිමට කිව්ව දේ හරි කරපු දේ හරි ගැන. ඒ වෙලාවෙදි එයාට හිතෙන්නෙ එයා කළ කී දේ වැරදියි කියලා මිසක් මම කළ කී දෙයක් ගැන නෙවෙයි, මනුස්ස ස්වභාවය ඒකයි. මම මැරිලා යන දිහාක යයි, ආයිත් සංසාරෙ එයාව හම්බවෙයිද හම්බුණත් අපි අඳුනගනීද කියලා කියන්න බෑනෙ. ඒක නිසා මිස්, ජීවත් වෙන කාලෙ කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරෙන් ජීවත් වෙන්න ඕන කියලා තමයි මට හිතෙන්නෙ".

මගෙ සුපුරුදු අසන්නාගෙ භූමිකාවෙ ඉඳන් හූමිටි තියමින් ඉඳලා අන්තිමටම මම ඇහුවා වයස කීයද කියලා, මොකද අවුරුදු 35-40ක්වත් කියන්න බැරිතරම් හින්දා. ඔහොම සංවාදයක් මම බලාපොත්තු වුණේවත් නැති හින්දා. අවුරුදු 50යිලු. 🫡 

මේ එදිනෙදා අහම්බෙන් වෙන සංවාදවල හම්බවෙන මිනිස්සු ජීවිතෙ විවිධාකාර අත්දැකීම්වලින් පදම්
වෙච්ච මිනිස්සු. ඇත්තටම එහෙමද නැද්ද කියලා සහතික කරන්න තරම් බරපතලව හිතන්න හේතු නෑ. ඒත් සමහර වෙලාවට මෙහෙම අහම්බෙන් වෙන සංවාදවලට මට පුදුම නොවී ඉන්නත් අමාරුයි. එහෙම අන්දවන්න ලෑස්තිවෙන මිනිස්සු නෑ කියලා කියන්න බෑ තමයි ඒත් බහුතරයක් මිනිස්සු එහෙම කතා කළා කියලා කිසිම වාසි ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නෑ. දවසකට දෙකකට කලින් හිතවතෙක් කිව්වා 'මාව කියවගන්න බෑ, විවෘත වෙන්නෙ නෑ' කියලා. එහෙම කියවගන්න බැරිද නැද්ද මම දන්නෙ නෑ. ඒක එහෙම නම් ඇයි මිනිස්සු හරිම ලේසියෙන් තමන් ගැන විවෘත වෙන්නෙ කියලා මම දන්නෙත් නෑ😁 උපදේශන සේවා කරන්නෙත් නැහැනෙ 😄

මට හිතෙනවා සමහරවිට අපි යම් මොහොතක අහන්න ඕන පණිවිඩයක් අහඹු කතාවල තියෙනවද කියලා. එහෙම හිතලා මම පොදු සමාවක් දුන්නා මෙතෙක් සමාව නොලැබූ හැමෝටම.😋 ගැල බර කරගෙන සංසාරෙ දඟලනවට වඩා ඒක හොඳයිනෙ.😇

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka

පරම රමණීය ලංකා

2024 සැප්තැම්බර් 22

අටලෝ දහමට අනුව දුක-සැප, යස-අයස, නින්දා-ප්‍රශංසා, ලාභ-අලාභ සියලු මනුෂ්‍යයන්ට පොදුයි.
පුද්ගලිකව මම දුක් අඳෝනා, බැරි බැරියා, නාහෙන් ඇඬිලි, පැමිණිලි අසීමාන්තිකව දකින්න, දරන්න, අහන්න කැමති නෑ, දුක මාකට් කිරීම, දුක විකුණාගෙනකෑමට කැමතිත් නැහැ.
ඒත් සහකම්පන සංඛ්‍යාතය වැඩි මනුස්සයෙක් හැටියට කොහෙ ගියත් නාඳුනන මනුස්සයෙක් හරි ප්‍රශ්නයක්, ගැටලුවක් කියන්න එන අත්දැකීම් තියෙනවා. ඒ මගෙ සමාජීය අත්දැකීමනෙ.

දේශපාලනිකව මේ වෙලාවෙ මට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මේ රටේ මාධ්‍ය සහ සමාජය වෙලාගෙන තියෙන ලොකුම දුක් අඳෝනා විලාප වෙන "76 වසරක ශාපය" එක්ක පට්ට ගැහෙන අපිට කරන්න දෙන්නෙ නෑ කියන පැමිණිල්ල අදින් සදහටම අවසන් වෙන එක. ඊලඟට අරූ නිසාය මූ නිසාය යන දෝෂදර්ශන ව්‍යාපාරය අදින් අවසන් වෙන එක. 
ඒක කොච්චර ලොකු සැනසීමක්ද කියනවා නම් අද හවස ඉඳන් සමාජය සහ මාධ්‍යය ධනාත්මක ආකල්පයෙන් සහ සංඛ්‍යාතයෙන් පිරෙනවා දකින්න මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.

වෛරයෙන්, ක්‍රෝධයෙන්, පැමිණිල්ලෙන්, අඳෝනාවෙන්, නාහෙන් ඇඬිල්ලෙන්, අඬෝපැලියාවෙන් මිදුණු පරම රමණීය ශ්‍රී ලංකාවකට උණුසුම් සුභ පැතුම්!

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024

Friday, September 20, 2024

ත්‍රස්තයා ත්‍රස්තයාමය!

යුටෝපියන් හීන බෝල කරලා උඩ දාල හොට උල් කරලා ඒ කටවල් උඩ ඒ ඒ බෝල බැලන්ස් කරලා පෙන්නුවම සමහර උද්ධික පුතාලා හිතන් ඉන්නවා හෙට රෑට ලංකාවේ ටීවී ඉස්සරහා නිදිකිරා වැටිලා ඉරිදට ඇහැරිලා කේතුමතියේ රජ මාලිගයක සිරියහන් ගබඩාවේ දුහුල් තිර මෑත් කරන් සඳළුතලාවලට බැස්සම රත්තරන් ආලේප කොරපු රේන්ජ් රෝවර් එකක්වත් අවම වශයෙන් හැම රටවැසියෙක්ගෙම මිදුලෙ පාක් කොරලා තියෙයි කියලා. 

ඉරිදා ඉඳන් සාමානාත්මතාවය, සමාජ සාධරණත්වය රජවෙලා, ඇති නැති පරතරය සීරෝ වෙලා, සිස්ටම් චේන්ජ් වෙලා යුටෝපියානු ලංකා රාජ්‍යයක් බිහිවෙයි කියලා හෙන ලල් එකක ඔහෙලා හිටියට, එහෙම වුණොත් ඔහෙලයි පක්සෙ න්‍යායාත්මක පදනම එතනම ලොප්නෙ හලෝ! 
ඔහෙලා ආස වුණාට තමන්ගෙ බඩ ගෝස්තරේ නැතිකරගන්න ඔය පක්ෂ නායකත්වය කීයටවත් ලෑස්ති නෑ.

