Tuesday, November 8, 2016

රණවිරුවන්ට සැලකීම යනු..!

15 පැයකට පෙර පළ කරන ලද ප්‍රකාශය වේදනාවෙන් සහ ලැජ්ජාවෙන් යුතුව නැවත පළ කර සිටිමි. "මේ අපේ එකෙක් වන්නේ යුධයක් ඇති කල පමණම නම්, සුණුව ගිය ඔවුන්ගේ අත් පා මතින් අපගේ සතර පා රැකුණු කල පමණම නම්, බිඳී ගිය ඔවුන්ගේ හීන මත අපේ සිහින මාලිගා වූ කල පමණම නම් අප ලැජ්ජා විය යුත්තේ ඇයිදැයි ඔබට තේරුම් ගත නොහැකිවීමම අරුමයක් නොවනු ඇත." 

මෙවන් නිවට නියාලු කාලකණ්ණීන් පාලකයන් ලෙස පත්කරගන්නට සතර දොරටුවෙන් දුන්නා වූද තවමත් උන්ගේ කල්කිරියාවන්ට සුදු හුණු ගාන්නට බුරුසු සොයන්නා වූ ද යහපාලන කැඳ හැලියකට සහල් මිටි දමන්නට ගියා වූ ද මුග්ධ රැල අද කතිර සලකුණු කළ උන්ගේ අත් මොනවා කළ යුතුදැයි සදාචාරාත්මක හේතු මත මම ප්‍රසිද්ධියේ නොකියමි! මේ සියල්ල මේ ලෙසම වන බව වසර දෙකකට පෙරාතුව සපථ කරමින් කියද්දීත් උඩුගං බලා ගිය අමන රැල වෙත මෙතෙක් කල මගේ අනුකම්පාව අද අවසන් වූයේය. ලැජ්ජාව දැනෙන තැනකට දැනෙන්නට අද ඔබේ අමන තීරණය ජාතියක් ලෙස අප ඇද දැමූ තැන ඇතිය. රටක් ලෙස, සමාජයක් ලෙස අපි අද කෑ පතේ පැහැරූ හැටිය ඔබගේ හර්ද සාක්ෂිය තවමත් පීඩාවට පත් නොකළේ නම් දන්ත වෛද්‍ය රාජිත හා එක්ව වැසිකිළියක මුණින් තලාව වැතිර දෙකොණ බලය විමධ්‍යගත කරන මෙන් මම ඔබට කියමි. දේශපාලනමය වශයෙන් කොටළුවකු ලෙස ක්‍රියා කරන්නට පෙර ඔබ යම්කිසි දවසකදී මනුෂ්‍යයෙකු වී සිටින්නට ඇතියැයි මම සිතමි.එසේ වී නම් අද ඔබේම වර්ගයාගේ චිර ජීවනය පිණිස ඇස්-ඉස්-මස් දන් දී, සියළු ආයාචනා-ඉල්ලීම් පලක් නොවූ තැන මහ වැසි මැද බළලුන් බල්ලන් මෙන් ලැග සිට ඉල්ලාගන්නට නොහැකි වූ දේ දිනන්නට ගිය උන්ට කඳුළු ගෑස් සහ බැටන් පොලු පහර වදින කල කොටළුවන් තුළ සැඟව ගිය මිනිස්කම උඹලාගේ හදවත්වලට මිට මොළවා නොගැසුවේ මන්දැයි අසනු කැමැත්තෙමි. වායුසමනය කළ වීදුරු කුටි තුළද සැප පහසු රිය තුළ ද දෙපා පටලාගෙන රාත්‍රී ප්‍රවෘත්ති නරඹන නිවාස තුළ ද සිටින උඹලාගේ දෙනෙත් ඉදිරියේ උන් දෙපා කොට, අත් කොට වනමින්, අතට අසුවන අසංවේදී බොරු කකුල්, කිහිලිකරු රැකගන්නට තැත් කරමින්, පනිමින්, වැටෙමින්, පෑගෙමින් පිළිසරණ පතා දුවන කල උඹලා වැන්නවුන් වෙනුවෙන් කළ දෑ කෙරෙහි ඔවුන් කළ කිරෙන්නට ද තමන්ටම සාප කරගන්නට නැතැයි උඹලාගේ හදවත් නොසිතනු ඇතැයි මම සිතමි. බෙදුණා හෝ නැතා හෝ සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය වශයෙන් අපි අද කළ පවෙහි දෝංකාරය අනාදිමත් කාලයක් යනතුරුත්, මේ රටෙහි අවසන් පස් පිඩත් ඉන්දියන් සාගරයේ ගිලී නොපෙනී යනතුරුත් රැව් දෙනු ඇත්තේය.

