Thursday, July 14, 2022

රැල්ල වෙරළට!

ඊයෙ වෙනකල් රඟපු ඕමල්පෙට අද මොකද වුණේ කියලා දන්න කෙනෙක් කියනවද ප්ලීස්?
අන්න ඒකට ජීවන්ත! තාම ගේම් එක අතෑරලා නෑ.
කාඩිනල්? ආ එයත් එච්චරයි. මං හිතන්නේ තාම රහ කරලා කියන්න ප්‍රකාශය ලියවනවා වෙන්ඩැති.😂
නිකාස්ලා? ආ ඒගොල්ලො දැන් ප්‍රචණ්ඩත්වයට කැමති නෑලු. 

අන්තිමට චීවරයි ලෝගුයි නෝණ්ඩි වෙලා මවුලානලයි පූන නූලුයි හොඳ මුණියෝ වෙන්නත් පුළුවන් ඈ😂

තියෙන දහමක් දෙසාගෙන ඉන්නෙ නැතුව එක එකාගේ දේශපාලන ගුණ්ඩුවලට උල්පන්දම් දෙන්න ගිහින් තමන් නැහෙන එක වෙනයි, මිනිස්සුන්ව කුලප්පු කරලා විනාසෙට මග පෙන්නලා පස්සෙ උපාසක ටෝක් දෙන එක වෙනයි. හැබැයි ඉතින් කාගෙ කාගෙත් වෙස්මූණු ගැලවිච්ච එක වඩා හොඳයි! තාමත් ඒක පිළිගන්න අකමැති ඈයෝ තවත් හොඳාආආයි!

~✒️ Aash Weerasinghe

ආ මේ status උස්සනකොට ඔය ඔක්කොම copy කරගන්ඩ. අපරාදේ නේ😅

#AW #අරගලේපසුකතා #නිර්පාක්ෂිකඅරගල #SriLankaProtests

නිර්පාක්‍ෂිකයි ඈවරයි දෑවරයි!

දැන් අර 'නිර්පාක්‍ෂික අරගලය' ඉවරද ඈ?🙄
තිරෙන් පිටිපස රඟපු සමහරු දැන් 'නෝ චාන්ස්' වේගෙන එද්දි හිමින් බැහැලා යනවා. පළාතක නොහිටි අය තිරයේ රඟනවා. තාම දෙපැත්ත බැලන්ස් කරන අය දෙපා දෙපැත්තට තියං බලං ඉන්නවා. තාම එළි නොබැහැපු මූණුවල ඡායාවලුත් පාවෙනවා පේනවා.

ඔයා කොයි පැත්තෙද මිත්‍රයා?😎

#AW #SriLankaProtests #අරගලේපසුකතා
#නිර්පාක්ෂිකඅරගල #සාමකාමීඅරගල #PeacefulProtesters

Sunday, July 10, 2022

ලංකා සභ්‍යත්වයේ මගේ විඳීම (විඳවීම)

ජූලි 9 උදේ කලුකඩ ගාණට ගිය කිලෝමීටර් 19 ආපහු එන්න වුණේ පයින්! මගේ ආත්තම්මලා බකල ඇරලා අතගාලා හදලා දුන්න කකුල් දෙකට සහ ආත්තම්මලා දෙන්නට පින් දිදී පැය 6ක් තිස්සේ කළ ගමනක්!

ගමන පටන් ගනිද්දිත් ඩීසල්, පෙට්‍රල් නැති රටේ වාහන, ලොරි, කන්ටේනර් බාගවල නැගලා සිංහ කොඩි වනමින් ගිය උදවියගේ ආරාධනා ආවා 'අරගලේට යනවා නං එන්න'! ඒ අතර ලොරි ඇතුලේ 'ආතල්' ගන්න 'නංගි' කෙනෙක් හොයන 'අයියලත්' හිටියා! 

