Thursday, December 25, 2014

අඳුරට උපන්නෙමු!

මං උපන්නේ 80 දශකයේ මැද.එතකොටත් කළු ජූලිය පටන් අරන් ඉවරත්වෙලා ඒත් ඒකේ හොල්මන් එක්ක ජවිපෙ භීෂණෙත් එකතුවෙලා තිබ්බේ.කළු ජූලිය කාලේ පිටකොටුවෙදි මිනිහෙක් අමුඅමුවේ පිච්චෙනවා දැකලා බොහොම හිත හයිය අපේ තාත්තාට කෑමවත් නොකෑවා කියලා අම්මා කියනවා..ඒ ඇරුණම මගේ එක මාමෙක්ගේ පුතා, එතකොට ඌට අවුරුදු 2ක් විතර ඇතිලු, බස් ගිනි තියලා කියලා වැඩිහිටියෝ කතාවෙනවා අහලා ඒකගේ සෙල්ලම් කාර් බස්වලට ගිනි තියන්න හැදුවලු..එතකොට මම ඉපදුණා විතර වෙන්නැති මම හිතන්නේ...

මං ඉපදෙන්න මාසෙකට කලින් මගේ තාත්තගේ එක ඥාති සහෝදරයෙක් (අතුල ප්‍රසන්ජිත් පෙරේරා -ශ්‍රී ලංකා පොලීසිය)උතුරේ ත්‍රස්තවාදයෙන් මිය ගිහින් තිබුණේ කඳවුරට වතුර ගේන්න යන වාහනේට ආරක්ෂාව සපයන්න ගිහින් ක්ලේමෝ එකකට බිලිවෙලා...අදටත් ඒ මාමාගේ අම්මා සහ නංගී විඳවනවා පවුලේ එකම පිරිමි දරුවගේ මරණයෙන්..ඥාති සහෝදරයා වුණාට තාත්තාගෙයි අතුල මාමාගෙයි තිබිලා තියෙන්නේ දැඩි යාළුකමක් ඉස්කෝලේ ඉඳන්ම පැවතිච්ච...ඒ මිත්‍රත්වයේ සහෝදරත්වයේ අහිමිවීම හිඩැසක් ඇති කරලා තිබුණා පියවන්න බැරි...පුංචි කාලේ අම්මා ලඟ ගුලිවෙලා උන්නු පුංචි පුතා නැතිවීමේ වේදනාව ඒ ආත්තම්මා තවමත් විඳිනවා..



මට අවුරුදු 1 1/2ක් වෙද්දි මුළු පළාතම වහගෙන හිටියේ භීෂණය.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්චි මගේ සීයා ජිනදාස වීරසිංහ (තාත්තගේ තාත්තා) ඝාතනය වුණේ 1987 ජූලි 31වෙනිදට එළිවෙන්න..ඒ තමන්ගේ ආසනේ මිනිස්සුන්ට කරදර වෙනවද බලන්න ගිය ගමනකදි.. පාහර ජවිපේ එවුන් සීයා යන මග හරහට කාණුවක් කපලා මග හරස්කරලා සීයාට වෙඩි තියලා තිබුණා..සීයා වෙඩි පහර කාගෙනම වාහනේ තව මීටර් ගණනාවක් පසුපසට අරන් තිබුණේ චූටි බාප්පාත් එදා ඔහු එක්ක හිටි හින්දා..මිනීමරුවෝ වෙඩි තියලා මදිවට අලවංගුවලින් සීයාගේ කණ්වලට පවා කොටලා තිබුණලු.චූටි බාප්පගේ බඩ පලලා තිබිලා තියෙන්නේ අලවංගුවලින් (අදටත් ඔහුගේ බඩේ ඒ කැළල තියෙනවා).සීයා මරුවිකල්ලෙනුත් තමන්ගේ දරුවා බේරගන්න පොරකාලා චූටි බාප්පව කාර් එකේ පිටිපස්සට උස්සලා දාලා.පහුවෙනිදා අපේ අම්මයි තාත්තායි අළුත හදන්න ගිය ගෙදරට අත්තිවාරම් දානකොට හෙලිකොප්ටරයක් (ඒ කාලේ හෙලිකොප්ටර් ගිහින් තියෙන්නේ කලාතුරකින් ලු) ගිය එකෙන් තමයි අනතුරක් කියල සැකේට මහගෙදරට ඇවිත් තියෙන්නේ.එතකොටත් සීයා නැතිවෙලා කියලා පණිවිඩේ ලැබිලා..

මට සීයා ගැන තියෙන්නේ බොඳවෙච්ච මතකයක් වුණත් ඒ මතකේ තුළ ලොකු ආදරයක් දැනෙනවා.අම්මා මාව නාවද්දි මම 'සීයා come come" කියනවලු.ඒක මතක නැතත් සීයා මාව නාවනවාත් කාර් එකේ ඉස්සරහා වාඩිකරවාගෙන යනවාත් මතකයක් මට තියෙනවා..සීයාගේ මරණය තමයි අදටත් මට දැනෙන මගේ ජීවිතේ පළවෙනි ලොකුම අහිමිවීම.

