Saturday, September 28, 2024

ප්‍රශස්ති වන්නම

චාටුව සහ ප්‍රශංසාව එකම කාසියක දෙපැත්තකි. ශ්‍රී ලාංකිකයා ඔවුන්ගේ පසුබිම සහ ඇති හැකි බව අතින් කොයි තලයක සිටියද ප්‍රශංසාවට ප්‍රියය, චාටුවට ගිජුය. 

ධනය සහ බලය එක්වූ තැන චාටුව සහ ප්‍රශංසාව අතරවන සියුම් බෙදුම් රේඛාව බොඳවෙයි, එය හඳුනාගැනීමේ විචාර බුද්ධිය සැඟවෙයි.
ඔබට ධනයද බලයද ඇත්නම් වාසි ලාභ ප්‍රයෝජන තකා ඔබ වටකරගන්නට බලාසිටින චාටුකාරයො බොහෝය. 'අපිව අන්දන්නත් බෑ, තම්බන්නත් බෑ' කියනා උගත් බුද්ධිමතුන්ද පණ්ඩිතයන් ද හැඩට අන්දවන්නට චාටුකාරයන්ට හැකිය. උන් තමන්ට කර ඇති බව දැනගන්න හැකිවන්නෙ බොහෝ ප්‍රමාද වූ පසු වෙන්නටත් පුළුවන් ය.

ලංකා ඉතිහාසයේ සිටම ප්‍රශස්ති ගායනා කිරීම ජයටම කෙරුණු වැඩක්ය. වන්දිභට්ටයො පරපුරෙන් පරපුරට තම හැකියාව වැඩිදියුණු කරගන්නවා මිස අනික්වා මෙන් මොට කරගෙන නැති බව ඔබ වටා සිටින්නන් දෙස වඩා විමසිල්ලෙන් බැලූ විට පෙනෙනු ඇත. ඔබට ධනයද කිසියම්මාකාර වූ බලයක් හෝ තාන්නමාන්නයක් හෝ ඇත්නම් ඔබ හැලි වඳුරෙකු වුවද ඔබට 'අනෙ ශ්වීට් ගර්ල්, යු ආ සෝ හොට්, හායි හැන්සම්, අනේ අපේ සර්/ අපේ මැඩම්, අයියෝ සර් වෙනුවෙන් මැරෙන්න වුණත් ඉන්නවා, මැඩම් වෙනුවෙන් ඕන දෙයක් කරනවා' යනාදිය අසන්නට ලැබෙනවාය. ඔබගෙ පා දෝවනයට ද, වෙනත් ඕනෑම අවශ්‍යතාවක් පිරිමැසීමටද සට්ටෑඹියන් බොහෝ බව ඔබට පෙනෙනු ඇති නමුත් බොහෝවිට ඔවුන්ගේ ප්‍රශස්ති ගායනාවන්ගෙන් ඔද තෙද වැඩී, පපුව පිම්බී, පොර මානසිකත්වයෙ පරතෙරට ගොස් සිටින මොහොතක නම් මේවා තේරුම් ගැනීම දුෂ්කර ක්‍රියාවක් වනු ඇතිය.

අනේකවිධ චාටු, වර්ණනා, ප්‍රශංසාවෙන් පිරි ලංකාවේ රජවරු සහ පසුකාලීනව දේශපාලකයන් ප්‍රශස්ති වන්නමේ ප්‍රබලතම ගොදුරුය. අවසාන සිංහල රජු වූ මහනුවර රාජධානියේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1707 - 1739) රජුට ගැයුණු මේ ගීය ප්‍රසිද්ධ ඒවායෙන් එකක් ය.

වරමාති සුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිංහ නෘපතේ

භෝජරාජ සම තේජභිරාමා
ත්‍යාජකාම රණ භූෂණ සෝමා
වාජිත කුල ධෘති වන්නභිරාමා
නරේන්ද්‍රසිහ නරනායක භූමා

දුජ්ජන දුෂ්ට විභජ්ජන කෝපා
සජ්ජන සත්ත සුරක්ෂ මනාපා
වජ්ජිත රිෂ්ටා වද්‍ය සුපාපා
අජ්ජුන භූභුජ ශ්‍රීධර චාපා..

