Sunday, September 10, 2023

"ණ" සම්මාන

මනුවර්ණ සම්මානයකට පාත්‍රවීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය යුතු නැහැ! ඒත් එහෙම වුණා. ඇයි?

මනුවර්ණ පිළිබඳ පිටස්තරයෙක් හැටියට මගේ කියැවීම දෙන්නම්. මං මනුවර්ණව අඳුනගත්තේ 2014දී යහපාලනය බලයට ගේන්න පටන්ගත්ත ෆේස්බුක් රැල්ල කාලයේ ඔහුගේ ලැම්බෝගිනි නාටකය නිසා. එතනදී ඔහු ජවිපෙ හෙවත් ජාජබ කඳවුරේ හිටගෙන (තවමත් එහෙමමයි - ප්‍රතිපත්ති ගරුකයි) කළ ඒ කතාව දේශපාලන පක්‍ෂ විපක්ෂබාවය පැත්තකින් තියලා බැලුවත් මට දැනුණේ ඕවර් ඇක්ටින් දඟලානා එකක් හැටියට. අන්තිමේදි ඔවුන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍ය භාවය ඔප්පු වුණාද නැද්ද කියන එක තීරණය කිරීම ලාංකික සමාජයට භාරයි (තමතමාගේ නැණ සහ ආකල්ප අනුව).

ඉන් අවුරුදු දහයකට පස්සේ ඒ මනුවර්ණම හිටවපු කොඩි ගහ යට මාත් රසිකයෙක් වෙනවා (දෛවයේ සරදමක් නෙවෙයි). සාමාන්‍යයෙන් ජීවිතේ දශකයක් කියන්නේ මිනිස්සු පරිණතවීම සහ පරිණාමය පෙන්නන ලොකු කාලයක්, ඕකේ අවුරුද්දෙන් අවුරුද්ද ගත්තත් එක්කෝ නැග්මක් එක්කෝ බැස්මක් පෙන්නලා ලස්සනට ප්‍රස්තාරගත කරන්න පුළුවන් වෙනස්වීම් (භෞතික, කායික, මානසික, අධ්‍යාත්මික) ඕනෑම කෙනෙකුට තියෙනවා. මට දැනෙන හැටියට මනුවර්ණ තමන්ගේ නමේ නියම අර්ථය, කලාකාරයෙක් හැටියට තේරුම් අරං තියෙන්නේ දැන් කියලා. ඔහු සම්මානයට පාත්‍ර වුණ 'රහස් කියන කඳු' නම් මම තාම දැකලා නැහැ, දැකපු අය ඇති. ඒක නිසා කොඩිගහයට ගැන කෙටියෙන් කිව්වොත් ඒක පට්ට අමු (raw), විශාල වපසරියක විහිදිච්ච ජීවිතවල අංශු මාත්‍ර අල්ලන්න හදන කතාවක්. බහුතර රසිකයන් එක්ක මාත් ඒ හැම අංශුවක්ම දැඩි පෙරේතකමකින් අල්ලගනිමින් ඉන්නවා. තවම ඒ ගැන කතා නොකරන්නේ කොයි වෙලාවෙ හරි මනුවර්ණගේ දක්ෂ කලාකාරයා යටපත් කරන් අර ඕවර් ඇක්ටින් දඟලානා දේශපාලන හෙංචයියා මතුවෙලා, වමට ගහලා මේ නිර්මාණය විනාස කරයිද කියලා මට තියෙන සාධාරණ සැකයක් නිසා. 

කලාකරුවන් දේශපාලනීකරණය වීම තරම් අපරාධයක් තවත් නැහැ කියන එක මම හැමදාමත් කියනවා. මිනිස්සු හැමෝම දේශපාලනික සත්වයන්. කලාකාරයන්ටත් ඒක එසේමයි. හැබැයි ලේබල් වුණ ගමන් ලැබිය යුතු වටිනාකම ඒ කලාකාරයන්ට ලැබෙන්නේ නෑ. (ජැකාට නරකයි මනුවර්ණට හොඳයි වෙන්න සාධාරණ සමාජයකදි නම් බැහැ) 

