Friday, November 28, 2014

රතු සහ අළු..

හවස 4යි..
ඒත් මගේ හිතටයි ඔර්ලෝසුවටයි විතරයි..
අපි වටේම තියෙන මන්දාරම..ඒක මූසල පාටයි තමයි...ඒත් මම ඒකට ආසයි..
මට හිතෙන්නේ මම මම නොවෙයි කියලා..මන්දාරමත් එක්ක එක්කහුවෙලා, දහසකුත් එකක් හීනවල පැටලිලා ඔහේ ඇවිදන් යන කොල්ලෙක් දිහා බලා ඉන්න වෙනමම එකෙක්...
ඉඳලා හිටලා එහෙම මම නොවී මම දිහා බැලුවම ඉස්සර මට පෙනුණා නුඹවත්...
මම දැක්කා ඒ කොල්ලා කෝල කොමළ බැල්මෙන් නෑවිලා යන හැටි...එක බාහුවක රිදෙන තරම් තදින් එල්ලිලා මග දිගට හිනා වපුරමින් හුරතලේට කතා කරන හැටි..මම ආසම කළ කැරළි කොණ්ඩයක් හිනා මුවක් වටේ පෙරැළි කරමින් උන්නු හැටි..ඔව් මට හුඟක් දේ පෙනුණා..පස්සේ කාලෙක හීනෙන් විතරක් පෙනුණ...
හැබෑ වෙන්න උදේ හවා පතපු, හීන මගෙන් උදුරගත්ත හීන...

Tuesday, November 25, 2014

කඳුළකට...

ඇස්වලින් අල්ලාගෙන
ගිලගත්තු නුඹම
හිත් පතුලේ හිරවෙලා හැබැයි..
හිත පලාගෙන 
මතුවෙන්න හදනකොට
දැන් නම් හිතට හරි බයයි..
හිත පලන් ආවත් කමක් නැහැ
ඇහෙන් පැන්නොත් නම් හරි දුකයි..


Monday, November 24, 2014

තටු සහ හාදු...

රස හාදුවක 
හීන බිංදුවක් තවරා
පිරිනමද්දි නුදුටුවෙමි
සැබෑවටම නුඹේ හිත..

කපාගත් තටුමතින්
රජවෙද්දි අද නුඹ
සිහි වුණේ නැතිද
පෙර දිනේ ප්‍රේමය...

මුදු මොලොක් හදවත
කාස්ටක කෙරූ වියරුව
වෙහෙසුණෙමි සොයන්නට
දිවා රෑ කාරණය..

නුඹේ රස හාදුව
දමා ගසා නුඹ වෙතම
ලැබූ සැනසුමක් නැතිය
තටු කැපූ රිදුම මිස...

කාස්ටක හිත යට
හැඬුව තටු අහිමි මම
දුටුවෙමි තරු නෙතේ
සැඟවගත් නුඹේ රුව..
මට අහිමි නුඹේ ලෙය..

නුඹට රිදවන්නට 
විසි කෙරූ හාදුව
සැඟවගත් මොලොක් හද
සොයාගත් අරුම...

ප්‍රේමය නොකල්හී
නුදුටුවත් නුඹ සකී
ඒ සඟවනු හැකී
කෙනෙක් මේ ලොව නැතී...


Thursday, November 20, 2014

අකුරු..

වැලිපිල්ලෑවෙන් ගල්ලෑල්ලට
ගල්ලෑල්ලෙන් පත් ඉරුවට..
එතනින් කඩදහියට
දැන් ජංගමයගේ මූණ උඩ
හැඩට ලියැවෙන
සිංහල අකුර,
මම කැමතිම මගෙ මව්බස...


Wednesday, November 12, 2014

ගැහැණු

අහිමි තාක් ලස්සන,
ලංවුණාම...
high maintenance!