(අකුරු අඩුපාඩු තිබිය හැකිය)

එතැනින් නොනැවතී ප්‍රශස්ති ගී අද වනතුරුද ගැයෙයි. ඒ කාලේය මේ කාලෙය කියා වෙනසක් නැත. 

මෑත කාලීනව ප්‍රශස්ති ගායනා නිසා අවලාදයට, නින්දාවට, ගැරහුමට ලක්වූ ප්‍රබලයෙකි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. 
එදා ඒ හෙලා දැකි අවශේෂ ජනයාද දැන් ඒ මගම යන්නේ දෛවයේ සරදමක් ලෙස වාගේය.
රාජාවලියද ඉතිහාසයද අවඥාවෙන් බැහැර කරනවුන්ට පවා වන්දිභට්ටයන්ගෙන් ගැලවීමක් නැත. 
සැක නම් නව පාලනයේ පෙරගමන්කාර මාධ්‍යකරුවන්ද අනුගාමිකයන්ද දෙස බලන්න.

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka #politics

Thursday, September 26, 2024

ටුකුවක ධර්ම සංවාද

අපි සමහර වෙලාවට නොහිතන මිනිස්සු නොහිතන වෙලාවල විවෘත වෙනවා. සමහරවිට නන්නාඳුනන කෙනෙකුට තමන්ගෙ සිතුවිලි හරි ප්‍රශ්නයක් හරි කීම වඩා හොඳයි කියන හැඟීමෙන් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මොකක් හරි විශ්වාසයක කම්පන තරංගයක් අල්ලා ගන්න හින්දා වෙන්නත් පුළුවන්. වාසි ප්‍රයෝජනයක් බලාගෙන කතා කිරීමකට වඩා මගෙ අත්දැකීම මිනිස්සු ඇහුම්කන්දෙන්නෙක් ඉස්සරහ තමන්ගෙ හිත නිදහස් කරගන්න උත්සහ කරනවා කියන එක. ලියනවා නම් පොතක් ලියන්න තරම් එහෙම අත්දැකීම් තියෙනවා.

ඊයේ ලඟ ගමනකට ටුකුවකට ගොඩ වැදුනෙ සුපුරුදු ඌබර් කාඩ් ද කෑෂ් ද ප්‍රශ්නෙ අනුව එකක් ප්‍රතික්ෂේප කළාට පස්සෙ. ඊළඟ රියැදුරු මහත්මයා ඒ ගැන ප්‍රශ්න නොකළත් මගෙ යුතුකමට ටුකුවට ගොඩ වෙද්දිම මම කිව්වා කාඩ් කියලා. 'ආ කමක් නෑ මිස්' කියලා හිනාවෙන් පිළිඅරන් මට පැහැදිලි කිරීමකුත් කළා කාඩ් සහ කෑෂ් අතර වෙනසක් නැතිකමත් රියැදුරන්ගෙ තියෙන අනවබෝධය සහ අනෙක් ප්‍රායෝගික ප්‍රශ්න ගැනත්. ඒක නෙවෙයි වැදගත් කතාව.