පාලු පාරවල වාහන ගියේ කිහිපයක්, ඉඳලා හිටලා. මගේ ගමන පටන් ගත්තේ කිරිබත්ගොඩින්. ආවේ කැළණිය පන්සල පැත්තෙන් අංගොඩ හරහා. කැළණි පන්සල පහුකළායින් පස්සේ අංගොඩට එනකල් කොටස කොයිවගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නැතුව ඇතිනෙ දන්න කෙනෙකුට. ඉඳලා හිටලා අතුරු පාරක දෙමව්පිය ඒකාධිකාරයෙන් මිදුණු ළමයි ක්‍රිකට් ගහනවා, බයිසිකල් පදිනවා, වෙල්දෙණි බඩවැටිවල ඇවිදිනවා, මේ අව්අස්සේ පොඩි උං ඇත්තටම ළමා දිනය විඳිනවා. ඒ ගැන සතුටුවෙමින් පයින් එනකොට තනියම කෙල්ලෙක් පයින් යද්දි ඒක වැඩිහිටියන්ට පමණයි දිනය කරගන්න උත්සහ කරපු මහඋං  විවිධාකාර ක්‍රියාකාරකම් යෝජනා කළා මග දිගට. ඒ අතර වාහන ඇඟට කැපීම් වගේ සුළු දේවල්වල ඉඳන් රමණය කළ හැකි ක්‍රම සහ අත්හදා බැලීමට කළ ආරාධනා, ස්ත්‍රී නිමිත්ත සන්තර්පණය කළ හැකි ආකාර සහ හැකියාව ගැන කයිවාරු, මැඳැඟිලි උරා පෙන්වීම් ඇතුළු අසභ්‍ය හස්ත මුද්‍රා/හැසිරීම්, ලුහුබැඳීම්, සැකකටයුතු ලෙස වාහන/බයිසිකල් නැවැත්වීම්, කුණුහරුප කීම් නොඅඩුව තිබුණා. මෝටර් සයිකල්වල ඩබල් දමාගෙන සිංහ කොඩි වනමින් ගිය සමහර අයියලා මේ නංගි අරගලයට යනවා නං අසවල් එක මත නග්ගාගෙන හෝ ගෙනියන බවටත් පොරොන්දු වීසී කරමින් ගියා! 

බත්තරමුල්ලට එනකල් ඒ පහුකරන් ආ කොටස මට එතරම් හුරු නැති නිසා නොනවත්වාම ගමන් කළත් ඒ අතර වැඩි අවධානයක් දෙන්න සිද්ධ වුණේ ආරක්ෂාව ගැන. බත්තරමුල්ලෙන් පස්සෙ ප්‍රශ්නයක් නැතැයි කියලා හිතාගෙන ජපන් මිත්‍රත්ව පාරට හැරෙන තැන උද්‍යානයේ සිමෙන්ති බංකුවක වාඩිවුණා ගිමන් නිවන්න. (ඔව්, අර මාදුළුවාවේ සෝභිත හිමියො කව්ද සෙට් එකක් එක්ක ප්‍රතිමා බවට පත්වෙලා ඉන්න තැන). ගඟ ගලනවා වේගෙන්, වෙනදා තරම් වාහන නලා ඝෝෂා නැතිව නිස්කලංකව හුස්මක් ගන්න කියාපු තැන.  අරගල ඉවර කරලා යන දෙන්නෙක් ඇවිත් එහා මේසෙක වාඩිවෙලා කෑම කෑවා, ඉතිරි බත් පාර්සලයක් එහෙමම බිම අතෑරලා දාලා ගියා. තව කොටසක් උද්‍යානයට බහින තැන පාර අයිනේ බයිසිකල් නවත්වාගෙන කෑගහන්න පටන් ගත්තා. ඔව්, එතැන එවෙලෙ හිටියේ මහපාරට පිටුපාලා ගඟ දිහා බලං සිමෙන්ති බංකුවක වාඩිවෙලා මහන්සි නිවාගත්ත මං විතරයි. ඒ ආව 'අයියලා' (හැරී බලන්න නොගිහින්, මගේ ආරක්ෂාව ගැන අවධානයෙන් ඉන්න නමුත් නොඇසුණා නොදැනුණා සේ ඉඳීමේ කලාව ප්‍රගුණ කර ඇති නිසා) පුදුමාකාර දයාවන්ත මිනිස්සු! 'කොල්ලා' ඇවිත් නැතිවීම නිසා 'වේලෙන' මේ නන්නාඳුනන තරුණියට 'උදව්' කළහැකි ක්‍රම මහ හඬින් ශුද්ධ සිංහලයෙන් කියාදීමට තරම් ඒ මිනිස්සු 'අනිකාට ප්‍රේමය පතුරු ගහන' උදවිය! සෑහෙන්න වෙලාවක් කළ ඒ දේශනාවලින් පස්සේ පිරිස විසිර ගියාට පස්සෙ තමයි ආයිත් පරිසරයේ තිබ්බ සිලිසිලිය ඇහෙන්න ගත්තේ. 