ඊටපස්සේ තාත්තලාගේ මහ ගෙදර වටේට බංකර් බැඳලා තිබ්බ කළුවරේ ජීවත්වෙච්ච කාලයක් තිබ්බේ.ඒ කාලේ පෙට්‍රල් ජෙනෙරේටරේක මහ මූසල හඬ අහගෙන කට්ටිය එකතුවෙලා කතා කරකර ඉන්න හැටි මට මතකයි.දික්වැල්ල විලේජ් එක ජවිපෙන් ගිනි තියද්දි ගෙදරට තර්ජනාත්මක ඇමතුම් ආවා ගිනි තියනවා කියලා.එතකොට පොඩි එවුන් වෙච්ච මාවයි මට වඩා දවස් 3කට බාල ලොකු තාත්තගේ දූවයි වැරදිලාවත් කට අරී කියලා කටේ සූප්පු ගහලා අම්මලා එක්ක වෙන ගෙදරකට පිටත් කරවලා තාත්තලා යුද්ධෙකට සූදානම්වෙලා හිටියලු.මගේ මතකේ පිරිලා තියෙන්නේ ආමි ඇඳුම්වලිනුයි අර මූසල ජෙනරේටර් සද්දෙනුයි කළුවරෙනුයි ඒ කලබලකාරී බයෙනුයි..

ඔහොම හැමදාම රෑට ජෙනරේටර් සද්දේ අහගෙන කතාවෙවී ඉන්නකොට කොල්ලෙක් ඇවිත් තාත්තට කිව්වා මතකයි ටවුමේ වෑන් එකක් නැවතිලා තියෙනවා තල්ලුවක් ඉල්ලනවා කියලා.ඒ කාලේ කොල්ලෝ පොදි ගහන් අරන් යනවා කියලයි හැමතැනින්ම කියවෙන්නේ.තාත්තා තව කීපදෙනෙක් එක්ක වෑන් එකට තල්ලුවක් දෙන්න ගියාට ගෙදර හැමෝම කිව්වේ යන්න එපා කියලා..තාත්තා ගිය බයට කළුවරේ උඩින් එබිලා බැලුවම මම දැක්කා මීටර් 200ක් විතර දුරින් නවත්තලා තිබ්බ රතුයි සුදුයි පාන්ගෙඩියක් වගේ වෑන් එකක්..තාත්තා ආපහු එනකල් අපි හිටියේ හරිම බයෙන්.කළුවරේ පුළුවන්තරම් ඇස් ලොකුකරන් බලන් ඉන්නකොට ඒ දැනිච්ච බය මගේ මතකේ පුරාවට දුමාරයක් වගේ පැතිරිලා තියෙනවා..තාත්තායි කොල්ලෝ ටිකයි ඇවිත් කිව්වා ඒ වෑන් එකේ පිටිපස්සේ සේරම වීදුරු කවර් කරලය, හැබැයි තල්ලු කරන්නත් බැරිතරම් බරයි, ෂුවර් එකට මිනී පටවලා කියලා..



තව දවසක් අපි කොළඹ ඉඳන් ගමේ යද්දි බෙන්තර පාලම උඩ මිනිස්සු වාහන නවත්තන් ගඟට එබි එබී බලනවා. දවාලක...මිනිස්සු කියනවා මිනී වගයක් පාවෙනවලු..ඒක මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක්වෙලා තිබ්බේ..කාගේ කාගේ හරි දරුවෝ පොල්ලෙලි වගේ ගංගාවල පාවුණා ඒ කාලේ හැමදාකම වගේ..එක්කෝ ටයර් සෑයවල දැවුණා නැත්නම් ඔළුගෙඩි රිටිවල ඇමිණුනා..ඔය බෙලි කපලා රිටිවල අමුණන්න ගත්ත කාලේ හවසක තාත්තගේ බාලම මල්ලි (එතකොට අවුරුදු 17ක් විතර ඇති ) තව කොල්ලෝ වගයක් එක්ක කැරම් ගහන ගමන් ඔය ගැන කතාවුණා..ඒ කතා අහගෙන ඉඳලා බයවෙච්ච අවුරුදු3ක විතර මට තෙල් මැතිරුවත් මතකයක් තියෙනවා..ඒක හින්දමද මංදා සිද්දවෙන දේවල් පුංචි එවුන් ඉස්සරහා කතානොවෙන්න වැඩිහිටියෝ පරිස්සම් වුණත් ඒ කතා වැටවල් බැඳලා නවත්තන්න බැරිතරම් අපේ වටේ විසිරිලා තිබ්බා..

පහුකාලෙක චන්ද්‍රිකා සූරියකන්දේ සමූහ මිනී වලවල් හාරද්දි අපි දැක්කා අවුරුදු ගාණකට කලින් තමන්ගේ දරුවා අන්තිමට ඇඳන් හිටි ඇඳුම්වල කෑලි හොයමින්, එකට මිහිදන් වුණ තරුණ රොත්තකගේ ඇටකටු අස්සේ තමන්ගේ දරුවගේ සලකුණක් දකින්න පෙරුම් පුර පුර දෙමව්පියෝ අඬා වැටිච්ච හැටි..ඒ අතර අද බයිලා ගහන කවුරුවත් හිටියේ නෑ...

