Sunday, July 3, 2022

සුන්දර ලංකා සමාජය

ආයෙත් ආයෙමත් එකම අමනුස්සකම සයිබරය පුරා ගලාගෙන යනවා!
සතෙකුට වුණත් මරණාසන්න අවස්ථාවක වතුර පොදක් දෙන තරමට 'මිනිස්සු' හිටිය රටක් වෙන්න බෑ මේක. ඒකත් අර සමහරු කියනවා වගේ විකෘති කරලා ලියන ලද ඉතිහාසයකම විකෘති අසත්‍ය තොරතුරක් වෙන්න ඕන. 

මිනිස්සු හොඳට නරකට දෙකටම ප්‍රසිද්ධ වෙනවා. ඒත් ඒවා විවේචනය කරන්න, තීන්දු දෙන්න තරම් අපි ඒ මිනිස්සුන්ට වඩා ඉන්න ඉහළ තත්ත්වය මොකද්ද? ඇයි මේ විචාර දෙන, නඩු අහන, හෙණ ඉල්ලන 'දෙවිවරු', 'සාන්තුවරයෝ' රහසින්වත් පව් නොකළවුන්ද?

මනුස්සයෙක්ට විපතක් වුණාම ඒ මනුස්සයාගේ කුටුම්භය ගැන කුණු කතා ලියන තරමට පහළට වැටිච්ච, ඒ කතා රහ කරකර විඳින ඉහඳ පණුවෝ වගේ මිනිස්සු ඉන්න සමාජයකද අර බහුතරය ගිරි කඩාගෙන සිස්ටම් චේන්ජ් කරන්න යන්නේ? මේ කුණු කතා ලියන කියන උඩදාන බහුතරය දියණිවරු ඉන්න දෙමව්පියෝ! මානව සම්පත් කළමනාකරණයේ ඉඳන් නීතිය වෙනකල් සමාජය ගොඩනගන ක්ෂේත්‍රවල ඉන්න මිනිස්සු! කතා කළොත් ධර්ම ටෝක් දෙන මානුෂික ගල්කණු! කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න ඊනියා වනිතාවාදීන්! උන්දැලත් එහෙම නං සෙස්සන් ගැන කවර කතාද!!

ජැක්සන්ගේ දේශපාලන භාවිතයට මම එකඟ නෑ. ඒත් අපි හැමෝටම වගේ ඒ මිනිහටත් දේශපාලන මතයක් දැරීමේ නිදහස සහ අයිතිය තියෙනවා. ඒක ඔහුම ඔහුට අවශ්‍ය විදියට ගිහින් ඔහුම තීරණය කරපු ගමනක්. හැබැයි උනන්දුව, දැනුම සහ දක්ෂකම අතින්, නිර්මාණකරුවෙක් විදිහට ජැක්සන් 'පොරක්'. පටන් ගත්ත තැන ඉඳන් කාලයත් එක්ක පරිණතවෙමින් කැපී පෙනෙන ගමනක් ආව මිනිහෙක්. තමන් කෙනෙකුගේ දේශපාලනයට අකමැති වූ පළියට 'පණ ඇදපං, මැරියං, හෙණ ගහපං' යනාදී අතිශය නූගත් ක්‍රෝධාත්මක අදහස් සයිබරයේ වපුරන මේ බහුතරයක් මිනිසුන්ට ඇත්තටම ජැක්සන් මුණගැහිලත් නැතුව ඇති! උන්දැ ඔවුන්ට පෞද්ගලිකවම කළ වරදකුත් නැතුව ඇති අහලා බැලුවොත්! ඒත් බනිනවා, අපහාස කරනවා, හෙණ ඉල්ලනවා, සාප කරනවා, මැරෙනකල් සතුටින් ඉපිලෙමින් බලං ඉන්නවා,කිරිබත් හදන්න රතිඤ්ඤා දාන්න බලං ඉන්නවා! 
ඔව් අර ප්‍රේමදාස මැරුණමත් ඒ මිනිහා දුන්න ජනසවියෙන්ම කිරිබත් කාපු උං ඉන්න රටක්නෙ මේක! 
මිනිස්සු ද හලෝ උඹලා?
කෝ උඹලා හදන්න හදන අර ලස්සන ලෝකේ? 
කෝ උඹලා හදන සුන්දර සමාජේ පදනම? 
මනුස්සකම නැතුවද උඹලා ඔය ඔක්කොම හදන්න යන්නේ? 
එහෙනං හදලා පෙන්නපල්ලා, මනුස්සකම නැතුව උඹලා හදන ලෝකේ ඔය කියන තරම්ම සුන්දර වෙයිද කියලා!

~✒️ Aash Weerasinghe 

#සුන්දරලංකා

Friday, July 1, 2022

ජන සිට ජඩට - මාධ්‍යයේ ගමන

මාධ්‍ය ආයතන විනාශවලට උල්පන්දම් දෙන එක තමයි ට්‍රෙන්ඩ් එක! හිතවත් මාධ්‍යවේදී මිත්‍රයන් තරහවෙන්න එපා. මට නං දැනෙන ඇත්ත ඕකයි. 

මං TV එකෙන් මිදුණේ 2001. ඊටපස්සේ බැලුවත් බැලුවේ ඉඳහිටලා, කරන්න දෙයක් ඇත්තේම නැත්නම්. ඒත් ඔතනින් එහා මෙහා යද්දී ඒකෙ යන විකට ජවනිකා මට පේනවා. බොහොම මෑතකදී තමයි දෙමව්පියන් එක්ක වාඩිවෙලා ප්‍රවෘත්ති TV එකෙන් බලන්න ගත්තේ. ඒකත් එතෙක් බැලුවේ YouTube එකෙන්. ඒ වෙලාවේ දෙමව්පියන් එක්ක වාඩිවෙලා Tv එකෙන් ප්‍රවෘත්ති බලන්න හිතුවෙත් මගේ පවුල සහ එයාලා වෙනුවෙන් වෙන් කරන කාලය ගැන හිතලා මිසක් රූපවාහිනියට නැත්නම් TV එකට ඇති ආකර්ෂණයක් හින්දා නෙවෙයි.