Wednesday, November 2, 2016

සළු - 1වෙනි කොටස

නේක වර්ණ කොණ්ඩ, මුහුණු පේන තරමට දිලිසෙන කළු සපත්තු, දිලිසෙන රිදි රත්‍රන් මුහුවෙච්ච අබරණ, කසුකුසු කතාවල්, විලවුන් සුවඳ, ඇරෙන පි‍යෙන තද රතු තොල්, බැරෑඬි පිරිමි හඬවල්.,සියුම් සිලිං හඬක් නගමින් එකිනෙක ගැටෙන වීදුරු, පහන් එළිය වැදී දිලිසෙන රන් පැහැ දියර...

හැමදෙනෙක්ම කාර්යබහුලයි...කතා කරන්න, හිනාවෙන්න, හොරැහින් එකිනෙකාගේ ඇඳුම් ආයිත්තම් මැනගන්න, හිනාවක් වශියක් ඉහිරන්න, ඇස් කොණකින් ඉඟියක් කරන්න..
ඒත් ඔය හැමදේම සුපුරුදුයි..හිස නොහරවාම පිටුපසින් එල්ලවෙන සරාගී ආරාධනාවක් මැනගන්න තරම් දැන් මගේ ඉඳුරන් ප්‍රවීණයි..මට තියෙන්නේ බන්දේසියක පාවෙන ෂැම්පේන් බඳුනක නටුවෙන් අල්ලා නෙලාගන්න ගමන් අතිශය සාමාන්‍ය ආකාරයට ඒ පැත්තට හැරෙන්න විතරයි..සමහරවිට ආරාධනාව තිගැස්සෙන්නත් පුළුවන්...ඒත් නැත්නම්, සුවපහසු යහනක උඩ හෙට උදේ රවී මුණගැහෙන්නත් පුළුවන්..

අද එහෙම ආරාධනාවක සංඥාවක් ආවේ හරිම කලබලේකින්..තාම සාදය පටන් ගත්තා විතරයි...එහෙම කියන්න පුළුවන් පාවෙන බන්දේසි එක්ක සුදු කළු ඇඳි ඡායාවල් මට තාම පේන හින්දා...සාමාන්‍යයෙන් ඒවා අපිට පෙනිය යුතු නැහැ..

"හායි" ඇගේ රළු නමුත් සරාගි හඬ මට පිටුපසින් ඇහෙන්නේ රහසක් වගේ..බෙල්ලේ පිටුපස රෝම රොද කෙළින් සිටුවන්න ඒ රහසට පුළුවන් බව ලොවෙන් වසන් කරන කබායට මම ස්තූතිවන්ත වෙන්න ඕන..දිගටි ඇඟිලි සහිත රවුම් අත්ලක් රතු වයින් බඳුනක බඳ මගෙ තරම් තදින් බදාගෙන ඉන්න බව නොහැරීම වුණත් මට දැනෙනවා..ඈ එක්ක දොඩමළු වෙන කෙස් පැහි හිසේ කණ්ණාඩියෙන් පිටිපස තියෙන ගිලිච්චි ඇස් මේ දැන් ගැඹුරු ගවුම් කරෙන් ඇතුළට පැන්න සද්දේ මට ඇහුණේ වෙඩිල්ලක් වගේ...දිගටි අතැඟිලි අල්ලා සොලවන ගමන් දුඹුරු පැහැ කැරළි කොණ්ඩයක් ඇගේ කළු කැරළි කොණ්ඩය යටින් යන්තමින් පේන සියුම් කන්පෙත්තට මෙරූන් පාට තොල් පෙති තියද්දි ඇගෙන් පනිනා රළු මන්ද්‍ර ස්වරයේ හිනාවට තිගැස්සෙන කලින් පැන්න ඇස් දෙක තව ටිකක් පහළට රූටලා යන්නැති කියලා හිතෙනකොට නම් මට හිතෙන්නෙම ෂැම්පේන් නටුව කඩලා ඒ ඇස් ගෙඩි දෙක නටුවේ අමුණන්න...



"ඔයා මහා ඉරිසියාකර රෝමියෝ කෙනෙක්" අර රහස් හඬ මගෙ ඝන කණ්පෙතිවල ඇතිල්ලි ඇතිල්ලි ඔච්චම් කරනකොට මට ඉවසන්න පුළුවන්ද? 
ඉවසන්න..? 
තවත්?..