ඉස්සර අපිට කෑම කවාගන්න බැරිවුණාම කතන්දර කියන, අලියා ගිහින් පෙන්නන්න, බිම දණගාගෙන බඩගාගෙන සෙල්ලම් කරන ලොකු ඉලන්දාරියෙක් හිටියා.හොඳ පවුලක වුණත් මිනිහට මේලෝකේ වගක් තිබ්බේ නෑ.මිනිහා කළ මඟුල් දේශපාලනේකුත් නෑ.'පචයා' කියලා කොල්ලෝ නමකුත් දාල තිබ්බේ දවස මුළුල්ලෙම මොනාහරි විහිළුවක් කියව කියවා හිටි නිසා.දවසක් පචයා කඩේ ඇතුළේ ඉන්නකොට අපේ අම්මා ඉස්සරහදිම වෑන් එකකින් ආව මිනිස්සු ටිකක් ඔළුවට රෙද්දක් දාල බිම දණගස්සලා කුදලගෙන ගිහින් තිබ්බා..මිනිහව හොයාගෙන තිබ්බේ තාත්තලා රට වටේටම කතා කරලා මාර කට්ටක් කාල.ඒත් එහෙම හොයාගන්න තරම් වාසනාවක් නොතිබ්බ මිනිස්සු දාස්ගාණක්, සමහරවිට අද ඉංජිනේරුවෝ දොස්තරලා ආචාර්ය මහාචාර්යවරු වෙලා මොනාහරිම ඉටිගෙඩියක් හොයාගන්න තිබ්බ මොළ දාස්ගාණක් පරාල ඇණ කාල, දසවධ විඳලා අමුඅමුවේ පිච්චිලා ගියා, එක්කෝ වැළලුණා, එක්කෝ පාවුණා.

ඉස්සර තාත්තායි අම්මායි විජය කුමාරතුංගගේ රසිකයෝ වෙලා හිටියා.දැන් වගේ වාහන පිරිලා නොතිබ්බ ඒ කාලේ කීප දවසක් ඔහුගේ මෙරූන් පාට වාහනේ මගදී දැකලා මේ දෙන්නා අන්න විජය ගියා කියලා කතාවෙනවා මට මතකයක් තියෙනවා..හැබැයි විජයගේ මරණය ගැන මට මතකයක් නැහැ..සමහරවිට ඒ වෙද්දි මරණවලින්ම මගේ මතක වැහිලා තියෙන්න ඇති..

********************



භීෂණෙත් එක්කම උතුරේ යුද්ධෙත් හැමදාම ඇවිළුණා.ඒ කාලේ ප්‍රවෘත්තිවල තේමාවාදනය ගෙනාවෙම මහ මූසලකමක්.1992දි ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය කෙරුණා.අද වගේ සංකීර්ණ නොවුණ ඒ කාලේ මිනිස්සු හැමෝම එකා වගේ ඒ ගැන දුක්වුණා.ලංකාදීපේ එක්කද කොහෙද ඔහුගේ වර්ණ ඡයාරූපයකුත් බෙදලා තිබ්බ අවසන් කටයුතු දවසේ.ඔහු සමගම මියගිය විජය විමලරත්න ගැනත් නොයෙකුත් දේ කියවුණා.කොහොමින් කොහොමහරි විජය විමලරත්නට තමන් අළුතින් හැදූ ගෙට ගෙවැදෙන්නවත් නොලැබුණ බව කියවුණා..කොබ්බෑකඩුවගේ මළගම දවසේ සෙනඟ රැස් කකා බොරැල්ල කනත්තේ ආවේගයෙන් හැසිරුණා මතකයි..මුලු කාලය තුළම චන්ද්‍රිකා සිරිවර්ධනගේ "රණබිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සළකුණ ඇත්තේ" බොහොම උද්වේගකර ස්වරයෙන් වැයුණා...

ඊලඟට මට වැඩියෙන්ම දැනුන මතකය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ මරණය.ආයෙත් අර ඉතිහාසේ මූසල අඳුර ඒ දවස වහගෙන පැතිරිලා හිටියා..එතකොට අපේ අම්මාට නංගිව ලැබෙන්න හිටියා..අම්මයි මමයි විතරයි ගෙදර හිටියේ.ඔය ආරංචිය ලැබෙද්දි පරිසරයේ තිබ්බේ මහ කාළකණ්ණි අඳුරක්..රූපවාහිනියේ රතු පසුබිමේ කහ සැළලිහිණියා දවස මුළුල්ලෙම හොට බිමට බාගෙන මූසල වීණා වාදනයක් දැම්මා ජාතික ශෝක දිනයක් කියලා..පත්තරේ අතට ගත්තම මම ඉස්සෙල්ලම දැක්කේ බාබුගේ ඔළු ගෙඩිය.ඒක අවුරුදු 7ක පුංචි එකාගේ හිතේ ඇතිකල භීතිකාව කොච්චරද කියනවානම් අම්මාට සිද්ධ වුණා තාත්තා එනකල් ආත්තම්මට ඇවිත් අපි එක්ක නවතින්න කියන්න.මොකද තාත්තා ලඟට මගේ වීරයා වුණේ ආත්තම්මා (අම්මගේ අම්මා)..ඒත් අදටත් ඒ මූසල මැයි පළවෙනිදා දැනිච්ච දෙදරීම සුදු පාට ලක්ස් සුවඳක් එක්ක මුහුවෙලා මට දැනෙනවා..මොකද කොච්චර භීෂණයක් අතරේ හැදුණා වැඩුණා වුණත් මිනී කෑලි මම දැක්කේ ප්‍රේමදාසගේ මරණේදි..

ඊටපස්සේ ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක ආදි කීප දෙනෙකුගේ මරණ එක පෙළට වැටුණා..බාබුගේ ඔළු කෑල්ලෙන් පස්සේ බෝම්බ පිපිරුණාම දවස් ගාණක් ප්‍රවෘත්ති පත්තර නොබලන තරමට මගේ හිත බයවෙලා තිබ්බා..