සාරාංශ කළාම මේ මනුස්සයගෙ කතාවෙ අන්තිම ටිකයි වැදගත්. 
"අපි ජීවත්වෙන කාලය සීමිතයිනෙ මිස්, ඒ ටිකෙ හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන. ඕනෑම දෙයක් ලොකුවට හිතෙන් අල්ලගත්තමනෙ දුක වැඩි. උදහරණෙකට ආදරේ වැඩිවුණාම දුක වැඩිවෙනවා. මොකද ආදරේ හින්දනෙ ඒ කෙනා කරන කියන දේකින් හිත රිදෙන්නෙ. තමන්ට පුලුවන් දේ ඒ සීමාවෙ ඉඳන් තමයි කරන්න ඕන. කෙනෙකුට හානියක් හිත්  රිදීමක් නොකරන තරමට තමන්ගෙ හිත සැහැල්ලුයි. ගෙයක් හැදුවත් මට පුලුවන් පර්චස් 6ක ගෙයක් හදන්න නම් මම පර්චස් 10-12කට අමාරුවෙන් උත්සහ කරල ස්ට්‍රෙස් වෙන එක තේරුමක් නෑ. බුදුහාමුදුරුවො කිව්ව පන්සිල් පහ රැක්කා නම් ඇති ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් හැටියට හොඳින් ජීවත් වෙන්න. අපි මැරෙනවා කියන එක දවස ගානෙ මෙනෙහි කරන්න ඕනත් නෑ, එතකොට කලකිරෙනවා මිසක් ජීවත් වෙන්න බැරිවෙනවා. මැරෙන බව දැනගෙන ජීවත් වුණාම හරි. අපි මැරිලා ගිහින් වෙන කොහෙ ඉපදෙයිද අපි දන්නෙ නෑනෙ මිස්. හැබැයි අපි ආදරෙ කළ අයට පසුතැවීමක් නැතිවෙන විදියට ජීවත් වුණාම ඉවරයි. උදාහරණෙකට මිස්, මගෙ නෝනා එක්ක මම තරහ වෙලා නින්දට ගිහින් නින්දෙදි මම මැරුණොත්, එයාට කොයිතරම් නම් පසුතැවීමක් ඇතිවෙයිද ජීවිත කාලෙම එයා මට අන්තිමට කිව්ව දේ හරි කරපු දේ හරි ගැන. ඒ වෙලාවෙදි එයාට හිතෙන්නෙ එයා කළ කී දේ වැරදියි කියලා මිසක් මම කළ කී දෙයක් ගැන නෙවෙයි, මනුස්ස ස්වභාවය ඒකයි. මම මැරිලා යන දිහාක යයි, ආයිත් සංසාරෙ එයාව හම්බවෙයිද හම්බුණත් අපි අඳුනගනීද කියලා කියන්න බෑනෙ. ඒක නිසා මිස්, ජීවත් වෙන කාලෙ කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරෙන් ජීවත් වෙන්න ඕන කියලා තමයි මට හිතෙන්නෙ".

මගෙ සුපුරුදු අසන්නාගෙ භූමිකාවෙ ඉඳන් හූමිටි තියමින් ඉඳලා අන්තිමටම මම ඇහුවා වයස කීයද කියලා, මොකද අවුරුදු 35-40ක්වත් කියන්න බැරිතරම් හින්දා. ඔහොම සංවාදයක් මම බලාපොත්තු වුණේවත් නැති හින්දා. අවුරුදු 50යිලු. 🫡 

මේ එදිනෙදා අහම්බෙන් වෙන සංවාදවල හම්බවෙන මිනිස්සු ජීවිතෙ විවිධාකාර අත්දැකීම්වලින් පදම්
වෙච්ච මිනිස්සු. ඇත්තටම එහෙමද නැද්ද කියලා සහතික කරන්න තරම් බරපතලව හිතන්න හේතු නෑ. ඒත් සමහර වෙලාවට මෙහෙම අහම්බෙන් වෙන සංවාදවලට මට පුදුම නොවී ඉන්නත් අමාරුයි. එහෙම අන්දවන්න ලෑස්තිවෙන මිනිස්සු නෑ කියලා කියන්න බෑ තමයි ඒත් බහුතරයක් මිනිස්සු එහෙම කතා කළා කියලා කිසිම වාසි ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නෑ. දවසකට දෙකකට කලින් හිතවතෙක් කිව්වා 'මාව කියවගන්න බෑ, විවෘත වෙන්නෙ නෑ' කියලා. එහෙම කියවගන්න බැරිද නැද්ද මම දන්නෙ නෑ. ඒක එහෙම නම් ඇයි මිනිස්සු හරිම ලේසියෙන් තමන් ගැන විවෘත වෙන්නෙ කියලා මම දන්නෙත් නෑ😁 උපදේශන සේවා කරන්නෙත් නැහැනෙ 😄

මට හිතෙනවා සමහරවිට අපි යම් මොහොතක අහන්න ඕන පණිවිඩයක් අහඹු කතාවල තියෙනවද කියලා. එහෙම හිතලා මම පොදු සමාවක් දුන්නා මෙතෙක් සමාව නොලැබූ හැමෝටම.😋 ගැල බර කරගෙන සංසාරෙ දඟලනවට වඩා ඒක හොඳයිනෙ.😇