මාධ්‍ය සියල්ල පිළිබඳ පොදුවේ මට පැහැදීමක් නැහැ.
හේතු කීපයක්ම මත.
ඉන්දියානු මෙගා නාට්‍ය සිරසෙන් පටන් ගත්තම ඒක වසංගතයක් වගේ පැතිරිලා මං හිතන්නේ දශක දෙකක් විතර වෙලත් තාම ගැලවීමක් නෑ! මං ඉන්දීය සිනමා නිර්මාණ නොබලන කෙනෙක් නෙවෙයි. හොඳ ඒවා රසවත් ඒවා බලනවා,විඳිනවා. හැබැයි මෙලෝ රහක් නැති ඉන්දීය මෙගා නාටක මට අප්‍රසන්නයි. එකම මූණ කැමරා කෝණ දහයකින් විතර ළං කර කර ඈත් කරකර පෙන්නමින්, කතක් කතකලී නටන්නා වගේ ආලේපන තට්ටු ඇලවූ මුහුණුවල ඇසේ සිට නිකටේ මස්පිඬුව දක්වා චලනය මන්දගාමීව පෙන්නමින්, හෙට්ටිවීදියටම නැතිතරං අබරණ පළන්ඳගෙන ඉන්දියාවේම සාරි කඩ වැහෙන තරමට සාරි පෙරවාගෙන එකම ගෙයක් ඇතුළත පවුල් පිටින් ගේම් දෙන්නම ලෑස්ති වුණ ඒ බහුභූතයන් බලනවාට වඩා ප්‍රසන්න දේවල් මේ ලෝකේ තව තියෙනවා කරනවා නම් කරන්න! 
ඊටපස්සේ ගෙනාවා කොරියානු රැල්ල. ඒකත් ඒ වගේනෙ, වෙනසක් නෑ. ඔක්කොටම වඩා මට ඒ කතාවල ගැහැණු පිරිමි අතර වෙනසක් හොයාගන්න බෑ, සේරම එකම විදියට සුකොමළයි පියකරුයි. 
ලංකාවේ මෙගා ගහන්න ගත්තම ඒකයි අරවයි අතරත් වැඩි වෙනසක් නෑ. 
දෙරණ මම බලලම නෑ, ප්‍රවෘත්තිවත්. අවුරුද්දකින් විතර. එච්චරට ඒකේ යන නාට්‍ය මට අප්‍රසන්නයි! 
ITN තවම යම් තරමක standard එකක් තියාගෙන නාට්‍ය තෝරාගන්න බව පේනවා. ජාතික රූපවාහිනිය, සිරස බලන්නෙම නැති තරම්. 

ඊට පස්සේ පටන් ගන්නවා පත්තරේ කියවන්න. ස්වර්ණවාහිනියෙන් වෙන්න ඇති පටන්ගත්තේ හැබැයි ඔක්කොටම ඕන වෙනවා පාන්දර පත්තරේ කියවලා ඔස්තාද්ලා වගේ ඔපීනියන් දෙන්න. රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔක්කොම ඒක පටන් ගන්නවා. දෙරණේ චතුර ටිකක් හොඳට පටන් අරන් පස්සේ පස්සේ චොර කරගන්නකොට ස්වර්ණවාහිනියේ චමුදිත පටන්ගන්නවා. චමුදිත TNL එකෙන් බිහිවෙච්ච දක්ෂයෙක් බව ඇත්ත. ජනහඬෙන් චමුදිත කරළියට එද්දී තේරුණත් නොතේරුණත් තාත්තා එක්ක වාඩිවෙලා ජනහඬ ඇහුව නැරඹුව ඇටිකිත්තෙක් මම. හැබැයි දැන් උදේට චමුදිතගේ වැඩසටහන ඇහුවම (මට නං ඇහුණම) දවසම මුස්පේන්තුයි! ප්‍රශ්න තියෙනවා. රටට සහ පුද්ගලයන්ට විවිධාකාර ප්‍රශ්න තියෙනවා. හැබැයි චමුදිත ඇතුලු මේ බොහෝ දෙනා කරන්නේ පත්තර කියවන මුවාවෙන් ඒගොල්ලොන්ගේ පෞද්ගලික මත සහ ඒ ඒ මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන එක. පොඩි දේ ලොකු කරන්න, බරපතල දේ ලඝු කරන්න, ඇත්ත බොරු කරන්න, බොරු ඇත්ත කරන්න මේ අය පැකිලෙන්නේ නෑ! එහෙම කළොත් නේ අපි හම්බ කළොත් අපි කනවා වෙන්නේ. හැබැයි උදේ පාන්දර ඉඳන් මිනිසුන්ගේ ඔලු කුරුවල් කරන එක තමයි වැඩියත්ම වෙන්නේ! මොන ප්‍රශ්න තිබ්බත් බොහොම සුබවාදී ආකල්පයෙන් ප්‍රසන්නව දවස පටන් ගන්න මං නං කැමතියි, ඔබ කොහොමද දන්නේ නෑ. එහෙම මනුස්සයෙක්ට අර වගේ අඳෝනා, ක්‍රෝධයෙන් අසුබවාදී ආකල්පයෙන් පිරිච්ච දේවල් අහන්න වෙන එක තරම් මූසලකමක් තවත් නෑ! 