1995 රෑක ආවා ඇමතුමකින් අම්මයි තාත්තයි කලබලවෙලා තිබ්බේ කොළොන්නාව තෙල් ටැංකි සංකීර්ණයට එල්ල වෙච්ච ප්‍රහාරයක් නිසා ගින්නක් ඇතිවෙලා කියන එකෙන්.ඒ එක්කම වතුරට වහ දාලා කියලත් ලොකු හාහූවක් පැතිරුණා..ඒ ගැන පස්සේ නම් විහිළුත් පටබැඳුණා..මනුස්සයෙක් ගිහින් වතුර ටැංකි මුරකල මනුස්සයගෙන් ඇහුවලු "ටැංකිවලට වහ දාලා කියන්නේ ඇත්තද" කියලා..දකුණේ මිනිහෙක් වෙච්චි මුරකාරයා කිව්වලු "වහ දාලා නේන්නම් තියෙන්නේ" කියලා ටැංකි වහලා කියන අර්ථයෙන්..ඒ දවස්වල ඉස්කෝලේ මගේ හොඳම යාළුවා හිටියේ කොළොන්නාවට කිට්ටුව.එයාගේ එක ඥාති සහෝදරියක් (පොඩි එකෙක්) කොටියෙක් දැකලා ඒකෙන් ඒ පොඩි එකා බයවෙච්ච තරම මගේ යාළුවා ඒ දවස්වල නිතරම කිව්වා..

**************************



1996දි මහ බැංකු බෝම්බේ පිපිරුවා..එතකොට මම ඉස්කෝලේ..ඉස්සර බෝම්බ පුපුරද්දි පරිසරයේ මහ තද අඳුරක් එක්ක මොකද්ද හිස්කමක් පැතිරිලා තිබ්බා..හරියට වෙන්න යනදේ ස්වභාව ධර්මයා කලින්ම දැනගෙන හිටියා වගේ..එදා මගේ සීයා (අම්මගේ තාත්තා) පුත්තලමේ ඉඳන් කොළඹ ආව ගමන් මාව බලන්න ඇවිත් හිටියේ.සීයා කොළඹ ආව දවසට ඔක්කෝම වැඩ කරන් බැංකු ගිහින් යාළුවෝ නෑදෑයෝ බලලා එහෙම තමයි යන්නේ..සීයා මාව බලලා ගියාට පස්සේ දවල් විවේකය ඉවරවෙද්දිම වගේ තමයි බෝම්බේ පුපුරාපු සද්දේ ඇහුණේ..ඒ වෙද්දි කොළඹ හිටි අපිත් බෝම්බේ සද්දෙයි වෙඩිල්ලේ සද්දෙයි රතිඤ්ඤේ සද්දෙයි අඳුරගන්න පුළුවන් තත්වෙට ඇවිත් හිටියේ..මට ඉස්සෙල්ලම මතකෙට ආවේ සීයාව..ඒ කාලේ කතා කරන්න මොබයිල් තිබ්බේ නෑ..මාව පුංචිගේ ඔෆිස් එකේ හිටි නෑදෑ බාප්පා කෙනෙක් ඇවිත් එක්කන් ගියා..අම්මා කතා කළ ගමන් මම කිව්වේ සීයා මාව බලන්න ආවා, සීයා කෝ කියලා..ඒත් සීයා ගැන ආරංචියක් තිබ්බේ නෑ..මම පුංචි බෙදලා දුන්න බත් ටිකවත් හරියකට නොකා යුනිෆෝම් එක පිටින්ම ටීවී එකට ඇහුම්කන් නොදී නොබලා පිච්චි පිච්චි හිටියා..රෑ ගෙදර යද්දි සීයා ගේට්ටුව ලඟ ඉන්නවා දැක්කමයි ඒ ගින්න නිවුණේ..බෝම්බේ පිපිරුණා කියල දැනගත්ත ගමන් සීයා ආයෙත් හැරිලා ඉස්කෝලේ ලඟට ඇවිත් මම බයවෙයි කියලා හිතලා..ඉස්කෝලේ ඇරෙනකල් සීය ලොකු ගේට්ටුව ලඟ ඉඳලා..අන්තිමට මාව හොයලා හොයලා බැරිම තැන ගෙදරට කතා කරල දැනගෙන ගෙදර ගිහින්..

මහ බැංකු බෝම්බෙන් අපේ අසල්වැසි කීපදෙනෙක්ම තුවාල ලැබුවා..ගෑණු උදවිය සාරී පටලවගෙන ගිනිගන්න තට්ටුවලින් බිමට ගන්න හැටි, බෝම්බ ලොරියේ තට්ටුව උඩ වැටිලා තිබ්බ අඟුරුවෙච්ච කොටින්ගේ මිනී කොච්චර මග ඇරියත් මට පෙනුණා..

හැමදාක බෝම්බවලට බයෙන් මිනී දැක දැක කාලේ ගෙවුණා..මිනිස්සු පාර්සල්වලට බයවුණා..පාටින් කළු මිනිස්සුන්ට, තිලක තියපු ගෑණුන්ට, විසාල කොණ්ඩ ගොතපු ගෑණුන්ට බයවුණා..හැමෝටම හිතුණේ මේ දැන් තමන්ගේ එහා පැත්තේ බෝම්බයක් පුපුරාවි කියලා..ටීවී එකේ උදේ හවා කිව්වේ "ත්‍රස්තවාදයට තැනක් නොතැනක් රැයක් දවාලක් නැත" කියලා..

