මම කාන්තා විමුක්තියේ හෝ ස්ත්‍රීවාදීත්වයේ අන්තවාදිනියක් නෙවෙයි. හැබැයි බොහොමයක් සංකල්ප වගේ කාන්තා විමුක්තිය, කාන්තා අයිතිවාසිකම් කියන මේ දෙකම සම්පූර්ණයෙන්ම බැහැර කරලා ජීවත් වෙන්නත් බැරි විවිධාකාර කෝණවලින් සිදුවීම් දිහා බලන්න සිද්ධ වෙන ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඔව්, පීඩිත කොටසක් වෙනුවෙන් හඬ නඟන සමහරු මී කඩන්නේ අත ලොවින්නටම නෙවෙයි තමයි, හැබැයි ඒකෙන් කියන්නේ නෑ පීඩිත කාන්තාවන් අප අතර නැහැ සහ ඔවුන්ට සමාජයේ ආරක්ෂාව, උපකාරය අවශ්‍ය නැහැ කියලා.
මේක අපි එක සිදුවීමක් දෙකක් හින්දා අල්ලගෙන පට්ට ගහන සංකල්පයට වඩා ප්‍රායෝගිකව හරිම සංකීර්ණයි.
කාන්තාවන්ටත් ගෞරාවින්තව සමාජයේ ජීවත් වීමට අවශ්‍ය ඉඩ, මානව අයිතිවාසිකමක්. ඒක ගැහැණු හෝ පිරිමි හෝ සංක්‍රාන්තික හෝ වෙන මොකක් හෝ වේවා හැමටම පොදු, සමාන අයිතියක්! මොනවමහරි හේතු මත කොටසකට ඒ ඉඩ ඇහිරෙනවා නම් ඒ වෙනුවෙන් කතිකාවන් විතරක්ම ඇතිවෙලා මදි, ඩොලරයෙන් එහා ගිය ඇත්ත උවමනාවක් කැපවීමක් ඇතිවෙන්නත් ඕන.
කාන්තා අයිතිවාසිකම්, කාන්තා විමුක්තිය වේදිකාවට එන්නේ රටම කම්පා කරවමින් ගෘහස්ථ හෝ වෙනත් හිංසනයක ශෝඛාන්තයක් එළිදැක්වුණාම හරි දූෂණයක්, බලහත්කාරයක් සමාජය සසල කළාම හරි විතරක් නම් අපි ඒ දේ ග්‍රහණය කරගන්නා විදියෙ ලුහුඬුකමක් තියෙනවා.
ඒ වගේම මට පැහැදිලි නැති පොදු ප්‍රකාශ තියෙනවා "ගෑණියෙක් හින්දා ඉවසනවා, ගෑණුනේ, ගෑණු කියලා ඇයි විශේෂ සැලකිලි ඕනද" වගේ. ඒ ප්‍රකාශ ඇතුලෙම මොකද්ද පැරඩොක්සමය අවිනිශ්චිතත්වයක් තියෙනවා නේද? හරියට ගෑණු නිසා වෙනස් කරන්න ඕන නමුත් මම ඒක කරන්න ලෑස්ති නැහැ වගේ.
අනෙක් අතට ඕනෑම පීඩිත කොටසකට පොදු පරපෝෂිත න්‍යාය පත්‍ර, ස්ත්‍රීවාදීත්වය තුළත් දකින්න පුළුවන්. ඔබගේ තුවාලය තවකෙනෙකුගේ ගතමනාව සරි කරනවා විතරක් නෙවෙයි සමහරවිට සතුට ඇතිකරවනවා වෙන්නත් පුළුවන්. ස්ත්‍රීවාදීත්වයේ කෙළ පැමිණි නමුත් තව ගැහැණියකට අනේකවිධ පීඩාවන් කෲරකම් කරන, යටිකූට්ටු වැඩ කරන, නොහිතන කරදරවලට පත් කරවන, අපහාසයට ලක් කරන ගැහැණුන් මම ළංළංව දැකලා තියෙනවා. එතකොට ගැහැණු පීඩාවට පත්වෙන්නේ විරුද්ධ පාර්ශවයෙන් "විතරක්ම" නෙවෙයි.
අනෙක් අතට තමන්ට සම්බන්ධ කාන්තාවකට අසාධාරණයක්, කරදයක්, පීඩාවක් සිදුනොවන තාක් මතුපිට හිටගෙන විවේචන දෙන්නත් ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒ වගේම, විවේචන එල්ලවන්නෙ, ඒ හැටියට වැඩ කටයුතු කරන ලෝකයා දකින සුලුතරයක් නිසා වෙන්නත් පුළුවන්. හැබයි ස්ත්‍රීවාදීත්වය බාල්දු කරවීමෙන්, හෙලා දැකීමෙන්, පහර ගැසීමෙන් සමාජයේ තාම මුල්බැසගත්ත හැබැයි යටපත් කරන් ඉන්න උත්සහ ගන්න පුරුෂමූලික අධිමානය සහ අහංකාරය නොහිතන ඉක්මණින් එළියට පනිනවා.
නිකමට මාධ්‍ය සහ සාමාන්‍ය සමාජය දිහා බලන් ඉන්න තමන්ගේ ස්ත්‍රී/පුරුෂ/නොවන මනෝභාවයෙන් බැහැර වෙලා. ගැහැණුන් කීදෙනෙක් ඔවුන් ගැහැණුන් වීම නිසාම විතරක් අපහාසයට ලක් වෙනවද? ඔටාරා වගේ සාර්ථක ව්‍යවසායකයන්ගෙ ඉඳන් නිළියන්, දේශපාලඥයින්, වෘත්තීයවේදීන්, ගුරුවරියන්, සනීපාරක්ෂක සේවා සපයන්නන් විතරක් නෙවෙයි ගෘහස්ථ පවුල් සංස්ථා (රැකියාමය පවුල් සංස්ථාත් ඇති නිසා) වගේ හැමතැනකම දිනපතා වාචිකව විතරක් කොයිතරම් අපහාසයට, පීඩනයට ලක්වෙනවද? ගීතා කුමාරසිංහ හෝ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කරන දේම පුරුෂ දේශපාලකයෙක් කළාට සමාජයේ ඇතිවෙන සංවාදය සමාන වෙනවද? පියුමි හංසමාලි සහ ස්ත්‍රීලෝලී නලුවෙකු ගැන ඇතිවන සංවාද සමානද? ඕනෑම සුන්දර තරුණියක සහ සුන්දර තරුණයෙකු දිහා සමාජය බලන හැටිය සහ ඇතිවන සංවාදය සමානද? වෘත්තීයවේදිනියකගේ පුරුෂ සගයෙක් සහ ඇය ගැන ඇතිවන වෘත්තීයමය සංවාද සමානද?
එහෙම නෙවෙයි නං ස්ත්‍රීවාදීත්වය, කාන්තා විමුක්තිය, කාන්තා අයිතිවාසිකම්, කාන්තා හිංසනය වගේ තෛල කෝකටත් කියන චෝදනාව සදාකාලිකයි!
~✏️ Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #feminism
🤷🤷🤷🤷 No comments
ReplyDelete