ඊළගට සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කියවීමේ කලාව වෙනස්වීම. ජාතික නාලිකාව පවා මේසේ යටින් ප්‍රවෘත්ති නිවේදිකාවගේ කකුල් පෙන්වීමෙන් තරගයට අවතීර්ණ වුණා මහාචාර්ය ගංගානාත් දිසානායකගේ ධූර කාලයේදී. ඔය නාට්‍යානුසාරයෙන් ප්‍රවෘත්ති කියවීම පටන්ගත්තේ පෞද්ගලික මාධ්‍ය නාලිකානේ. ඊටපස්සේ ඒ කතන්දරේ ආටක නාටක තත්ත්වයට පත්වුණා බොහොම වේගයෙන්. කෙනෙක් අනතුරකින් හරි දිවිනසාගෙන හරි මළා නං අපේ මාධ්‍ය ඒක පොඩි පහේ වෙසක් නාට්‍යයක් කරගන්නවා ප්‍රවෘත්තිවලට ඔබන්න. ඒක වුණු තැන ඉඳන් මැරුණු මිනිහා ජීවිතේටවත් නොහිතන්නත් ඇති සිතුවිලි උපකල්පනය කරලා පසුබිම් කථන හදනවා මිනිහා වලෙන් නැගිටලා "මට එහෙම හිතුණේ නෑ ඕයි" කියන තරමට! ගෙදර වැලපෙන දෙමව්පියන්, දරුවන්, භාර්යාවන්, ස්වාමි පුරුෂයන් තව අඬවමින් ප්‍රශ්න කරනවා, ඔවුන්ගේ දුක අමුඅමුවේ ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් කිසිම හිරිකිතයක් නැතුව ලෝකේටම පෙන්නනවා! ආයෙමත් දවසක ඒ අවස්ථා දැක්කම ඒ මිනිස්සුන්ට දුකකට වඩා දැනෙනවා ඇත්තේ අමුම අමු ලැජ්ජාවක්!! 

කාන්තා වැඩසටහන් කියලා උදේ ඉඳන් එක එක හැඩැති ලලනාවො, දොස්තරලා, රූපලාවන්‍ය ශිල්පියෝ, කෝකියෝ ආදී එකී මෙකී නොකී හැමෝම ගෙන්නලා හැම නාලිකාවකම කාලේ කනවා. ඕවා බලන මිනිස්සු ඉන්නවා ඇති. හැබැයි බලාපොරොත්තු වන තරම් ප්‍රතිඵල තියෙනවද? 
ඒ කාලය විශේෂයෙන්ම, පාසැල් අධ්‍යාපනය අඩපණ වෙච්චි අවුරුදු දෙකක් තුනක් ඇති අපේ දරුවෝ වෙනුවෙන් වෙන් කළා නම් මොකද?? 

ඊටපස්සේ යනවා තරු එක්ක පිළිසඳරවල්. තරහවෙන්න එපා මෙහෙම කියනවට, ලංකාවේ 'තරු' නැහැ! හිටියා, දැං නැහැ. 
කව්රුහරි ඉතින් එකම සෙට් එක ගෙන්නනවා. ඒ යක්කු ඇවිත් රටම ඉස්සරහ කරන ඒවාට දකින අපිට ලැජ්ජ හිතෙනවා උන්දැලට නැතිවුණාට. පෙරේදා හවස කාපු එකේ ඉඳන් අන්තිමට රමණය කළ එක වෙනකල් ඕපාදූපයි මෝඩකමයි ලැජ්ජානැතිකමයි දෝරේ යවනවා! ඉස්සර ලංකාවට හිටියා ඇත්තටම හොඳ නිර්මාණ කරලා මතක හිටින රඟපෑම් කරලා තවම ප්‍රශංසාවට ලක්වන කලා ශිල්පීන් ශිල්පිනියන්. තරුත් හිටියා. හැබැයි තව අවුරුදු දහ පහළවකින් 'ප්‍රවීණ' ලේබලය නමට ඉස්සරහින් අලවගන්නෙ මේ නාලිකාවල චැට් වැඩසටහන්වලට ඇවිල්ලා බට්ටා පනින, ගුඩු පනින, ගොබ්බ කතා කියන, වැරදි වැරදි සිංදු කියන්න තටමන නලුනිලියෝ නේද කියලා මතක් වුණාම ලංකාවේ කලාව වලපල්ලට යෑම ගැන එච්චර පුදුමයක් දැනෙන්නෙත් නෑ. 

පරණ කලා ශිල්පීන් ශිල්පිනියන් බහුතරයක් අපි නොදැනම අවසන් ගමන් යනවා. සමහරු මැරුණද දන්නෙත් නෑ. අසරණවෙලා ඉන්නවා. අසනීපවෙලා ඉන්නවා. ඒවා ගැන කතාවක්වත් නෑ! මෙච්චර මාධ්‍ය දියුණු යුගයකත් මාධ්‍ය නාලිකාම හැටහුටාමාරක් තියෙන රටකත් ඒ වගේ මිනිස්සුන්ට නිසි ඇගයීමක්, අවධානයක් නෑ! දවස ගානේ අර තුට්ටු දෙකේ තොරොම්බල් කෑලි උඩදදා ඉන්නවා! 

දේශපාලන වැඩසටහන්. 
හැම නාලිකාවකම දිනපතා තියෙනවා. මේ කතා කරන කතා කිරිල්ලේ හැටියට ලංකාව තියෙන්න ඕන මෙලහකට ලෝකයේ බලවත්ම රාජ්‍යය වෙලා. බලවත් කෙසේ වෙතත් දැන් එදා වේල ට්‍රැවල්ස්වත් නැති ගානට ගිහින් තියෙන්නේ. ඉස්සර දේශපාලන වැඩසටහනක් බලන්න ආසයි. පොඩ්ඩක් හරි වැදගත් දෙයක් කියැවෙනවා. සමහර වැඩසටහන්වලට දැන් ආරාධිතයා එනවා, අන්තිමට ආරාධිතයට වඩා කතා කරන්නේ නිවේදකයා/යෝ. අර එන මිනිහා බුකවං බලං ඉන්නවා. ඉඩක් හම්බුණොත් වචන කීපයක් කියනවා. ඒකත් වාක්‍යය ඉවර කරන්න කලින් නිවේදකයා හෝ නිවේදක රැළ බුරාගෙන පනිනවා! අන්තිමට ගෙන්නපු මිනිහගේ කාලයත් අපරාදේ, ප්‍රේක්ෂකයාගේ කාලයත් අපරාදේ. නාලිකාව නං දැන්වීම් ටික ගාණට මිම්මට දුවවලා ආදායම තිර කරගන්නවා. 

