Monday, June 30, 2014

ආවෝ ගියෝ..

අඳුරු වීදියේ කොණක,
ඈ හිඳී..
දුහුල් සළුපට,
පාට  වත්සුණු නැතුවාට..
ගිනිගත් මද්දහනේ
සිත පුරා ඔඩු දිවූ
ගිනිගත් හැඟීම්
දරාගෙන ඇදී එයි
හැඩිදැඩි පුරුෂාත්ම...
නිරුවත් කය උරා බී
නිල්කොළ කිහිපයට
සතොසින් නික්මයන දන...
වෙහෙසුණු දැවුණු ඉඳුරන්
කරපින්නාගත් ආත්මය
නුරා හැඟුමන් මුසුවුණු
අඳුරටම එක්වෙයි යළිත්,
නොහෙලූ සුසුමක් 
ළයේ ඉතිරිකර..
ඇයට නුදුරින් 
පහන් කණුව මුල,
වියරුව පහන් එළිය හඹාගොස්
මියැදුණු ජීවිතය..
"ආවෝ ගියෝ"...



Friday, June 27, 2014

බම්බුවේ බොග් රෝල්

මම කලින් වැඩ කල ඔෆීසිය තියෙන්නේ කොළඹ ප්‍රසිද්ධ බම්බුවක ලු ඉතින්.මේ කියන්න යන්නේ බම්බුවේ වැසිකිළි කැසිකිළි ජීවිතේ ගැන....

දැන් ඔය අපේ බම්බුවේ ඔෆීසි තොගයක් තියෙනවා.ඒවා එකිනෙකට වෙනස් නිකන් හරියට කුලියට ගත්තු කඩ කාමර වාගේ තමයි.ඔය හැමෝටම පොදු සිස්ටම් එකක් තියෙනවා.ඒ බම්බුවේ වැසිකිළි සිස්ටම් එක.

කොටින්ම කිව්වොත් ඒවා නම් බම්බුවේ වැසිකිළිම තම්යිලු ඕං.මොකද ඒවායේ සේදීමට වතුර නැත, පිහදගන්නට කඩදහි පමණය.දැන් ඉතින් ඔය වෙන්ට සුද්දෙක් හරි ජෙනුයින් සුද්දෙක් හරි එහෙමත් නැතිනම් වැසිකිළියාමෙන් පසුවවත් සෝදා නොගන්න හපුට්ටෙක් හරි මිසක් තේරෙනවනේ ඔහෙලට අපේ වගෙ පිරිසිදු රටකට ඕක හරිම අශික්ෂිත, අශීලාචාර, අවලක්සණ, ගන්දස්සාර වැඩක් බව.

Wednesday, June 18, 2014

ජාතිවාදියෝ සහ බුකියේ වීරයෝ!

අම්මට සිරිය! බුකියේ බැලු බැලු අත අතක් සහිත කහපාට ප්‍රොෆයිල් පික්ය.දශක තුනක යුද්ධයක් අවසන් කල මොහොතේ මෙහෙම සිංහ කොඩිවත් පෙනුණේ නැත.දැන් බලන කල බුකියේ සිංහල බෞද්ධ බල්ලෙක්වත් නැත.ඔක්කෝම ඇත්තේ සර්වාගමික සර්ව සාධාරණ නපුංසකයින්ය.සමහර මේ කහපාට පින්තූරය එල්ලාගත් උන්ගේ සැබෑ පැටිකිරිය දකිනා විට සිනහසෙන්නට වෙන්නේ පුටුවෙන් නැගිටලාය.ඒ තරමට උන් සර්ව සාධාරණය.සමහරුන්ගේ දෙමව්පියන් උප්පැන්නයට උවමනා නිසා දුන් ආගම මිසක ඇත්තටම උන්ට ජාතියක් ජම්මයක් කියා දෙයක් ඇත්තේම නැත.

පෝස්ටරයට හේතුව පහල වූ සිවිල් යුද්ධයක ලකුණුය.දැන් හැමෝම තොත්ත බබාලාය.ගැසූ එකෙක් නැත, සෙරෝම වැටෙන්නට කාලාය.දැන් මේ සියලු දේට හේතුව බොදු බල සේනාවය.ඒ රැස්වීම පැවැත්වෙන තෙක් එක මුසල්මානුවෙක්වත් වෙන ජාතියක එකෙකු දිහා රවලාවත් බලා නැත.උන් මල් දුන්නෙන් වැඩි අහිංසක බබ්බුය!

