Saturday, January 25, 2025

අසල්වැසියා සහ අපි

අපේ අසල්වැසියා ලෝකෙ සිව්වෙනි බලවතා. හැබැයි අලුත් ලංකාණ්ඩුව තාම ඉන්නෙ අසල්වැසි මානසිකත්වයෙ නෙවෙයි, ඉන්දියානු යටත් විජිත මානසිකත්වයෙ!
ඔව් ඉතින් අර ඒ කාලේ වේදිකාවල කරපු චණ්ඩි කතා කතාම තමයි ලංකා ඡන්දදායකයා රැවටුණාට.

අසල්වැසි මානසිකත්වයෙ හිටියා නම් අනුර ප්‍රමුඛ ජාජබෙ මේ වෙද්දි බලන්න ඕන ඉන්දියාවට දෙන්නම විතරක් නෙවෙයි, එහෙන් ගන්න තියෙන්නෙ මොනවද, ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා. තරුණ ව්‍යවසායකත්ව නියෝජ්‍ය ආමාත්‍යවරයා වුණත් පොල් මිරිකන වෙලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගැන ටිකක් අවධානය යොමු කළා නම් වටිනවා. 

2000 දශකයේදි ජාත්‍යන්තරයට යන්න ගත්ත Infosys, Tata Consultancy Services (TCA), HCL, Wipro වගේ ඉන්දියානු ආයතනවල අද ජාත්‍යන්තර ව්‍යාප්තිය බලන්න. ඉන්දියානු දළ දේශීය නිෂ්පාදනයෙන් 8-10%ක් අතර ප්‍රමාණයක් ලැබෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන්. ඒක වාර්ෂිකව ඩොලර් බිලියන 250කට ආසන්න ආදායමක්, ඒ සම්පූර්ණ ගෝලීය තොරතුරු තාක්ෂණ වියදමින් 18%ක් වගේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ආදායම 2022 වාර්තාවලට අනුව ඩොලර් බිලියන 1.5යි. මේ අගයෙ සැලකිය යුතු වැඩිවීමක් නම් වෙලා නැති බව සහතිකයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විතරක් ගෝලීයව ඉන්දියානු ශ්‍රම සම්පත් දායකත්වය මිලියන 5කට වැඩියි. ලංකාවේ තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය 175,000ක් පමණ.
ජාත්‍යන්තරව අපි ඉන්නෙ කොතනද කියලා පැහැදිලියි නේද?

Gartner පුරෝකථනවලට අනුව මේ වසරේ ගෝලීය තොරතුරු තාක්ෂණ වියදමේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා, විශේෂයෙන්ම Cyber Security, Business Intelligence සහ Data Analytics කියන අංශ මූලික කරගෙන. ට්‍රම්ප් රජයේ AI ව්‍යාපෘති ආරම්භයත් මේ එක්ක සමපාත වෙනවා. නමුත් ට්‍රම්ප්ගේ විදේශ සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රතිපත්තිවලින් අනිවාර්‍යෙන්ම ඇමරිකාවේ සිටින ඉන්දියානු තොරතුරු තාක්ෂණ ශ්‍රමිකයන්ට බලපෑමක් සිද්ධ වෙනවා. 'අනේ ඔයාලා කැමැත්තක් කරන්න එහෙනම්, අපේ අයව අපි ගෙන්න ගන්නම්' කියනවා වෙනුවට කටකාර ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් ක්‍රියාකාරීව නැගී සිටිනවා, සාකච්ඡා කරනවා තමන්ගේ රටට ලැබුණ සහ ලැබෙන්නට තියෙන අවස්ථා, තමන්ගෙ රටේ ව්‍යාපාරිකයන් රැකගන්න. ඒ සටනට ඔවුන්ගේ ප්‍රධානම පාරිභෝගිකයා වෙන ඇමරිකාවද මේ හිච්චි ශ්‍රී ලංකා දූපතද කියන එක අදාල නෑ.

බිලියන 1.4ක ජනගහණයක් ඉන්න ඉන්දියාවෙ මොන ක්ෂේත්‍රයෙන් අවස්ථාවක් ලබාගන්නත් යම යුද්ධයක් කරන්න ඕන. ඒක නිසාම ජාතියක් හැටියට ඉන්දියානුවො හොඳින් හරි නරකින් හරි තමන්ට ඕන දේ දිනාගන්න උත්සහ කරන, බැරියර් කඩාගෙන යන වීර්‍යවන්ත කොටසක්. වර්ග කිලෝමීටර් මිලියන 3.2ක වතුරවත් නැති, ජාතික දේශපාලනයෙ වෙන දෙයක් ගැන කිසිම අදහසක් නැති අන්ත දුෂ්කර ගම්මාන තියාගෙන, අටෝරාසියක් සංකීර්ණ අභ්‍යන්තර ප්‍රශ්න තියාගෙනත් ඉන්දියාව රටක් හැටියට යන ගමනෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා; රජයටත් ජනතාවටත් දෙගොල්ලොන්ටම.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #srilanka #informationtechnology #Global #nppsrilanka

Wednesday, January 22, 2025

ලංකා හකුර

"ඈ අන්දරේ.. මේ හකුරු හෙන රහයිනෙ බොල! කොහෙද කොහොමද මේවා හදන්නෙ හැබෑටම?"

"පස්වාන් දහසකට බුදුවන්ඩ අවසර දේවයන්වහන්ස, ඔව්වා හදන්නෙ අපේ ගමේ. බොහොම පිරිසිදුවට, ආටෝපයට. පිරුවට ඇඳලා, පිරුවටෙන් වටකරල, මුඛවාඩම් පැලඳගෙන කෙල බිඳුවක් දාඩිය බිඳුවක්වත් නොවැටෙන හැටියට. කිතුල පවා පිරුවටෙන් වටකරලා පාවඩ එලලා මඟුල් බෙර වයලා ගෞරව පූර්වකව මුට්ටිය බිමට වඩවන්නෙ..."

"හැබෑටම!..එහෙම නම් ඉතින් රස වෙන එක අහන්නත් දෙයැක්‍ යෑ. අන්දරේ, මට ඔය හකුරු හදන හැටි බලන්ට ඕන.."

රජතුමා වඩිද්දි කිතුලට ගිය දාඩියෙන් පෙඟිච්ච කලු කෙසඟ හීන්දෑරි මිනිහෙක් රූටලා ගහ පල්ලෙ පලච්චි ලු!
ගොමස්කඩ සරං කෑල්ලකින් යන්තම් විලිවහගත්තු කොණ්ඩා රැවුල් හැඩපලු ගෙතිච්චි තව මිනිස්සු කීපදෙනෙක් ගිනිරස්නෙට තුම්මුණින් දාඩිය වගුරුවමින් පැණි පත්ගානවලු!

අන්දරේ කිව්ව හැටියට මේ මොකද්දෑ මේ කියලා යක්ෂාරූඨ වෙච්ච රජතුමා අන්දරේ කැඳවලා ඇහුවලු 'මොකද්ද යකෝ මේ?? කෝ තෝ කිව්ව පිරුවට, මුඛවාඩම්, මගුල් බෙර, පාවඩ..??"

අන්දරෙත් ටිකක් ඈතින් ඉඳන් අහිංසකව හිනාවෙලා කිව්වලු "අනේ පස්වාන් දහසකට අවසර මතු බුදුවන රජතුමනි, කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි" කියලා.

ලංකාවට වුණෙත් ඒක නෙව.
අපි නම් මෙහෙමයි කියලා පිරුවට මවලා පෙන්නුවම 'අනෙ දෙවියනේ මෙව්වයැ රහ, ලස්සන, පිරිසිදුකම' කියලා 2/3ක්ම දුන්නා නෙව. 
දැන් ඉතින් හිල් ඇඳුම් ඇඳගෙන, යකා නටාගෙන, පත් හැඳිවලින් හතර වටේ නෙලාගෙන, පැණි තාච්චුවට කෙළ ගහගෙන හදන හකුර දැක්කම විලම්භීතවන ඡන්දදායක රජ වැසියාටත් කියන්න තියෙන්නෙත් ඔච්චරයි!

"කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි!"

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #nppsrilanka

Monday, January 20, 2025

විශ්‍රාම හටන

හිටපු ජනාධිපතිවරුන්ට ජීවිතාන්තය තෙක් ආරක්ෂාව සහ පහසුකම් සැපයීම ලෝකය පුරා දේශපාලනයට පොදු භාවිතාවක්. එක්සත් ජනපදයෙන් පටන් ගත්තොත් එහි හිටපු ජනාධිපතිවරයෙක්ට එරට වත්මන් කැබිනට් ලේකම්වරයෙක්ට සමාන වූ වාර්ෂික වැටුපක් (ආසන්න වශයෙන් වාර්ෂිකව ඩොලර් 220,000ක් පමණ) ජීවිතාන්තය තෙක්ම හිමිවෙනවා. හිටපු ජනපතිවරයාට, ඔහුගේ බිරිඳට ජීවිතාන්තය තෙක්මත් වයස අවුරුදු 16 වනතුරු දරුවන්ටත්  Secret Service ආරක්ෂාව හිමිවෙනවා. මේ හැරුණම ඔවුන්ට අවශ්‍ය කාර්‍යාලීය පහසුකම්, ආරක්ෂක සේවා මූල්ස්ථාන හරහා සෞඛ්‍ය සේවා, නිල ගමන් පහසුකම් සහ ගාස්තු පියවීම් ආදිය Former Presidents Act යටතේ ලැබෙනවා.

එකසත් ජනපදයේ රජ පවුල නඩත්තු වන්නේ රජයේ බදු මුදලින් බව ලෝකයම දන්නා කාරණාවක්. ඒ හැරුණු විට බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරුන්ගේ සියලු මහජන සම්බන්ධතා කටයුතුවල වියදම Public Duties Cosa Allowance (PDCA) යටතේ ඔවුන්ට හිමිවෙනවා. 

අපේ අසල්වැසි ඉන්දියාවේ හිටපු ජනපතිවරුන්ට ජීවිතාන්තය තෙක් ආසන්න වශයෙන් මාසිකව ඉන්දියන් රුපියල් 150,000ක පමණ විශ්‍රාම වැටුපක් හිමියි. ඒ හැරුනු විට ගෘහභාණ්ඩ සමග නිවසක්, නිල කාර්‍ය මණ්ඩලයක්, Z+ ආරක්ෂක (ඉහළම ආරක්ෂක සේවය - highest category of personal security) ආවරණයක්, ඔහුට/ඇයට සහ තව එක් පවුලේ සමාජිකයෙක්ට නොමිලේ දුම්‍ රිය සහ ගුවන් සේවා, රජයේ පූර්ණ සෞඛ්‍ය සේවා පහසුකම් හිමිවෙනවා.

ප්‍රංශය නිල කාර්‍ය මණ්ඩල, ජීවිතාන්තය තෙක් පොලිස් ආරක්ෂාව, නිල කාර්‍යාල, නොමිලේ දුම් රිය සේවා සහ නිල ගමන් ගාස්තු සැපයීම කරන්නේ අවසානයට ඔහු හෝ ඇය ලද වැටුපේ යම් කොටසක් විශ්‍රාම වැටුපක් ලෙස ජීවිතාන්තය තෙක්ම ගෙවන අතරයි.

ජර්මනිය හිටපු ජනාධිපතිවරයෙක්ට ක්‍රියාකාරී ෆෙඩරල් ඇමතිවරයෙක්ට ලැබෙන වැටුප හා සමාන විශ්‍රාම වැටුපක් ජීවිතාන්තය තෙක්ම ගෙවන අතර නිල කාර්‍යාල, කාර්‍ය මණ්ඩල, නිල වාහන සහ ආරක්ෂක අංශවල තක්සේරුව අනුව ආරක්ෂාව සපයනවා.

රුසියාව හිටපු ජනාධිපතිවරුන්ට ජීවිතාන්තය තෙක්ම විශ්‍රාම වැටුප්, වෙනත් පහසුකම්, ආරක්ෂාව සහ නිල් කාර්‍ය මණ්ඩල ලබා දෙන එකෙන් තවත් පියවරක් ඉදිරියට ගිහින් ධූර කාලයේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ තීරණවලට legal immunity එකකුත් ලබා දෙනවා.

දකුණු අප්‍රිකාවත් ඒ ආකාරයෙන්ම ජීවිතාන්තය තෙක් විශ්‍රාම වැටුප්, නිල කාර්‍යාල, නිල කාර්‍ය මණ්ඩල, නිල වාහන, ආරක්ෂාව, සෞඛ්‍ය පහසුකම් සහ ගමන් පහසුකම් සලසනවා.

චීනයේ ඉහළම පුරවැසියන් ලෙස සලකන හිටපු ජනාධිපතිවරුන් සහ ලේකම්වරුන් බීජිංහි රජයේ ඉහළ නාගරික පහසුකම් සහිත නිවාස, සේවකයන්, ආරක්ෂාව, ගමන් පහසුකම්, සෞඛ්‍ය පහසුකම් ඇතුළු සියලු පහසුකම් සපයමින් රජය විසින් ජීවිතාන්තය තෙක්ම ගෞරවනීයව රැකබලා ගැනෙනවා. 

දකුණු ආසියානු කලාපීය රටවල් හැම එකකම පාහේ පොදු භාවිතාව මීට සමානයි. හිටපු ජනාධිපතිවරුන්ට ඇති අවදානම් සලකා ආරක්ෂාව වැඩි කරන්නත් ඊට අදාළ පියවර ගන්නත් අපක්ෂපාතී භාවිතාවක් ලෝකයේ බහුතර රටවල පවතිනවා. 

ලංකාවේ මාස හතරේ ජනාධිපතිවරයාට අනුව හිටපු ජනාධිපතිවරුන්ට සපයා ඇති ආරක්ෂාව සහ සියලු පහසුකම් කප්පාදුකරන තුරු ඔහුට ඉස්පාසුවක් නෑ. 'තියෙන 60ත් ගලවනවා' යන තර්ජන ඝර්ජන ජනාධිපතිවරයෙක් හැටියට ඔහුගේ සැබෑ පංතිය (මාක්ස්වාදී පංති වර්ගීකරණය නොවේ) සහ ආකල්පයේ ඇති බුන්වත්කම බොහොම අපූරුවට පෙන්නා හිටිනවා (වන්දිභට්ටයන්ට නොවේ). 
මේ අනවශ්‍ය වියදම් කප්පාදුවෙන් එහා ගිය 'ඇරියස් පියවිල්ලක්' බව බහුතරය තේරුම් අරන් ඉවරයි.
රටේ ඕනෑ තරම් අභියෝග තියෙද්දී ඔහු තවමත් ප්‍රසිද්ධ වේදිකාවේ කතා කරන්නේ මේ ගැන. ගැලරියට ආතල් දීම විපක්ෂයේ ඉඳන් කළොත් පාලක පක්ෂයට ආවත් ඒ පුරුද්දෙන් ගැලවීමක් නැතිවෙනවා. වර්තමාන විපක්ෂයටත් මේක හොඳ පාඩමක්. අකුදිට අනුව ඔහු ලියුමක් ලියන්න 'හිතාගෙන ඉන්නවා' විශ්‍රාමයෙන් පසු තමන්ට ගෙයක් එපා කියලා. ඇයි තවම හිත හිතා ඉන්නේ, තමන් ජනාධිපති, රජය 2/3ක බලයක් ලැබිලා තියෙනවා, අනික එක පෑන් පහරක වැඩක්නෙ මෙතරම් පස්මහ බැලුම් මොකටද කරන්න ඕනම නම්? 

අකුදිගේ වෛරය ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා හෝ සිරිසේන සමග නොවන බව අතිශය පැහැදිලියි. තවමත් ක්‍රියාකාරී ප්‍රබල ව්‍යාපාරික ඩයස්පෝරාවක සහ ගෝලීය දේශපාලන ප්‍රභලයන්ගේ ආශිර්වාද ලත් ත්‍රස්තවාදයක් මුලිනුපුටා දමන්න මූලිකත්වය ගත්ත නායකත්වයක් හැටියට මහින්ද රාජපක්ෂට ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන්න අවශ්‍යතාවයක් සහ අයිතියක් වගේම රටක් හැටියට ඔහුට ඒ ගෞරවය ලබාදෙන්න ලංකාවට යුතුකමක් තියෙනවා. වෛරය වපුරා දේශපාලන වාසි ලබාගන්න හීනමානයෙන් පෙලෙන කොටසකට ඒ සදාචාරාත්මක පරිචය නැතිවීම ගැන පුදුමයක් නොවුණත් අසාධාරණ, ඉලක්කගත පළිගැනීමක් බව මේ වනවිට අතිශය පැහැදිලියි.