රියැලිටි වැඩසටහන්. රියැලිටි ආව කාලේ පට්ට. දැන් ඒකේ කාලේ ඉවරයි. ඒක තමයි මගේ මතය. දැන් අර වංශේ කබල් ගාන්න ඕන නිසා අදියර නවය දහය කිය කියා ඇදගෙන යනවා. මාත් රියැලිටි බලන්න පුරුදු වෙලා හිටියා. හැබැයි පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මට මතක හිටින දක්ෂයෙක් දැකලා නෑ. ඒ වෙලාවට හොඳයි.
ඒ ඇරුණම ඉතින් ප්‍රාසාංගිකත්වය මිසක් ගායන දක්ෂතාවය දැන් රියැලිටිවල මැනෙනවාද කියන සාධාරණ සැකය මට තියෙනවා. 

මාධ්‍යවලින් මවන ප්‍රහසන එන්න එන්නම කෘත්‍රිම වීගෙන එනවා. පිරිමි ගැහැණුන්ට අඳිනවා, ගැහැණු පිරිමින්ට අඳිනවා. හිනා නොයන මෙලෝ රහක් නැති විහිළු දිහා ප්‍රේක්ෂකයෝ ඔහේ බලං ඉන්නවා. ඔච්චර නටන්නේ දඟලන්නේ නැතුව අපේ ගෙදර මිනිස්සුන්ව හරි හිනැස්සවීමට මට ඇති හැකියාව ගැන ඒ වගේ අවස්ථාවල මම නිහතමානීව ආඩම්බර වෙනවා 😂

තව අලුත් සෙල්ලමක් යනවා මොකද්ද මන්දා නාලිකාවක. පුංචි එවුන් දෙමව්පියන්ව ඉස්සරහ ඉන්ඳගෙන කතා කරවනවා. උං කියන එව්වද නැත්නං පිටපත ද මන්දා දෙපැත්ත කැපෙන කතාත් කියවෙනවා! අමු මෝඩ ගොබ්බ තකතීරු කතන්දර පොඩි උං ලව්වා ගිරව් වගේ කියවනවා. දෙමව්පියෝ හරි වීරකමක් වගේ හිකි හිකි ගගා හිනාවෙමින් ඒ දිහා බලං ඉන්නවා. මිනිස්සු ප්‍රසිද්ධිය වෙනුවෙන් කොයි තරම් විකාර අන්තවලට යනවද කියලා ලැජ්ජාවක් දැනිලා මාව ඇකිලිලා යනවා! 

ඒ ඇරෙන්න ප්‍රධාන වශයෙන් මාධ්‍ය නාලිකා බෙදාහරින තොරතුරුවල නිරවද්‍යතාව සහ සත්‍ය අසත්‍යතාව ගැන මට විවාදාත්මක මත තියෙනවා. කිසිම මාධ්‍ය නාලිකාවක් (රූපවාහිනී සහ ගුවන් විදුලි) සමබර නෑ. ඒ හැමෝම ව්‍යාපාර විදිහට තමන්ගේ මතය, දේශපාලනය අනුව තමයි මාධ්‍ය හසුරුවන්නේ. ඒක දිලිත් ජයවීරට විතරක් අදාළ නෑ. මහාරාජා, රෙනෝ, ශාන් පවා එහෙම තමයි. දැන් ඒක බරපතලයි. 
මම අප්‍රේල් 17 ලිව්ව කොටසක් මේ: "හීන සහ යථාර්ථය දෙකක්. ඔය දෙක අතර දෝලනය වෙමින් තමයි අපි පවතින්නේ.
සමහර රැළි ප්‍රායෝගික නෑ, හීනෙට බරයි යථාර්ථයට ටිකක් දුරයි. එහෙම රැළි උස්සලා දෙන අයම රැල්ල තමන්ට අවාසි වේගෙන එද්දි අනික් පැත්ත ගහනවා. ඒක ඒකාන්තයි." 
(https://tharuwehi.blogspot.com/2022/05/blog-post_83.html?m=0) 
මාධ්‍ය කාලෙන් කාලෙට එක එක රැළි උස්සලා දෙනවා. හැබැයි එයාලගේ ව්‍යාපාරයට, පැවැත්මට හෝ පසුබිම් දේශපාලනයට අනතුරක් වෙන තත්වයකට එද්දිම අනික් පැත්ත ගහනවා. නැත්නම් රැල්ල උස්සලා උස්සලා දීලා නොහිතුව විදිහට උස්සලා පොළොවේ ගහන්නත් පුළුවන්. 

