Tuesday, November 7, 2023

කාණු සහ කුණු කාණු

ඊයේ හවස පැය එකහමාරක් නොසෙල්වී එකම තැන. කොටින්ම මම පැය බාගයක නින්දක් දාලත් ඇහැරුණා! අදත් එහෙමයි, කිසි වෙනසක් නෑ.

හේතුව කොළඹට ගංවතුර. ගං කිව්වාට ගංම නෙවෙයිලු, කාණු අවහිර වීම හන්දා වැහි වතුර පාරෙන් ගලනවලු! මිනිස්සු කාණුවලට කුණු දාලලු!

ඒක වෙන්න බෑ!
මේ අපේ මිනිස්සු? ඉන්න තැන පාන් රොඩ්ඩක්වත් නොදාන අපේ රත්තරන් මිනිස්සු? ස්වයංවිනයක් හදපු සිස්ටම් චේන්ජ් කරපු අපේ සුන්දර මිනිස්සු කාණුවලට කුණු දානවා කියලා මට නං විශ්වාස කරන්න බෑ!!

පහුගිය දවස්වල බේරේ ළගින් යද්දි නිල් කැටේට වතුර ටික. ඒක දැක්කා නං බයියෝ නෙවෙයි ජෙපි කුරුටු නිරාගමික ඒ සේරමලා පැනලා නානවා ඇතිවෙනකල්! එහෙව් කොළඹ කොහෙද අප්පා කුණු? අනික කාණුවල දාන්න තරං! 😏

මේවා බොරු කතා!
රනිල් වික්‍රමසිංහ කොහෙහරි කාණුවකට පොරොප්පයක් ගහලා වෙන්නැති!
ඉන්න බෑනෙ එයාටත් ඉතින් මිනිස්සුන්ට වින නොකර.

ජනාධිපති මාමේ, ප්ලීස් ඔය පොරොප්පෙ ගලවන්ට.

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

වැහිදා මනරං

කොළඹ යට කරන මහා මුරුගසන් වරුසාවක් වහී. දේව පූජාවකට කහ දියර ඉසීමෙන්වත් පිරිසිදු කරන්නට බැරි, පව් පිරි නගරය උපන් දා පටන් කළ පව් සෝදවන්නට වැහි දෙවියෝ අදිටන් කරගත්තාක් වාගේ මහ වැහි හතක් වසී. ඒ වැහි හා හා පුරා කියා ප්‍රේමයෙන් මුසපත් වූ ප්‍රේමවන්තයකුට හෝ ප්‍රේමවන්තියකට රෝමාන්තික හීන අහුරු මුකුළු කරන වැස්සක් නොවේ. සතුටකට තෙමිය, නැටිය හැකි වැස්සක්ද නොවේ. ඒ වියරු වැටෙන විරහවක් වාගේ වැස්සකි. ඇගේ ඇහින් වැටෙන කඳුළු තරම් විශාල වැහි කඳුළු හලන වැස්සකි. කාස්ටක හිත්පිත් නැති මෘග කොළඹ විසින් වියරු වැට්ටවූ පිටගම්කාර අහිංසකයෙකුගේ පිවිතුරු ප්‍රේමයෙන් කොළඹ දියකරවන වැස්සකි. හිල් ටකරං වහලක් යට, හීතලට බෙලෙක් කෝප්පයේ හරිස්චන්ද්‍ර කෝපි උගුරක් බොන මජ්නුටද රන් පැහැ මැණික් කැටැති චැන්ඩ්ලියර යට රසමසවුළු ගන්නා පවුල මගහැර බැල්කනියේ ටයිල් පොළව මත ඉඳ සෙරමික් කෝප්පයක නෙස්කැෆෙ බොන ලයිලාටද එකසේ දැනෙන වැස්සකි. රොටියක් තනා ලුණු මිරිසක් අඹරන්නට අතේ පිච්චිය නැති මජ්නුට ද පොදි ගහන්නට සල්ලි ඇතත් රොටියක් තනන්නට නොදන්නා ලයිලාටද මේ වැහි වියරුව තම ආත්මයන් දෙදරවාගෙන ඇස් වේලි කඩාගෙන එන්නාවූ කඳුළු තරම් තදින් දැනෙන රාත්‍රියක දෙවියන් ද සරදම් කරනා හැටියක්දෝයි සිතේ.

ඉතින්, හෙටත් වැස්සොත්...

#වෙන්ටසුජී

~✏️ Aash Weerasinghe 

#AW #thaniya #medusa #medusasjournal #lka  #adverseweather #trafficincolombo

Saturday, October 21, 2023

කාන්තා විමුක්තිය කෝකටත් තෛලයක්ද?

මම කාන්තා විමුක්තියේ හෝ ස්ත්‍රීවාදීත්වයේ අන්තවාදිනියක් නෙවෙයි. හැබැයි බොහොමයක් සංකල්ප වගේ කාන්තා විමුක්තිය, කාන්තා අයිතිවාසිකම් කියන මේ දෙකම සම්පූර්ණයෙන්ම බැහැර කරලා ජීවත් වෙන්නත් බැරි විවිධාකාර කෝණවලින් සිදුවීම් දිහා බලන්න සිද්ධ වෙන ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඔව්, පීඩිත කොටසක් වෙනුවෙන් හඬ නඟන සමහරු මී කඩන්නේ අත ලොවින්නටම නෙවෙයි තමයි, හැබැයි ඒකෙන් කියන්නේ නෑ පීඩිත කාන්තාවන් අප අතර නැහැ සහ ඔවුන්ට සමාජයේ ආරක්ෂාව, උපකාරය අවශ්‍ය නැහැ කියලා. 
මේක අපි එක සිදුවීමක් දෙකක් හින්දා අල්ලගෙන පට්ට ගහන සංකල්පයට වඩා ප්‍රායෝගිකව හරිම සංකීර්ණයි. 

කාන්තාවන්ටත් ගෞරාවින්තව සමාජයේ ජීවත් වීමට අවශ්‍ය ඉඩ, මානව අයිතිවාසිකමක්. ඒක ගැහැණු හෝ පිරිමි හෝ සංක්‍රාන්තික හෝ වෙන මොකක් හෝ වේවා හැමටම පොදු, සමාන අයිතියක්! මොනවමහරි හේතු මත කොටසකට ඒ ඉඩ ඇහිරෙනවා නම් ඒ වෙනුවෙන් කතිකාවන් විතරක්ම ඇතිවෙලා මදි, ඩොලරයෙන් එහා ගිය ඇත්ත උවමනාවක් කැපවීමක් ඇතිවෙන්නත් ඕන. 

කාන්තා අයිතිවාසිකම්, කාන්තා විමුක්තිය වේදිකාවට එන්නේ රටම කම්පා කරවමින් ගෘහස්ථ හෝ වෙනත් හිංසනයක ශෝඛාන්තයක් එළිදැක්වුණාම හරි දූෂණයක්, බලහත්කාරයක් සමාජය සසල කළාම හරි විතරක් නම් අපි ඒ දේ ග්‍රහණය කරගන්නා විදියෙ ලුහුඬුකමක් තියෙනවා. 
ඒ වගේම මට පැහැදිලි නැති පොදු ප්‍රකාශ තියෙනවා "ගෑණියෙක් හින්දා ඉවසනවා, ගෑණුනේ, ගෑණු කියලා ඇයි විශේෂ සැලකිලි ඕනද" වගේ. ඒ ප්‍රකාශ ඇතුලෙම මොකද්ද පැරඩොක්සමය අවිනිශ්චිතත්වයක් තියෙනවා නේද? හරියට ගෑණු නිසා වෙනස් කරන්න ඕන නමුත් මම ඒක කරන්න ලෑස්ති නැහැ වගේ. 

අනෙක් අතට ඕනෑම පීඩිත කොටසකට පොදු පරපෝෂිත න්‍යාය පත්‍ර, ස්ත්‍රීවාදීත්වය තුළත් දකින්න පුළුවන්. ඔබගේ තුවාලය තවකෙනෙකුගේ ගතමනාව සරි කරනවා විතරක් නෙවෙයි සමහරවිට සතුට ඇතිකරවනවා වෙන්නත් පුළුවන්. ස්ත්‍රීවාදීත්වයේ කෙළ පැමිණි නමුත් තව ගැහැණියකට අනේකවිධ පීඩාවන් කෲරකම් කරන, යටිකූට්ටු වැඩ කරන, නොහිතන කරදරවලට පත් කරවන, අපහාසයට ලක් කරන ගැහැණුන් මම ළංළංව දැකලා තියෙනවා. එතකොට ගැහැණු පීඩාවට පත්වෙන්නේ විරුද්ධ පාර්ශවයෙන් "විතරක්ම" නෙවෙයි. 
අනෙක් අතට තමන්ට සම්බන්ධ කාන්තාවකට අසාධාරණයක්, කරදයක්, පීඩාවක් සිදුනොවන තාක් මතුපිට හිටගෙන විවේචන දෙන්නත් ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒ වගේම, විවේචන එල්ලවන්නෙ, ඒ හැටියට වැඩ කටයුතු කරන ලෝකයා දකින සුලුතරයක් නිසා වෙන්නත් පුළුවන්. හැබයි ස්ත්‍රීවාදීත්වය බාල්දු කරවීමෙන්, හෙලා දැකීමෙන්, පහර ගැසීමෙන් සමාජයේ තාම මුල්බැසගත්ත හැබැයි යටපත් කරන් ඉන්න උත්සහ ගන්න පුරුෂමූලික අධිමානය සහ අහංකාරය නොහිතන ඉක්මණින් එළියට පනිනවා. 

නිකමට මාධ්‍ය සහ සාමාන්‍ය සමාජය දිහා බලන් ඉන්න තමන්ගේ ස්ත්‍රී/පුරුෂ/නොවන මනෝභාවයෙන් බැහැර වෙලා. ගැහැණුන් කීදෙනෙක් ඔවුන් ගැහැණුන් වීම නිසාම විතරක් අපහාසයට ලක් වෙනවද? ඔටාරා වගේ සාර්ථක ව්‍යවසායකයන්ගෙ ඉඳන් නිළියන්, දේශපාලඥයින්, වෘත්තීයවේදීන්, ගුරුවරියන්, සනීපාරක්ෂක සේවා සපයන්නන් විතරක් නෙවෙයි ගෘහස්ථ පවුල් සංස්ථා (රැකියාමය පවුල් සංස්ථාත් ඇති නිසා) වගේ හැමතැනකම දිනපතා වාචිකව විතරක් කොයිතරම් අපහාසයට, පීඩනයට ලක්වෙනවද? ගීතා කුමාරසිංහ හෝ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කරන දේම පුරුෂ දේශපාලකයෙක් කළාට සමාජයේ ඇතිවෙන සංවාදය සමාන වෙනවද? පියුමි හංසමාලි සහ ස්ත්‍රීලෝලී නලුවෙකු ගැන ඇතිවන සංවාද සමානද? ඕනෑම සුන්දර තරුණියක සහ සුන්දර තරුණයෙකු දිහා සමාජය බලන හැටිය සහ ඇතිවන සංවාදය සමානද? වෘත්තීයවේදිනියකගේ පුරුෂ සගයෙක් සහ ඇය ගැන ඇතිවන වෘත්තීයමය සංවාද සමානද? 

එහෙම නෙවෙයි නං ස්ත්‍රීවාදීත්වය, කාන්තා විමුක්තිය, කාන්තා අයිතිවාසිකම්, කාන්තා හිංසනය වගේ තෛල කෝකටත් කියන චෝදනාව සදාකාලිකයි! 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #feminism

Tuesday, October 10, 2023

හමාස් ත්‍රස්තයෝ සහ කොටි බබ්බු

ඊශ්‍රායලය සහ හමාස් අතර බුර බුරා නැගෙන ගිනිදැල් අස්සෙ නිදාහිටි හිස්බුල්ලා නයිත් ඇහැරවාගන්නා මොහොතක මේ හිච්චි දූපතේද ත්‍රස්තවාදීන් (සමහරුන්ට දරුවන්ය, බබාලාය!) ගිනි තැබූ හැටිය මතක් කරදීමට හිතෙනවාය!

යුරෝපා කොණක අවුරුද්දකට වඩා ඇවිලෙන යුද්ධයක් මදිවාට තවත් එකක් මෙහා ආසන්න කොණකින් ඇවිලෙනවිට ජාත්‍යන්තරයද ඇවිලීමට පටන්ගැනීම පුදුමයක් නොවේ. මන්ද යත්, යුධයට සම්බන්ධ වෙන දෙපාර්ශ්වය සමග කාගේ වත්තෙ මල් කඩන්නේ කීමට අහළ පහළ ඈයෝද බෙදීගොස් ද්විපාර්ශවික යුද්ධයක් කලාපීය ගෝලීය යුද්ධයක් බවට පත්වීමට ඇති හැකියාව නිසාය, අද ඊශ්‍රායලය  වෙනුවෙන් සිටගන්නා ජාත්‍යන්තර ඇත්තෝද ත්‍රස්තවාදීන් වෙනුවෙන් සිටගන්නා ජාත්‍යන්තර ඇත්තෝද ශ්‍රී ලංකාව යන හිච්චි පිච්චි වැලි ඇටේ ත්‍රස්තවාදයකට එරෙහි යුද්ධයක් ඇතිවෙද්දි කොහේවත් ඇවිලිලි හදාගත් අවස්ථා ඇති නමුත් ඒ ශ්‍රී ලංකා රජය පැත්තේ සිටගෙන නොවේය!

නෙතන්යාහු සමග මරාගත් මහජනයාද හමාස් ඉවර කළයුතුයැයි කියන්නේ ඊශ්‍රායලයේය, සිරි ලංකාවේ විපක්ෂය නං මෙලහකටත් කොටි බබ්බුන්ට කළා වාගේ හමාස් පැටියන්ට කිරි පොවා නලවනවාය, ජිනීවා යනවාය, මානව හිමිකම් යනවාය, උසාවි යනවාය, වේදිකා දෙවනත් කරනවාය, අරගල කරනවාය, පාර්ලිමේන්තුවෙ හූ කියනවාය!
අනෙක නෙතන්යාහුගෙ "හැට නම ලක්ෂය" විතරක් හොය හොයා නොවේය හමාස් පහරදෙන්නේ! ලංකාවේ නං වෙන්නට තිබුණේ එහෙමය! එහෙම බැලුවාම පණ්ඩිත ඊශ්‍රායලයට ද හමාස්ලාට ද ශ්‍රී ලංකාවෙන් ඉගෙනගන්නට තිබූ දේවල් බොහොමය! සෙනසුරාදාට කලින් කීවා නං අපේ ඈයෝ ඕවා උගන්නා හදාගන්නවාය!

ලංකාවේ මායිම් ගම්මාන, ප්‍රධාන නගර, කොළඹ එක හා සමානව භීෂණයට ලක් කළ ත්‍රස්තවාදීන්, ඊළමක් ඉල්ලන එල්ටීටීඊය පමණක් නොවේය! න්‍යායාත්මක හීන රාජ්‍ය පෙන්වා නොමග යැවූ තරුණ පරම්පරාවන් අතකොලු කරගත් ජනතා "විමුක්ති" පෙරමුණ හෙවත් ජවිපෙ හෙවත් වෙස් පෙරලූ ජාතික ජන (ජඩ?) බලවේගය හෙවත් ජාජබ (ජයනු සංඛ්‍යාව ජල්බරි සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකය!) ද ඒ ලැයිස්තුවේ සිටී! කොටි පැටව් දරුවන්ද හමාස් බබාලා ලෙසද මේ ඇත්තන්ට පෙනුණොත් පුදුම විය යුතු නැත.

මෙහෙ භීෂණය ඇවිලෙන කාලයේ තාක්ෂණය නොදියුණු නිසා කොටින්ගෙත් ජවිපාවුන්ගෙත් ම්ලේච්ඡත්වය හරිහැටි දැක බලාගන්නට ඊළග පරම්පරාවලට පමණක් නොව ජාත්‍යන්තරයටද අවස්ථාවක් නොලැබීම අවාසනාවක්ය. ඒත් තියෙන වාර්තා ටිකවත් නොබැලූ වහුපැටියන්ය විටින්විට අර ත්‍රස්තවාදීන්ද මනුෂ්‍යයෝය කියා පහන් පත්තු කරන්නට යන්නේ!
යුද්ධ කතා එහෙමය! දැන් අපේ විශාරදයෝ හමාස්ලාද මනුෂ්‍යයෝය කියා කොළඹ වටරවුං ගානේ පහන් පත්තු කරනු බලන්නට මට පුදුමාකාර ආසාවක් ඇතිවේගෙන එනවාය!
කරයිනේ? 😉

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Sunday, September 10, 2023

Haddi (2023)

(2023 සැප්තැම්බර් 10දා සිනමාවේදීන් සමූහයට) 

Haddi (2023) 
IMDb: 5.7/10
Genre: Crime, Drama

මගේ ඉරිදාවේ පැය දෙකක් හඩ්ඩිට දුන්නා.

හඩ්ඩි කියන්නේ හිජ්රාවෙක් හෙවත් සංක්‍රාන්තික ලිංගිකයෙක් (transgender). 

2018දී ජගත් මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවලට අනුව ඉන්දියාවේ විතරක් ඇස්තමේන්තුගත හිජ්රා ජනගහනය මිලියන 4.9ක්! ඇතැම් වාර්තාවලට අනුව මේ වනවිට එම අගය මිලියන දහයකට ආසන්නයි. කියැවෙන ආකාරයට පකිස්ථානයේ මේ ගණන 250,000ක් පමණත් බංග්ලාදේශයේ 12,000ක් පමණත් නමුත් නිශ්චිත නැහැ. අනෙක් අතට ඉන්දියාවේ තරම් මේ උප සංස්කෘතිය අනෙක් සමාජවල මතුනොවෙනවා වෙන්නත් පුළුවන්. 

හිජ්රාවන් ඉන්දීය සිනමාව හුරු කෙනෙකුට නුහුරු නෑ. කෝවිල් ආශ්‍රිතව උප සංස්කෘතියක් හැටියට හිජ්රාවන් වැඩිවශයෙන් ජීවත්වුණත් විවිධාකාර අඩු ආදායම්ලාභී, අවම සමාජීය තලවල සහ ගණිකා වෘත්තිය සමග අනුබද්ධවත් මේ උප සංස්කෘතිය දැන් දකින්න පුළුවන්. 

සමාජයක් හැටියට හිජ්රාවන් සුවිශේෂී වෙන්නේ වැඩියත්ම දේව ඇදහිල්ල මත ගොඩ නැගුණ ඉන්දියාවේ ඔවුන්ට ලබාදෙන අර්ථයන් මත. මතක නම්, මායා/කාංචනා වගේ හිජ්රාවන් ප්‍රධාන කරගත් ඉන්දීය නිර්මාණ සෑහෙන්න තියෙනවා. ඔවුන්ගේ විශ්වාසයට අනුව සම්පූර්ණ ගැහැණුන්ටත් සම්පූර්ණ පුරුෂයන්ටත් වඩා මේ වර්ග දෙකේම ගතිලක්ෂණ සහිත හිජ්රාවන්ට ඒ වර්ග දෙකේම ශක්තීන් (සහ දුර්වලතා) තියෙනවා. හිජ්රාවන්ගේ ආරම්භය ගැනත් චිත්‍රපටයේ මැදක කියැවෙනවා. ඒක බලලම හොයාගන්න. 
මේකෙදි රංගනයෙන් දායකවන හිජ්රාවන්ට ස්තූතිය පළ කරලා තියෙන්නේ "To God's favourite special humans that contributed towards making this film possible" කියලා. 
විචිත්‍රවත් ඉන්දියාවේ ගැහැණුත් නොවන පිරිමිත් නොවන මේ ජීවීන් කොටසට ඇතැම් අය නින්දා කරන අතර ඇතැම් අය බිය මුසු ගෞරවයක් දක්වනවා ඒ ඔවුන් විශ්වාස කරන නිසා හිජ්රාවන්ගේ සාප දරුණු බව. 
චිත්‍රපටය ආරම්භයේම හඩ්ඩි ඒ ගැන මෙහෙම කියනවා:
"Do you know why people fear us, Hijras? Because our blessings are all-powerful and our curses are annhilating. But do you know what's worse? Our vengeance!". 

උපතින්ම ලබන ස්ත්‍රී පුරුෂ භාවයන් ස්වාභාවිකව වෙනස්වීම ගැන මගේ පෞද්ගලික විවේචන නැහැ. නමුත් ඇතැම් අවස්ථාවල මේ මානසිකත්වය කෘත්‍රිමව ඇතිකරවන්න උත්සාහ කිරීමට නම් මම විරුද්ධයි. ස්වාභාවිකත්වයට වඩා අස්වාභාවිකත්වය උලුප්පා දක්වන්න කරන උත්සාහයන් තුළ පිටතට නොපෙනෙන යටි අරමුණු, දේශපාලනික ව්‍යාපාරික සහ සමාජීය න්‍යාය පත්‍ර තියෙනවා. 
හැබැයි මේ චරිතත් කාලයක් තිස්සේ සමාජය තුළ ජීවත් වෙනවා. අගතියට පත්, අසාධාරණයට ලක්වූ කියන ලේබලයෙන් එන්න කලින් ඉඳන්ම. අනෙක් අතට ස්වාභාවික ගැහැණු තුළත් පුරුෂ පෞර්ෂත්ව තියෙනවා, ස්වාභාවික පිරිමි තුළත් ස්ත්‍රී පෞර්ෂත්ව තියෙනවා. ඒවා තමයි අපි දකින්නේ පුරුෂයා ඉන්දැද්දි පවුල් බර අදින ගැහැණුන්ගෙන්, ගැහැණුන්ට වඩා ලස්සනට ගැහැණු වැඩ කරන පුරුෂයන්ගෙන්. හැබැයි ඒ අයටත් සමාජය හිජ්රාවන්ට වගේම අපහාස උපහාස කරනවා. 

සංක්‍රාන්ති ලිංගිකයෙකුට පුළුවන් තමන්ගේ අභිමතය අනුව ශාරීරිකව වෙනස්වීම් කරගන්න. හැබැයි ඒ මාර්ගය කොහොම එකක්ද කියලා බහුතරයකට දැනුමක් නෑ, කුතුහලයක් තියෙනවා. මේ චිත්‍රපටයේ දී හඩ්ඩි ඒ ශල්‍යකර්මයේ අත්දැකීම පෙන්නනවා. බලලත් ඇඟ හිරිවැටෙන ඒ විස්තරය, වෙනස්වෙන්න හිතෙන කෙනෙක් ඉන්නවා නං බලන්න වටිනවා. 

දැන් කවිද මේ හඩ්ඩිව මවනවා ඇත්තේ? 
නවාසුඩීන් සිද්දික්! 
කව්රු? 
ඔව්, නවාසුඩීන්. 
වෙනස් වෙනස් චරිත තෝරාගන්න නවාසුඩීන් මේ වතාවේ ප්‍රේක්ෂකාගාරයට ගහලා තියෙන්නේ එසේ මෙසේ මිටියකින් නෙවෙයි! 

චිත්‍රපටයේ අභව්‍ය, අතාත්ත්වික තැන් තිබ්බත්, රංගනයේ ලුහුඬුකම් තිබුණත් සාමාන්‍ය පණිවිඩයක් සහ කතාවක් (Narration) හැටියට සාර්ථකයි කියලා මට හිතෙනවා. 

හැබැයි චිත්‍රපටය අන්තිමේදී කැරකිලා කැරකිලා එන්නේ දේවත්වයට ආසන්න ස්ත්‍රීවාදිත්වයකට කියලත් මට හිතෙනවා. මොකද අන්තිමට හඩ්ඩි කියනවා "you wouldn't know what it means to be a woman. You got to have guts to be one".

ඒ අවස්ථාවට දේව ඇදහිල්ල එකතු කරලා තියෙන්නවා ලස්සන වචන ටිකකින්. 
🎶My salutations to both Parvathi and Shiva
To Her whose body shines similar to molten gold, 
To Him whose body shines like the burning camphor, 
To Her who has a well made up hair, 
And to Him who has the matted lock. 
Om Namah Shivaya. 
My salutations to both Parvathi and Shiva
To Her whose dance marks the creation of the world, 
To Him whose dance destroys everything, 
To Her who is the mother of universe, 
To Him who ia the father of the universe. 
Om Namah Shivaya🎶

හඩ්ඩිව මුණගැහිලාම බලන්න. 
හැබැයි, හැම කතන්දරේකම හැංගුණු තව කතන්දර ගොඩක් තියෙනවා. 

~✏️ Aash Weerasinghe