ප්‍රායෝගිකත්වය බිංදුවයි.
ප්‍රශ්න අහන්න බයයි.
හීනවලට ආසයි.
හීන මැරිල්ලක් ගැන කතා කරන්න කලින් බොරු හීන පෙන්නන එක අවබෝධ කරගන්න බෑ.
ඒ වුණාට බුද්ධිමත් ලු.
ආතල් සෙට් එකක් හලෝ ඔහේලා.

මේ ඒක නෙවෙයි.
දැන්ම ඉඳන් ජයග්‍රහණය සමරන ඔහෙලයි නිල නොනිල මාජ්ජවේජියො ටිකයි ටියුබ්කරණ පියා වන සුදත්තයි අරූ රටින් ගියාය, මූ පැනලා ගියාය කියලා විරුද්ධ කඳවුරුවල මිනිස්සු පැනලා යන කතන්දර පැතිරවීමෙන් මේ දෙන්න හදන පණිවිඩය පූර්ව සහ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයකට ඔහෙලා සූදානම් බව ද?
රටම අනුරට දීලා හැකි එකා රට පනින්ට ඕනය කියන එකද ඔහෙලා මේ කියන්නෙ?
බැරි උන් ඔහෙලට රට දීලා දරුපවුල් එක්ක මූදට බහින්නද ඕන?
දැන් ඔහෙලයි කල්ලිය සරණ නොගියපු මං වගේ උන්ට මක් කොරන්නෙයි ඔහේලා හිතා ඉන්නෙ?

ඒකනෙ කියන්නෙ උපන්ගෙයි ත්‍රස්තවාදියො මොන ප්‍රජාතාන්ත්‍රික ප්‍රවාහ මෙට්ටවලට ගෙනාවත් 'තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ' කියලා!

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024 #nppsrilanka #JVPSrilanka

ලංකා මාතා මෙතැනින් පසු...

හෙට තීරණාත්මක දවසකි.

හතරවටින් මුහුදෙන් වටව ඇති නිසාදෝ මන්දා ලංකාවැසියා 'රැල්ල' ප්‍රිය කරයි. ඔවුන් සියල්ල කරන්නෙ රැල්ලටය. රැල්ලෙ ගහගෙන ගොසින් කෙල වූ පසුය ඔවුන්ගේ නැවතුණු මොළ, පරණ මොරිස් මයිනර මෙන් 'කෑස් කෑස්' ගා දෙතුන් වරක් කැස වැඩ කරන්නට පටන් ගන්නේ! ඒකත් ඊලඟ රැල්ල එනතුරුය.

මාලිමා අනුගාමිකයන් කාලයක් තිස්සේ හංවඩු ගහනාකාරයට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙ "අමුතු ඇටය"ය. එතරම් මස්තබාල්දු කළ රට ඇල්ලීමට දැන් උන්දැලා සඟුන් සරණ යති. ඔවුන්ගෙ චීවර භාවිතාව නැත්නම් ඇත්තේ ශිෂ්‍ය (ණ?) ව්‍යාපාරයේ පමණක්ය. සෙසු දේශපාලන නායකත්වයන්ට දෙකොණෙන් සිනහසෙමින් කෝචෝක් කරමින් උන් උන්දැලාද දැන් බබ්බු වඩාගනිති, උන්ගේ මූණු මිරිකති, ඉඹිති, ඔඩොක්කුවේ තබාගෙන වේදිකාවල වාඩිවෙති. හෙන උර්තල් ය. 

සුප්‍රසිද්ධ 'අපි හම්බුකළොත් අපි කනවා' යන්න තවදුරටත් වලංගු කතාවක් නොවන බව පසුගිය වසර පහ - හය ලංකාවේ ජීවත් වූ ඔබටත් මටත් මේ වනවිට පැහැදිලි වී තිබිය යුතුය. සාර්ව ආර්ථිකය (macro economy) කෙල වූ විට ක්ෂුද්‍ර ආර්ථිකය (mico economy) අම්මටසිරි වූවත් පලක් නොවන බව සල්ලි අට්ටිගසාගෙනත් කෝවිඩ් කාලයේ ගෙට වී ඉන්නට සිදු වූ අයටත්, ගෑස් පෙට්‍රල් පෝලිම්වල ලගින්නට සිදුවූ අයටත් පැහැදිලි විය යුතුය. ඒ ඉරණමට ද ඇති නැති සියල්ලන්ට මාලිමාවුන්ගේ පංතිභේදයෙන් තොරවය මූණ දෙන්නට වූයේ. මාක්ස්වාදයට කළ හැකි බම්බුවක්වත් එවෙලේ තිබුණේ නැත! 

මාක්ස්වාදී වාමාංශික ව්‍යාපාරයක් කියාගන්නා සිරි ලංකාවෙ මාලිමාව ගැන දන්නේ නම් කාල් මාක්ස් වලෙන් නැගිට පැමිණ වේදිකාවට නගී කියා සිතන අන්ධ භක්තික ඔබ ගැන මට කණගාටුවක් දැනේ. මාක්ස්වාදය දැන් යල්පැන ගිය කතාවක්ය. අඩුම තරමින් නියෝ මාක්ස්වාදයක්වත් පල නොකරන මාලුමාවුන් එක්කය අප මේ ජීවත්වන්නේ. මාක්ස්වාදය යාචකවාදය/සිඟනවාදය බවට පත් කරවා ඇති බව දන්නේ නම් මාක්ස් මැ|රෙ|න්නෙ ම.රා|ගෙනය. 

රූකඩ නායකත්වයකට රටක් කළ නොහැකිය. ඒකාධිපතියැයි හංවඩු ගැසූ ගෝඨාභයද අවසානයෙ චොර විය. ඒ තම පෞර්ෂත්වය අවශ්‍ය මොහොතේදි නොපෙන්වීම නිසාය. නායකයෙකුට වැනෙන්නට, ඇඹරෙන්නට කාලයක් අවකාශයක් නැත. කලාපීය සහ ගෝලීය දේශපාලනය, දේශීය දේශපාලනය මෙන් ගැලරියට ආතල් දී, අරහෙන් මෙහෙන් ගේම් ගසා, හිඟා කා කළ හැකි සෙල්ලමක් නොවේය. තානාපතිලා ඉදිරියේ පවා කකුල් දෙක එක පැත්තකට ගෙන සබකෝලව වාඩිවී අත් දෙක කකුල් දෙක පල්ලේ ගසාගෙන ඇඹරෙමින් රාජ්‍යයක් විචෑරිය නොහැකිය, හැබැයි හෑ හැකිය! සිංහලයාද ශ්‍රී ලාංකිකයාද කොහෙද කසාගන්නට නියපොත්ත නැති නමුත් ප්‍රෞඪ ජාතියකි. අතීත ශ්‍රී විභූතිය කෙසේවෙතත් දැන් ඉන්නා උන්ට විචාර බුද්ධිය නම් හිඟය. ඒ කොයි දේ වුවත් තමන්ගේ නායකයා එකෙකා ඉදිරියේ දණින් වැටෙනවාට උන් අකමැතිය! රැජිණ බලන්නට ගොසින් සිරිසේන උන්දෑ අහගත් හරිය මතක ඇතිය. 
අනෙක් අතට කලාපීය සහ ගෝලීය බලපෑම්වලට සාර්ථකව නොබියව මුහුණ නුදුන්නා නම් අදත් වේදිකාවල ප්‍රධාන මාතෘකාව යුද්ධය ය!

