Saturday, January 20, 2018

නැතිවීම, නැතිවී ඇති බව දැනගැනීම සහ සෙවීම

සාංසාර කාලයකට පස්සේ වගෙ දැනිච්ච දිග කාලයකට පස්සේ ලෙන්ගතු හැන්දෑවක් ගෙවන්නට ලැබීමේ හීනි සතුටක් එක්ක මට ආයෙමත් බ්ලොග් එක මතක් වුණා. ඒ 'සෙව්වා' නිසා. සමහර කාලවල අන්තරස්ත්දාන වෙලා හිටියත් ආයෙමත් පුරුදු  හිනා කටහඬින්ම මට කතා කරලා මහ බැංකුව(ක්) කඩන්න තරමට හම්බෙන්න සැලසුම් ගහලා ඒත් හම්බෙන්න බැරිවෙච්ච අවුරුද්දකට විතර පස්සේ ආයිමත් 'සෙව්වා' මට හම්බුණා, තවත් ඒ වගෙම සුන්දර මිතුරියෙක් එක්ක.

මම බ්ලොග් එකක් කරන බව දැනගත්ත දා ඉඳන් ඒකේ පරණ පෝස්ටු පවා ඇද ඇද, මහා හයියෙන් හිනාවෙවි ඒවා උපරිමයට රස විඳපු (සමහරුන්ට හිනා නොයන ඒවාට පවා), හිනාව ඉවසගන්න බැරි වෙලාවට මට කෝල් කරලා "මම කැමතිම උඹ උඹටම හිනාවෙන එකට. හැමෝටම ඒක කරන්න බෑ"  කියකියා හිනාවෙන, සමහර පෝස්ටුවල අතීත කතා, නිධාන කතා හාරාවුස්සන්නෙ නැතුවම ඒවා රස විඳින්න පුළුවන් සෙව්වා, අදත් ඒ ගැන අනෙක් යාළුවට කියද්දි එහෙම රසවතෙක් ඉතුරුවීම ගැන මට නිහතමානී සතුටක් ඇතිවුණා. මම හිතන්නෙ ඒ සතුටයි සෙව්වාටම පින් සිද්ධවෙන්න ගෙව්ව රසබර පොතක් එළිදක්වීමේ හැන්දෑවයි හින්දා මට ආයෙමත් ලියන්න ආස හිතුණා. ඉතින් සෙව්වාට පින්!

ලියන්න දහසකුත් දේවල් හිතට ආවත්, අකුරක් නොලිව්ව තනියාට මම මග දිගට නෝක්කාඩු කියකියා ගෙදර ආවා. තනියාගේ හිතට බොහොම දක්ෂ නීතිඥයෙක් ලැබිලා තිබ්බා. උන්දෑ තනියාගෙන් ඇහුවා "හැමදාම පොඩි දේටත් කඳුළු පෙරන් හිනාවෙන උඹ අන්තිමටම එහෙම හිනාවෙච්ච දවස මතක් කරපන් බලන්න" කියලා. තනියා තට්ටමට හෙණ්ඩු පාරක් වැදිච්ච අලියෙක් වගේ බීරාන්තවෙලා හයිලෙවල් පාරේ නැවතුණා.
නෑ, අලියෙක් වගේ මතක ශක්තියක් තියෙන තනියට ඒක මතක නෑ. ඒ තනියා නැතිවෙලා බව මට තේරුණේ එතකොටයි.

Friday, December 15, 2017

සොහොන් කවි

මරණයෙන් හුස්ම ඇද ඇද
ජීවත්වෙන්න වෙර ගන්නකොට
ලොවට නොපෙනෙන හද අඩක
මළවුන් සව්දිය පුරන කොට
හීන් හදවත් නහර
උණුසුමට ඇදෙනකොට
නුඹ කියාවිද දිනෙක
මුලිනුපුටා දමන්නට...


Friday, May 26, 2017

මෙලීසාගේ බිකිණිය, සයිටම් සහ ලංකාවේ අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට හෙනහුරා ලබා ඇත්තේ අප ඉපදෙන්නටත් පෙර සිටම වෙන්නට පුළුවන් ය. එහෙව් පව් පින් කොරවන්නට කියා අපි වෙනසකට ඡන්දය දී බුකියෙන් ආණ්ඩුවක් පෙරලූ අතර අර හෙනහුරා නම් තවමත් අධ්‍යාපනයට ගේම දෙමින් ඉන්නවා ය. 