පැයක් විතර එතැන රැඳිලා, තව දුර යන්න තියෙන නිසා නැගිටලා, පාර්ලිමේන්තුව පේන ඇවිදින මං තීරුව දිගේ දියවන්නාවෙ සීතල හුළඟ විඳගෙන හිමින් ආයෙත් ගමන පටන් ගත්තා. දියවන්නාවයි මං තීරුවයි අතර විශාල පඳුරු ගාල් අස්සේ ප්‍රසිද්ධියේ ගංජා ඉරීම්, මත්ද්‍රව්‍ය/මත්පැන් භාවිතා කරන මිනිස්සු! මගෙ ගමනේ සාමය කඩාබිඳගෙන ආයෙත් ආත්මාරක්ෂාව මතුවුණා හරිම වේගයෙන්. ඒ මංතීරුව තියෙන්නේ ජපන් මිත්‍රත්ව පාරට වඩා පහතින්. හදිසියකදී එක් සැණෙන් ඒ කණ්ඩිය නැගලා මහපාරට යන්න අමාරුයි. මගෙ ඉස්සරහින් දෙන්නෙක් නැවතිලා ටී-ෂර්ට් උස්සාගෙන බඩවල් එළියට දමාගෙන, වැනෙමින්, විකාර හිනා පාන්න පටන් ගත්තා. එතකොටයි මට දැනුණේ තව කව්දෝ මට පිටිපස්සෙන් ගමන් කරන බව! වහාම ජංගමයා අතට අරන් දියවන්නාවේ පිංතූර ගන්න පමාවුණා ඔවුන්ට ඉස්සර වෙන්නට ඉඩදීලා. නිශ්ශබ්දව මාව පහුකරන් ගිය නිසා ටික වේලාවක් පමාවෙලා මම ආයෙත් ගමන පටන් ගත්තා. අර පහුකරන් ගිය මිනිස්සුම ඉස්සරහ මංතීරුව දෙපැත්තේ වාඩිවෙලා බලා ඉන්නවා! මොළය රතු එළි දල්වාගෙන එන්නත් කලින් කණ්ඩියෙන් මහපාරට ගොඩවුණා වාහන කීපයක් (වෙනදා තරම් නැතත්) ගමන් කරන ප්‍රධාන පාරක ආරක්ෂාව විශ්වාසයෙන්. පහළ මංතීරුවේ මා හා සමාන්තරව වැටීගෙන අර පිරිසම නොයෙකුත් අසභ්‍ය කතන්දර කියවන්න පටන්ගත්තා. ඒ සිදුවීම මගහරින්න ගමන වේගවත් කරද්දී තව බයිසිකලයක් හෙමිහෙමින් මොනවාදෝ කියමින් සමාන්තරව පාරේ මං යන දිශාවටම ගමන් කරන්න පටන් ගත්තා. ඒකට නං සේරම තරහවල් එකතු කරවලා බැල්මෙන් ගිනිතිබ්බම ටික ටික බයිසිකලේ වේගය වැඩිවෙලා යන්න ගියා! 