වෛරයෙන් සහ ක්‍රෝධයෙන් රටක් කළ නොහැකිය. ජවිපෙ පෙරටු මාලිමාව වෛරය සහ ක්‍රෝධය මූලික කරගෙන බිහිවූ ත්‍රස්තවාදී ව්‍යාපාරය. තමාට නැතිනම් කිසිවෙකුට තිබිය නොහැකියැයි තේමා කරගත් ඒ ත්‍රස්තවාදීන් අද "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ගැන කතා කොරති. කොහෙන්දෝ දන්නෙ නැත! කැරළි දෙකකදී කඩ ලෑල්ලක් අරින්නට නුදුන් ත්‍රස්තයො අද ව්‍යවසායකත්වයක් කතා කොරති! ව්‍යවසායකත්වය යනු සිඟාකෑමය කියාය උන් සිතා ඉන්නේ. ලංකාව මැරී නැවත ඉපදුණා කියා මුන් හිතා ඉන්නා හැඩය. දරුවන් ඉදිරියෙ මව්පියන්ද මව්පියන් ඉදිරියෙ දරුවන්ද මරා දැමූ උන්, දණින් ඉහළට මිනීපෙට්ටි උස්සන්නට නුදුන් උන් ලස්සන ජීවිත ගැන කතා කොරති! ලස්සන කොළා මදි ඇතිය! 
කැරළි දෙකකදීද අරගලයෙදිද රාජ්‍ය සහ මිනිස් දේපල විනාශ කළ උන් 'පොහොසත් රටක්' ගැන කතා කොරති!
අම්බානෙක වැරදි කළ පසු "එයා එහෙම නෑ බං" කියනා ගොබ්බයන් වන්නට එපාය. 

කුමාර කියා නම ඇති පමණින් ඔහු දියසෙන් කුමාරයැයි සිතා ඉන්නා ඔබ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා බැලුවාද? අඩු කිරීම් සහ දීමනා අතර සමතුලනයක් ඇති කරවීමේ ක්‍රමවේදයක් නැත. එනම් ශ්‍රී ලංකාව නිල වශයෙන් යාචකවාදය වැලඳගන්නවාද? මේ දන් දෙන උන් කවුද? ඔවුන්ගෙ අරමුණු මොනවාද? 
කිසිම දේශපාලන පක්ෂයක අනුග්‍රාහක භවතුන් අත ලොවින්නට මී කඩන්නෙ නැත. රුපියල් 10,000ක් පරිත්‍යාග කළද ඒ බලාපොරොත්තුවක් ඇතිවය. 
මෙවර මාලිමාවේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මාස 14-15 ක් දීර්ඝය. 
කිරුළපන වාගෙ කුඩා පිට්ටනියක රැස්වීමකට පවා අවම රුපියල් ලක්ෂ 60-70ක වියදමක් දැරිය යුතුය. 
එසේ නම්, කිරුලපන වාගෙ පිටි කීයක දවසක දි රැස්වීම් කීයක් මාලිමාවෙන් පවත්වා ඇතිද?
මාස 14කදි නොකඩවා පැවැත්වූ රැස්වීම් ප්‍රමාණය කොපමණ ද?
ජවිපේ වාමාංශික මාක්ස්වාදී කුඩා පක්ෂයකි. ප්‍රාග්ධනයක් නැති ගණනටය ඔවුන් කතා කරන්නෙ. අනුර කුමාර ප්‍රමුඛ ප්‍රධාන කණ්ඩායම මන්ත්‍රී වැටුප් නොගනී ලු. අනුර සහ පිරිවර වයස අවුරුදු 55 -60 වනතුරුම කිසිදු රැකියාවක් කර නැත. අනුරට දේපලකට කියා ඇත්තෙ තඹුත්තේගම කුඩා ඉඩමක් බව ඔහුම කියයි. 
නමුත්, රැකියා කරන ඔබටත් මටත් වඩා ඔවුන්ගෙ ජීවිත සුඛෝපභෝගීය. දරුවන් විදේශවල ඉගෙන ගනී. රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය කඩාකප්පල් කළද ඔවුන් සියලුදෙනාගෙම දරුවන් පෞද්ගලික සහ විදේශීය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබයි, ඇතැමුන් සම්පූර්ණ කරලාය. ඔවුන්ද රැකියා කරන හැඩක් නොපෙනේ. ඔවුන්ගෙ භාර්‍යාවන්ද රැකියා කරන හැඩක් නැත. සාමාන්‍ය ජනතාව රැකියාවට කඹුරා, ලීස් ගෙවා, ණය වී ඇල්ටො කටු ගනිද්දි රැකියා විරහිත, වැටුප් නොගන්නා ජවිපෙ දේශපාලකයින් සුඛෝපභෝගී වාහන භාවිතා කොරති. 

ජවිපෙට සිටින සීනි තාත්තලා කවුද? නැත්නම් සීනි අම්මලා ද?

ලංකාව ගණන්කාර රටක්ය. දැන් ගණන් හදා බලාගෙන තීරණය කළ හැකිය.

ජවිපෙ සහ මාලිමාව සීනි අම්මලා තාත්තලාගෙන් නඩත්තු වෙන එක භයානක වන්නේ උගසට තියා ඇත්තෙ රට සහ රට වැසියා වීම හින්දාය. ත්‍රස්තවාදී ඉතිහාසයක් ඇති, කඩාකප්පල්කාරී වෘත්තීය සමිති සහිත, තවමත් ආකල්ප සංවර්ධනයක් නොපෙන්වන නායකත්වයක් සහිත මෙවන් කුඩා පක්ෂයකට මුදල් පොම්ප කිරීමෙන් තමන්ගෙ අණසකට නතු කරගන්නට හැකි කාටද? 
මුදල් විශුද්ධිකරණයක් ගැන කතා කරන්නෙ ඒ නිසාද?
කලු සල්ලි ඇත්තේ කා ලඟද?

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024

Monday, September 16, 2024

නාමල්ගෙ කඩුල්ල

දවස් පහයි. ජොකියො පහයි. එක පුටුවයි.

