Wednesday, December 14, 2022

සන්ග්ලාස් අන්කල්

දැන් ඔය හයිලෙවල් පාරේ ඉඳන් රේමන්ඩ් පාරට හැරෙන තැන තුන්හුලස් ඉඩම ඉස්සර බන්දු අයියගෙ (අපිට බන්දු අන්කල්ගෙ) ගරාජ් එක. මේ ගැන බන්දු අන්කල්ගෙ මරණය කාලෙ මම ලියලා ඇති බ්ලොග් එකේ.

( https://tharuwehi.blogspot.com/2014/10/blog-post.html?m=0 )

බන්දු අයියගෙ ගරාජ් එක ඒ කාලේ කලා තිප්පොලක්. සෑහෙන්න කලාකාරයො ආගිය, විශේෂ වැඩකට නොවුණත් යමින් එමින් ගොඩවැදිලා ගිය තැනක්. අපේ තාත්තත් කලාකාරයෙක් නොවුණට ඒ හිතවත් පිරිසෙ කෙනෙක් වෙච්චි නිසා පැය ගණන් (වැඩකට නැතුවත්) ඔතන කට්ට කන්න සිද්ධවෙච්ච අවස්ථා අපිට තියෙනවා.

ඕක ඉස්සරහම තිබ්බේ ඇල්බට් අන්කල්ගෙ කඩේ. පෞද්ගලික ප්‍රවාහනයේ ඉස්කෝලෙ ගිහින් එද්දී සමහර වෙලාවට දවල් ඉස්කෝලෙ ඇරිලා රෑ වෙනකල් කන්න කටු සෙට්වෙන අවස්ථාත් තිබ්බා, අපේ පියාණන්ගේ වැඩ රාජකාරි අනුව. එහෙම දවසක පාන් කියාගන්න බැරිව හෙම්බත්වෙලා හිටිය මට ගරාජ් එක පැත්තට වාහනෙ හරවද්දි සංසාරයෙ දුක්ඛිතබව පැහැදිලි වේගෙන වගේ ආවා. ඒ බව නොදත් තාත්තා මොකද්දෝ ලොරි දුනු කතාවක් බලවන්න පටන් ගනිද්දී මට ඕනෑ වුණා තනියම ඇල්බට් අන්කල්ගෙ කඩේට පාර මාරුවෙලා මොනවහරි ගන්න. සාමාන්‍යයෙන් එහෙම තනියම යවන්නෙම නැතිවුණත් එවෙලේ සන්ග්ලාස් අන්කල් එක්ක කතාවකට සෙට්වෙලා හිටි තාත්තා අවසර දුන්නා එතුමාගේ අධීක්ෂණය යටතේ පාර පැනලා ගන්න දෙයක් අරං ඉක්මණට එන්න. අන්කල් එක්ක කතාකරමින් කඩේ පැත්තට මූණලාගෙන තාත්තා බලං ඉන්නවා මගේ ගමන මොනිටර් කරමින්. අවුරුදු 9ක් හෝ උපරිම 10ක් වෙන්න ඇති මට ඒ වෙද්දී. අර පටුපාර තනියම තරණය කිරීමත් නිදහසක් හැටියට ගත්තු මම මිටින් හැරි කුරුල්ලෙක් වගේ පියාඹලා ගිහින් චොක්ලට් එකක් ගත්තා, ඒ තටුවලින්ම හැරෙන තැපෑලෙන් ආපස්සට ගරාජ් එකට දුවන්න හැරුණා.

මහ සද්දෙන් බ්‍රේක් පාරක් වැදුණා!
පාරට පැනපු විදිහටම වටපිට නොබලා මම සිටි තැනටම දිව්වා!
ඒ සැණින් විශාල බැණුම් සද්දයක් සමග මගේ කණක් තදින් ආපස්සට කැරකැවුණා!

ගත්තු චොක්ලට් එකත් අතේ මිටි කරං කඳුළු පුරෝගෙන මම දඬුවම් දුන් පියාණෝ පිටිපස්සෙම හැංගුණා!

ලැජ්ජාවනෙ! සන්ග්ලාස් අන්කල් විතරක්යැ දෙනෝදාහක් ඉස්සරහ මොන ලැජ්ජාවක් ද ඒ මට වුණේ. පොඩිහිටියන්ටත් ගෞරවනීය පුරවැසියන් විදිහට ජීවත්වීමට අයිතියක් ඇත, දඬුවම මානව හිමිකම් උල්ලංඝනයකි වගේ බෝඩ් උස්සන ඇත්තෝ ඒ කාලෙ නොහිටි නිසා මම පත්වූ අපහසුතාවය දැක්ක සන්ග්ලාස් අන්කල් හරිම කාරුණිකව ඔලුව අතගාලා මගෙ අතින් අල්ලන් හැංගිලා හිටිය පිය සෙවණැල්ලෙන් මෑත් කරලා කිව්වා "තාත්තා කලබලවුණානේ පුතේ ඔයා අර වාහනෙට අහුවෙනවනෙ තව ඩිංගෙන්. ඒකනේ එයා බනින්නෙ. හා දැන් එන්නකො අපි ඕක අමතක කරමු"

ඒ සන්ග්ලාස් අන්කල් තමයි නිහාල් නෙල්සන්!
නිහාල් අන්කල් හරිම නිරහංකාර මනුස්සයෙක් කියලා පුංචි එකෙක් හැටියට මට තේරුම් ගිය අවස්ථාව තමයි ඒක.

