Wednesday, December 14, 2022

සන්ග්ලාස් අන්කල්

දැන් ඔය හයිලෙවල් පාරේ ඉඳන් රේමන්ඩ් පාරට හැරෙන තැන තුන්හුලස් ඉඩම ඉස්සර බන්දු අයියගෙ (අපිට බන්දු අන්කල්ගෙ) ගරාජ් එක. මේ ගැන බන්දු අන්කල්ගෙ මරණය කාලෙ මම ලියලා ඇති බ්ලොග් එකේ.

( https://tharuwehi.blogspot.com/2014/10/blog-post.html?m=0 )

බන්දු අයියගෙ ගරාජ් එක ඒ කාලේ කලා තිප්පොලක්. සෑහෙන්න කලාකාරයො ආගිය, විශේෂ වැඩකට නොවුණත් යමින් එමින් ගොඩවැදිලා ගිය තැනක්. අපේ තාත්තත් කලාකාරයෙක් නොවුණට ඒ හිතවත් පිරිසෙ කෙනෙක් වෙච්චි නිසා පැය ගණන් (වැඩකට නැතුවත්) ඔතන කට්ට කන්න සිද්ධවෙච්ච අවස්ථා අපිට තියෙනවා.

ඕක ඉස්සරහම තිබ්බේ ඇල්බට් අන්කල්ගෙ කඩේ. පෞද්ගලික ප්‍රවාහනයේ ඉස්කෝලෙ ගිහින් එද්දී සමහර වෙලාවට දවල් ඉස්කෝලෙ ඇරිලා රෑ වෙනකල් කන්න කටු සෙට්වෙන අවස්ථාත් තිබ්බා, අපේ පියාණන්ගේ වැඩ රාජකාරි අනුව. එහෙම දවසක පාන් කියාගන්න බැරිව හෙම්බත්වෙලා හිටිය මට ගරාජ් එක පැත්තට වාහනෙ හරවද්දි සංසාරයෙ දුක්ඛිතබව පැහැදිලි වේගෙන වගේ ආවා. ඒ බව නොදත් තාත්තා මොකද්දෝ ලොරි දුනු කතාවක් බලවන්න පටන් ගනිද්දී මට ඕනෑ වුණා තනියම ඇල්බට් අන්කල්ගෙ කඩේට පාර මාරුවෙලා මොනවහරි ගන්න. සාමාන්‍යයෙන් එහෙම තනියම යවන්නෙම නැතිවුණත් එවෙලේ සන්ග්ලාස් අන්කල් එක්ක කතාවකට සෙට්වෙලා හිටි තාත්තා අවසර දුන්නා එතුමාගේ අධීක්ෂණය යටතේ පාර පැනලා ගන්න දෙයක් අරං ඉක්මණට එන්න. අන්කල් එක්ක කතාකරමින් කඩේ පැත්තට මූණලාගෙන තාත්තා බලං ඉන්නවා මගේ ගමන මොනිටර් කරමින්. අවුරුදු 9ක් හෝ උපරිම 10ක් වෙන්න ඇති මට ඒ වෙද්දී. අර පටුපාර තනියම තරණය කිරීමත් නිදහසක් හැටියට ගත්තු මම මිටින් හැරි කුරුල්ලෙක් වගේ පියාඹලා ගිහින් චොක්ලට් එකක් ගත්තා, ඒ තටුවලින්ම හැරෙන තැපෑලෙන් ආපස්සට ගරාජ් එකට දුවන්න හැරුණා.

මහ සද්දෙන් බ්‍රේක් පාරක් වැදුණා!
පාරට පැනපු විදිහටම වටපිට නොබලා මම සිටි තැනටම දිව්වා!
ඒ සැණින් විශාල බැණුම් සද්දයක් සමග මගේ කණක් තදින් ආපස්සට කැරකැවුණා!

ගත්තු චොක්ලට් එකත් අතේ මිටි කරං කඳුළු පුරෝගෙන මම දඬුවම් දුන් පියාණෝ පිටිපස්සෙම හැංගුණා!