හරි. දැන් එහෙම දේශපාලනික කියැවීමක් තියෙන මනුවර්ණගේ නාට්‍යය විකාශය කරන්නේ පවතින ඕනෑම රජයකට අනුගතව ක්‍රියාත්මක වෙන ස්වාධීන රූපවාහිනියේ. ITN වෙනුවට 'ස්වාධීන' රූපවාහිනිය කීම මෙතනදි වැදගත් කියලා මම හිතනවා. 
ඔවුන්ගේ නාට්‍ය තෝරාගැනීමේ ක්‍රියාපටිපාටිය නම් ප්‍රශංසනීයයි.👏

මනුවර්ණගේ නිර්මාණයක් පහුගිය දෙරණ ලක්ස් සම්මාන උළෙලේදී සම්මානයකට පාත්‍ර වෙනවා. සුබ පැතුම්! 💐කලාකාරයෙක් හැටියට අගය කිරීමකට ලක්විය යුතු පුද්ගලයෙක් කියලා මම විශ්වාස කරනවා. 
නමුත් හැමදේම දේශපාලනිකයි. විපක්ෂයට පක්ෂග්‍රාහී හැටියට තවමත් ලේබල් වෙලා තියෙන, ජවිපෙ/ජාජබයේ දැඩි දෝෂ දර්ශනයට, විවේචනයට, මඩට ලක් වෙන 'නයි දෙරණ' දරණ ගහගෙන මනුවර්ණට සම්මාන පිරිනමනවා. මනුවර්ණට, කලාකාරයෙක් හැටියට හිත ඇතුලෙන් අප්‍රමාණ සන්තෝෂයක් දැනෙන්නෙ නැතුව ඇති කියලා පෘථග්ජන මනුස්සයො හැටියට අපිට කියන්න බෑ. දෙරණ මේ කළේ දේශපාලනික හෝ ව්‍යාපාරික අරමුණකින්ද කියලා පටු විදිහට මේක නිර්වචනය කරන්න බැරි අමුතුම paradox එකකට හෙවත් 'ණ' paradox එකකට මේ සිද්ධිය නිසා දේශපාලන සහ  කලා ප්‍රේක්ෂකාගාර දෙකම තල්ලු වුණා කියලයි මගේ කියැවීම. 
මොකද දේශපාලනය පැත්තෙන් ගත්තත්  විරුද්ධ-දේශපාලනික-ලේබල්ගත-නාලිකාවකින් සම්මානයක් පිළිගත්තට දේශපාලනික මනුවර්ණට අපහාසයක් වෙනවා. කලාව අතින් ගත්තත් සම්මානය වැඩක් නැහැ කිව්වොත් කලාකාර මනුවර්ණගේ දක්ෂතාවයට අපහාසයක් වෙනවා. 

ඒ මොකවුණත්, මනුවර්ණට තමන්ගේ කලා හැකියාවන් තව පෙන්නන්න තියෙනවා. දේශපාලනික සහ NGO න්‍යාය පත්‍රවලින් තමන් තුළ ජීවත් වෙන ඒ දක්ෂ කලාකාරයා ම|රා|ගන්නේ නැතුව ඉන්න එක ඔහුටම භාරයි. 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Sunday, September 3, 2023

මකුළුවා

 මකුළුවා කියන්නේ මොන වගේ සතෙක්ද කියලා කව්රු හරි මගෙන් අහල නෑ, ඇහුවොත්...
ඌ භයානක එකෙක්. හීනි දිග අට පය විහිදං සිටි සිටි ගාලා ඇවිදලා විතරක් මගේ කොඳු නාරටිය හිරි වට්ටවන්න විතරක් නෙවෙයි, ඌට පුළුවන් මගේ හීන දකින හැම රැයක්ම තත්පරයට කුඩුපට්ටං කරලා දාන්න! හරියට.. ඔව් ඒ වගේ..

