Thursday, April 13, 2023

සර්වබලධාරී

ලෝකය සර්වබලධාරීන්ගෙන් පිරී ඉතිරී ගොසින්ය!
ඒ සර්වබලධාරීන්ට මිනිසුන්ගේද සත්වයන්ගේද ලෝකයේමද ඉරණම ගැන තීන්දු තීරණ ගැනීමේ මහ මෙහෙයුම් නිසාම තමා ගැන සිතන්නටවත් වෙලාවක් නැතිවන තරමට කාර්යබහුලය!

මේ ලෝකයේ ජීවත්විය යුත්තේ කව්ද කොතරම් කාලයක්ද ඒ කෙසේද යන්නෙන් නොනැවතී ඔවුන් ජීවත් විය යුත්තේ කා සමගද කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද වැනි සුළු කාරණා පවා සර්වබලධාරීන්ගෙ විෂයපථයට අදාළය. ඒ අතර මානව සහ සත්ත්ව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, පෞද්ගලිකත්වය ආදී විකාර කාරණාවලටද කාලය වැය කිරීමට ඔවුන්ට සිදුවෙනවාය.
මිනිස් වර්ගයාගෙන් නොනැවතී රිලවුන්ගෙ සිට අලි දක්වා සකල ජීවීන්ගේ පැවැත්ම තීරණය කිරීමටද සර්වබලධාරීන් නොපැකිලව ඉදිරිපත් වෙනවාය. ගහකට කොළයකට මලකට පවා ඔවුන්ගේ තීරණවලින් බැහැර වීමට නොහැකිය!

මෙතෙක් සර්වබලධාරීන් ලෙස පිළිගත් ආගම්වාදී සර්වබලධාරී දෙවිවරුන්ද මකුළු දැල් බැඳි පඬුපුල් ආසනයේ අසුන්ගත් ශක්‍ර දේවේන්ද්‍රයෝද සියලු ආකාරයේ අදෘශ්‍යමාන බලවේගයන්ද විශ්‍රාම ගැන්වීමට තරම් නව සර්වබලධාරී සංසදය ප්‍රබලය!
තවම ලෝකයේ පැවැතීම ගැන චිත්ත ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව ලියා තබමි!

~තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #Almighty

Wednesday, April 5, 2023

පෞද්ගලීකරණයෙන් ඔබ්බට..

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට මං එකඟ නැහැ!

හැබැයි... 
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නට සිද්ධවෙන තැනට පත් කළාට වග කියන්න ඕන දේශපාලනඥයො විතරක්ම නෙවෙයි. වෘත්තීය සමිති තමයි ඒකට වග කියන්න ඕන ලොකුම පිළිලය! 

ඇයි..? 
ඕනෑම වෙලාවක පවත්නා රජයට විරුද්ධ වෘත්තීය සමිති බලා ඉන්නේම වර්ජනයක් කරන්න, අංචියක් අදින්න. සල්ලිවලට ඕනෑම යටිකූට්ටු වැඩක් කරන්න. වෘත්තීය සමිති කියන්නේ අතිශය සද්භාවයෙන් යුතුව, "වැඩකරන ජනතාව" වෙනුවෙන්  පටන්ගත් ක්‍රමවේදයක්. හැබැයි ඒක දැන් ලංකාවේ තියෙන්නේ අන්තවාදීත්වයෙත් අන්තවාදී තැනක! කොටින්ම ත්‍රස්තවාදයක. කව්රුහරිම හිතනවා නං එයාලා ඔයාලා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා කියලා, අං පීරිගාන්නයි වලිගෙ ට්‍රිම් කරන්නයි කාලෙ හරි ගිහින් ඇත්තේ. 
කිසිම වෘත්තීය සමිතියක කට සෙලවෙන්නේ නෑ, අත සෙලවුණේ නැත්නම්. අත සෙලවෙන්නෙත් සල්ලි මිටි සහ වෙනත් සැප සුඛවිහරණ දොළ පිදේනි භාරගන්න විතරයි. ඇතැම් දේශපාලන පක්ෂවලට සහයෝගය දෙන වෘත්තීය සමිති ඇතැම් ප්‍රසිද්ධ ව්‍යාපාරයන් බ්ලැක්මේල් කරන බවත් රහසක් නොවෙයි. ඒ ව්‍යාපාර තුළ වර්ජන, කරදර ඇති නොකර සිටීම වෙනුවෙන් මේ රිරී යක්ෂයො ගන්නේ එසේ මෙසේ දොළපිදේනිත් නෙවෙයි. අවශ්‍ය කෙනෙකුට හොයා බලන්න පුළුවන්. 