ඔය සේරම කරලා පව් සමාකරගන්න CSR (Corporate Social Responsibility) වැඩසටහන් කරනවා. (බලන්න මාධ්‍ය හැසිරීම එක්ක බැලුවම ඒ වචන තුනම කොයිතරම් නම් විහිළුවක් ද කියලා!). පෝයදාට පන්සල් ඒකාලෝක කරනවා. දාන බෙදනවා. ගංවතුරක් නියගයක් ආවම දාන මාන, පරිත්‍යාග කරනවා. 
ඒ එක මොහොතකට. 
හැබැයි ඒ මොහොතට බෑ අර ඉතිරි දවස් 364දී පැය 24පුරා කරන හානිය පියවන්න! 
ලංකාව අද පත්වෙලා ඉන්න තත්වයට දේශපාලකයෝ තරමටම සියලු මාධ්‍ය වගකියන්න ඕන. හැම ප්‍රශ්නයක්ම නිර්මාණය කිරීමේ සිට පෝෂණය කිරීම දක්වා මාධ්‍යවල භූමිකාව සුලුපටු නැහැ. ඊටපසුත් මාධ්‍ය සදාචාරය, මාධ්‍ය වගකීම, වගේ වැල්බයිලා ගයා ගෙන එද්දි ප්‍රේක්ෂකයා අතුල් පහර නොදීමේ ආනිශංස තමයි මේ රටක් හැටියට ලෝකයක් ඉදිරියේ පීචං වෙමින් අපි අද විඳවන්නේ! ජනප්‍රිය වෙන්න, නාලිකාවේ දර්ශක ඉහළ යවාගන්න ඕනෑම කුණු මල්ලක් දිග හැරීමේ මාධ්‍ය භාවිතය නවත්ත ගන්න තිබ්බා ප්‍රේක්ෂක කකුලුවොත් කෙළින් ගියා නං! 

එහෙම දවසක්... හීනයක්! 

~✒️ Aash Weerasinghe

#SLmedia #JournalismIsDead #mediaincrisis #responsiblemediaconsumption #lka #damagebymedia

Tuesday, June 28, 2022

කැබ් මාෆියාව

අපි මහ පුදුම ජාතියක්!

අර්බුදයක වුණත් ආතල් ගන්න වගේම කලදුටු කල වල ඉහගන්න දක්ෂ අපි තරං දසයෝ ලෝකේ වෙන ඉන්න බෑ. හරි ආඩම්බරයි.🇱🇰

ඉන්ධන නෑ. තිබ්බත් නැතත් පෝලිම් වැඩිවෙනවා මිසක් අඩුවක් නෑ. තියෙන එකාට තියෙනවා නැති එකාට ඇත්තේම නෑ. තියෙන එකා නැති එකාට ගිණි ගානට විකුණනවා. නැති එකා නැති කමට ගන්නවා. තියෙන එකා/අර්බුදය බිස්නස් එක කරගත්ත එකා කූඹින්ට වඩා කඩිසරව සෙට් පිටින් එක එක තැන්වල පෝලිමේ තියලා හරි තමන්ගේ තෙල් සංචිත තර කරගන්නවා. ලක්ෂ ගණංවල වාහනත් කෝටි ගණංවල වාහනත් එකම ඉරණමට මූණ දීලා ගරාජ්වල, මිදුල්වල අබාධිතවෙලා බලං ඉන්නවා.

එකම හොඳකට තියෙන්නේ අන්තිම දුප්පතාගේ ඉඳන් දාඩිය දාන්න තෙරපෙන්න අකමැති කෙරුමා වෙනකල් බහුතරයට පොදු ප්‍රවාහනයේ පිහිට පතන්න වෙලා තියෙන එක. 
 
ඉස්සර අපිට තිබුණේ ත්‍රීවීල් මාෆියාවක්. දැං ඒ මාෆියාව දරුණු අන්තයකට යනගමන්ම සමස්‌ත කැබ් රථ ව්‍යාපාරයම දරුණු මාෆියාවක් බවට පත්වෙලා ඉවරයි. කොටින්ම Pickme සහ Uber ප්‍රමුඛ කැබ් ව්‍යාපාර ඉන්නේ ෂයිලොක්ගෙනුත් එහා තැනක! 
ඊයේ රෑ මම කිලෝමීටර් 20ක විතර දුරක් යන්න, පැය තුනක් තිස්සේ, ජංගම දුරකථන දෙකක ඇප් තුනක් ට්‍රයි කළා. එක්කෝ ටුක් එකක්, එක්කෝ කාර් එකක් ගන්න. ඒ පැය තුන ඇතුළත මිල නැගීම සාමාන්‍ය මිලේ සිට රුපියල් 1000-1500ක වෙනසක්! ටුක් සහ කාර් අතර මිල වෙනස රුපියල් 50ක් 100ක් තරම්! ඊළගට ඇප් ඕන් කරන් ඉන්න කැබ් (ටුක්/කාර්) එක request එකක්වත් ගන්නෙ නෑ. සමහරු ගන්නවා, අරං කෝල් කරනවා. කොහෙටද යන්නේ, කීදෙනෙක් යනවද, පෙන්නන ගාණ කීයද, රෑට කාලද බීලද නෑවද යනාදී නානාවිධ ප්‍රශ්න කෝටියක් කෙළවර 'ආ දැං එන්න බෑ. පෙට්‍රල් නෑනෙ ළග තියෙන එකක් ගන්න' කියනවා. ළග තියෙන්නේ මන්නයක් ඒක ගත්තට කමක් නැද්ද කියලා අහන්න හිතිලා ඒත් කට වහං ආයිත් මුල ඉඳන් ට්‍රයි කරනවා.

