Wednesday, January 4, 2023
ක්‍රීම් කතා
Monday, January 2, 2023
මාරියක් නොවන්නට නම්..
Wednesday, December 14, 2022
සන්ග්ලාස් අන්කල්
දැන් ඔය හයිලෙවල් පාරේ ඉඳන් රේමන්ඩ් පාරට හැරෙන තැන තුන්හුලස් ඉඩම ඉස්සර බන්දු අයියගෙ (අපිට බන්දු අන්කල්ගෙ) ගරාජ් එක. මේ ගැන බන්දු අන්කල්ගෙ මරණය කාලෙ මම ලියලා ඇති බ්ලොග් එකේ.
( https://tharuwehi.blogspot.com/2014/10/blog-post.html?m=0 )
බන්දු අයියගෙ ගරාජ් එක ඒ කාලේ කලා තිප්පොලක්. සෑහෙන්න කලාකාරයො ආගිය, විශේෂ වැඩකට නොවුණත් යමින් එමින් ගොඩවැදිලා ගිය තැනක්. අපේ තාත්තත් කලාකාරයෙක් නොවුණට ඒ හිතවත් පිරිසෙ කෙනෙක් වෙච්චි නිසා පැය ගණන් (වැඩකට නැතුවත්) ඔතන කට්ට කන්න සිද්ධවෙච්ච අවස්ථා අපිට තියෙනවා.
ඕක ඉස්සරහම තිබ්බේ ඇල්බට් අන්කල්ගෙ කඩේ. පෞද්ගලික ප්‍රවාහනයේ ඉස්කෝලෙ ගිහින් එද්දී සමහර වෙලාවට දවල් ඉස්කෝලෙ ඇරිලා රෑ වෙනකල් කන්න කටු සෙට්වෙන අවස්ථාත් තිබ්බා, අපේ පියාණන්ගේ වැඩ රාජකාරි අනුව. එහෙම දවසක පාන් කියාගන්න බැරිව හෙම්බත්වෙලා හිටිය මට ගරාජ් එක පැත්තට වාහනෙ හරවද්දි සංසාරයෙ දුක්ඛිතබව පැහැදිලි වේගෙන වගේ ආවා. ඒ බව නොදත් තාත්තා මොකද්දෝ ලොරි දුනු කතාවක් බලවන්න පටන් ගනිද්දී මට ඕනෑ වුණා තනියම ඇල්බට් අන්කල්ගෙ කඩේට පාර මාරුවෙලා මොනවහරි ගන්න. සාමාන්‍යයෙන් එහෙම තනියම යවන්නෙම නැතිවුණත් එවෙලේ සන්ග්ලාස් අන්කල් එක්ක කතාවකට සෙට්වෙලා හිටි තාත්තා අවසර දුන්නා එතුමාගේ අධීක්ෂණය යටතේ පාර පැනලා ගන්න දෙයක් අරං ඉක්මණට එන්න. අන්කල් එක්ක කතාකරමින් කඩේ පැත්තට මූණලාගෙන තාත්තා බලං ඉන්නවා මගේ ගමන මොනිටර් කරමින්. අවුරුදු 9ක් හෝ උපරිම 10ක් වෙන්න ඇති මට ඒ වෙද්දී. අර පටුපාර තනියම තරණය කිරීමත් නිදහසක් හැටියට ගත්තු මම මිටින් හැරි කුරුල්ලෙක් වගේ පියාඹලා ගිහින් චොක්ලට් එකක් ගත්තා, ඒ තටුවලින්ම හැරෙන තැපෑලෙන් ආපස්සට ගරාජ් එකට දුවන්න හැරුණා.
මහ සද්දෙන් බ්‍රේක් පාරක් වැදුණා!
පාරට පැනපු විදිහටම වටපිට නොබලා මම සිටි තැනටම දිව්වා!
ඒ සැණින් විශාල බැණුම් සද්දයක් සමග මගේ කණක් තදින් ආපස්සට කැරකැවුණා!
ගත්තු චොක්ලට් එකත් අතේ මිටි කරං කඳුළු පුරෝගෙන මම දඬුවම් දුන් පියාණෝ පිටිපස්සෙම හැංගුණා!