ලැජ්ජාවනෙ! සන්ග්ලාස් අන්කල් විතරක්යැ දෙනෝදාහක් ඉස්සරහ මොන ලැජ්ජාවක් ද ඒ මට වුණේ. පොඩිහිටියන්ටත් ගෞරවනීය පුරවැසියන් විදිහට ජීවත්වීමට අයිතියක් ඇත, දඬුවම මානව හිමිකම් උල්ලංඝනයකි වගේ බෝඩ් උස්සන ඇත්තෝ ඒ කාලෙ නොහිටි නිසා මම පත්වූ අපහසුතාවය දැක්ක සන්ග්ලාස් අන්කල් හරිම කාරුණිකව ඔලුව අතගාලා මගෙ අතින් අල්ලන් හැංගිලා හිටිය පිය සෙවණැල්ලෙන් මෑත් කරලා කිව්වා "තාත්තා කලබලවුණානේ පුතේ ඔයා අර වාහනෙට අහුවෙනවනෙ තව ඩිංගෙන්. ඒකනේ එයා බනින්නෙ. හා දැන් එන්නකො අපි ඕක අමතක කරමු"

ඒ සන්ග්ලාස් අන්කල් තමයි නිහාල් නෙල්සන්!
නිහාල් අන්කල් හරිම නිරහංකාර මනුස්සයෙක් කියලා පුංචි එකෙක් හැටියට මට තේරුම් ගිය අවස්ථාව තමයි ඒක.

මම ඒ දවස්වල රූකාන්ත ෆෑන් කෙනෙක්. රූකගේ ඇක්ෂන් දාලා සිංදු කිව්වට නිහාල් අන්කල්ගෙ ඇක්ෂන් දාලා එයාගෙ සිංදු නොකිව්ව ගැන අද මට කණගාටුවක් දැනෙනවා.

අන්කල් ගිය තැනක ලස්සනට පිපුණු වනමල්ගල් අතර සුන්දර කාලයක් ගෙවාවි.  එහෙ ඉඳන් ගයන සිංදුවක රහ බිංදුවක් මේ ලෝකේ පැත්තටත් එවන්න.
සුබගමන් සන්ග්ලාස් අන්කල්💔💐

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #medusa #lka

Tuesday, December 13, 2022

හීතල ගිනිකඳු

ඉස්සර අපේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගේට්ටුවෙන් එලියේ, බයිසිකලේක පිටිපස්සෙ බැඳගත්ත ලී පෙට්ටියක් ඇතුලේ චූටි චූටි සිලි බෑග්වල දාගත්තු අමු දිවුල් සම්බෝල, දං, ඇඹරල්ලා අච්චාරු, වෙරළු අච්චාරු, අඹ අච්චාරු, අන්නාසි අච්චාරු (කියවගෙන යද්දිත් කෙළ උනනවනෙ?) තියං විකුණන වයසක අන්කල් කෙනෙක් හිටියා. මාව පෞද්ගලික ප්‍රවාහනයෙන් පාසැල් ප්‍රවාහනයට අතෑරිය කතාව කලින් කියලා තියෙනවනෙ. මොන ප්‍රවාහනේ ගියත් කඩචෝරු නැති දවසක් නෑ. එතකොට හතර වසරෙ හිටපු මායි මගෙ යාලුවයිත් ඔය අච්චාරු රැල්ලට නිතරඟයෙන්ම සෙට්වෙලා හිටියෙ. අමු දිවුල් එහෙම කඩාගන්න බැරි නිසා ඉස්කෝලෙ සෙකියුරිටි අන්කල් කෙනෙකුට හරි ඩ්‍රයිවර් අන්කල් කෙනෙකුට හරි තමයි උදව් කරන්න වුණේ. මට මතක විදියට රුපියලක් දෙකක් වගෙ ඔය කොයිකත් එතකොට.

ඉතින් ඔතන පෝලිමේ ඉඳලා ළමයි අස්සෙ පොරකාලා ගන්න කෑම අරන් වෑන් එකට දුවද්දී සාක්කුවල ඔබාගන්න නිසා ඒ දවස්වල යුනිෆෝම් එහෙම පුදුම ලස්සනයි, එක එක පාට කහට රටා එක්ක.