ඊළගට Uber කාර් එකක් තව hire එකක ඉන්න ගමන් මගෙ request එක ගත්තා. ඒ ගමන ඉවර කරලා මං හිටි තැනට එන්න ඇප් එකේ පෙන්නුව වෙලාව විනාඩි 22ක්. මිල 2105ක්. මම වාහනයක් හම්බවීමේ සැනසීම විඳිමින් බලං ඉන්නකොට විනාඩි 15කට විතර පස්සේ ආවා කෝල් එකක්.
"කොහෙටද යන්න ඕන" (ඇප් එක පැහැදිලිව යන ප්‍රදේශය දක්වනවා මගෙ දැනුමේ හැටියට)
"(උත්තරේ)"
"කීයක් පෙන්නනවද"
"(නුරුස්නාව ඉවසා දරාගෙන) 2105යි."
"ආ වැඩිපුර පන්සීයක් දෙන්නකො"
"දැනට මේ පෙන්නන ගාණත් සාමාන්‍ය මිලට වඩා වැඩියි, ඉතින් ඇයි වැඩිපුර ගෙවන්න ඕන"
"නෑ මේ පෙට්‍රල් ප්‍රශ්නනෙ"
" (ඇයි දැන් මම 500ක් වැඩිපුර දුන්නම ලංකාවට ජෙට්වලින් පෙට්‍රල් අදීද නැත්නම් මම ක්‍රිස්තුස් වහන්සේ රොටි මැව්වා වගේ පෙට්‍රල් මවයිද කියලා හිතෙන් බණින ගමන්) නෑ තව වැඩිපුර නං දෙන්න බෑ මිස්ටර්. ඕන නං hire එක කැන්සල් කරලා ඒ ගාන ඔයාට කෙලින්ම දෙන්නං එතකොට commission කැපෙන ප්‍රශ්නයක් නෑනේ.
(ඔය cancel කිරිලි, commission කැපෙන අඳෝනා ඒවත් කැබ් මාෆියාවෙන්ම ඉගෙනගත්තුවා තමයි)
"නෑ නෑ දැං කොහොමත් commission කැපෙන්නෙ නං නෑ. ඒක නවත්තලා තියෙන්නේ. හැබැයි එහෙම කැන්සල් කරලා ගියාම මට ඒ යන පැත්තෙන් අලුත් hire එකක් වදින්නේ නෑ"
"ආ ඒකත් එහෙමද. නෑ එහෙනම් කමක් නෑ මම වෙන කැබ් එකක් ගන්නං"
"නෑ නෑ 500ක් දෙන්න බැයිද කියන්නකො ඔයාට"
(මගේ උත්තරය සිටි ස්ථානයට නොගැලපෙන නිසා ගිලගෙන, ඇමතුම විසන්ධි කළා)

Uber එකේ 2105ක් පෙන්නද්දි pickme ඒ වර්ගයේම කාර් එකක් 2800ක් ටුක් එකක් 2400ක්! ඔය ඇප් දෙකේ මිල උච්චාවචනය වෙනමම තරඟයක්!

ඊටපස්සේ pickme tuk එකක් අමාරුවෙන් වගේ දිනාගෙන ගෙදර එන්නේ රුපියල් 1800කට 2000ක් ගෙවලා!

මම හිත හදාගත්තා ඒ රෑ කියලා.
නෑ උදේ දවලුත් එහෙමම තමයි!
එකම request එකක්වත් ගන්නෙ නෑ. ගත්තත් ආයිත් අර සංවාදයම තමයි සිද්ධවෙන්නේ.

⚠️ඔතන තියෙන වැදගත්ම ප්‍රශ්නය, පෙට්‍රල් ප්‍රශ්න නං අහවල් කාරණයක් උදෙසා ද ඇප් ඕන් කරං එන එන request එක accept කරන්නේ කියන එක! 
අනික hire එක කැන්සල්කරලා සම්පූර්ණ මුදල ගන්න හරි වැඩිපුර මුදල් ලබා ගන්න හරි මේ අදාළ ආයතන ඉඩදෙන්නේ ඇයි කියන එක! මේවා පැමිණිලි වෙන්නේ නැද්ද? ට්‍රැක් වෙන්නේ නැද්ද? කොහේද පාරිභෝගික අයිතීන්, පාරිභෝගික ආරක්ෂාව? 

බුකිය කළඹවමින් පහුගිය දවස්වල පැතිරුණු විහිළුවනෙ ත්‍රීවීල් සංගම් ඉන්ධන ප්‍රතිඅපනයට සූදානම් කියන එක😂 මේ සිද්ධවෙන දේවල් දිහා බැලුවම නම් ඒකත් නොවෙන්නත් බැරි නෑ වගේ හැඟීමක් එනවා. ලීටරයකට ත්‍රීවීල්, පොඩි කාර් කරන කිලෝමීටර් ගාණ බැලුවම මේක ගිණිකෑමක් නෙවෙයි නං මොකද්ද කියලා තමයි අහන්න වෙන්නේ! ඔව් දවසකට ඒ වගේ හයර් හතරක් පහක් ගිහින් අර වගේ කැන්සල් කරවගෙන සම්පූර්ණ මුදලම තමන් අතට අරං හරි හෙට්ටු කරලා වැඩිපුර මුදලක් කඩාගෙන හරි බැලුවම හොඳටම කරලා තියෙන්නේ ඒගොල්ලො තමයි! එතකොට පෙට්‍රල් පෝලිමේ දවස් තුනක් නෙවෙයි සතියක් බූරු ගගහා හිටියත් ලොකු අවුලක් නෑනේ.

තව ඔය වගේම ත්‍රීවීල් "කාරයෙක්" ඉන්න ලොකේෂන් එකට මීටර් සීයක් ඉස්සරහට එන්නේ නැතුව නවත්තගෙන ලොකු කයිවාරු ගහන්න ගත්තා ඊට දවස් කීපයකට කලින්. ඒ වෙලාවෙත් මහන්සිය වැඩිකමට ඉවසීමෙන් කතා කළා. ඒ උත්සහ කළෙත් වැඩිපුර ගාණක් කපාගන්න! අන්තිමට මිනිහම හයර් එක කැන්සල් කරලා මට විරුද්ධව පැමිණිල්ලකුත් දාලා ආවට පස්සේ මං ප්‍රතික්ෂේප කළා කියලා! පුදුම නාටක මේ මාෆියාවේ වෙන්නේ! විශේෂයෙන්ම මේ දවස්වල. 