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka

පරම රමණීය ලංකා

2024 සැප්තැම්බර් 22

අටලෝ දහමට අනුව දුක-සැප, යස-අයස, නින්දා-ප්‍රශංසා, ලාභ-අලාභ සියලු මනුෂ්‍යයන්ට පොදුයි.
පුද්ගලිකව මම දුක් අඳෝනා, බැරි බැරියා, නාහෙන් ඇඬිලි, පැමිණිලි අසීමාන්තිකව දකින්න, දරන්න, අහන්න කැමති නෑ, දුක මාකට් කිරීම, දුක විකුණාගෙනකෑමට කැමතිත් නැහැ.
ඒත් සහකම්පන සංඛ්‍යාතය වැඩි මනුස්සයෙක් හැටියට කොහෙ ගියත් නාඳුනන මනුස්සයෙක් හරි ප්‍රශ්නයක්, ගැටලුවක් කියන්න එන අත්දැකීම් තියෙනවා. ඒ මගෙ සමාජීය අත්දැකීමනෙ.

දේශපාලනිකව මේ වෙලාවෙ මට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මේ රටේ මාධ්‍ය සහ සමාජය වෙලාගෙන තියෙන ලොකුම දුක් අඳෝනා විලාප වෙන "76 වසරක ශාපය" එක්ක පට්ට ගැහෙන අපිට කරන්න දෙන්නෙ නෑ කියන පැමිණිල්ල අදින් සදහටම අවසන් වෙන එක. ඊලඟට අරූ නිසාය මූ නිසාය යන දෝෂදර්ශන ව්‍යාපාරය අදින් අවසන් වෙන එක. 
ඒක කොච්චර ලොකු සැනසීමක්ද කියනවා නම් අද හවස ඉඳන් සමාජය සහ මාධ්‍යය ධනාත්මක ආකල්පයෙන් සහ සංඛ්‍යාතයෙන් පිරෙනවා දකින්න මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.

වෛරයෙන්, ක්‍රෝධයෙන්, පැමිණිල්ලෙන්, අඳෝනාවෙන්, නාහෙන් ඇඬිල්ලෙන්, අඬෝපැලියාවෙන් මිදුණු පරම රමණීය ශ්‍රී ලංකාවකට උණුසුම් සුභ පැතුම්!

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024

Friday, September 20, 2024

ත්‍රස්තයා ත්‍රස්තයාමය!

යුටෝපියන් හීන බෝල කරලා උඩ දාල හොට උල් කරලා ඒ කටවල් උඩ ඒ ඒ බෝල බැලන්ස් කරලා පෙන්නුවම සමහර උද්ධික පුතාලා හිතන් ඉන්නවා හෙට රෑට ලංකාවේ ටීවී ඉස්සරහා නිදිකිරා වැටිලා ඉරිදට ඇහැරිලා කේතුමතියේ රජ මාලිගයක සිරියහන් ගබඩාවේ දුහුල් තිර මෑත් කරන් සඳළුතලාවලට බැස්සම රත්තරන් ආලේප කොරපු රේන්ජ් රෝවර් එකක්වත් අවම වශයෙන් හැම රටවැසියෙක්ගෙම මිදුලෙ පාක් කොරලා තියෙයි කියලා. 

ඉරිදා ඉඳන් සාමානාත්මතාවය, සමාජ සාධරණත්වය රජවෙලා, ඇති නැති පරතරය සීරෝ වෙලා, සිස්ටම් චේන්ජ් වෙලා යුටෝපියානු ලංකා රාජ්‍යයක් බිහිවෙයි කියලා හෙන ලල් එකක ඔහෙලා හිටියට, එහෙම වුණොත් ඔහෙලයි පක්සෙ න්‍යායාත්මක පදනම එතනම ලොප්නෙ හලෝ! 
ඔහෙලා ආස වුණාට තමන්ගෙ බඩ ගෝස්තරේ නැතිකරගන්න ඔය පක්ෂ නායකත්වය කීයටවත් ලෑස්ති නෑ.

ප්‍රායෝගිකත්වය බිංදුවයි.
ප්‍රශ්න අහන්න බයයි.
හීනවලට ආසයි.
හීන මැරිල්ලක් ගැන කතා කරන්න කලින් බොරු හීන පෙන්නන එක අවබෝධ කරගන්න බෑ.
ඒ වුණාට බුද්ධිමත් ලු.
ආතල් සෙට් එකක් හලෝ ඔහේලා.

