Monday, September 14, 2015

Coming Soon..

හරි එහෙනම් තනියා නැවතත් කරළියේ කිව්වලු.

අර කාලාන්තරේකට කලින් මම පිචෑර් එකක් කොරන්න පොරොන්දු වෙලා  අයදුම්පත්‍රත් කැඳෙව්වා කට්ටියට මතක ඇති නේ? ඒත් ඉතින් මැක්‍රෝ එන්වයර්මන්ට් එකේ කචල් නිසා වැඩේ කල් ගියා.දැන් ඉතින් මැක්‍රෝවට වඩා මයික්‍රෝව ලොකු කරගන්න ඕන කියලා හිතිච්ච එකේ මම හිතුව පිචෑර් එකේ වැඩ පටන් ගන්න.සුපුරුදු ලෙස මේක බොලිවුඩ් ස්ටයිල් වේවි.ගිය සැරේ දිල් පීචං ක්‍යා හේ වගේ එක සීරුවට ලියන්න නම් ඉඩක් ලැබේවිද කියන්න අමාරුයි.ඒත් පුළුවන් පුළුවන් විදියට මේකත් ලියන්නයි හිතන් ඉන්නේ. :)

Saturday, September 5, 2015

රොටී ද? තෝසේ ද?

විභාගයට සතියක් ඇති නමුත් විපිරියාස ලෝකේ සිදුවන දෑ දකින කල විභාගයට යකාටම පලයැයි කියා ලියන්නට ආවෙමිය..

රට වැස්සාගේ පහන් සංවේගයේ තරම දිනපතා ප්‍රවෘත්තිවලින් බේරෙනා හැටියට නම් ඒ පෙරෙන්නේ රෙද්ද පල්ලෙන් නොවන බව කිව මනාය.පඹයෙක් රජවූ කල ඔයිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි බව යථාකාලයේ තථා අයුරින්වත් මුන්දැලා තේරුම් ගන්නවා නම් හොඳය.ඒත් දැනට වී ඇති හරිය නිසාමද කොහිදෝ සමහරක් යහපාලන ටොයියන්ගේ මුකපූට්ටු වී ඇති බව පෙනී යන්නේය.කුම්බලා මාළු කා පාහරා ගත නොහෙන තැන උන් සමහරක්ට දැන් පක්ෂ දේශපාලනයක් නැත, එක්කෝ විකල්ප දේශපාලනයට ගොහිල්ලාය එහෙමත් නැතිනම් ජාතියේ ගුද සාක්ෂියට එකතුවෙලාය. ඒත් කරුමය වනාහී ඒ තරම් ගුද සාක්ෂිය සාක්ෂාත් කරවන්නට ගොහිල්ලාත් ජවිපේ ඡන්ද ගණන හා මන්ත්‍රීධූර ගණන ගැන විලාප නගන එකය.ඒ හින්දාමද කොහෙදෝ සිරිසේන ගොයියා විලාප අනුරගේ කටට සූප්පුවක් ගසා විපක්ෂ සංවිධායකකමක් දී ඇත්තේය.

Friday, August 21, 2015

කෙටි විරාමයක්

පහුගිය සති කිහිපයේ මැරතන් දිව්වා කාලයත් එක්ක..විභාගයක් අත ලඟටම ඇවිත් තියෙන මොහොතේ ලියන්න තියෙන එව්වා බලෙන් වාරණයට ලක්කරගෙන ඉන්නේ ලබන සතිය වෙනකල්..එහෙම කොරගන්නම බැරිතැනක් ආවොත් ලියැවේවි.

එතකල් නිහඬ නැති කෙටි විරාමයක්..


Sunday, August 16, 2015

ඡන්දදායක අපේ වගකීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තවත් මහ මැතිවරණයක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත මේ මොහොතේ මෙසේ ලියා තබමි.

