Friday, August 8, 2014

දිල් පීචං ක්‍යා හේ - අවසාන කොටස

4වන කොටසට

20වෙනි රූප රාමුව:
රාජ් රොකීගේ ගෙදර බැල්කනියේ වාඩිවෙලා කම්මුල අත ගගා ඉන්නවා...පපායි පවුලූෂායි රොකීයි එයාව හොයාගෙන බැල්කනියට එනවා...

"පුතා.."

"පපාජී.."

"අපි හෙට කෝච්චියේ ශිම්ලා යමු පුතා.."

රාජ් හිටි තැනින් උඩට විසික්වෙනවා..

"හෙට?? ශිම්ලා? අනේ පපාජි සප්නාව දාල යන්න බෑ.." රාජ් පුංචි කාලේ ඩොක්ටර් ලඟට යමු කිව්වම වගේ පින්සෙණ්ඩුවෙලා කියනවා..

පපා ඔළුව වනනවා...

"ඒ ගැන අමතක කරන්න පුතා..ඔය මැර ධනරාජ්ගිර් එක්ක හැප්පෙන්න දුප්පත් අපට බැහැ..අම්මා මළාට පස්සේ අපිට ඉන්නේ අපි විතරයි...අපි යමු පුතා...අපි යමු.." පපා කවදාවත් නැතුව රාජ්ගේ ඇස් මග ඇරලා කතා කරනවා..

රාජ් ටිකක් වෙලා පපා දිහා බලා ඉන්නවා..එයාගේ මූණ වෙනස්වෙනවා...එයා හැරිලා ගිහින් බැල්කනි වැටට අත් දෙක තියන් උරිස් හතරැස් කරන් පාර බලන් ඉන්නවා...

"පපා..ඒකම නෙවෙයි නේද හේතුව..?" රාජ් බාගෙට තරහෙන් බාගෙට දුකෙන් අහනවා...

පපා කලබල වෙනවා..

"ඒක තමයි පුතා හේතුව...කෙල්ලෙක් නිසා මට මගේ පුතාව නැතිකරගන්න බෑ.." පපා ලඟට ඇවිත් රාජ්ගේ පිටට අත තියනවා.."අපි යං"

"පපා..එදා පපා කිව්ව කතාවෙ හිටිය කෙනා සප්නාගේ අම්මා නේද? අම්මාව හම්බවෙන්න කලින් පපා ආදරේ කළේ එයාට නේද?" රාජ් මේ පැත්ත හැරිලා පපාගේ උරිස් දෙකෙන් අල්ලං මූණට එබිලා අහනවා...

පපා පුදුම වෙලා රාජ්ගේ මූණ බලනවා..හරියට මූ කොහොමද ඒක දන්නේ කියලා...රොකීගේ කට ඇරිල අයාලේ යන මැස්සෙක් ඒකට රිංගගන්නවා..එය තුක් ගාල කෙළගැහුවම මැස්සා මැරිලා බිමට වැටෙනවා...පවුලූෂා කරකියාගන්න දෙයක් නැතුව ඇවිදන් ඇවිත් රාජ්ගේ සපෝට් එකට පැත්තකින් හිටගන්නවා...

පපා  තටම තටම ටපල ටපල මොනාදෝ කියන්න උත්සහ කරලා රාජ්ගේ අත්දෙක අතෑරලා හැරෙනවා...

"පපා මට ඇත්ත කියන්න පපා..ප්ලීස්.."

"ඔව්..පුතා..." පපා බැරිම තැන කතාව කියන්න ගන්නවා...

"පුතා... මම එදා කිව්වා වගේ මම අවුරුදු ගාණකට පස්සේ සාවිත්‍රිව දකිනකොට එයා හිටියේ පොඩි ළමයෙක් එක්ක...ඒ ගෑණු ළමයෙක්...ඒ සප්නා නම් එයා ඔයාට වඩා සෑහෙන්න වැඩිමල් වෙන්න ඕන..ඒ කියන්නේ මේ කසාදේ කොහොමවත්ම කරන්න බෑ නේ පුතා.."

රාජ් මාර විදියට අප්සෙට් වෙනවා..එයා ගෙදරින් එළියට දුවනවා...පාර දිගේ ඔහේ දුවනවා...කට්ටිය එයා පස්සෙන් දුවලා නවත්තගන්න හදනවා ඒත් එයාල යද්දිත් රාජ් පාරට ගිහිං ඉවරයි...

