මම 'මැයි මාර ප්‍රසංගය' කියවලා නැහැ. හැබැයි ඒකෙ තියෙනවලු හරිනම් විශ්වය කියන වචනෙට ටැක්ස් ගහන්න ඕන කතාවක් කියලා තැනක දැක්කා. ඔව්, එක අතකට විශ්වය කියන වචනෙ එච්චරට පාවිච්චි වෙනවා තමයි.
විශ්ව බලය මොකද්ද කියලා විස්තර කරන්න මම දන්නෙ නෑ. හැබැයි හැම ආගමකම වගේ ඒකට විවිධාකාර නම් දීලා තියෙනවා කියලා මම හිතනවා, දේවත්වයන් තුළින් අපි දකින්නේ ඒකම කියලා හිතනවා. මේ විශ්ව ශක්තිය හරි බලය හරි ගැන සෑහෙන්න අධ්‍යයනය කරපු මගේ හොඳම මිතුරියක් එක්ක කරපු සංවාද ගණනාවකින් පස්සෙ ඒ හා සමාන මගේ අත්දැකීම් ගැන ස්වයං විශ්ලේෂණයක් කරමින් ඉන්න කාලයක් මේක. ඒ ගැන ලියන්න නෙවෙයි හදන්නේ.
අපි සමහර වෙලාවට යන පාරවල් සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ, අපිට ගැලපෙන්නෙත් නෑ. එහෙම යද්දි ඒක වැරදියි කියලා අඟවමින්, යන්න ඉඩ දීලා අපිටම අපේ වැරදීම් තේරුම් ගන්න කාලයක් දීලා ඒත් අපි වෙනස් නොවෙනවා නම් කණට ගහලා වෙන පාරකට ඇදලා දාන්න පුලුවන් මොකද්දෝ එකක් මේ ලෝකෙ තියෙනවා. ඒක සර්වබලධාරී දෙවියන් වහන්සේ ද, වෙනත් දේවාත්ම ද, අදෘශ්‍යමාන බලවේග ද, ස්වභාව ධර්මයා ද, ඉරණම ද, දෛවය ද, කර්මය ද, මොකද්ද කියලා මම දන්නෙ නෑ.
සමහර වෙලාවට අපිට ජීවිතේ දෙවෙනි අවස්ථා ලැබෙනවා. ඒකත් කෙල කරගත්තම 'තොට කියලා වැඩක් නෑ, මම කරලම පෙන්නන්නම්' කියලා වැඩේ සම්පූර්ණ බලතල තමන් අතට ගන්නවා. මේක විශ්වාස නොකරනවා නම් තමන්ගේ ජීවිතවල වැරදුණු හරිගිය තැන් එක්ක ආව ගමන දිහා ආවර්ජනය කරලා බලන්න පුළුවන්.
ලංකා දේශපාලනයටත් වෙන්න පුළුවන් ඒකම තමයි.
දේශපාලන පාරවල් ගොඩක් එකතුවුණාම තමුන් තමුන්ට කැමති පාරවල්වල යන්න තීරණය කරනවා. ඒක වඩාත්ම ගැලපෙන පාර කියලා තීරණය කරන්නෙ තමුන්. ඒ පාරේ යන අතරේ කොහොමද යන්නෙ, කොහොමද හැසිරෙන්නෙ, මොනවද කරන්නෙ, කාත් එක්කද යන්නෙ කියන තීරණ ගොඩක් ගන්න වෙනවා. සමහරවිට මේ පාරවල්වල මගදිගට සළකුණු සහ පණිවිඩ සෑහෙන්න තියෙන්න ඇති මේ අයට මග ඇරුණු. එතකොට හාන්සි පුටුවකට වෙලා, කකුල් දෙක පුටු වතේ තියාගෙන, පයිප්පයක් බිබී මේ නාටකේ දිහා බලන් ඉන්න විශ්ව ශක්තිය කියන අදෘශ්‍යමාන බලයට එක වෙලාවකදි හිතෙන්න පුළුවන් 'දැන් තොට තව කියලා වැඩක් නෑ, දැන් මම මේක කරලා පෙන්නන්න වෙලාව හරි' කියලා. එතනින් එහාට අර පාරවල්වල මොන දහ අට පාලිය නැටුවත්, කොච්චර කරණම් ගැහුවත් අපේ ඊලඟ කතා සංධිස්ථානය තීරණය වෙලා ඉවරයි.
දැන් මේක පුද්ගලිකව අරන් පැසවන්න යන්න එපා.