එතකොට මේ අන්තනෝමතික වෘත්තීය සමිති කාලකණ්නීන්ගෙන් රාජ්‍ය ආයතන ගලවාගන්නම බැරිද? 
පුළුවන්. හැබයි අමාරුයි. ඔඩුදුවා තියෙන පිළිකාවක්නේ සෑහෙන්න කපලා අයින් කරන්න වෙනවා. කව්ද ඒක කරන්න පුළුවන් ජගතා? 
ලංකාවේ එහෙම ජගතෙක් නෑ. මෙතෙක් හැම රජයක්ම කළේ තත්ත්වය කළමනාකරණය කිරීමක් විතරයි. ජේආර් හෝ ප්‍රේමදාස මේ තත්ත්වය ඇතුළත හිටියා නම් සමහරවිට මේ කකුලුවෝ මෙච්චර නටන්නේ නැතිවෙන්නත් තිබුණා. අමානුෂිකවුණත් සමහර දේවල් සාධාරණයි කියලා හිතෙන තැනට සමහරු සමහර අවස්ථාවල යනවා. ලංකාවේ වෘත්තීය සමිතිත් ඒ වගේ!

රනිල්ට ඕනෑ නම් ඔය පිළිකාව අයින් කරන්න පුලුවන්. නමුත්, රනිල් කියන්නේ පදම් වෙච්ච දේශපාලනඥයෙක්. ඕක තියෙන්න අරින එක අයින් කරනවට වඩා වටින අවස්ථා ඒ කපටි මොළේටත් පේන හින්දා එහෙම බලාපොරොත්තු තියාගන්න බෑ. 

හැබැයි, කවදමහරි දවසක ඔය වෘත්තීය සමිතිකාරයන් විසින් අනාචාරයේ යොදවන මානව අයිතිවාසිකම්, කම්කරු අයිතීන් වගේ රාමු යම්තරමකට නම්‍යශීලි කරවීම අත්‍යාවශ්‍යයි. මොකද මෙහෙම ගියොත් ලංකාවට ණය දහසක් ලැබිලා, සක්‌විති රජවරු පහළ වෙලා, රාවණා වලෙන් නැගිටලා ආවත් හිඟන්නො වගේ තමා ඉන්න වෙන්නෙ! 

අන්තිම රාජ්‍ය ආයතනයත් පෞද්ගලීකරණය කරන්න වෙන තැනට වැඩ සැලැස්සෙනකලුත් අපිත් අපේ දේශපාලන මතය සාධාරණීකරණය කරමින් මුන්ව හුරතල් කරාවි! ආයතන වලපල්ලට ගියාට එයාලා තමන්ගේ සුඛ විහරණය ලස්සනට හදාගෙන ඉඳීවි. එහෙම කරන්නේ දේශපාලනඥයෝ විතරයි කියනවා නම් මේ රීරී යක්කු මොක්කුද කියලා තමතමන්ටම හොයලා බලන්න පුළුවන් නම් හොඳයි! හැබැයි ප්‍රමාද නොවී, පක්ෂග්‍රාහී නොවී..! 