හිතන්නවත් බැරි වැදගත් පාට පිරිමින්ටත් තනියම පාරක යන ගැහැණු පුලුටක් දකිනවිට සුන්දර කුණුහරුප මතක්වන බව ඊයේ මම දැනගත්තා! අතීතයේ තනි ගෑණියෙක්ට රන් අබරණ පැළඳගෙන දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරුතුඩුවට යන්න පුළුවන්කම තිබ්බ කතාවත් ඉතිහාසයේ විකෘතියක්ද කියලා පුදුම වෙමින් මම ගමනේ අන්තිම කොටසට ළංවෙද්දි රෑ හතයි!
ශාරීරික වෙහෙසට වඩා වැඩියෙන් දැනෙන්නේ මානසික වෙහෙස!  

 රට හදන්න ගිය ඉතිහාසගතයි කියන දවසකත් ලංකාවේ පාරක දැරිවියෙක්ට/තරුණියකට/ගැහැණියකට/මැහැල්ලකට පාරක තනිව යන්න බැරිනම් ඒ බිහිකරන්න විලිරුදා ගන්න කේතුමතියේ පදනමක් කොහෙද තියෙන්නේ? 
කේතුමතියට දුං අල්ලන්න ගිය/යන ඊනියා වනිතාවාදියොයි අම්බ ධර්ම ටෝක් දෙන මහිලාවොයි ඒ අත්දැකීම වින්ඳා නං තේරුම් ගනී මොකද ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් එයාලා දාර්ශනික නිසා! 

හැමදාම කියනවා වගේ දේශපාලනිකව ප්‍රශ්න විසඳන්න කලින් මුලු සමාජයේම හැදෙන්න ඕන 'ආකල්ප'. ආකල්ප හැදුණොත් 'හැසිරීම්' හැදෙයි. ඒ මූලික පදනම නැතුව 'මනුස්සකම' ත් නැතුව කේතුමතී එකට දහයක් හැදුවත් අපි ඉන්නේ එකම තැන!
මේ එක උදාහරණයක් විතරයි! 

~✒️ Aash Weerasinghe

#සුන්දරලංකා #lka #AW #9thJuly2022 #ලෝකයේරෙද්දවෙනස්කරමු #FeministS #SafetyOfWomen #womenrightsarehumanrights

Thursday, July 7, 2022

බසයෙන් බව තරණයට

ලංකා මාතාවගේ වර්තමානයට පින් සිද්ද වෙන්න බස් එකේ යන්න ගත්තා අවුරුදු ගාණකට පස්සේ!
අද තමයි තේරුණේ තුන්තිස් පැයේ බණ කියන බණ අහන අපේ රටේ ඇත්තටම අනිත්‍යය මෙනෙහි කරවන්නේ කොන්දොස්තරලා කියලා. බලන්න අතහැරීම ගැනම නොනවත්වාම කියන ලස්සන. 'අතෑරලා යන්න, මැද පේළිය ඔය පොල්ල අතෑරලා ඉස්සරහට යන්න, මල්ලී ඔය දොර අතෑරලා ඇතුළට එන්න, අතෑරලා එන්න මේ මෙහෙ ඉඩ තියෙනවා, ඔය බලන්නකො අනේ නංගි ඔය සීට් එක අතෑරලා මෙහාට වෙන්න, ඔය බෑග් එක ගලවලා දාන්න, සීට් අල්ලං ඉන්න එපා අයියේ' යනාදී වශයෙන් ඒ මනුස්සයාගේ මුලු රාජකාරි වේලාවම වෙන් වෙන්නේ ඒ මනුස්සයා පතාගෙන ආව පවුලේ උදවිය සේරෝම අතෑරීමට යොමු කරවලා සංසාරෙන් එතෙර කරන්න! පුදුම පිංවන්ත ආත්ම ඔව්වා😇🌼