ඡන්ද අයිතිය හිමි සිවිල් ජනයා ලෙස ඔබත් මමත් සැබැවින්ම ඒ අයිතිය බුද්ධිමත් ලෙස පරිහරණය කර ඇතිද යන වග විවාදයට තුඩු දෙන්නකි.එසේයැයි ඔබ කියන්නේ නම් සෑම මැතිවරණයකම පොරොන්දු අතරට යහපත් සමාජයක් යන්න එක්වීමේ පිටුපස සැඟවගත් සැබෑ කතාන්දරය කුමක් ද?විශේෂයෙන් සඳහන් කළ යුතුවන විසඳුමක් යෝජනාවන තරමට යමක් සිදුව ඇත්නම් එහි වගකීම සම්පූර්ණ වශයෙන් බැරවියයුත්තේ පත්වන දේශපාලනඥයින්ගේ ගිණුමට ද? නැතිනම් තම අයිතිය ඔවුන් වෙනුවෙන් යොදන අපගේ ද?

අප සැබැවින්ම ඡන්ද අයිතිය භාවිතා කරන්නේ සිහි නුවණින්ද යන්න සිතා බැලිය යුතු කාලය එළඹ ඇත.ශ්‍රී ලංකා වාසි සිවිල් ජනතාව ලෙස අප සිතිය යුත්තේ අපේක්ෂකයාගේ මැතිවරණ පොරොන්දු ලෙස පමණක්ම ද?
එසේ මැතිවරණ පොරොන්දුවලට මුල්තැන දීමෙන් අපට වැරදුණු අවස්ථා ඇත්තේම නැතිද?
සැබැවින්ම අප සිතිය යුත්තේ කට-බඩ ගැන ද ඒ හැර සිතන්නට වෙන යමක් තිබේද?
ඇත්ත වශයෙන්ම සමාජයට භෞතික, සමාජීය, ආර්ථික සහ ආධ්‍යාත්මික වශයෙන් යහපතක් ඉටුකරන්නට දායක වූ දේශපාලනඥයින් කවුද?
ඡන්ද දායකයන් ලෙස ඔබටත් මටත් හෙටින් පසු අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ ලබාදීමේ ලා හැකියාවක් ඇත්තේ කාටද?

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ, මාස 8කට පෙර අපි අවසාන වතාවට ඡන්ද අයිතිය භාවිතා කළෙමු.
ඉතින්,
අවසාන ඡන්දයට පෙර අප උන්නේ කොතැනද? 
දැන් අප සිටින්නේ කොතැන ද?
අප යා යුත්තේ කොතැනටද?
උගත් පාඩම් මොනවාද? ඒ ඇයි?

එසේ නම්, අයිතිය වෙනුවෙන් නගන හඬ අරුත්සුන් නොවන්නට, අප වෙනුවෙන් යහපත් හෙටක් තනන්නට, නිදහස් නිවාල් ඒකීය රටකට හෙටක් ගෙනෙන්නට අපේ අයිතිය බුද්ධිමත්ව සහ සිහිනුවණින් භාවිතා කරමු.
අනාගතය වෙනුවෙන් අද අපගේ යුතුකම ඉටුකරමු.




Saturday, August 15, 2015

#Repost : බඩගෝස්තරවාදය

සමහරු මම දේශපාලන පෝස්ට් දැමීම මාකටිං පාරක් ලෙස හිතුව බව පහුගිය කාලේ ලැබුණු කමෙන්ට්ස්වලින් තේරුණා.ඒ කිව්වේ හිට්ස් බලාගෙන ලිවීමක් හැටියට හංවඩු ගැහීමේ උවමනාවක් තිබ්බ බවක් පෙනුණා.අදත් මම කියන්නේ, මේ ලිවිල්ල පටන් ගත්තේ මගේ ආත්ම තෘප්තියට මිසක් මාව මාකට් කරගන්නවත්, තව කෙනෙක්ව මාකට් කරන්නවත් නෙවෙයි.කැමැත්තෝ පිළිගත්වා! නොමැත්තෝ බණිත්වා! මට පාන් ද! 

අවුරුදු දෙකකට විතර කලින් ලිව්ව පෝස්ට් එකක් නැවත පබ්ලිෂ් කරන්නේ ඉහත කී මතයට මෙයිට වඩා දෙන්න හොඳ උත්තරයක් නැති හින්දා.
කැමැත්තෝ බලත්වා! නොමැත්තෝ ස්කිප් කරත්වා! 

කැමැත්තන්ට නොමැත්තන්ට හැමෝටම නිව්ස් එක ආවේ මෙන්න මෙතනින්.