මේක ශ්‍රී ලංකාවේ අතිශය තීරණාත්මක සතිය. තව දවස් පහකින් ලංකාවට මොනවා වෙයිද කියන එක දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සක්‍රීය දේශපාලනයේ ඉන්න කොටසට විතරක්ම නෙවෙයි. 

ජොකියො 39ක් දුවන රේස් එකක දේශපාලන විශ්ලේෂණවල හැටියට නම් ඉන්නෙ ප්‍රධාන ජොකියො පහයි. හතරක් සක්‍රීය දේශපාලනයෙ හිටිය අය. එක්කෙනෙක් පසුබිම් දේශපාලනයක හිටිය, මේ මොහොතේ හා හා පුරා කියලා ප්‍රසිද්ධ වේදිකාවට ආව කෙනෙක්. පරම්පරා නියෝජනය ගත්තහම මෙයින් එක්කෙනෙක් ජ්‍යෙෂ්ඨත්වය ඉහළම තලයෙ ඉන්න, මෑත කාලීන ලංකා දේශපාලන ඉතිහාසයේ පරිණතම, තෙම්පරාදුම ද්විත්වයෙන් එක්කෙනෙක්, ඒ රනිල් (75) (අනෙකා මහින්ද). වයස අනුව ජ්‍යෙෂ්ඨත්වයෙන් මැද පෙළ නියෝජනය කරනවා සජිත් (57), අනුර (55) සහ දිලිත් (56). ළාබාලම නියෝජනය නාමල් (38). 

මේ පස්දෙනාගෙම දේශපාලන භාවිතාව සහ හැසිරීම දිහා වෛෂයිකව (objectively) බලලා විශ්ලේෂණයක් කරන්න අවශ්‍යම සහ හොඳම වෙලාව මේක වෙන්නත් පුලුවන්, මොකද මොහොත ඒ තරම්ම තීරණාත්මක හින්දා. 

ප්‍රතිපත්ති සතිය ගෙවිලා ඉවරයි. මේ සමහරක් ප්‍රතිපත්ති නිකන්ම පොත් පිරෙන්න ගැහුව අකුරු. මුල මැද අග ගැලපීමක් නෑ. මදේ නැතුව පිට පොත්තයි පිටු ගාණයි දිහා බලලා විතරක් 'අම්මටසිරි, මෙන්න කෙරුම්කාරයො' කියලා හිතන ඡන්දදායකයන් මේ මොකද්ද, කොහොමද මෙව්වා කොරන්නෙ, කොහෙන්ද සල්ලි හොයන්නේ, ක්‍රමවේදය මොකද්ද, මේ එකිනෙක ජාතික තලයෙන් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද, රට ගොඩ නගන ඉදිරි වැඩ පිළිවෙලට මේවා සම්බන්ධ වෙන්නේ කොහොමද කොතැනදිද, ඒවයේ ප්‍රතිඵල දකින්න යන කාලය කොච්චරක්ද, ඒ ප්‍රතිපල මත අනික් කාරණා තීරණය වෙන්නෙ කොහොමද, ප්‍රතිපත්ති අතර වක්‍ර සහ සෘජු සම්බන්ධතා මොනවාද වගේ ප්‍රශ්න අහන්නෙ නෑ (අවාසනාවකට). ඒත් අපි ඒ ප්‍රශ්න අහන්න ඕනමයි. මොකද මේ ප්‍රතිප්‍රත්ති මාලාව විස්තර කරන්න මේ ජොකියන්ට කොයිතරම් දුරට පුලුවන්ද කියන එක මේ බල හුවමාරුවෙ අතිශය තීරණාත්මක සාධකයක්. ඔබ තෝරන නායකත්වයට තමන්ගෙ ප්‍රතිපත්ති පඳුරු වටේ නොයා කියන්න කොයිතරම් දුරට පුළුවන්ද, ඔහුගෙ කණ්ඩායමට ඒ ගැන තියෙන අවබෝධය කොහොමද, ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සහයෝගය ලැබෙන හැඩක් තියෙනවද, කොහෙන්ද ඒක ලැබෙන්නෙ කියලා තාම ඔබට පැහැදිලි නැත්නම් කරුණාකරලා අන්ධ මනෝභාවයෙන් මිදිලා ඒ ගැන හොයන්න, හිතන්න දවස් පහක් තියෙනවා!

කොහොම නමුත්, මම මේ ලියන්න ආවේ නාමල් ගැන. දෙරණ 360 සහ හිරු සලකුණ කියන වැඩසටහන් දෙකම බැලුවට පස්සේ මට මේක නොලියා ඉන්න බැරි නිසා.

වයසින් මුහුකුරායාමත් අත්දැකීමුත් එක්ක අවුරුදු 19-20ක් තුළ (එයින් සක්‍රීය දේශපාලනයෙ අවුරුදු 14ක් විතර) නාමල්ගෙ වෙනස සුවිශේෂයි. 
අවුරුදු 18-20දි අන්ත මරිමෝල් වැඩ අපි හැමෝම කරනවා. ජාතික තලයේ නැතිවුණත් අහළ පහළට, නෑදෑ හිතමිතුරන්ට හරි පුවත් නොමවපු, මාතෘකා නොදුන්න එහෙම උන් ඇත්තෙ අතලොස්සක් වෙන්න ඕන. ඒකත් අර උපාසක බළල් කුලේ. හැබැයි අවුරුදු 50-55දිත් කෙනෙක් හැසිරෙන්නෙ ඒ මරිමෝල් විදියටම නම් එතන විචාර බුද්ධිය සහ ස්වයං දැනුවත්භාවය පිළිබඳ නොපියවිය හැකි විශාල හිදැසක් තියෙනවා. එහෙම බලද්දි වයසින් සහ අත්දැකීමෙන් මුහුකුරා ගිය නාමල් රාජපක්ෂගෙන් පළවෙන ඒ පරිණතකම, සන්සුන්කම සහ දේශපාලන පරිචය ගැන ඒ වයසෙ ඒ පරම්පරාවේ එකෙක් විදියට මට මාරම සතුටක් දැනෙනවා. ඒක පක්ෂග්‍රාහී හැඟීමකට එහා ගිය පරම්පරා ආඩම්බරයක්. 