ඇයි මිලමුදල් ගැන තියෙන බැඳීම්, තණ්හාවල් අතෑරවන ලස්සන බලන්න.' ආ ඇයි ඉතිරි? කාගෙද? අපෝ මේ රුපියලද ඉල්ලන්නේ? අයියෝ ඕක අරං මං මොනා කරන්නද අනේ, හපෝ ගන්න ගන්න ආ.. කෝ අර ඔයා රුපියල් දෙකක් දෙන්න තිබ්බනේ.. අනේ දෙන්න මහත්තයෝ රුපියල් දෙකක් නැද්ද ආ එහෙනම් දහයක් දෙන්න.. ආ ඉතිරි බහිනකොට ඉල්ලගන්න' වගේ මහා කරුණාවෙන් තණ්හාව දුරු කරවාලීමටම තමයි උත්සහ කරන්නේ. සමහරවෙලාවට වැඩි තණ්හාකාරයන්ට නං ඉතිරි දෙන්න ළංවෙද්දී ළංවෙන්න බැරි තරං දුරකට ගිහින් පවා ඒ කෙලෙස් අතාරින්න පුරුදු කරවන්න එතුමන්ලා පැකිලෙන්නේ නෑ.

ඒ මදිවට බලන්න ඕන සංසාර බර බෙදාහදා ගන්න අපූරුව, මගියෝ. බොහෝ වෙලාවට කොන්දොස්තර උතුමාණනුත් එතුමන්ගේ බර මගීන්ගේ කරමත තියලා සංසාරේ දුෂ්කරබව දන්වන්න අරිනවා. ඒ ඇරෙන්න විශාල මලු අරං නගින උදවිය ඒ මලු, ඇතැම් පුරුෂයෝ තමන්ගේ ප්‍රජනන ඉන්ද්‍රීයන් පවා කරමත තියලා මේ අසුන්දර සංසාරෙන් ඉක්මණින් මිදියල්ලා කියන පණිවිඩය දෙනවා හරිම හෘදයාංගම විදිහට.

ඒ අස්සේ කතන්දර පප්පල මම්මලා එහෙම ළගින් වාඩිවෙලා අතිර සසර සාගරේ ගැන කණ පුරවන්න ගන්නවා. අද එහෙම මගේ එහා පැත්තෙ හිටියේ තරුණ උපාසක මහත්තයෙක්. අපරාදේ කියන්න බෑ මට කරදර වෙන විදියට නං නලියන්න, හෙලවෙන්න, නිදිකිරන්න උත්සහ නොකර වැදගත් විදියට වාඩිවෙලා මුලු ගමනම ගියා. හැබැයි ටෙලිකොම් ආයතනයක පාරිභෝගික සේවාව වගේ. එකක් ඉවර වෙන්න එකක් දුරකතන ඇමතුම්. ඒ හැම එකකින්ම තේරුණ විදිහට ඒ තරුණ උපාසක මහත්මයට අපේ අගමැතිතුමාට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්න ඕන. හැම රටකම වගේ නියෝජිතයන් සමග රටේ පවත්නා අර්බුදකාරි තත්ත්වය, නවතම බස්ගාස්තු සංශෝධනය, ශ්‍රී ලංකාවේ නවතම තෙල් සංචිත ප්‍රමාණය, වෙනත් රටවල පෙට්‍රල්/ඩීසල් ලීටරයක මිල සංසන්දනාත්මකව විශ්ලේෂණය, කිරිබත් කෑමට වඩා සුදුසු ව්‍යාංජන, ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේද, අප මේ අර්බුදයට මුහුණ දියයුත්තේ කෙසේද, ගැහැණු ළමයින් සෙනග වැඩි බස්රථවලට නැගීම නවත්වාගත හැති මාර්ග, එම බස්රථය ගමන් ගන්න මාර්ගයේ සිදුවන දේ එසැණින් උණුසුම් පුවත් තුළින් යනාදී වශයෙන් අතිශය සංකීර්ණ මාතෘකා මේ මහත්මයා මුලු ගමන පුරාවටම නොමිලේ මට අසන්නට සැලැස්සුවා. රියැදුරු මහත්මයා සිංදු රේඩියෝ අහන මානසිකත්වයක නොහිටි නිසා සංසාර බර කර තබාගෙන අර දැනුම් ගඟුලේ පීනමිනුයි මම අවශ්‍ය ස්ථානයට ළඟාවුණේ.