ඥානසාර හාමුදුරුවන්ගේ කතාවේ සමහර කොටස් සැර වැඩි බව හැබෑය.නමුත් එහෙම නොකියාත් බැරි අවස්ථා ඇත්තේ අපේ වසලයින්ට තම ඔළුවේ පහරා ගියත් වගේ වගක් නැති නිසාය.උන්වහන්සේ ඕවා කිව්වේ එළිපිටය.රහසේ කෙරෙන ඉගැන්නුම් ඊටවඩා බරපතලය.දැන් කෙලින් කියනා එකා නරක මිනිහාය, නොකියා යටින් ගේම දෙන එකා හොඳ එකාය.ඔය අපේ සමාජයේ ආකල්පමය ප්‍රශ්නයකි.මේ ජාති ආගම් ප්‍රශ්නවලට පමණක් නොව කොයි දේට ගියත් එහෙමය.හිනාවෙවි දෙකට නැවී ඇඟට මුත්‍රා කර ගියත් ඌ රත්තරංය.එසේ නැතිව මුත්‍රා බර බව කෙලින් කියූ එකා ජාතිවාදීය, ආගම්වාදීය, අප්සෙට්ය අරකය මේකය ලොවෙත් නැති එව්වාය.

Monday, May 26, 2014

ගල් මිනිසා

තවත් උදෑසනක් එළඹිලාය.තමාගේ පිරිවර සියොත් කැල ද පිබිද තටු ගසා මුව දෝවා දවස පටන් ගන්නට සැරසෙනු ඇයට පෙනිණි.පහළ මංමාවත් සංකීර්ණ අරමුණු කරා දිවයන ජනයාගෙනුත් දුම්දමමින් හඬ තලමින් ඇදෙන යකඩ යකුන්ගෙනුත් පිරෙන්නට පෙර දවස ඇරඹිය යුතුය.නැතිනම් දහවල වද්දී තටු ගසන්නට නොව සෙලවෙන්නට පවා නොහෙන තරම් අලසකමක් දැනෙයි.

ඇය අතු අගකට පැමිණ තටු සලා සූදානම් වූවාය.ඊයේ සවසත් හරි හැටි කෑමක් වැටී නැති කුස පුළුන් රොදක් වාගේ දැනෙයි.සියල්ලටම පෙර ඔහු බලන්නට යා යුතුය.ගතවූ රැයපුරා ඈ තම සිහින ඔහුගේ රුවින් පුරවාලූවාය.ඒත් හැබෑව වාගේම ඇගේ සිහිනද අවසානයේදී සිත රිදවූ බව මතකයට නැගී ඇගේ පියාසර වේගය මදක් බාලවිය.

"කමක් නෑ අදත් යනවා"

Friday, May 23, 2014

නුඹ..

නොගැයූ ගීයට පදවැල සැපයූ
අහිමි විජිතයයි නුඹ...
හදේ ස්වර තත් කඩා බිඳලූ
සොඳුරු වීණාව නුඹ...

පිපෙන්නට අරඇන්ඳ'මුත්
හදවිල නොපිපුණේ කිම?..
සිත පාරවා මල් මිලිනකොට
නෙත් කඳුළු උල්පත පිපුණේ නුඹ..

අඳුරු හදගැබ ඇඳුනු දේදුනු
දකින්නට නෙත් අන්ධවූ 'මුත්..
නොඇඳි සිතුවම කඳුළු බිඳු ගෙන
ඇඳෙන්නට පෙර බොඳකළේ නුඹ..



පසු සටහන:
හරියටම දශකයකට කලින් ලියූවක්.දශකයක් තුළ බොහෝ දේ වෙනස්වී තිබෙන බව අහම්බෙන් වාගේ මේ කවිය හමුවූවිට සිතුණා.සිතුම් පැතුම්, ආකල්ප, වචන... ඒ සේරටම වඩා හැඟීම් කොයිතරම්නම් ඉක්මණින් වෙනස්වෙනවද?..

නිර්මාණය සාර්ථකද කියලා දැන් නම් පොඩි කුකුසක් ඇතිවුණත් ඒ මොහොතේදී නම් ඒ වචනවල පෑරෙන රිදෙන ලොකු හැඟීමක් තිබුණ බව මතකයි.අතීත රිදුමක් නිකමට වාගේ ආවර්ජනය කෙරුණා..:)