ඉස්කෝලෙ ඇතුලේ ඉන්න වෙලාවක නං ඉතින් කැන්ටිම තමයි එකම පිහිට. මොකෝ ඒ කාලේ මෝටර් බයිසිකල්වල කෑම ඇද්දෙ නැහැනෙ කොහෙටවත්. ඒත් ඉතින් එක එක කාලෙට එක එක රැලි ආවා. එක කාලෙකට හැලප රැල්ල. වැඩේ outsource කළත් කැන්ටිමේ අක්කා දන්නවා හැලප වැඩිපුරම කෑවෙ කව්ද කියලා😅 ඊළගට කාලයක් තිබ්බා එක පැත්තක් විතරක් කහ හරි රෝස හරි පාට කරපු චොක්ලට් එකක්. ඒ රැල්ලෙන් ගැලවෙන්න නං කාලයක් ගියා. පොරි රැල්ලට නං මං එච්චර සෙට්වුණේ නෑ මොකද එව්වා දැන් තියෙන සිනිඳු සුකොමල මැෂින් පොරි නෙවෙයි, තාච්චිවල (වෙන්නැති) බැදපු ගල්පොරි. රුපියලෙ පොඩි පොරි පැකට් එකක මල්වලට වඩා තිබ්බේ ගල් ගැහිච්ච ඇට! එව්වා හපලා දත් ටිකට අවැඩක් කරගන්න බෑ මොකද මම ඩෙන්ටල්-විරෝධී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු! 😎

මේ අච්චාරු කතන්දරේ කොහෙටද කැරකෙන්නෙ කියලා නේද හිතන්නෙ?
:
:
:
ඔබ හරි!

හෙඩිමක් දැක්කා මත්ද්‍රව්‍ය සොයා පොලීසිය පාසැල් පීරයි! කියලා. ඒ දවස්වල පාසැලක් පීරුවා නං වැඩිපුරම හම්බෙන්න පුළුවන් සෙනෙහෙකොළ, නලුනිලියන්ගෙ පිංතූර, ඉඳලාහිටලා "තමන්ට විතරක් නලුවෙක්/නිලියෙක් වගේ පේන පින්තූර", ජංගම දුරකථන, පස්වෙනි මණ්ඩලේ පත්තර, මණ්ඩලෙන් ප්‍රතික්ෂේප වුණ චිත්‍රපට, සිගරට්, වැඩිමවුණොත් ජොයින්ට් එකක් වගේ සාපේක්ෂව අහිංසක දේවල්. ඒත් ඉතින් විනය මණ්ඩලවලින් හායි හූයි ගාලා උඩ පැනලා නටපු, අහුවුණෙත් මුලු පාසැල් ජීවිතේටම හණ ගහන විත්ති භාණ්‌ඩ ඔව්වා.

විහිලු පැත්තක තියලා දැන් තියෙන තත්ත්වය දිහා බැලුවොත් මතුපිටින් සාමාන්‍යයි වගේ පෙනුණට මේක හරිම භයානක තත්ත්වයක්. අර අච්චාරු කරත්තෙට පුරුදු වෙච්ච අවුරුදු නමයෙ මායි යාලුවයි වගේ පුංචි උන් ඔය දෙන මත් ටොපියකට පුරුදුවුණොත් කව්ද මොකද්ද ඒකට කරන්න පුළුවන්? මොනා කරන්නත් දැනගන්නෙ කොහොමද?
ජීවිතේම රස්සාවලට කැප කරපු දෙමව්පියෝ ඉන්න තැන්වල පැය 13කට වඩා අවධානයෙන් ගිලිහෙන ළමයි මොනවා කරනවා ඇතිද? කව්ද දන්නෙ?

