Sunday, May 21, 2023

ඇඳුම් මැනුම්

පහුගිය දවස් ටිකේ ඇඳුම් සමාජ ජාලාව කළඹලා කියලා පේනවා. ලොකු විශ්ලේෂණ කරන්න තරම් කාලයක් ගත නොකර මගේ අදහස ලියනවා.

කෙනෙක් වැදගත් අවස්ථාවකට තව කෙනෙකුට ආරාධනාවක් කරන්නේ ඒ පුද්ගලයා ඒ අවස්ථාවට වැදගත් කියන අදහසින් බව මං විශ්වාස කරනවා. ඒ වැදගත්කම එක එක හේතුවලට එන්න පුළුවන් බව හරි. හැබැයි, ඒ ආරාධනාව පිළිගනිද්දි තමන්ට දුන්න වටිනාකම සහ විශේෂත්වය, අවස්ථාවේ වැදගත්කම සහ වටිනාකම, (තමන්ට නැතත් ආරාධනය කළ පාර්ශවයට) ඒ අවස්ථාවේ තිබෙන සුවිශේෂත්වය කියන කාරණා පිළිබඳව ඕනෑම අමුත්තෙක් සැලකිලිමත් වෙන්න ඕන. 
ඒක තමුන් රැඩිකල් කියලා පෙන්නන අවස්ථාවක් කරගත්තොත් එතනදි ඇත්තටම ආරාධිතයා කරලා තියෙන්නේ තමන්ගේ දේශපාලනය හරි මතවාදය හරි තමන්වම හරි උලුප්පා දක්වන්න අර අවස්ථාව අනවසර වේදිකාවක් කරගැනීමක්. 

නිකමට උදාහරණයක් කිව්වොත් කෙනෙකුට විවාහ මංගල්‍යයකට ආරාධනාවක් ලැබෙනවා කියමු. හරිම සරාගී සුන්දර සිරුරක් තියෙන හින්දා සහ ඈට හුරුපුරුදු නිසා, නිරන්තරයෙන්ම අඳින නිසා බිකිණියකින් විතරක් සැරසිලා අර මංගල්‍යයට සහභාගි වෙන්න තමයි ඇය තීරණය කරන්නේ (මොකද සහභාගීත්වයනෙ වැදගත්😉). අර සාම්ප්‍රදායික මංගල උත්සවයක, හරි, සිංහල බෞද්ධ මංගල්‍යයක් නෙවෙයි හින්දු හෝ මුස්ලිම් ආගමික වතාවත් සිදු කරන මංගල්‍යයක් කියලා හිතමුකො, එහෙම තැනකට කොයිතරම් සුන්දර වුණත් බිකිණියක් විතරක් ඇඳගත්ත කෙනෙක් ගියොත් ඒක සාමාන්‍ය සමාජය පිළිගන්නෙ කොහොමද? අපේ මේ වැදගත් අවස්ථාවට මේ මනුස්සයා ඇයි මෙහෙම ආවේ කියන හාහූව මතුවෙනවා වගේම බිකිණිය ඇඳන් ආව පුද්ගලයා තමන්වම යම්තරමක අපහසුතාවයකට, අඩුතක්සේරුවකට ලක් කරගන්නවා. සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විඳින්න ඕන තැන් තියෙනවා, සමාජෙට බම්බු ගහන්න කියලා තමන් තමන් විදිහට පවතින්න ඕන තැනුත් තියෙනවා. හැබැයි ඒක කරන නොකරන අවස්ථා ගැන අවබෝධයක් නැත්නම් මනුස්සයෙක් මොනතරම් ඉහළ තලයක හිටියත් 'දැනුවත්' නෑ කියලා මං විශ්වාස කරනවා. හැමදාම කියනවා වගේ 'උගත් බුද්ධිමත්' 'නූගත් බුද්ධිමත්' වගේම 'උගත් මෝඩ' 'නූගත් මෝඩ' කැටගරිවලට වැටෙන මිනිස්සු ඉන්නවනේ. 

යම් අවස්ථාවකට ඊට ගැලපෙන ආකාරයෙන් සහභාගී වීමත් යහපත් සිවිල් සමාජයක ලක්ෂණයක්! අනෙකා කෙරෙහි ගෞරවයක් දැක්වීමක්!

Overdress/underdress කතන්දරේට අනුව ඕනෑම අවස්ථාවකට යම්තාක් දුරකට overdress කරන්න පුළුවන්. Underdress වීමට වඩා overdress වීම කමක් නැහැ. ඒ කියන්නේ මගුල් ගෙදර යද්දි ලෝකේ තියෙන පාට සේරම උලාගෙන, හෙට්ටවීදියම ඇඳගෙන, මුලු ඉන්දියාවේම තියෙන තොරොම්බල් සාරි ඇඳගෙන යනවා කියන එක නෙවෙයි! මළ ගෙදරක යද්දී මිනියට වඩා ලස්සනට යන එකත් නෙවෙයි! මොන අවස්ථාවට සහභාගිවුණත් තමන් එතනට ගෙනියන්නේ තමන්ව සහ තමන්ගේ පෞර්ෂත්වය. ඒක ආරක්ෂා කරගන්න කෙනෙකුට පුළුවන් වෙන්න ඕන අර උඩ කිව්ව අන්‍යෝන්‍ය ගෞරවයවත් අඩුම තරමේ දෙන්න බැරි නම්. දැන් කියන්න එපා ඒක තමයි ඉතින් එයාගෙ පෞර්ෂත්වය කියලා. පෞර්ෂත්වය කියන්නේ හැම අවස්ථාවකම එකම විදියට තියෙන දෙයක් නෙවෙයි, ඒක ඇලෙව්වොත් ඇලෙව්වමයි මොඩ්ල් එකේ කාරණාවක් නෙවෙයි. ඒකට තමන්ගේ හැසිරීම, ආකල්ප, විශ්වාස, පැවැත්ම මේ ඔක්කොම එක්ක බාහිර ප්‍රතිරූපය ලොකු ඉඩක් ගන්නවා. එතකොට රැඩිකල්වීමයි නිසි දැනුවත්භාවයෙන් ජීවත්වීමයි යම් අවස්ථාවකට ගෞරව කිරීමයි තමන්ගේ පෞර්ෂත්වයේ උපරිමය නිසි ආකාරයෙන් හසුරුවා ගැනීමයි කියන කාරණා පටලවාගන්න එපා. එතකොට එන ප්‍රතිපලය මෝඩ පාටයි! 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

2 comments:

  1. වෙනස් නමුත් වැදගත් සටහනක්. ඇත්තටම තැන තැනට ගැලපෙන ඇදුම් අදින එකයි ඒ ඒ තැනට අනුව හැසිරෙන එකයි වෙනම කලාවක්. මට හිතන්නේ ඒකට බලපාන්නේ උගත්කම නෙවෙයි ප්‍රයෝගික වීම කියලයි. හොද සමාජ නිරීක්ෂණ ගොන්නක් අපූරුවට අකුරු කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනුරුද්ධ. කාලෙකින් දැක්කේ. මට මේ සමහර දේවල් දැක්කම හිතෙන්නෙත් ප්‍රායෝගිකව හිතන්න බැරි සමාජයක් බිහි වෙලා තියෙනවා කියලා.

      Delete