සමහර බලු නකුටු ඇදයි. එව්වා ඉහළම උණ පුරුකේ දැම්මත් ඇද අරින්න අමාරුයි.
ලංකාව මේ අත්දකින්නෙත් අන්න එහෙම සංසිද්ධියක්.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #nppsrilanka #JVPSrilanka

රක්ෂණ

රක්ෂණාවරණ ලංකාවේ නම් ඒ තරම් ගණන් ගැනෙන දෙයක් නෙවෙයි (බහුතර මතයට අනුව). වෛද්‍ය හෝ ජීවිත රක්ෂණ රැකියා කරන අයට නම් ඒ හරහා ලැබී තියෙනවා, සාමාන්‍යයෙන් සේවකයාගේ රක්ෂණාවරණයෙ දිගුවක් බිරිඳ/ස්වාමියා සහ දරුවන්ට ලැබෙනවා. ඒත් අවිවාහක සේවකයන්ගෙ දෙමව්පියන් ඒ දිගුවට ඇතුළත් කරන්නෙ ආයතන අතලොස්සක් විතරයි (මේක මානව සම්පත් කළමණාකරණ ප්‍රධානීන් සලකා බලන්න ඕන මානුෂීය කාරණාවක්).

ඒ ඇරුණම වාහන රක්ෂණ, දේපල රක්ෂණ හරි විදිහට අනුගමනය කරන පිරිස අඩුයි.
මාසිකව හෝ කාර්තු වශයෙන් කරන ගෙවීමට නිසි වටිනාකමක් ලැබෙනවද කියන කාරණාව රක්ෂණ සම්බන්ධයෙන් තියෙන සුලබ විචිකිච්ඡාවක්. ඒක නිසා බොහෝ දෙනෙක් තෙවැනි පාර්ශව රක්ෂණ වගේ 'ඇඟ බේරා ගන්නා' විසඳුම්වලට යනවා. ඒකට මේ රක්ෂණායතනවලින් ලැබෙන නරක අත්දැකීමුත් බලපානවා.
පරිස්සමින් බලාගන්නා තමන්ගේ සහ සමීපතමයන්ගෙ ජීවිත වගේම දේපල යාන වාහන ව්‍යාපාර නිසියාකාරව රක්ෂණය කිරීම වැදගත්. නමුත් මේ රක්ෂණ කොන්දේසිවලට හදිසි බලපෑම් කරන්න පුළුවන් හේතු ස්වාභාවිකව හරි කෘත්‍රිමව හරි ඇතිවෙන්න පුළුවන්. උදාහරණයකට 2004 දෙසැම්බර් 26 සුනාමි ආපදාව වෙද්දි වෙරළබඩ ව්‍යාපාර, දේපල සහ යාන වාහන සුනාමි තත්වයකට රක්ෂණය වෙලා තිබ්බෙ නැහැනෙ. ඒ නිසා රක්ෂණාවරණ තිබිලත් අගතියට පත්වූ පිරිසක් ඉන්නවා. 

ලොස් ඇන්ජලීස් නිතර ලැව්ගිනි හටගන්නා ප්‍රදේශයක්, ඒ අවදානම හොඳින් දන්නා කලාපයක් වෙලත් කිසිවෙක් දවස් 13ක් තිස්සෙ මේ තරම් විනාශයක් කරමින් ඇවිලෙන ගින්නක් බලාපොරොත්තු නොවූ බව පැහැදිලියි. ඇතැම් රක්ෂණ ආයතන මේ කලාපයෙන් ඉවත් වෙලා තියෙන්නෙ කාලයකට කලින්. හේතුව ඔවුන්ට මේ ප්‍රදේශයෙන් තියෙන ව්‍යාපාරික අවදානම වැඩිකම. වාර්තාවලට අනුව ඉහළම පෙලේ රක්ෂණායතන 12කින් 7ක්ම කැලිෆෝනියාවට නව රක්ෂණාවරණ නිකුත්කිරීම 2024දි නවත්තලා තියෙනවා. මේ වෙද්දි දේපල 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් පුළුස්සමින් පැතිරෙන මේ ගින්නෙ දේපල හානිය ඩොලර් බිලියන 250කට වඩා වැඩි බව දැනට ගණන් බලා තියෙනවා. වන්දි ගෙවීම් අවම වශයෙන් ඩොලර් බිලියන 30ක්වත් මෙයින් ඇතිවනු ඇති බවයි විද්වත් මතය. ලංකාවේ වගේම ඇමරිකාවෙත් රක්ෂණාවරන නොගෙවූ නමුත් මේ හදිසි විපත නිසා වන්දි ඉල්ලීමේදී ඇදෙන ප්‍රශ්න නිසා තවත් කලබගෑනියක් ඇතිවෙමින් තියෙනවා. 

අනෙක් අභියෝගය උකස් ණය (mortgage). ගින්න කොයිතරම් විශාල වුණත් ඒ ගත්තු උකස් ණය ආපහු ගෙවන්න දේපල හිමිකරුවන් බැඳිලා ඉන්නවා. සමහරවිට රජයෙ මැදිහත්වීමෙන් ඔවුන්ට අවම වසරකවත් සහන කාලයක් ලැබෙයි කියන කාරණාව සංවාදයට ලක්වෙමින් තිබ්බත් ඒ කාලයට අදාළ පොලිය සහ වාරික කවදහරිම සම්පූර්ණයෙන්ම ගෙවන්න සිද්ධ වෙනවා. 

ණය සහ බය සකල මනුෂ්‍ය සංහතියටම පොදු කාරණාවක් බව ආයෙ ආයෙත් පැහැදිලි වෙන සිද්ධි දාමයක් මේක. මිනිස්සුන්ට භෞතික දේපල අවශ්‍යයි. සමහරවිට අනවශ්‍ය තරමක දේපල නඩත්තු කරන්නට සිද්ධ වෙනවා සමාජ ප්‍රතිරූප නඩත්තුව හින්දා. ඒ මොන දෙයකින් හරි නිරන්තර සැක සංකාවෙන් බයෙන් පීඩාවෙන් ජීවත් වෙන තරමට මිනිස්සු ජීවිත සංකීර්ණ කරගෙන ඉවරයි. දැන් ඉතින් ඒ සංකීර්ණ ප්‍රශ්න ලිහාගන්න විධි හොයන එකයි තියෙන්නෙ. 

මේකෙන් ලංකාවටත් පාඩම් ඉගෙන ගන්න පාඩම් තියෙනවා. හැබැයි රක්ෂණ කියන්නෙත් ව්‍යාපාරයක් නිසා හරි දැනුවත් භාවයකින් තීරණ ගන්න එක වැදගත්. මොකද ආදරයෙන් පිලිගැන්නුවට වන්දියක් ගන්න ගියාම පටිපාටිය දීර්ඝයි. 

මනුෂ්‍ය තීරණ ආයෙ ආයෙ හිතා බලන්න තල්ලු කරවන න්‍යාය පත්‍රයක් ස්වභාව ධර්මයා ක්‍රියාත්මක කරනවා වගේ.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #trendingnow

Sunday, January 19, 2025

වික්ටර් සහ වික්ටර්

රාවය කතෘ, ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් 75වෙනි අවුරුද්දෙදි අද ලෝකයෙන් සමුගත්තා. ජවිපෙ ඉහළම ක්‍රියාකාරීත්වයක (පොඩි අතුල) ඉඳලා 1971 අප්‍රේල් කැරැල්ල නඩුවෙ 7වෙනි චූදිතයා විදියට අවුරුදු 5කට හිරේ ගිහින් ආව වික්ටර් පහුකලෙක ඒ විප්ලවය මෝඩ තීරණයක් හැටියට දැකලා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය දේශපාලන ප්‍රවාහයට එකතුවෙනවා. හැබැයි ඔහු තුළ හිටිය දේශපාලන විප්ලවවාදියා වෙනස් වුණා කියලා හිතන්න අමාරු තරම් සාක්ෂි අවුරුදු 75ක ඒ ජීවිත කාලය තුළ ඔහු එකතු කරලා ගියා. ඔහුව අදහපු, වීරයෙක් හැටියට දැක්ක කොටසක් වගේම ඔහුට අකැමැති, වෛර කළ කොටසකුත් ඇතිවුණා. වික්ටර් කොයි දේශපාලන පක්ෂය බලයට ආවත් 'සදාතනික විපක්ෂය' හැටියට ඉන්න හිතලා තිබ්බද දන්නෙ නෑ.
විප්ලවකාරී වික්ටර් මාධ්‍යවේදී වික්ටර් බවට පත්වෙන්නෙ 1986දි. මාධ්‍යකරණයේදිත් දේශපාලනයේදී පෙන්නන්නට ඇති හිතුවක්කාර මිනිහම පෙන්නපු වික්ටර්ට ඇලවිච්ච දේශපාලන ලේබලය නිසාම සමහර ඔහුගේ ඇගයීම් ලැබිය යුතු පර්‍යේෂණාත්මක ජනමාධ්‍ය කටයුතුත් යටපත් වුණා කියලා මට හිතෙනවා. ඔහුගෙ කෘතිවලින් ලංකාවම දැනගත්තෙ 'චෞර රැජිණ' විතරක් වුණාට ඔහු පළවෙනිම පොත් දෙක ලියන්නෙ හිරේ ඉන්න අතර (1972-77) කාලයෙදි. සමාජීය ප්‍රශ්න දේශපාලනික ප්‍රශ්න බවට විකසනය වෙන හැටි ගැන ඔහුගෙ අත්දැකීමුත් මේ ලිවිලිවලදි විශාල කාර්‍යයක් ඉෂ්ට කරන්නට ඇති. 

අනෙකා වික්ටර් රත්නායක.
කලෙක ලංකාවටම උන්මාදයක් වුණ, 'ස' ප්‍රසංගයෙන් රටක් නලවපු ගාන්ධර්ව වික්ටර්. අදටත් තමන්ගෙ හඬින් සිංහල ගීත අසන්නන් නලවන වික්ටර්.
හිරු ප්‍රවෘත්තිවල දැක්කා වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක සහ ලතා වල්පොල කියන ප්‍රවීණයන්ට ගෞරව බුහුමාන දැක්වීමක්. සාපේක්ෂව තරුණ දෙවැනි පෙළ තමන්ගෙ ගීත ගායනා කරනවා බලාගෙන කඳුලු පුරවගත්ත ඇස්වලින් හැඟීම්බර වෙලා ඉන්න වයසට ගිය වික්ටර්. මතක ඇති කාලෙකත් ශක්තිමත්ව පෙනී හිටි වික්ටර්. ලෝ දහමට අපි හැමදෙනාම යට බව පෙනුණු විනාඩි කීපෙන් පස්සෙ ප්‍රවෘත්ති බලන අස්සෙත් හුඟක් දේවල් හිතුණා.

වික්ටර්ලා දෙන්නෙක්. එකම දවසෙ තැන් දෙකක, එක්කෙනෙක් නොකියම ගිහින්. 
අනිකා තමන්ගේ ජීවිත කාලය පුරා කළ දේවල්වල ස්මරණ රස විඳිමින් ගෞරවයට පාත්‍රවෙනවා. 

වික්ටර් අයිවන් මගේ ප්‍රිය ලැයිස්තුවේ තැනක් ලද කෙනෙක් නොවෙයි. ඒත් ඒ වික්ටර්ට මීට වඩා යම් ගෞරවයක් ලැබෙන්නෙ තිබුණේ නැද්ද අඩුම තරමින් ඔහු නියෝජනය කළ දේශපාලන කඳවුරුවලින්වත්. විශේෂයෙන්ම ඔහුගෙ මුල් දේශපාලන කඳවුර බලයට පත්වෙච්ච කාලයක. 

කලාවයි දේශපාලනයයි වෙනස් නෑ. දෙකේම ඉන්නෙ එකම මිනිස්සු. ඒ ක්ෂේත්‍රවල ඒ ඒ ආකාර බෙදීම් ගැටුම් කල්ලි කඳවුරු තියෙනවා. ඒත් ඒ හැමදෙයක්ම යම්කිසි දවසක කොන්දේසි විරහිතව මනුෂ්‍යත්වයට යටත්වෙන්න ඕන. 
එහෙම දවසක වික්ටර්ලා දෙන්නෙක් ලෝකේ දෙයාකාරයක සැලකුම් ලබන එකක් නැතිවේවි.
පහර දියයුතු හෙලා දැකිය යුතු දේ වගේම අගය කළ යුතු වටිනාකම දියයුතු තැනදි ඒ නිර්භයත්වයම පළ කරන්න තරම් සමාජ ආකල්ප වෙනස්වේවි.

වික්ටර් අයිවන්ට සුභ ගමන්.
වික්ටර් රත්නායකට චිරං ජයතු.
දෙන්නම වටින මිනිස්සු.💐

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

අග්නි

ලොස් ඇන්ජලීස් ලැව්ගින්න 12වෙනි දවසටත් ඇවිලෙනවා.

අග්නි හෙවත් ගින්න ලෝකයේ විනාශකාරීම දේවලින් එකක් නිසාම වෙන්නට ඕන පුරාණ හින්දු ඇදහීම්වල සිටම අග්නි දේවත්වයෙන් සලකන්නෙ. පැරණි වේද ශාස්ත්‍රයට අනුව අග්නි (දේව) සන්නිවේදනය, පාරිශුද්ධත්වය සහ පරිවර්තනය සංකේතවත් කරනවා. සියළු දේව ඇදහිලි ගින්න මුල්කරගන්නේ ඒ නිසා වෙන්නට ඕන. 

අග්නියෙ පැවැත්මෙන් තොරව ලෝකයට පවතින්න බෑ. ඇතුවත් බැරි නැතුවත් බැරි ගින්නෙන් කඨෝර සීතලකට උණුහුම ගෙනදීම, ඉවුම්පිහුම්, ලෝකයේ පැවැත්ම සමබර කිරීම වගේ යහපත ඇරුණම ලොස් ඇන්ජලීස් අත්දකින බිහිසුණු ස්වාභාවික විනාශ වගේම 1983, 1987-89, 2022දි ලංකාව අත්දැකපු කෘත්‍රිම විනාශත් සිද්ධවෙනවා.

අග්නියෙන් පටන් ගැනෙන අයහපතක් යහපතක් බවට හැරෙන්න අමාරුයි. මේ හැම ස්වාභාවික හෝ කෘත්‍රිම හෝ අග්නි-මූලික විනාශයකදිම නැතිවෙන කිසිවක් ආපහු ඒ ආකාරයෙන්ම ඇතිවෙන්නෙ නැහැ, මිනිස් සහ සත්ව ජීවිත, ස්වභාවික සම්පත්, ගේදොර යාන වාහන ඇතුළු භෞතික සම්පත් හිමිකරුවන්ට, රටකට අහිමිවුණායින් පස්සේ අළුවලින් නැවත පණදෙන්න බෑ. 
අවුරුදු ගාණක මිනිස් ජීවිතවල මතක සටහන්, හරිහම්බුකිරීම් එක මොහොතකින් අළුවෙලා යද්දි දැනෙන මිනිස් හැඟීම ඇමරිකාවටත්, ජපානයටත්, ඊශ්‍රායලයටත්, පලස්තීනයටත්, යුක්‍රේනයටත්, රුසියාවටත්, බංග්ලාදේශයටත්, ලංකාවටත් එකයි. 
කිසිදාක හැරවිය නොහැකි විනාශයක් බව දැනදැන ගින්න පාවිච්චි කරද්දි අමානුෂික නොවී ඉන්න තරම් මිනිස් චෛතසිකයන් දියුණුවෙන දවසක් එනවා නම් කොයිතරම් හොඳද.
ස්වාභාවික විපත් සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න, මග හරින්න බැරිවුණත් මිනිස්සුන්ගෙ පයිරොමේනියාව සුව වෙන දවසක ලෝකෙ සාමකාමී වේවි. 

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Thursday, December 26, 2024

Do Patti (Two Cards) - 2024

(2024 දෙසැම්බර් 26 දින සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට) 

අපිට පේන, ඇහෙන, දැනෙන හැමදේම ඇත්ත නෙවෙයි. ලෝකයට විනිශ්චය කරන්න බැරි සංකීර්ණ කතා ගොඩක් සමහර එළියට පේන එක සිද්ධියක් ඇතුළෙ හැංගිලා තියෙන්න පුළුවන්. මිනිස්සුන්ට පුළුවන් මායාවල් මවන්න, මායාවල් කරන්න, ඒ වගේම මායාවල් මවාගෙන ජීවත්වෙන්න, හොඳට හෝ නරකට.

'දෝ පත්ති' නිවුන් සහෝදරියො දෙන්නෙක්ගෙ කතාවක්. ඉන්දියාව කියන්නෙ විශාල වෛවර්ණ සංස්කෘතියක්. ඒක අස්සේ මනුස්ස ප්‍රශ්න හැටපන් කෝටියක් විතර තියෙනවා. ස්ත්‍රීමූලික සමාජීය ප්‍රශ්න ඒකෙන් එකක් හෝ කීපයක්. විශේෂයෙන්ම ඉන්දියානු සමාජයේ අගතියට පත් කාන්තාව කියන්නෙ අරාබි නිසොල්ලාසය වගේ කතා එකතුවක්. 

