Tuesday, November 4, 2014

බස් ගමන

ඔප දැමූ කොපුලක
සැතපෙන්ට වලිකන
පුරුෂ නිමිති දෙකක්'තර..
වකුටුකරවා අඬු ටික
ඉන්න හැටි 
නොදකිත්ය ලොව..
දුටුගැමුණු කුමරාට 
කරන්නට රීමේක්
කෙලෙස හිඳගන්ට පහසුවෙන්,
උතුරිනුත් කුඩයකි
දකුණිනුත් කුඩයකි
එසවෙන්ට වෙර දරන..



Friday, October 24, 2014

තුවාල..

තුවාල...
අපි හැමෝටම තියෙන තුවාල...
සමහර ඒවා තාම සීරුම්..සමහර ඒවා සුවවුණ කැළැල්..තවත් සමහර ඒවා උඩින් හොඳවුණ යටින් තාම අමු ගැඹුරු ඒවා...තව සමහරක් සදාතනික කැපුම්...

ඔව් ඔබටත් ඇති..මටත් තිබුණා..තවම තියෙනවා..

මගේ හිත හීරිලා තිබ්බා..හීරුමක් තිබ්බට මක්වෙනවද?..මම එහෙම හිතුවා..
හීරුම පස්සේ කාලෙක ලොකු කැපුමක් වුණා..අඩියට ටිකක් උඩට වෙනකල් ගැඹුරට හෑරිච්ච...
ඔසුවක් කියලා කෙනෙක් ඇසිඩ් වක්කලා ඒකට...
වේදනාව ගැන කොහොම කියන්නද?..
තුවාලේ එක්කම හදවතේ පැත්තක් කරකුට්ටන්වෙලා ගියා..ඇඹරිලා විරූපී වුණා..
කාලෙකට පස්සේ කෙනෙක් අයිස් ගෙනාවා..අයිස්වලට සුවයක් දැනෙන බවක් හිතුණා...
නෑ...අයිස් ඇසිඩ්වලටත් වඩා විසයි...අයිස්වලට පිච්චෙනවා කියලා තේරෙද්දි තුවාලේ තවත් ටිකක් පිච්චිලා ඉවරයි...

හදවතේ තුවාලවලට බෙහෙත් නෑ ලෝකේ...අපි මවාගත්තට ඒවා ඇත්තම බෙහෙත් නෙවෙයි..
සදාකාලික බෙහෙත් කොහේවත් නෑ...ඒක තමයි ඇත්ත...



රිදුම් දෙන 
ඇදුම් කන
හදවත මගේ...

Saturday, October 18, 2014

ඒ කාලේ ටෙලි!

සාමාන්‍යයෙන් සෙනසුරාදා තමයි අපේ පැරණි රසාංග දවස..ඒ කිව්වේ අතීතාවර්ජන, පැරණි ඕපාදූප, අලගිය මුලගිය වැලගිය තැන් කතා වෙන දවස..එදාට එක එක මාතෘකා එහෙම මතුවෙනවා..ඒ වගේ අද ඇදිලා ආවේ ඉස්සරකාලේ ගිය ටෙලි නාට්‍ය ගැන...දැන් එව්වා නම් නාට්ටි..ඉස්සර එව්වා නාට්‍ය කියලා හිතෙන්න ගත්තේ ඒවා ගැන හොයලා බලන්න ගත්තුවම...බලමුකෝ මෙව්වා ඔහේලටත් මතකද කියලා...

ඕං ඔය ලින්කුවෙන් බැලුවම මතක් කොරගන්න ඕනෑ අය..මට මතක හැටියට මේක විකාශය වුණේ 90 දශකයේ මුල භාගේ වගේ..ඒ කාලේ බට්ටියෙක් වුණාට මට ඕක හොඳට මතක කතාවක්..කොටින්ම කිව්වොත් මම ඕකේ විස්තර කථනය දුන්නු හැටි අහං හිටි අපේ අම්මා මට හෙණ නෝණ්ඩියකුත් දාපි! "ඒ කාලේ චූටි ලු, ඒ වුණාට ඔව්වා නම් හොඳට මතකයිනේ??මටවත් මතක නෑ!" O_o

ඔය කතාව තියෙන්නේ වලව්වක ජීවත්වෙන අම්මයි දුවල තුන්දෙනායි ගැන..දුවල තුන්දෙනායි සෙට්වෙන්නේ හෙණ සිරා සල්ලිකාර කොල්ලෝ තුන්දෙනෙක්ට...ඔන්න ඒකයි කතාවේ සාරාංශය...ඉතින් ඔහේලට හිතාගතහැකිනේ ඇයි අම්මා මාව නෝණ්ඩි කළේ කියලා..අපි පුංචි දවසේ ඉඳන් ප්‍රේමයට සංවේදී නෙව! ;)

