Friday, May 13, 2022

ගණගෙඩි ගැන කතන්දරේ

2022 අප්‍රේල් 19දා

මම උපතින්ම සිංහල බෞද්ධයෙක්. ආගමික නැඹුරුව නම් අඩුයි කියලා නිතරම වැඩිහිටි හිතමිත්‍රාදීන්ගේ චෝදනාවලට ලක්වෙන කෙනෙක්. ඒ කියන්නේ පන්සල් යෑම නිරන්තරයෙන් නොකරන හින්දා. පන්සල් නොයන්න විශේෂ හේතුවක් නෑ, හුඟක් සෙනග ගැවසෙන තැන්වල නිස්කලංකව ආගමික වතාවත් කරන්න ඉඩ නැති බව නිසා යන්න මැලි කරනවා. ආමිස පූජාවත් හැකි අයුරින් කරනවා, ප්‍රතිපත්ති පූජාවෙ යෙදෙනවා. ඔක්කොම නැති වුණත් ගාථා සහ පිරිත් ගැන අවබෝධයක් තියෙනවා. මෙච්චර විස්තර කළේ මං නිරාගමික නැති බව පැහැදිලි කරන්න.

ලංකාවේ බෞද්ධ පූජ්‍ය පක්ෂය ගැන මට ලොකු අවබෝධයක් නෑ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ නම් එහෙම මට මතක නෑ, මේ අසවල් පන්සලේ ස්වාමීන් වහන්සේ, අරම මෙහෙම බණ කියන ස්වාමීන් වහන්සේ වගේ කතන්දර මතක තියාගන්න තරම් මට ලොකු උනන්දුවක් ඇත්තටම නෑ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ මම බෞද්ධයෙක් වීම හෙළා දකින, නමට බෞද්ධයෙක් කියලා.

ලංකාවේ භික්ෂූන් වහන්සේලාට එල්ලවන ලොකුම චෝදනාව තමයි උන්වහන්සේලා දේශපාලනයට සම්බන්ධ වීම. ඒ ඇරුණම තමතමන්ගේ සුඛවිහරණය, තනතුරු තාන්න මාන්න සඳහා කැපවීම වගේ චෝදනාත් තියෙනවා.

මගේ අත්දැකීම සහ ඔය උඩ කිව්ව කතන්දරේ මට දැනෙන පේන හැටිය තමයි මේක.
මං වැරදි නම් නිවැරදි කරන්න. 
සිංහල බෞද්ධ ජන සමාජයක් ඉන්න ලෝකේ එකම රට ශ්‍රී ලංකාව. ආසියාවේ රටවල් කීපයක බුදු දහම පැවතුණාට මම හිතන්නේ ප්‍රධාන මහායාන ථේරවාද වෙනස ඇරෙන්න තව යම් යම් වෙනස්කම් තියෙනවා. එහෙම බැලුවම ලංකාවේ පවතින බුදු දහම සහ සබැඳි සංස්කෘතිය මට පේන ආකාරයට නම් ශිෂ්ටාචාරමය, සංස්කෘතිකමය සහ ඓතිහාසික වටිනාකමක් සහිත දෙයක්. ඒක ආරක්ෂා කිරීමට අනෙක් හැම ආගමකම වගේ බෞද්ධ පූජ්‍ය පක්ෂයට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. එතකොට ඒ වගකීම හරියට ඉෂ්ඨ සිද්ධ වෙනවාද කියන විවාදාත්මක කාරණෙට අපි නිරායාසයෙන්ම එළඹෙනවා. 

සියලු ආගමික පූජකවරුන් දේශපාලනය සමග සමීපව කටයුතු කරනවා. සමහරුන්ගේ ඒ බව පේන්නෙ නෑ, සමහරුන්ගේ පේනවා. හැම කෙනෙක්ම දේශපාලනික නිසා අපිට ඒකට විරුද්ධ වෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ. 

එතකොට බෞද්ධ භික්ෂූවට විතරක් මේතරම් චෝදනා එල්ල වෙන්න තරම් වරදින්න ඇත්තේ කොතනින්ද?
සෝම ස්වාමීන් වහන්සේ අපිට මතක ඇති කාලයක විශාල බෞද්ධ පුනරුදයක් ඇති කරන්න උත්සහ කළා. උන්වහන්සේගේ අකල් වියෝවෙන් පස්සේ ඒ මග යන්න උත්සාහ කළ භික්ෂුන් වහන්සේලාත් හිටියා. හැබැයි එක තැනක කොහේහරි ඒ අවංක වෑයම ලෞකික සැපසම්පත්වලට වේගයෙන් වැහෙන්න පටන්ගත්තා කියන එකයි මගේ විශ්වාසය. සෝම හිමියන්ගේ වෑයමෙන් පන්සලට ගෙන්න ගත්ත, එන්න පටන්ගත්ත තරුණ පරපුර විතරක් නෙවෙයි වැඩිහිටි බහුතරයක් පවා පන්සලෙන් ඈත්වෙන්න බලපෑවේ පැහැදිලිවම ලෝකෝත්තර සම්පත්තිය මග ඇරලා ලෞකික සම්පත්තිය පස්සේ හැල්මේ දුවන්නට පටන්ගත් බෞද්ධාගමික නායකයන්! 

ඉවසන්න, දැං අනෙක් ආගමික නායකයන් අතරත් ශුද්ධවන්තයින් නෑ! මේ කතාව වැරදි තැනින් අල්ලාගන්න එපා. තව ඉවර නෑ.

ඊටපස්සේ උන්වහන්සේලාට ඇතිවුණා එකිනෙකා අතර තරගයක්. ලොකුම පන්සල, ලොකුම හයිකාර දායක සභාව, ලොකුම කඨින පිංකම, මිලාධිකම සැපපහසුම වාහනය, සංඝනායක පදවි තානාන්තර වගේ භෞතික දේවල් පස්සේ යන්න ගත්තට පස්සෙ සෝවාන් වුණ, රහත් වුණ, බුදුවුණ ස්වාමීන් වහන්සේලා හතු වගේ බිහිවෙන්න ගත්තා. ඒ අතර ජාති මාමක, දේශමාමක වෙනත් යටි අරමුණු සහ න්‍යාය පත්‍ර සහිත තව චීවරධාරීන් කොටසක් බිහි වෙන්න පටන්ගත්තා. එතකොට උන්වහන්සේලාට ඇතිවෙන්න ගත්ත වැඩ රාජකාරි කටයුතු එක්ක ගමේ පන්සලට සම්බන්ධ බෞද්ධාගමිකයො ටික ගැන බලන්න වෙලාවක් උවමනාවක් නැතිවෙන්න පටන් ගත්තා.
එහෙම නැති, තමන්ට කිසිම සුඛ විහරණයක් නැතිව, පන්සලේ තියෙන තේකොළ ටික පවා ගම්මුන්ට ගෙනියන්න ඉඩදීමෙන් ගිලන්පස ටිකක්වත් හදාගන්න විදිහක් නැතිවුණ ස්වාමීන් වහන්සේලා සහ වැසිකිළි කැසිකිළි පහසුකම්වත් හරියාකාරව නැති විහාරස්ථානත් මේ ලංකාවේ මම දැකලා තියෙනවා.
ගෙනියන දානෙ ටික පවා අහළ පහළ දුප්පත් දරුවන්ට පවුල්වලට පිරිනමපු ස්වාමින් වහන්සේලා මම දැකලා තියෙනවා.
මේ කතා කරන්නේ ශාසනාරූඨ ව්‍යාපාරික අරමුණු සහිත සුලුතරය ගැන. ඒ සුළුතරය නිසා වෙන හානිය උපරිම නිසා.