Saturday, September 17, 2016

සාහිත්‍ය චක්‍රවර්තීලාගේ ලොජික්!

තමිලිනී - කමල්
උඹලා එකම කාසියක දෙපැත්තක්
හැබැයි අපි නෝට්ටු!
නිකං නෙවෙයි ඩොලර්!!
තමිලිනී රත්තරං
කමල් වැඩක් ඇත්තෙම නෑ!
හෙළුව වනල ලිව්වනම්
විශිෂ්ඨවෙන්න තිබ්බා!
අනේ උඹලගේ කුහක ලොජික්
වාඩිවෙයන් 
ඕක තියලා!




Tuesday, August 2, 2016

මහින්ද යනු

"ඔහු" සංකල්පයක් හෝ මිථ්‍යාවක් නොවන්නේය. බැරිබැරියාව සහ නොහැකියාව මතින් රජ වූ  සිඟාලයෙක් නොවන්නේය. 
(රජ යන පදයේ භාවිතාව යනු හුදෙක් වාල්භාවයයැයි සලකන දේශපාලන ඔස්තාද්ලාගෙ අවධානය පිණිස: මේස් දමන ආච්චිලාද රජ වන්නේ ආසියාතික අපගේ පරිකල්පනයේ රජවීම යනු නායකත්වය ලෙස සලකන බැවින් බව. විශේෂ: මේස් ගැලවීම ආච්චිලාගේ බැගෑවරුන්ට ඉහළ බැවින් උදාහරණය සලකා ඇත)

පෘථග්ජනයෙක් ලෙස ඔහුටද වැරදෙන්නට ඇත. පව්කාරයාට ගල් ගැසීමට පින්(පි)(කාර)යන් පෝලිම් ගැසී වසර දෙකක් ගිය තැන ද ඔහු වටා ජනතා බලවේගයක් ඇති බව දැනීමෙන් පිළිස්සී ගිය බට-චීක (නව යෙදුම: අපේ සිංහල පංතිය )ඇත්තා වූ ද ද්වේශයේ සහ මෝහයේ අන්ධකාරය විසින් ගිලගනු ලැබුවා වූද දියෙන්-කිර වෙන්කරන්නට ගොස් පජාත වූ රනිල්-සිරිසේන කුල සංසර්ගයෙන් සහ හොරගොල්ලේ හාමුගේ තුවාය කැරකැවීමෙන් බිහිවූ සුජාත දූ-පුත්‍රවරුන්ගේ ඊර්ෂ්‍යාපරවශ විලාපය ඔබේ හඬින් යටපත්වන බවද මෙසේ ලියා තබමි. පවුරක් මෙන් නැගිය හැකි සිවිල් ඔබගේත් මගේත් ශක්තිය, කැපවීම සහ අදිටන කෙරෙහි අභිමානය යුතුව සටහන් තබන වග නම්..

මහින්ද යනු රටකි.


Tuesday, July 19, 2016

නොහැදුණු වරද!

උඹලට පුතා කියන්නද මල්ලි කියන්නද 
පර දෙමළා කොටි පැටියා කියන්නද
ඔය මොක කීවත් උඹලා 
ගුටි කෑව උන්ට වඩා වාසනාවන්තයි!
මොකද උඹලගේ මහ උන් 
උන්ගේ මහ උන්ට බැරිවෙච්චි ටික
කරවගන්න කන කට්ටෙ හැටියට
ඔය ගුටි කෑව උන්ගේ මහ උන් (නෙදකින්!)
මහ නපුංසක හැත්තක්!!
උන් කියන හැටියට
උඹලගෙන් කාපු උන්
ඇන්ඳ වෙස් තට්ටුව යට
සහජීවනේ තියන් ඉඳලා නෑ ලු!
වෙස් තට්ටු නොඇන්දට 
සහජීවනේ අමුඩ ගහන
නපුංසක මහතැන්
උඹලටත් හිටියනම්
උඹලත් හැදිලා යකුනේ!



පින්තූරේ ගත්තේ: යුතුකමෙන්, මීට වඩා හොඳ නිර්වචනයක් නැති හින්දා

උඹලා දිහා බලලා නොහැදුණු අපේ වරද

Thursday, June 16, 2016

වස

තවමත් යන්තමින්
පණ ගැහෙන හදවත
දමා වසමි පළිඟු බඳුනක
සුළං පොදකුදු නොවදින්න
එමත අලවමි
ලේබලය 'වස'
බඳුන තුළ නොව
ඉන් පිටත..