මගේ බංගලාවේ දොර අරිද්දිම ඒ වගේ එකෙක් සිටිසිටි ගාලා දුවං ඇවිත් දොර උලුවස්ස දිගේ බිත්තියට නැග්ගා එදා හවස! ඊටපස්සේ ටික වෙලාවකින් ඌ ඇඳට උඩින් සීලීමේ එල්ලුණා උඩුයටිකුරු අතට.. ඌ එහෙම දකින්න උත්සාහ කළ ලෝකය මොනවගේ එකක්ද කියලා මම දන්නේ නෑ, හැබැයි ඌ දැක්ක ඒ ලෝකේ නොකඩවා ඌ දිහාම බලා හිටි නේත්‍රා යුග්මයක් තිබ්බ බව නං මට සහතිකයි. උන්ට නේත්‍රා යුග්මම හතරක්, සමහරුන්ට අඩුම හයක් තියෙනවලු. අපි දෙන්නට දෙන්නා එකට හතරේ අනුපාතේට උඩුයටිකුරු:යටිඋඩුකුරු අනුපානෙට අපි දිහා බලං හිටියා පැය ගාණක්. එතකොට තමයි අපේ ලයිට් අපිටම අරින්න තීරණය කරලා තිබ්බේ. කලුවරේ අතට අහුවුණ ෆෝන් එක තකහනියක් ඔබලා ෆ්ලෑෂ් ලයිට් ගහන් බලන් ඉන්න තරම් අපි අපිටම ආසක්ත වෙලා හිටියා පැය ගාණක්. හෙවණැල්ලත් එක්ක ඌ ඌට වඩා විශාල, මවාගත්ත පෞර්ෂයයක කිමිදිලා මෝහනය වෙලා වගේ හිටිපියෙන්ම හිටියා. 

මට ඇතිවුණා. 
කොහෙවත් ඉන්න ** මකුළුවෙක්ගේ ඊගෝවට ලයිට් ගහනවට වඩා වැඩ තියෙන බව මතක් වෙලා ජනේල් තිර අස්සෙන් අරහෙට මෙහෙට විපරම් කළාම දැක්කේ අහල පහල එළිය බව. වහාම ඉහළ ගිය ට්‍රිප් ස්විච් රාජය පහළට දාලා ආයෙත් එද්දිත් ඌ එතන එහෙමමයි! 

මගේ ඉවසීම පැන්නා. ඒක ඕනෑවට වඩා කෙනිත්තිලා පනින කොණේ තමයි තිබ්බෙ. ඌ දිහා බලාගෙනම නානකාමරේට රිංගලා නානකාමරේ බ්‍රෂ් තඩිය උරුක් කළා සීලිමට. 
ඌ මං බලාපොරොත්තු වුණ පාරේ යනවා වගේ හැරිලා මාව රැවැට්ටුවා.. ඔව් ඒ වගේ තමයි..
මාත් උද්‍යෝගයෙන් තව තට්ටුවක් දැම්මා සීලිමට. 
ඌ හිතන්න තප්පරයක්වත් නොගෙන සේද නූල් සූත්තර දියත් කරන් බිමට පැන්නා! මම පස්සට පැන්නා ඊට තප්පරයක ප්‍රමාදයෙන්.
ඔව්, මං පැරදුණා. ඌ පැනලා ගියා. කොහෙටද කොහොමද කියලා හිතන්නවත් වෙලාවක් වුණේ නෑ.

අමාරුවෙන් නැවිලා දණිපණි ගාගෙන මං ඌව හොයන්න පටන් ගත්තා. ආයෙමත් ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක ගහගෙන. ඇඳ අස්සට ගිය බවට සැකය මගේ උදර කුහරය දෙදරවගෙන මොළේට නැග්ගා. 

මං හිතුවා හරි. ඌ හිටියා.
අඩුපඬු ටිකෙන් ගුලි කරන් බිත්තරයක්!
ඇඳ පහළ විට්ටමේ ඇතුල්පැත්තේ අස්සෙ හැංගිලා.
ටෝච් එළියට ඌගේ ඇස් කොණක ක්‍රෝධයක් දිලිසෙනවා. මට බය හිතුනා තමයි. බිත්තරයක් එක්ක ඌ මේ ඉන්න ගේම, මරාගෙන මැරෙන එකකට අන්තයි. ඌට පුළුවන් බිත්තරේ වෙනුවෙන් මේක ඌගේ එකම සහ අවසාන යුද්ධය කරගන්න. මම පසුබැස්සා.