සයිටම් නාඩගම නැගලා යන අතර අන්තරේ තමා කඩේ ගිය සාධාරණ යහපාලිතයන්ගෙන් නොලැබුණු ඉල්ලීම් දිනාගන්නට සුපුරුදු මාර්ගයටම අවතීර්ණ වීම මා නම් දකිනා හැටියට දෛවයේ සරදමක්ය. ඔය කොයි පැත්තටවත් නැති අර කමියා මගේ කලින් පෝස්ටුවේ කියා ඇති පතෝල මෙතඩ් එකෙන් බැලුවත් මට කට පියාගෙන ඉන්නට බැරි නිසා සෑහෙන්න කාලයක් නොලියා හිටි දේවල් අද ලියන්නට හිතුවාය. සයිටම් ප්‍රශ්නයේදි අන්තරේ සමග මගේ එකඟතාව කොන්දේසි සහිතවය. එසේ වූවා කියා පෞද්ගලික අධ්‍යාපනය ලංකාවෙන් 100%ක් අතුගා දැමිය යුතු නැත. අවශ්‍ය වන්නේ නිසි ප්‍රමිතිකරණයක් සහ ඒ ප්‍රමිතිය රැකගැනීමේ වැඩපිළිවෙලක් ය. නමුත් ලංකාවේ අධ්‍යාපන කන්තෝරුවලටත් විෂය භාර ඇමති සුදූටත් කොච්චරක් නම් වැඩ රාජකාරි ඇතිදැයි කියතොත් සුදු ඇඳුම් පාට කොරන්නට, ගැබිනි ටීචර්ලාගේ සාරි ගලවන්නට, මඩ ගැහුණු සුදු ඇඳුම් එලලාගෙන ආය කටුවලින් අමුණාගෙන සෙරෙප්පු දෙකක්වත් දෙපයේ නැතිව යලට මහට පාසැල් එන පිටු 40 කොපි පොතක සෙරෝම විෂයන් පැන්සල් කොටේකින් ලියාගෙන යන දරුවන්ට ටැබ් බෙදන්නට, අගුපිලක් තරමවත් පංති කාමර පහසුකමක් නොවන පාසැල්වල හිටංගේ මුඩුම මුහුණේ පිංතූරු ගසන්නට වාගේ අතිශය වැදගත් වැඩ රාජකාරි අතර ප්‍රමිතියකරණයක් ගැන කතා කිරීම හිනායන්නේත් නැති පට්ට බෝරිං විහිළුවක්ය. මොකක් හෝ නමක් ගමක් ලියාගෙන අස්සනක් ගසා ප්‍රමිතිකරණ සහතිකයක් දුන්නත් කාලයක් යනවිට ඒකට වෙන්නේත් වක්කඩේ හැංගූ හකුරු කැටේට වෙච්චි දේම නිසා අපේ මහදැනමුත්තෝ ලේසි පාරෙන් මොක්පුරේ යන්ට දත කන්නෝය. දැන් මේ කියවන ඔබ සියළු දෙනා තමතමා සිටගන්නා පිලේ මනාපයට මගේ ඔළුව කන්නට නම් දත කන්නට වලි කන්නට එපා ය. මම පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නොවෙමිය. අන්තරේ කියන ආකාරයට සයිටම් ඇතුළු සියළු පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දැමීම මට විහිළුවක්ය. හෙට දවසේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින වෙද්දු බිහිවීම වැලැක්වීමට නම් අද සටන පය බරවායට පයට බෙහෙත් කිරීමක් විය යුතු මිස අනෙකක් නොවිය යුතුය යන්න මගේ මතයය. අවාසනාවකට ඔය කොයි පැත්තත් තවම ඒ බව අවබෝධ කරවාගෙන නැත. 

Wednesday, May 17, 2017

ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහණය

වසර 8කට පෙර අප විසින් සමරණ ලද්දේ සැබෑ නිදහසයි. මරණ බිය සමස්ත ශ්‍රී ලංකාවටම පොදු වූ අවුරුදු 30ක අන්ධකාර යුගයක් අවසන් කිරීමට ඇස්-ඉස්-මස්-ලේ පමණක්ම නොව ජීවිත පවා කැපකල අපේම කොටසක් සිටින/සිටි බව අමතක කල 'අපි වෙනුවෙන් අපි' අද යුධ අපරාධ සොයා ඔවුන්ගේ කැපකිරීමට ගරහමු. ත්‍රස්තවාදීන් විරුවන්වන සැබෑ රණවිරුවන් අපරාධකරුවන් වන වත්මනක අපි පිල් බෙදී කෑ පතේ පහරමු.

මහින්දගේ නායකත්වය සහ ගෝඨාභයගේ මග පෙන්වීම නොවී නම් ෆොන්සේකා යුධ වීරයෙක් නොවන බව නිසි නායකත්ව සහය නොලද කොබ්බෑකඩුවලාගේ සොහොන්කොත්වලට කතා කල හැකි නම් කියනු ඇත. නමුත් අපි සැබෑ නිදහසින් වසර 8ක් ගෙවුණු තැන සුපුරුදු ශ්‍රී ලාංකේය කුහකකම ප්‍රදර්ශනය කරමු. ඒ යුද්ධයද අනෙක් සියල්ලම සේ රාජපක්ෂලා විසින් ඇති කරවනු ලැබ, උන් විසින්ම දශක තුනක් තිස්සේ විකුණාගෙන කන ලදුව උන් විසින්ම 'අහිංසක කොටි ත්‍රස්තවාදීන්' රවටා මරා අවසන් කරන ලද්දේය. අවුරුදු 30ක් පුරා අත්-පා-හිස්-මස් කුඩු ව ඉහිරී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ගෙන් උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් මහමග ද යුධපිටිවල ද මායිම් ගම්මානවල ද මියගියෝ රාජපක්ෂවරු පමණමය! එනිසා ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහණය සැමරීම අපරාධයකි! රාජපක්ෂලා ප්රබාකරන් සමග තිබූ පෞද්ගලික කෝන්තර පිරිමැසීමට රජයේ ත්‍රිවිධ හමුදා සහ පොලීසිය යොදාගැනීමට එරෙහිව පියවර ගැනීම යහපාලනයේ ප්‍රධාන වගකීමයි!