බණකට දානයකට වැඩියායින් පස්සේ තුවා, මුතුකුඩ, සේසත්, පිරිකර නෙවෙයි ලියුම් කවරයක් පිළිගන්වන්න උපාසක මහත්තයෝ කීමෙන්ම ඒ උපාසක ඇත්තන්ගේ හිත කඩලා, ශ්‍රද්ධාවට වෙඩි තියලා, කරන්න ගිය පුණ්‍ය කර්මය පාප කර්මයක් බවට පත්කරවන්න හේතු සාධක වෙන භික්ෂූන් වහන්සේලා ඉන්නවා.

ඇයි තරුණ පරම්පරාව පන්සලෙන් ඈත්වෙන්නේ?
තරුණ දක්ෂ ස්වාමීන් වහන්සේලා පන්සල්වල වැඩ ඉන්නවා. හැබැයි බහුතරයක් චීවරය දරන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර වීමෙන් පස්සේ සිවුරු හැරයන්න බලාගෙන. චීවරය දරාගෙන විශ්ව විද්‍යාල තුළ ක්‍රියාකාරී දේශපාලනය කටයුතුවල යෙදෙන කොයිතරම් පිරිසක් ඉන්නවද? සෑම ආගමික පූජකයෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය උදුරා ගන්න කාටවත් බෑ, උදුරා ගත යුතුත් නෑ. හැබැයි ඒ විශ්ව විද්‍යාල තුළ දේශපාලනය කරන, අරගල කරන, රැඩිකල් මතධාරී, සහෝදර සහෝදරියන් සමග උරෙනුර ගැටෙමින් කඳුළු ගෑස් කමින් යුක්තිය උදෙසා සටන් කරන තරුණ චීවරධාරීන් සහ උපදේශාත්මකව හෝ ක්‍රියාකාරීව ප්‍රධාන ධාරාවේ දේශපාලනයට සම්බන්ධව කටයුතු කරන වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අතර වෙනසක් මම දකින්නේ නැහැ. 

රැල්ලට එන සටන් පාඨවලින් එකක්නෙ 'ගණගෙඩි' හෙළා දකින එක. දැන් මේ ගණගෙඩි කියා හැප්පෙන-වැරදි-පරම්පරාව සහ වැඩිහිටි සමාජවාදීන් කියන කණ්ඩායම් විසින් පරිභව කෙරෙන බෞද්ධ භික්ෂුවම, ඔවුන්ගේ දේශපාලන කඳවුරට කැපයි! ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක් දරනවා නම් 'ගණගෙඩි' බවට පත්වෙනවා. මට ඒ වෙනසට හේතුවන සාධාරණ තර්කයක් පේන්නේ නැහැ. මම හිතන්නේ හොඳට හිතලා බැලුවොත් ඔබට වුණත් ඒ ලොජික් එක තේරුම් යන එකක් නැහැ. 

එතකොට මේ වගේ අනවශ්‍ය අපහාසයකට ලක් කිරීම නිර්ලජ්ජිත වැඩක් වගේම අපහාසයට ලක්වන අයුරින් කටයුතු කිරීමත් නිර්ලජ්ජිතකමක්! 
මහ කකුලුවන් ඇදේට යමින් පොඩි කකුලුවන්ට කෙලින් යන්න කියන්නත් බෑ, පොඩි කකුලුවන් ඇදේට යනගමන් මහ කකුලුවන්ට හිනාවෙන්නත් බැහැ. 

මුස්ලිම් සහ කතෝලික/ක්‍රිස්තියානි පල්ලි දක්ෂිණාංශික දේශපාලනයට බර බව ප්‍රසිද්ධ රහසක්. ඕනෑම මැතිවරණයකදී බහුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන්ට පල්ලි විසින් යෝජනා කෙරෙන දේශපාලන දැක්ම සහ එකඟතාවය අනුව ඡන්දය භාවිත වෙන බවත් ප්‍රසිද්ධ රහසක්. ඉතාම සුළුතරයක් ඉන්නට පුළුවන් ඊට අනුගත නොවන. 

බෞද්ධයන් අතර කතන්දරේ වෙනස්. බෞද්ධ උපාසක උපාසිකාවන් පන්සලට නතුත් නැහැ, පන්සල ඒ අයට නතුත් නැහැ. දේශපාලන එකඟතාවක් නෑ, ඡන්ද අයිතිය දෙපාර්ශවයම ස්වාධීනව භාවිතා කරනවා. 
ඔව්, මේ ප්‍රකාශය ජාතිවාදී ආගම්වාදී කෝණයකින් ගන්න අයත් ඉඳිවි, නැත්නම් කාරණාව දිහා අවංකව සහ මධ්‍යස්ථව බලලා තේරුම් ගන්නා අයත් ඉඳිවි. 

එතකොට එහෙම බලද්දී බෞද්ධ ජන සමාජය ඇතැම් විට අන්තවාදීව ලිබරල්! 
ඕනෑම දෙයක් ඕනෑවට වඩා තිබීම විනාශයකට මුල පුරනවා වගේ තමයි අන්න ඒකත්. 

