Wednesday, November 23, 2022

පපරෙ හිනා

ටුක් එක නුගේගොඩ සුපර්මාර්කට් හන්දියේ ට්‍රැෆික් ලයිට්වලට නැවැත්තුවා. මං හිටියේ ලොකු කල්පනාවක නිසා එතන මොකක්ද වෙමින් තිබ්බේ කියලා අවධානයක් තිබ්බේ නෑ. හැබැයි පපරේ එකක් ඇහෙන හින්දා බැලුවම වයසක අන්කල් කෙනෙක් පොඩි බෆල් එකක් අතේ තියාගෙන හිටගෙන ඉන්නවා. පිරිසිදු පාටට පිළිවෙලට පීච් පාට අත්දිග කමිසයක් සුදු සරමට යටකරලා ඇඳලා කලු බෙල්ට් එකකුත් දාලා. මං පපරෙ එක එන්නෙ කොහෙන්ද බැලුව හින්දද කොහෙද ටුකුවට ඈතින් එබිලා බලලා 'Hello Madam' කිව්වා ලස්සනට හිනාවෙලා. මම ලාවට හිනාවෙලා ටක් ගාලා අහක බලාගත්තා ආධාර කරදරයක් කියලා හිතලා. අන්කල් ටිකක් වෙලා ඉඳලා ළගට ඇවිත් හොඳ පැහැදිලි ඉංග්‍රීසියෙන් "Miss, if I were your age, I could have asked to marry you" කියලා දත් නැති කටින් ලස්සනට හිනාවුණා😁 තරුණ කාලේ හැඩට ඉන්න ඇති නෂ්ඨාවශේෂ තාම ඉතුරු ලස්සන හිනාවක් ඒක😎 මගේ කල්පනාව නිසා මොකද්ද ඒ කියලා හිතාගන්න බැරුව තත්පරයක් දෙකක් බලං ඉඳලා "aw, thank you" කියලා මාත් හිනාවෙන්න ගත්තා. එතකොටම කොළ වැටුණ නිසා ටුකුව පිටත්වුණා.

ටුකු රියදුරු අහනවා "ඇයි මිස් ඒ මනුස්සයා සල්ලි ඉල්ලුවද" කියලා. මං කිව්වා නෑ කියලා. ඒ ගමන ඒ මනුස්සයා කියනවා "එච්චර වයසට ගිහිල්ලත් විනෝදෙන් ඉන්නවා වගේ. සමහරවිට මේ මිනිස්සු මහන්සි වෙලා යන වෙලාව නිසා තව කාටහරි පොඩ්ඩක් සන්තෝසයක් ගේන්න හිතන් ඔහොම සිංදු දාගෙන ඉන්නවද දන්නේ නෑ." කියලා. සමහරවිට. ඕක තත්පර කීපයක් ඇතුලත වෙච්ච සිද්ධියක් නිසා මම දන්නේ නෑ ඇත්තටම ඒ අන්කල් කව්ද ඇයි එතන ඉන්නේ කියලා.

හැබැයි ඒ හිනාව නම් හරිම ලස්සනයි. අර කිව්වත් වගේ සමහරවිට මගේ කල්පනාව දැකලා විහිලුවක් කරලා හිනස්සන්න හිතුවා වෙන්නත් ඇති. 

ඒ කියන්නේ මාත් තාම පරක්කු නැහැ මිත්‍රවරුනි. අවුරුදු 70ක් 80ක් වෙලා (එච්චර කල් හිටියොත්) මගෙ මොඩ්ල් කොල්ලෙක්ට, ඒ වෙද්දී නළදත්-less හිනාවක් දාලා Boy if I were your age, I could have asked to marry you කිව්වොත් කොහොමට තියෙයිද කියලා හිත හිත තනියම හිනාවෙවී තමයි ගමනෙ ඉතුරු කොටස ආවේ.😂

ඒ හිනාවට පින් සිද්ධ වේවා අන්කල්.❤️

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal

4 comments:

  1. ගෑණියෙකුට ඔයා ලස්සනයි කියල කිව්වොත් ඊට වඩා එකක් තියෙනවද? නේද? සුපර් මාකට් කියන්නේ නුගේගොඩද? ඔව් නම් මමත් ඔය වැයික්කියේ තමයි උපන්දා සිට.

    ReplyDelete
    Replies
    1. 🤣🤣 ලස්සනයි කියලා නෙවෙයි කිව්වේ 🤣🤣 අනික එව්වට අහුවෙන්නෙ නෑ හැමෝම 😜 ආ එහෙනම් ඔයා දැකලා ඇති ඔය අන්කල්ව. නාවල පාරට හැරෙන තැන හිටියෙ

      Delete
  2. නාකි වෙලා තරුණ අයට ඕක කියන්න බලාගෙන ඉන්නෙ නැතුව දැනුත් කරන්න පුලුවන්. හැරමිටියෙන් යන පිරිමියෙක් ගාවට ගිහින් Hey Old Man, if I were your age, I could have asked to marry me කියන්න.

    ReplyDelete
    Replies
    1. පුළුවන් පුළුවන්. ඒත් හෙද සේවය කරන්න තරම් කාලවේලාවක් නෑ මේ වෙලාවේ 😂

      Delete