අනෙක් අතට ඉස්සර නාඳුනන මිනිස්සු දෙන දේවල් කන්න බොන්න එපා, නාඳුනන මිනිස්සු කතා කළාට කොහෙවත් යන්න එපා කියලා අපේ පරම්පරාවලට කරපු දැනුවත්කම අදට වලංගුද?
නාඳුනන කෙනෙක් හරි දෙන්නෙ සල්ලිවලට. ඒක සාමාන්‍ය ගනුදෙනුවක් හැටියට ගන්නෙ නැතිවෙන්න පුළුවන් ද දියුණු පරම්පරාවක ළමයි?
නාඳුනන අය එක්ක යන්න එපා කිව්වම GPS tracking ගැන විශ්වාසය නොතියා ඉඳීවිද තාක්ෂණිකව දියුණු ළමයි (ජංගම දුරකථන තියෙන ළමයි, බාටා දෙක දාගෙන ඉස්කෝලෙ යන ළමයි නෙවෙයි)?
තාක්ෂණික දියුණුව වල්බූරු නිදහසක් කරගත්ත පරම්පරාවක එක්ටැම්ගෙවල්වල හිරකරලා තියන්න පුළුවන් උන්මාද චිත්‍රලා ඉඳීවිද?

ලංකාව අරාජික වෙච්ච පහුගිය කාලයක අත්‍යාවශ්‍ය දේ පවා නිසියාකාරව නොලැබුණ කාලයක මත්ද්‍රව්‍ය විතරක් නිසියාකාරව සැපයුණේ කොහොමද?
පෙට්‍රල්, ගෑස්, කිරිපිටි, බෙහෙත් නැව් පහුකරගෙන මත්කුඩු නැව් නොපෙනීම ආවේ කොහොමද?
අන්න සැපයුම්කරුවො ආදර්ශයට ගන්න වටින!

දේශපාලනික අවුල්ජාලා අස්සෙ අවධානය වෙන අතක තියෙද්දි පිළිකාවක් ඔඩුදුවලා කියලා පැහැදිලියි. එතකොට ඒ අවුලුයි මේ පිළිකාවයි අතර අවස්ථා සම්බන්ධයක් තියෙන්න බැරිද?
අරගලවලට පිදුරුවුණේ දේශපාලනය විතරක්ම වෙන්නත් බෑ නේද?

නීතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම එක අරමුණක් බව ඊටපස්සේ සිවිල් සමාජයේ හැසිරීම එක්ක පැහැදිලි වෙන්න ඕන, මධ්‍යස්ථව 2022 අවුරුද්ද විශ්ලේෂණය කරන කෙනෙකුට. නීතිය සහ සාමය අවභාවිතවීම ගැන කතා කළ කොටසක්ම නීතිය සහ සාමයට කළ සැලකීම ගිය සතියෙත් අපි දැක්කා පාන්දරක. සම්මත නීතිය අවභාවිතයට එරෙහිව වෙන්න ඕන කැලෑ නීතිය වැළඳගැනීමෙන් නෙවෙයි. කැලෑ නීතිය අවශ්‍ය නම් අපිට පුළුවන් ආයෙත් දශක ගාණක් ආපස්සට ගිහින් ඉන්න!

හැබැයි මෙන්න මේකත් කල්පනා කරලා බලන්න. (අකුදි කියන විදියට)
සිවිල් සමාජය කියන කරත්තයෙ හරකාට පෙට්‍රල් ගහන්න දේශපාලනික බළල් (සහ කොටි) අත්වලට අමතරව එකතුවෙන ව්‍යාපාරික බළල් (සහ කොටි) අත් කැලෑ නීතිය අතට ගන්න ඔබව පෙළඹුවාට ඔරිජිනල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මකවෙන්නෙ නිහඬව. දේශපාලනික බලය ඒකෙ එක කොටසක් විතරයි.
එතකොට ඒ න්‍යාය පත්‍රයේ තව හුගාක් දේවල් තවම මතුනොවී තියෙන්න පුළුවන්. බැරි නැහැ. පාසැල්වලින් මතුවෙන්නේ එක කොටසයි, අයිස් කන්දේ මුදුනේ තියෙන කොඩිය තාම අපි දකින්නේ.