Friday, April 22, 2016

පිසාච..!

අනේ කුහුඹුන්නේ තොපටත් රජෙක් ඉන්නේ
අපට නම් ඉතිනේ පඹයෙක් විනක් කැට්ටේ!

රූකඩෙක් පඹයෙක්ම වන්නේ
පඹයෙක්ම රූකඩෙක් වන්නේ
නැතිය එපමණටම ඇත්තේ
රටට හෝමෙක් පමණි ඉන්නේ

ඇහැක් නැතුවා කණක් ඇතුවා
විනක් කටිනට අඟක් බැස්සා
හුඟක් කල් වෙදකමුත් කෙරුවා
ඒත් නැතිලුය හොඳක් අක්කා

දහසකුත් අඟනුනුත් දුටුවා
මෙහෙව් එකියක් කොහෙත් නැතුවා
අඹරවන්නට එතෙක් දස්සා
ළම-අ-තැනිය ගෙන එන්ට රිස්සා

අම්මා වික්කා අප්ප වික්කා
පුරුෂයා අමුඅමුවේම වික්කා
සුදු නෙළුම් කන තවලමේ බැඳි
නොබැඳි මොං-ගල ඌත් වික්කා

ඇස්ස රිස්සා දත් විරිත්තා
ළොපොන්නරුවෙන් කෙතට බැස්සා
මඩෙත් ලැග්ගා ඉතින් මක්කා
කියන් නෝනා මමය ගැත්තා

මඩට හුරුකම මගේ දස්කම
වවමු රඹ කැන, ඇටි කෙහෙලමය
දැන් ඉතින් කන්නේ පුවාලුය
ල-නිලා කන්නේ අමුතු කෙහෙලුය

දෙකකි හැටමය අමුම ගොන්නුය
උන්ම කෑවේ මදිය කිය කිය
සේන රඹ කැන කාපු උන්මය
රෙ-න්ට බැරුවම එක ඉරාගෙන
ඉතින් කට නැත ඉරුණු දුකටම
උන්ට තලනට බූ වලිග මොට?

තොපිට කිව්වා තොපි නෑහුවා
තොපිම තොපිටම විනේ කැට්ටා
උපන් දරුවා දෙකට බෙදුවා
බොට අඩයි මට අඩයි ඇතුවා

කලින් කිරි එරි හිරු අම්මලා
කැකිරි පල පල විරිත්තෑවා
දරු ඉපැද්දූ සෙනෙවි
මහ පොළව යට සුසුම් ලෑවා

දිනෙක යම් මතු ඉපදියම යුතු
දෙරණ කොයි අත නොදැක සිටි යුතු
තොප තරම් අනුවණවු ගුණමකු
වැදූ මව්වුව කෙලෙසවනු සුලු
දුරක් නොපෙනෙන නිවට ජාතිය
තොප මෙ'දෙරණ'ත කුමට උපන ද?

වැරදුණු තැන

Saturday, March 12, 2016

හඳ

හඳකට වුණත්
හිතෙන්නට බැරිද 
හැමදාම රාහු ගිලගන්නකොට
දහවලක පායන්න? 





Friday, March 4, 2016

තනියාගේ ඉක්කෝල ගමන් - 2: උල්කාගේ විත්ති

ගිය දෙසැම්බරේ නත්තල් ප්‍රීතිය නිමිත්තෙන් තනියා බයිට් කතාවක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කළ බව ඔහෙලට මතක ඇති නෙව? අන්න ඒ කතාවේ දෙවෙනි කොටසක් වගේ එකක් ලියන්නයි මගේ අද සූදානම...(ඔය කොටස් ලිවිල්ල මේ කාලේ නම් තනියට අවංකවම කරගෙන යන්න ඇහැක් ගේමක් නෙවෙයි..ඒත් ඉතින් අර බැඳ ගත්තු බෙරේ වගේ එකක් තමයි දැන් මේ වෙලා තියෙන්නේ..කවුරුවත් දැන් අර පිචෑර් එක එහෙම මතක් කරනවා නෙවෙයි ඔන්න!) 