මේක සාමාන්‍ය මනුෂ්‍ය අවබෝධතා වපසරියෙන් එහා ගිය බල සහ ශක්ති තුලනයක් කියලා මම විශ්වාස කරනවා. මේ තුලනය ඇතුලේ ජයග්‍රාහකයෝ, පරාජිතයෝ, වින්දිතයෝ, නින්දිතයෝ වගේ යෝයෝලා ගොඩක් ඉන්නවා. සංසාර චක්‍රයේ කොටස්කාරයෝ වෙනතාක්කල් අපි නිතැතින්ම මේ බල තුලනයේ කොටස්කාරයෝ වෙනවා.
සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය අටලෝ දහමට ප්‍රතික්‍රියා කරන එක. දුක, අයස, නින්දා, අලාභ ඉදිරියේ මහා කම්පාවකට ලක්වෙලා සැප, යස, ප්‍රශංසා, ලාභ ඉදිරියේ මහා සන්තෝෂයකට පත්වෙනවා. පරාජිතයෙක් ඉන්නවා නම් එතන ජයග්‍රාහකයෙක් ඉන්නවා. හැබැයි පරාජිතයා කම්පාවෙන තරමටම ජයග්‍රාහකයා සන්තෝෂ වෙනවා. ඒකනෙ පෘථග්ජන මිනිස්සුන්ගේ හැටිය. එතනදි අමතක වෙන ලොකුම දේ තමන්ගේ භූමිකා මාරුවෙන්නත් වැඩි කාලයක් නැති බව. යන්නේ හරි පාරේද, සලකුණු තේරුම් ගන්න තරම් සවිඥානික මනසක් තියෙනවද, කවුරු කා හට කුමන අවස්ථාවේද යන අවස්ථා සම්බන්ධතා නිරවුල් කරගන්න කොයිතරම් දුරට පුළුවන් ද වගේ කෙළකෝටියක් මනුෂ්‍ය තීරණ ඒ දෙන්නටම තියෙනවා. තනි තීරණ සාමූහික සංසිද්ධිවලට බලපානවා. සාමූහික සංසිද්ධි වර්තමානය තීරණය කරනවා. අතීතයයි වර්තමානයයි අනාගතය තීරණය කරනවා. තනි තීරණයකට පුළුවන් කාල රේඛාවක් නොහිතන විදිහට වෙනස් කරන්න. හොඳට හෝ නරකට ඒක ආපහු හරවන්න බැරි දෙයක්.
ලංකාව ලොකු ගමනක් ආව රටක්. ඒක අස්සේ දුක් කම්කටොලු, අභියෝග, යුද්ධ, සමාජීය ආර්ථික ප්‍රශ්න කෙළකෝටියක් තිබුණා. දැන් රටේ මිනිස්සු කාල රේඛාවක වෙනසක් කරලා තියෙනවා. විශ්වය සමහර මැදිහත්වීම් කරන්න ඇති. හැබැයි දැන් යන පාර දිහාත් බලන් ඉන්නවත් ඇති. කාල රේඛා වෙනස් කල මාන්නයෙන් පිම්බිච්ච මිනිස්සුන්ට පිම්බෙන්න ගොඩක් ඉඩ දෙයි, දෙහි කට්ටක් අතේ තියන් ඉන්න ගමන් හැබැයි. ඒ ඇත්ත දැනගෙන ගමන යන්න. තිත්ත බෙහෙත් දුන්නම දොස්තරට පාස කියන්න එපා.
මේ ආව කාල රේඛාවල නොවුණු දේවල්, නොදින්න දේවල් තියෙනවා. වින්දිතයොයි පරාජිතයොයි ඉන්නවා. හැබැයි ඒක එහෙම වෙන්නත් ඇත්තේ යම්කිසි හේතුවකට. ඒ හේතු වෙනස් කරගෙන බලය අයුතු විදියට පාවිච්චි කරන්න කාටවත් බෑ. එහෙම වුණොත් මොන වගේ සිද්ධි දාමයකට මුලපුරයිද කියලා අපි කිසිම කෙනෙක් දන්නෙත් නෑ.
නිශ්චලව බල තුලනයට මූණ දෙන්න ඕන, උපේක්ෂාවෙන් හැබැයි සම්මා සතියෙන්, සම්මා දිට්ඨියෙන්.
එච්චරයි.
🖌️ Aash Weerasinghe | තනියා
#AW #thaniya #medusa #medusasjournal #lka