ඒ අව් අස්සේ සංසාර බැඳීම් හොයා හොයා පීනන උදවියත් ඉන්නවා. මේ තරම් සංසාරයෙන් මුදවන්න උත්සහ කරවන අවස්ථාවක මාරයා විසින් එවූ ඒජන්තවරු තමයි ඉතින් ඒ. මේ අතිර සසර සාගරේ ගිලෙන ඔය වගේ මොහොතවල්වල තව මොන සංසාර බැඳීම්ද අප්පා!

කොහොමවුනත් දැන් මම නං පෝලිමේ මුල ඉන්නේ. තව දවස් කීපයක් මෙහෙම ගියාම බව දුක නිමා කරලා තමයි ඉතින් ගමන නිමා කරන්නේ. 
අන්න එතකොට තාම පෝලිමට ආවේ නැති ඔයාලට හුගක් රිදෙයි ඈ😜

~✒️ Aash Weerasinghe

#AW #publictransortSL #lka #සුන්දරලංකා

Monday, July 4, 2022

Once upon a time in Colombo

2022 ජූලි 4දා සිනමාවේදීන් සමූහයට

ඉස්සෙල්ලම Once upon a time in Maligawatte විදිහට intro එක ගිය කතාව පස්සෙ Once upon a time in Colombo වෙලා තමයි විකාශය වෙන්න පටන් ගත්තේ. කාලෙකට පස්සෙ බලන්න හම්බෙච්ච හොඳම කතාවලින් එකක්.

මේකේ තියෙන ලොකුම හොඳ තමයි කතාව නිස්කාරණේ රබර් කරන්නේ නැතුව හොඳ ගලායාමක් තියාගෙන ඉන්න එක. සමහරවෙලාවට සමහර චරිත හරි ඉක්මණින් ඉක්මණින් කතාවෙන් අයින් වෙන තරමට කතාවේ ගලායන වේගය හොඳයි. කතාව පටන් ගන්නෙම වැදගත් චරිතයක (සෝමේ) මරණයෙන්. ඊළග කොටස් කීපය ඇතුළත තවත් ප්‍රධාන චරිත කීපයක් මරණයට පත්වෙනවා. පාතාලයට අදාළ ඇත්ත තත්ත්වය හරියට පෙන්නන්නේ කාටවත් වැඩි කලක් වැජඹෙන්න ඉඩ නොදීමෙන්. ඒක හින්දම කතාවේ ප්‍රායෝගික සහ යථාර්ථවාදීගතිය ආරක්ෂා කරගන්න සමත්වෙලා තියෙනවා.

කැමරාව ගැන කතා කරනවා නම් නිතරම වගේ සාමාන්‍ය ඇහැට හුරු කෝණ පාවිච්චි කරන්න උත්සහ කිරීම විශේෂත්වයක් කියලා හිතනවා. සමහර අවස්ථාවලදී නම් ඒක ඇහැට, ඔලුවට ටිකක් අමාරුයි බලං ඉන්න, විශේෂයෙන්ම වේගයෙන් සිද්ධවෙන දේවල්, වේගවත් චලන වගේ දේවල්වලදි. නමුත් සමස්තයක් විදිහට ගත්තහම නදීකා ගුණසේකරගේ කතා සංකල්පය චමිල් පතිරණ විසින් හොඳින් අධ්‍යක්ෂණය කෙරිලා තියෙනවා.

සුලු චරිතවල ඉඳන් ප්‍රධාන චරිත වෙනකල් රංගන ශිල්පීන් හැම කෙනෙක්ම වගේ තමන්ගේ චරිතවලට හොඳ සාධාරණයක් ඉෂ්ඨ කරලත් තියෙනවා.
සහන් හේවාදේව සුහුඹුල් බවක් පල කළත් තව ටිකක් රංගනය දියුණු කරගන්න ඕන වුණත් ලොකු ගැටලුවක් මට නම් පේන්නේ නෑ. සමහර දෙබස්වලදි ඉංග්‍රීසි ඌරුවක් එන එක නිසා ද මන්දා සමහර අවස්ථාවල මුස්ලිම් උච්චාරණයක් වගේ දැනෙන වෙලාවල් තියෙනවා.
ශේෂාද්‍රි ප්‍රියසාද් චරිතයේ ගත කළ කාලය කෙටිවුණත් මතක හිටින රඟපෑමක් සහ මම හිතන්නේ හොඳ තෝරාගැනිමක් ඈගේ මෙතෙක් රඟපෑ චරිත දිහා බැලුවම.