ඉතින් සිඟිත්තනේ මම පොරොන්දු වුණානේ තනියාගේ සහෝදරී උල්කාගේ වික්‍රමයන් ගැන ලස්සන (රෙද්ද තමා!) කතාවක් අරන් ආයෙත් ඕගොල්ලෝ හමුවට එනවයි කියලා...ඒක තමා මේ ආවේ..! ;)

ඉතින් ඔය උල්කා ඇවිල්ලා.. සොරි! වැටිලා අවුරුදු දෙක තුනක් වෙද්දිම උන්දැට තිබ්බ ලොකුම ගාය තමයි කොහොමහරි ඉක්මණට ඉක්කෝලේ යන්න පටන් ගන්න එක..! මොකද කියනවා නම් උල්කගේ අක්කා තනියා එතකොට ඉක්කෝලේ යනවනේ..දැන් ඔය දෙමළ පත්තරේ හරි එයාට දෙනවා නම් මටත් ඕනේ කියන ළදරු මානසිකත්වයේ පසුවුණ (එවකට) මේ ළදැරිය ගෙදර බත් කෑවෙත් ඉක්කෝලේ ගෙනියන බෑග් එකක කෑම පෙට්ටිය දාගෙන ගිහින් එයාගේ සිඟිති මේසේ වාඩිවෙලා, කරේ එල්ලන් ඉන්න රතුපාට රොබෝ බෝතලේකින් වතුර බිබී තමයි..ඒ කාලේ අපේ ගෙවල් ලඟ තිබුණා නරි-සරියක්...මේ යෝදිගේ මේ බෝතල් බෑග කෙරුවාවේ තරම කියන්නේ ඔය නරි-සරියේ ඇන්ටි-මනී උල්කව බලෙන් වාගේ එක්කන් ගිහින් වාඩි කරගෙන තමයි බඳවාගෙන තිබ්බේ..එදා ඉඳන් ඉතින් ආයේ මොනවද ඇන්ටි-මනී පතල් වට්ටිය බබා වගේ කරකෝන එකමයි කලේ!

Sunday, February 21, 2016

පොදු පුරුෂ ප්‍රේමය

ඉර මුදුන් වෙලා ආපහු හැරිලත් පැය දෙක තුනක් ගෙවිලා තිබ්බා..සහන්‍යා ඒක පරක්කුවක් විදියට දැක්කේ නෑ..කොයියම්ම වෙලාවක වුණත් සුපුරුදු ආපන ශාලාවේ සුපුරුදු තැන ඈ වෙනුවෙන් තිබුණා..බෝඩ් ගහල වෙන් නොකලට..

කොළඹ දාහය මැද්දේ, කෘතිම නුවර එළියක වැඩ කරනවට වඩා සහන්‍යා ආසම වුණේ මෙතැනට..වාර්නිෂ් පාට බොකුටු සැප පුටු හබල පෙති පාට කුෂන්වලින් පුරෝලා ලස්සන මුහුදු නිලක් ගත්ත හුරුබුහුටි කුෂන් කොට්ට විසුරුවලා තිබ්බ මේ ආපනශාලාව පැයක් දෙකක් උදුරගත්තට පාඩු නැතිවෙන තරම්...කොහොමත් ලොකු වීදුරු ජනේලවලින් පේන අහසයි මුහුදයි අතරේ ඉඳන් කෑම කන අතරේ වැඩ කරන්න සහන්‍යා කැමතියි..හැමදාම එන නිසා කවුරුවත් වධ කරන්න ආවෙත් නැහැ..

සහන්‍යාට ඕන වුණේ අහසයි මුහුදයි අතරේ හිටි බැල්ම ආයෙමත් පරිගණක තිරයට ගේන්න..ඒත් ඒ ගේන අතරේ වීදුරුවෙන් තමන්ට මොකක් හරි පුරුදු ඡායාවක් පෙනුණද කියලා හිතිච්ච නිසා ඈ ආයෙමත් හැරිලා බැලුවා..

හුරු පුරුදු ඡායාවක් තමයි..හුඟක් හුරු පුරුදු ඡායාවක්..හැබැයි නුහුරු ඡායාවක් එක්ක...
වේගයෙන් ආව මුහුදු රැල්ලක් කළුගල් පරයේ වැදුණේ නෑහෙන දුරකදි වුණත් ඒ සද්දේ සහන්‍යාගේ කන්වලට දැනුණා..

-----------------------------------------------------

Thursday, February 4, 2016

අන්න, ආයිත් ඇවිල්ල ලු!