පපා අවුලෙන්, රොකී පුදුමෙන්, පවුලූෂා දුකෙන් ඒ දිහා බලං ඉන්නවා...


Thursday, August 7, 2014

මගේ දෝතට නෑවිත් නුඹ...

විද්‍යාල මාවතේ මහ රූස්ස ගස් අතරෙන් ඇවිදන් යන්න මම පුදුම තරම් ආසයි.මැයි මල් පිපෙන කාලෙට මල් පාවඩ එලාගෙන මං එනතුරු බලං ඉන්නේ ඒ යෝධ ගස් පෙළ..

මගේ හිතේ ඒ හා සමානව මල් පිපිලා..ඒත් බලං හිටියට මගේ හිතේ මල් වැස්සක් වැටෙන්න හේතුවක් නෑ...තාම කවුරුවත් ඒ පාරෙන් ඇවිල්ලා නැති නිසා...

අද ඒ ගස් මල් වරලා..ඒත් මගේ හිතේ මල් පිපිලා..
පොදයක් වැටුණා වුණත් තෙමුණා කියලා අවුලක් නෑ...බය තියෙන්නේ අළුතෙන් ලියලා බෑග් මල්ලට ඔබාගත්තු නාට්‍ය අත්පිටපත ගැන විතරයි...ඒත් කමක් නෑ...අළුතෙන් ලියන්න මට සේරම මතකයි...

ඒ යෝධ හෙවණේ වැස්සේ සීතල සුවඳ එක්ක කැලතුණු තව මොකද්දෝ මහ අමුතු සුවඳක් තියෙනවා..මම නැවතිලා ලොකූ හුස්මකින් ඒ සුවඳ මට අයිති කරගන්නවා...ඒත් සුවඳ රැඳෙන්නේ නෑ...

Sunday, August 3, 2014

කැරපොතු සංහාරය

කැරපොත්තා ලෝකයේ පිරිසිදුම සත්වයායැයි මොකෙද්දෝ එකෙක් කියා ඇත්තේය.ෂුවර් එකටම ඌ නම් නොම්මර එකේ හපුට්ටෙක් විය යුතුය.මට ඔය කියූ එකා අසුවුණානම් අර පීතර මල්ලීගේ (Pied Piper)මීයන් වශී කරන නලාව වාගෙ මොකක් හෝ අටමගලයක් අටවා දී ලෝකයේ සිටින කැරපොත්තන් සේරෝම උගේ පස්සෙන් යන්නට සලස්වනවාය.එතකොට බලන්නට බැරුවාය රඟේ!



කැරපොත්තා කෙතරම් අප්‍රසන්න සතෙක්ද යත් මට උගේ අඬු ටික දකින විට ඔක්කාරයට එන්නේය.එසේ වුවද අවිහිංසාවාදී මම උන් පස්සෙන් පන්නා ගොස් මරන්නේ නම් නැත.ඌ උගේ පාඩුවේ ඉන්නා තුරු මට අවුලක් නැති නිසාය.එසේ වුවද කැරපොත්තා වුවත් මට ඇණයක් වන්නට ආවොතින් නම් පිරුවට යටින් ක්ලේමෝ මතුවන්නේය!

මේ ලියන්නේ එවන්වූ කැරපොතු සංහාරයකින් පසුය.

අද නම් මහා අප්සෙට් දවසක්ය.මහා පාන්දර 2ට මම කුස්සියට යනවිට කැරපොතු පාටියකි.මුනුත් රෑ ජාමේ නයිට් ක්ලබ් යන ඇමති පුතුන් වාගේය.මම නිදාගන්නට ගිය පැය 2ට උන් කුස්සියේ බජව් දමන්නට පටන්ගෙනය.මට ඉතින් මලෙත් හොඳම එක පැනගෙන ආවේය.මම පිරිසිදු දේශපාලනය පසෙකට දමා කොස්ස අතට ගත්තේ අවංකවම ඌ එළවා දමන්නටය.