මේ ඒක නෙවෙයි.
දැන්ම ඉඳන් ජයග්‍රහණය සමරන ඔහෙලයි නිල නොනිල මාජ්ජවේජියො ටිකයි ටියුබ්කරණ පියා වන සුදත්තයි අරූ රටින් ගියාය, මූ පැනලා ගියාය කියලා විරුද්ධ කඳවුරුවල මිනිස්සු පැනලා යන කතන්දර පැතිරවීමෙන් මේ දෙන්න හදන පණිවිඩය පූර්ව සහ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයකට ඔහෙලා සූදානම් බව ද?
රටම අනුරට දීලා හැකි එකා රට පනින්ට ඕනය කියන එකද ඔහෙලා මේ කියන්නෙ?
බැරි උන් ඔහෙලට රට දීලා දරුපවුල් එක්ක මූදට බහින්නද ඕන?
දැන් ඔහෙලයි කල්ලිය සරණ නොගියපු මං වගේ උන්ට මක් කොරන්නෙයි ඔහේලා හිතා ඉන්නෙ?

ඒකනෙ කියන්නෙ උපන්ගෙයි ත්‍රස්තවාදියො මොන ප්‍රජාතාන්ත්‍රික ප්‍රවාහ මෙට්ටවලට ගෙනාවත් 'තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ' කියලා!

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024 #nppsrilanka #JVPSrilanka

ලංකා මාතා මෙතැනින් පසු...

හෙට තීරණාත්මක දවසකි.

හතරවටින් මුහුදෙන් වටව ඇති නිසාදෝ මන්දා ලංකාවැසියා 'රැල්ල' ප්‍රිය කරයි. ඔවුන් සියල්ල කරන්නෙ රැල්ලටය. රැල්ලෙ ගහගෙන ගොසින් කෙල වූ පසුය ඔවුන්ගේ නැවතුණු මොළ, පරණ මොරිස් මයිනර මෙන් 'කෑස් කෑස්' ගා දෙතුන් වරක් කැස වැඩ කරන්නට පටන් ගන්නේ! ඒකත් ඊලඟ රැල්ල එනතුරුය.

මාලිමා අනුගාමිකයන් කාලයක් තිස්සේ හංවඩු ගහනාකාරයට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙ "අමුතු ඇටය"ය. එතරම් මස්තබාල්දු කළ රට ඇල්ලීමට දැන් උන්දැලා සඟුන් සරණ යති. ඔවුන්ගෙ චීවර භාවිතාව නැත්නම් ඇත්තේ ශිෂ්‍ය (ණ?) ව්‍යාපාරයේ පමණක්ය. සෙසු දේශපාලන නායකත්වයන්ට දෙකොණෙන් සිනහසෙමින් කෝචෝක් කරමින් උන් උන්දැලාද දැන් බබ්බු වඩාගනිති, උන්ගේ මූණු මිරිකති, ඉඹිති, ඔඩොක්කුවේ තබාගෙන වේදිකාවල වාඩිවෙති. හෙන උර්තල් ය. 

සුප්‍රසිද්ධ 'අපි හම්බුකළොත් අපි කනවා' යන්න තවදුරටත් වලංගු කතාවක් නොවන බව පසුගිය වසර පහ - හය ලංකාවේ ජීවත් වූ ඔබටත් මටත් මේ වනවිට පැහැදිලි වී තිබිය යුතුය. සාර්ව ආර්ථිකය (macro economy) කෙල වූ විට ක්ෂුද්‍ර ආර්ථිකය (mico economy) අම්මටසිරි වූවත් පලක් නොවන බව සල්ලි අට්ටිගසාගෙනත් කෝවිඩ් කාලයේ ගෙට වී ඉන්නට සිදු වූ අයටත්, ගෑස් පෙට්‍රල් පෝලිම්වල ලගින්නට සිදුවූ අයටත් පැහැදිලි විය යුතුය. ඒ ඉරණමට ද ඇති නැති සියල්ලන්ට මාලිමාවුන්ගේ පංතිභේදයෙන් තොරවය මූණ දෙන්නට වූයේ. මාක්ස්වාදයට කළ හැකි බම්බුවක්වත් එවෙලේ තිබුණේ නැත! 