නිදහස් දවස් වුණාම ආයිබොවංඩ බ්ලොගේ බුකියේ හැමතැනම සැරිසරන්ට අපටත් කියලා නිදහසක තියෙන්ට ඕනාය. එව්වා තේරෙන්නේ සති අන්තයේත් වෙනසක් නැතිව රේස් දුවන උන්ටම තමාය. මගේ රේස් දිවිල්ලේ තරම කොතරම්දැයි කිව්වොත් දෙයියනේ කියලා පයේ මේස් අතේ දාන කස්ටිය ලංකාවට නිදහස දීලා නොතිබ්බා නම් තිලංගගේ බුකියේ ඔට්ටු දිනන්න තරම් තිබුණාය.වැඩ සතිය පටන් ගන්නේ සඳුදාය.අහවර වන්නේ සිකුරාදාය.සෙනසුරාදා ඉරිදා ඇත්තේ පුක්ස් උඩ දමා නිදාගන්නට, රෙදි සෝදා වේලා ගන්නට, ගෙවල් දොරවල දුවිලි පිහ අතුපතු ගා දමන්නට, ගෙදර මිනිස්සුන්ගේ දුකසැප බලන්නට සහ ඒ අයගේ මුහුණු හරිහැටි බලාගන්නට වාගේ අනේක්විධ වැඩ කටයුතු සඳහාය.කරුමේ යනු එහෙව් සති අන්තයකත් හතිබඩ දමාගෙන දුවන්නට සිද්ධවීමය.ඒ පුණ්‍යවන්ත පරම පෙම්වතී, චී!.. පුණ්‍යවන්ත මනුස්ස ප්‍රාණියා මං ය.

ඉති..න්න්! බ්ලොගේ දුවිලි බැඳිලා මකුළුදැල් නුගමුල් වාගේ එල්ලෙනවාය.මම ටාසනී මෙන් ඒ වැල්වල එල්ලි ඒ මේ අත පැද්දෙමින් ලියන්නට ගත්තාය..
ආයෙමත්? ඔව් ආයෙමත් ආදරෙන්..!

පහුගිය කාලයේ මා ගැන අසමින් අතුරුදහන් වූවන්ගේ කොමිසම් ගානේ රස්තියාදු වූ, හත් දවසේ බෝධිපූජා කළ, අංජනම් පෝලිම්වල කට්ට කෑ, පොලීසි ගානේ මෝචරි ගානේ රස්තියාදු වූ හැමෝටම බොහොම පින් ය! උඹලා වාගේ උන් නිසා තනි තරුව තරු පොකුරු පේද්දිත් බ්ලොග මතක් වී හැමදාම සුසුමෙන් කඳුළින් කල් ගෙව්වාය.ඒවාට අද ඇරියස් කවර් කොරන්නට ශක්තිය ධෛර්යය මේස් දාන රැජිණි සහ අපේ සෝස මල් සනාධිපති ලබා දී ජාතිකාභිමානය රැක ගත්තාය! හම්මේ ඉතින් සන්තෝසේ පපුව හිරකරනකොට ආචාර වෙඩිමුර උණ්ඩෙක එල්ලිලා ගොහින් ඉන්දියන් සාගරේට පතිතවන්නට හිතෙනවාය..

ඉතින් මම කොහෙමෙන් කොහොම හරි ලියන්නට දත කනවාය, තටමනවාය.කන්දක් විලි පහ කරවා මී පැට්ටෙක්වත් වදාවී කියා බොලා ඇවිත් බලනු ඇතැයි මම සිරාවටම හිතනවාය.අමතක වීම ජාතියේ ගතිය නිසා අමතකවෙලා නම් ඒත් ගේමක් නැතිය..මන්දයත්, මටත් දැන් ටික ටික මේවා ලියනාහැටි අමතක වේගෙන යන නිසාය..!
!
!!
!!!
!!!!
!!!!!
!!!!!!
!!!!!!!
!!!!!!!!

හීනෙන් තමයි! 



Tuesday, January 5, 2016

අරුමය..

ප්‍රේමයෙන් ඉක්බිති..
හදවත් නොතිබුණෝ හදවත් ඇත්තෝද
හදවත් තිබුණෝ හදවත් නැත්තෝද
වී ඇති වග නම්...



Monday, January 4, 2016

යුද්ධ

හාදුවකින් අවසන්කළ
නොහැකි යුද්ධ ද ඇත..
නිල් ගැසුණු හදවත්
අඩපණ ලේ නහර
මසන්නට නොහැකි
ඔඩු දිවූ තුවාල
සැඟව යන පණ නල..
බිඳුණ ජීවිත..
ඉතිරි කර ඇදෙන
තවත් යුද්ධ ඇත
අවසනක් නොවන...



පසු සටහන:
යුද්ධ හැම එකක්ම ආදර යුද්ධමද යකුනේ? :D