නාමල් මේ රේස් එකට එන්නේ බහුතරයක් බලාපොරොත්තු අතෑරපු වෙලාවක. 'උඹට බෑ, උඹට බෑ' කියලා එක පතේ කාපු උන් පවා ප්‍රසිද්ධියෙ/අප්‍රසිද්ධියෙ කියන වෙලාවක, දේශපාලනයෙ සදාකාලික මිතුරන් නැති අනිත්‍යය අතිශය පැහැදිලි කාලයක, පොහොට්ටුවට අනාගතයක් පේනතෙක් මානෙක නැති පොහොට්ටු නැටි පෙති සීසීකඩ ගිය මොහොතක. මොන හේතුව මත හරි, මේ වගේ වෙලාවක අපේක්ෂකත්වය භාර ගැනීමම කලාතුරකින් කෙනෙකුට පිහිටන ධෛර්‍යයක්. දහස් ගාණක් වටවෙලා දිනපතා එක් පුද්ගලයෙක්ට අපහාස කරන, පහරදෙන බව දැන දැන ඒ අභියෝගය භාරගන්න ලේසියෙන් කෙනෙක් තීරණය කරන්නෙ නෑ. උඩුගං බලා යන එක ලේසිපහසු වැඩක් නෙවෙයි. ඒක කළුගලේ ඔළුව ගහගන්නවා වගේ වැඩක්. එහෙම සටනක් කරන්න පැකිලෙන ගැහැණු පිරිමි ඕනෑතරම් ඉන්නවා. කලාතුරකින් ඒ වගේ ඒවට බය නැතුව 'හරි ගල්ද එවන්නෙ, එවපන්!' කියලා තනියම හරි මූණ දෙන ගෑණු සහ පිරිමි මේ ලෝකෙ ඉන්නවා. එතනදි මම නාමල්ගෙන් දකින්නෙ මහින්දගේ ඡායාවක්. 

මේ රේස් එක තාම කොහොමවෙයිද කියලා කියන්න බෑ. වෙනදා වගෙ පෙරළෙන පිට හොඳයි කියන්න පුළුවන් තැනක නෙවෙයි අපි රටක් හැටියට ඉන්නෙ. නාමල් බොහොම නිර්භීත මූණකින් මේ අභියෝගය භාරගත්තට තමන්ට දිනන්න තියෙන සම්භාවිතාව අඩු බව ඔහු දන්නවා ඇති. කවුරුවත් පරදින්න ලෑස්තිවෙලා තරඟවලට එන්නෙ නෑ. හැබැයි භූමියෙ වාසිය තමන්ට නොවන බව හොඳින්ම පැහැදිලි අවස්ථාවක දැන්ම ජයග්‍රහණය සමරන ජොකියන්ගේ ආත්ම විශ්වාසයට කරට කර සටනක් දෙන්න ලේසියෙන් කෙනෙක්ට බෑ. නාමල් ඒ ගත්ත අභියෝගය වටින්නෙ ඒකයි. අපි කැමතිවුණත් නැතිවුණත් නාමල් තමන්ගේ දේශපාලන ජීවිතේ ලොකු කඩුල්ලක් පැනලා ඉවරයි. ඒ අවුරුදු 38දි. තව ඉගෙන ගන්න ගොඩක් දේවල් ඇති, හැබැයි මේ ආව ගමන ඒ විදියටම ගියොත් ශක්තිමත් ගමනක් තියෙන පෙරමග ලකුණු නාමල් පෙන්නලා ඉවරයි. මොකා මොනවා කිව්වත් කළත් තමන්ගේ ගමන මිනිහා යයි.

කවුරු මොනවා කිව්වත් දශක එකහමාරක් තිස්සෙ ජාතික දේශපාලනයෙ ඉඳල, ඇමතිකම් දරලා, එක එක වර්ගයේ මිනිස්සු එක්ක ගනුදෙනු කරලා, ලංකා දේශපාලනෙ රූස්ස ගහක් වෙන තාත්තෙක්ගෙ හෙවණෙ හැදිලා මග පෙන්වීම් ලබලා,රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මකවන ආකාරය ගැන දැනුවත් වෙලා ඉන්න නාමල් තමන්ගේ දැක්ම ගැන යාවත්කාලීනයි. ප්‍රායෝගික ප්‍රශ්න ඇතිවෙන එක ගැන විවෘතයි. සමහරවිට, කාලයත් එක්ක මිනිස්සු හසුරුවන විදිය ගැන ඔහු අනිවාර්යයෙන්ම දැනුවත් ඇති. ලංකාවේ සාමාන්‍ය පිළිගැනීම දේශපාලනේට මුඛරිකම ප්‍රධානයි කියන එක. වේදිකා උඩ ගිරිපුප්පගෙන කෑගහන එකයි, අවලාද නගන එකයි අපි බලාපොරොත්තුවෙන දේශපාලන වෙනස නෙවෙයි. දේශපාලනයට අවශ්‍ය උපායමාර්ගික චින්තනය, දැක්ම, ආකල්ප, විනය, සහ අවශ්‍ය වෙලාවෙදි කිවයුත්ත ඇඟටපතට නොදැනී වචනෙන් දෙකෙන් කියලා දාන්න පුළුවන් බුහුටිකම. 

මිනිස්සු හිතනවා ඉවසන එක නිහීනකමක් හරි මෝඩකමක් හරි කියලා. වටකරලා ගහද්දිත් සන්සුන්ව, හිනාවෙන්, වචනෙන් දෙකෙන් ඉවර කරන මිනිහට තියෙන ශක්තිය සමහරවිට දඟලලා, කෑගහලා, වියරු වැටිලා නටන මිනිහට හිතාගන්නවත් බෑ. ඒ තත්ත්වයට එන්න මනුස්සයෙක් පරිණත වෙන්නේ දුෂ්කර කාල සහ අත්දැකීම් සෑහෙන්න ප්‍රමාණයකින් පදම් වෙලා විතරක්ම නෙවෙයි, ඒකට තමන් පිළිබඳව 'මාර' ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. අනෙක තමන් එක්ක එක පතේ කාලා, බලය තියෙද්දි වැජඹිලා කටුස්සො වගේ පාට මාරුකරපු මිනිස්සු ගැන වුණත් කතා කරන වැදගත්කම. බොහෝ දෙනෙක්ට ගැලවීමක් පේනතෙක් මානෙක නැති මඩ දේශපාලනයෙන් එහා තැනක තමන් ඉන්න බව නාමල් කතා කරන විලාසයෙන් පේනවා. අනෙක ඇතැම් රැස්වීම්වල විවිධ ප්‍රශ්න ඇතිවෙද්දිත් සන්සුන් හිනාවෙන් ඒ දේවල් දිහා බලන් හිටිය උපේක්ෂාව. 

මට ආඩම්බර අවුරුදු 38දි නාමල් එතන ඉන්න එක ගැන. 
එහෙම බැලුවම ජනාධිපති සටන දින්නත් නැතත් ඔයා දිනලා ඉවරයි. 
සුභ පැතුම්!