කතා නොකරම බැරි දිල්හානි අශෝකමාලාගේ රඟපෑම! 👌 90 දශකයේ වාණිජ සිනමාවේ හිටි දිල්හානි කාලයත් එක්ක පරිණත වෙලා තියෙන හැටි දැක්කම පුදුම හිතෙනවා. මැදිවියේ අම්මෙක්ගේ චරිතේ සුපිරියටම කරනවා මෙතනදි දිල්හානි. ඒ හැඟීම් ප්‍රකාශනය, දෙබස් මාරම ස්වාභාවිකයි. 

ඊළග කෙනා පූජන දන්දෙණිය. පළවෙනි වතාවට මම පූජනගෙ රඟපෑමක් දකින්නේ. හැබැයි ජූඩ්ගේ චරිතයට පට්ට සාධාරණයක් කෙරෙනවා ඔහුගෙන්. චණ්ඩිකම අධිතාත්විකව ඇඟට අරං ඉන්න තරුණ ජූඩ්ගේ ඉඳන් නායකත්වයට ආවම ටිකක් පරිණතවෙන ජූඩ් දක්වා ඒ චරිත විකසනයේ පූජන නෙවෙයි ජූඩ්ම තමයි ජීවත් කෙරෙන්නේ.

ගඩාෆි ගැන කියන්න දෙයක් නෑ. දර්ශන් ධර්මරාජ් දැනට තිරයේ ඉන්න හොඳම දුෂ්ඨයා. තව සෑහෙන්න වැඩ ගන්න පුළුවන්, වැඩ ගන්න ඕන චරිතයක්. මේකෙ කරන්න තියෙන පොඩි කොටස උපරිමේටම කරලා තියෙනවා. 

විල්සන්ගේ චරිතය රඟපාන වසන්ත විට්ටච්චි විල්සන් කෙරෙහි ප්‍රේක්ෂකයා තුළ ඇති කරවන අප්‍රසාදය උපරිමයට අරගන්නවා. ඒක කොයිතරම් ද කියනවා නම් හැමෝම බලං ඉන්නවා විල්සාට බුලට් එක දෙන්නේ කව්ද කවද්ද කියලා. 

අනික් චරිතය රොජර්. කාලයක ප්‍රේමවන්තයාගෙ චරිතය රඟපෑ රොජර් තනතුර වෙනුවෙන් තමන්ගෙම අයියව මරා දම්මවන කට්ට කයිරාටික දේශපාලනඥයාගේ චරිතය ලෙසටම කරනවා. සමහරු අධිතාත්විකයි කියලා කිව්වත් මට හිතෙන්නේ ඒ චරිතය තුළ තියෙන්න ඕන අධිතාත්වික රංගනය, මවාපෑම රොජර් හරියටම අවබෝධ කරගෙන රඟපානවා කියලා. කණගාටුවක් දැනෙනවා සුන්දරව හිටි ඔහුගේ වෙනස්වීම ගැන. ඒත් වෙනස්වීම අපි හැමෝටම පොදු කාරණයක්නෙ. 