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #tradeunion

Saturday, April 1, 2023

සදාකාලික ඉලන්දාරියා

කලං කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්! කලං ගැන කියන හැම වෙලාවකම, ඔහුව දකින හැම වෙලාවකම මං ඕක කියනවා කියලා මගේ සමීපතමයො දන්නවා. කොටින්ම කලං මගේ ක්‍රෂ් එකක්❤️

කලංව මුලින්ම දැක්කේ කවද්ද මොන චිත්‍රපටයෙද කියලා මට මතක නෑ. හැබැයි සෑහෙන්න පොඩි කාලෙක වෙන්න ඕන. කලංගෙ චරිතයක්, නිර්මාණයක් ගැන ලොකු විචාර ලියන්න තරම් මම ඔහුගේ නිර්මාණ නරඹලා නෑ. 
හැබැයි..ඒ පළමු දැක්මේ ඉඳන් හිතේ කෙටිච්ච චරිතයක්!  චූටි මනුස්සයෙක් වුණාට මට දැනිච්ච ඔහුගේ පෞර්ෂත්වය මහ විශාලයි. ඔහුට තිබ්බේ පුයර බබෙක්ගෙ පෙනුමක් නෙවෙයි. වෙන මොකද්ද මහ ජේත්තුකාර කඩවසම් පෙනුමක්. දැන් වගේ මූණේ රැලි බොටොක්ස් නොකළ කාලෙක කලංගේ මූණේ රැල්ලක පවා මොකද්දෝ වෙනමාකාරයක ආකර්ෂණයක් තිබ්බා කියලා හිතෙනවා. අග්න්‍යාශය විකාගෙන දතකට පූට්ටු කරගෙන දෙන දෙබස් අභින නැතුව  හරිම සාමාන්‍ය තාත්විකබව මම දැකලා තියෙන සීමිත රංගන කීපයේ දැක්ක එක ලක්ෂණයක්. 

අද උදේ කලං ගියා කියලා දැක්කම මං ජංගමයා ඇහැට ළංකරලත් ආයෙ කියෙව්වා. මං හිතුවෙම වැරදීමක් කියලා. අවුරුදු 82ක් වෙලා යන්න ගියත් කලංගෙ මුණුපුරු පරම්පරාවක මටත් කලං මගේ පරම්පරාවේ එකෙක් වගේ. මෙයින් පස්සේ කොහේ ගියත් කලං කියන්නෙ අපේ සිනමාවේ සදාකාලික ඉලන්දාරියා❤️
සමහරවිට කොණ්ඩෙ අවුල් කරගෙන බෙල්බොටම් එකට යට කළ ස්ලිම්ෆිට් කමිසේ අත් නවාගෙන උඩ බොත්තම් දෙක තුනක් ඇරගෙන කලං එහෙත් ජේත්තුවට ඉන්නවා ඇති. 
සුබ ගමන් කලං අන්කල්💔💐

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Thursday, March 30, 2023

ලොකු මාමා

පුංචිම කාලේ මං ලොකු මාමාට බයයි. එතකොට ඇටිකිත්තෙක් සයිස් මට අඩි හයක් උස, කලු, මූණ පුරා නේවි කට් රැවුල වවාගත්ත ලොකු මාමා පෙනුණෙ යෝධයෙක් වගේ. සාමාන්‍යයෙන් අපි එක්ක වැඩි කතාබහක් නැතිවුණාට ලොකු මාමා සීයා එක්ක කරපු සංවාදවල කව්රු කාව පරද්දනවද කියලා හිතාගන්න බැරිවිදිහෙ සමානකම් තිබ්බා. සීයාගෙ උසයි බුද්ධිමත්කමයි ආත්තම්මගේ හිනාවයි උරුම වෙලා තිබ්බා කියල මට හිතුණට ආත්තම්මා බොහොම ආඩම්බරෙන් කිව්වෙ ලොකු මාමා ආත්තම්මලගෙ ආරෙට ගිහින් කියලා. පහුකලෙක මොන දුරස්වීම් තිබ්බත් සීයටයි ආත්තම්මටයි තමන්ගෙ පළවෙනි දරුවා කියන ආදරේ කවදාවත් නැතිවුණේ නෑ කියලා තමා මේ පැත්තෙ ඉඳන් ඒ දිහා බලන් හිටිය මට දැනුණේ. ඒ ඈත්වීම් ආත්තම්මට වඩා දැනුණේ ඒ ගැන නිහඬව හිටිය සීයාට වෙන්නැති කියලත් හිතිච්ච වෙලාවල් තියෙනවා. 

