200 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට.
Sharmaji Namkeen (2022)
IMDb 7.6/10
Genre: Drama
"Today's generation has become very smart and practical. For them every relationship is like a ladder, which they climb to get ahead in life. And when the ladder becomes useless they just throw it awa..."
"Last scene of the film 'Baghban'. They should make it compulsory in schools and colleges. It's a life lesson."
"How do you guys do it all day? I'm losing my mind. How much do I walk around and watch TV? It's been six weeks and the story if the TV show is also stuck at the same point."
"Sharma, you need to throw your watch in the gutter. This is how retired life is. Slow and long. You'll get used to it."
"I don't want to man. Is it a compulsion?"
"Mr. Sharma, What's the issue here? The government must have put some thought in deciding the retirement age, right?"
"Does the brain stop functioning at 58? Amitabh Bachchan is still acting, he's 78. And do the big industrialists sit at home after 58? Nonsense."
අවුරුදු 31ක් එකම ආයතනයක, ආසාවෙන් අවංකව වැඩ කරපු මනුස්සයෙක්ට පුළුවන් ද විශ්‍රාමය ලේසියෙන් දරාගන්න? මුළු දවසම නිකමෙක් වගේ එක තැනකට වෙලා ඉන්න? පොඩි පොඩි අමාරුකම් ඇඟට දැනුණට, බඩ වැඩිහරියක් වේලීමයි බුරුබුරු ගෑමයි කියන අන්ත දෙක බදාගෙන හිටියට, දණිස් පොල්කටු ටිකක් ක්රීං ක්රීං ගෑවට හිතේ හයිය එහෙමම තියෙන මුලු ජීවිත කාලයම ක්‍රියාශීලි වෙච්චි මනුස්සයෙක්ට පුළුවන් ද එහෙම ලේසියෙන් සෙටියක දවසම වාඩිවෙලා නානාප්‍රකාර ටීවී වැඩසටහන් බලමින් කාලෙ කන්න?
ශර්මා මහත්තයත් හිතුවෙ එහෙමයි. ඒත් ශර්මා මහත්තයාට ඕන දේවල්, ආස දේවල් කරන්න බැරිවිදියට පවුලයි සමාජයයි බයිලා අකෘති හදාගෙන ඒවට අනුගත වෙලා ජීවත් වෙන්න උත්සාහ කරමින් හිටියේ. වැන්දඹු තාත්තෙක් හැටියට වෙනදා දරුවන්ට කෑම හදලා කවලා පොවලා ඉස්කෝලෙ යවලා වැඩට ගිහින් ඇවිත් ආයෙත් උයලා කවලා පොවලා work-life balance එක තියාගත්ත ශර්මා මහත්තයාට පුළුවන් ද උදේට උයලා පිහලා දරුවො වැඩට/ඉස්කෝලෙට යවලා ආයේ හවස උන් එනකල් ගෙදරට වෙලා බුකවගෙන ඉන්න?
අපි හැමෝම වැඩ කරද්දි, කාර්යබහුල වෙද්දී හිතනවා අයියෝ මේ කරුමේ ඉවර වෙලා නිදහසේ ඉන්නේ කවද්ද කියලා. ඒ කරුමේ ඉවරවුණාම අයියෝ මේ කම්මැලිකම ඉවසගන්නේ කොහොමද කියලා තැවෙනවා. මම බොහොම ළගින් දැකලා තියෙනවා අපේ සීයාගේ විශ්‍රාම ජීවිතය ගෙවිච්ච හැටි. වැඩි කතාබහක් නැති මහා ආඩම්බරකාරයෙක් වුණ සීයා අන්තිම කාලේ ගෙදරට හැරෙන මහ පාරේ තිබ්බ වින්කලයක පවා නැවතිලා රටතොට ගැන පැය ගණන් කතාවක් දාගෙන ඉඳලා එන්න පටන් ගත්තම අපි ඉතින් හොඳටම හිනාවුණා. සීයට දවස ගෙවාගන්න ඕන වුණේ වැඩ, වැඩ, වැඩ! . විශ්‍රාම ගියත් පරණ පුරුද්දටම පාන්දර ඇහැරගෙන, අපිවත් කෑගහලා ඇහැරවලා, බුදුන් වැඳලා, තේ බීලා, මිදුල් අතුගාලා, දවසෙ පත්තර බලලා (ඒ දවස්වල පත්තර බිල ලයිට් බිල වගේ. සේරම පත්තර එනවා), ලිපි මොනවහරි ලියලා, හවස් වෙද්දි බොරුවට කඩේ යනවා. ඒ ගිහින් එද්දි කැඩිච්ච පාරවල්, බෝක්කු අරක මේක ගැන වෙච්චි කතා අනුව ඒවට ලියුම් ලියන්න, පරණ මිත්‍රයන්ට කතා කරලා වැඩ කරවගන්න වගේ සමාජ සේවා වැඩත් හොයන් එනවා. අපි ඕපයක් කිව්වත් අපිට රැව්ව ගෙරෙව්ව සීයා එහෙම වෙලාවක අහන්න ලැබිච්ච ඕපත් ඉතින් හවස තේ බොනගමන් කියලා අම්මගෙයි ආත්තම්මගෙයි හිනාවට ලක්වෙනවා. ඒ වැඩ මුකුත්ම නැත්නම් දෝණි, ඒ කිව්වේ අපේ අම්මා එක්ක කුමන්ත්‍රණය කරලා රහස් මන්ත්‍රණ කරලා වත්තේ තියෙන ගහක් කප්පවලා, මොකක්හරි වෙනසක් කරවලා ආත්තම්මව අවුස්සගෙන බැණුම් අහනවා. ඊටපස්සේ රෑට ඕගන් එක ගහමින් සිංදුවක් කියලා එහෙම නිදාගන්න යනවා.(සීයාගෙ පුතාලා එහෙම අමද්‍යප නොවුණට සීයා සම්පූර්ණයෙන්ම අමද්‍යප කෙනෙක්, මැරෙනකල්ම ඒ ප්‍රතිපත්තිය කඩ නොකළ) ඒ එක්කම ඉතින් ඕන එකයි එපා එකයි හැම එකම ප්‍රශ්න කරනවා. මට ඉස්සර තරහත් යනවා. දැන් ටිකක් තාත්තාත් ඒ වගේ වේගෙන එනවා දැක්කම මම ගෙදර හිනාවෙනවා "වීරසිංහ මහත්තයත් දැන් බස්නායක මහත්තයා වගේ වේගෙන එන්නේ" කියලා.❤️
ශර්මා මහත්තයත් ඒ වගේ තමයි. ඒකාකාරී බව නැතිකරගන්න නොකළ දෙයක් නෑ. සූම්බාත් කළා නෙව, හරි ගියේ නෑ ඉතින්. ඒ මදිවට තියෙන තරමක් ෆේස්බුක්, වට්ස්ඇප් ආදී නානාප්‍රකාර මාධ්‍යජාලාවලත් සැරිසරනවා. ඒවයේ ඕපදූපත් බලනවා. බොරුවලටත් ඇත්ත කියලා රැවටෙනවා. මතකනේ අර රැට්ටගෙ තාත්තා ටික්ටොක් කරන්න ගත්තා? අන්න ඒ වගේ. ටික්ටොක් විතරයි මෙයත් නොකළේ!
පස්සේ තමයි අමුතු වැඩක් සෙට්වෙන්නේ. මොකද ශර්මා මහත්තයාට පුළුවන් පුදුම රහට කෑම හදන්න. ඒ කෑම ඉවිල්ල දැක්කත් රසනහර පිනා යනවා. බොරුනම් බලන්නකො.
ඇත්තටම ඔය සමාජ මාධ්‍යවල ගැහැණුන්ට වඩා අතවරයට, අපහාස උපහාසයට ලක්වෙන්නේ වැඩිහිටියන්! ඒ ඇයි කියනවා නම් ඔවුන්ට සමාජ මාධ්‍ය සංස්කෘතිය අලුත්. පරණ පරම්පරාවල යාලුමිත්‍රකම්, හිතවත්කම් තිබ්බේ ෆොටෝවලට දාන හාට් රියැක්ට්ස්වල නෙවෙයි. ඒවා දීර්ඝකාලීනව පැවතුණෙත් ඒක හින්දමයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද අනවශ්‍ය ඇලීම්-ගැලීම් නැහැනෙ. අනික ඒ හිතමිත්‍රකම්වල දැන් ඒවයට වඩා අවංකකමක් තිබ්බා කියලා මට හිතෙනවා. දැන් සමාජ මාධ්‍යවල පවතින බහුතර මිනිස් සම්බන්ධතා මැනෙන්නේ පිංතූරවලට පෝස්ට්වලට දාන ලයික්, රියැක්ට්ස්වලින්, කමෙන්ට්ස්වලින්. ඊළගට එතන අනවශ්‍ය තරමට පෞද්ගලිකත්වය ප්‍රකාශවීම නිසා නැති ප්‍රශ්න. මිනිස්සු මිනිසුන්ව මනින්නේ ඒ මනුස්සයගේ ෆෙස්බුක් වෝල් එකෙනුයි ඉන්ස්ටග්‍රම් අකවුන්ට් එකෙනුයි. මං හිතන්නේ සකරෙට වැරදුණේම හාහා සහ හාට් රියැක්ෂන්ස් බුකියට එකතු කිරීම හින්දා කියලා. පවුල් කැඩෙන්න වගේම හාහා නිසා හිතවත්කම් නැත්තට නැතිකරන්න පුළුවන් දැලිපිහියක්නෙ එයා ඔය ආසියාතික වඳුරන්ට දීලා තියෙන්නේ😅
එතකොට පරණ පරම්පරාවේ නොදැනුවත්කම සහ සමාජ මාධ්‍ය පරිශීලනයේ තියෙන අඬුලුහුඬුකම් අලුත් පරම්පරාවල්වලට කුරිරු විනෝදයක්. එතනදි සහකම්පනය කියලා දෙයක් හරිම කණගාටුදායක විදිහට නැත්තටම නැතිවෙනවා.
හැබැයි ඔය අතර වේගයෙන් අලුත් දේ ඉගෙනගන්නා වැඩිහිටියනුත් ඉන්නවා.
විශ්‍රාම යෑමේ වයස ගැන කියනවා නම් ලංකාවේත් දැනට ක්‍රියාත්මක 55 සීමාව ගැන මම පෞද්ගලිකවම ලොකු සතුටක් නැහැ. කෙනෙකුට හැකියාව, ශක්තිය තියෙන තරම් කාලයක් වැඩ කරන්නට දීමේ ගැටලුවක් තිබිය යුතු නෑ කියලා මම හිතනවා. මොකද මුලු ජීවිත කාලයම වැඩ කරන්න හුරුවූ කෙනෙකුට ඒ නැවතීම නිසා ලැබෙන මානසික සහනයට වඩා අසහනය වැඩියි. ඒ බහුතර විශ්‍රාමිකයන්ට වෙන්නේ අර්ථසාධකෙන් එහෙම ලැබෙන සොච්චම් මුදල අරගෙන පරාජිතයෙක් වගේ ගෙදර යන්න. ඒ මුදලත් ඊටපස්සේ (බහුතරයක) ඩැහැගන්න බලන් ඉන්න දරුවන්ට බෙදන්න. එහෙම නොකළම උන් එකිනෙකා කුළල් කාගන්නා හැටි බලං සෝ සන්තාපයට පත්වෙන්න. ඊටපස්සේ ලෙඩදුකකට ගන්න තියෙන සල්ලියෙන් දරුවන්ට සලකන්න, ගෙවල් දොරවල්වල අඩුපාඩු පිළියම් කරන්න, ඉගෙන ගන්න දරුවන්ට යුතුකම් කරන්න, දීගතල යන දරුවන්ට දෑවැදි හදන්න. රජයෙ සේවකයන්ට තියෙන විශ්‍රාම වැටුප් සහනයවත් (ඒක මහලොකු දෙයක් නොවුණට) නැති පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන්ට ඔය ටික කළායින් පස්සෙ වෙන්නෙ හිඟා නොකා හිඟා කන්න. ඒ අස්සෙ දරුවන්ගෙ දරුවො බලාගන්න, ඉස්කෝලේ එක්කන් යන්න, පංති ගෙනියන්න, කඩේ පොලේ යන්න, බිල් ගෙවන්න යන්න ආදි අටෝරාසියක කම්කරු වැඩ මොන ඉහළ පුටුවකින් විශ්‍රාම ගියත් උරුමයි. ඒ අතරට ශර්මා මහත්තයට වගේ දරුවන්ට ලැජ්ජාවක් නොවී ජීවත්වෙන්න, හැසිරෙන්න, තීරණ ගන්න වගේ දණ්ඩ නීති සංග්‍රහයකටත් කොන්දේසි විරහිතව යටත්වීම අනිවාර්යයි.
මා දන්නා තරමින් බොහෝ බටහිර රටවල් අනිවාර්යයෙන්ම විශ්‍රාමයෑමක් නිර්දේශ කරන්නේ සමහර සාධක මත. නැත්නම් වැඩ කළ හැකි තත්වයේ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට අවුරුදු 70වනතුරුත් වැඩ කරන්නට ඉඩ තියෙනවා (ඇතැම් ක්ෂේත්‍ර හැර). ඒක ඒ ආයතනමම විය යුතු නැහැ. වැඩිහිටියන් එකම තනතුරුවල රැඳීම නිසා ඊළග පරම්පරාවලට අසාධාරණයක් වීම මාත් පිළිගන්නවා. එතනදී නිසි කාලයෙදි නිසි තීරණ ගැනීමට පරම්පරා දෙකටම වගකීම් සහ යුතුකම් තියෙනවා වගේම එසේ ඉවත්වන වැඩිහිටි පරම්පරාවට නිසි ගෞරවය ලබාදෙන්නත් ගෞරවණීය පුරවැසියන් ලෙස ජීවත්වීමට ඉඩදීමටත් අපි හැමෝටම යුතුකමක් තියෙනවා. අපි හැමදෙනාම ජාති, ජරා, ව්‍යාධි, මරණ අනිවාර්යයෙන්ම දවසක අත්විඳිනවා. සුරක්ෂිත, සුරූපී, ධනවත්ම පුද්ගලයාට පවා ඒ අනිත්‍යයට මුහුණ දෙන්නට සිද්ධවෙනවා. ඒක අවබෝධ කරනොගෙන නොමැරෙන මිනිස්සු හැටියට වැඩිහිටියන් වගේම තරුණ පරම්පරාවත් ජීවත්වෙන්න උත්සහ කිරීම නම් විහිළුවක්.
ශර්මා ජීගේ කතාව බලන්න.
චිත්‍රපටය ගැන සුවිශේෂීම කාරණාව තමයි මේක රිෂී කපූර්ගේ අන්තිම චිත්‍රපටය. රූගත කිරීම් අතරතුර තමයි ඔහු රෝගාතුරව අපෙන් සමුගන්නෙ. ඒක නිසා ශර්මා මහත්තුරු දෙන්නෙක් චිත්‍රපටයේ ඉන්නවා. ඒ පරේශ් රාවල් ඒ අභියෝගය බාරගත්ත හින්දා. ටිකක් අමුතුයි වගේ මුලදි දැනුණට පස්සේ ඒකත් ව්‍යංග්‍යර්ථයක් වගේ දැනෙන්න පටන්ගන්නවා. හිතලා නොකළ දෙයක් වුණත් එකම චිත්‍රපටයේ එකම චරිතය පුද්ගලයන් දෙදෙනෙකු විසින් රඟදැක්වීම බහුතර විශ්‍රාමිකයා නියෝජනයක් හැටියට දැනෙනවා.
තිරපිටපත Suprathik Sen සහ Hithesh Bhatia. Hitheshගේම අධ්‍යක්‍ෂණයක්. Amazon Prime Video බෙදාහැරීමක්.
~✒️ Aash Weerasinghe