සුනිල් ආරියරත්න ලියලා නන්දා මාලිනි ගැයුවට 'ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය' නැති බව මිනිස්සුන්ට තේරෙන්න කාලයක් යන්න පුලුවන්. සමහර මිනිස්සුන්ට වැදගත් ආදරෙ, සමහර මිනිස්සුන්ට වැදගත් රාගය වෙන්න පුළුවන්. එකම හැඩේ නිවුන්නු දෙන්නෙක් අතරෙ වුණත් එහෙම බරපතල හැඟීම් වෙනසක් තියෙන්න පුළුවන්. ඔය දෙක අතර දෝලනය වෙලා ව්‍යාකූලත්වයක ඉන්න පුරුෂයෙක්ට හෝ ගැහැණියකට බැඳෙනවා කියන එකම මහා විශාල රතු කොඩියක්. සමහරවිට ඒක මානසික, වාචික හිංසනයක ඉඳලා ප්‍රචණ්ඩත්වයකින් ඉවරවෙන කතාවක් වෙන්න පුළුවන්. 
සෞම්‍ය සෞම්‍යයාට වෙන්නේ ඒකයි.
සෞම්‍ය වුණත් මුරණ්ඩු වෙන්න පුළුවන් ගෑණුන්ට, ආදරේදි. 
ආදරේ වරදවා කියවගෙන ඒක මත්තෙම නැහීගෙන එල්ලීගෙන සෞම්‍යා කාට මොකක් ඔප්පු කරන්න හදනවද කියලා ප්‍රේක්ෂකයාට හිතෙනවා. 
තමන්ට අනවශ්‍ය තැනක තරඟකාරියෙක් වෙලා ශෛලී මොන බම්බුවක් කරනවද කියලා හිතෙන්නත් පුළුවන්.
ජීවිතේ විඳලා විඳලා නටන්න තියෙන හැම මගුලම නැටුවට විවාහයේදී අධි-සංවර, ඔලුව පාත් කරගත්ත, බයපක්ෂපාතී, සුවච කීකරු දාස භාර්‍යාවක් සෙවීමේ ආසියාතික (මූලිකවම ඉන්දියානු) පුරුෂ මානසිකත්වය දෲව්ගෙන් දකින්න ලැබෙනවා. කමක් නෑ, එහෙම භාර්‍යාවක් එක්ක හරි ආදරෙන් සමගියෙන් ඉන්න පුළුවන් නම් පෙර වැරදි අමතක කරන්න පුළුවන් වෙයි. ඒත් ඒ දාස භාර්‍යාවට සිද්ධ වෙනවා නම් stress ball එකක් හරි punching bag එකක් හරි වෙන්න? කතා කරන්නවත් නිදහසක් නැතුව, තමන්ගේ ආසාවල් හීන හැඟීම් ඔක්කොම පෙට්ටගමක දාලා වහලා ඒ පෙට්ටගම උඩ වාඩිවෙලා දුපට්ටාවෙන් හිස් වහන් දුපට්ටා කොණක් විකමින් කඳුළු හල හල විඳවන්න? මෙතනින් එහා සංකීර්ණ මනුස්ස ගනුදෙනු ගැන කතා කරන්නවත් දෙයක් නෑනෙ. 

චිත්‍රපටය බොහොම සරලයි වගේ පෙනුණට අන්තිමට කියන කාරණා ටික වැදගත්. ලෝකෙම අවුරුදු 15ත් 49ත් අතර ගැහැණුන්ගෙන් තුනෙන් එකක් ආදර හෝ විවාහ සම්බන්ධතාවලදි ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක්වන බව (මානසික හිංසනය මීට වඩා සෑහෙන්න වැඩි ඇති) සහ බහුතර ගෘහස්ථ හිංසනයන් නීතිය හමුවට නොයන බව. ඒ වගේ හිංසාමය සම්බන්ධතාවල ඉඳලා එළියට එන්න තරම් නිර්භීත වෙන්නෙ අතලොස්සයි. දරුවන්, ආර්ථික ගැටළු, සමාජීය ගැටළු, ආරක්ෂාව, ලෝක ලැජ්ජාව වගේ කාරණා ගොඩක් එහෙම ගෑණුන්ව ඒ තැන්වලම හිර කරලා තියන්න හේතුවෙනවා. දික්කසාද ගැහැණු දිහා වපරැහින් බලන්නත් කාම ඇහෙන් බලන්නත් ලෝකයා දක්ෂයි. ඒ වගේම ගිනිපෙනෙලිවලින් බැට කෑමෙන් පස්සෙ කණාමැදිරියොන්ට බයවෙන එක ස්වභාවික බව දන්න ලෝකයාට පුළුවන් මායාවල් මවන්න. හැබැයි කොයිතරම් කාලෙකටද කියලා කියන්න අමාරුයි. සමහරවිට ලෝකය ආයෙමත් ඒ චක්‍රයේම යන්න පුලුවන්. මෙහෙම තැන්වලින්, පරපීඩක සම්බන්ධතා සහ විවාහයන්ගෙන් ගෑණු මුදවන්න දඟලනවට වඩා මනුෂ්‍ය සම්බන්ධතා වඩා විශ්වාසනීය, ආදරණීය සහ සුවපත් කරවන්න පියවර ගන්න එක හොඳයි. මොකද ලෝකෙ සංකීර්ණවෙලා තියෙන තරමට ගලවාගැනීමේ හමුදාවලුත් හති වැටෙන්න පුළුවන්.

චිත්‍රපටය ගැන කතා කලොත්, ඉන්ස්පෙක්ටර් විද්‍යා ජෝති වර්මාගෙ ප්‍රවිශ්ඨයේ ඉඳන්ම අධිරංගන ගතියක් දැනෙනවා. ක්‍රිටිගේ ද්විත්ව රංගනය හොඳටම හොඳයි. කතා සංකල්පය බොහොම හොඳයි. කතාව ගලායාම නම් තරමක් ඕලාරිකයි. දෲව්ගේ චරිතයට තව යමක් කළ හැකිව තිබ්බා කියාත් හිතෙනවා. 
අර කලින් කිව්වා වගේ ඉන්දියානු සමාජයේ අගතියට පත් ස්ත්‍රීය කියන සංකල්පය ඇතිපදම් පට්ට ගහන නිසාමදෝ මන්දා iMDb Score එක 6.5/10. Twist එකක් තියෙන නිසා මේ විෂය ගැන උනන්දු කෙනෙක්ට බැලුවට පාඩුවක් වෙන එකකුත් නෑ. 

ලෝකේ ආදරේ කියන්නෙ සීඝ්‍රයෙන් ක්ෂයවෙමින් යන හැඟීමක්. ඒ හැඟීම ඇතිවෙන තැනක් වෙලාවක් ගැන අනාවැකි කියන්න බෑ. ඉබේ ඇතිවෙලා ඉබේ ලැබෙන දෙයක් නම් බොහොම වාසනාවන්තයි. මුතු හදවනවා වගේ බලෙන් පැලකරලා හදාගන්න බැරි නිසා අගේ වැඩියි. හැබැයි, ඒක වරදවා කියවගෙන ජීවිතේම අපායක් කරගන්න අවශ්‍ය නෑ, ඒක පාර්ශ්වික ආදර වගේම ඒක පාර්ශ්වික විවාහත් වෙනුවෙන් කැපවුණා කියලා ලෝකයා කවදාවත් කාටවත් සම්මාන දෙන්නෙ නෑ, ඕනනම් අවස්ථාවක් බලලා ප්‍රයෝජන ගන්න උත්සහ කළොත් මිසක්. කවදහරි වටිනාකමක් ලැබෙයි කියලා හිතාගෙන එහෙම තැන්වල රැඳිලා විඳවන්න එපා. නිර්මාණය කොහොමවෙතත් ගන්න තියෙන පණිවිඩේ ඒකයි.

~ Aash Weerasinghe

විකල්ප මාධ්‍ය සහ කලාව (alternative media and art)

විකල්ප කලාව අතිශය දේශපාලනිකයි. සාම්ප්‍රදායික සහ ප්‍රධාන ධාරාවේ කලාවට වඩා ඔවුන්ගෙ නිර්මාණවල අදහස් සහ ක්‍රියාකාරකම් තීව්‍රතාව දැඩියි. පර්‍යේෂණාත්මක කලාව සහ ප්‍රකාශනය ගැන ඔවුන්ට සීමා නෑ, සමාජීය සාම්ප්‍රදායික රාමුවලට කොටු නොවී මුරණ්ඩු වෙන්න ඔවුන්ට පුළුවන්. ලෝකෙ බොහෝ තැන්වල, රටවල, ශිෂ්ටාචාරවල විකල්ප කලාව පෝෂණය වෙන්නෙ දේශපාලනයෙන්. (ඇත්තටම) පීඩිතයා තුළ පීඩකයාට එරෙහිව පුපුරා යන වෛරයක් මේ හැම විකල්ප කලා නිර්මාණෙකම දකින්න පුළුවන්. ඒක නිසා සමහරු මේක මාක්ස්වාදයට අනුගත කරනවා.

ලංකාවේ ගත්තොත් යම් කාලයක සුනිල් ආරියරත්න - නන්දා මාලිනී සුසංයෝගයෙන් බිහිවූ නිර්මාණ මේ විකල්ප ධාරාවෙ, එවකට පැවති දේශපාලනයට විරුද්ධ මතධාරී නිර්මාණ. ඊටකලින් එස් මහින්ද හිමි (ශ්‍රී ලාංකිකයෙකු නොවීත්) එකල පැවති අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධව ලියූ කවි, නිදාසිටි සිංහලයා තුළ ජාතිමාමකත්වයක් ඇති කරන්න කළ නිර්මාණ. හැබැයි, විකල්ප කලාව කැපී පේන්න ප්‍රධානම හේතුවක් තමයි ප්‍රධාන ධාරාවේ සාම්ප්‍රදායික කලාව සහ මාධ්‍ය ඇතුළේ තියෙන ඇල්මැරුණු ගතිය. විශේෂ ලක්ෂණ නෑ, නිර්මාණාත්මක බව නිල්, ඒකාකාරීයි, ප්‍රේක්ෂකයාගෙ හෝ රසිකයාගෙ ඇඟේ ලේ රත්වෙන්නෙ නෑ. නමුත් විකල්ප ධාරාව එහෙම නෑ, ඒ කලාවෙ වේදිකා උඩ, නිර්මාණ තුළ නිරුවත්වීම පවා සාධාරණීකරණය කෙරෙනවා දේශපාලනික කෝණයක් දාලා. අමුතිත්ත කුණුහරුප පවා පීඩිතයාගෙ පීඩනය පුපුරායාමක් හැටියට සාධාරණීකරණය කෙරෙනවා. ලෝකයා හරි කැමති සංසන්දනාත්මකව හිත හදාගන්න. 'අයියො අපිට මෙහෙම තියෙනවා, උන්ට නෑනෙ, අනෙ පව්, ලෝකෙ කොයිතරම් නම් අසාධාරණද' කියලා සහකම්පන අනුකම්පාසහගත හැඟීමකට නිකම්ම තල්ලුවෙනවා තමන් දිහා බලලා අනිකා ඊටවඩා අඩු තත්ත්වයක නම් ඉන්නෙ. අනිකා තමන්ට වඩා වැඩි තත්ත්වයක/ හොඳ තත්ත්වයක ඉන්නවා නම් මේ හැඟීම වෙනස්!

මේකෙ අවුල් පැත්තකුත් තියෙනවා. කාටහරිම අවශ්‍ය නම් ඔබගෙ හැඟීම් සහ දයාව අයුතුලෙස ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරුවන්න, විකල්ප මාධ්‍ය සහ කලාව හොඳ ආයුධයක්. ලංකාවේ පහුගිය කාලයක් පුරා නිර්මාණ රැල්ලක් දිහා බැලුවොත්, රණවිරුවා හෙලා දැකීම සහ අපහාසයට ලක් කිරීම ඉඳන්, ජාතිකත්වයට පහර ගැසීම, බෞද්ධයා සහ බුද්ධාගමට පහර ගැසීම, සිංහලයා සහ සම්ප්‍රදායයට පහර ගැසීම වගේ දේවල් මූලික කරගත්ත නිර්මාණ ඕනෑතරම් බිහිවෙලා තියෙනවා, ශ්‍රව්‍ය දෘෂ්‍ය මුද්‍රිත ඩිජිටල් මේ හැම මාධ්‍යකම මේ රටාව තිබ්බා. සංගීත, සිනමා, පුවත්පත්, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සමාජ මාධ්‍ය, මේ හැම එකකම විකල්ප ධාරාව අතිසාර්ථකයි. 

විකල්ප කලාකාරයා පට්ට දේශපාලනිකයි. ඒ වගේම පට්ට කුහකයි. විකල්පයි වෙනස් කියන ලංකාවෙ කලාකාරයො ඔක්කොම ඉන්නෙ එක රැල්ලක කියන එක රහසක් නෙවෙයි. ඔවුන් දේශපාලනිකව එකඟ ජවිපෙ කඳවුර එක්ක. ඔවුන් තුල පවත්නා වෛරය සහ එක්තරා විදියක කෘත්‍රිම හීනමානය නිසා ඔවුන්ගෙ නිර්මාණ බොහොම සද්දයි. සාමාන්‍ය, සාම්ප්‍රදායික කලාවේ ඉඳන් ඔවුන් එක්ක තරඟ කරන්න පුලුවන් කලාකාරයට ඔවුන් කැමති නෑ, එහෙම උන්ට දේශපාලනය අකැපයි. මේ විකල්ප කලාව එක්ක කරට කර සටනක් දෙන්න පුළුවන් කලාකාරයන්ගෙන් කැපී පෙනෙනම චරිතය වුණේ ජැක්සන් ඇන්තනි. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වගෙ විශිෂ්ටයන්ට මම හිතන්නෙ එතරම් මේ විකල්ප ධාරාව එක්ක හැප්පෙන්න කාලයක් ලැබුණේ නෑ. ජැකාගෙ කියැවීම, විවිධාකාර විෂයන් ඉගෙනීමේ පිපාසය, නිර්මාණවල ප්‍රකාශන හැකියාව, ඔහුගෙ රංගනය ගත්තම ඔහු හිටියෙ සෑහෙන්න ඉදිරියෙන්. නමුත් විකල්ප ධාරාවෙ නොවීමයි ඔහුව දේශපාලනීකරණය කරලා ලේබල් කරන්න ලොකුම හේතුව. ඔක්කොම කලාකාරයො, එකමුතු සමගි සමාදාන කතා ඒ වෙලාවේ විකල්ප ධාරාවෙ 'සුපිරි' කලාකාරයන්ට තිබ්බෙ නෑ, ජැකත් අපේ එකෙක් කියලා හැඟීමක් කොහෙත්ම තිබ්බෙ නෑ. ජැකා අනතුරට පත්වූ වෙලාවෙ සහ ඔහුගෙ මරණය මොහොතෙ පවා ඔය විකල්ප මාධ්‍ය කලාකාරයන්ගෙ හැසිරීම් ලංකාවට මතක ඇති. 
සියළු දේ දේශපාලනිකයි. නමුත්, ඒක එහෙම නෑ වගෙ රඟ පාන්න ගත්තම තමුන්ට තමුන්වත් අවංක නෑ. බොරුවක ජීවත්වෙන්න ලේසියි. හැබැයි බොරු ජීවිතේක ගන්න දෙයක් නෑ.

විකල්ප කලාව නරක නෑ. හැබැයි අවභාවිතා වීමේ සම්භාවිතාව වැඩියි. ෆේස්බුක් එකෙන් ජනාධිපතිලා තැනුවා වගෙ තමයි.

සාම්ප්‍රදායික කලාව වෙනස් වෙන එකක් නෑ. හැබැයි වෙනස් වෙන්න ඕන. නමුත් නිරුවතයි කුණුහරුපයි මේකප්ලස් අමු මූණුයි බැද්දයි මැටිගෙදරයි ආප්පයයි ප්ලේන්ටියයි පෙන්නලා නෙවෙයි. කරනවා නම් කරන්න ඕනෑතරම් වැඩ තියෙනවා. කාලො අයංතෙ  වෙන්නත් පුළුවන් සමහරවිට.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #art #cinema

Tuesday, December 17, 2024

මාන්න ලංකා

මහින්ද රාජපක්ෂ ගැමියෙක්, ගොයියෙක්, ගමේ මිනිහෙක්. මහින්දට චන්ද්‍රිකාගේ රදළවාදී/ කොළඹ ඉහළ ගෝත්‍රික කුලකය සහ සහායක ඩැනීලා පක්ෂය ඇතුළෙන්මත් කැපිලි දැම්මේ එහෙම. මහින්ද ලස්සනට ඉංග්‍රීසි කතා කරපු කලු සුද්දෙක් නෙවෙයි අගමැති සටන ජයගන්නකොටත්. හැබැයි මහින්දගේ පෞර්ෂයයට අභියෝග කරන්න මේ ඉහළ පොෂ් පෙලැන්තියේ සුකොමල පිරිමින්ට බෑ. 2005 පළවෙනි ජනපතිවරණයට ඉදිරිපත්වෙද්දි ප්‍රශ්න ආවේ විපක්ෂයටත් වඩා ඔහුගෙම පක්ෂෙන්! ඇතැම් පාරම්පරික ශ්‍රීලනිප පාක්ෂිකයන් පවා ඔහුගේ විභවය ගැන විචිකිච්ඡාවකින් හිටියා. හැබැයි මහින්ද රටට අමුතු අලුත් බලාපොරොත්තුවක් දුන්නෙ ඔහුගේ පෞර්ෂත්වයෙ උපරිම ප්‍රයෝජනය අරගනිමින්. ඒකට කට උල් කරලා රෝල් කරලා පච විදින්න අවශ්‍ය වුණේ නෑ. හැබැයි මහින්දගේ wit එක නැත්නම් වාග්පාටවය සහ බුහුටිකම අර පෞර්ෂයය තව උස්සලා තිබ්බා. අනෙක ආසියාතික/ලාංකික මිම්මෙන් මහින්ද පිරුණු පුරුෂ දේහධාරියෙක් නිසා නිතැතින්ම නායක ලක්ෂණ ලැබිලා තිබ්බා. 