මහ බැංකු බෝම්බෙට පස්සෙ වුණ දෙහිවල කෝච්චි බෝම්බේ තවත් එක අඳුරු මතකයක්..මගේ අම්මාගේ වැලිකෙළියේ පටන් හොඳම යාළුවා ඉඳලා තියෙන්නේ ඒ බෝම්බේ තිබ්බෙ පෙට්ටියෙමයි..රාක්කේ උඩ තිබ්බ සැක කටයුතු පාර්සලේ බැලුව කොල්ලෙක් බයවෙච්ච පාර බෝම්බයක් කියලා කෑ ගහගෙන වෙරළ පැත්තටම දිව්වලු..ඇන්ටිලාත් ඉක්මණට එළියට පැනගෙන..අනූනමයෙන් ජීවිතේ බේරගත්තත් ඒ කම්පනයෙක් සෑහෙන කලක් යනතුරු ඈ මිදුණේ නෑ..කොටින්ම ඒ ගැන කවුරුවත් කතා කරනවටවත් වැඩිහිටියෙක් වෙලාත් ඈ කැමති වුණේ නෑ...

1998දි මරදානේ බෝම්බ බස් එකක් පිපිරුවා..ගෝතමී විද්‍යාලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය දවසේ..ඒ බෝම්බ බස් එකේ හැප්පුණ නිසා ඒ ගැන කතා කරන්න ගිය ජීප් එකේ හිමිකරු (පංචිකාවත්ත සිරි මෝටර්ස් හිමිකරු)ත් ඒකෙන් මියගියා.තාත්තගේ ඥාතිවරයෙක් වෙන නිසා සිද්ධිය වෙච්ච තැනටත් මෝචරියටත් තාත්තා ගිහින් තිබුණා..එයින් මියගිය ගෝතමියේ දැරිවියකගේ ඉණෙන් ඉහළ කොටස විතරක් මෝචරියේ තිබුණ හැටි කියනවා මම අහං උන්නේ ආයෙමත් අර පැතිරුණු බියකරු මූසලකම අතරෙන්..

1999දි චන්ද්‍රිකාගේ අවසන් රැස්වීමේ බෝම්බයක් පිපිරුවා..ඇගේ ජීවිතය විශ්වාස නැද්දෝ කියලා හිතමින් හිටියත් එක ඇහැක් නැතිකරන් ඈ ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නා...ඒ වෙද්දි අපිට බෝම්බ තිත්ත වෙලා හිටියේ...බෝම්බ භීතිකාවෙන් වෙහෙසට පත්වෙච්ච යෞවනයක් අපට ලැබුණේ...

2000 අවුරුද්දෙත් ඔය වගේම මූසල දවසක් තිබ්බා..එදා සීයා රත්මලානේ ඉඳන් අපිව බලන්න ඇවිත් ගියේ..සීයා පිටත් වෙද්දිම අපිත් පිටත් වුණේ තාත්තාගේ වැඩකට පංචිකාවත්තට යන්න.රේඩියෝ එකේ සී වී ගුණරත්න ආමාත්‍යවරයාට එල්ලවුණ බෝම්බේ ගැන කියද්දි අම්මායි මමයි බය බිරාන්ත වුණේ ඒ වෙලාව වෙද්දි සීයාත් ඒ කිට්ටුව ඉන්නට ඇතැයි සිහිවුණාම..වාහනේ තිබ්බ 10, 20 කොළ ටිකක් මිට මොළවාගෙන මම එළියට පැන්නේ පේෆෝන් එකකින් අත්තම්මලාගේ ගෙදරට කතා කරන්න..එතනම තිබ්බ හාර්ඩ්වෙයාර් එකක් ඇතුළට දුවලා සල්ලි කොළ 5හේ කාසිවලට මාරුකරගන්නකොටම ආමි එකෙන් 3-4දෙනෙක් කඩේට පැන්නා..පිරිමි  ගොඩක් මැද්දේ අවුරුදු 14ක මම විතරයි...කඩේ උඩ කෑල්ලේ ඉඳන් කොල්ලෝ දෙන්නෙක් වේගෙන පහළට දුවගෙන ආවා..ඒ රවුම් යකඩ පඩිපෙළ කඩේට පිටින් තිබ්බ එකක් වුණත් ආමි එකෙන් උන් දෙන්නව ආයෙත් උඩට තල්ලු කරලා ගරාදි වැට වැහුවා..සල්ලි මාරුකරගන්න ආව මාව එළියට දාල කඩේ සීල් කළා..වුණේ මොකද්ද වෙන්න ගියේ මොකද්ද කියන එකට වඩා මගේ ඔළුවේ වැඩ කළේ මගේ සීයාට මොකද්ද වුණේ කියන එකයි..පේෆෝන් එකට දුවලා ගිහිං ගෙදරට කතා කළත් සීයා ඒ වෙනතුරුත් ඇවිත් නොහිටි නිසා අපේ ඔළුවට ක්ලේමෝ වැදිලා හිටියේ...තාත්තා ආව ගමන් විස්තරේ කියලා එක පිම්මට ගියේ ආත්තම්මලාගේ ගෙදර..අපි ගිහින් ටිකකිනුයි සීයා ගෙදර ආවේ..අන්න එතකොටයි අපේ හුස්ම වැටෙන්න ගත්තේ..