දේශපාලනිකව ක්‍රියාත්මක වීම උන්වහන්සේලාගේ කැමැත්ත සහ අයිතිය. නමුත් මේ යන හැටියට ඒ හා සමානවම වැදගත්කමක් ඈත්වෙන බෞද්ධයන් රැකගන්නා වැඩ පිළිවෙළකට දීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා ඉවරයි. වෙනත් කිසිම ආගමක තරුණ පරම්පරාවවත් කිසිසේත්ම වැඩිහිටි පරම්පරාව ආගමික ස්ථානයෙන් ඈත්වීමක් හෝ ආගමික නායකයන් නුරුස්නා තත්ත්වයට පත්වීමක් වෙලා නැහැ. හරාම් වන දුම් සහ සුරා පානයෙ යෙදෙන, මුස්ලිම් ආගමික නීතිරාමුවට අනුගතවීම වර්ජනය කරන මුස්ලිම් තරුණයා පවා සිකුරාදා පල්ලි යෑම අතහැර නෑ. ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන්. ඉතාම රැඩිකල්වාදී තරුණයා පවා ඉරිදා දේව මෙහෙයට සහභාගි වීම හෝ පල්ලිය ආශ්‍රිත සුබ සාධන කටයුත්තක් මග හරින්නේ නෑ. ඒත් බහුතර බෞද්ධ තරුණයාට පන්සිල් පද පහවත් කියාගන්න දන්නේ නෑ. ඒ තත්ත්වයට පත් කරවන්න ප්‍රධානතම වරද වෙලා තියෙන්නේ පන්සලෙන් සහ පවුලෙන්ම තමයි. 

කුමන ආගමක හෝ වේවා දැඩි සමාජවාදී, මාක්ස්වාදී, ලෙනින්වාදී, ට්‍රොට්ස්කිවාදී, නැක්සල්වාදී ආදි එකීමෙකීනොකී දේශපාලන නිකායවල්වලට අදාළ පුද්ගලයන් ඉන්න පුළුවන්. නමුත් ඒ හැම නිකායකටම වඩා ඔවුන්ට තවම ඔවුන්ගේ ආගම වැදගත්. ඒ හැම නිකායක්ම තමන්ටත් වඩා ඉහළින් තබා සලකන බහුතරය අවාසනාවකට සිංහල බෞද්ධ. සහජීවනය සංහිඳියාව අවශ්‍යයි. නමුත් අසීමාන්තිකව ධ්‍රැවීකරණය වීමත් අනවශ්‍යයි. සහජීවනය සහ සංහිඳියාව ඌයියාවීමට ඇති ඉඩක් ගැන අනවශ්‍ය බියක් ඇතිකරවා ගැනීමෙන් මේ තත්ත්වයට පිළියම් කරන්න බෑ. ඒක බෞද්ධයන් වගේම භික්ෂූන් වහන්සේලාත් තේරුම් ගත යුතු සහ ක්‍රියාත්මක විය යුතු තත්ත්වයක්. 

ගරුතර සංඝයා වහන්ස, 
අඩුම තරමින් තමන්ගේ පන්සල අවට ප්‍රදේශවාසීන් අඳුනගැනීමෙන් පටන්ගන්න. හැමදාම එන අය නෙවෙයි නොඑන අය ගැන හොයන්න. තමන්ගේ ආවාසය සහ පන්සල විශාල කිරීමට උනන්දු වනවා වගේම අසරණ දායකයන්ට, ප්‍රදේශවාසීන්ට පුළුවන් උපකාරයක් කරන්න. තමන්ට බැරි නම් යමක් කළ හැකි දායකයෙකුගෙන් උපකාරයක් ලබාදෙන්න මැදිහත් වෙන්න. ලොකුම පූජා වට්ටිය සහ පඬුරු අරන් එන අයව වගේම හිස් අතින් එන බෞද්ධයවත් පිළිගන්න, කතා කරන්න, ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ගැන අවබෝධයක් ගන්න. කළහැකි සහ කළයුතු අනුශාසනාවක් කරන්න. 
පිංකම් නාමයෙන් විවිධ පුද්ගලයන්ගේ දායකත්වය ලෝකෙට අඬබෙර ගහමින් කරන ලංසු පොළවල් නවත්තන්න. ඒ වගේ ලංසුපොළවල්වලට සහය දෙන දායකයන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා. 
සමහරවිට එතනින් පටන් ගත්තොත් පොඩි බලාපොරොත්තුවක්වත් තියාගන්න පුළුවන් වේවි. 

සටහන තිබ්බේ ජාති ආගම් බේදවලට නෙවෙයි, බුද්ධියෙන් හිතන්න පුළුවන් මිනිස්සුන්ට.


එයා එහෙම නෑ!

2022 අප්‍රේල් 19දා

හොඳටම වටේ යන කොල්ලෙක්/කෙල්ලෙක් ගැන යාලුවො කිව්වම "එයා එහෙම නෑ බං" කියනවා වගේ තමයි දැන් සමහරු අර-ගලේ ගැන කතා කරන්නෙත්! 🤦‍♀️😂

ආණ්ඩු විරෝධී ඕන කෙනෙක් කියන සේරම ඉස්මුදුනින් පිළිගන්නවා.
තමන්ගේ දේශපාලන පක්ෂය කියන සේරම එහෙයි කියලා පිළිගන්නවා. 
බැසිල් කාක්කා ඇරුණම ඈත හිමගිරි හිමව් අරණේ ඉඳන් කාක් කියන ඕනම එන්ජිඕ කාක්කෙක් කිව්වම අන්න පරම සත්‍යය කියලා දෝත් මුදුන් දීලා පිළිගන්නවා.
ඇත්තටම එතන හිටපු වගක්වත් නොදන්න කව්රු හරි කියන පූචානමුත් වීර වික්‍රම හැටියට පිළිගන්නවා.

බයියෝ මීට වඩා පොඩ්ඩක් පරිණතයි ද මන්දා🤣🤣🤣

කවන හැම එකම බග් ගාලා ගිලින්නෙ නැතුව පොඩ්ඩක් විචාරාත්මක බුද්ධියත් ඉඳලා හිටලා පාවිච්චි කරන්න අනේ. ඕක පාවිච්චි නොකර දිරලා යයි.

#නිර්දේශපාලනිකයිලුඉතින්

මිථ්‍යාව සහ අරගලය

2022 අප්‍රේල් 17දා

හිනත් යනවා ඉතින්.

අනෙක් පළාත්වල දේව ඇදහිලි, විශ්වාස, හදි හූනියම් වගේම දකුණෙත් එහෙමයි. ඒවා කරන නොකරන එක විශ්වාස කරන නොකරන එක කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස්.