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024

https://m.youtube.com/live/V6rNtrFuKfo?si=LdL-5i-h5agTzgUq&fbclid=IwZXh0bgNhZW0CMTEAAR0S_25zNEqs0WCaIhW2mVHBh1uI1044sF3y1ml_KhGbzZcrxiZnmMEZmK0_aem_7gAe0b2AgVF0yeUJmSc0hw


Saturday, September 14, 2024

නොම්මර 17 සහ කොළඹ

හේමසිරි සෙල්ලප්පෙරුමගේ අධ්‍යක්ෂණයක් සහ ප්‍රීතිරාජ් වීරරත්නගේ නිෂ්පාදනයක් හැටියට නොම්මර 17 තිරගත වෙලා තියෙන්නෙ 1989දි. Youtube එකේ මේ වීඩියො එක දැක්කම මගේ default නොස්ටැල්ජියාව හෙවත් අතීතකාමය ඇහැරුණා.

විජයත් ෆ්‍රෙඩිත් දැන් ජීවතුන් අතර නෑ. ඒ දෙන්නා නටන රඟපාන පසුබිම් කොළඹත් දැන් එක්තරා විදියකින් මැරිලා ඉපදිච්ච නගරයක්. ඔය වීඩියෝව බැලුවොත් ඒ කාලෙ කොළඹ (සාපේක්ෂව) කොයිතරම් නම් අහිංසකද සරලද කියලා පෙනෙයි. ටොරිංටන් චතුරශ්‍රය, ගංගාරාමය සහ ගෝල්ෆේස් එක දැක්කම මොකද්ද මහා හිස්, පාළු හැඟීමක් දැනෙනවා. ඒ වටපිටාවෙම උස ගොඩනැගිලි කීයද තියෙන්නෙ? දේශීය ආදායම් බදු ගොඩනැගිල්ල, පිට්ටු බම්බුව (ලංකා බැංකුව), ටාජ් සමුද්‍රා, හිල්ටන්, මහ බැංකුව වගේ අතලොස්සක් බිල්ඩින් තියෙන එල්ෆ් වෑන්, ඩෙලිකා, පරණ ටොයොටා කාර් යන සුඛෝපභෝගී අටපට්ටම් වාහනවලින් පිරිලා නැති, මිනිස්සු අඩු, ඒ අහිංසක කොළඹට මං හරි ආදරෙයි. සමහරවිට ඒ කාලෙ හැටියට සංකීර්ණතා තියෙන්න ඇති. 1989 තිරගත කරන්න නම් මේක පටිගත කරන්න ඇත්තේ 86-88 කාලෙදී, ඒ කියන්නෙ භීෂණ කාලෙදි වෙන්න ඕන. තිරගත වෙද්දි විජය ඝාතනය වෙලා (1988 පෙබරවාරි 16). 

දැන් නාගර්‍ර්කරණයේ උපරිමයට ගිහින්, හැමදෙයක්ම සංකීර්ණවෙලා, මිනිස්සුන්ට පොළොවෙ පයගහල ඇවිදින්න බැරි තරම් ඔද්දල් වෙච්ච කොළඹ තිබ්බ සරල විදියට තිබ්බා නම් හොඳයි කියන එක සමහරවිට මහ ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්න ඇති. ඒත් මං කැමතියි "අසුරු සැණින් එක මොහොතකදි, කාලය නැවතී යළි ඇරඹී, විශ්වය අළුතින් බිහිවෙලා" ඒ අතීත කොළඹ සංචාරෙක යන්න. සෙනඟ අඩු ගෝල්ෆේස් එකේ සාපේක්ෂව නැවුම් මුහුදු හුළඟක් විඳින ගමන් පැත්තක නවත්තපු බරබර ගාන පරණ තාලේ අයිස්ක්‍රීම් ලොරියකින් රිදීපාට කොළේ ඔතපු රහම රහ අයිස්චොක් එකක් කන්න. හුළං පුරෝපු හාවොයි බෝලයි විකුණන වෙළෙන්ඳෝ කීපදෙනාගෙන් වැඩකට නැතුවත් බෝලයක් ගන්න. මට වඩා ලොකුවට පේන හින්දා ඒ තිබ්බ බිල්ඩින් ටිකේ ලොකුකම දිහා පුදුමෙන් බලන්න. සෙනඟ නොපිරුණු ගෝල්ෆේස් එකේ නිදහසේ හුස්මක් ගන්න. ඒ දවස්වල බලෙන් වගේ ඇවිද්දවපු හින්දත් නොතේරෙන වයස හින්දත් අහගන්න බැරිවුණ කොළඹ කතා ඇවිදිනගමන් තාත්තා අම්මගෙන් අහගන්න. අවුරුදු ගාණක් ඇතුළත විපරීත වෙයි කියලා දැන් දන්න හින්දා ඒ අහිංසක සරල කොළඹ ඇස්වලින් උරාගෙන හිතේ කොටාගන්න, උපරිමයෙන් විඳගන්න. 

මට තිබ්බා නම් කාල ත්වරණ යන්ත්‍රයක් සමහරවිට...

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #colombo #sinhalacinema 

https://youtu.be/zUE9Y4mPYKY?si=K98Xkfald6wCCFy2

Friday, September 13, 2024

තවලම්කරුවෝ

රූකාන්තගෙ සමහර සිංදුවලට හැඩතල මොනවා දාලා කවුරු කොහොම කිව්වත් අර මුල් ගීතයෙ තියෙන හැඩෙයි හැඟීමයි ගන්න බැරි ඒවත් තියෙනවා, මේකත් එහෙමයි. විවෘත, සරල, සතුටු හඬක් විදියට මතුපිටින් පේන රූකාන්ත ඇතුළේ නැලවෙන, නලවන, දුකක් නොවන දුකක් වගේ එකකුත් පෙනී නොපෙනී යන අවස්ථා තියෙනවා. හැබැයි, සිහේලි මේකට දීලා තියෙන හැඩය සහ රහ වෙනමම තලයක්! 

මොන හේතුවක් පදනම් කරගෙන මේක ලියැවුණත්, 'තාමත් ඔබ ඇත සුව නින්දේ, ඒකයි මා නොකියා යන්නේ' කියද්දි බොල්පිණි වෑහෙන වෙලාවල්වල අපි හැමෝම කප්පරකට කරලා ඇති සමුගැනීම්, සමුදීම් සහ සමු-උදුරා-ගැනීම් නිරායාසයෙන්ම නියෝජනය වෙනවා කියලා හිතෙනවා. ව්‍යංගාර්ථ ගත්තොත් තමතමන්ට දැනෙන හැඟෙන හැටියට කියවගන්න පුලුවන් තේරුම් ගොඩක් මේ පද පේළි ඇතුළේ තියෙනවා. 

ඒ හින්දා මට හිතෙනවා, මේකෙ සාමාන්‍ය ප්‍රේමයක සමුගැනීමකින් එහා ගිය ගැඹුරු අභිනිෂ්ක්‍රමණ කතාවක් කියවෙනවා කියලා. ඒ එක්කම මුල් කොටසෙදි මගෙ ඔලුවෙ මැවෙනවා කොහෙහරි කතා පොතක හරි ඉස්කෝලෙ පොතක හරි දැක්ක සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණයට කලින් ඇවිත් යසෝධරා දේවිය අළුත උපන් රාහුල කුමාරයා තුරුලු කරන් නිදා ඉන්න කුටියෙ දුහුල් තිරය මෑත් කරලා බලා හිටි පින්තූරයක්. 