Tuesday, November 8, 2016

රණවිරුවන්ට සැලකීම යනු..!

15 පැයකට පෙර පළ කරන ලද ප්‍රකාශය වේදනාවෙන් සහ ලැජ්ජාවෙන් යුතුව නැවත පළ කර සිටිමි. "මේ අපේ එකෙක් වන්නේ යුධයක් ඇති කල පමණම නම්, සුණුව ගිය ඔවුන්ගේ අත් පා මතින් අපගේ සතර පා රැකුණු කල පමණම නම්, බිඳී ගිය ඔවුන්ගේ හීන මත අපේ සිහින මාලිගා වූ කල පමණම නම් අප ලැජ්ජා විය යුත්තේ ඇයිදැයි ඔබට තේරුම් ගත නොහැකිවීමම අරුමයක් නොවනු ඇත." 

මෙවන් නිවට නියාලු කාලකණ්ණීන් පාලකයන් ලෙස පත්කරගන්නට සතර දොරටුවෙන් දුන්නා වූද තවමත් උන්ගේ කල්කිරියාවන්ට සුදු හුණු ගාන්නට බුරුසු සොයන්නා වූ ද යහපාලන කැඳ හැලියකට සහල් මිටි දමන්නට ගියා වූ ද මුග්ධ රැල අද කතිර සලකුණු කළ උන්ගේ අත් මොනවා කළ යුතුදැයි සදාචාරාත්මක හේතු මත මම ප්‍රසිද්ධියේ නොකියමි! මේ සියල්ල මේ ලෙසම වන බව වසර දෙකකට පෙරාතුව සපථ කරමින් කියද්දීත් උඩුගං බලා ගිය අමන රැල වෙත මෙතෙක් කල මගේ අනුකම්පාව අද අවසන් වූයේය. ලැජ්ජාව දැනෙන තැනකට දැනෙන්නට අද ඔබේ අමන තීරණය ජාතියක් ලෙස අප ඇද දැමූ තැන ඇතිය. රටක් ලෙස, සමාජයක් ලෙස අපි අද කෑ පතේ පැහැරූ හැටිය ඔබගේ හර්ද සාක්ෂිය තවමත් පීඩාවට පත් නොකළේ නම් දන්ත වෛද්‍ය රාජිත හා එක්ව වැසිකිළියක මුණින් තලාව වැතිර දෙකොණ බලය විමධ්‍යගත කරන මෙන් මම ඔබට කියමි. දේශපාලනමය වශයෙන් කොටළුවකු ලෙස ක්‍රියා කරන්නට පෙර ඔබ යම්කිසි දවසකදී මනුෂ්‍යයෙකු වී සිටින්නට ඇතියැයි මම සිතමි.එසේ වී නම් අද ඔබේම වර්ගයාගේ චිර ජීවනය පිණිස ඇස්-ඉස්-මස් දන් දී, සියළු ආයාචනා-ඉල්ලීම් පලක් නොවූ තැන මහ වැසි මැද බළලුන් බල්ලන් මෙන් ලැග සිට ඉල්ලාගන්නට නොහැකි වූ දේ දිනන්නට ගිය උන්ට කඳුළු ගෑස් සහ බැටන් පොලු පහර වදින කල කොටළුවන් තුළ සැඟව ගිය මිනිස්කම උඹලාගේ හදවත්වලට මිට මොළවා නොගැසුවේ මන්දැයි අසනු කැමැත්තෙමි. වායුසමනය කළ වීදුරු කුටි තුළද සැප පහසු රිය තුළ ද දෙපා පටලාගෙන රාත්‍රී ප්‍රවෘත්ති නරඹන නිවාස තුළ ද සිටින උඹලාගේ දෙනෙත් ඉදිරියේ උන් දෙපා කොට, අත් කොට වනමින්, අතට අසුවන අසංවේදී බොරු කකුල්, කිහිලිකරු රැකගන්නට තැත් කරමින්, පනිමින්, වැටෙමින්, පෑගෙමින් පිළිසරණ පතා දුවන කල උඹලා වැන්නවුන් වෙනුවෙන් කළ දෑ කෙරෙහි ඔවුන් කළ කිරෙන්නට ද තමන්ටම සාප කරගන්නට නැතැයි උඹලාගේ හදවත් නොසිතනු ඇතැයි මම සිතමි. බෙදුණා හෝ නැතා හෝ සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය වශයෙන් අපි අද කළ පවෙහි දෝංකාරය අනාදිමත් කාලයක් යනතුරුත්, මේ රටෙහි අවසන් පස් පිඩත් ඉන්දියන් සාගරයේ ගිලී නොපෙනී යනතුරුත් රැව් දෙනු ඇත්තේය.