Saturday, July 26, 2014

දිල් පීචං ක්‍යා හේ - 4වෙනි කොටස

3වෙනි කොටසට

16වෙනි රූප රාමුව:
ශිම්ලාවල දුරකථන කුටියක්..රාජ් වෙව්ලන ඇඟිලිවලින් නොම්මරයක් ඩයල් කරනවා..එයා ඉන්නේ බොහොම කලබලෙන්...කුටියට පිට පැත්තෙ පවුලූෂා හේත්තුවෙලා චුයිංගම් එකක් හප හපා කෙවිටක් වනවන වටේ පිටේ යන කෙල්ලොන්ට පැණි හලහලා ඉන්නවා...රාජ් වරද්ද වරද්ද ඩයල් කරනවා..ඇතුළෙන් කිසිම සද්දයක් නැති නිසා පවුලූෂා දුරකථන කුටියේ දොර ඇරලා ඇතුළට එබෙනවා..

"අරේ යාර් මොකද වෙන්නේ?"

"මං මේ ඩයල් කරනවා..උඹ පලයංකෝ..ආවා මෙතන එබෙන්න..චුප්.." රාජ් පවුලූෂාගේ ඇඟට කඩං පනිනවා..ඒකා නෙවෙයි වගකටවත් ගන්නේ..මොකද එයා දන්නවා අපේ සත්‍ය ප්‍රේම බෘංග රාජයා වෙන වෙලාවට වීරයා වුණාට දැන් නම් අම්බානෙක බයවෙලා ඉන්නේ කියලා...ඉතිං එයා කරුණාව ඉතිරි පැතිරී ගිය හදවතින් යුතුව ටෙලිෆෝන් එක උදුරලා ගන්නවා..

Thursday, July 24, 2014

දිල් පීචං ක්‍යා හේ - 3වෙනි කොටස

2වෙනි කොටසට

12වෙනි රූප රාමුව:
සප්නාගේ ජීප් එක නොපෙනී යනකම්ම කඳු මුදුනට වෙලා ඉන්න රාජ් එහෙමම බිම වාඩිවෙනවා..ඒ එක්කම ප්‍රේක්ෂකයාව අඬවන ජාතියේ විරහ ගීයක් පටන් ගන්නවා...රාජ්ගේ ඇස් වලින් උල්පතක් වගේ කඳුළු බේරෙනවා..."උඹ මගේ අහසය පොළොවය - ඉරය හඳය - හඳ පලුවය තනි තරුවය..ඕයි ප්‍රියා ප්‍රියා - ඈ දාලා ගියා" කිය කියා එයා ඇස් බරකරන් ශිම්ලා ටවුම පුරා අසිහියෙන් ඇවිදන් යනවා...එයාගේ ඇට්ටර පොඩි යාළුවා දුකෙන් බලන් ඉන්නවා...ඒ දෙන්නත් එක්ක නටපු පොඩි උන් "අක්කා කෝ?" කියල දුවන් ඇවිත් අහනවා..රාජ් උත්තර නොදී උන්ගේ ඔළු අතගාලා යමින් ගමන් කඳුළු පිහිදගන්නවා...

ඒ අතර ආපහු යන කට්ටියව පෙන්නනවා..විරහ ගීයේ ගායිකාවගේ කොටස ගැයෙනවා..ඔක්කෝම පිස්සු නට නට යන අතරේ සප්නා විතරක් දොරට ඔළුව තියන් පහුවෙන ශිම්ලා දිහා බලන් ඉන්නවා..එයාගේ ඇස්වලින් බේරෙන කඳුළු කැට රත්වෙච්ච තාර පාරට වැටිල වාෂ්ප වෙනවා..ඩ්‍රයිවර් ලොල්ලා සප්නාව අනික් අයට පෙන්නලා උරහිස් අකුළනවා..එයාලත් අනික් අතට මොනා කරන්නද මන්දා කියලා සංඥා බාසාවෙන් උත්තර දීලා උරිස් අකුළනවා...

අඬ අඬා ඉන්න රාජ්ට පේනවා සප්නා ආයෙත් හැරිල ඇවිත් ඉන්නවා..රාජ් 'සප්නා' කියලා පුදුමෙන් කියාගෙන ඉස්සරහට දුවලා ගිහින් එයාව බදාගන්නවා...ඒත් එක්කම එයා දකිනවා ඒ සප්නා නෙවෙයි තමන්ගේ ඇට්ටර යාළුවා - පවුලූෂා කියලා..එයා දුකෙන් අත් ගසා දාලා අත් දෙක සාක්කුවල ඔබාගෙන තොල හපන් ඇඬුම් වාවගෙන කඳුළු බිමට වැටෙයි කියලා උඩ බලාගෙන දේව්දාස්ගෙ මල්ලි වගේ වැනි වැනි ඈතට ඇවිදන් යනවා...