ලොකු මාමා එක්ක මං එකඟ නොවිච්ච තැන් ඕනෑතරම් තිබුණා. නීතියට වැඩ කරන ගතිය, බුද්ධිමත්කම සහ ඒ පෞර්ෂයය ගත්තම මං අගය කරන පුරුෂ පෞර්ෂයයන් අතලොස්ස අතරින් ලොකු මාමත් ඉහළින්ම හිටියා. හැබැයි සමහර අවස්ථාවල එච්චර බුද්ධිමත් මනුස්සයෙක්ට පවා සමහර දේ දිහා පටු කෝණවලින් බලන්න පුළුවන් කියලත් මං ඉගෙන ගත්තා. රලු යෝධයෙක් වගේ පේන මනුස්සයෙක් ඇතුලෙත් නොහිතන දේවල්වලට රිදවෙන සංවේදී මනුස්සයෙක් ඉන්න බවත් මං දැනගත්තෙ ලොකු මාමගෙන්. ඒත් ඒ ගැන කතා කරන්න අපිට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නෑ. 

අසනීපයෙන් ඉන්න බව ආරංචිවුණත් මහා අහංකාර මනුස්සයෙක් හින්දා කව්රුවත් තමන්ව බලන්න එනවට එයා අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ඒ අකමැත්ත නොතකා එයාව බලන්න ගිය පවුලේ අයට පවා ඇයි ආවේ කියලා අහන්න මොන ලෙඩ ඇඳක හිටියත් ඒ අහංකාර කට ඇරුණා කියලා පස්සෙ ආරංචිවුණාම තරහ ගන්නවා වෙනුවට මට හිනාගියා. ඒ ලොකු මාමා කව්ද කියලා යම්තාක් දුරකට ඈත ඉන්න මට තේරුම් ගන්න පුළුවන් වෙච්ච හින්දා වෙන්න ඇති. ඒ වගේ ස්වාධීනත්වය අගය කරන, අම්මා තාත්තට පවා දෙවැනි වෙන්න අකමැති, කිසිකෙනෙකුට ඔලුව නවන්න අකමැති අහංකාර මිනිහෙක් තමන් ලෙඩකට දුකකට පැරදිලා ඉන්නවා කිසිකෙනෙකුට පෙන්නන්නවත් අනුකම්පාව ලබන්නවත් තියෙන අකමැත්ත මට තේරෙනවා. 

ඒත් ලොකු මාමගෙ මරණයේ ආරංචිය මං දැනගත්තේ දවස් ගාණක් පහුවෙලා. මට දැනෙන්නේ පුංචි කාලේ ඉඳන් දැක්ක මහ විශාල රූස්ස ගහක් එක සැරේම අතුරුදහන් වෙලා වගේ මහ හිස්කමක්. 

ගිහින් එන්න ලොකු මාමේ. මේ ආත්මයේ වගේම බුද්ධිමත්ව, හොඳ පෞර්ෂයයක් ඇතිව යහපත් නිදුක් නිරෝගී මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න. මේ ආත්මයේ මග හැරුණු ඇතැම් දේත් ධර්මයත් අවබෝධ කරගෙන අමා මහ නිවනට මග හදාගන්න. සංසාරේ කොතැන හරි හන්දියක මුණගැහුණොත් යහපත් පිරිවර ලබාගෙන, හොඳින් ඉන්නවා දකින්න ලැබෙන්න ඕන. 

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Saturday, March 25, 2023

නිදහසේ ලන්සුව

මේ දවස්වල දවල් එළියට බැස්සම පුදුම සනීපයක් දැනෙනවා. කට්ට තාර පාරෙන් දුම් නොනගින එකයි පුදුම. නානාප්‍රකාර නානාහැඩයෙ වාහනවල, ගොඩනැඟිලිවල දිලිසෙන හැම පෘෂ්ඨයකම වැදිලා ඉරේ දරුණු රැවිලි ඇස්වලට පනිනවා. ඒකෙන් ඇහැරෙන්න දතකන මිග්‍රේන් දුෂ්ටයාට බයවෙන මං අව් කණ්ණාඩි අස්සෙනුත් තදින් ඇස්පියා ගන්නවා. 