ඇඳේ තට්ටු කරන්න ගසන්න පුළුවන් හැමතැනටම තට්ටු දාලාත් මට බැරිවුණා ඌව එළියට ගන්න. මහන්සිය අමාරුව මාව වෙලාගෙන හිටියේ පිඹුරෙක් වගේ. මකුළුවෙක් මදිවට පිඹුරෙක්!
එන දේකට මූණ දෙන්න බලාගෙන මම නිදාගත්තා. පුළුවන් තරම් වෙලාවක් ඇස් ඇරගෙන සිහිය අල්ලං හිටියේ. එතනින් පස්සෙ මොකක්වුණාද කියලා මං දන්නෑ. ඌ තාම බිත්තරේ අල්ලං ඉන්නවද නැද්ද කියලා මං දන්නෙත් නෑ.
බිත්තරේ බිඳුනොත් ඌට මොකද්ද වෙන්නේ කියලා මං දන්නෙත් නෑ. 
ඌ අද හෙට එළියට ඒවිද කියලා මං දන්නෙත් නෑ.
කොටින්ම ඌ ගැන මොකද කරන්නේ කියලත් මං දන්නෑ! 

~තනියා
✏️: Aash Weerasinghe 

#AW #thaniya #medusa #medusasjournal #lka

Friday, August 11, 2023

දහතුනේ රනිල්


මහ බඹා රනිල් වික්‍රමසිංහගේ නළලේ කොටා ඇත්තේ මයිත්‍රී බව ඔබ කවදා හෝ දවසක සිතුවාද? නැත, ඔබට හිමි තුට්ටු දෙක රැගෙන හොට් සීටයෙන් බැස ආ ආතක් බලාගෙන යන්ට.

මහින්ද රාජපක්ෂට බුද්ධාගමද ජෙප්පන්ට කුහකත්වය ද ආකාරයටම රනිල් වික්‍රමසිංහ චරිතයට පත්තියම් වී ඇති එකක්ය, බලය විමධ්‍යගත කිරීමේ අමාරුව! දැන් එතැයි දැන් එතැයි රනිල් ආ දින සිට බලාපොරොත්තු වූ මාතෘකාව කල්යල් බලා දැන් වේදිකාවට සම්ප්‍රාප්තව තිබේ.

පසුගිය සතියේ නැකතට ජාතික ගීය අනුභව කිරීමේදි දේවානම්පියතිස්ස ප්‍රශ්න කළ ඇත්තෝද මේ සම්බන්ධයෙන් හාහූවක් නැත. සමහරක්විට රනිල් වාගේම එයාලාද කෑ පතේ පහරන්නට අකමැති ගුණගරුක මිනිසුන් වීම නිසා වෙන්නට හැකිය.

අරගල නාමයෙන් විවිධාකාර සාක්කුවල බැස සිටි ඇත්තෝ එක්කෝ නිහඬය, එක්කෝ සැර බාල කර ළදරු ප්‍රශ්න අසනු පෙනේ. පහුගිය සතියේ ජාතික ගීය හැර වෙනත් ප්‍රශ්න නැතිදැයි ඇසූ ඇත්තන්ටද දැන් ප්‍රශ්නයක් ලැබී ඇත. බොහෝ දුරට ඔවුන් ජාතික ගීයත් 13ත් හැර වෙනත් ප්‍රශ්න එනතුරු බලා සිටිනවා විය හැකිය. 
මේ තාක් උභතෝකෝටික ඇති ලංකාද්වීපයේ මට සහ තව සුලුතරයකට නැතුවාට රනිල් ඇතුළු බහුතරය දවන ගැටලුව බලය විමධ්‍යගත නොකිරීම වෙන්ටත් පුළුවන්ය! මන්දයත් උතුරු නැගෙනහිර පළාත් සභාවල බලතල වැඩිකරනතුරු ඔවුන්ට අතට ගත් බත් කට බඩට දාගන්නට බැරිය, අතට ගත් ඇඳුම ඇඟට දාගන්නට බැරිය, අතට ගත්... ආදී වශයෙන් ලැයිස්තුව දීර්ඝය. ඒ සා දුක්වේදනාවක් බලය විමධ්‍යගත කිරීමේ පියාට දරාගන්නට බැරිය.