2005 ඉඳන් 2015 වෙනකල් අවුරුදු 10ක්ම 'ජනාධිපති' කියද්දි රට හුරුවුණේ (කැමැති අකමැති හැමෝම) ඒ පෞර්ෂයයට. 2005දි රනිල් පැරදුණේ ඒකට. 2015 රැල්ලට සිරිසේනට ඡන්දෙ දුන්නට පළවෙනි දවසෙ ඉඳන්ම සිරිසේන ට්‍රොල් වුණේ ඒ පෞර්ෂයය එක සැරේ බිමට අතෑරියා වගේ දැනිච්ච සංසන්දනයට. 

දැන් අනුර තඹුත්තේගම ගොයියෙක් ද ගොයි පුතෙක් ද ගැමියෙක් ද කියලා මම පෞද්ගලිකවම දන්නෙ නෑ. හැබැයි ඔහු ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික පළාතක් වෙන අනුරාධපුරය දේශපාලනිකව සහ සමාජීයව නියෝජනය කරනවා. 
ඒ කාලේ මහින්දට ගොයියා, බයියා, ගැමියා, ගමේ මිනිහා කියලා අපහාස කරපු මිනිස්සු අනුරට එහෙම කියන්නෙ නෑ. මොකද ජාතික ඇඳුමට කුරහන් සාටකේ පළඳින මහින්දගේ ගැමිකම ඩබල්-පොකට් ෂර්ට් අඳින අනුරගෙන් පේන්නෙ නෑ, කාලයක්ම එහෙම ගොඩනැගෙන බ්‍රෑන්ඩ් එක රැයින් වෙනස් කරන්න අමාරුයි. අනික ඒක ටිකක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. 
හැබැයි අනුර හරි අනුරගෙ ජවිපෙ/ජජබ කඳවුර හරි කන්න ඕන නිසා කබරගොයා තලගොයා කරගන්න උත්සහ කරනවා නම් මම හිතන්නෙ තවත් ජල්බරි මාකටිං ෆේලියර් එකක් කියලා. පළවෙනිම දේ අනුර ගැමි කතා මොක කිව්වත් බ්‍රෑන්ඩ් එක ගැමියා නෙවෙයි. සාම්ප්‍රදායික ජවිපෙ සමාජික look and feel එකට අමතරව මට පේන තව දේවල් තියෙනවා, ඒත් දායක සභාව කැලඹෙන්න ඉඩ තියෙන නිසා අපි එතනින් නවතිමු.😁

අනුරගෙ ඉන්දීය සංචාරයෙ 'bloopers' වලට අපිට හිනාවෙන්න ඕන නෑ. මොකද කැමැත්ත අකමැත්ත කෙසේවෙතත් දැන් එයා නියෝජනය කරන්නෙ ශ්‍රී ලංකාව! හැබැයි අපේ උගත් බුද්ධිමත් අගමැති තරුණියගෙ චීන - තායිවාන් හුටපටේ වගේ විදේශ සම්බන්ධතා එක්ක අවසිහියෙන්, අනවබෝධයෙන් අනාගන්න ගියෝතින් ලංකාවම ජාත්‍යන්තරව 'කිච' වෙනවා. එතකොට හැමදාම අපි තාම බබ්බු අනේ කියලා හොටු ලේන්සුව කොලර් එකේ එල්ලන් හොටු පෙරාගෙන රාජ්‍ය විචාරන්න බෑ. එව්වා කොහෙද අපේ කලාව වෙනම කලාවක්, අපි සම්ප්‍රදාය අතික්‍රමණය කරනවා, අපි වෙනස් දේශපාලන සංස්කෘතියක්... හා හා ඇති අනේ ප්ලීස්! ✋
ඔය වැල් බයිලා අදාළ ඡන්දේ කාලේ ලංකා ගැලරිය චූන් කරන්න විතරයි. ඔව්වා රටක ඉහළම නියෝජනය හැටියට ජාත්‍යන්තරේට අදාළ නෑ. ඒක නිසා කරුණාකරලා ඉක්මන්ට හැදෙනවලා! 
මහින්දගේ ප්‍රගති වාර්තාව සමාන කරන්න නම් බැරිවෙයි, හැබැයි හතුරගෙනුත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් මාන්නෙ පැත්තක තියලා ඉගෙන ගන්නවලා! අවුරුදු 50ක විතර දේශපාලන පරිචයක් තියෙන රනිල්ට දේශපාලනෙ උගන්නන්න යන මහන්තත්තකම පැත්තක තියලා අගමැති තරුණියත් ඒ මනුස්සයගෙන් ඉගෙන ගන්න පුලුවන් දේ (සෑහෙන්න තියෙනවා) ඉගෙන ගන්නවලා! ඔක්කොම සර්ව සම්පූර්ණ වුණායින් පස්සෙ බැරියැ ආයේ ගොන් මාන්නෙ ඔලුවට ගන්න.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #lka #trending #NPP #AKD

Sunday, December 15, 2024

හුටපට ලංකා

නව රජය තවම බබෙක් ය. බබා ඉපදී, සොරි, පත්වී තවම හරිහැටි 'හොවෑ' කියන්නටවත් ඉස්පාසුවක් ලැබුණේ නැතිය. හතර වටේට චොර වෙනවාය. දැන් බබා ගෙනා අම්මෙක්ද නැත, තාත්තෙක්ද නැත. 

ඉස්සෝරම රටේ ණය කන්ද ගෙවන්නටයි කියා නමෝ විත්තියෙන් නිධන් කර තිබූ කළු ගලක් සොයාගත්තාය. ඒක නම් මම හිතන්නේ යක්ෂාරූඩ වූ බහිරව අයියණ්ඩි හම්බන්තොට වරායේ තිබූ තඩි කලු ගල ඔතනට ගෙනැවිත් දමා කළ නරක ඇරියස් පියවිල්ලක්‍ ය.

ඊටත් පසු මහවිරු නාටක සතියය. (දැන්) උත්තරීතර පාර්ලිමේන්තුවේද ප්‍රසිද්ධ මාධ්‍යයද ඊළම් රාජ්‍යයක් ගැන කියමින් දෙවනත් කරවන අර්චුනාට 'හ්ම්ම්' කියන්නටත් 'ශ්!' කියන්නටත් අකුදිගේ දබරැඟිල්ල එසවුණේ නැත. තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දේවත්වයෙන් සලකන ප්‍රසිද්ධ ප්‍රකාශ, ඊළාම් පාර්ලිමේන්තු කතා සහ ප්‍රසිද්ධ ජාතිවාදීත්වය ඉදිරියේ අඳ ගොලු බිහිරි ජාතකය රඟන පාලනය මේ කොහෙවත් යන අවශේෂ තුන් හතර දෙනෙකුගේ සමාජ මාධ්‍ය පෝස්ටුවලට අත් අඩංගුවට ගත් එකම රට විහිළුවක් ය. පිනට කෑවොත් කොඳු නැවිය යුතුය!.
භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස උඩ දමදමා උන් පක්ෂයක් බලයට පැමිණි පසු එවැනි දෙබිඩි ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කිරීම විසාල පුදුමයක්‍ ය.

ඊටත් පසු සොභා දහම ලංකාවට සුළිකුණාටු සහ ගංවතුරකින් දමා ගැසුවාය. ඒ කාලයේ නම් ස්වාභාවික විපත්ද ක්‍රිකට් පරාජයන්ද සිද්ධ වූයේ පාලකයාගේ අධර්මිෂ්ඨකම හින්දාය. මෙතරම් දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන් කල්හීද විපත් ගෙන ඒම නම් සොභාගෙ කුරිරු සරදමක් ය.

ඊටපසු හාල් නාටකයය. පිටපත හරියාකාරවම රඟපෑව ද ජූරියේ සම්මානයකටවත් නිර්දේශවන්නට පාලක නළුවාට නොහැකි විය. 'ආච්චිට හාල් ගරන්නට' පාස කියමින් ඡන්දදායකයන් හාල් සොයා රට පීරනු ද පෙනෙන්නට පටන් ගත්තේය. නැවත, පිනට කෑවොත් කට සහ පශ්චාත්භාග වසාගන්නට වෙනවාය.

ඉන්පසු පොල් රිලා සහ පොල් බූරු නැටුමය. පාරවල්වලත් පොල් ගැසූ රටක මාස දෙක තුනකට නොතිබි රිලා ප්‍රශ්නයක් හිටිහැටියේ උග්‍ර විය. කලින් පාලනය කාලයේ රිලවුන් පොල් නොකා අල තම්බන් කෑවාද දන්නේ නැත. පොල් අස්වැන්න රිලවුන් විනාස කරන බව ඇත්තක් ය. ගොවියන්ට, වගා කරුවන්ට රිලවුන් දෑහැට පේන්නට බැරිබව ද ඇත්තය. ලාල්කාන්ත සුපුරුදු ලෙස පිටියට අවතීර්ණ වන්නේ බැට් එක දෑතින් ඔසවාගෙනය. වත්තට එන ඕනෑම සතෙක්ට වෙඩි තැබිය හැකියැයි කියා තව ජල්බරි සතියක් ආරම්භ කළ ඔහුගේ මාපියන්ට පරිසර සහ සත්වවේදීන් ගොවීන් ද අප්‍රමාණව පින් දුන්නා නිසැකය. 

දැන් පට්ටම් - අටපට්ටම් නාටකයය. අවුරුදු ගණනාවක් තිස්සේ ජවිපෙ සහ ජජබ මහජන මොළ සෝදන්නට ගත්තේ පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් 225ක් අවශ්‍ය බව කියමින් ය. පීනන්නට දන්නෙ නැතත් රැල්ලේ ජබුක් ගසන අපේ ජෙබයියෝද උගත් බුද්ධිමත් වෙනුවෙන් ශ්‍රමදාන පවා කරන්නට ගත්තෝය. වරදවා වටහාගන්නට එපාය. උගත් බුද්ධිමත් කුලකයට මගේ කිසිදු විරුද්ධතාවයක්, එරෙහිවීමක් නැත. නමුත්, උගත් බුද්ධිමතුන් ද උගත් මෝඩයන් ද උගත් සටකපටීන් ද උගත් දුෂ්ටයන් ද අතර නූගත් බුද්ධිමතුන් ද නූගත් මානුශීයවාදීන් ද නූගත් ප්‍රායෝගික වැඩකරුවන්ද නූගත් සුන්දර අවංක උන්ද සිටින මේ ලංකා මිනිස් කුලකයේ මෙවැනි ඒකාකාරී ඔද්දල් තියරි මත රටක් කළ නොහැකිය. ටයි පොලු දමාගෙන කෝට්බෝට් ඇඳගෙන උගත් බුද්ධිමත් ජනතා නියෝජිතයන්ට කාස්ටක අව්වේ අල්ලි දෙකක් දුර අඩිය තියන්නට බැරිය, අව්කණ්ණාඩි දෙක ගලවා ජනතාවගේ දෑස් දෙස කෙලින් බලන්නට බැරිය, තම ආසනයේ අසවලාගේ නිවස කොහිදැයි පාක්ෂිකයන්ගේ නිවසක් තියෙන ඉසව්වක් දන්නෙ නැතිය, ප්‍රායෝගික ක්‍රමවේද සහ වෙනස්කම් කළ හැකි ප්‍රායෝගික විධි දන්නේ නැත, තමා හමුවන්නට එන ජනතාවට සලකන්නට තේරෙන්නෙ නැත, උගත් බුද්ධිමත්කම නඩත්තු කළ යුත්තේ කෙසේදැයි නොනවතින ඊගෝවක සිරව සිටිනා නඩත්තුවාදීන්ට මහ ගංවතුරකට බැස තෙවරප්පෙරුම වැනි සැබෑ ජනතා නියෝජිතයන් කළ හරිය කරන්නට හිතන්නටවත් බැරිය, ගංවතුර පසෙක තියා උගත් බුද්ධිමතෙක්ට පෙර සැබෑ මනුෂ්‍යයයෙක් වන්නට තේරෙන්නෙ නැත!.

නැවත අටපට්ටම් නාටකය දෙසට හැරෙමු. 
සමාජ ගත කළ ලොජික් රැකගැනීමට බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්වා පාර්ලිමේන්තු ගිය ජජබ ජල්බරිකාරයන්ගේ වස්ත්‍ර ඉල්ලේවෙමින් පවතී. මේවා පුහු මාන්නයන්‍ සහ හීනමානයන් ය. තමන්ට නැතිනම් නැතිය, ඉංග්‍රීසි බැරිනම් බැරිය. නැති මගුල් මවා පාන්නට ගොස් කෙලවාගන්නා සමාජ හරස්කඩක්‍ ය එකාතකට මේ පාර්ලිමේන්තුවෙන් මතුවන්නේ. මුලාව, මෝහය, ක්‍රෝධය විනාශයේ මුලය. ලොකු ටෝක්ස් දෙමින් ශ්‍රමදාන පවත්වමින් සුද්දබුද්ද කළ අලුතෙන් උත්තරීතර කළ පාර්ලිමේන්තුවක් මෙවැනි නාඩගමක් වීමම දෛවයේ කුරිරු සරදමක් නොවේද? 

බබා තාම අලුත්‍ ය. කක්කි දාගත්තාට කමක් නැතිය. ඇම්ඩන් වාගේ පැම්පරය හිසට උඩින් කරකවා විසිකරන්නට ගොසින් රට වටේටම ගාන, ගාගන්නා එක නම් අවුල් ය. 

~ Aash Weerasinghe 

#AW #thaniya #medusa #lka #trendingnews

Friday, November 22, 2024

බළල් අත් සහ කොටි පුල්ලි

වෛද්‍ය අර්චුනා රාමනාදන් නම් ස්වාධීනයැයි කියාගන්නා පාර්ලිමේන්තු නියෝජිතයා කවුද?

මෙවර පාර්ලිමේන්තුව කිරිකෝඩුකාරයන්ගෙන් පිරුණු බව රහසක් නොවේ. ඔවුන්ට උපදෙස් මාලා, පුහුණු සැසි පවත්වන්නට තීරණය කළ බවද පැවැත්වූ බවද කියැවේ. එසේනම්, අර්චුනාට මේ පුහුණුව මග හැරුණාද??
පාර්ලිමේන්තුව පසුකලෙක අතිශය නින්දාවට පත් කරවන ලද කඳවුරකි, අද බලයට පත්ව ඇත්තේ. වසර ගණනාවක් තිස්සේ මොළ සේදීමට ලක්වූ ජනතාවක් පාර්ලිමේන්තුව පිරිසිදුකිරීමේ මහා ශ්‍රමදානයට බැතිසිතින් සහභාගීවූ බැවින්ය, ආසන 3 ආසන 159ක් බවට පත්වූයේ. (මේවා ලියා තැබිය යුත්තේ පරාජය අවජාතකවීම සහ අමතකවීම ලාංකිකයාගේ මූලික ලක්ෂණවීම නිසාය!).

පාර්ලිමේන්තුවට ආවේණික සම්ප්‍රදායන් ඇත. රටකට ආවේණික සම්ප්‍රදායන් ඇත. ඒ සියල්ල විනයානුබද්ධිතය. ව්‍යවස්ථාවද එහි කොටසකි. සම්ප්‍රදාය අතික්‍රමණය කරන්නට හැකි නමුත් ඊට සාධාරණ සහ පැහැදිලි හේතුසාධක තිබිය යුතුය. ජවිපේ/මාලිමා/පෙරටු ආදී අගතිගාමී කඳවුරු පසුගිය කාලයක් තිස්සේ සම්ප්‍රදාය අතික්‍රමණය කළ හැටියට විකල්ප මාධ්‍ය භාවිතය සහ විකල්ප දේශපාලන භාවිතය සාක්ෂි දරයි. සම්ප්‍රදාය අතික්‍රමණය යනු වැසුණු දොරටු පිටුපස කළ යුතු දේ විවිධාකාර ලේබල සහිතව පුළුල් තිරයට පැමිණීම නොවේ. (අතුරු කතාවකි).