ලැජ්ජාවනෙ! සන්ග්ලාස් අන්කල් විතරක්යැ දෙනෝදාහක් ඉස්සරහ මොන ලැජ්ජාවක් ද ඒ මට වුණේ. පොඩිහිටියන්ටත් ගෞරවනීය පුරවැසියන් විදිහට ජීවත්වීමට අයිතියක් ඇත, දඬුවම මානව හිමිකම් උල්ලංඝනයකි වගේ බෝඩ් උස්සන ඇත්තෝ ඒ කාලෙ නොහිටි නිසා මම පත්වූ අපහසුතාවය දැක්ක සන්ග්ලාස් අන්කල් හරිම කාරුණිකව ඔලුව අතගාලා මගෙ අතින් අල්ලන් හැංගිලා හිටිය පිය සෙවණැල්ලෙන් මෑත් කරලා කිව්වා "තාත්තා කලබලවුණානේ පුතේ ඔයා අර වාහනෙට අහුවෙනවනෙ තව ඩිංගෙන්. ඒකනේ එයා බනින්නෙ. හා දැන් එන්නකො අපි ඕක අමතක කරමු"
ඒ සන්ග්ලාස් අන්කල් තමයි නිහාල් නෙල්සන්!
නිහාල් අන්කල් හරිම නිරහංකාර මනුස්සයෙක් කියලා පුංචි එකෙක් හැටියට මට තේරුම් ගිය අවස්ථාව තමයි ඒක.
මම ඒ දවස්වල රූකාන්ත ෆෑන් කෙනෙක්. රූකගේ ඇක්ෂන් දාලා සිංදු කිව්වට නිහාල් අන්කල්ගෙ ඇක්ෂන් දාලා එයාගෙ සිංදු නොකිව්ව ගැන අද මට කණගාටුවක් දැනෙනවා.
අන්කල් ගිය තැනක ලස්සනට පිපුණු වනමල්ගල් අතර සුන්දර කාලයක් ගෙවාවි. එහෙ ඉඳන් ගයන සිංදුවක රහ බිංදුවක් මේ ලෝකේ පැත්තටත් එවන්න.
සුබගමන් සන්ග්ලාස් අන්කල්💔💐
~✒️ Aash Weerasinghe
#AW #thaniya #medusasjournal #medusa #lka
Tuesday, December 13, 2022
හීතල ගිනිකඳු
ඉස්සර අපේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගේට්ටුවෙන් එලියේ, බයිසිකලේක පිටිපස්සෙ බැඳගත්ත ලී පෙට්ටියක් ඇතුලේ චූටි චූටි සිලි බෑග්වල දාගත්තු අමු දිවුල් සම්බෝල, දං, ඇඹරල්ලා අච්චාරු, වෙරළු අච්චාරු, අඹ අච්චාරු, අන්නාසි අච්චාරු (කියවගෙන යද්දිත් කෙළ උනනවනෙ?) තියං විකුණන වයසක අන්කල් කෙනෙක් හිටියා. මාව පෞද්ගලික ප්‍රවාහනයෙන් පාසැල් ප්‍රවාහනයට අතෑරිය කතාව කලින් කියලා තියෙනවනෙ. මොන ප්‍රවාහනේ ගියත් කඩචෝරු නැති දවසක් නෑ. එතකොට හතර වසරෙ හිටපු මායි මගෙ යාලුවයිත් ඔය අච්චාරු රැල්ලට නිතරඟයෙන්ම සෙට්වෙලා හිටියෙ. අමු දිවුල් එහෙම කඩාගන්න බැරි නිසා ඉස්කෝලෙ සෙකියුරිටි අන්කල් කෙනෙකුට හරි ඩ්‍රයිවර් අන්කල් කෙනෙකුට හරි තමයි උදව් කරන්න වුණේ. මට මතක විදියට රුපියලක් දෙකක් වගෙ ඔය කොයිකත් එතකොට.
ඉතින් ඔතන පෝලිමේ ඉඳලා ළමයි අස්සෙ පොරකාලා ගන්න කෑම අරන් වෑන් එකට දුවද්දී සාක්කුවල ඔබාගන්න නිසා ඒ දවස්වල යුනිෆෝම් එහෙම පුදුම ලස්සනයි, එක එක පාට කහට රටා එක්ක.
ඉස්කෝලෙ ඇතුලේ ඉන්න වෙලාවක නං ඉතින් කැන්ටිම තමයි එකම පිහිට. මොකෝ ඒ කාලේ මෝටර් බයිසිකල්වල කෑම ඇද්දෙ නැහැනෙ කොහෙටවත්. ඒත් ඉතින් එක එක කාලෙට එක එක රැලි ආවා. එක කාලෙකට හැලප රැල්ල. වැඩේ outsource කළත් කැන්ටිමේ අක්කා දන්නවා හැලප වැඩිපුරම කෑවෙ කව්ද කියලා😅 ඊළගට කාලයක් තිබ්බා එක පැත්තක් විතරක් කහ හරි රෝස හරි පාට කරපු චොක්ලට් එකක්. ඒ රැල්ලෙන් ගැලවෙන්න නං කාලයක් ගියා. පොරි රැල්ලට නං මං එච්චර සෙට්වුණේ නෑ මොකද එව්වා දැන් තියෙන සිනිඳු සුකොමල මැෂින් පොරි නෙවෙයි, තාච්චිවල (වෙන්නැති) බැදපු ගල්පොරි. රුපියලෙ පොඩි පොරි පැකට් එකක මල්වලට වඩා තිබ්බේ ගල් ගැහිච්ච ඇට! එව්වා හපලා දත් ටිකට අවැඩක් කරගන්න බෑ මොකද මම ඩෙන්ටල්-විරෝධී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු! 😎
මේ අච්චාරු කතන්දරේ කොහෙටද කැරකෙන්නෙ කියලා නේද හිතන්නෙ?
:
:
:
ඔබ හරි!
හෙඩිමක් දැක්කා මත්ද්‍රව්‍ය සොයා පොලීසිය පාසැල් පීරයි! කියලා. ඒ දවස්වල පාසැලක් පීරුවා නං වැඩිපුරම හම්බෙන්න පුළුවන් සෙනෙහෙකොළ, නලුනිලියන්ගෙ පිංතූර, ඉඳලාහිටලා "තමන්ට විතරක් නලුවෙක්/නිලියෙක් වගේ පේන පින්තූර", ජංගම දුරකථන, පස්වෙනි මණ්ඩලේ පත්තර, මණ්ඩලෙන් ප්‍රතික්ෂේප වුණ චිත්‍රපට, සිගරට්, වැඩිමවුණොත් ජොයින්ට් එකක් වගේ සාපේක්ෂව අහිංසක දේවල්. ඒත් ඉතින් විනය මණ්ඩලවලින් හායි හූයි ගාලා උඩ පැනලා නටපු, අහුවුණෙත් මුලු පාසැල් ජීවිතේටම හණ ගහන විත්ති භාණ්‌ඩ ඔව්වා.
විහිලු පැත්තක තියලා දැන් තියෙන තත්ත්වය දිහා බැලුවොත් මතුපිටින් සාමාන්‍යයි වගේ පෙනුණට මේක හරිම භයානක තත්ත්වයක්. අර අච්චාරු කරත්තෙට පුරුදු වෙච්ච අවුරුදු නමයෙ මායි යාලුවයි වගේ පුංචි උන් ඔය දෙන මත් ටොපියකට පුරුදුවුණොත් කව්ද මොකද්ද ඒකට කරන්න පුළුවන්? මොනා කරන්නත් දැනගන්නෙ කොහොමද?
ජීවිතේම රස්සාවලට කැප කරපු දෙමව්පියෝ ඉන්න තැන්වල පැය 13කට වඩා අවධානයෙන් ගිලිහෙන ළමයි මොනවා කරනවා ඇතිද? කව්ද දන්නෙ?
අනෙක් අතට ඉස්සර නාඳුනන මිනිස්සු දෙන දේවල් කන්න බොන්න එපා, නාඳුනන මිනිස්සු කතා කළාට කොහෙවත් යන්න එපා කියලා අපේ පරම්පරාවලට කරපු දැනුවත්කම අදට වලංගුද?
නාඳුනන කෙනෙක් හරි දෙන්නෙ සල්ලිවලට. ඒක සාමාන්‍ය ගනුදෙනුවක් හැටියට ගන්නෙ නැතිවෙන්න පුළුවන් ද දියුණු පරම්පරාවක ළමයි?
නාඳුනන අය එක්ක යන්න එපා කිව්වම GPS tracking ගැන විශ්වාසය නොතියා ඉඳීවිද තාක්ෂණිකව දියුණු ළමයි (ජංගම දුරකථන තියෙන ළමයි, බාටා දෙක දාගෙන ඉස්කෝලෙ යන ළමයි නෙවෙයි)?
තාක්ෂණික දියුණුව වල්බූරු නිදහසක් කරගත්ත පරම්පරාවක එක්ටැම්ගෙවල්වල හිරකරලා තියන්න පුළුවන් උන්මාද චිත්‍රලා ඉඳීවිද?
ලංකාව අරාජික වෙච්ච පහුගිය කාලයක අත්‍යාවශ්‍ය දේ පවා නිසියාකාරව නොලැබුණ කාලයක මත්ද්‍රව්‍ය විතරක් නිසියාකාරව සැපයුණේ කොහොමද?
පෙට්‍රල්, ගෑස්, කිරිපිටි, බෙහෙත් නැව් පහුකරගෙන මත්කුඩු නැව් නොපෙනීම ආවේ කොහොමද?
අන්න සැපයුම්කරුවො ආදර්ශයට ගන්න වටින!
දේශපාලනික අවුල්ජාලා අස්සෙ අවධානය වෙන අතක තියෙද්දි පිළිකාවක් ඔඩුදුවලා කියලා පැහැදිලියි. එතකොට ඒ අවුලුයි මේ පිළිකාවයි අතර අවස්ථා සම්බන්ධයක් තියෙන්න බැරිද?
අරගලවලට පිදුරුවුණේ දේශපාලනය විතරක්ම වෙන්නත් බෑ නේද?
නීතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම එක අරමුණක් බව ඊටපස්සේ සිවිල් සමාජයේ හැසිරීම එක්ක පැහැදිලි වෙන්න ඕන, මධ්‍යස්ථව 2022 අවුරුද්ද විශ්ලේෂණය කරන කෙනෙකුට. නීතිය සහ සාමය අවභාවිතවීම ගැන කතා කළ කොටසක්ම නීතිය සහ සාමයට කළ සැලකීම ගිය සතියෙත් අපි දැක්කා පාන්දරක. සම්මත නීතිය අවභාවිතයට එරෙහිව වෙන්න ඕන කැලෑ නීතිය වැළඳගැනීමෙන් නෙවෙයි. කැලෑ නීතිය අවශ්‍ය නම් අපිට පුළුවන් ආයෙත් දශක ගාණක් ආපස්සට ගිහින් ඉන්න!
හැබැයි මෙන්න මේකත් කල්පනා කරලා බලන්න. (අකුදි කියන විදියට)
සිවිල් සමාජය කියන කරත්තයෙ හරකාට පෙට්‍රල් ගහන්න දේශපාලනික බළල් (සහ කොටි) අත්වලට අමතරව එකතුවෙන ව්‍යාපාරික බළල් (සහ කොටි) අත් කැලෑ නීතිය අතට ගන්න ඔබව පෙළඹුවාට ඔරිජිනල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මකවෙන්නෙ නිහඬව. දේශපාලනික බලය ඒකෙ එක කොටසක් විතරයි.
එතකොට ඒ න්‍යාය පත්‍රයේ තව හුගාක් දේවල් තවම මතුනොවී තියෙන්න පුළුවන්. බැරි නැහැ. පාසැල්වලින් මතුවෙන්නේ එක කොටසයි, අයිස් කන්දේ මුදුනේ තියෙන කොඩිය තාම අපි දකින්නේ.
කමක් නෑ. සමහර ඔස්තාද්ලා කියනවනෙ "ලංකාවට එහෙම පට්ට ගේම් දෙන්න මොකද ලංකාව මහ එකක්ද" වගේ කතා.
නෑ මහත්මයා, ලංකාව 'මහ එකක්' නෙවේ තමා, ඒත් ඒකෙ 'මහ ඔයාලා වගේ අය' ඉන්නවනෙ. ඒකයි!
ඉතින් ඔයාලා දිගටම ඔය ගේම ගහං යන්න. පේන අපි බලං ඉන්නං.
නොපෙනෙන අය.. අනේ මන්දා..!
ප. ලි.
මතක තියාගන්න තමන්ගෙ දරුවෙක් හරි සමීපතමයෙක් හරි මතට හුරුවුණාම ඔය පෙනී ඉන්න සර්ව සාධාරණත්වය, දේශපාලන මත, අර කඳවුර මේ කඳවුර, එයා එහෙම නෑ, ආගමික මත, අරක මේක සේරම හිස් බයිලා විතරක් වෙන බව!
අන්න එතකොට තමයි සිසිල ගිනිගන්න පටන්ගන්නෙ.
~✒️ Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal #drugaddiction #lka