හැබැයි ඒ කතාව දෙවෙනි කොටසෙදි 'තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ' කියලා කුළුගෙඩි පාරක් දීලා බිඳලා ආයෙම තිත්ත යථාර්ථයකට අපිව වට්ටවනවා. සමහරවිට ඒ කියන්නේ නැවත ආත්මයක් ලබනවා නම් ඒ වනතුරු මතකයෙ ඉන්නවා හෝ මේ ජීවිතේ අවසානය වෙනතෙක් මතකයේ ඉන්නවා කියන එක වෙන්නත් පුළුවන්. ඒත් එහෙම අපි සමුගන්න, සුමුදුන්න, සමු-උදුරාගන්න හැම කෙනෙක්වම ජීවිතාන්තය තෙක් මතකයේ රඳවගන්නෙ, රැඳෙන්නෙ නැහැනෙ.

සංසාර සංකල්පය එක්ක ගත්තහම අපි ඔක්කොම තවලම්කාරයෝ කියන කතාව ඇත්තයි. හැබැයි හැම තවලම්කාරයෙක්ම නොකියා අභිනිෂ්ක්‍රමණ කරන්නෙ නෑ, ඇත්තම කිව්වොත් එක නිවහනක් හැර ගියාට ගිහිගෙය හැරයන්නෙ නෑනේ. 

සංසාර ගමන විශ්වාස කරන මනුස්සයෙක් හැටියට සංසාරේ තවලම්කාරයෙක් හැටියට මං මාව දැක්කට, ප්‍රේමය කියන විෂයෙදි තවලම්කාරයෙක් හැටියට කිසිම කෙනෙක්ව දකින්න කොයිතරම් අකමැතිවුණත් එහෙම දකින්න සිද්ධවෙන යථාර්ථයෙන් මිදෙන්න බැහැනෙ. හැබැයි ලෝකේ තවලම්කාරයොන්ගෙන් පිරිලා. ගැල එක්ක යන ගමන යන්න හිතා හෝ නොහිතා හෝ තවලම්කාර ජීවිත තෝරගෙන හෝ නොගෙන හෝ යන තවලම්කාරයො කොච්චර ඇතිද? 

මේ ජීවිතේ හරි සංසාරේ හරි තවලම්කාරයෙක් වෙන එක හරි ලේසියි. 
ඒත්, ඒ තවලම්කාරකමෙන් ගැලවෙන්න අමාරුයි.
සංසාරේ සෑහෙන්න දුෂ්කරයි, දුරයි, සංකීර්ණයි. ගැල බරයි.

මට ඕන නෑ තවලම්කාරයෙක් වෙන්න. ඒත් මම එක්තරා විදිහක තවලම්කාරයෙක්.

"තවලම්කරුවෝ කවරදාකදෝ එකම තැනක උන්නේ.."❤️

~ Aash Weerasinghe

#AW #thaniya #medusa 

https://youtu.be/wYuIehqgOow?si=PyRbZCduZV9-D0i9



Thursday, September 5, 2024

මෝටිවේසනල් ලංකා

ලියන්න හිතුවෙවත් නැති වෙලාවක Facebook එක පෙන්නන්න ගත්ත මෝඩ පෝස්ට් වගයක් හින්දා (මොන algorithm බලලද මන්දා) මේක ලියන්න හිතුවා.

දිගට හරහට ආදරේ ගැන, ආදරේ කරන්න ඕන කොහොමද කියන එක ගැන එහෙම පකීර් ටෝක්ස් දෙන මෝටිවේසනල් අප්පොච්චිලා දැන් වැහිවැහැලා නේද? හරි, මෝටිවේසනල් මෑණිවරුත් ඉන්නවා. ටිකක් උවමනාවෙන් බැලුවොත්, කාටහරි ඕන නම් සිරි ලංකන් ස්ටයිල් analysis එකක් කළත් තේරුම් ගන්න පුළුවන් මේ පකීර්ලා බහුතරයක් player මානසිකත්වය උඩ දාන්නෙ, ඒක තමයි පොෂ්වීම, ඒකනෙ ට්‍රෙන්ඩ් එක, ඒකනෙ ඉන්න ටිකේ සුදියේ ඉන්න ඕනනෙ, ටික කාලෙනේ ගෑණු මිනිස්සු වෙනස් වෙනවනේ, සම්බන්ධතා වෙනස් වෙනවනේ, හැඟීම් දැනීම් වෙනස් වෙනවනේ කියලා ටෝක්ස් දෙන්නේ ඇයි කියන එක. පළවෙනිම කාරණේ තමයි, නෑ, එහෙම හැරෙන හැරෙන පැත්තෙ ගෑණු මිනිස්සු එක්ක යහන්ගත වෙන එක ආදරේ නෙවෙයි, ඒක සල්ලාලකම, සමහරවිට මානසික ලෙඩක් වෙන්නත් පුළුවන්. Social media හරි යනෙන, ගැවසෙන, රස්සා කරන තැන්වල හරි දකින දකින ගෑණුන්ට මිනිස්සුන්ට 'ටෝක්' කරන්න හිතෙන එක මොකක් හරි ලෙඩක්, කරුණාකරලා ඔයාලටත් එහෙම දැනෙනවා නම් අප්‍රමාදව මනෝ චිකිත්සාවට යොමුවෙන්න, විශේෂයෙන්ම තව මිනිස්සුන්ගෙ ජීවිත විනාස නොකර! මොකද මෝටිවේසනල්ලට ඕවා සුළු දේවල් වුණාට එහෙම නොවන ගෑණු මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා! උන් මේ වගේ කාලකණ්ණින්ට අහුවුණාම ජීවිත කාලෙම විඳවලා, විශාදයට පත්වෙලා, ආයිත් මනුස්සයෙක්ව විශ්වාස කරන්න බැරි තැනට වැටිලා නාස්තිවෙලා යනවා. එතකොට ඔය පකීර් ටෝක්ස් දෙන මෝටිවේසනල්ලා උඩ දාන stereotypes අනියම් මිනීමරුවො! 😏

දැන් ටිකකට කලින් දැක්කා අධි තක්සේරුවෙන් ඉන්න හැබැයි දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති නළු බට්ටෙක්ව උස්සලා තියෙන youtube සංවාදයක්. Thumb stopper එකකින් අංශුමාත්‍රයක්වත් දෙන්න මම පුද්ගලිකව අකමැති වුණත් මේකේ සිරස්තලය 'මට s*x කරන්න ඕන තරම් අය ඉන්නවා, හැබැයි ආදරේ කරන්න ඉන්නේ එක්කෙනයි'! ශාබාෂ් යාර්!! මෙහෙම පුස්වෙඩික්කාරයො උඩ දාලා තමන්ට හරි තමන්ගෙ දරුවෙක්ට හරි එහෙම එකෙක් හම්බෙච්ච දවසට පොළොවෙ පස් කන්නෙ කෙසේද කියලත් වීඩියෝ කරන්න, රචනා ලියන්න අර මෝටිවේස ඩයල්වල්ට පුළුවන් නම් හරි වටිනවා🤣