පොදු ප්‍රවාහනය ගැන ආයෙත් කතා කරන කාලෙක රුපියල් 30ට 40ට ඔය දුරම ගෙනියන දුම්රිය සේවය බලන්න. සුද්දගේ කාලේ ඉඳන් ක්‍රියාත්මක වෙලත් තවම කිසිම රජයක් කිසිම කළමණාකාරීත්වයක් යටතේ දියුණු කරලා නැහැ. යන්තම් අටවාගෙන යාමක්නෙ තියන්නේ (සාමාන්‍ය සේවය). ඒ වගේම ඉතින් අපේ මිනිස්සුන්ටත් නිකං දෙයක් ලැබුණම ඒත විනාශ කරනකල් නින්දක් නැති නිසා අලුත්ම දුම්රිය මැදිරිවලට පවා කරලා තියෙන විනාශ නිමක් නැහැ. මේක මගෙ රටේ දෙයක් මම පහසුවෙන් යන්නේ මේක නිසා කියලා හැඟීමක් ඇත්තේම නැහැ! ඒවා තමයි එක අතකට දැන් මේ ලංකාවටම සාපයක් වෙලා විඳවන්නේ! 

බස් ගැන කතා නොකර ඉමු. ඔක්කොම ඉවසන්න පුලුවන් අර උදේම කහඹිලියා කැඳ බීලා බස් එකට නගින රියදුරු මහත්මයගේ නොනවතින තිරිංගගායයි කොන්දොස්තර මහත්මයගෙ කරින් කරට පැන නටන වන්නම්ගායයි නැත්නම් මීට වඩා ටිකක් සුවපහසුවෙන්න තිබ්බා. 

මං මේ ටික අර්බුදය පටන්ගන්නකොටත් කිව්වා. අනුන් හදන්න කලින් තමන් හැදෙන්න ඕන කියලා. ඒ කිව්වම ගොඩක් සුද්ධෝදන පරම්පරාවේ අයට ඌයියා වුණා. 
අද දේශපාලනය මාෆියාවක් තමයි! හැබැයි ඒ මාෆියාවට ඇඟිල්ල උරුක් කරන මහජනතාව අතර ක්‍රියාත්මක මාෆියාව ඊට වෙනස් නැහැ! හැබැයි අන්තිමේදී උනුත් එකයි මුනුත් එකයි කියලා හැමෝම බැටේ දීලා තියෙන්නේ අපි අපිටම තමයි. කලුකඩ මාෆියාවේ ඉඳන් හැම කලදුටු කල වල ඉහගැනීමකම ගොදුරු වෙලා ඉන්නේ අපි අපිම තමයි. 
තේරෙයි, කල් යයි!!

✒️ Aash Weerasinghe

Uber PickMe Consumer Affairs Authority 

#අපේඅර්බුද #ලංකාමාතාකොයිබටද #අපේමාෆියා #uber #pickme #ceylonrailways #publictransortSL #lka

Wednesday, June 8, 2022

සහකම්පනය

ඇඳුම් කඩවල වෙනදා තරමට නැතත් තරමක සෙනගක් ඉන්නවා. මටත් වෙනදා විදිහට වියදම් කරන්න නෙවෙයි නමුත් අවශ්‍යතාවයකට සහ පොඩ්ඩක් මනස නිදහස් කරගන්න කියලා ඇඳුම් කඩේකට ගොඩ වැදුණා. ඒවා පුදුම stress busters වෙන්නැති. ඒත් ඉතින් ගෑණුනේ😉 අනික අපි මානසික සැහැල්ලුව ඇතිකරගන්න හැටිත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්නේ.

එතන අයිනක තියෙන පුටු පේළියක වාඩිවෙලා මගේ වයසෙම විතර කාන්තාවක් ෆෝන් එකෙන් බණක් අහනවා. ලාවට ස්පීකර් දාගෙන. මට හිනා ගියේ නෑ! හිනා යන්නෙත් නෑ!
ජීවිතේ හරි පුදුමයි නේද. මිනිස්සු එක එක විදියට දේවල් පිළිගන්නවා. එක එක විදියට සැහැල්ලු වෙන්න උත්සාහ කරනවා. එක එක විදියට ජීවිතේට මූණ දෙනවා. සමහර වෙලාවට එයාත් අමාරුම අවස්ථාවක් පහුකරමින් ඉන්නවා වෙන්න ඇති. එයා ළග තිබ්බ රාක්කෙ දේවල් කොච්චර ආකර්ෂණීය වුණත් ඒ මනුස්සයාගේ නිදහසට බාධා නොකර මං වෙන පැත්තකට ගියා. සමහරවිට පුරුද්දට අහනවා වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ වෙලාවේ ලොකු ගැටලුවක ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒත් නැත්නම් ඒ මනුස්සයට නිදහසේ හුස්මක් අරං වාඩිවෙලා ඉන්න ලැබුණෙ ඒ සුලු මොහොතක් විතරක් වෙන්නත් පුළුවන්. ඒත් නැත්නම් කකුල් පණ නැතිවෙලා ඉන්ඳවෙන තරමට ආව දුක ආවේගයකින් මිදෙන්න හිතුවා වෙන්නත් පුළුවන්.

සහකම්පනය වැඩිවුණාමත් ඒක මහ සාපයක්. සහකම්පනය හිරිවැටුණමත් ඒක මහ සාපයක්.

සමහරවිට තනියා උත්ථානය වෙන්නත් පුළුවන්. 

✒️ Aash Weerasinghe

#AW #thaniya #empathymatters

Wednesday, June 1, 2022

අතරමං වූ කිරිල්ලී

කාලෙකට පස්සේ ඇහුණ සිංදුවක්. 

මේ සිංදුව අහද්දී පටාචාරාගේ ඉඳන් අටලුගම ආයීෂා වෙනකල් විවිධාකාර වේදනා වින්ඳ හැම ගෑණියෙක්ම මගෙ ඔලුවට එනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මොන කාරණාවක් මුල් කරගෙන මේක ලිව්වද කියලා මම දන්නේ නෑ. ඒත් ඒ වචන, බහුතරයක් ගෑණුන්ට පොදුයි කියලා හිතේ ගැඹුරක ඉඳන් කිණිසිතුඩකින් කපාගෙන යනවා වගේ දැනෙනවා.

නොදැක නිකළැල් චේතනා ලබා අපමණ වේදනා //
දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈ
තනි වුණා ගම් දනව් මැද මහ රෑ

බහුතරයක් ගෑණුන්ට ඕන නිකැළල් චේතනා. ඇත්තටම බැලුවම ගෑණුන්ගේ ජීවිතවල වැඩි කාලයක් ගත කරන්නෙත් නිකළැල් පාරිශුද්ධ චේතනා හොයන්න, හොයාගන්න, හම්බවුණ චේතනාවල නිකළැල්භාවය වලංගු ද කියලා සාක්ෂාත් කරගන්න. ඒත් එහෙම ඒවා හම්බවෙලා ඇත්තේ කීයෙන් කීදෙනෙකුට මේ ලෝකේ! ඔය කොටස අහද්දී මට මැවෙන්නේ නොමළ ගේකින් අබ මිටක් හිඟමින් ගිය කිසා ගෝතමීම ආදරය හොයමින් ගෙයින් ගෙට යනවා වගේ. ඒ කිසා ගෝතමීගෙම වෙනස් හැඩ මේ ලියන මොහොතේත් එහෙම කරනවා ඇති ලෝකේ ගොඩක් තැන්වල. ආදරේ වෙනුවෙන් හැමදේම කැපකරලා රිදවීමට ලක්වුණු දහස් ගාණක් ගෑණු පාලු ගමක ගෙයින් ගෙට ආදරේ හිඟමින් යන හැටි එක මොහොතකට හිතන්න, ඒ මවා ගැනීමම කොයිතරම් හිත රිද්දනවද කියලා. ඒ එක ගෙදරකවත් ආදරේ හොයාගන්න නැතිව මහා අන්ධකාරෙක පාලු ගමක් මැද්දේ තනිවුණාම දැනෙන හැඟීම හිතාගන්න පුළුවන් ද? 
ඒ හැඟීම ජීවිතේ එක සැරයක්වත් අත්නොවිඳපු ගෑණු මේ ලෝකේ ඇත්තේ අතලොස්සක්. අපි ප්‍රසිද්ධියේ කතා කළත් නොකළත් ඒ වගේ අත්දැකීම් බහුතරයකට තියෙනවා. 

බිඳී හද රැඳි භාවනා හඬා කළ ආයාචනා //
කැදැල්ලේ රඳවා පලා ගිය ඈ
වැළපුනා යලි ඝන වනේ ගිනි ලෑ

ජීවිතේ සමහර දේවල් වේදනාවක් කියලා දැනදැන, විනාශයක් කියලා දැනදැන ආදරේ නාමෙන් අල්ලං හිටිය ගෑණු එක කඳුළක් නොහෙලා ඔය වචන පේළි දිගේ වාඩිවෙලා ඉන්නවා මට මැවෙනවා. ලෝක ලැජ්ජාවට, ආදරේට, දරුවෝ වෙනුවෙන්, සමාජයට බයෙන්, බලහත්කාරකම්වලට අතවරයන්ට බයෙන් යන්න හදන මිනිස්සු ආයාචනා කරමින් නවත්තගත්ත ගෑණු උපේක්ෂාවෙන් ඒ වචන අස්සේ බලං ඉන්නවා. ඉවසන්නම බැරි තැන්වල ඉවසලා, ඒ ඉවසීම පරමාණු බෝම්බ වගේ පුපුරා ගියාට පස්සෙ ජීවිත කාලයම ඒ ඵලවිපාක ශේෂ වෙච්ච ජීවිත තියෙන ගෑණු ඒ වචන පේළි අස්සේ තාම නොනිවෙන ගිනි ලෝකෙන් හංගන්න උත්සහ කරනවා. තමන්ගෙම තීරණ තමන්ටම සඳුන් ලීයෙන් නැතිව ඇල්බීසියාවලින් චිතක හදලා දුන්නහම පණපිටින් ගින්නට පැන්න ගෑණුන්ගේ සිරුරු දැවෙන අපුල ගඳ ඔය පේළි අස්සේ කැකෑරෙනවා. 

දුක ඒකට වඩා.. 
එහෙව් ගෑණු තව ගෑණියෙක්ට ගහන්න පළවෙනි ගල අතට ගන්න එක. කතාවක් හදන්න, හිනාවෙන්න, හිත රිද්දවන්න මුල්වන එක. ඇත්තටම අර වචනවල දෝරේ යන වේදනාව දන්න ගෑණුන්ට පුළුවන් ද එච්චරටම හිතපිත් නැතිව හැසිරෙන්න? තමන්ටම වෙනකල් තේරුම් ගන්න බැරිතරම් සහකම්පනය හිරිවැටී තිබීමම කොයිතරම් නං පවක්ද. ගෑණියෙක් තව ගෑණියෙක්ට දුකක් නොදෙන්න තීරණය කරනතාක්කල් මේ හැම සංවාදයක්ම, හැම වචනයක්ම නිකම් හිස් වචන විතරයි. 
ඒ හිස් වචනවලට පණ දෙන්න පුළුවන් ආදරණීය හෙටක් අනෙක් ගෑණුන්ට ගේන්න පුළුවනුත් ගෑණුන්ටම විතරයි. 
එහෙම දවසක, අතරමං වූ කිරිල්ලියෝ හුඟදෙනෙක් අනාථ වෙන එකක් නෑ. තනිවෙන එකකුත් නෑ. අත්තටු දාස් ගාණක් වියනක් වගේ එකට එතිලා එහෙම අයව රකී. 
ඒක ප්‍රාර්ථනාවකට වඩා හීනයක්!🤍

✒️ Aash Weerasinghe

https://youtu.be/U-NFusQ1NMA