හෙවණකට ඉන්න ගහක් නැති සාංකාවක පාටක්වත් නැතුව මිනිස්සු ගිනිගහන මහපාරවල්වල ඇවිදිනවා. කිලෝමීටර් ගාණකට පස්සෙ හම්බුවෙන එක ගහක් යට චූටි දැල් කූඩුවක වටුකුරුල්ලො ගොඩක් පුරෝගෙන නිල් ඉරි සරමකට සුදු අත්දිග කමිසයක් ඇඳගත්ත මනුස්සයෙක් ඇන තියාගෙන ගිමන් අරිනවා. කූඩුවේ ඉන්න වටුකුරුල්ලො එකා පිට එකා වැටෙමින් නලියනවා, රස්නෙ දරාගන්න බැරිකමට වෙන්න ඇති.

ගහකොළක් පේන තෙක් මානෙක නැති යකඩ තහඩු කඩ කාමර පේලියක සුරතල් සතුන් විකිණීමට කියලා බෝඩ් එකක් ගහගෙන දැල් කූඩු එකපිට එක අඩුක් කරන් ඉන්නවා. ඒවයෙ කුරුල්ලෝ, බලුපැටව් පිරිලා. උන් හරිම අසහනයෙන් දිවවල් ඇදගෙන පීඩාවෙන්, රස්නෙන්, සමහරවිට බඩගින්නෙන් වේදනා විඳිනවා.

සමහරවිට අර මනුස්සයගෙන් මිලදී අරන් අපි අපේ අපලවලට කුරුල්ලෝ නිදහස් කරනවා. බෙල්ලන්විලට නිදහස් කළොත් ආයෙත් ඒ කුරුල්ලොම තව කව්රුහරි අල්ලගෙන කූඩු කරලා ආයෙ විකුණනවා ඇති.

අර කඩෙන් බලු පැටව් මිලදී අරන් ගිහින් කොහෙහරි හිරකරගෙන වර්ගයා බෝ කරවමින් තව කෙනෙක් ව්‍යාපාරයක් කරනවා ඇති. ඒ පැටවුන්ගේ ඊළග පරම්පරාවත් තව කඩේක යකඩ කූඩුවක හිරවෙලා තමන්ට ගැණුම්කාරයෙක් එනකල් දුක් විඳිනවා ඇති. ඒ දුක ඒත් ඉවර නොවෙන බව තේරුම් ගන්න තරම් හැකියාවක් ඒ අසරණයන්ට නැහැනෙ.

මහ තාප්පවලින් වටකරපු තැනක සුදු ජම්පර් ඇඳගත්ත මිනිස්සු මේ අව්කූටකේ නොයෙකුත් වැඩපල කරනවා. එක එක වැරදිවලට එක එක අච්චුවල මිනිස්සු එක පොදියට යකඩ කූඩුවලට ගාල්වෙනවා. වැරැදි කරන එකා යකඩ කූඩු දාහක් අස්සෙත් ඒ වැරැද්දම කරනවා. හැබැයි උන් කතා කරනවා. ඉල්ලීම් කරනවා. තර්ජන ගර්ජන කරනවා. තමන්ට ඕන දේ හොඳින් හරි නරකින් හරි දිනාගන්නවා. උන්ට කූඩුවෙන්නත් නිදහස්වෙන්නත් මිලක් තියෙනවා. 

නිදහස මටත් අර වටුකුරුල්ලටත් බලු පැටියටත් වැලිකඩ ගිය සුදාටත් එක වගේ. ඒත් අපි එක එක හිරකාරයට එක එක විදියට සලකනවා. එක එක හිරකාරයගෙ නිදහසට විවිධාකාර මිලක්, ක්‍රමවේදයක් හදනවා. අපි කව්ද? අපිට ඒ බලතල ලැබුණේ කොහොමද? කාගෙන්ද? 

මේ ආත්මාර්ථකාමී මිනිස්ගුලාවෙන් මිදුණු සැගවුණු නිදහස් දේශයක් ගැන ආරංචියක් ලැබෙන දවසක් ගැන මම ඇඟිලි ගනිමින් බලන් ඉන්නවා. 
එපා, එහෙ එන්න එපා🙏

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #freedomhasaprice