විමලෙගේ සහ පැට්ටාගේ චරිත රඟපාන රංගන ශිල්පීන් මම මීට කලින් දැකලා නැහැ. නමුත් ඔවුන්ගේ රඟපෑම් සෑහෙන්න තාත්විකයි. පැට්ටාගේ චරිතය කලින් රඟපෑ ශිල්පියාට වඩා දැන් ඉන්න පැට්ටාගේ රඟපෑමට මම කැමතියි. ඒ ඇරෙන්න මුලින් කතා නොකරන ගාණට තිබූ ඒ චරිතයට දෙබස් ටිකක් ලිවීම ගැන නම් තිර රචකයාට අනිවාර්යයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. අඩුපාඩුවකට මට පේන්නේ ඒ චරිතයට තව යමක් කරන්න ඉඩ තිබුණු අවස්ථා හරියට භාවිතා නොකිරීම තමයි. උදාහරණයකට සාරාගේ මරණය පැට්ටා හිතපිත් නැති ගලක් වගේ ගණන් නොගෙන සිටීම අතාත්විකයි කියලා හිතෙනවා. ඒ ගැන ඊට වඩා දෙයක් කරන්න තිබුණා. අනික අම්මා (දිල්හානි) සිරගතවීම, විහාන් රිමාන්ඩ් වීම ගැන කිසිම සඳහනක්, තැකීමක් නැතිව පැට්ටාගේ චරිතය ගලායාම ටිකක් අභව්‍යයි කියලා දැනෙනවා. 

කතාවේ වෙනමම ආරේක චරිතය ටිරෝන් (චතුර රාජපක්ෂ). ඒ රංගන ශිල්පියාත් මම දකින්නේ පළවෙනි වතාවට. වෙනත් නිර්මාණවල ඉඳලා ඇති සමහරවිට. තිර රචනයේදි ආතල්ම චරිත ගොඩ නැගීම මම හිතන්නේ ටිරෝන්. ධම්මපදය කිය කිය ගහගන්න, කටු අනෝදයි ටිකිරි මාරියි කන, සෑහෙන්න ක්‍රැක් ඒ වගේ චරිත ඉන්නවද නැද්ද කියලා වාදවිවාද මම කමෙන්ට්ස් අතර දැකලා තියෙනවා. හැබැයි එහෙම චරිතත් මේ සමාජයේ ඉන්නවා. ඒ චරිතයට කරන උපරිමය ඒ රංගන ශිල්පියා දුන්නා කියලත් මම විශ්වාස කරනවා. 'ඒක වෙනමම ආතල් එකක්'. බලලම තමයි තීරණය කරන්න ඕන. 

එතකොට උමයංගනා වික්‍රමසිංහ. කතා නොකරම බැරි තව චරිතයක්. නිර්මාණ නොකළ නිළියකගෙ චරිතය, සූසැට මායමින් නියම ප්‍රයෝජන ගන්නා හැටි මං හිතන්නේ උමයංගනාට වඩා හොඳ තේරීමක් ඒ චරිතයට නෑ. හැමෝම කෙටි කාලයක් වැජඹෙනකොට උමයංගනා තවම ගේම් එකේ රැඳිලා ඉන්නේ කොහොමද කියලා බලන්නම ඕන. ඒ චරිතයට අදාළ බැල්මේ ඉඳන් මවාගත් අහංකාරකම වෙනකල් හැම අඩුම කුඩුමක්ම නියම ගාණට උමයංගනා පියුමිගේ චරිතයට යොදනවා. 

ඊයේ අලුතෙන්ම පසන් රණවීර එනවා චරිතයකට. සිරිල් නිතරමසෆරිං ඔහුගේ මතක හිටින චරිතයක්. මේ චරිතයේ ප්‍රවිෂ්ඨය බලාපොරොත්තු සහගතයි. කොහොම වෙයිද ඉදිරියෙදි කියලා බලං ඉමු. 

නාට්‍යයේ සාර්ථකත්වයට තිර රචනය, අධ්‍යක්ෂණය වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරාගැනීම ලොකුම හේතුවක්. ඒ ඒ චරිතවලට හරියටම හරි කෙනා තෝරා ගැනීම කරලා තියෙනවා වගේම සුලු කාලයකට සීමාවෙන චරිත භාරගැනීම ගැනත් ඒ ප්‍රවීණ සහ නවක සියලු දක්ෂයන්ට අනිවාර්යයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. 

තවම විකාශය වෙලා තියෙන්නේ කොටස් 75යි. Youtube එකේ සියලු කොටස් තියෙනවා බලන්න කැමති කෙනෙකුට. නැත්නම් සෙනසුරාදා සහ ඉරිදා රෑ 8:30ට ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. 

~✒️ Aash Weerasinghe