මාක්ස්වාදී වාමාංශික ව්‍යාපාරයක් කියාගන්නා සිරි ලංකාවෙ මාලිමාව ගැන දන්නේ නම් කාල් මාක්ස් වලෙන් නැගිට පැමිණ වේදිකාවට නගී කියා සිතන අන්ධ භක්තික ඔබ ගැන මට කණගාටුවක් දැනේ. මාක්ස්වාදය දැන් යල්පැන ගිය කතාවක්ය. අඩුම තරමින් නියෝ මාක්ස්වාදයක්වත් පල නොකරන මාලුමාවුන් එක්කය අප මේ ජීවත්වන්නේ. මාක්ස්වාදය යාචකවාදය/සිඟනවාදය බවට පත් කරවා ඇති බව දන්නේ නම් මාක්ස් මැ|රෙ|න්නෙ ම.රා|ගෙනය. 

රූකඩ නායකත්වයකට රටක් කළ නොහැකිය. ඒකාධිපතියැයි හංවඩු ගැසූ ගෝඨාභයද අවසානයෙ චොර විය. ඒ තම පෞර්ෂත්වය අවශ්‍ය මොහොතේදි නොපෙන්වීම නිසාය. නායකයෙකුට වැනෙන්නට, ඇඹරෙන්නට කාලයක් අවකාශයක් නැත. කලාපීය සහ ගෝලීය දේශපාලනය, දේශීය දේශපාලනය මෙන් ගැලරියට ආතල් දී, අරහෙන් මෙහෙන් ගේම් ගසා, හිඟා කා කළ හැකි සෙල්ලමක් නොවේය. තානාපතිලා ඉදිරියේ පවා කකුල් දෙක එක පැත්තකට ගෙන සබකෝලව වාඩිවී අත් දෙක කකුල් දෙක පල්ලේ ගසාගෙන ඇඹරෙමින් රාජ්‍යයක් විචෑරිය නොහැකිය, හැබැයි හෑ හැකිය! සිංහලයාද ශ්‍රී ලාංකිකයාද කොහෙද කසාගන්නට නියපොත්ත නැති නමුත් ප්‍රෞඪ ජාතියකි. අතීත ශ්‍රී විභූතිය කෙසේවෙතත් දැන් ඉන්නා උන්ට විචාර බුද්ධිය නම් හිඟය. ඒ කොයි දේ වුවත් තමන්ගේ නායකයා එකෙකා ඉදිරියේ දණින් වැටෙනවාට උන් අකමැතිය! රැජිණ බලන්නට ගොසින් සිරිසේන උන්දෑ අහගත් හරිය මතක ඇතිය. 
අනෙක් අතට කලාපීය සහ ගෝලීය බලපෑම්වලට සාර්ථකව නොබියව මුහුණ නුදුන්නා නම් අදත් වේදිකාවල ප්‍රධාන මාතෘකාව යුද්ධය ය!

වෛරයෙන් සහ ක්‍රෝධයෙන් රටක් කළ නොහැකිය. ජවිපෙ පෙරටු මාලිමාව වෛරය සහ ක්‍රෝධය මූලික කරගෙන බිහිවූ ත්‍රස්තවාදී ව්‍යාපාරය. තමාට නැතිනම් කිසිවෙකුට තිබිය නොහැකියැයි තේමා කරගත් ඒ ත්‍රස්තවාදීන් අද "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ගැන කතා කොරති. කොහෙන්දෝ දන්නෙ නැත! කැරළි දෙකකදී කඩ ලෑල්ලක් අරින්නට නුදුන් ත්‍රස්තයො අද ව්‍යවසායකත්වයක් කතා කොරති! ව්‍යවසායකත්වය යනු සිඟාකෑමය කියාය උන් සිතා ඉන්නේ. ලංකාව මැරී නැවත ඉපදුණා කියා මුන් හිතා ඉන්නා හැඩය. දරුවන් ඉදිරියෙ මව්පියන්ද මව්පියන් ඉදිරියෙ දරුවන්ද මරා දැමූ උන්, දණින් ඉහළට මිනීපෙට්ටි උස්සන්නට නුදුන් උන් ලස්සන ජීවිත ගැන කතා කොරති! ලස්සන කොළා මදි ඇතිය! 
කැරළි දෙකකදීද අරගලයෙදිද රාජ්‍ය සහ මිනිස් දේපල විනාශ කළ උන් 'පොහොසත් රටක්' ගැන කතා කොරති!
අම්බානෙක වැරදි කළ පසු "එයා එහෙම නෑ බං" කියනා ගොබ්බයන් වන්නට එපාය. 