මට දැන් ඇයි හිනායන්නෙ?
ඥාණක්කා පට්ට ගහන නිරාගමික අරගලයක බලි තොවිල් කරනවා! 😂 අරයව බය කරවන්නලු. 
එතකොට උදේ හවා චිංගල බවුජ්ජ සඟිස්කුරුතිය කියලා එකක් වැජක් ඥෑ කියන රොත්තක් නැකැත් සීට්ටු කරලා හිස තෙල් ගාලා ඒ හිසතෙල් ගෝඨාභය උන්නැහේ භාරගත්තේ නැතිවුණත් හපෝ අපි දල්ලෑ ඔයාච වස් වදී හලිද කියලා බිම තියන්නත් බෑ කියනවා.
කාටද අප්පා මං මෙව්වා කියන්නේ ඉතින්! 😂😂😂😂😂

හචිමක් ගියත් පාර මැද්දෙ පොල් ගහන රටක්නෙ මේක!

#freethinkersmyfoot

හීන බලන අපි

2022 අප්‍රේල් 17දා

දේශපාලනිකව කිසිම කඳවුරකින් මම උපයා ගත්ත දෙයක් හෝ පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක් නෑ. නමුත් විවිධාකාර මට්ටමින් පැවති සහ පවතින රජයන් හෝ සමීපතමයන් සමගත් විවිධ මට්ටමේ නිලධාරීන් සමගත් කටයුතු කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතුවල නිරත බහුතරයකට ලැබෙන අවස්ථාවක් මිස විශේෂ එකක් නෙවෙයි. 

සැබෑ ලෝකයේ සර්ව සාධාරණය සර්ව කාලීනව ක්‍රියාත්මක වෙන්නේ නෑ. පොඩි පෙට්ටි කඩේ ඉඳන් දැවැන්ත ව්‍යාපාර සමූහයන් දක්වා හැම ව්‍යාපාරයකම අරමුණ වාණිජ ලාභ! ඒ හැම කෙනෙක්ම ප්‍රමුඛත්වය දෙන්නේ යම් අවස්ථාවක් තමන්ට ලබාගන්නෙ කොහොමද ඒකෙන් උපරිම ලාභයක් අත්පත් කරගන්නේ කොහොමද කියන කාරණාවලට. 
ඒ වගේම ව්‍යාපාරික හෝ දේශපාලනික ලෝකවල වගේම බහුතරයක් සාමාන්‍ය ලෝකවලටත් 'there are no free lunches' කියන කතාව අදාළයි. ඒක සාමාජයෙ අන්තිම පහළ පුරුකෙ ඉඳන් ඉහළම පුරුක දක්වා දිවෙන සත්‍යයක්. 

උදාහරණයක් කිව්වොත් කුණු එකතු කිරීම නගර සභාව විසින් කළමනාකරණය කෙරෙන සේවක පිරිසකට පැවරුණු රාජකාරියක්. නමුත්, හැම කුණු එකතු කිරීමේ වාරයකදීම ඔවුන් අපෙන් මුදලක් බලාපොරොත්තු වෙනවා සහ ඉල්ලා සිටිනවා. අනිවාර්යයෙන්ම උත්සව කාලවලදී අපි මුදලක් දිය යුතුමයි, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්! අපිත් දෙනවා, ඇත්තටම දෙන්න සිද්ධ වෙනවා මොකද නොදුන්නොත් කුණු කසළ ටික නොගෙනම ඉන්නවා එහෙමත් නැත්නම් බාගෙට හලලා දාලා භාජන විසි කරලා දමලා යනවා. 
සාමාන්‍යයෙන් කුණු තැබීම කරන්න මට වෙලාවක් නෑ. හැබැයි ඒක කරන්නම සිද්ධ වුණ දවසක මට හොඳ අත්දැකීමක් ලැබුණා. කුණු දැමූ භාජන එළියේ තියලාත් කව්ද ගේට්ටුව කඩන්න හදන නිසාත් කෑගසන නිසාත් එළියට බැහැලා බලද්දී තේකක් බොන්න සල්ලි ඉල්ලනවා. පව් නේද කියලා රුපියල් 200ක් ගිහින් දුන්නමයි දකින්නේ කුණු ටික අරං නෑ, ට්‍රැක්ටරේ ලේන් එකේ එහා කෙළවරේ, ඒ කියන්නේ හිතාමතාම දාලා ගිහින්. හැබැයි සල්ලි ගත්ත ගමන් කුණු නොගත්තේ ඇයිද ඇහුවම කියන්නේ භාජනෙ එතන තිබුණේ නෑලු! ඒත් කුණු ගෙනිච්චද? නෑ! මටත් ප්‍රශ්නයක් නෑ. ඒ කුණු ටිකම ඊළග සතියේ ගෙනියද්දි තවත් නරක්වෙලා පණුවොත් ඇතිවෙලා තියෙන බව දන්නා නිසා එහෙමම තියෙන්න ඇරියා. 

කිසිම රජයේ ආයතනයකින් කඩිමුඩියේ වැඩක් කරගන්න පුළුවන් ද? බෑ! 
අනිවාර්යයෙන්ම කාකස කෙනෙකුට කීයක් හරි අතමිට මොලවන්නම වෙනවා. එක්කෝ ගෙම්බර් බලමින් දෙකට තුනට නැවෙන්න වෙනවා. ඒත් නැත්නම් නිලධාරියෙකුට ගාණක් දෙන්න වෙනවා. ඒකත් තනිවම කන්න නෙමෙයි අරයට මෙයාට ආදි වශයෙන් දෙතුන් දෙනෙකුටම සෑහෙන්න දෙන්න ඕන ගතමනාවක්. 

රජයේ රෝහල්වලදී කොහොමද? 
සැලකීම බල්ලෙකුටවත් දරන්න බැරි කතාව ප්‍රසිද්ධ රහසක්නෙ. හැබැයි සාත්තු සේවක සේවිකාවන්ට කළ යුතු ගෙවීම්. රත්නප්‍රිය එහෙම ඒවා දන්නේ නැතුව ඇති! 
නේවාසික රෝගියෙකුට සැලකීම සහ අවධානය බොහෝ දුරට තීරණය වෙන්නේ සාත්තු සේවක සේවිකාවන්ට සහ හෙද හෙදියන්ට ලැබෙන තුටු පඬුරු මත. හැමෝම නෙවෙයි නමුත් බහුතරයක් එහෙමයි. එහෙම දරාගන්න බැරි දුප්පත් අහිංසක අසරණයෙක් ඉස්සරහ නම් ඔවුන්ගේ රැස් පිටකිරීම කොහොමද? 

ඊළගට ග්‍රාමසේවක රාළහාමිලා ගැන කතා කරමුද. අවංකවම රාජකාරිය ඉටු කරන මිනිස්සු වගේම පොඩි එකාට පුප්පලා මහ එකා ළග දණින් වැටිලා කොහෙන් කොහෙන් හරි තමන්ට ගතමනාවක් හොයාගන්න ග්‍රාමසේවකයන් ඉන්නවා. මොන සුදුසුකමක් හින්දා තනතුරු ලැබුණද කියලා හිතෙන, කතා කරන්න නොදන්න, ලිපි ගොනුවක් ගැන වගකීමක් නැති ග්‍රාමසේවකලා මට නම් මුණ ගැහිලා තියෙනවා. ඒ වෙලාවට මගේ ඇඟේ ලේ පයින්ට් කීපය නටාගෙන ඇවිත් එතුමන්ලා තුමියන්ලාගෙ මුහුණු කට ඔපමට්ටම් කරලා දෙන්න අවදිවන සිතුවිලි ආයාසයෙන් වළක්වාගෙනත් තියෙනවා. 

මේ කොටසක් විතරයි. 
ඊළගට අනාදිමත් කාලයක සිට අවම සුදුසුකම්වත් සපුරන්නෙ නැතිව රජයේ ආයතනවලට දේශපාලන පත්වීම් ගත්ත මිනිස්සු ඉන්නවා. අර සුප්‍රසිද්ධ උස නම් සිකියුරිටි මිටි නම් කම්කරු කතන්දරේ විහිළුවක් නෙවෙයි, එහෙම පත්වීම් අනුමත කරවන දේශපාලනඥයො වගේම එහෙම මොකක් හරි කරලා දෙන්න කියලා ඉල්ලන ඡන්ද දායකයනුත් ඉන්නවා. එක දේශපාලන පක්ෂයකට වැඩ කරලා පත්වීමක් අරං පහුවදා ඉඳං පිල් මාරු කරන මිනිස්සුත් ඉන්නවා. 

අතිකාල දීමනා සඳහා බොරු හේතු ඉදිරිපත් කරන, දරුවගේ ඉස්කෝලෙට අවශ්‍ය ප්‍රින්ට් අවුට්වල ඉඳලා තමන්ගෙ මේසෙ පිහදගන්න දෙන ඩස්ටරයෙ ඉඳන් හූරගෙන යන මිනිස්සු රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයෙම ඉන්නවා. 

ඒ අතර අවංකවම සේවයේ නියුතු වෙන සත පහක පගාවක් අල්ලසක් නොගත්ත නිලධාරීන් නිලධාරීනියන් ඉන්නවා. බොහොම සුලුතරයක්. 💐

දැන් මෙච්චර හෑල්ලක් ලියාගෙන මම මොකාටද එන්න හදන්නේ නේද. 
මෙන්න මේකට. 

හීන සහ යථාර්ථය දෙකක්. ඔය දෙක අතර දෝලනය වෙමින් තමයි අපි පවතින්නේ.
සමහර රැළි ප්‍රායෝගික නෑ, හීනෙට බරයි යථාර්ථයට ටිකක් දුරයි. එහෙම රැළි උස්සලා දෙන අයම රැල්ල තමන්ට අවාසි වේගෙන එද්දි අනික් පැත්ත ගහනවා. ඒක ඒකාන්තයි. 

ඇයි මං එහෙම කියන්නේ. 
මේ මොහොතේ අරගලයක් කියලා එකක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඡන්දවලදී පක්ෂවලට අනුග්‍රාහකත්වය දක්වන කොටස ඔතනත් තිරයේ පිටිපස්සෙ ඉන්නවා. ඊළගට තමන්ගෙ හීන හැබෑ කරගන්න දඟලන පක්ෂ, පුද්ගලයන්, ඩයස්පෝරාවන්, ව්‍යාපාරිකයන්, බොනිකර තරු එහෙමත් ඉන්නවා. 
එතකොට මීයක් කඩලා අත ලෙවකන මිනිස්සු නැති බව පැහැදිලි කාරණයක්. 

අද රැල්ලට පාකරන සටන් පාඨ සමහරක් කොයිතරම් දුරට ප්‍රායෝගික ද නැද්ද කියන එක අපිත් දන්නවා. හැබැයි පිළිගන්නෙ නෑ, මාන්නය නිසා පිළිගන්න කැමතිත් නෑ. 

නිකමට හිතන්න. ඔතන ඇති ගණකාධිකාරීවරු, විගණකාධිකාරීවරු, සහයක තනතුරු දරන අය. ලංකාවේ ව්‍යාපාර 100%ක් අවංකද බදු ගෙවද්දී වත්කම් බැරකම් ප්‍රකාශ කරද්දී? සමහර ආයතන පොත් කට්ටල් දෙකක් හෝ කීපයක් පවත්වාගෙන යන්නේ නැද්ද මූල්‍ය කටයුතුවලදී? 

ආයතන කීයක් අල්ලස් ගෙවනවද? කප්පම් ගෙවනවද? තමන්ට අවශ්‍ය දේ දිනාගන්න වියදම් කරනවද? 
ඒවා ඇතිසැටියෙන්ම පොත්වල සටහන් වෙනවද?

ව්‍යාපාර කීයක් දේශපාලන පක්‍ෂ එකකට හෝ වැඩි ගණනකට මුදල් වියදම් කරනවද? 
විශේෂයෙන්ම මැතිවරණයකදී.

ඇයි? 
ඔය ව්‍යාපාරවල ඉන්නේ ලංකාවේ මිනිස්සු නෙවෙයි ද? 

ඒක තමයි ඇත්ත. හැබැයි අපි ඉල්ලනවා දේශපාලනඥයන්ගෙ ඉඳන් සම්පූර්ණ විගණනයක් කරන්න. කෝටිපති දේශපාලනඥයන් කීපදෙනකුව අපි නම් කරනවා, හැබැයි නම් නොකරන දැන් සහය දෙන පිරිසෙ ඉන්න අය ශුද්ධවන්තයොද? ඔවුන්ගෙත් පවුල් ඥාති හිත මිත්‍රාදීන්ගෙ නම්වලින් ලෝකය පුරා සහ ලංකාවේ දේපල තියෙනවා. අනුර කුමාර වත්කම් විගණනයට ලෑස්ති ද? ටිල්වින්? විජේවීරගේ ගේ හදන්න එකතු කළ මුදල් මංකොල්ලකෑමක් ගැන විජේවීර බිරිඳගෙන්ම චෝදනාවක් එල්ල වුණානේ? ඒකට මොකද වුණේ? අයර්ලන්තයේ සහ ඉන්දියාවේ දේපල නැද්ද? 
වැටුප පක්ෂෙට බැරකරලා ඔවුන් ජීවත් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න. දරුවො ජාත්‍යන්තර පාසැල්වල විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න හැටි, දේපල හම්බකරගන්නා හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද හැමෝම කැමතියි ඒ වගේ දියුණුවෙන්න!
අනික විගණනයකට වමෙන් ගහන්නත් ඔය කට්ටිය දන්නවා. 

ඊළගට දේශපාලනික සරණාගතයන් විදිහට පෙනී හිටලා හම්බ කරගත් සහ හම්බකරගන්නා පිරිස? 
ඩයස්පෝරාවෙන් පෝෂණය වෙන උතුරේ දේශපාලන පක්‍ෂ සහ පිරිස? 
යුද්ධය සහ විප්ලව හේතු කරගෙන සරණාගතයන් ලෙස පෙනී සිටිමින් වෙනත් රටවල ස්ථිර පදිංචිය ලබාගත් අය සහ පවුල්? 
මූල්‍යාධාර ගසා කෑ එන්ජීඕ කෑඳැත්තන්? 

මට දැනෙන සරල සත්‍යය මේකයි. 
දේශපාලනඥයන්ගේ මූල්‍ය විගණනයකට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කිසිම දේශපාලනඥයෙක් ඉඩ තියන්නේ නෑ. දැං රැල්ලට හුරේ දාලා හා කිව්වට ඒක තමයි ඇත්ත. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව  අනිවාර්යයෙන්ම ඒක කෙරෙන්න දෙන්නේ නෑ. හැමෝගෙම කිල්ලෝටවල තියෙන හුණු ටික එළියට දාන්න ඔය කව්රුත් ඉඩක් දෙන්නේ නෑ. හැබැයි ඉතින් සටන් පාඨ ආතල්. ඒක හින්දා එහාට දීපු අතින්ම මෙහාටත් දීලා ගේම් එකේ තමන්ට පාලනයක් තියාගන්නවා. මාධ්‍ය ආයතනත් එච්චරයි. පැය 24 කට්ට කකා ඕවා වාර්තා කරන්නේ ජනතාවට ඇති ආදරයකට නෙවෙයි, තමන්ගේ ආදායම් මාර්ගය තර කරගන්න සහ බෝට්ටුව කොයි අත පෙරලුණත් දේශපාලනිකව තමන්ට පාලනයක්, බලයක් ලබාගන්න. 

දැන් දැන් සමහර ප්‍රසිද්ධ සහ ප්‍රසිද්ධ වෙන්න බලාගෙන පුද්ගලයන් රැල්ලට කියන කතාවක්නේ මං අතන හිටියා, මෙතන හිටියා, අහවල් දවසේ අර ව්‍යාපාරවල අරම වුණා හැබැයි මං පස්සෙ පව් හෝදගෙන හොඳ ළමයෙක් වුණා. මේ වගේ වැල් බයිලා අහද්දී දකිද්දී මට නම් හිනා යනවා. කිසිම කෙනෙක් තමන්ට මිලියන ගාණක නෙවෙයි ටාගට් ගහන්න අවශ්‍ය තරමේ බිස්නස් එකක් හරි එනවා නම් ඒක දිනාගන්න මහන්සි නොවී අර Once upon a time in Colombo එකේ ටිරාන් වගේ භාවනා කරගෙන ධම්මපදය කිය කිය ඉන්නේ නෑ. (ටිරානුත් ඉතින් උපාසක බළලෙක්නෙ) ඒක ඉතින් අපි හැමෝටම තේරෙන සරල කාරණාවක්.

ඒ වගේම ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් කියන්නේ වෙනමම කතාවක්. ඒකට සම්බන්ධ වෙන පාර්ශව අතර සම්මුතීන් ඇතිවෙනවා. පාරිභෝගික විශ්වාසය අතිශය වැදගත් වැඩේ වුණත් නැතත්. එහෙම සම්මුතියක් ඇතිවෙන්නෙත් එක්තරා තත්ත්වයකට ගියායින් පස්සේ. කව්රු හරි දැන් කියනවා නං "අනෙ බලඥකෝ අර ඩීල් එකේ අරයා මෙහෙම කළා මං නං එපා කිව්වා එතනින් එළියට ආවට පස්සෙ මං නං ආයෙ ඒ වැඩේ එහෙම වෙන්න ඉඩ දුන්නේ නෑ' කියලා අන්න එහෙම උන්දැලගෙන් පරිස්සම් වෙන්න ඕන. මොකද ඒ වගේ උන්දැලා මොක කරන්න ගියත් එච්චරයි! ව්‍යාපාර සදාචාරයක් (business ethicality) කියලා දෙයක් ගෑවිලාවත් නෑ. එහෙම මිනිස්සු මට නං පාන් කාලක් විකුණගෙන ආවත් මං පෞද්ගලිකවම පිළිගන්නෙත් නෑ. මට වඩා භයානක විදිහට හිතන මිනිස්සු ඒ වගේ උන්දලාට එයාලගෙම කසාය දෙන්නත් ඉඩ තියෙනවා. මොකද රැලි සේරම ඉවරවුණ දවසක අපි හැමෝම ආයෙත් අපේ පරණ පුරුදු ජීවිකාව කරගෙන යන්න ඕනනෙ. 

අනික වියත් මගවල් අටවාගෙන ළංවෙච්ච වෘත්තීයවේදීන් අතර ව්‍යාපාරිකයො හිටියා. ඒ බහුතරය බලාපොරොත්තු වුණේ අපි බලාපොරොත්තු වුණු ඩිජිටල් පිබිදීමේ වැඩි ව්‍යාපෘති කොටසක් තමතමන් සතු කරගන්න. ඒක කරගන්න බැරිවුණාම එළියට ඇවිත් දැන් ඉතසිතින් අරගලයට දායකත්වය දෙන මිනිස්සු දන්නෝ දන්නවා. 
ඊළගට විවිධ තනතුරු ලාභ බලාපොරොත්තුවෙන් ගිහින් ඒවා නොලැබුණාම හරි ලැබිලා තමන්ට අවශ්‍ය දේ කරගන්න බැරිවුණාම හරි දැන් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින අයත් ඉන්නවා. 

සාරාංශයක් වශයෙන් කතන්දරේ මෙච්චරයි. 
කිසිම කෙනෙක් පාරිශුද්ධ නෑ! 
සර්ව කාලීනව අවංකත් නෑ! 
තනිකර සුදු මිනිස්සු නෑ වගේම තනිකර කලු මිනිස්සුත් නෑ. 
අපි හැමෝම හිතට අවංකව කල්පනා කළොත් ගොඩක් කතන්දර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවන්න බැරිබව තේරෙයි. 
හැබැයි කල්යයි! 

මේක විශාල වපසරියක විහිදිච්ච දැලක් මිත්‍රවරුනි. ඒ දැලේ එක එක තන්තුවට දායකවන අපි නොදන්න බොහෝ අය ඉන්නවා. දන්න නමූත් දායකත්වය නොපෙන්වන බොහෝ අයත් ඉන්නවා. අපි ඒක නොදැන දැල මැද කරණං ගහනවා. කමක් නෑ, කරණම ඉවරවෙනකල් බලං ඉන්න කොටස වගේම කරණම ගස්සලා විනෝද වන කොටසත් අපි දිහා බලං ඉන්නවා! 
කරණම් ගහන්නේ නැති මං වගේ උං දැලට නොපැටලී බලං ඉන්නවා.


අරගලයට මගේ සත දෙක

2022 අප්‍රේල් 17දා

මේ සිද්ධ වෙන රැළිපෙරැළි දිහා මම බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.
මීට අවුරුදු කීපයකට කලින් නං මගෙත් සාමාන්‍ය මානුෂික ආවේග අවදිවෙලා පිනුම් ගහලා ලේ කෝප වෙලා නටන්න ඉඩ තිබුණත් දැං විශේෂයෙන් මේ වගේ වෙලාවක මම මගේ අහිංසක ලේ ටික අනුන්ගේ කල්දේරම්වල ඩබල්බොයිල් කරවන්න ලෑස්ති නෑ!

මේක සංකීර්ණ කතාවක්. කොයිතරම් නිර්පාක්ෂික නිර්දේශපාලනික නිරාගමික සර්වාගමික වස්ත්‍ර පළන්ඳවන්න උත්සහ කළත් මේ කතන්දරේ සමහරු දන්නේ ටිකයි, සමහරු ගොඩක් දන්නවා, සමහරු දන්නේ තව කව්රු හරි කියපු දෙයක්, තව සමහරු තමන්ට හිතෙන දේ කියනවා, සමහරු බොරු ඇත්ත කරනවා ඇත්ත බොරු කරනවා, ඒ අතර විවිධාකාර හේතු උඩ ලකුණු දාගන්නත් කොටසක් ඉන්නවා. සමහර දේවල් දැක්කම ඒවයේ නොකියන නොදන්න කතා දන්න හින්දා මට හිනා යනවා. ඒත් ඉතින් අනුන්ගේ මත, විනෝදවලට අකුල් නොහෙලා නොදැක්කා සේ යනවා. තමතමන්ගේ නැණ පමණින් සහ අත්දැකීමෙන්නෙ ඉතින්.
ඇයි ඉතින් ඒ ගැන කතා නොකරන්නේ කියලා අහන මිනිස්සු ඉන්නවා. අහන්න සූදානම් නැති දේවල් පිළිගන්වන්න කාලය සහ ශ්‍රමය වැය කිරීමේ මට නං පලක් නැහැ. අනික හැඟීම්බර මිනිස්සුන්ගේ විචාරාත්මක බුද්ධිය ටිකක් ෂෝට් වෙන වෙලාවක්නෙ. 

පිටස්තර ලෝකෙක ඉඳන් මේ සියලු නාටක දිහා බලං ඉන්න මට හිතෙන දේ තමයි මේ.

සරලවම කිව්වොත් ආර්ථික අර්බුදයක් සමාජීය අර්බුදයක් බවට පත්වෙච්ච මොහොතක ඒක විවිධ පාර්ශව දේශපාලනීකරණය කරං ඉන්නවා. 

ජනතාවට ප්‍රශ්න පීඩන ආතති තියෙනවා ද? ඔව් අනිවාර්යයෙන්ම.
ඒ ප්‍රශ්න පීඩන ආතති මටත් දැනෙනවා.

ගෑස් නැද්ද? 
අපිටත් නෑ, ඉතා දුකසේ භූමිතෙල් ලිපක් සහ දර ලිපක් දල්වගෙන තමයි අපේ ගෙදරත් උයා පිහා ගන්නේ. ලිපට භූමිතෙල් හොයාගන්න ලේසි වුණෙත් නෑ. විදුලි ලිප් භාවිතා කරන්නත් බෑ මොකද විදුලි බිල දැනටත් දරාගන්න අමාරු හින්දා. 

ඩීසල්, පෙට්‍රල් නැද්ද?
 අපිටත් නෑ, අත්‍යාවශ්‍ය ගමනකට මිස එළියට බහින්නේ නැතුව කළමනාකරණය කරගන්නවා. පෝලිම්වල ඉන්නවා. 

කිරිපිටි නැද්ද? 
නෑ, මං වගේ අවේලාවෙත් තේ බොන්න පුරුදු වෙච්චි මනුස්සයෙක්ට මාස ගානකින් කිරි තේකක් බොන්න ලැබිලා නැති අමාරුව කුඩු සික් එක වගේ දැනෙනවා. 

හාල්, ආහාර ද්‍රව්‍ය ගණංද? 
ඔව්, ගෙදර මිනිස්සුන්ට අමතරව සුරතල් සතුන් ඉන්න ගෙවල් ළග පාරේ ඉන්න අසරණ සත්තු පෝලිමක් දෙවේලක් කෑම බලාපොරොත්තුවෙන් ගේට්ටුව ළග හර්තාල් කරන ගෙදරක් හැටියට හාල් මාලු අත්‍යවශ්‍ය ආහාර.  ඒවායේ මිල උච්චාවචනය අපිට දැනෙනවද? ඔව් බොහොම පැහැදිලිවම දැනෙනවා. 

බෙහෙත්හේත් ගණංද? 
ඔව්. සමහර බෙහෙත් වර්ග පහුගිය වතාවට වඩා ඊළග වතාවේ දෙගුණයක් මිලයි. බෙහෙත් වලින්ම ජීවත් කරවන විශ්‍රාමික වැඩිහිටියන් මගේ පවුලේත් ඉන්නවා. ඔවුන්ට විශ්‍රාම වැටුපෙන් මේ වියදම පියවා ගන්න කොච්චර අමාරුද කියලා පැහැදිලිවම දැනෙනවා. ආහාරපාන ගන්න අපහසු සස්ටජන් කිරි ටිකකින්, ඕට්ස් ටිකකින් ජීවත්වෙන රෝගී වැඩිහිටියන් මගේ පවුලෙත් ඉන්නවා. පහුගිය සතිය වෙනකල් 1800-1900ට ගන්න පුළුවන් වූ සස්ටජන් තොග අද ගොඩක් තැන්වල නෑ, මොකද 2400-2500 හැටියට මිල වෙනස් වෙන්න නියමිත හින්දා. අනිත් දේවලුත් එහෙමයි. 

කරන්ට් නැද්ද? නෑ, අපිටත් නෑ. වැඩ කරගන්න අපහසුයි, රස්නෙයි, කරදරයි ඔව් ඒ හැමදේම මටත් දැනෙනවා. කරන්ට් තියෙන වෙලාවට ලැප්ටොප් එක ෆුල් චාර්ජ් කරලා කරන්ට් නැතිවෙලාවට මොබයිල් හොට් ස්පොට් දාගෙන ලැග් වෙවී ඩ්‍රොප් වෙවී වැඩ කරගන්නෙ. පොඩ්ඩක් නම්‍යශීලී වෙලාවල් නිසා පුලුවන් වෙලාවෙදී වැඩිපුර වැඩ කොටසක් ඉවර කරගන්නවා. 

එතකොට මේ ප්‍රශ්න විසඳන්න රජය බැඳිලා ඉන්නවද? ඔව්. රට වැසියන් පක්ෂව හෝ විපක්ෂව ජන්දය පාවිච්චි කරලා රජයක් පත් කරවන්නේ පරිපාලනය හරියට කරගන්නනෙ! 

එතකොට අපි හැම කෙනෙක්ම වගේ රජයකත් වැරදි තීරණ ගන්නවද? ඔව්, මොකද ඔය රජය කියන්නෙත් අපි වගේම මිනිස්සු කොටසක් මිසක් වෙන ග්‍රහලෝකයකින් ගෙනත් දාපු පිටසක්වල ජීවීන් කොටසක් නෙවෙයිනෙ. 
එතකොට ඒ වැරදි අවබෝධ කරගන්න බැරිද? පුළුවන්, සාමාන්‍ය මනුස්සයෙක්ට නං වැරදි අවබෝධ කරගන්න සමහරවිට කාලයක් යනවා, සමහරවිට එහෙම වෙන්නේම නෑ, සමහරවිට වුණත් පිළිගන්නෙ නෑ. හැබැයි රජයක් කියන්නේ ඒ වගේ සාමාන්‍ය මිනිස්සු එකතුවක් නිසා එතනදි ඔය හේතු බයිලා විතරයි.

බැසිල් උන්නැහෙගෙ පත්වීම වැරදිද? 
ඔව්. ජන අප්‍රසාදයට පළවෙනි හේතුව ඒකනෙ. 
එතකොට උන්නැහේ කලින්ම අයින් වුණා නම් ප්‍රශ්න විසඳෙනවද? 
යම්තාක් දුරකට ඔව්. ජන අප්‍රසාදය ඔඩු නුදුවන්න ඉඩ තිබ්බා. හැබැයි ආර්ථික ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ. ඒකට නිසි පුද්ගලයන් නිසි වෙලාවට නිසි වගකීම් දරන්න පත්කරවන්න ඕන. හැබැයි ඒක වුණේ නෑ. 
දැන් වෙන බවක් පේනවා. ඒකට මිනිස්සු නැගිටිනකල් හිටිය එක පැහැදිලිවම රජයේ වරදක්. නාහෙට උඩින් වතුර දානකල් භාවනා කළා වගේ වැඩක්. 
හැබැයි, ප්‍රමාද වෙලා හරි ඒ පියවර ගත්තා නං මං හිතන්නේ අපිටත් යුතුකමක් තියෙනවා ලණු ගිලීම සහ අපේ දාඩිය මහන්සියෙන් ප්‍රශ්නවල පිහිටෙන් රජුන් තනන්න වලිකනවට වඩා මේ වෙලාවේ ආර්ථිකය ස්ථාවර කරගන්න පුළුවන් උදව්වක් දෙන්න. රට අස්ථාවර වුණොත් දේශපාලනඥයෝ විතරක් නෙවෙයි ගිලෙන බෝට්ටුවෙන් ඉස්සෙල්ලම පනින්නේ. ව්‍යාපාරිකයෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ, ආගමික නායකයෝ, සමාජ ක්‍රියාකාරීන්, සමහරක් නලුනිලියෝ පවා පනිනවා. සමහරු දැනටත් එහෙම වෙන රටවල ඉඳන්නෙ මෙහෙ අරගල කරවන්නේ! 
ඒක මං හිතන්නේ අපේ හැඟීම්බර ඔලුවලට මේ වෙලාවේ දැනෙන්නේ නෑ. අපි හිතන්නේ කුවේණිගේ සාපේ හැටියට ලංකාව දෙකඩවෙලා ඉන්දියන් සාගරේ ගිලිලා යද්දිත් ජැක් රෝස්ට කළා වගේ එයාලා අපිව ලෑල්ලක නග්ගලා එයාලා දිවි පුදලා ගිලිලා යයි කියලා😅

 මේ වෙලාවේ වීරයෝ ගොඩක් බිහිවෙලා ඉන්නවා. වීරයා මැට්ටෙන් ද කාඩ්බෝඩ් එකෙන්ද මාංශයෙන්ද වැඩක් නෑ. ආසියාතික අපි හරි ආසයි වීරයන්ට. ඒකෙනුත් ලංකාව දුවන්නේ තනිකරම වීර මානසිකත්වයක් උඩ. හොරෙක්, මිනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, පාතාලයෙක්, එන්ජීඕ කාක්කෙක් හරි කමක් නෑ බෝඩ් එකකුයි මෙගා ෆෝන් එකකුයි අරං රැල්ලට එකතු වෙච්චා නං අන්න වීරයෙක්! 
තව ටික දවසකින් ගෝඨාභය උන්නැහේ බෝඩ් එකක් උස්සං ඔතනට වැඩියත් එච්චරයි! 😅

වීරයෝ බිහිවෙන්නේ රටවල් හදන්නම විතරක් නෙවෙයි. රටවල් නසන්නෙත් වීරයෝ. ප්‍රභාකරනුත් යම් කොටසකට වීරයෙක්. හැබැයි කළ විනාශය කොහොමද. 
හිට්ලරුත් වීරයෙක්. හැබැයි විනාශය? 
විජේවීර වීරයෙක් කොටසකට. හැබැයි විප්ලවයක නාමයෙන් වුණ විනාශය? 

පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න. 
ඇත්තටම ප්‍රශ්න තියෙන මිනිස්සු අනුන්ගේ ගේම්වල දරදිය අදින එකයි දැං වෙන්නේ,දැනුවත්ව හෝ නොදැනුවත්ව. 
ඇත්තටම ප්‍රශ්නය විසඳගන්න ඕන නං පුළුවන් හැටියට විරෝධය දක්වන්න හැබැයි ලණු නොකා. 
ඒ අතර තමන්ට කරන්න පුළුවන් දේවල් ටික කරන්න. ඔය කොයි අරගලෙත් අන්තිමට තමන්ට ඉතුරුවෙන්නේ තමන් විතරයි. 

තව ලියන්න තියෙනවා. ඒක වෙනම ලියන්නම්.