වෙන දවසක නම් අර වගේ අනාරක්ෂිතව කඩේකට රිංගුවා කියලා කණ පැලෙන්න බැණුම් අහන්න ඉඩ තිබ්බත් ඒ පැය ගාණ තුළ අප හැමදෙනා තුළම ඇතිවුණ අහිමිවීමේ බිය ඒ අවස්ථාව මකලා දාලා තිබ්බා...

*******************
2005දි අපි තරුණ වියේ එළිපත්තේ හිටියා වාගේම ස්වාධීනව ගොඩ නැගීමේ උණෙන් පෙළෙමින් රස්සාවත් පටන් අරන් තිබ්බා..

2006දි ජනරාල් සරත් ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරය එල්ලවෙද්දි මම හිටියේ ගෙදර.ඔහු ගැන තිබ්බ පිළිගැනීමට අමතරව අම්මාගේ පවුලට තිබූ පෞද්ගලික මිත්‍රත්වය නිසා ගෙදරම හිටියේ හෙල්ලුම් කාලා..රට වටේට භාරහාර වෙන්න, සුවදුක බලන්න වගේම ඔහු ගොඩ ඒවා කියන නිබඳ ප්‍රාර්ථනය සමාජයේ බොහෝ දෙනෙක්ට තිබුණා..යුද්ධෙ දින්නන්න බෑ කිව්ව උන්ට නොතිබ්බට...

ඊටපස්සේ මාසෙකට එක ගාණේ බෝම්බ පුපුරන්න ගත්තා..කොළඹයි මායිම් ගමකයි මිනිස්සුන්ගේ වෙනසක් තිබ්බේ නෑ..හැමෝම ජීවත් වුණේ බයෙන් සැකෙන් ගැහි ගැහි...හැමදවසක් ගාණේම දරුවන්ට දෙමව්පියෝ, දෙමව්පියන්ට දරුවෝ, සැමියන්ට භාර්යාවෝ, භාර්යාවන්ට සැමියෝ, ආදරේ කළ සමීප වුණු හැමෝම එකිනෙකාට අහිමිවෙන්න ගියේ තත්පර ගාණකුයි වෙඩි බෙහෙත් ගොඩකුයි වයර් බැටරි කෑලී ටිකකුයි විතරයි...ඒත් ඒ ඇතිවෙච්ච හිස් බව හැම පවුලකම හැම හිතකම ගැඹුරට හෑරිච්ච සදාකාලික තුවාල වුණා..ඒවා ගොඩ කරන්න කිසිම කෙනෙක්ට එදත් බැරිවුණා අදත් බැහැ හෙටත් බැහැ...

***********************

කොළඹ මැද්දේ ටෙලිකොම් මූලස්ථානේ හිටිය මම මේ ලියන්නේ සමහර දේවල් ලංලංව මූණ දීපු අවස්ථා හැටියට අත්දැකීම් තියෙන නිසා...
පිත්තල හංදියේ බෝම්බේ පුපුරද්දි එතන පහුකරල විනාඩි ගාණයි..කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදා කඳවුරේ දොරටුව ලඟවෙච්ච පිපිරීමේදි ඊට කිට්ටු වෙලාවක එළියට බහින්න හිටි එක කීප වතාවක්ම මග ඇරුණා..නැත්නම් ඒ වෙලාව වෙද්දි එතන...හිල්ටන් පාරේ බෝම්බේ පුපුරද්දි එදා ෂෝට් ලීව් එන බව ඔෆීසියට දන්වලා තිබ්බේ..ඒ එන්න ඕන වෙලාවත් බෝම්බේ වෙලාවත් සමාන නිසා යාළුවෝ බය භීරාන්තවෙලා කෝල් කරද්දි මොකක් හෝ හේතුවකට කම්මැලි කරමින් හිටි නිසා මගේ ෂෝට් ලීව් එක හාෆ් ඩේ වෙලා...අන්තිමට ෆුල් ඩේ කරලා ගෙදර හිටියා බලවත් විරෝධය නිසා..

කොටුවේ ස්ටේෂමේ බෝම්බේ පුපුරද්දි මම වැඩ..මිනිස්සු සේරම සද්දේ ඇහිච්ච පැත්තට දුවද්දි අපි දැක්කා ස්ටේෂම පැත්තේ කලබලයක්..එදා කෑලි විසිවෙලා මැරිච්ච මිනිස්සුන්ගේ මස් කෑලි සති ගාණක් යනකල් ඇතුලේ පත්තර කඩවල වහල්වල්වල, පීලිවල රැඳිලා තිබ්බා කපුටෝ ඇද්දා කියලා මිනිස්සු කතා වුණා...

කොළඹ පළවෙනි ගුවන් ප්‍රහාරය වෙද්දි මම ඔෆීසියේ රෑ වැඩ..ජංජාලේ වැඩ කරන කාලේ..රෑ 1.30ට විවේක පැය තුන හමාර කරලා ආයෙත් වැඩ පටන් ගනිද්දි තමයි එක පාර වෙඩි හඬ ඇහෙන්න ගත්තේ...අපි හිටි තට්ටුවෙන් කෙළින්ම පේන්නේ කොළඹ වරාය...ඒ පැත්තට තිබ්බේ කෑම කාමරයක්..මොකද්ද කියලවත් නොදැන දොර ඇරන් යද්දිම ඒ විශාල වීදුරු ජනෙල් අතරෙන් මම දැක්කේ වරායට උඩින් රතු නිල් එළි විහිදෙන හැටියි, අර යානයයි වෙඩි හඬයි..ඒ දවස්වල ටෙලිකොම් මූලස්ථානයට අනතුරක් තිබ්බ නිසා බිල්ඩිම් හැම එකකකම ලයිට් නිවලා මිනිස්සු බයේ ගැහි ගැහි දෙයියෝ බුදුන් සිහි කර කර අඬ අඬා හිටි හැටි ඔබ දකින්න තිබුණා..කට්ට කළුවරේ රිං වෙන්න පුළුවන් හැමතැනකම තියෙන ස්ථාවට දුරකථන එක පෙළට නාද වෙද්දි මිනිස්සු මර බියේ ගැහි ගැහි හිටි හැටි ඔබ දකින්න තිබුණා..අඬන යාළුවෝ නළවන්න, කළුවරේ අතපත ගාගෙන ගිහිං ලොක්කොන්ගේ ඇමතුම්වලට උත්තර දෙන්න සිහියක් තිබ්බට ගෙදර ගැන මම හිටියේ අසිහියෙන්.ගෙදරට කතා කරද්දි කට්ටිය එදා රෑ ක්‍රිකට් මැච් එකක් බලනවා..!

එතකොට අපි හිටියේ පිළියන්දල.තෙරපිච්ච බස්වල ඇවිත් හංදියෙන් බැහැලා ගෙදරට ඇවිදන් යන්න ඕන..කහපොල බස් එකේ බෝම්බේ පිපිරුවේ මම සාමාන්‍යයෙන් ගෙදර එන වෙලාවට.එදා මං ගැන බයවුණ නිසා ටිකක් හිත නොහොඳින් හිටි යාළුවෙකුත් කතා කළා..:) වාසනාවට එදත් මම ගෙදර...හත් පණ කෝටා එකක් තිබ්බද දන්නේ නෑ...

255 බෝම්බේ පුපුරපු දවසේ නංගී ඉස්කෝලේ ඉඳන් අඬාගෙන කතා කළේ..මොකද අම්මා හැමදවසකම වගේ ආත්තම්මයි සීයයි බලන්න රත්මලානට යනවා බස් එකේ..අපි ඔක්කෝම පිටත් වුණාට පස්සේ..නංගී බයවෙලා හිටියේ අම්මා එදත් යන්න ඇති කියලා..ඒත් මහන්සියි කියලා ගෙදර හිටි නිසා අම්මා නූලෙන් බේරුණේ..

අහපු දැකපු ලඟින් ගිය අපට මෙච්චර කම්පනයක් භීතියක් දැනුණා නම් ඒවායෙන් බැට කෑ මිනිස්සුන්ට ඔබ හිතන්නේ සතියෙන් අමතක වෙයි කියලද?

පෞද්ගලිකව දශක 3කට ටිකක් අඩු මගේ ජීවිත කාලේ වැඩිහරියක් තියෙන්නේ මරණ, අඳුර සහ භීතිය...ඒක පුංචි කාලේ ඉඳන් සමකාලීන බොහෝ දෙනෙක් වින්ඳ දේවල්....හැබැයි එහෙම මතකවත් අත්දැකීම්වත් නැති අයත් ඉන්නවා..නමුත් මතක කොච්චර බරද කියලා දන්න නිසා මගේ එකම ප්‍රාර්ථනාව ආයෙ කිසි දවසක ඒ වගේ අඳුරක් එළඹෙන්න එපා කියන එකයි...මගේ දරුවෙක්ටවත් ඒ වගේ වර්තමානයක් ලැබෙන්න එපා කියන එකයි...ඒ ප්‍රාර්ථනය අපි හැමදෙනා වෙනුවෙන්ම පොදුයි...


6 comments:

  1. මේ දේවල් වලට මුහුණ දුන්නට මම දැන් උවමනාවෙන්ම වගේ මේවා අමතක් කරලා ඉන්නේ, අතීතයෙන් ඉගෙන ගත පාඩම් මතින් අනාගතය සාර්ථකව ගොඩනගන එක තමයි හැම දෙනාම කල යුත්තේ . ඒ වෙලාවේදී හැම පැත්තක්ම ගැන කල්පනා කරන්න වෙනවා, එකම කෝණයකින් විතරක් බලලා හරියන්නේ නෑ. සමහර වෙලාවට අපි හරියි කියලා හිතාගෙන කරන බොහෝ දේවල් අවසානයේදී හරි නොයන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. හා :P

      අතීතය එහෙම අමතක කරන්න බෑ බං...අතීතයකින් තොරව වර්තමානයක්වත් අනාගතයක්වත් පවතින්න බෑ..ඔව් උඹ හරි අතීතයෙන් උගත් පාඩම්වලින් අදට හා හෙටට ගතයුතු දේ තියෙනවා..ඒත් සමහර මිනිස්සුන්ගේ හිත්වල අතීතයෙන් වෙච්ච බරපතල හෝ මරණීය තුවාල තියෙනවා..ඒවාට plastic surgery කරන්න බෑ මචං...

      Delete
  2. ඉතිහාසය ඔබ ඔබේ වචනයෙන් ම අගේට කියලා.. මේක තමයි අපේ ඉතිහාසය... අනාගතය ගැන අපි හිතමු.. ඒත් මේ ඉතිහාසය ගැන මීට වඩා අපිට විශ්ලේෂණය කරගන්න වෙනවා..... මට නම් මුලින් ම මතක ප්‍රේමදාස මහත්තයාගේ මරණය විතරයි.. ඒදා දාපු වාදනය තාම අැහෙනවා... මං මාර විදිහට දැගලුවා ඒ අැයි කියලා හොයා ගන්න... මට මතක විදිහට කවුරුවත් මට ඒක කියුවේ වත් නැහැ.....

    //ඒත් අදටත් ඒ මූසල මැයි පළවෙනිදා දැනිච්ච දෙදරීම සුදු පාට ලක්ස් සුවඳක් එක්ක මුහුවෙලා මට දැනෙනවා..//

    මේ තමයි සැබෑම හැගීම.. ඔබ ඒය මහා සාර්ථක විදිහකට වචන වලට පෙරලලා.. ඔබ මේ කියන කතාව අැතුලේ තවත් කෙනෙකුට නොතේරෙන දෙයක් තියෙනවා.... ලක්ස් සුවද කියන්නේ ඔබේ මනසේ තියෙන සිද්ධියට අදාල මතක ස්මෘතියක්... ඔය ගැන පහුගිය ටිකේ ම මම පුංචි පහේ පර්යේෂණ වගයක් කරා.. මේක තමයි මං පළවෙනි වතාවට මේ විදිහට කියපු තැනක් දැක්ක අවස්ථාව............

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කුරුටු ඊට ටිකක් පස්සේ ඉපදිච්ච එකෙක් මම හිතන්නේ :D

      මට කොහොමත් අතීතය හොඳට මතකයි...ඕක කලින් පෝස්ටුවකත් කියලා තියෙනවා..මම ඔය සුදු ලක්ස් කතාව උවමනාවෙන්ම ලිව්වේ ඒක විස්තර කලාම ඔය දැනුන කුතුහලය නොදැනේවි කියල හිතුණ හින්දයි...ඔබ කියන කතාව ඇත්ත..අපි බොහෝදෙනෙකුගේ හිත්වල සංවේදනයන් තැන්පත්වෙන්නේ ගන්ධ, රස වගේ මූලික සංවේදනයන්ට බද්ධවයි..ආයෙමත් ඒ මතක මතුවෙන්න ඒ සංවේදන බලපානවා...උදාහරණයකට කිව්වොත් ගමේ මතක එක්ක තැවරිච්ච අමුතු සුවඳක් මගේ හිතේ තියෙනවා...සමහරවෙලාවට ගමට සමාන පරිසරයකදි ඒ මතක ඒ සුවඳ එක්ක ඉස්මතු වෙනවා...පර්යේෂණයක් කරන්න කියාපු මාතෘකාවක් තමයි...:)

      Delete
  3. මම මෙච්චර කාලෙකට කියවපු සංවේදීම පොස්ටුවක් මේක .

    මේ පොස්ටුව කියවද්දී හැමදෙයක්ම හිතේ මැවුනේ හරි භයානක විදිහට .ඒ දේවල් හැබැහින් වින්ද අය ගැන හිතන්නවත් බෑ.මගේ අම්ම තාත්ත දෙන්නම යුද හමුදාවෙ හිටියෙ ..මාමල පුංචිලා ගොඩක් දෙනෙක් යුධහමුදාවේ.ඒ හැමෝම ඔය භීෂණ කාලෙ වෙච්ච හැමදේම දකින්නැති .මට මතක මම පොඩි කාලේ බෝම්බ සිද්ධි ගැන රුපවාහිනියේ විස්තර කරද්දි කෑලි කෑලි වෙච්ච මිනී බලන්න බැරි බය නිසාම ටී වී එක ඉස්සරහටම ගිහිං ඇස් දෙක වහගෙන අහන් ඉන්න හැටි (එතකොට හැමෝම හිතන්නේ මම බය නෑ කියලනෙ... ;) ඒත් හිතින් මම හරි බයයි ) තරු අක්ක මට වැඩිය ගොඩක් වැඩිමල් වගේ අමිහිරි සිද්ධි ගොඩක මතක තරු අක්කට තියනව.....එකම ප්‍රාර්ථනයයි අක්කෙ හිතේ තියෙන්නෙ.... ආයෙනම් කිසිම දවසක මේවගේ භීෂණ කාලයක් එන්න එපා .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හංසි :)

      අනිවාර්යෙන්ම එයාල ඊට වඩා හුඟක් දේ දැකලා ඇති එහෙනම්..වෙලාවක අහලා බලන්න.. :)

      //.එකම ප්‍රාර්ථනයයි අක්කෙ හිතේ තියෙන්නෙ.... ආයෙනම් කිසිම දවසක මේවගේ භීෂණ කාලයක් එන්න එපා .....//
      අනිවාර්යෙන්ම..අපි මෙහෙම කියන්නේ කිසිම දේශපාලනේකින් තොරව...ඒ දේවල්වල භයානකකම අත්දැකලා තියෙන නිසා..ආයෙත් ඒ වගේ කාලයක් කොහේත්ම අවශ්‍ය නැති නිසා...ඒක උඹ වගේ පොඩි එකෙකුත් තේරුම් ගත්ත එක වටිනවා නංගි..:)

      Delete