කමක් නෑ. සමහර ඔස්තාද්ලා කියනවනෙ "ලංකාවට එහෙම පට්ට ගේම් දෙන්න මොකද ලංකාව මහ එකක්ද" වගේ කතා.
නෑ මහත්මයා, ලංකාව 'මහ එකක්' නෙවේ තමා, ඒත් ඒකෙ 'මහ ඔයාලා වගේ අය' ඉන්නවනෙ. ඒකයි!

ඉතින් ඔයාලා දිගටම ඔය ගේම ගහං යන්න. පේන අපි බලං ඉන්නං.
නොපෙනෙන අය.. අනේ මන්දා..!


ප. ලි.

මතක තියාගන්න තමන්ගෙ දරුවෙක් හරි සමීපතමයෙක් හරි මතට හුරුවුණාම ඔය පෙනී ඉන්න සර්ව සාධාරණත්වය, දේශපාලන මත, අර කඳවුර මේ කඳවුර, එයා එහෙම නෑ, ආගමික මත, අරක මේක සේරම හිස් බයිලා විතරක් වෙන බව!

අන්න එතකොට තමයි සිසිල ගිනිගන්න පටන්ගන්නෙ. 

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #drugaddiction #lka

Friday, December 2, 2022

අහිංසක

අහිංසක හිටියේ මම කලින් වැඩ කරපු කාර්යාලෙක. ඒක ඇත්ත නම නෙවෙයි. නමුත් ඇත්ත නම එක්ක ලිව්වොත් ඒ මනුස්සයගේ පෞද්ගලිකත්වයට  අසාධාරණයක් වෙන්න ඉඩ තියෙන නිසා අපි අහිංසක කියමු.

අහිංසක එතන කාර්යාල කාර්ය සහායක. අවුරුදු හතළිහක විතර උස කලු මනුස්සයෙක්. නිතරම messenger bag එකක් කරේ දාගෙන අරහෙට මෙහෙට ඇවිදින්න තමයි එයාගෙ රාජකාරිය වුණේ. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අහිංසකගෙ වෙනසක් තිබ්බා. මොකක් හරි හේතුවකට ඇතිවුණු මානසික පීඩාවක් නිසා ඔහු ලේබල් වෙලා තිබ්බෙ 'අප්සෙට්' කියලා. ඔව් ඉතින් අපි ලේබල් කරන්න හුගක් කැමති සමාජයක්නෙ!

අහිංසක මෙසෙන්ජර් රස්සාවක් කළාට කොළඹ රාජකීයේ ඉගෙන ගත්තු, චතුරව ඉංග්‍රීසිය හසුරුවපු මනුස්සයෙක්. මම දන්නේ නෑ හැමෝම ඔහුට මානුෂිකව සැලකුවද නැද්ද කියලා. නමුත්, මනුස්සයෙක් හැටියට ඒ මනුස්සයා ගැන මට දැනුණ කම්පනය හින්දම බනින්න හිතෙන වෙලාවකවුණත් සෑහෙන්න ඉවසීමෙන් මානුෂිකව සැලකුව එක ගැන මම සතුටු වෙනවා, එදාටත් වඩා අද.

ඇයි අහිංසකට එහෙම වුණේ කියන එක ගැන කතන්දර ගොඩක්, එක එක අය කියලා තියෙනවා. එකක් සහෝදර සහෝදරියන් තුන්දෙනෙකුගෙ පවුලේ බාලයා වෙච්ච අහිංසකගෙ පාසැල් ගමන අතරතුර සිද්ධ වෙච්ච එයාගෙ තාත්තගේ මරණය නිසා ඔහු මානසිකව පීඩාවට පත්වුණා කියන එක. අනෙක් කාරණය සුපුරුදු ලෙස ප්‍රේම සම්බන්ධයක් බිඳවැටුණට පස්සෙ සිද්ධවෙච්ච දෙයක් කියන එක. ඔය කතන්දර දෙකෙන් කොයිකද ඇත්ත කියලා කියන්න දන්නෙ නෑ.

මම දන්න තරමින් අහිංසකට කොළඹට නුදුරින් ගෙයක් දොරක් පවා තිබ්බ කෙනෙක්. වැඩ නිසා සමහර දවසට රෑ වෙනකල් හිටියොත් තව කාවහරි එක්කන් යනගමන් අහිංසකවත් ගෙවල් කිට්ටුවට ඇරලවලා තියෙනවා. එහෙම දවසක "ma'am can you please give me two minutes, I'll get something for dinner and come" කියලා ළග කඩේකට දුවලා ගිහින් කෑම පාර්සලේකුත් අරං හනිහනිකට දුවගෙන එනවා. එතකොට මම ඇහුවම තමයි අහිංසක කිව්වේ එයා ගෙදර උඩ තට්ටුවේ ඉන්නවා, සහෝදරී එයාගෙ පවුල එක්ක පහළ ඉන්නවා කියලා. මේ කියන සහෝදරී කාර්යාලයේ සමහර පරණ කළමනාකාරවරු එක්ක කතාබහ කරලා තිබුණට මගෙ රාජකාරි කාලය ඇතුළත එහෙම කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ.නමුත් අහලා තියෙන හැටියට පෞද්ගලික බැංකුවක ඉහළ තනතුරක් දැරූ කෙනෙක්. නමුත් ඒ සහෝදර සම්බන්ධය හෝ පුද්ගලයන් ගැන විනිශ්චය කරන්න තරම් මං ඒ ගැන දන්නේ නැහැ.

අහිංසක අහිංසක වුණාට සමහර අවස්ථාවල හරිම ඉක්මණින් වෙනස්වෙන ගති, එක සැරේ වැඩ දමලා ගහලා යන ගති, නොකියා ගෙදර යන ගති වගේ ඒවා නිතරම තිබුණා. කොහොමත් සඳුදා සිකුරාදා වගේ වෙද්දී අවුල්. මං හිතන්නේ දවස ගානේ වැඩට එන රටාව කැඩෙන එක හින්දා වෙන්න ඇති සමහරවිට. එක දවසක් හදිසි වැදගත් ලියකියවිලි වගයක් එක්ක බෑග් එක පහළ ආරක්ෂක නිලධාරින්ගේ මේසයක් උඩ දාලා ගෙදර ගිහින් තිබ්බා. අහිංසක මට රපෝර්තු නොකළට පොඩි කීකරු ගතියක් තිබ්බ නිසා මං කතා කළාමත් අර තරම් සැරෙන් නොවුණට "I don't feel well, I went home" කියලා කිව්වට "No Ahinsaka, we need you here, please come back and help us" කිව්වම ආපහු ආව අවස්ථාත් තිබුණා. වැඩ අධිකම දවසක පාන්දර කතා කරලා "I can't come to work today ma'am, I don't have money for the bus" කියලා කිව්වම ලෝකෙම කරුණාව අමතකවෙන්න ආවත් (වෙන මනුස්සයෙක් කිව්වනම් ඔහොම) "No Ahinsaka, you come in a tuk, I'll pay for that" කියලා කොහොමහරි වැඩට ගෙන්න ගත්තා. සාමාන්‍යයෙන් එහෙම කිව්වම මනුස්සයෙක් උඩ පැනලා ත්‍රීවීල් එකක එන්න ඉඩ තිබ්බට ඒ මනුස්සයා එදත් ආවෙ බස් එකේ. එදා නාවා නම් වැඩ ගොඩක් අවුල්වෙන්නත් ඉඩ තිබ්බා.

කාර්යාලේ හැමෝම 'හා දැන් කඩේ වහමු' කියලා හිනා කතා ඉවර කරලා යනකල් අහිංසකත් පෙරහැරේ ඉන්න අලියා වගේ නොඉවසිල්ලෙන් එහෙට මෙහෙට වෙවී ඉන්නවා දොර ජනෙල් වහන්න බලාගෙන, එයාට කව්ද යනවා කියලා කියන්නේ කියලා බලාපොරොත්තුවක් නැතුව. පළවෙනිම දවසෙ එයාටත් අනිත් අයට වගේම යනවා කියලා කිව්වම ඒ පුදුමේ එවෙලෙම මූණෙන් පෙනුණා. පහුවදා උදේම දුවගෙන ඇවිත් මොනහරි කිව්වම තමයි මම දැනගත්තෙ අහිංසකට හොඳින් ඉංග්‍රීසි කතා කළහැකි බව. එදායින් පස්සෙ ඔහු එක්ක මගෙ සංවාද ඉතා කෙටිවුණත් ඉංග්‍රීසියෙන් කළේ මොකක්දෝ හේතුවකට ඔහු ඊට ප්‍රිය බවත් ඒක ඔහුට තමන් පිළිබඳව සන්තෝෂයක්/අභිමානයක් ගෙනදෙන කාරණාවක් බවත් මට තේරුම්ගිය නිසා.
තනතුර මොකක්වුණත් හැම කෙනෙකුටම ආත්මගරුත්වයක් තිබෙනවා. කාටවත් අයිතියක් නැහැ කෙනෙක් අඩු තනතුරක් හෝ සහයක තනතුරක් දැරූ පමණින් ඔවුන්ට අතපල්ලෙන් වැටුණු ලෙස සලකන්න. ඔය කතාවෙම තව පැත්තකුත් තියෙනවා. සමහර අවස්ථාවල එහෙම මානුෂිකව සලකන මිනිස්සුන්ගෙ කරේ නගින්න යන, ගසා කන්න හදන, නැත්නම් හොඳ මූණු පෙන්නගෙන අංචි අදින මිනිස්සුත් ඉන්නවා.

මම එතැනින් ඉවත්වූ පසුත් අහිංසක එතන හිටියාද නැද්ද මම හරියටම දන්නෙ නෑ. දැනට ටික දවසකට කලින් ආරංචියක් ලැබුණේ අවුරුද්දකට විතර කලින් අහිංසක මියගිහින් කියලා, මොළයෙ පිළිකාවකින් බවයි කියන්නෙ. ඒක මං හිතුවට වඩා ලොකු කම්පනයක්. යාලුමිත්‍ර සමාගමක සතුටු සාමීචියක් අතර දැනගත්ත ආරංචියෙ කම්පනය එවෙලේ නොපෙන්නා හිටියත් මම ගෙදර ඇවිල්ලත් හිතුවේ අයියෝ අසරණයා කියලා.

එක අතකට අහිංසක වගේ මිනිස්සු ඉක්මණ් ගමන් යන එක ඒ මිනිස්සුන්ට යහපතක් කියලා හිතලා හිත හදාගන්න උත්සාහ කරලා තමයි මේ සටහන ලියන්න හිතුවෙ. තමන්ගෙ වටා කොයිතරම් දේපල තිබ්බත්, ඥාති හිතවතුන් හිටියත් අහිංසක වගේ මිනිස්සු අසරණ වුණාම ඒක එක පැත්තකින් අනෙක් අයට කරදරයක්, අනෙක් අතට ඉල්ලමක්. ඒ වගේ තනිවෙච්ච, අසරණවෙච්ච මිනිස්සු හරිම ලේසියට තව කාගෙහරි ඉත්තො වෙනවා, රැවටීමට සූරාකෑමට ලක්වෙනවා. ඇත්ත හිතවත්කම් බොරු හිතවත්කම් වෙන්කරලා අඳුනගන්නත් බැරි එහෙම මිනිස්සු සාමාන්‍ය තනිවෙන මිනිස්සුන්ටත් වඩා අසාධාරණයට, අතවරයට ලක්වෙනවා.
ඉතින් එහෙම විඳවනවට වඩා එක අතකට හොඳ නැද්ද ඉක්මනින් ඒ කර්මය ඉවර කරගන්න එක.

ඉතින් අහිංසක, පරක්කු වෙලා දැනගත්තත් ඔබට සුබ ගමන්. ජීවත්ව හිටි කාලෙ ඔබව තවත් පීඩාවට පත් නොකර මානුෂිකව සලකන්න ඇති අතලොස්සකින් එකෙක් වීමම මට ලොකු සතුටක්.
ඔබේ සසර ගමන කෙටිවේවා. එතෙක් නිදුක් නිරෝගී සුවපත් යහපත් මිනිස් ආත්මභාවයන් ලබා සසර ගමන නිමා කිරීමට අවැසි විවරණ ලැබේවා.

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka