Thursday, February 4, 2016

අන්න, ආයිත් ඇවිල්ල ලු!

නිදහස් දවස් වුණාම ආයිබොවංඩ බ්ලොගේ බුකියේ හැමතැනම සැරිසරන්ට අපටත් කියලා නිදහසක තියෙන්ට ඕනාය. එව්වා තේරෙන්නේ සති අන්තයේත් වෙනසක් නැතිව රේස් දුවන උන්ටම තමාය. මගේ රේස් දිවිල්ලේ තරම කොතරම්දැයි කිව්වොත් දෙයියනේ කියලා පයේ මේස් අතේ දාන කස්ටිය ලංකාවට නිදහස දීලා නොතිබ්බා නම් තිලංගගේ බුකියේ ඔට්ටු දිනන්න තරම් තිබුණාය.වැඩ සතිය පටන් ගන්නේ සඳුදාය.අහවර වන්නේ සිකුරාදාය.සෙනසුරාදා ඉරිදා ඇත්තේ පුක්ස් උඩ දමා නිදාගන්නට, රෙදි සෝදා වේලා ගන්නට, ගෙවල් දොරවල දුවිලි පිහ අතුපතු ගා දමන්නට, ගෙදර මිනිස්සුන්ගේ දුකසැප බලන්නට සහ ඒ අයගේ මුහුණු හරිහැටි බලාගන්නට වාගේ අනේක්විධ වැඩ කටයුතු සඳහාය.කරුමේ යනු එහෙව් සති අන්තයකත් හතිබඩ දමාගෙන දුවන්නට සිද්ධවීමය.ඒ පුණ්‍යවන්ත පරම පෙම්වතී, චී!.. පුණ්‍යවන්ත මනුස්ස ප්‍රාණියා මං ය.

ඉති..න්න්! බ්ලොගේ දුවිලි බැඳිලා මකුළුදැල් නුගමුල් වාගේ එල්ලෙනවාය.මම ටාසනී මෙන් ඒ වැල්වල එල්ලි ඒ මේ අත පැද්දෙමින් ලියන්නට ගත්තාය..
ආයෙමත්? ඔව් ආයෙමත් ආදරෙන්..!

පහුගිය කාලයේ මා ගැන අසමින් අතුරුදහන් වූවන්ගේ කොමිසම් ගානේ රස්තියාදු වූ, හත් දවසේ බෝධිපූජා කළ, අංජනම් පෝලිම්වල කට්ට කෑ, පොලීසි ගානේ මෝචරි ගානේ රස්තියාදු වූ හැමෝටම බොහොම පින් ය! උඹලා වාගේ උන් නිසා තනි තරුව තරු පොකුරු පේද්දිත් බ්ලොග මතක් වී හැමදාම සුසුමෙන් කඳුළින් කල් ගෙව්වාය.ඒවාට අද ඇරියස් කවර් කොරන්නට ශක්තිය ධෛර්යය මේස් දාන රැජිණි සහ අපේ සෝස මල් සනාධිපති ලබා දී ජාතිකාභිමානය රැක ගත්තාය! හම්මේ ඉතින් සන්තෝසේ පපුව හිරකරනකොට ආචාර වෙඩිමුර උණ්ඩෙක එල්ලිලා ගොහින් ඉන්දියන් සාගරේට පතිතවන්නට හිතෙනවාය..

ඉතින් මම කොහෙමෙන් කොහොම හරි ලියන්නට දත කනවාය, තටමනවාය.කන්දක් විලි පහ කරවා මී පැට්ටෙක්වත් වදාවී කියා බොලා ඇවිත් බලනු ඇතැයි මම සිරාවටම හිතනවාය.අමතක වීම ජාතියේ ගතිය නිසා අමතකවෙලා නම් ඒත් ගේමක් නැතිය..මන්දයත්, මටත් දැන් ටික ටික මේවා ලියනාහැටි අමතක වේගෙන යන නිසාය..!
!
!!
!!!
!!!!
!!!!!
!!!!!!
!!!!!!!
!!!!!!!!

හීනෙන් තමයි! 



Tuesday, January 5, 2016

අරුමය..

ප්‍රේමයෙන් ඉක්බිති..
හදවත් නොතිබුණෝ හදවත් ඇත්තෝද
හදවත් තිබුණෝ හදවත් නැත්තෝද
වී ඇති වග නම්...



Monday, January 4, 2016

යුද්ධ

හාදුවකින් අවසන්කළ
නොහැකි යුද්ධ ද ඇත..
නිල් ගැසුණු හදවත්
අඩපණ ලේ නහර
මසන්නට නොහැකි
ඔඩු දිවූ තුවාල
සැඟව යන පණ නල..
බිඳුණ ජීවිත..
ඉතිරි කර ඇදෙන
තවත් යුද්ධ ඇත
අවසනක් නොවන...



පසු සටහන:
යුද්ධ හැම එකක්ම ආදර යුද්ධමද යකුනේ? :D


Saturday, December 19, 2015

චල - අචල

නුඹ උදා වී
නහවනු ඇති නමුත්
සහසකුත්..
නුඹගේ අමිල ප්‍රේමයෙන්..
නුඹ උදාවූ දා 
වාගේම..
චල නුඹ මියෙන දාටත්
අචල ප්‍රේමය මම වෙමි
කල්පාන්තය තෙක්ම..



Thursday, December 17, 2015

බය..

කටු කම්බි තුඩුවලට
සීරෙද්දි අඩ සඳ නළල
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..
සිලිටි හම කැපෙනකොට
රිදෙන හන්දා නොවුණට
ගලන ලේ වැල්වලට
ඇස් කෙවෙනි දැවෙනකොට
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම...

තුනී කරදහි බිත්ති
ඇකිලෙද්දි හදවතේ
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..
එක මිටට පොඩි නොකර
සීරුවෙන් කපනකොට
වීදුරු කටු වචන
හදවත පෙළනවට
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..

ආදරේ පිරුණ ඉඩ
හිස් වෙවී යනකොට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
හිස්කමට නොවුණට
ඒ ඉඩට පොරකන
කළකිරීමට දුකට
කෙස්ගහේ වෙනසට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..