උතුරු නැගෙනහිර හැර අනෙක් පළාත් සභා බලය ඉල්ලන්නේ නැත. ඔවුන් බලය ගන්නටද දෙන්නටද ගත්තත් නොගත්තා සේ සිටිමටද කලාව දනී. උතුර වාගේ ලේබල් ගසාගෙන බෙදාගෙන බදාගන්නට ඔවුන්ට අවශ්‍යතා නැත. කෙක්කෙන් පරාජය වූ දෙය කොක්කෙන් දිනා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නැත. තිස් අවූරුද්දක් ත්‍රස්තවාදයකට එරෙහිව සටන් කර, මහා ජීවිත සහ දේපල විනාශකට පසුත් නොහැකි වූ දෙය දේශපාලනිකව දිනාගැනීමට පාර කපා ඇත්තේ කෙසේදැයි තමතමන්ගෙ නැණ පමණින් ආපසු හැරී බැලීම වටී. 

TNA ලංකාව එංගලන්තයට සමාන කිරීම ගැන පස්වනක් ප්‍රීතියෙන් පිනා යාමට මුඩුම ලාංකිකයා අපොහොසත්ය! සමහරවිට බලය විමධ්‍යගත කළපසු ශ්‍රී ලංකාව ද එංගලන්තය මෙන් පෙනෙන්නට පටන් ගනු ඇතිය. 

රනිල් රැවුල ගිනිගනිද්දී සුරුට්ටු පත්තු කරන අතර තව කොටසක් රැවුලට පෙට්‍රල් දමා පිරිමැදීම, චාමර සැලීම වැනි සහයන් දෙනු පෙනේ. 

ඉතින් රනිල්, ஏன்ன பயித்தியமா? 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Wednesday, August 9, 2023

ගිනිගත් කඳාන

කඳානේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ගිනිගත්තයින් පස්සේ තමයි අසල්වැසියන් හැර සෙසු මහජනතාව දැනගන්නේ ඒක තිබිලා තියෙන්නේ පුද්ගලික පදිංචිකරුවන්, පාසැල් සහිත ගමක කියලා. ඒ ගින්නෙන් අසල්වැසි නිවසක් පවා විනාශ වෙලා මාධ්‍යයට අනුව අවට පාසැල්වල දරුවන් 85කට වැඩි ප්‍රමාණයක් ශ්වසන අපහසුතාවලට ලක්වෙලා මහ විශාල කාලගෝට්ටියක් නිර්මාණය වෙනකම් එවැනි පරිසරයක ඒ කර්මාන්ත ශාලාව බොහොම නිරුපද්‍රිතව වැජඹුණේ කොහොමද?

සාමාන්‍ය ගෘහාශ්‍රිත පරිසරයක නැත්නම් residential area එකක කර්මාන්ත ශාලා, ගරාජ්, වෑල්ඩිං පොලවල්, සයිකල් වින්කල්, ආහාර නිෂ්පාදන, මොන්ටිසෝරි කිරීම නීතිවිරෝධීයි විතරක් නෙවෙයි ඒවා නිසා ගෘහස්ථ පරිසරයක තිබිය යුතු සෞඛ්‍යමය, පාරිසරික සහ මානසික සුවතාවයට සහ තුලනයට සිද්ධ වෙන හානිය අතිවිශාලයි. උදාහරණයකට ළං ළංව ගෙවල් පිහිටි පර්චස් 6-7-8-10 පරිසරයක එක ගෙදරක බ්ලෙන්ඩරයක් ගැහුවත් අනෙක් ගෙදරට ඇහෙනවා. නිකමට හිතන්න මුලු සතියක්ම මැරිලා මැරිලා ඇවිත් සති අන්තයේ දෙයියනේ කියලා නිදහසේ ඉඳලා පොතක් පතක් බලලා අඩුම ගානෙ දවල්ට කාලා පොඩි නින්දක් දාන්න හිතාගෙන හිටියම එහා ගෙදර මනුස්සයො ඒ සති අන්තයේම මහ පාන්දර ඉඳන් මොකක්හරි සද්ද බද්ද ගොඩක් එක්ක වැඩක් හරි බජව්වක් හරි කරන්න ගත්තම සනීපේ? ඒ වගේම හිතන්න අහළ පහළ ගෙදරක ගෘහාශ්‍රිත කර්මාන්තයක් හැටියට තුනපහ නිෂ්පාදනය කරනවා කියලා. අහළ පහළ මිනිස්සුන්ට මිරිස් බදින තුනපහ කුඩුකරන සද්ද අහගෙන දරාගෙන, විඳගෙන ඉන්නවෙන්නේ සුලුපටු වධයක්ද?ඒ අස්සේ ගරාජ් එකක් වගේ දාගත්තම කොහොමද සනීපේ? මුලු දවසම යකඩ තලන සද්ද, ස්ප්‍රේ පේන්ට් ගඳ, වාහන රේස්කරන සද්ද එක්ක අසල්වැසියන්ට මාර සනීපයක් සුවයක් ඇති නේද?

එක කාලයක අපේ ආත්තම්මලගෙ ගෙදර ඉස්සරහ ගෙදර මොන්ටිසෝරියක් දැම්මා. පර්චස් විස්සේ කොටස් වුණත් ඒක බොහොම නිශ්ශබ්ද, තාප්පවලින් වටවුණු, මිනිස්සු උන්නද මළාද දන්නේ නැති වැදගත් පළාතක්. එහෙම තැනක මහ කාලගෝට්ටියක් පටන්ගත්තම කොහොමට තියෙන්න ඇතිද. උදේ දවල් හවස පාර පුරා වාහන, හදිසියකට ගෙදරකින් වාහනයක් එළියට ගන්න තියා ගේට්ටුවකින් මනුස්සයෙක්ට එළියට බහින්න බැරි විදියට ඔක්කොම අවහිර කරලා. ආදායම් මාර්ග හොයාගන්න ආව ගණිකා වෘත්තියේ යෙදෙන මිනිස්සුත් සෙනග අස්සේ ගේට්ටු කුලුනු අස්සට මුවාවෙවී ගැණුම් කාරයෝ හොයනවා. දවල් මොන්ටිසෝරිය ඇරුණම ඩේකෙයාර් එකයි පංතියි පටන් ගන්නවා. බෑන්ඩ් ප්‍රැක්ටිස්, නර්සරි සිංදු අරක මේක නැති සතියක් නෑ. මොන තරම් ශබ්ද දූෂණයක්, මානසික පීඩාවක්ද ඒ අසල්වැසියන්ට? සති අන්තයෙත් පංති නිසා තත්ත්වය ඒලෙසමයි.
අවුරුදු ගාණකට පස්සෙ මොන්ටිසෝරිය වහලා ගෙවල් විකුණලා යනකල් ඒ පැත්තේ මිනිස්සුන්ට පුදුම කරදරයක් තිබ්බේ. ඒ පැත්තේ අසල්වැසියො ලියන්න පුළුවන් හැම බලධාරියෙක්ටම, ආයතනයකටම ලියලා, ගිහින් කතා කරලා, පැමිණිලි කරලත් වැඩක් වුණේ නෑ මොකද සල්ලිවලට විකිණෙන එකයි ගන්න එකයි ලංකාවේ පුරුද්දක්නෙ.

ඕක තමයි ලොවට බණ දෙසන ලංකාවේ තත්ත්වය. කිසිම මනුස්සයෙක් දෙයියනේ කියලා සැනසීමේ වැටිලා ඉන්න ගෙයක්දොරක් ගන්නේ හෝ හදන්නේ එකෙකාගේ ව්‍යාපාර නිසා ඒ සැනසීම නැතිකරගෙන, ලෙඩ්ඩු වෙන්නවත්, අහක යන කරදර දාගෙන තමන්ගේ ඇගේ ලේ පුච්චගන්නවත්, තමන්ගේ දේපල විනාශ කරගන්නවත් නෙවෙයි. හැබැයි ඉතින් තමන්ට ඒ කරදරය දැනෙනකල් විදග්ධ පිළිතුරු දෙන්න කට්ටිය ඉන්නවා. 'ටික කලක් යද්දී හුරුවෙනව' කියන එකත් අන්න එහෙම ගොං තකතිරු ගැලවිජ්ජා උත්තරයක්.

මට තියෙන ප්‍රශ්නේ මේ පරිසරයේ ඔහොම කර්මාන්ත ශාලාවක් තිබීමේ භයානකකම කිසිම මනුස්සයෙක්ට, වගකිවයුතු ආයතනයකට දැනුනේ නැද්ද? (ඒකත් කිකිළිද බිත්තරේද වගේ කතන්දරයක් ද දන්නෙත් නෑ) මේ වගේ බොහොමයක් ව්‍යාපාර නිසි ලියාපදිංචියක් නොකරයි ගෘහාශ්‍රිත පරිසරවල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙම ප්‍රශ්නයක් නැතුව පවතින්න නීතියේ කොච්චර හිල් තියෙන්න පුළුවන් ද? මේ මුළු කාලය තුළ අවට මිනිසුන්ට වුණු සෞඛ්‍යමය හානිය කොයිතරම් තරම් වෙන්න පුළුවන් ද? පඳුරකට ගැහුවම පිළිකා රෝගීන් සිය ගණනක් විසිවෙනකොට ඒකට පාරිසරික දූෂණය කොයිතරම් විශාල සාධකයක් වෙනවා ඇතිද?

මධ්‍යම පාරිසරික අධිකාරිය, ප්‍රාදේශීය සහ නගර සභා, ග්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විතරක් නෙවෙයි ප්‍රදේශයේ පොලීසියටත් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීති සම්පාදනය කරලා තියෙනවා. ඇයි එහෙනම් ක්‍රියාත්මක නොවෙන්නේ?

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Sunday, August 6, 2023

ජාතික ගීය සහ දේවානම්පියතිස්ස

උමාරාගේ ජාතික ගීත නාටකයෙ මුල පටන් අගට (හදවතින්ම) ශ්‍රී ලාංකිකයන් ගියේ මිහිඳු හිමි වැඩි මගය. ඒ අන්ත දරුණු නිරාගමිකයන් (බෞද්ධ විරෝධී - අතිවිශේෂ; ශ්‍රී ලංකාවට ආවේණික සත්ව කොට්ඨාශයකි.) පවා ඒ මග යාම ස්වභාව ධර්මයේ කුරිරු සරදමක්ය!

මේ ප්‍රශ්නය හැර ලංකාවට වෙනත් ප්‍රශ්න නැතිද යන්න ඒ දනන්ගේ මුවග නිබඳ රැඳුනු අතර දුවන මුවන් දැක නෙලූ පලා විසිකළ දේවානම්පියතිස්සට දුරින් ඥාති වන පරම්පරාවේ අය එසේ නැතැයි කීහ. ඒ ප්‍රශ්නයත් ඔබ කියනා ඔය ප්‍රශ්නත් හැර වෙනත් ප්‍රශ්න නැතිද යන්න නොඇසූ හෙයින් හොට් සීටයේ අසුන්ගත් දනෝ කෝල්-එ-ෆ්‍රෙන්ඩ් අවස්ථාව ලබා නොගත් අතර ඊළග ප්‍රශ්නය නැගෙනතුරු දසැඟිලි සපමින් තවම බලා සිටී.

උමාරා හැරුණු විට ජාතිය අනුභව කළ වෙනත් අයවලුන් නැතිද වැනි ප්‍රශ්න මේ වැඩසටහනට ඇතුළත් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. මන්දයත්, ජාතිය රන්විමනක් නොවන නිසාය,ආගම මිණිපහනක් නොවන නිසාය. එය රැකගන්නට සමත් රැඩිකල් පුතුන් දැන් මුදලට විකිණෙන නිසාය.

එසේ හෙයින්, අපි ජාතික ගීය සිරස වොයිස් ජයග්‍රාහක රමියා ලවා ගායනා කරවීමට අත්සන් කෝටි විස්සක පෙත්සමක් සලකා බලමු.

ඒ අතර, ඒ ප්‍රශ්නයත් අර ප්‍රශ්නයත් හැර වෙනත් ප්‍රශ්න නැතිද යන්න විමසන ඔබට මාර්ග ඵල ලැබීමේ අවස්ථාව ඇති බව දැක අප්‍රමාණ චිත්ත ප්‍රීතියට පත්වෙමු.

ස්තූතියි,
මීට විශ්වාසී
තනියා!
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow