Thursday, November 20, 2014

අකුරු..

වැලිපිල්ලෑවෙන් ගල්ලෑල්ලට
ගල්ලෑල්ලෙන් පත් ඉරුවට..
එතනින් කඩදහියට
දැන් ජංගමයගේ මූණ උඩ
හැඩට ලියැවෙන
සිංහල අකුර,
මම කැමතිම මගෙ මව්බස...


Wednesday, November 12, 2014

ගැහැණු

අහිමි තාක් ලස්සන,
ලංවුණාම...
high maintenance!


Tuesday, November 11, 2014

මම දකුණේ!!

හෙඩිම දැක්කම කට්ටිය කලබල වෙන්න කාරි නෑ..පළවෙනි සිතුවිල්ල වැරදෙන්න පුළුවන් නේ ඔය කොච්චරවත් කිව්වට first impression is the best කියලා..:P

මම මේ කියන්න ගියේ අපේ මනසේ වම දකුණ ගැන..ඒ කියන්නේ මනුස්සයෙක්ගේ සිතුම් පැතුම්, ආකල්ප, චර්යා රටා, ප්‍රතික්‍රියා, තීරණ හැමදේම තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ පෞර්ෂත්වය මත..ඒකට බලපාන්නේ අපේ මොළය..මොකද ඒවා ක්‍රියාත්මක වෙන්නේ එයාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය යටතේ..ඉතින්, ඔයයි මමයි, මමයි ඔයයි වෙනස් වෙන්නේ අපේ වැඩිපුර බලවත් වමද දකුණද කියන කාරණය මත..

ඔය ටැපලිල්ල ලිහන්න අම්මෙකුයි දුවෙකුයි හොයාගත්ත නැතිනම් වැඩි දියුණු කළ ක්‍රමයක් තියෙනවා Myres-Briggs Type Indicator (MBTI) කියලා..ඔය නම වැටිලා තියෙන්නේ අම්මගෙයි දුවගේ නම්වල එකතුවෙන්..වැඩි විස්තර ඕන ඇත්තන්ට ඇහැකි විකිපීඩියාවට රිංගලා බලන්න නැතිනම් ගූග්ල් දෙයියොන්ගෙන් අහන්න..

ඉතිං ලෝකේ සාමාන්‍ය පිළිගැනීම තමා දකුණේ උන් ලෝකය හැඩි කරනවාය, වමේ උන් දකුණේ උන් කාබාසිනියා කරන ලෝකය පිළිවෙල කරනවාය කියන එක..එච්චර දුරකට ප්‍රායෝගික නැතිවුණත් මට හිතෙනවා දේශපාලනයටත් ඒක බලපාලා තියෙනවදෝ කියලත්..හැබැයි දැන් නම් වම දකුණ කියා වෙනසක් නැතිවම ලෝකය කාබාසිනියා කරන තත්වයක් තියෙන නිසා ඒ තියරිය මම මගේ හිතේම මරා දානවා..ඒ හින්දා ඕං ඔහේලා කලබල වෙන්ට කාරි නෑ..ගත්ත කඩුපොලු මුගුරු කිණිසි ගල්කටස් බිම තියන්න..

හැබැයි මේ වම දකුණ නැත්නම් left brainy/right brainy කියලා පෞර්ෂත්ව බෙදුවට අපිට කියන්න බෑ මට වඩා අරූ නරකයි කියලාවත් ඌට වඩා මූ හොඳයි කියලවත්..මේක ඇවිත් සාත්තර සීන් එකක් වගේ හැබැයි ඊට වඩා සාර්ථකව තමන් ගැන දැනගන්න පුළුවන් අවංකවම උත්තර දුන්නොත්..මේ ලින්කුව උඩ කෙටුවොත් ඔය විස්තරේ දැනගත හැකි..හැබැයි තමන්ගේ හර්ද සාක්ෂියට එකඟව (තාම ඒක තියෙනවා නම්) කළොත් ප්‍රතිපලේ සහතික ඇත්ත වෙයි...නැත්නම් ඔන්න මගේ පතුරු අරිනවා එහෙම නෙවෙයි ඕං..!

ටෙස්ට් එක කරන්න කම්මැලි ඈයොන්ට මෙන්න මෙහෙම කියතැහැකි..

සමහරු ඉන්නවා පොඩි පොඩි දේවල් නිතර අමතක වෙන..වෙලාවට වැඩ කරන්න එහෙම ටිකක් අමාරු..ඊලඟට කලින් predict කරන්න බැරි...කොයිවෙලේ මක්කා කොරගනීද කියලා හිතෙන ඩයල්..හැබැයි එයාල වලිබර වගේම කලාබර, පෙම්බර, සිනාබර, දයාබර ,සුන්දර හැඟුම් හිතේ නලියන අමුතුම සෙට් එකක් වෙන්නත් පුළුවන්..එයාලට කලින් සැලසුම් නෑ..දැන් හිතුණද කෑවා අයිස්ක්‍රීම්..හිතුණද ගියා ෂොපිං...සල්ලි නැත්ත හිතුණද ගත්තා සපත්තුවක් හරි පොතක් හරි..නැත්නම් මේ හිතුණා මේ ගියා ෆිල්ම් එකක් නාට්‍යයක් බලන්න..ඒ වගේම පාටවලට රටාවලට කැමති වෙන්නත් පුළුවන්..හුඟක් නිර්මාණශීලි ඩයල් මෙන්න මේ වගේ..සමහරවිට අපේ බ්ලොග් ලෝකේත් බහුතරයක් මේ වගේ වෙන්න පුළුවන්..එයාලා දකුණේ...:)

තව කට්ටියක් ඉන්නවා එයාලා පුළුවන් දේ ගැන තමයි හිතන්නේ...සමහරවිට මේ ඩයල් නිහඬ තැන්පත් විනයගරුක යුක්තිගරුක සාධාරණ ශාන්ත දාන්ත තීන්ත කූඩූ වෙන්නත් පුළුවන්...ඒ කියන්නේ තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා වැඩක් පලක් කරන් ඉන්න සමාජයට වැඩිපුර විවෘත නැති කට්ටිය..මෙයාලා logical කට්ටිය...ඒ වගේම හිතන්නකෝ පාඩම් කරනවා කියලා, එහෙම වුණොත් මේගොල්ලන්ව හොයාගන්න පුළුවන් සද්ද බද්ද නැති, කුප්පි,බකට්,මරියා කඩ නැති, නිශ්ශබ්ද කොණක ඉඳගෙන ඉන්නවා...මෙයාල වාමංශිකයෝ..:)

ඔන්න ඔය වගේ අනේකවිධ වෙනස්කම් තියෙනවා...හැබැයි මෙහෙම දේකුත් තියෙනවා..කොච්චර ඔහොම වම දකුණ කියලා අර්ථ දැක්වුවත් ඕක 100%ක් නෑ..අපි බහුතරයකට තියෙන්නේ mix එකක්..ඒ mix එක සමහරවිට වමට හෝ දකුණට ටිකක් බර වැඩිවෙන්න පුළුවන්...

ඉතිං බලන්නකෝ ට්‍රයි එකක් දීලා...මම කලින් කිව්වා වගේ මම දකුණේ...ඔහේ? ;)


Tuesday, November 4, 2014

බස් ගමන

ඔප දැමූ කොපුලක
සැතපෙන්ට වලිකන
පුරුෂ නිමිති දෙකක්'තර..
වකුටුකරවා අඬු ටික
ඉන්න හැටි 
නොදකිත්ය ලොව..
දුටුගැමුණු කුමරාට 
කරන්නට රීමේක්
කෙලෙස හිඳගන්ට පහසුවෙන්,
උතුරිනුත් කුඩයකි
දකුණිනුත් කුඩයකි
එසවෙන්ට වෙර දරන..



Friday, October 24, 2014

තුවාල..

තුවාල...
අපි හැමෝටම තියෙන තුවාල...
සමහර ඒවා තාම සීරුම්..සමහර ඒවා සුවවුණ කැළැල්..තවත් සමහර ඒවා උඩින් හොඳවුණ යටින් තාම අමු ගැඹුරු ඒවා...තව සමහරක් සදාතනික කැපුම්...

ඔව් ඔබටත් ඇති..මටත් තිබුණා..තවම තියෙනවා..

මගේ හිත හීරිලා තිබ්බා..හීරුමක් තිබ්බට මක්වෙනවද?..මම එහෙම හිතුවා..
හීරුම පස්සේ කාලෙක ලොකු කැපුමක් වුණා..අඩියට ටිකක් උඩට වෙනකල් ගැඹුරට හෑරිච්ච...
ඔසුවක් කියලා කෙනෙක් ඇසිඩ් වක්කලා ඒකට...
වේදනාව ගැන කොහොම කියන්නද?..
තුවාලේ එක්කම හදවතේ පැත්තක් කරකුට්ටන්වෙලා ගියා..ඇඹරිලා විරූපී වුණා..
කාලෙකට පස්සේ කෙනෙක් අයිස් ගෙනාවා..අයිස්වලට සුවයක් දැනෙන බවක් හිතුණා...
නෑ...අයිස් ඇසිඩ්වලටත් වඩා විසයි...අයිස්වලට පිච්චෙනවා කියලා තේරෙද්දි තුවාලේ තවත් ටිකක් පිච්චිලා ඉවරයි...

හදවතේ තුවාලවලට බෙහෙත් නෑ ලෝකේ...අපි මවාගත්තට ඒවා ඇත්තම බෙහෙත් නෙවෙයි..
සදාකාලික බෙහෙත් කොහේවත් නෑ...ඒක තමයි ඇත්ත...



රිදුම් දෙන 
ඇදුම් කන
හදවත මගේ...