Monday, December 14, 2015

තනියාගේ ඉක්කෝල ගමන් - 1

අද කියන්න යන්නෙත් ඉතින් බයිට් කතාවක්ම තමයි..එකම වෙනස මේක ප්‍රවාහනයට සම්බන්ධ වීම..

පුංචි වයසේ පින්වතුනි ඔය අපේ ලඟම ඥාතීන් කීපපොළකට හෙන රුදාවක් තිබ්බා මාව ස්කූල් වෑන් එකකට ඔබන කල් නින්ද නොයන..අනේ ඉතින් කන්කරච්චලේ ඉවසන්නම බැරිතැන දෙමව්පියෝ කල්පනා කොරලා මාව වෑන් තඩියකට භාර දුන්නා අවුරුදු 9න්..මේ අවස්ථාවේ ඔය කිව්ව ඥාතීන්ගේ හතර වරිගෙට හචිං යනවා නම් සමහන් පැකට් එකක් හදන් බොතහැකී ඉතින්..! 

අනේ ඉතින් තරු කෙලීට ප්‍රයිවට් ට්‍රාන්ස්පෝට් එකේ වගේ සැපක් නැතිබව නැගපු පළවෙනි පැයේදිම තේරුණයි කියමුකෝ..වෙනදා පොඩි එකී කරන්නේ වාහනේට නැගපු ගමන් යුනිෆෝම් එකයි මේස් සපත්තුයි ගලවලා දාන එක..ඊටපස්සේ ඉතින් පෙටී එක පිටින් ඔය කිරි පැකට් එකක් හරි මොනාහරි කඩචෝරුවක් කටේ ගහන් ඉස්සරහෙන් පිටිපස්සට පිටිපස්සෙන් ඉස්සරහට වාහනේ පුරා පෙරලි කරලා ගෙදර ළංවෙද්දි බෙල්ල කඩන් දොයි..ගෙදර ගියාම අම්මාගෙ හරි තාත්තාගෙ හරි කරෙන් ගෙට..සැප කනේ! :D

Sunday, December 13, 2015

මේ බජාර් එකට මල්ලී..!

"ආලෝකය ඉපදුණ දා අන්ධකාරය ද ඉපදුණේය.
පොහොසත්කම ඉපදුණ දා දුප්පත්කම ද ඉපදුණේය.
රජුන් ඉපදුණ දා සිඟන්නන් ද ඉපදුණේය."

ඒ "ඇඩ්‍රස් නෑ" පූර්විකාව..



චිත්‍රපටය කරළියට ආවේ දේශපාලනික නිර්වචනයක් ලද ආන්දෝලානාත්මක පෝස්ටරයක් සහ වැකියක් සමග වුවත්, එයින් සමහරුන්ගේ හිත බිඳුණාවන්නට පුළුවන්වුවත් (සමහරුන්ට තවමත් ඒ හිත් බිඳීමෙන් වහගත් සුපුරුදු කුහකත්වයෙන් ගොඩ එන්නට බැරිකමකුත් පේනවා) මෑත සිංහල සිනමාවේ ඉතාම සාර්ථක නිර්මාණයක් බව නොකියාම බැහැ.සමහරුන් ජැකා පූර්ණ කාලීන දේශපාලනික සත්වයෙක් ලෙස හංවඩු ගහන්නට දත කෑවත්, ඔහු තුළ සිටින දක්ෂ කලාකරුවාව සහ රංගධරයාව නොසලකා හැරීම කුහකත්වයක් මිස වෙන කිසිවක් නොවන බවයි මගේ අදහස..අනික් අතට සමකාලීන ශ්‍රියන්ත, කමල්, ජැක්සන් කියන මේ තුන්කට්ටුව, 90 දශකයේදී තරුණයන් ලෙස බොහෝ දක්ෂතා පෙන්වූවන්..අද නිළියට මෙන්ම මේකප් තට්ටුවක් උලා, තොල් පාට කරවා ලොල්ලන් මෙන් කරළියට ගෙන එන (බහුතර) නළුවන්ට වඩා පොළොවේ පය ගසා උන් තාරුණ්‍යයක් කරළියට ගෙන ආ මේ තුන්කට්ටුවට සංසන්දනයක් කිරීම සාධාරණ නොවන නමුත් ජැක්සන් ඔහුගේ අරමුණ අතිශය සාර්ථක කරවාගෙන ඇති බවයි මගේ පෞද්ගලික හැඟීම.අනෙක් අතට ඔවුන් තිදෙනා විසින් නවකයන්ට පෙන්වන ආදර්ශය නොසලකා හරින්නටත් නොහැකියි..

Wednesday, November 25, 2015

නුඹට ලියා තබන වග නම්...

නික්මෙන්නට මොහොතක් තබා මම ලියමි.
නුඹ නොදන්නා මගේ සිතුවිලි, මහළු නොවූ මගේ ප්‍රේමය ලියා තබනට නිසි කල එළඹ ඇතැයි සිතන මොහොතක මම ලියන්නට ගනිමි.නුඹට වදන් කොට කිව නොහැකි වූ, මගේ හිත මා සමග දොඩමළු වූ අනේකවිධ සිතුවිලි මම අකුරු කොට තබමි, යම් මතුදාක නුඹට කියවා දැනගනු හැකිවනු පිණිස..

ප්‍රේමයක හැඩතලක් දකින්නට පෙර නුඹ මට හමුවුණෙහිය.ප්‍රේමයක රස හඳුනන්නට පෙර නුඹ මගේ හිත දිග්විජය කළෙහිය.ප්‍රේමයක බර විඳින්නට පෙර නුඹ එහි අතුපතර විහිදා නැගී සිටියෙහිය.ඉතින්, මම කුළුදුලේ නුඹට ප්‍රේම කළෙමි.

Saturday, November 21, 2015

Amygdala...!

Amygdala...!
උඹට බැහැ ආයෙම
ප්‍රේම සාගරේකට
මාව තල්ලු කර දමන්න..
ගිලෙනවා දැක දැක
මහ හඬින් හිනැහෙන්න...
හිනැහෙහී විරහවක්
ඈත සිට පෙන්වන්න...
Amygdala...!
උඹට බැහැ ආයෙම
කටුකම්බි කඩාගෙන
හදවතට වදින්න...
ඇස් කෙවෙනි දැවෙනකල්
දුක කොනිති ගහන්න...
අතරමං වෙනකල්
හිත ඔහේ කරකන්න..
කෙටියෙන්ම Amygdala
උඹට බැහැ මාව
උඹෙ පදේට නටවන්න
තවත්නම් කොහෙත්ම...!



Note: The amygdala is the part of our brain that handles emotions.


Friday, November 13, 2015

තනියා සහ සංගීත උණ

අපි හැමෝටම එක එක වර්ගයේ උණ තියෙන බව මම මුල් කාලෙත් කතා කරලා තියෙන දෙයක්නේ..දැන් ඔය උණෙත් එක එක වර්ග අපේ ජීවිත වැලඳගන්නේ විවිධාකාර විදියටයි..තනියාටත් ඔය කියමන එහෙම් පිටින්ම වලංගුයි මොකද ඒකාත් පෘථග්ජනයි.ඉතින් ඔහොම තිබුණු/තියෙන එක උණක් තමයි සංගීත උණ.

ඔය සංගීත උණට මූලිකම හේතුව තනියාගේ මව් පාර්ශවයෙන් ආව සංගීත ආභාෂය.තනියාගේ තියෙන නාහෙට නාහන හිතුවක්කාරකම කොච්චර තද වුණත් සංගීතය විඳින සංවේදී එකෙකුත් ඔය හිතුවක්කාර සරීර කූඩුව අස්සෙම කොහේහරි ඉන්නවා..තනියාගේ සීයා තමයි ඔය සංගීත පිස්සුවේ මුදුන් මුල.වෘත්තීයෙන් ඉන්ජෙක් වුණාට මොකද සංගීත හා ලේඛන කලා පිස්සුව තදටම තිබ්බ කෙනෙක් තනියගේ සීයා.පුංචි කාලේ ඉඳන්ම මව් පාර්ශවයේ පවුලේ කට්ටිය එකතුවුණහම සීයා ඕගන් එක ගහමින් සිංදු කියන එකත් අනික් කට්ටියත් බොහොම උද්‍යෝගයෙන් යුතුව ඕකට එකතුවීමත් මගේ පුංචි කාලේ බොහොම මිහිරිම මතකවලින් එකක්..ඒ වගේම සීයාගේ මල්ලිත් අපූරු වගේම බොහොම දක්ෂ කලාකාමියෙක් (ඔහු ගැන වෙනමම දවසක ලියන්නට ඕනා)..ඉතින් ඔය සංගීත සාගරේ ආභාෂය නිසාම තනියාත් පුංචි කාලේ හිතුවා ගායිකාවක් වෙන්න..සීයලා ගයන්නේ ක්ලැසික්ස්, සීටීගේ, සුනිල් ශාන්තලාගේ සිංදු වුණාට තනියා ඒවත් කියන අතරේ උපරිමේටම රස වින්දේ රූකාන්තගේ සිංදු..දැන් කාලේ ස්ටාර්ලටත් වඩා මම හිතන්නේ රූකාන්ත ජනප්‍රිය තලේක හිටි කාලයක්නෙ 90 දශකය කියන්නේ..එතකොට ඉතින් අර උඩ පැන පැන ගිටාර් එක ගගහා අරහෙට මෙහෙට ඇඹරිලා සිංදු කියන අතිශය ප්‍රාසාංගික කලාව තනියාගේ බොක්කට, අග්න්‍යාශයට හිටං ජීර්ණය වෙලා තිබ්බ නිසා ඉස්ඉස්සෙල්ලාම රූකාගේ සිංදු වගයක් පත්තරේක දැකලා ඒ ටික ලියලා දෙන්න කියලා අම්මට කනිපින්දම් කියනකොට තනියා නර්සරියේ..! ආයේ මොනවද ඒ ටික දිහා බලන් වචනවල තේරුම්වත් නොදැන තමයි රූකා වගේම ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම් කළේ..! :D