තමා උගතකැයි බුද්ධිමතෙකැයි පුලපුලා කියන්නා වූ මේ වෛද්‍ය අර්චුනා පළමු දිනයේ හැසිරීමෙන්ම තමන් ඊට හාත්පසින් වෙනස් බව සනාථ කර ඇත. ඔහුගේ පසු විඩීයෝ බලනවිට බළලා මල්ලෙන් එළියට පනිනු පෙනේ. එසේනම් ඔහුගෙ හැසිරීම දකුණ සහ ශ්‍රී ලංකාව කෙරෙහි වන උග්‍ර, අන්තවාදී වෛරීපරවශ හැඟීමකින් පොළඹවනු ලද බවය. ප්‍රභාකරන් දෙවියන් ලෙස සලකන බවට කළ ප්‍රකාශය, ඔහු පාර්ලිමේන්තූ නාටකයේදී දෙමළ ඊළමේ සිට සම්බන්ධ වූ බවට කරන අවසන් කිරීම, මහවිරු සමරුව පිළිබඳ ප්‍රකාශය, ඔහුගේ පියා ශ්‍රී ලංකා පොලීසියට අනුබද්ධිතව සේවය කර 1983න් පසු කොටි පොලීසියට සේවය කළ බව, 2009 තුවාල ලබා සිට පසුව රෝහලින් අතුරුදහන් වූ බව,ඔහුව කිසියම් තැනක රඳවාගෙන ඇතිබවට ඇති විශ්වාසය පිළිබඳව කෙරෙන පහත අමුණා ඇති ප්‍රකාශය ද සුළුකොට තැකිය හැකි හෝ බැහැර කළ හැකි ඒවා නොවේ. ඒ සියල්ල ඉලක්ක වන්නේ එක් නිශ්චිත අරමුණකට බව සමබර මනසින් බලන ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇත.
තිස්වසරක යුද්ධයක් අවසාන කළ පසු ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂට මල් පුදා වසර ගණනාවක් ගතවන්නට කලින් නාකි මයිනා ලෙස ගරහන නමුත් ඊළම වෙනුවෙන් ඇපකැපව සිටින අන්තවාදීන්ට තවම ප්‍රභාකරන් දෙවියෙකි, මිනිස් පළිහක් පිටිපස සැඟව තමන්ගේයැයි කියන සහෝදර ජනතාව බිල්ලට දෙමින් තමන්ගේ ජීවිතය බේරාගන්නට උත්සහ කළ ප්‍රභාකරන්..තමන්ගේත් සමීපතමයන්ගේත් අධිසුඛවිහරණය සලසාගත් ප්‍රභාකරන්.. අනවශ්‍ය සිවිල් යුද්ධයක මුවාවෙන් වීරයෙකුවන්නට තතැනූ ප්‍රභාකරන් දේවත්වයෙන් සලකන, ඔහුගේ දැක්ම ඉදිරියට ගෙනයන්නට තවමත් දේශපාලනිකව සක්‍රීය පිරිසක් දමිළ ජනතාව අතර තවමත් සිටී. 

මෙවන් පුද්ගලයෙකු උතුරු මැතිවරණ ව්‍යාපාරයේ සිටින බව බහුතර ලාංකිකයා දැන සිටියේ නැත. 'නිර්දය' මාධ්‍යයට එක්කෝ භාෂා ගැටලුවකි, නොඑසේනම් ආවරණ ගැටලුවකි. නැත්නම් ජවශීලී, ක්‍රියාශීලී උතුරේ සහ දකුණේ මාධ්‍ය ඔහුව හිතාමතා වසන් කර තැබුවාද? 

අර්චුනා රාමනාදන් මානසික රෝගියෙකු නොවේ. 
රඟන බහුතරයට ඇති හැකියාවක් හෝ බලයක් නැතැයි යන පදනමේ පිහිටා ඔහුගේ ආකල්ප, ප්‍රකාශ සහ හැසිරීම බැහැර කළ නොහැකිය!
නව රජය පත්ව සතියක් ගෙවීමටත් මත්තෙන්, පළමු වතාවට දේශපාලන ප්‍රවාහයට පිවිස, රටේ උත්තර්‍ර්තර ආයතනයට සුදුසුකම් ලැබ, මෙලෙස හැසිරීම සහ ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්නට නම් ඔහුට ආරක්ෂක වළල්ලක් සහ යම් බලවේගයක ආශිර්වාදය තිබිය යුතුය.

අර්චුනා තවත් ට්‍රෝජන් අශ්වයෙක් ද?

~ Aash Weerasinghe | තනියා

https://m.youtube.com/watch?si=n7s_cOI77dBdMLzI&fbclid=IwZXh0bgNhZW0CMTEAAR0TchwMf0dJoDGQCbDo3h3gwg0j7fkKy9k2VH_ne5IYHOwPQxUQ4RXjI_M_aem_WpiI_jKw62uBJuIoFOiZIQ&v=Dg-oRKluvIs&feature=youtu.be

Saturday, November 16, 2024

ලංකා තුලන

මම 'මැයි මාර ප්‍රසංගය' කියවලා නැහැ. හැබැයි ඒකෙ තියෙනවලු හරිනම් විශ්වය කියන වචනෙට ටැක්ස් ගහන්න ඕන කතාවක් කියලා තැනක දැක්කා. ඔව්, එක අතකට විශ්වය කියන වචනෙ එච්චරට පාවිච්චි වෙනවා තමයි. 

විශ්ව බලය මොකද්ද කියලා විස්තර කරන්න මම දන්නෙ නෑ. හැබැයි හැම ආගමකම වගේ ඒකට විවිධාකාර නම් දීලා තියෙනවා කියලා මම හිතනවා, දේවත්වයන් තුළින් අපි දකින්නේ ඒකම කියලා හිතනවා. මේ විශ්ව ශක්තිය හරි බලය හරි ගැන සෑහෙන්න අධ්‍යයනය කරපු මගේ හොඳම මිතුරියක් එක්ක කරපු සංවාද ගණනාවකින් පස්සෙ ඒ හා සමාන මගේ අත්දැකීම් ගැන ස්වයං විශ්ලේෂණයක් කරමින් ඉන්න කාලයක් මේක. ඒ ගැන ලියන්න නෙවෙයි හදන්නේ.

අපි සමහර වෙලාවට යන පාරවල් සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ, අපිට ගැලපෙන්නෙත් නෑ. එහෙම යද්දි ඒක වැරදියි කියලා අඟවමින්, යන්න ඉඩ දීලා අපිටම අපේ වැරදීම් තේරුම් ගන්න කාලයක් දීලා ඒත් අපි වෙනස් නොවෙනවා නම් කණට ගහලා වෙන පාරකට ඇදලා දාන්න පුලුවන් මොකද්දෝ එකක් මේ ලෝකෙ තියෙනවා. ඒක සර්වබලධාරී දෙවියන් වහන්සේ ද, වෙනත් දේවාත්ම ද, අදෘශ්‍යමාන බලවේග ද, ස්වභාව ධර්මයා ද, ඉරණම ද, දෛවය ද, කර්මය ද, මොකද්ද කියලා මම දන්නෙ නෑ. 
සමහර වෙලාවට අපිට ජීවිතේ දෙවෙනි අවස්ථා ලැබෙනවා. ඒකත් කෙල කරගත්තම 'තොට කියලා වැඩක් නෑ, මම කරලම පෙන්නන්නම්' කියලා වැඩේ සම්පූර්ණ බලතල තමන් අතට ගන්නවා. මේක විශ්වාස නොකරනවා නම් තමන්ගේ ජීවිතවල වැරදුණු හරිගිය තැන් එක්ක ආව ගමන දිහා ආවර්ජනය කරලා බලන්න පුළුවන්.

ලංකා දේශපාලනයටත් වෙන්න පුළුවන් ඒකම තමයි. 
දේශපාලන පාරවල් ගොඩක් එකතුවුණාම තමුන් තමුන්ට කැමති පාරවල්වල යන්න තීරණය කරනවා. ඒක වඩාත්ම ගැලපෙන පාර කියලා තීරණය කරන්නෙ තමුන්. ඒ පාරේ යන අතරේ කොහොමද යන්නෙ, කොහොමද හැසිරෙන්නෙ, මොනවද කරන්නෙ, කාත් එක්කද යන්නෙ කියන තීරණ ගොඩක් ගන්න වෙනවා. සමහරවිට මේ පාරවල්වල මගදිගට සළකුණු සහ පණිවිඩ සෑහෙන්න තියෙන්න ඇති මේ අයට මග ඇරුණු. එතකොට හාන්සි පුටුවකට වෙලා, කකුල් දෙක පුටු වතේ තියාගෙන, පයිප්පයක් බිබී මේ නාටකේ දිහා බලන් ඉන්න විශ්ව ශක්තිය කියන අදෘශ්‍යමාන බලයට එක වෙලාවකදි හිතෙන්න පුළුවන් 'දැන් තොට තව කියලා වැඩක් නෑ, දැන් මම මේක කරලා පෙන්නන්න වෙලාව හරි' කියලා. එතනින් එහාට අර පාරවල්වල මොන දහ අට පාලිය නැටුවත්, කොච්චර කරණම් ගැහුවත් අපේ ඊලඟ කතා සංධිස්ථානය තීරණය වෙලා ඉවරයි. 

දැන් මේක පුද්ගලිකව අරන් පැසවන්න යන්න එපා. 

මේක සාමාන්‍ය මනුෂ්‍ය අවබෝධතා වපසරියෙන් එහා ගිය බල සහ ශක්ති තුලනයක් කියලා මම විශ්වාස කරනවා. මේ තුලනය ඇතුලේ ජයග්‍රාහකයෝ, පරාජිතයෝ, වින්දිතයෝ, නින්දිතයෝ වගේ යෝයෝලා ගොඩක් ඉන්නවා. සංසාර චක්‍රයේ කොටස්කාරයෝ වෙනතාක්කල් අපි නිතැතින්ම මේ බල තුලනයේ කොටස්කාරයෝ වෙනවා. 

සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය අටලෝ දහමට ප්‍රතික්‍රියා කරන එක. දුක, අයස, නින්දා, අලාභ ඉදිරියේ මහා කම්පාවකට ලක්වෙලා සැප, යස, ප්‍රශංසා, ලාභ ඉදිරියේ මහා සන්තෝෂයකට පත්වෙනවා. පරාජිතයෙක් ඉන්නවා නම් එතන ජයග්‍රාහකයෙක් ඉන්නවා. හැබැයි පරාජිතයා කම්පාවෙන තරමටම ජයග්‍රාහකයා සන්තෝෂ වෙනවා. ඒකනෙ පෘථග්ජන මිනිස්සුන්ගේ හැටිය. එතනදි අමතක වෙන ලොකුම දේ තමන්ගේ භූමිකා මාරුවෙන්නත් වැඩි කාලයක් නැති බව. යන්නේ හරි පාරේද, සලකුණු තේරුම් ගන්න තරම් සවිඥානික මනසක් තියෙනවද, කවුරු කා හට කුමන අවස්ථාවේද යන අවස්ථා සම්බන්ධතා නිරවුල් කරගන්න කොයිතරම් දුරට පුළුවන් ද වගේ කෙළකෝටියක් මනුෂ්‍ය තීරණ ඒ දෙන්නටම තියෙනවා. තනි තීරණ සාමූහික සංසිද්ධිවලට බලපානවා. සාමූහික සංසිද්ධි වර්තමානය තීරණය කරනවා. අතීතයයි වර්තමානයයි අනාගතය තීරණය කරනවා. තනි තීරණයකට පුළුවන් කාල රේඛාවක් නොහිතන විදිහට වෙනස් කරන්න. හොඳට හෝ නරකට ඒක ආපහු හරවන්න බැරි දෙයක්. 

ලංකාව ලොකු ගමනක් ආව රටක්. ඒක අස්සේ දුක් කම්කටොලු, අභියෝග, යුද්ධ, සමාජීය ආර්ථික ප්‍රශ්න කෙළකෝටියක් තිබුණා. දැන් රටේ මිනිස්සු කාල රේඛාවක වෙනසක් කරලා තියෙනවා. විශ්වය සමහර මැදිහත්වීම් කරන්න ඇති. හැබැයි දැන් යන පාර දිහාත් බලන් ඉන්නවත් ඇති. කාල රේඛා වෙනස් කල මාන්නයෙන් පිම්බිච්ච මිනිස්සුන්ට පිම්බෙන්න ගොඩක් ඉඩ දෙයි, දෙහි කට්ටක් අතේ තියන් ඉන්න ගමන් හැබැයි. ඒ ඇත්ත දැනගෙන ගමන යන්න. තිත්ත බෙහෙත් දුන්නම දොස්තරට පාස කියන්න එපා. 
මේ ආව කාල රේඛාවල නොවුණු දේවල්, නොදින්න දේවල් තියෙනවා. වින්දිතයොයි පරාජිතයොයි ඉන්නවා. හැබැයි ඒක එහෙම වෙන්නත් ඇත්තේ යම්කිසි හේතුවකට. ඒ හේතු වෙනස් කරගෙන බලය අයුතු විදියට පාවිච්චි කරන්න කාටවත් බෑ. එහෙම වුණොත් මොන වගේ සිද්ධි දාමයකට මුලපුරයිද කියලා අපි කිසිම කෙනෙක් දන්නෙත් නෑ. 

නිශ්චලව බල තුලනයට මූණ දෙන්න ඕන, උපේක්ෂාවෙන් හැබැයි සම්මා සතියෙන්, සම්මා දිට්ඨියෙන්.
එච්චරයි.

🖌️ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka

Saturday, November 9, 2024

හිත නිවන කතා

මිනිස්සු කියන්නෙ අටෝරාසියක් හැඟීම් දැනීම් සිතුවිලි මනෝභාවයන්ගෙන් පිරිච්ච මහ සංකීර්ණ ජීවීන් කොටසක්නෙ. සමහර වෙලාවට මේ සංකීර්ණතා අමතක කරලා අපි, අපි ආදරේ කරන හරි අදහන හරි විශ්වාස කරන හරි නැත්නම් මොනහරිම හේතුවලින් සමීප වෙලා ඉන්න හරි මිනිස්සුන්ව කියවගන්න උත්සහ කරලා ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. ඈතින් හරි පිටතින් හරි බොහොම මටසිලිටිව පේන ගොඩක් පිළිමවල පොටි ගහලා වහගත්ත පිපිරුම් දෙදරුම් සිය දහස් ගාණක් තියෙන්න පුළුවන් කියන යථාර්තය අමතක කරලා පිටට පේන ප්‍රතිරූප විශ්වාස කරන්න දඟලලා හිත් අමාරු හදාගන්නවා. නරකම දේ ඒක නෙවෙයි. අනුන්ගෙ පිළිමවල පිපිරීම් තියෙන්න පුළුවන් වගේම තමන්ගේ පිළිමවලත් පිපිරීම් තියෙන බව අපි අමතක කරන එකයි. මම පරිපූර්ණ නැත්නම් මට ලෝකේ හැමෝම පරිපූර්ණවෙන්න ඕන කියලා අන්තවාදෙක ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ. තමන්ට සීයට සීයක් ගැලපෙන හැටියට හිතන පතන ජීවත්වෙන මිනිස්සුන්ව බලාපොරොත්තුවෙන එක ප්‍රායෝගික නෑ. හැබැයි තමන් අකමැති දෙයක් හෝ විරුද්ධ දෙයක් ඉවසා දරාගෙන ඉන්න අවශ්‍යත් නෑ. ආදරයද යුතුකමද වගකීමද කියන මොනාකාරයකින්වත් කිසිමකෙනෙක් අවභාවිතා වියයුතු නැහැ.

මොන විදියක වුණත් මිනිස් සම්බන්ධතා හරිම සංකීර්ණයි. අපි බලාපොරොත්තුවෙන විදියටම හැම සම්බන්ධතාවක්ම පවතින්නෙ නෑ. එහෙම දෙයක් තමන්ට අමාරුම නම් එතන බලෙන් රැඳෙන්න ඕනත් නෑ. 

කිසිම මනුස්සයෙක් පරිපූර්ණ නෑ. ජීවිතෙ වැරදුණු, හිතා හෝ නොහිතා හෝ වැරදි කළ මිනිස්සුන්ව ඒවා මත පිහිටලම විනිශ්චය කරන්න තරම් දේවසභා මනුස්ස ලෝකේ තියෙන්නත් බැහැ. 
වැරදුණු තැන්වලින් ඉගෙනගෙන නැත්නම් ඒ මිනිස්සු කවුද කියන එක අඳුනගන්න සාධකයක් කරගෙන එතනින් ඈත්වෙනවා මිසක් හෝද හෝද මඩේ දාන්න කාගෙවත්ම කාලයක් ශ්‍රමයක් මානසික ඉඩක් වෙන්කරන්න අවශ්‍ය නෑ. ආදරේද නෑදෑහිතමිත්‍රකමද පාක්ෂිකත්වයද සහයෝගීතාවද අරකද මේකද කියන පිදුරුගස්වල එල්ලීගෙන අමාරුවෙන් සම්බන්ධතා නඩත්තු කරන්න ඕනත් නෑ. 

වැදගත්ම දේ තමන් කෙනෙකුට අකමැති වෙච්ච පමණින් ඔවුන්ට වෛර කරන්න හේතු හොයන්න මහන්සි වෙන්නෙ නැතුව අතෑරියම ඉවරයි, නිදහස්. විශ්වය ක්‍රියාත්මකවෙන හැටි අපි කාටවත්ම නිර්ණය කරන්න අමාරුයි. සමහරවිට, නරක කර්මයක් කියලා අපි හිතන සමහර මිනිස්සු, සිදුවීම් ඒ මොහොත තරණය කරන්න තිබ්බ විසඳුම්වලින් හොඳම එක කියලා විශ්වය තීරණය කරන්න ඇති. තියෙන නරක කර්මයත් ගෙවලා එතනින් එහා කතන්දරෙත් බැලන්ස් කරලා දෙන්න තිබ්බ හොඳම විදිහ ඒක වෙන්න ඇති. නැතිවුණ දේවල් වගේම ඒවා ඒ විදියටම සිද්ධවීමෙන් ලැබුණු දේවලුත් ඇති.

සමහරවිට, මේ ඔක්කොම කතා අපිම හදාගන්න හිත නිවන කතා වෙන්නත් ඇති. 

පහුගිය අවුරුදු කීපය ගත්තොත්, මම පුද්ගලයෙක් හැටියට මගේ හිතට එකඟ නැති, ගලපගන්න බැරි ගොඩක් දේවල්, සම්බන්ධතා, මිනිස්සු, සිදුවීම්, ස්ථාන සම්පූර්ණයෙන්ම අතෑරිය මනුස්සයෙක්. දැනටත් අතෑරමින් ඉන්න මනුස්සයෙක්. ඒක දුකක් කණගාටුවක් නැතුව කරන්න පුළුවන්මයි කියලා කියනවට වඩා ගොඩක් ඒවයෙ කළකිරීම් බරට ප්‍රත්‍යස්ථතා මාපාංක පනිනකල් වැඩිවෙන්න මංම ඉඩ දුන්නා කිව්වොත් හරි. ඒ අවස්ථාවල තීරණ ගත්තේ මංම නිසා ආයෙ දවසක හැරිලා බැලුවත් කිසිම හැඟීමක් දැනීමක් නැතුව උපේක්ෂාවෙන්, මගේ හැකි උපරිමයටත් එහා ශක්තියක් මං ඒ වෙනුවෙන් කැපකළා, වැයකළා කියන හෘද සාක්ෂිය මට ඉතුරුයි. ඒකට නිසි වටිනාකමක් ලැබුණද නැද්ද කියන එකත් නරක කර්ම ගෙවීමක් විදිහට අරන් ඒ සංසාර ණය ගනුදෙනු එතනින් ඉවරකිරීම හිතට නිදහස්. ඒ ඇතිනෙ.

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal

Friday, November 1, 2024

අංජලීකා

අද මම හිටියෙ හොඳ ඇඩ්‍රිනලීන් රෂ් එකක. හවස් වෙද්දි ටිකක් ඉතුරුත් වගේ නිසා මොකක්ම හෝ අතිපණ්ඩිත සුවිශේෂි වැඩකින් අද දවස ඉවර කළ යුතුයි කියලා යක් තනියයි සුරංගනා තනියයි සම්මුතියකට එළඹෙද්දිම මට අදහසක් පහළ වුණා අද මට නිශ්ශබ්දතාවයක් එපා, බස්මය ඝෝෂාවක් ඕන කියලා. එහෙම හිතලා මම මිකී මවුස් වගේ ක්ෂණිකව පාර හරහා දුවලා පැනලා ට්‍රැෆික් එකේ නවත්තපු බස් එකකට ගොඩ වුණා.

බස්මය ඝෝෂාවක් කිව්වට මෙන්න මේකේ යනවා මිල්ටන්ලගේ, ජෝතිලගේ විරහ ගීත සෙට් එකක්! බස් එකක තමන්ගෙම ලෝකෙකට වෙලා විරහ ගීත අහන් යනවා කියන එක වෙනමම ලල් එකක්නෙ. 
(මම මේ කියන්නෙ හොඳ විරහ ගීත, ඩංකබකං හොටු ගීත නෙවෙයි).

ඉතින්, ඔහොම යන අතර මගේ සිතුවිලි මුහුද කැළඹිලා ප්‍රියා සූරියසේන හරහා අතීතයකට පියඹන්න පටන් ගත්තා. කතාව ටිකක් 'එහෙම' නිසා මම බෑග් එක හාරලා මාස්ක් එකක් හොයාගෙන ඒක ඇස් පිහාටු වෙනකල් උස්ස ගත්තා මොකද අනිවාර්‍යෙන්ම තනියෙන් හිනාවෙන්න ගිහින් සමාජයේ හාස්‍යයට ලක්වෙන්න ඉඩ තියෙන නිසා. මාත් එක්ක චිත්‍රපටි බලන කොට ආදර ජවනිකා හරි ට්‍රයි කරන කාලේ ජවනිකා හරි යද්දි මම ඒවට හිනාවෙන්නෙ හරියට එතන ඉන්නෙ මං වගේනෙ කියලා හිනාවෙවී මගේ මූණ බලන් ඉන්න කෙනෙක් මතක් වෙලා වැඩියත්ම. 😅
එහෙමයි ඉතින් අපි මෙහෙම හිටියට අනුන්ගේ ලව් එකක් හරි දැකලා සතුටුවෙන හෙන රෝමාන්තික මිනිෂ්ෂු හිටං. 😂😎

ඉතින්...
තනියා පොඩි කාලෙ ගිය ස්කූල් වෑන් එකක හිටියා රාජකීය විද්‍යාලෙට ගිය අරවින්ද කෙනෙක්. මම හිතන්නෙ එතකොට අපි හිටියෙ 6-7 වගේ වසරක වෙන්න ඕන. අරවින්දත් ඒ වගේ වයසක වෙන්නැති. හෙනම කටකාර, දඟකාර, ඒ වයසට ඉතින් හැන්ඩ්සම් පොඩි කොල්ලෙක් හින්දද මන්දා මිනිහගේ විකාරයි විහිළුයිවලට ඩ්‍රයිවර් අයියත් හෙන කැමතියි. ස්කූල් වෑන්වල ඩ්‍රයිවින් සීට් එකටම අල්ලලා පිටිපස්සේ නිකන් ලෑල්ලක් වගේ යාන්තම් තට්ටමක් තියාගන්න පුළුවන් සයිස් සීට් එකක් ගහලා තියෙනවා ඔහෙලා දැකලා ඇතිනෙ? ඒ සීට් එකේ වාඩිවෙන ඔක්කොම වෑන් සභාවට මූණ දාලා තමයි වාඩිවෙන්නෙ. ඉතින් අරවින්ද වාඩිවෙන්නෙත් ඔය සීට් එකේ දොර ලඟ. 

මිනිහගේ කටයි වැඩයි වගේම තමයි ඉතින් සිංදු කියවිල්ල. කිසිම ලැජ්ජාවක් නැතුව කට හායි ගාලා ඇරලා පැල්කවි කියන්නැහෙ තමයි උන්දැ සිංදු කිව්වේ. ලස්සනට කිව්වා ඉතින්, ගායනයට කොච්චර හැඟීම් කවනවද කිව්වොත් මම හිතන්නෙ මුළු වෑන් සභාවෙම කෙල්ලො හිතන්න ඇත්තෙ එයා ඒවා කියන්නෙ තමන්ට කියලා වෙන්න ඕන. 😉
අරවින්දගේ ඩේලි හිට් ලිස්ට් එකේ තිබුණා සිංදු කීපයක්, උඩින්ම තිබ්බේ ප්‍රියාගේ 'සුදු පරවි රෑන සේ' ඒක බොක්කෙන්ම කියන ගමන් මියුසික් එකත් මිනිහම දෙනවා. අනික ඒක කියන්නෙත් බාලිකා පාසල්වල ගේට්ටු ලඟදි! හිතාගන්න පුළුවන්නෙ අනාගතේ කොහොම පොරක් වෙන්න ඇතිද කියලා ඉතින්.😂

ඔය ලිස්ට් එකේ හොඳම එක නලීන්ගේ 'අංජලීකා'. අරවින්ද නිකන් 'මල මිලින වෙලා මුත් සුවඳ ගලා' කියන්නෙ හරියට ඇත්තටම කෙල්ල මලා වගේ බොක්කෙන්ම එන විරහවකින් පපුවට අත තියාගෙන, මූණ ඇලකරලා, නිකට උස්සලා, ඇස් පියාගෙන, නලල රැලිකරගෙන.😂 
ප්‍රාසාංගික කලාවේ සුළු පියා වගේ.😂 
ඒ ටික කියලා අංජලිකා කියන්න ගත්තම නම් පොර ඉන්නේ ඇත්තටම මේ දැන් අංජලිකා මැරුණා වගේ.😂 වැඩේ තියෙන්නෙ පොඩි ඇච්චො පැච්චො හැටියට ඉතින් අපි ඔය වචනයක් දෙකක් කතා කළාට අහලා නැතුව වෙන්න ඕන, මේ යකා මගෙ නම හිතන් ඉඳලා තියෙන්නෙත් අංජලීකා කියලා. ඒක ගැන කතාවක් ගිහින් වෑන් එකම අරවින්දව බයිට් කරද්දි තමයි තේරුනේ මම හිතන්නෙ, හැමදාම අපේ ගෙවල් ලංවෙද්දි වෑන් එකේ දොර ඇරලා දෙන ගමන් පපුවට අත තියාගෙන, මූණේ දුක පුරෝගෙන, බොක්කෙන්ම "අංජලීකා.." කියලා කෑගහන්නෙ මොකද කියලා.😂😂

හරි හරි ඉතින්, එහෙම එව්වත් වුණා. 🫣 හොඳ වෙලාවට අපේ කේලම් නගා ඒ කාලෙ වෑන් එකේ ආවේ නෑ නැත්නම් කුඩා කාලයේදීම ආලයේ වේදනාවයි බත්කාඩ් කැන්සල් වීමේ අල වේදනාවයි දෙකම එකසැරේ විඳින්න වෙන්නෙ!

කතාව දැනගත්තට පස්සෙ ඉතින් මාත් පසුබිම් ගායනය සමග වීරයා වීරියෙන් යුතුව විවෘත කරලා දෙන වෑන් දොරෙන් අහිංසක විදියට බිම බලාගෙන බැහැලා, කියඹුලතා කණ පිටිපස්සට හිමින් රඳවනගමන් බිමට හිනාවෙලා, වෑන් දොරේ පිටත අගුල මත මගේ අතැඟිලි මෘදුව රඳවලා, ලතාවට විසාකාව සේ ගේට්ටුව ලඟට ඇවිදන් ගියා. 

එහෙම එව්වත් තියෙන්ට එපාය අනේ, නැද්ද මං අහන්නේ.😜
:
:
:
:
:
:
:
:
:
නෑ නෑ, එයැයිගේ වගතුගක් ඊටපස්සේ දන්නේ නෑ!😜

~ 🖌️ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal

Wednesday, October 16, 2024

පෙට්ටගම්

කාලි ලංකාද්වීපයෙන් පිට වුණේ ආයෙ කවදාවත් එහෙ පය තියන්න අදහසකින් නෙවෙයි.

ඒත් අවුරුදු ගාණකට පස්සේ මහ කන්ද සමතලා කරලා පාරක් හදන්න යන ආරංචියට කාලිට ආයෙම ඉන්සොම්නියාව ඉස්මුරුත්තාවට එන්න පටන් ගත්තා. නිදි පෙත්තෙන්වත් රතු වයින්වලින්වත් නින්ද කැන්ද ගන්න බැරුව දුක් විඳීමේ කෙළවරක කාලි තීරණය කළා ආයේ ලංකාද්වීපෙට ගිහින් එන්නම වෙන බව. 
එක්කො ඔය මොන මගුල වුණත් මොකද. කාලයෙ වැලිතලා පහුරුගගා තව මොනවා හොයන්නද මං දැන් එහෙ ගිහින් කියලා අහස් යාත්‍රාවෙදිත් කාලිට නොහිතුණාම නෙවෙයි. ඒත් ඉතින් මට බැහ් කියලා වලාකුළු හෝල්ට් එකකින් බැහැලා වෙන අහස් යාත්‍රාවකට නගින්නයෑ. 

රුද්‍ර කොහෙ ඉන්නවද උන්නද මලාද කියලවත් නොහොයපු කාලිට ටිකෙන් ටික ලංකාද්වීපෙ ලංවෙද්දි ගැහෙන ගතියක් දැනිලා තිබ්බෙ. මේ යන ගමන එකාතකට කමක් නැහැ, ඒත් ගංතුලානක්වත් නොදන්න සුසානයක වල දාපු රුද්‍රෙක් මොකට දැන් ඔලුවෙ යකා නටන්න ගත්තද කියලා කාලිට හිතාගන්න බැරුව ඉන්නකොට තමයි අහස්‍ යාත්‍රාව කටුනායකට සැපත්වෙලා මහ හුස්මක් හෙලුවේ. ඒක හරියට කාලි හෙලන්නම ඕන ඒත් එයා නොහෙලූ මදිපාඩුවට හෙලුව එකක් වගේ කාලිගෙ පපුවයි හිස් වෙලා ගියේ.

එදාම සේරම ඉවර කරලා ගියා නම් මේ කරදර නැහැනෙ. ජීවිත කාලෙන් බාගෙකට වඩා ලංකාද්වීපයට පණ ඇරලා ආදරේ කළ කාලි හුරුපුරුදු මූණුවර දාස් ගාණක් මැද්දෙ නාහෙට කෙලින් බලාගෙන, හදවත් පටි තදකරගෙන, ඇප් එකෙන් කැඳවගත් ඌබරයට තමන් ගෙනාව තනි පෙට්ටගම පටවගත්තා. මරණ පරීක්ෂණයක් ඉවර කරන්න තදියම් වෙච්ච මරණ පරීක්ෂකයෙක් වගේ ඉක්මණින් ආව කාරණෙ ඉෂ්ඨ කරන් යන්න නොඉවසිල්ලෙන් ඉන්න කාලිගෙ මහ සුසුම් සද්ද නිසා රියැදුරත් කීප විටක් කණ්ණාඩියට විමසුම් බැලුම් හෙලුවා. ලේ නෑයන්ට, හිත මිත්‍රයන්ට කිසිම දැනුම්දීමක් නැතුව ඇවිත් යන්න කාලි ආවෙ. පුළුවන් නම් මේ ගමනෙන්ම වැඩේ ඉවර කරන් ආපහු අදම යන්න පුලුවන් නම් කිසිම බැඳීමක් තව නෑනෙ කියලා කාලිට හිතුණෙ.

බැඳීමක්? එතකොට මේ තමන් තකහනියක් දුවන් ආවේ බැඳීමකටද! 

******

මහ කන්ද අද්දරට එද්දි රෑ වුණ නිසා කාලිට සිද්ධ වුණා ඒ අහලක නවතින්න. තානායමෙ සුහදශීලී ආචාරශීලි සේවයට පැහැදුණාට අනවශ්‍ය වංහුං කතා කපා හරින්න කාලි හැඟීම් විරහිත මූණෙන්, වචනෙන් දෙකෙන් සංවාද ඉඩ ඇහිරුවා.

පාන්දර නැගිටලා මහ කන්ද ලඟට යනකොට පුදුමෙකට වගේ කාලි බලාපොරොත්තු වෙච්ච විදියෙ ලබ්ඩබ් සද්ද දාන්න හදවත ඇහැරුණේ නෑ. එදා මේ මහ කන්ද ලඟින් ගියා වගේම නිශ්චල හදවත උණ්ඩි කරන් කාලි කැලේට ගිය දෙහි ගහ පාමුල වාඩිවුණා.

කාලිට මෙතනට එනවා කියලා හිතද්දිම මතක් වුණේ සූරිය කන්ද. සූරිය කන්දෙ සමූහ මිනීවලවල් හාරද්දි මස් එක්ක දියවෙලා ඇටකටු එක්ක එතිලා ඉතිරිවෙච්ච දිරච්ච රෙදි පටිවලින් තමන්ගෙ දරුවො අඳුනගන්න ආපු වයසක තාත්තලා ඇඬුව හැටි මතක්වෙලා කාලි බයවුණා, තමනුත් මහ කන්ද පාමුල කාලෙකට කලින් හිතේ දිරලා ඉතිරිවෙච්ච හැඟීම් තීරුවලට මතක ගලපගන්න ගිහින් වැලපෙයිද කියලා. හොඳ වෙලාවට හැමදාම සද්ද කරපු හදවත නිශ්චල වෙලා හිටියා.

*******

ඒ වෙද්දි අවුරුදු ගාණක් ගිනි අඟුරු උඩ නටලම කාලි හෙම්බත් වෙලා හිටියෙ. රටා ඇන්ඳ පතුල්වල ආප්ප පිපෙනවා වගේ දියපට්ට පිපුණේ.
අන්‍තිමේදි ගල් අඟුරු උඩ නැටුව තමන්ට දිය මත ඇවිදින්න ලැබුණයි කියලා හෙන සන්තෝසෙන් කාලි හිටියෙ.
ජීවිතේ අනිත්‍යයයිනෙ.

ඒක දම්පාටයි සකරමුටයි රෝස පාටයි රත්තරන් පාටයි කලවම් වෙච්ච හුරුබුහුටි පෙට්ටගමක්. රුද්‍ර එක්ක බීපු පළවෙනි කෝපි බිලේ ඉඳන් තෑගි දීපු ටොෆි කොළේ පවා සමරු හැටියට එකතු කරපු කාලිගෙ මතක පෙට්ටගම. දෙන්නම හිතං හිටියෙ ඒ මතක පෙට්ටගම පිරුණු වේගෙට තව පෙට්ටගම් එකතු කරන්න වේවි කියලා! 

ගිනි අඟුරු පෑගිල්ල ඉවර වෙලා දිය නැටුම පටන් ගත්තම කාලි කවදාවත් කාලි හැටියට හිටියෙ නෑ.
ඒක නහීනකමක් හැටියට මිනිස්සුන්ට හිතුණද දන්නෙත් නෑ.
පුරාවෘත්තයේ හැටියට නම් කාලිගේ විනාශකාරීත්වය නවත්තන්න බැරිවුණාම ඈව සන්සුන් කරන්න ශිව නැත්නම් රුද්‍ර කාලිගේ දෙපා මුලින් මතුවෙනවා. සමහර පින්තූරවල කාලි ශිවව පාගගෙන ඉන්නවා වගේ පේන්නෙ ඒ අවස්ථාව. හොඳට බැලුවොත් තමන්ගෙ පය පාමුල වැතිරුණු ශිව දිහා බලන කාලිගේ මූණේ තියෙන පුදුමය පේනවා.
මේ කාලිගේ කතාව නම් වෙනස්. විනාශකාරි වෙන්න හොඳටම පුළුවන්කම තිබිලත් නොවුණම රුද්‍රගෙ පපුවෙ නෙවෙයි කාලිගෙ පය තිබ්බේ, රුද්‍ර කාලිගෙ පපුවට පය තිබ්බා. 
කාලි කියන්නෙත් අහංකාර ගෑණියෙක්නෙ. ඒ වෙනකොට ආදරේ වෙර දාලා ඉවසීම අල්ලන් හිටියට කාලිගේ සීමාව පැනලා තිබ්බේ. 

දැන් ඔව්වායින් වැඩක් නෑ.
අන්තිම නැටුමෙන් පස්සෙ මේ පෙට්ටගමේ තිබ්බ සේරම රුද්‍රටම පවරලා ලංකාද්වීපයෙන් යන්නයි කාලිට ඕනවුණේ. ඒත් එතෙක් ලබ්ඩබ් ගෑව හදවත් ලබ්බ කීං හඬක් නොනගා නිශ්ශබ්ද වුණාම ඒක විශ්වීය පණිවිඩයක් හැටියට අරන්, කාලි නිහඬව සේරම මතක මහ කන්ද පාමුල වක ගැහිලා අමුතු හැඩේකට වැවිච්ච දෙහි ගහ පාමුල වලදාලා කාටවත්ම නොකියම (අහස්) නැව් නැංගා, ආයෙ නොඑන්නම.

******
කොහෙන්දෝ ආරංචිය ආව හිතමිත්‍රයන්ගෙ පණිවිඩ සහ ඇමතුම් කීපයක්ම නොදැක්කා වගේ නිහඬව කාලි පහුවදා ආපහු නැව් නැග්ගා.

මතක පෙට්ටගමේ හිටිය වීදුරු සිංහයාගෙ හදවත උඩින් මහ කන්ද පාරේ වාහන යන්න පටන් ගත්තද, නැත්නම් රුද්‍රගෙ සොහොනෙම සමාදානයේ සැතපුණාද, සාගර පත්ලක ගිලී නොපෙනී ගියාද, කාලි එක්කම නැව් නැග්ගද කියන එක කාලි එක්කම මිහිදන් වෙන්න නියමිත රහසක් වෙලා රහස් පෙට්ටගමේ තැන්පත් වුණා.

මහ කන්ද පාර ජනාකීර්ණ වුණා. ඉඳලා හිටලා කතා කරලා දුකසැප අහන හිතවත්තු අරුම පුදුම කතා කියන්න පටන් ගත්තා. මහ කන්ද පාරේ එක සැරේ පෙනී නොපෙනී යන සිංහයෙක් ඉන්නවයි කියලා කට්ටියක් කිව්වා. තව කට්ටියක් කිව්වා වැස්ස දවසට ඒ පාරේ වැහි බීරමට එහා ගිය මූසල පාටක් තියෙන හින්දා දන්න මිනිස්සු ඒ පාර මග අරිනවා කියලා. 
හොඳම කතාව වුණේ වීදුරු බිඳෙන හඬක් පාරෙන් ඇහෙනවා ඒත් ඒ කොහෙන්ද කියලා කාටවත්ම හිතාගන්න බෑ කියන එක. එදා නම් කාලි ඇහෙන් කඳුළු පනින ගාණට හිනාවුණා. සිංහයා වීදුරුවුණාට එච්චර සද්දෙට බිඳෙන්න හදවතක් නම් තිබ්බෙ නැති බව කාලිට වඩා හොඳට දන්නෙ කවුද. 

කාලි රහස් පෙට්ටගමට අඟුළු දාලා තව වයින් වීදුරුවක් වක්කර ගත්තා.

🖋️ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka

Saturday, September 28, 2024

ප්‍රශස්ති වන්නම

චාටුව සහ ප්‍රශංසාව එකම කාසියක දෙපැත්තකි. ශ්‍රී ලාංකිකයා ඔවුන්ගේ පසුබිම සහ ඇති හැකි බව අතින් කොයි තලයක සිටියද ප්‍රශංසාවට ප්‍රියය, චාටුවට ගිජුය. 

ධනය සහ බලය එක්වූ තැන චාටුව සහ ප්‍රශංසාව අතරවන සියුම් බෙදුම් රේඛාව බොඳවෙයි, එය හඳුනාගැනීමේ විචාර බුද්ධිය සැඟවෙයි.
ඔබට ධනයද බලයද ඇත්නම් වාසි ලාභ ප්‍රයෝජන තකා ඔබ වටකරගන්නට බලාසිටින චාටුකාරයො බොහෝය. 'අපිව අන්දන්නත් බෑ, තම්බන්නත් බෑ' කියනා උගත් බුද්ධිමතුන්ද පණ්ඩිතයන් ද හැඩට අන්දවන්නට චාටුකාරයන්ට හැකිය. උන් තමන්ට කර ඇති බව දැනගන්න හැකිවන්නෙ බොහෝ ප්‍රමාද වූ පසු වෙන්නටත් පුළුවන් ය.

ලංකා ඉතිහාසයේ සිටම ප්‍රශස්ති ගායනා කිරීම ජයටම කෙරුණු වැඩක්ය. වන්දිභට්ටයො පරපුරෙන් පරපුරට තම හැකියාව වැඩිදියුණු කරගන්නවා මිස අනික්වා මෙන් මොට කරගෙන නැති බව ඔබ වටා සිටින්නන් දෙස වඩා විමසිල්ලෙන් බැලූ විට පෙනෙනු ඇත. ඔබට ධනයද කිසියම්මාකාර වූ බලයක් හෝ තාන්නමාන්නයක් හෝ ඇත්නම් ඔබ හැලි වඳුරෙකු වුවද ඔබට 'අනෙ ශ්වීට් ගර්ල්, යු ආ සෝ හොට්, හායි හැන්සම්, අනේ අපේ සර්/ අපේ මැඩම්, අයියෝ සර් වෙනුවෙන් මැරෙන්න වුණත් ඉන්නවා, මැඩම් වෙනුවෙන් ඕන දෙයක් කරනවා' යනාදිය අසන්නට ලැබෙනවාය. ඔබගෙ පා දෝවනයට ද, වෙනත් ඕනෑම අවශ්‍යතාවක් පිරිමැසීමටද සට්ටෑඹියන් බොහෝ බව ඔබට පෙනෙනු ඇති නමුත් බොහෝවිට ඔවුන්ගේ ප්‍රශස්ති ගායනාවන්ගෙන් ඔද තෙද වැඩී, පපුව පිම්බී, පොර මානසිකත්වයෙ පරතෙරට ගොස් සිටින මොහොතක නම් මේවා තේරුම් ගැනීම දුෂ්කර ක්‍රියාවක් වනු ඇතිය.

අනේකවිධ චාටු, වර්ණනා, ප්‍රශංසාවෙන් පිරි ලංකාවේ රජවරු සහ පසුකාලීනව දේශපාලකයන් ප්‍රශස්ති වන්නමේ ප්‍රබලතම ගොදුරුය. අවසාන සිංහල රජු වූ මහනුවර රාජධානියේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1707 - 1739) රජුට ගැයුණු මේ ගීය ප්‍රසිද්ධ ඒවායෙන් එකක් ය.

වරමාති සුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිංහ නෘපතේ

භෝජරාජ සම තේජභිරාමා
ත්‍යාජකාම රණ භූෂණ සෝමා
වාජිත කුල ධෘති වන්නභිරාමා
නරේන්ද්‍රසිහ නරනායක භූමා

දුජ්ජන දුෂ්ට විභජ්ජන කෝපා
සජ්ජන සත්ත සුරක්ෂ මනාපා
වජ්ජිත රිෂ්ටා වද්‍ය සුපාපා
අජ්ජුන භූභුජ ශ්‍රීධර චාපා..

(අකුරු අඩුපාඩු තිබිය හැකිය)

එතැනින් නොනැවතී ප්‍රශස්ති ගී අද වනතුරුද ගැයෙයි. ඒ කාලේය මේ කාලෙය කියා වෙනසක් නැත. 

මෑත කාලීනව ප්‍රශස්ති ගායනා නිසා අවලාදයට, නින්දාවට, ගැරහුමට ලක්වූ ප්‍රබලයෙකි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. 
එදා ඒ හෙලා දැකි අවශේෂ ජනයාද දැන් ඒ මගම යන්නේ දෛවයේ සරදමක් ලෙස වාගේය.
රාජාවලියද ඉතිහාසයද අවඥාවෙන් බැහැර කරනවුන්ට පවා වන්දිභට්ටයන්ගෙන් ගැලවීමක් නැත. 
සැක නම් නව පාලනයේ පෙරගමන්කාර මාධ්‍යකරුවන්ද අනුගාමිකයන්ද දෙස බලන්න.

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka #politics

Thursday, September 26, 2024

ටුකුවක ධර්ම සංවාද

අපි සමහර වෙලාවට නොහිතන මිනිස්සු නොහිතන වෙලාවල විවෘත වෙනවා. සමහරවිට නන්නාඳුනන කෙනෙකුට තමන්ගෙ සිතුවිලි හරි ප්‍රශ්නයක් හරි කීම වඩා හොඳයි කියන හැඟීමෙන් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මොකක් හරි විශ්වාසයක කම්පන තරංගයක් අල්ලා ගන්න හින්දා වෙන්නත් පුළුවන්. වාසි ප්‍රයෝජනයක් බලාගෙන කතා කිරීමකට වඩා මගෙ අත්දැකීම මිනිස්සු ඇහුම්කන්දෙන්නෙක් ඉස්සරහ තමන්ගෙ හිත නිදහස් කරගන්න උත්සහ කරනවා කියන එක. ලියනවා නම් පොතක් ලියන්න තරම් එහෙම අත්දැකීම් තියෙනවා.

ඊයේ ලඟ ගමනකට ටුකුවකට ගොඩ වැදුනෙ සුපුරුදු ඌබර් කාඩ් ද කෑෂ් ද ප්‍රශ්නෙ අනුව එකක් ප්‍රතික්ෂේප කළාට පස්සෙ. ඊළඟ රියැදුරු මහත්මයා ඒ ගැන ප්‍රශ්න නොකළත් මගෙ යුතුකමට ටුකුවට ගොඩ වෙද්දිම මම කිව්වා කාඩ් කියලා. 'ආ කමක් නෑ මිස්' කියලා හිනාවෙන් පිළිඅරන් මට පැහැදිලි කිරීමකුත් කළා කාඩ් සහ කෑෂ් අතර වෙනසක් නැතිකමත් රියැදුරන්ගෙ තියෙන අනවබෝධය සහ අනෙක් ප්‍රායෝගික ප්‍රශ්න ගැනත්. ඒක නෙවෙයි වැදගත් කතාව.

සාරාංශ කළාම මේ මනුස්සයගෙ කතාවෙ අන්තිම ටිකයි වැදගත්. 
"අපි ජීවත්වෙන කාලය සීමිතයිනෙ මිස්, ඒ ටිකෙ හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන. ඕනෑම දෙයක් ලොකුවට හිතෙන් අල්ලගත්තමනෙ දුක වැඩි. උදහරණෙකට ආදරේ වැඩිවුණාම දුක වැඩිවෙනවා. මොකද ආදරේ හින්දනෙ ඒ කෙනා කරන කියන දේකින් හිත රිදෙන්නෙ. තමන්ට පුලුවන් දේ ඒ සීමාවෙ ඉඳන් තමයි කරන්න ඕන. කෙනෙකුට හානියක් හිත්  රිදීමක් නොකරන තරමට තමන්ගෙ හිත සැහැල්ලුයි. ගෙයක් හැදුවත් මට පුලුවන් පර්චස් 6ක ගෙයක් හදන්න නම් මම පර්චස් 10-12කට අමාරුවෙන් උත්සහ කරල ස්ට්‍රෙස් වෙන එක තේරුමක් නෑ. බුදුහාමුදුරුවො කිව්ව පන්සිල් පහ රැක්කා නම් ඇති ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් හැටියට හොඳින් ජීවත් වෙන්න. අපි මැරෙනවා කියන එක දවස ගානෙ මෙනෙහි කරන්න ඕනත් නෑ, එතකොට කලකිරෙනවා මිසක් ජීවත් වෙන්න බැරිවෙනවා. මැරෙන බව දැනගෙන ජීවත් වුණාම හරි. අපි මැරිලා ගිහින් වෙන කොහෙ ඉපදෙයිද අපි දන්නෙ නෑනෙ මිස්. හැබැයි අපි ආදරෙ කළ අයට පසුතැවීමක් නැතිවෙන විදියට ජීවත් වුණාම ඉවරයි. උදාහරණෙකට මිස්, මගෙ නෝනා එක්ක මම තරහ වෙලා නින්දට ගිහින් නින්දෙදි මම මැරුණොත්, එයාට කොයිතරම් නම් පසුතැවීමක් ඇතිවෙයිද ජීවිත කාලෙම එයා මට අන්තිමට කිව්ව දේ හරි කරපු දේ හරි ගැන. ඒ වෙලාවෙදි එයාට හිතෙන්නෙ එයා කළ කී දේ වැරදියි කියලා මිසක් මම කළ කී දෙයක් ගැන නෙවෙයි, මනුස්ස ස්වභාවය ඒකයි. මම මැරිලා යන දිහාක යයි, ආයිත් සංසාරෙ එයාව හම්බවෙයිද හම්බුණත් අපි අඳුනගනීද කියලා කියන්න බෑනෙ. ඒක නිසා මිස්, ජීවත් වෙන කාලෙ කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරෙන් ජීවත් වෙන්න ඕන කියලා තමයි මට හිතෙන්නෙ".

මගෙ සුපුරුදු අසන්නාගෙ භූමිකාවෙ ඉඳන් හූමිටි තියමින් ඉඳලා අන්තිමටම මම ඇහුවා වයස කීයද කියලා, මොකද අවුරුදු 35-40ක්වත් කියන්න බැරිතරම් හින්දා. ඔහොම සංවාදයක් මම බලාපොත්තු වුණේවත් නැති හින්දා. අවුරුදු 50යිලු. 🫡 

මේ එදිනෙදා අහම්බෙන් වෙන සංවාදවල හම්බවෙන මිනිස්සු ජීවිතෙ විවිධාකාර අත්දැකීම්වලින් පදම්
වෙච්ච මිනිස්සු. ඇත්තටම එහෙමද නැද්ද කියලා සහතික කරන්න තරම් බරපතලව හිතන්න හේතු නෑ. ඒත් සමහර වෙලාවට මෙහෙම අහම්බෙන් වෙන සංවාදවලට මට පුදුම නොවී ඉන්නත් අමාරුයි. එහෙම අන්දවන්න ලෑස්තිවෙන මිනිස්සු නෑ කියලා කියන්න බෑ තමයි ඒත් බහුතරයක් මිනිස්සු එහෙම කතා කළා කියලා කිසිම වාසි ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නෑ. දවසකට දෙකකට කලින් හිතවතෙක් කිව්වා 'මාව කියවගන්න බෑ, විවෘත වෙන්නෙ නෑ' කියලා. එහෙම කියවගන්න බැරිද නැද්ද මම දන්නෙ නෑ. ඒක එහෙම නම් ඇයි මිනිස්සු හරිම ලේසියෙන් තමන් ගැන විවෘත වෙන්නෙ කියලා මම දන්නෙත් නෑ😁 උපදේශන සේවා කරන්නෙත් නැහැනෙ 😄

මට හිතෙනවා සමහරවිට අපි යම් මොහොතක අහන්න ඕන පණිවිඩයක් අහඹු කතාවල තියෙනවද කියලා. එහෙම හිතලා මම පොදු සමාවක් දුන්නා මෙතෙක් සමාව නොලැබූ හැමෝටම.😋 ගැල බර කරගෙන සංසාරෙ දඟලනවට වඩා ඒක හොඳයිනෙ.😇

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka

පරම රමණීය ලංකා

2024 සැප්තැම්බර් 22

අටලෝ දහමට අනුව දුක-සැප, යස-අයස, නින්දා-ප්‍රශංසා, ලාභ-අලාභ සියලු මනුෂ්‍යයන්ට පොදුයි.
පුද්ගලිකව මම දුක් අඳෝනා, බැරි බැරියා, නාහෙන් ඇඬිලි, පැමිණිලි අසීමාන්තිකව දකින්න, දරන්න, අහන්න කැමති නෑ, දුක මාකට් කිරීම, දුක විකුණාගෙනකෑමට කැමතිත් නැහැ.
ඒත් සහකම්පන සංඛ්‍යාතය වැඩි මනුස්සයෙක් හැටියට කොහෙ ගියත් නාඳුනන මනුස්සයෙක් හරි ප්‍රශ්නයක්, ගැටලුවක් කියන්න එන අත්දැකීම් තියෙනවා. ඒ මගෙ සමාජීය අත්දැකීමනෙ.

දේශපාලනිකව මේ වෙලාවෙ මට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මේ රටේ මාධ්‍ය සහ සමාජය වෙලාගෙන තියෙන ලොකුම දුක් අඳෝනා විලාප වෙන "76 වසරක ශාපය" එක්ක පට්ට ගැහෙන අපිට කරන්න දෙන්නෙ නෑ කියන පැමිණිල්ල අදින් සදහටම අවසන් වෙන එක. ඊලඟට අරූ නිසාය මූ නිසාය යන දෝෂදර්ශන ව්‍යාපාරය අදින් අවසන් වෙන එක. 
ඒක කොච්චර ලොකු සැනසීමක්ද කියනවා නම් අද හවස ඉඳන් සමාජය සහ මාධ්‍යය ධනාත්මක ආකල්පයෙන් සහ සංඛ්‍යාතයෙන් පිරෙනවා දකින්න මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.

වෛරයෙන්, ක්‍රෝධයෙන්, පැමිණිල්ලෙන්, අඳෝනාවෙන්, නාහෙන් ඇඬිල්ලෙන්, අඬෝපැලියාවෙන් මිදුණු පරම රමණීය ශ්‍රී ලංකාවකට උණුසුම් සුභ පැතුම්!

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024

Friday, September 20, 2024

ත්‍රස්තයා ත්‍රස්තයාමය!

යුටෝපියන් හීන බෝල කරලා උඩ දාල හොට උල් කරලා ඒ කටවල් උඩ ඒ ඒ බෝල බැලන්ස් කරලා පෙන්නුවම සමහර උද්ධික පුතාලා හිතන් ඉන්නවා හෙට රෑට ලංකාවේ ටීවී ඉස්සරහා නිදිකිරා වැටිලා ඉරිදට ඇහැරිලා කේතුමතියේ රජ මාලිගයක සිරියහන් ගබඩාවේ දුහුල් තිර මෑත් කරන් සඳළුතලාවලට බැස්සම රත්තරන් ආලේප කොරපු රේන්ජ් රෝවර් එකක්වත් අවම වශයෙන් හැම රටවැසියෙක්ගෙම මිදුලෙ පාක් කොරලා තියෙයි කියලා. 

ඉරිදා ඉඳන් සාමානාත්මතාවය, සමාජ සාධරණත්වය රජවෙලා, ඇති නැති පරතරය සීරෝ වෙලා, සිස්ටම් චේන්ජ් වෙලා යුටෝපියානු ලංකා රාජ්‍යයක් බිහිවෙයි කියලා හෙන ලල් එකක ඔහෙලා හිටියට, එහෙම වුණොත් ඔහෙලයි පක්සෙ න්‍යායාත්මක පදනම එතනම ලොප්නෙ හලෝ! 
ඔහෙලා ආස වුණාට තමන්ගෙ බඩ ගෝස්තරේ නැතිකරගන්න ඔය පක්ෂ නායකත්වය කීයටවත් ලෑස්ති නෑ.

ප්‍රායෝගිකත්වය බිංදුවයි.
ප්‍රශ්න අහන්න බයයි.
හීනවලට ආසයි.
හීන මැරිල්ලක් ගැන කතා කරන්න කලින් බොරු හීන පෙන්නන එක අවබෝධ කරගන්න බෑ.
ඒ වුණාට බුද්ධිමත් ලු.
ආතල් සෙට් එකක් හලෝ ඔහේලා.

මේ ඒක නෙවෙයි.
දැන්ම ඉඳන් ජයග්‍රහණය සමරන ඔහෙලයි නිල නොනිල මාජ්ජවේජියො ටිකයි ටියුබ්කරණ පියා වන සුදත්තයි අරූ රටින් ගියාය, මූ පැනලා ගියාය කියලා විරුද්ධ කඳවුරුවල මිනිස්සු පැනලා යන කතන්දර පැතිරවීමෙන් මේ දෙන්න හදන පණිවිඩය පූර්ව සහ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයකට ඔහෙලා සූදානම් බව ද?
රටම අනුරට දීලා හැකි එකා රට පනින්ට ඕනය කියන එකද ඔහෙලා මේ කියන්නෙ?
බැරි උන් ඔහෙලට රට දීලා දරුපවුල් එක්ක මූදට බහින්නද ඕන?
දැන් ඔහෙලයි කල්ලිය සරණ නොගියපු මං වගේ උන්ට මක් කොරන්නෙයි ඔහේලා හිතා ඉන්නෙ?

ඒකනෙ කියන්නෙ උපන්ගෙයි ත්‍රස්තවාදියො මොන ප්‍රජාතාන්ත්‍රික ප්‍රවාහ මෙට්ටවලට ගෙනාවත් 'තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ' කියලා!

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024 #nppsrilanka #JVPSrilanka

ලංකා මාතා මෙතැනින් පසු...

හෙට තීරණාත්මක දවසකි.

හතරවටින් මුහුදෙන් වටව ඇති නිසාදෝ මන්දා ලංකාවැසියා 'රැල්ල' ප්‍රිය කරයි. ඔවුන් සියල්ල කරන්නෙ රැල්ලටය. රැල්ලෙ ගහගෙන ගොසින් කෙල වූ පසුය ඔවුන්ගේ නැවතුණු මොළ, පරණ මොරිස් මයිනර මෙන් 'කෑස් කෑස්' ගා දෙතුන් වරක් කැස වැඩ කරන්නට පටන් ගන්නේ! ඒකත් ඊලඟ රැල්ල එනතුරුය.

මාලිමා අනුගාමිකයන් කාලයක් තිස්සේ හංවඩු ගහනාකාරයට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙ "අමුතු ඇටය"ය. එතරම් මස්තබාල්දු කළ රට ඇල්ලීමට දැන් උන්දැලා සඟුන් සරණ යති. ඔවුන්ගෙ චීවර භාවිතාව නැත්නම් ඇත්තේ ශිෂ්‍ය (ණ?) ව්‍යාපාරයේ පමණක්ය. සෙසු දේශපාලන නායකත්වයන්ට දෙකොණෙන් සිනහසෙමින් කෝචෝක් කරමින් උන් උන්දැලාද දැන් බබ්බු වඩාගනිති, උන්ගේ මූණු මිරිකති, ඉඹිති, ඔඩොක්කුවේ තබාගෙන වේදිකාවල වාඩිවෙති. හෙන උර්තල් ය. 

සුප්‍රසිද්ධ 'අපි හම්බුකළොත් අපි කනවා' යන්න තවදුරටත් වලංගු කතාවක් නොවන බව පසුගිය වසර පහ - හය ලංකාවේ ජීවත් වූ ඔබටත් මටත් මේ වනවිට පැහැදිලි වී තිබිය යුතුය. සාර්ව ආර්ථිකය (macro economy) කෙල වූ විට ක්ෂුද්‍ර ආර්ථිකය (mico economy) අම්මටසිරි වූවත් පලක් නොවන බව සල්ලි අට්ටිගසාගෙනත් කෝවිඩ් කාලයේ ගෙට වී ඉන්නට සිදු වූ අයටත්, ගෑස් පෙට්‍රල් පෝලිම්වල ලගින්නට සිදුවූ අයටත් පැහැදිලි විය යුතුය. ඒ ඉරණමට ද ඇති නැති සියල්ලන්ට මාලිමාවුන්ගේ පංතිභේදයෙන් තොරවය මූණ දෙන්නට වූයේ. මාක්ස්වාදයට කළ හැකි බම්බුවක්වත් එවෙලේ තිබුණේ නැත! 

මාක්ස්වාදී වාමාංශික ව්‍යාපාරයක් කියාගන්නා සිරි ලංකාවෙ මාලිමාව ගැන දන්නේ නම් කාල් මාක්ස් වලෙන් නැගිට පැමිණ වේදිකාවට නගී කියා සිතන අන්ධ භක්තික ඔබ ගැන මට කණගාටුවක් දැනේ. මාක්ස්වාදය දැන් යල්පැන ගිය කතාවක්ය. අඩුම තරමින් නියෝ මාක්ස්වාදයක්වත් පල නොකරන මාලුමාවුන් එක්කය අප මේ ජීවත්වන්නේ. මාක්ස්වාදය යාචකවාදය/සිඟනවාදය බවට පත් කරවා ඇති බව දන්නේ නම් මාක්ස් මැ|රෙ|න්නෙ ම.රා|ගෙනය. 

රූකඩ නායකත්වයකට රටක් කළ නොහැකිය. ඒකාධිපතියැයි හංවඩු ගැසූ ගෝඨාභයද අවසානයෙ චොර විය. ඒ තම පෞර්ෂත්වය අවශ්‍ය මොහොතේදි නොපෙන්වීම නිසාය. නායකයෙකුට වැනෙන්නට, ඇඹරෙන්නට කාලයක් අවකාශයක් නැත. කලාපීය සහ ගෝලීය දේශපාලනය, දේශීය දේශපාලනය මෙන් ගැලරියට ආතල් දී, අරහෙන් මෙහෙන් ගේම් ගසා, හිඟා කා කළ හැකි සෙල්ලමක් නොවේය. තානාපතිලා ඉදිරියේ පවා කකුල් දෙක එක පැත්තකට ගෙන සබකෝලව වාඩිවී අත් දෙක කකුල් දෙක පල්ලේ ගසාගෙන ඇඹරෙමින් රාජ්‍යයක් විචෑරිය නොහැකිය, හැබැයි හෑ හැකිය! සිංහලයාද ශ්‍රී ලාංකිකයාද කොහෙද කසාගන්නට නියපොත්ත නැති නමුත් ප්‍රෞඪ ජාතියකි. අතීත ශ්‍රී විභූතිය කෙසේවෙතත් දැන් ඉන්නා උන්ට විචාර බුද්ධිය නම් හිඟය. ඒ කොයි දේ වුවත් තමන්ගේ නායකයා එකෙකා ඉදිරියේ දණින් වැටෙනවාට උන් අකමැතිය! රැජිණ බලන්නට ගොසින් සිරිසේන උන්දෑ අහගත් හරිය මතක ඇතිය. 
අනෙක් අතට කලාපීය සහ ගෝලීය බලපෑම්වලට සාර්ථකව නොබියව මුහුණ නුදුන්නා නම් අදත් වේදිකාවල ප්‍රධාන මාතෘකාව යුද්ධය ය!

වෛරයෙන් සහ ක්‍රෝධයෙන් රටක් කළ නොහැකිය. ජවිපෙ පෙරටු මාලිමාව වෛරය සහ ක්‍රෝධය මූලික කරගෙන බිහිවූ ත්‍රස්තවාදී ව්‍යාපාරය. තමාට නැතිනම් කිසිවෙකුට තිබිය නොහැකියැයි තේමා කරගත් ඒ ත්‍රස්තවාදීන් අද "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ගැන කතා කොරති. කොහෙන්දෝ දන්නෙ නැත! කැරළි දෙකකදී කඩ ලෑල්ලක් අරින්නට නුදුන් ත්‍රස්තයො අද ව්‍යවසායකත්වයක් කතා කොරති! ව්‍යවසායකත්වය යනු සිඟාකෑමය කියාය උන් සිතා ඉන්නේ. ලංකාව මැරී නැවත ඉපදුණා කියා මුන් හිතා ඉන්නා හැඩය. දරුවන් ඉදිරියෙ මව්පියන්ද මව්පියන් ඉදිරියෙ දරුවන්ද මරා දැමූ උන්, දණින් ඉහළට මිනීපෙට්ටි උස්සන්නට නුදුන් උන් ලස්සන ජීවිත ගැන කතා කොරති! ලස්සන කොළා මදි ඇතිය! 
කැරළි දෙකකදීද අරගලයෙදිද රාජ්‍ය සහ මිනිස් දේපල විනාශ කළ උන් 'පොහොසත් රටක්' ගැන කතා කොරති!
අම්බානෙක වැරදි කළ පසු "එයා එහෙම නෑ බං" කියනා ගොබ්බයන් වන්නට එපාය. 

කුමාර කියා නම ඇති පමණින් ඔහු දියසෙන් කුමාරයැයි සිතා ඉන්නා ඔබ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා බැලුවාද? අඩු කිරීම් සහ දීමනා අතර සමතුලනයක් ඇති කරවීමේ ක්‍රමවේදයක් නැත. එනම් ශ්‍රී ලංකාව නිල වශයෙන් යාචකවාදය වැලඳගන්නවාද? මේ දන් දෙන උන් කවුද? ඔවුන්ගෙ අරමුණු මොනවාද? 
කිසිම දේශපාලන පක්ෂයක අනුග්‍රාහක භවතුන් අත ලොවින්නට මී කඩන්නෙ නැත. රුපියල් 10,000ක් පරිත්‍යාග කළද ඒ බලාපොරොත්තුවක් ඇතිවය. 
මෙවර මාලිමාවේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මාස 14-15 ක් දීර්ඝය. 
කිරුළපන වාගෙ කුඩා පිට්ටනියක රැස්වීමකට පවා අවම රුපියල් ලක්ෂ 60-70ක වියදමක් දැරිය යුතුය. 
එසේ නම්, කිරුලපන වාගෙ පිටි කීයක දවසක දි රැස්වීම් කීයක් මාලිමාවෙන් පවත්වා ඇතිද?
මාස 14කදි නොකඩවා පැවැත්වූ රැස්වීම් ප්‍රමාණය කොපමණ ද?
ජවිපේ වාමාංශික මාක්ස්වාදී කුඩා පක්ෂයකි. ප්‍රාග්ධනයක් නැති ගණනටය ඔවුන් කතා කරන්නෙ. අනුර කුමාර ප්‍රමුඛ ප්‍රධාන කණ්ඩායම මන්ත්‍රී වැටුප් නොගනී ලු. අනුර සහ පිරිවර වයස අවුරුදු 55 -60 වනතුරුම කිසිදු රැකියාවක් කර නැත. අනුරට දේපලකට කියා ඇත්තෙ තඹුත්තේගම කුඩා ඉඩමක් බව ඔහුම කියයි. 
නමුත්, රැකියා කරන ඔබටත් මටත් වඩා ඔවුන්ගෙ ජීවිත සුඛෝපභෝගීය. දරුවන් විදේශවල ඉගෙන ගනී. රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය කඩාකප්පල් කළද ඔවුන් සියලුදෙනාගෙම දරුවන් පෞද්ගලික සහ විදේශීය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබයි, ඇතැමුන් සම්පූර්ණ කරලාය. ඔවුන්ද රැකියා කරන හැඩක් නොපෙනේ. ඔවුන්ගෙ භාර්‍යාවන්ද රැකියා කරන හැඩක් නැත. සාමාන්‍ය ජනතාව රැකියාවට කඹුරා, ලීස් ගෙවා, ණය වී ඇල්ටො කටු ගනිද්දි රැකියා විරහිත, වැටුප් නොගන්නා ජවිපෙ දේශපාලකයින් සුඛෝපභෝගී වාහන භාවිතා කොරති. 

ජවිපෙට සිටින සීනි තාත්තලා කවුද? නැත්නම් සීනි අම්මලා ද?

ලංකාව ගණන්කාර රටක්ය. දැන් ගණන් හදා බලාගෙන තීරණය කළ හැකිය.

ජවිපෙ සහ මාලිමාව සීනි අම්මලා තාත්තලාගෙන් නඩත්තු වෙන එක භයානක වන්නේ උගසට තියා ඇත්තෙ රට සහ රට වැසියා වීම හින්දාය. ත්‍රස්තවාදී ඉතිහාසයක් ඇති, කඩාකප්පල්කාරී වෘත්තීය සමිති සහිත, තවමත් ආකල්ප සංවර්ධනයක් නොපෙන්වන නායකත්වයක් සහිත මෙවන් කුඩා පක්ෂයකට මුදල් පොම්ප කිරීමෙන් තමන්ගෙ අණසකට නතු කරගන්නට හැකි කාටද? 
මුදල් විශුද්ධිකරණයක් ගැන කතා කරන්නෙ ඒ නිසාද?
කලු සල්ලි ඇත්තේ කා ලඟද?

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024