කුමාර කියා නම ඇති පමණින් ඔහු දියසෙන් කුමාරයැයි සිතා ඉන්නා ඔබ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා බැලුවාද? අඩු කිරීම් සහ දීමනා අතර සමතුලනයක් ඇති කරවීමේ ක්‍රමවේදයක් නැත. එනම් ශ්‍රී ලංකාව නිල වශයෙන් යාචකවාදය වැලඳගන්නවාද? මේ දන් දෙන උන් කවුද? ඔවුන්ගෙ අරමුණු මොනවාද? 
කිසිම දේශපාලන පක්ෂයක අනුග්‍රාහක භවතුන් අත ලොවින්නට මී කඩන්නෙ නැත. රුපියල් 10,000ක් පරිත්‍යාග කළද ඒ බලාපොරොත්තුවක් ඇතිවය. 
මෙවර මාලිමාවේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මාස 14-15 ක් දීර්ඝය. 
කිරුළපන වාගෙ කුඩා පිට්ටනියක රැස්වීමකට පවා අවම රුපියල් ලක්ෂ 60-70ක වියදමක් දැරිය යුතුය. 
එසේ නම්, කිරුලපන වාගෙ පිටි කීයක දවසක දි රැස්වීම් කීයක් මාලිමාවෙන් පවත්වා ඇතිද?
මාස 14කදි නොකඩවා පැවැත්වූ රැස්වීම් ප්‍රමාණය කොපමණ ද?
ජවිපේ වාමාංශික මාක්ස්වාදී කුඩා පක්ෂයකි. ප්‍රාග්ධනයක් නැති ගණනටය ඔවුන් කතා කරන්නෙ. අනුර කුමාර ප්‍රමුඛ ප්‍රධාන කණ්ඩායම මන්ත්‍රී වැටුප් නොගනී ලු. අනුර සහ පිරිවර වයස අවුරුදු 55 -60 වනතුරුම කිසිදු රැකියාවක් කර නැත. අනුරට දේපලකට කියා ඇත්තෙ තඹුත්තේගම කුඩා ඉඩමක් බව ඔහුම කියයි. 
නමුත්, රැකියා කරන ඔබටත් මටත් වඩා ඔවුන්ගෙ ජීවිත සුඛෝපභෝගීය. දරුවන් විදේශවල ඉගෙන ගනී. රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය කඩාකප්පල් කළද ඔවුන් සියලුදෙනාගෙම දරුවන් පෞද්ගලික සහ විදේශීය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබයි, ඇතැමුන් සම්පූර්ණ කරලාය. ඔවුන්ද රැකියා කරන හැඩක් නොපෙනේ. ඔවුන්ගෙ භාර්‍යාවන්ද රැකියා කරන හැඩක් නැත. සාමාන්‍ය ජනතාව රැකියාවට කඹුරා, ලීස් ගෙවා, ණය වී ඇල්ටො කටු ගනිද්දි රැකියා විරහිත, වැටුප් නොගන්නා ජවිපෙ දේශපාලකයින් සුඛෝපභෝගී වාහන භාවිතා කොරති. 

ජවිපෙට සිටින සීනි තාත්තලා කවුද? නැත්නම් සීනි අම්මලා ද?

ලංකාව ගණන්කාර රටක්ය. දැන් ගණන් හදා බලාගෙන තීරණය කළ හැකිය.

ජවිපෙ සහ මාලිමාව සීනි අම්මලා තාත්තලාගෙන් නඩත්තු වෙන එක භයානක වන්නේ උගසට තියා ඇත්තෙ රට සහ රට වැසියා වීම හින්දාය. ත්‍රස්තවාදී ඉතිහාසයක් ඇති, කඩාකප්පල්කාරී වෘත්තීය සමිති සහිත, තවමත් ආකල්ප සංවර්ධනයක් නොපෙන්වන නායකත්වයක් සහිත මෙවන් කුඩා පක්ෂයකට මුදල් පොම්ප කිරීමෙන් තමන්ගෙ අණසකට නතු කරගන්නට හැකි කාටද? 
මුදල් විශුද්ධිකරණයක් ගැන කතා කරන්නෙ ඒ නිසාද?
කලු සල්ලි ඇත්තේ කා ලඟද?

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024