දෙවෙනි කාරණේ, පොඩි දරුවොන්ට බල්ලෝ ආදරෙයි. බල්ලා කියන්නෙ තමන්ගේ ස්වාමියට, ස්වාමියගෙ පවුලට හරිම ආදරේ, කීකරු, පක්ෂපාතී සතෙක්. හැබැයි උන් උන්ගේ සහකාරයට හෝ සහකාරියට එහෙම බැඳීමක් නෑ. ඒ නිසා දරුවො බල්ලෝ එක්ක හදන්න හැබැයි බල්ලෝ වගේ අයාලෙ යන්න දෙන්න එපා, මොකද ඒ පුරුදු යවන්න බැරිවෙනවා ගලේ ගහලා අපුල්ලලාවත්!

එපමණයි ස්වාමීනී! 😂

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

මී මැස්සා - සිරස TV

(2024 අගෝස්තු 24වනදා සිනමාවේදීන් සමූහයට) 

මල් වන ගොමු අහලකවත් නැතිවෙලාවක, තැනක මට මී මැස්සෙක් හම්බවුණා, හැබැයි ඌ:

ගිනි වැදුණු නගරේ
වළාකුළු අළුදුමාරේ අවුස්සා
සොයාදියව් 
ගිනිපුලිඟුවෙන් රොන් උරණ මී මැස්සා

නපුරු මහ භූ තලය සෙමින් සෙලවී
අඟුරු දූවිලි දුමෙන් නැහැවී
කඳු ශිඛරයෙන් උතුරා ගැලූ
උණු ලෝදියෙන් පැණි හදන මී මැස්සා

වියරු මෝරුන් නිදන රහසේ
රුහිරු සයුරද ඉහළ අහසේ
රළු අකුණකින් පුපුරා කෙටූ
ගිනි විදුලියෙන් මී බඳින මී මැස්සා

කවුද මේ මී මැස්සා කියලා නම් තවම දන්නෙ නෑ. හැබැයි බොහොම ආකර්ෂණීය සර්පයෙක් ඉන්නවා. භුපති සිරිවර්ධන හෙවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අගමැති. 'භූපති අගමැති මීළඟ ජනපති' කියලා හෙඩ්ලයින් ගන්න භූපති සර්පයෙක් වෙන්නෙ කොහොමද කියලයි දැන් මීමැස්සා බලන් ඉන්නවා ඇත්තෙ සමහරවිට. මගේ කියැවීම භූපති හෙවත් සර්පයාගෙ භූමිකාවට චරිත් අබේසිංහ තරම් වෙන ගැලපීමක් නෑ කියලයි. මොකද පළවෙනි දර්ශනයෙ ඉඳන්ම භූපති නම් සර්පයා හෝ සර්පයා නම් භූපති හෝ ඇරෙන්න චරිත්ව පේන්නෙ නැති හින්දා. සමහර කතා, ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් පවා නරඹනවට වඩා අහන (ඒකත් playback speed එක වැඩිකරලා) මං වගෙ මනුස්සයෙක්ට  සේරම වැඩ නවත්තලා ආසනයේ හරිබරි ගැහිලා වාඩිවෙලා හැම මොහොතක්ම උවමනාවෙන් බලන්න හිතුණු තරම් පළවෙනි කොටස් 5-6ම මාර රහයි. කොටින්ම නම්පෙළ/තේමා ගීතය ගැන වුණත් කියන්න දේවල් තියෙනවා. 

නම්පෙළට පසුබිම් වෙන්නෙ ශ්‍රී ලංකාවේ බොහොම ඓතිහාසික අවස්ථා පෙළක ඡායාරූප පෙළක්. නිදහස ලැබීමේ අවස්ථාවල ඉඳන් කොරෝනාව හරහා අරගලය දක්වා අවස්ථා නම්පෙළට පසුබිම් වෙනවා. හැබැයි මේ ඔක්කෝගෙම දේශපාලන නායකත්වයන් පෙන්වද්දි ඩී එස් සේනානායක මහත්තයගෙ ඉඳන් බණ්ඩාරනායක, සිරිමාවො, ජේ ආර්, ප්‍රේමදාස, විජේවීර, ඩී බී විජේතුංග, චන්ද්‍රිකා යන ඔක්කොමලව පෙන්නලා ඊටපස්සේ හිටිය කට්ටිය (මහින්ද, ගෝඨාභය, රනිල්, සජිත්, අනුර) හලා ඇතිබවක් පේනවා.😂 කළු ජූලිය, ප්‍රභාකරන්ගෙ මිනිය, යුද්ධය ජයග්‍රහණය, සරත් ෆොන්සේකාට එල්ලවුණ බෝම්බ ප්‍රහාරය, මහ බැංකු බෝම්බ ප්‍රහාරය වගේ අවස්ථා ගොඩක් මේ ඡායාරූප පෙළට ඇතුලත්. හැබැයි ඒක නිර්මාණයට සෑහෙන්න ගැලපෙනවා. ගීතය වුණත් අමුයි, ඔයයි මමයි කිව්වා වගේ තමයි. වැඩි කැටයම් නෑ.

හැඟීම් නිරූපණය අතින් ගත්තම භූපති තුළ මතුවෙන්න බලා ඉන්න, යටපත් කරගත් සර්පයා බොහොම අපූරුවට පෙන්නන්න චරිත් හොඳ උත්සහයක් කරනවා. ඒ එක්කම උදයන්ති, සුජානි මේනකා, විමල් කැටිපේආරච්චි සහ රමණි සිරිවර්ධන👌. 
ඒ වගේම දෙබස් හරිම රහයි! 

බිම්මට්ටමේ භූපති, රාජ යෝගයක් සහිත රදළ පරම්පරා පුරුකක් විවාහ කරගැනීමේ ඉඳන්ම ලංකා දේශපාලනික සහ සමාජීය කියැවීම බලන්න මං හරිම කැමතියි! මේ හැමෝගෙම කිල්ලෝටවල ඩිංග ඩිංග තියෙන්න පුළුවන් හුණු ටිකෙන් ටික එළිකරමින් මීමැස්සා හොඳ ගමනක් යයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ political thriller එකක් හැටියට මතක හිටින වැඩක් වෙයි එහෙම වුණොත්.

ඉතින්, සර්පයා රජ වෙලා මොනවා කරයිද බලන් ඉමු නේ?

~🖌️ Aash Weerasinghe