ඒ විතරයැ ඕකේ රඟපානවා නෙව අපේ මාමා...කවුද ඉතින් මහින්ද මාමා...ඕකෙ ඔය වලව්වේ කෙල්ලෝ තුන්දෙනාගේ ඇමති මාමා තමයි එයා..ඇමති මාමා ආව දුරක් ඈ! :D

තව ඔය පටන්ගැන්මේ බලන්ටකෝ දමිත් ෆොන්සේකා, අමිත්ත වීරසිංහ, අජිත් ජිනදාස වගේ අයගේ හැඩ..! එයාලා තමයි ඔය වලව්වේ දූලා තුන්දෙනාට දැල දාන්නේ..:D

Wednesday, October 8, 2014

බන්දු අයියා

බෙලිඅත්ත ගැටමාන්නේ සිට කොළඹට පැමිණි බන්දු අයියාගේ ගරාජය තිබුණේ නුගේගොඩ හංදියට නුදුරිනි.හරියටම කිවහොත් නුගේගොඩ මැක් ඩොනල්ඩ් අවන්හල ඉදිරිපිටය.90 දශකයේ මුල ලංකාවේ මැක්ඩොනල්ඩ් හිටියේ නැත.උන්නේ කාටූන්වල ඩොනල්ඩ් ඩක් පමණය.මැක් ඩොනල්ඩ් හැදෙන්නට පෙර එතැන තිබුණේ වසරින් වැඩි කාලයක් වසා තැබුණු පත්තර කඩයකි.තනි තරුව බබා කාලයේ පුංචි, බිංදු, චූටි තරු ආදී අනේකවිධ නම්වලින් තිබූ සිඟිති පත්තර ගත්තේ එතැනින්ය.අවංකවම කිවහොත් ඒ කඩය ඇර තිබුණොත් ඔය තරු බබාට පත්තරයක් නිකංම ඕනෑ වෙනවාය.ඒවාට පොඩි එකාගේ තිබූ පෙරේතකම කෙතරම්ද යත් මේ ලඟකදී වේපස්වී යනතුරුමත් පුංචි කාලයේ ගත් පත්තර ඔක්කෝම ගෙදර තිබුණේය.විසි කරන්නට නොදී කුම්මැහිකමට බදාගන්නා නිසා ඒවා ආදාහනය කොට තිබුණේ මට හොරෙනි.:'(





Saturday, September 20, 2014

සකායි

ඈත ඔරලෝසු කණුවේ අළුයම දෙකේ කණිසම වදිනවා ඇහුණේ හීනෙන් වගේ..මංවත් නොදැන ගලාගිය කඳුළක තෙත මුහුණ මත...මාව මේ තරම් ප්‍රබල කම්පනයකට පත්කරවන්න සමත්වුණ "සකායි" සීතල අඟිලිතුඩුවලට හිරවෙලා හිටියා..මං කියවමින් උන්නේ අවසාන පිටු කීපය...වෙලාව කොතරම් ඉක්මණින් ගතවෙනවාද කියලවත් නිච්චියක් නොවෙන තරමට මං ජොසුයි සකායිගේ පුදුමාකර ප්‍රේමය තුළ හිරවෙලා හිටියේ...

මං තේරුම් ගන්න උත්සහ ගත්තා, අහඹුවක් වගේ ලැබුණ එක බැල්මක් දිගේ ගමන් ගත්ත ජොසුයි සකායිට ඇලන් කෙනඩිගෙන් ලැබුණේ ඇත්තටම ප්‍රේමයක්ද නැත්නම් ඇගේ සුකොමළකමට, ඇගෙන් පළවුණ පෙරදිග ලාලිත්‍යවත් ගැහැණුකමට ඇතිවුණ නොනිම් ආසාවක්ද කියලා..තමන් දැඩිව ආදරය කළ සාම්ප්‍රදායික ජපන් දෙමව්පියනුත්, තමාට දැඩිව ලෙංගතුවුණ යහපත් තරුණයෙකුත් හැර දමා ඇය ගිය ගමන නැවතුණේ කොතැනද?..

මේ 'ප්‍රේමය' කියන සංවේදනය නැතිනම් හැඟීම මහ පුදුමාකාර දෙයක්...මිනිස් ප්‍රාණියෙක් කොතරම් ශක්තිමත්වුණත් බලගතුවුණත් මේ ප්‍රේමයෙන් බිඳුවක් ඇති ඔහුට දුර්වලවන්නට..ඒත්, ඒ ප්‍රේමයේ සියළුම මුහුණුවර හමුවේ ජොසුයි සකායි හිතාගන්නටත් බැරිතරම් ශක්තිමත්....