Saturday, March 12, 2016

හඳ

හඳකට වුණත්
හිතෙන්නට බැරිද 
හැමදාම රාහු ගිලගන්නකොට
දහවලක පායන්න? 





Friday, March 4, 2016

තනියාගේ ඉක්කෝල ගමන් - 2: උල්කාගේ විත්ති

ගිය දෙසැම්බරේ නත්තල් ප්‍රීතිය නිමිත්තෙන් තනියා බයිට් කතාවක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කළ බව ඔහෙලට මතක ඇති නෙව? අන්න ඒ කතාවේ දෙවෙනි කොටසක් වගේ එකක් ලියන්නයි මගේ අද සූදානම...(ඔය කොටස් ලිවිල්ල මේ කාලේ නම් තනියට අවංකවම කරගෙන යන්න ඇහැක් ගේමක් නෙවෙයි..ඒත් ඉතින් අර බැඳ ගත්තු බෙරේ වගේ එකක් තමයි දැන් මේ වෙලා තියෙන්නේ..කවුරුවත් දැන් අර පිචෑර් එක එහෙම මතක් කරනවා නෙවෙයි ඔන්න!) 

ඉතින් සිඟිත්තනේ මම පොරොන්දු වුණානේ තනියාගේ සහෝදරී උල්කාගේ වික්‍රමයන් ගැන ලස්සන (රෙද්ද තමා!) කතාවක් අරන් ආයෙත් ඕගොල්ලෝ හමුවට එනවයි කියලා...ඒක තමා මේ ආවේ..! ;)

ඉතින් ඔය උල්කා ඇවිල්ලා.. සොරි! වැටිලා අවුරුදු දෙක තුනක් වෙද්දිම උන්දැට තිබ්බ ලොකුම ගාය තමයි කොහොමහරි ඉක්මණට ඉක්කෝලේ යන්න පටන් ගන්න එක..! මොකද කියනවා නම් උල්කගේ අක්කා තනියා එතකොට ඉක්කෝලේ යනවනේ..දැන් ඔය දෙමළ පත්තරේ හරි එයාට දෙනවා නම් මටත් ඕනේ කියන ළදරු මානසිකත්වයේ පසුවුණ (එවකට) මේ ළදැරිය ගෙදර බත් කෑවෙත් ඉක්කෝලේ ගෙනියන බෑග් එකක කෑම පෙට්ටිය දාගෙන ගිහින් එයාගේ සිඟිති මේසේ වාඩිවෙලා, කරේ එල්ලන් ඉන්න රතුපාට රොබෝ බෝතලේකින් වතුර බිබී තමයි..ඒ කාලේ අපේ ගෙවල් ලඟ තිබුණා නරි-සරියක්...මේ යෝදිගේ මේ බෝතල් බෑග කෙරුවාවේ තරම කියන්නේ ඔය නරි-සරියේ ඇන්ටි-මනී උල්කව බලෙන් වාගේ එක්කන් ගිහින් වාඩි කරගෙන තමයි බඳවාගෙන තිබ්බේ..එදා ඉඳන් ඉතින් ආයේ මොනවද ඇන්ටි-මනී පතල් වට්ටිය බබා වගේ කරකෝන එකමයි කලේ!

Sunday, February 21, 2016

පොදු පුරුෂ ප්‍රේමය

ඉර මුදුන් වෙලා ආපහු හැරිලත් පැය දෙක තුනක් ගෙවිලා තිබ්බා..සහන්‍යා ඒක පරක්කුවක් විදියට දැක්කේ නෑ..කොයියම්ම වෙලාවක වුණත් සුපුරුදු ආපන ශාලාවේ සුපුරුදු තැන ඈ වෙනුවෙන් තිබුණා..බෝඩ් ගහල වෙන් නොකලට..

කොළඹ දාහය මැද්දේ, කෘතිම නුවර එළියක වැඩ කරනවට වඩා සහන්‍යා ආසම වුණේ මෙතැනට..වාර්නිෂ් පාට බොකුටු සැප පුටු හබල පෙති පාට කුෂන්වලින් පුරෝලා ලස්සන මුහුදු නිලක් ගත්ත හුරුබුහුටි කුෂන් කොට්ට විසුරුවලා තිබ්බ මේ ආපනශාලාව පැයක් දෙකක් උදුරගත්තට පාඩු නැතිවෙන තරම්...කොහොමත් ලොකු වීදුරු ජනේලවලින් පේන අහසයි මුහුදයි අතරේ ඉඳන් කෑම කන අතරේ වැඩ කරන්න සහන්‍යා කැමතියි..හැමදාම එන නිසා කවුරුවත් වධ කරන්න ආවෙත් නැහැ..

සහන්‍යාට ඕන වුණේ අහසයි මුහුදයි අතරේ හිටි බැල්ම ආයෙමත් පරිගණක තිරයට ගේන්න..ඒත් ඒ ගේන අතරේ වීදුරුවෙන් තමන්ට මොකක් හරි පුරුදු ඡායාවක් පෙනුණද කියලා හිතිච්ච නිසා ඈ ආයෙමත් හැරිලා බැලුවා..

හුරු පුරුදු ඡායාවක් තමයි..හුඟක් හුරු පුරුදු ඡායාවක්..හැබැයි නුහුරු ඡායාවක් එක්ක...
වේගයෙන් ආව මුහුදු රැල්ලක් කළුගල් පරයේ වැදුණේ නෑහෙන දුරකදි වුණත් ඒ සද්දේ සහන්‍යාගේ කන්වලට දැනුණා..

-----------------------------------------------------

Thursday, February 4, 2016

අන්න, ආයිත් ඇවිල්ල ලු!

නිදහස් දවස් වුණාම ආයිබොවංඩ බ්ලොගේ බුකියේ හැමතැනම සැරිසරන්ට අපටත් කියලා නිදහසක තියෙන්ට ඕනාය. එව්වා තේරෙන්නේ සති අන්තයේත් වෙනසක් නැතිව රේස් දුවන උන්ටම තමාය. මගේ රේස් දිවිල්ලේ තරම කොතරම්දැයි කිව්වොත් දෙයියනේ කියලා පයේ මේස් අතේ දාන කස්ටිය ලංකාවට නිදහස දීලා නොතිබ්බා නම් තිලංගගේ බුකියේ ඔට්ටු දිනන්න තරම් තිබුණාය.වැඩ සතිය පටන් ගන්නේ සඳුදාය.අහවර වන්නේ සිකුරාදාය.සෙනසුරාදා ඉරිදා ඇත්තේ පුක්ස් උඩ දමා නිදාගන්නට, රෙදි සෝදා වේලා ගන්නට, ගෙවල් දොරවල දුවිලි පිහ අතුපතු ගා දමන්නට, ගෙදර මිනිස්සුන්ගේ දුකසැප බලන්නට සහ ඒ අයගේ මුහුණු හරිහැටි බලාගන්නට වාගේ අනේක්විධ වැඩ කටයුතු සඳහාය.කරුමේ යනු එහෙව් සති අන්තයකත් හතිබඩ දමාගෙන දුවන්නට සිද්ධවීමය.ඒ පුණ්‍යවන්ත පරම පෙම්වතී, චී!.. පුණ්‍යවන්ත මනුස්ස ප්‍රාණියා මං ය.

ඉති..න්න්! බ්ලොගේ දුවිලි බැඳිලා මකුළුදැල් නුගමුල් වාගේ එල්ලෙනවාය.මම ටාසනී මෙන් ඒ වැල්වල එල්ලි ඒ මේ අත පැද්දෙමින් ලියන්නට ගත්තාය..
ආයෙමත්? ඔව් ආයෙමත් ආදරෙන්..!

පහුගිය කාලයේ මා ගැන අසමින් අතුරුදහන් වූවන්ගේ කොමිසම් ගානේ රස්තියාදු වූ, හත් දවසේ බෝධිපූජා කළ, අංජනම් පෝලිම්වල කට්ට කෑ, පොලීසි ගානේ මෝචරි ගානේ රස්තියාදු වූ හැමෝටම බොහොම පින් ය! උඹලා වාගේ උන් නිසා තනි තරුව තරු පොකුරු පේද්දිත් බ්ලොග මතක් වී හැමදාම සුසුමෙන් කඳුළින් කල් ගෙව්වාය.ඒවාට අද ඇරියස් කවර් කොරන්නට ශක්තිය ධෛර්යය මේස් දාන රැජිණි සහ අපේ සෝස මල් සනාධිපති ලබා දී ජාතිකාභිමානය රැක ගත්තාය! හම්මේ ඉතින් සන්තෝසේ පපුව හිරකරනකොට ආචාර වෙඩිමුර උණ්ඩෙක එල්ලිලා ගොහින් ඉන්දියන් සාගරේට පතිතවන්නට හිතෙනවාය..

ඉතින් මම කොහෙමෙන් කොහොම හරි ලියන්නට දත කනවාය, තටමනවාය.කන්දක් විලි පහ කරවා මී පැට්ටෙක්වත් වදාවී කියා බොලා ඇවිත් බලනු ඇතැයි මම සිරාවටම හිතනවාය.අමතක වීම ජාතියේ ගතිය නිසා අමතකවෙලා නම් ඒත් ගේමක් නැතිය..මන්දයත්, මටත් දැන් ටික ටික මේවා ලියනාහැටි අමතක වේගෙන යන නිසාය..!
!
!!
!!!
!!!!
!!!!!
!!!!!!
!!!!!!!
!!!!!!!!

හීනෙන් තමයි! 



Tuesday, January 5, 2016

අරුමය..

ප්‍රේමයෙන් ඉක්බිති..
හදවත් නොතිබුණෝ හදවත් ඇත්තෝද
හදවත් තිබුණෝ හදවත් නැත්තෝද
වී ඇති වග නම්...