මම ඒ දවස්වල රූකාන්ත ෆෑන් කෙනෙක්. රූකගේ ඇක්ෂන් දාලා සිංදු කිව්වට නිහාල් අන්කල්ගෙ ඇක්ෂන් දාලා එයාගෙ සිංදු නොකිව්ව ගැන අද මට කණගාටුවක් දැනෙනවා.

අන්කල් ගිය තැනක ලස්සනට පිපුණු වනමල්ගල් අතර සුන්දර කාලයක් ගෙවාවි.  එහෙ ඉඳන් ගයන සිංදුවක රහ බිංදුවක් මේ ලෝකේ පැත්තටත් එවන්න.
සුබගමන් සන්ග්ලාස් අන්කල්💔💐

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #medusa #lka

Tuesday, December 13, 2022

හීතල ගිනිකඳු

ඉස්සර අපේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගේට්ටුවෙන් එලියේ, බයිසිකලේක පිටිපස්සෙ බැඳගත්ත ලී පෙට්ටියක් ඇතුලේ චූටි චූටි සිලි බෑග්වල දාගත්තු අමු දිවුල් සම්බෝල, දං, ඇඹරල්ලා අච්චාරු, වෙරළු අච්චාරු, අඹ අච්චාරු, අන්නාසි අච්චාරු (කියවගෙන යද්දිත් කෙළ උනනවනෙ?) තියං විකුණන වයසක අන්කල් කෙනෙක් හිටියා. මාව පෞද්ගලික ප්‍රවාහනයෙන් පාසැල් ප්‍රවාහනයට අතෑරිය කතාව කලින් කියලා තියෙනවනෙ. මොන ප්‍රවාහනේ ගියත් කඩචෝරු නැති දවසක් නෑ. එතකොට හතර වසරෙ හිටපු මායි මගෙ යාලුවයිත් ඔය අච්චාරු රැල්ලට නිතරඟයෙන්ම සෙට්වෙලා හිටියෙ. අමු දිවුල් එහෙම කඩාගන්න බැරි නිසා ඉස්කෝලෙ සෙකියුරිටි අන්කල් කෙනෙකුට හරි ඩ්‍රයිවර් අන්කල් කෙනෙකුට හරි තමයි උදව් කරන්න වුණේ. මට මතක විදියට රුපියලක් දෙකක් වගෙ ඔය කොයිකත් එතකොට.

ඉතින් ඔතන පෝලිමේ ඉඳලා ළමයි අස්සෙ පොරකාලා ගන්න කෑම අරන් වෑන් එකට දුවද්දී සාක්කුවල ඔබාගන්න නිසා ඒ දවස්වල යුනිෆෝම් එහෙම පුදුම ලස්සනයි, එක එක පාට කහට රටා එක්ක.

ඉස්කෝලෙ ඇතුලේ ඉන්න වෙලාවක නං ඉතින් කැන්ටිම තමයි එකම පිහිට. මොකෝ ඒ කාලේ මෝටර් බයිසිකල්වල කෑම ඇද්දෙ නැහැනෙ කොහෙටවත්. ඒත් ඉතින් එක එක කාලෙට එක එක රැලි ආවා. එක කාලෙකට හැලප රැල්ල. වැඩේ outsource කළත් කැන්ටිමේ අක්කා දන්නවා හැලප වැඩිපුරම කෑවෙ කව්ද කියලා😅 ඊළගට කාලයක් තිබ්බා එක පැත්තක් විතරක් කහ හරි රෝස හරි පාට කරපු චොක්ලට් එකක්. ඒ රැල්ලෙන් ගැලවෙන්න නං කාලයක් ගියා. පොරි රැල්ලට නං මං එච්චර සෙට්වුණේ නෑ මොකද එව්වා දැන් තියෙන සිනිඳු සුකොමල මැෂින් පොරි නෙවෙයි, තාච්චිවල (වෙන්නැති) බැදපු ගල්පොරි. රුපියලෙ පොඩි පොරි පැකට් එකක මල්වලට වඩා තිබ්බේ ගල් ගැහිච්ච ඇට! එව්වා හපලා දත් ටිකට අවැඩක් කරගන්න බෑ මොකද මම ඩෙන්ටල්-විරෝධී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු! 😎

මේ අච්චාරු කතන්දරේ කොහෙටද කැරකෙන්නෙ කියලා නේද හිතන්නෙ?
:
:
:
ඔබ හරි!

හෙඩිමක් දැක්කා මත්ද්‍රව්‍ය සොයා පොලීසිය පාසැල් පීරයි! කියලා. ඒ දවස්වල පාසැලක් පීරුවා නං වැඩිපුරම හම්බෙන්න පුළුවන් සෙනෙහෙකොළ, නලුනිලියන්ගෙ පිංතූර, ඉඳලාහිටලා "තමන්ට විතරක් නලුවෙක්/නිලියෙක් වගේ පේන පින්තූර", ජංගම දුරකථන, පස්වෙනි මණ්ඩලේ පත්තර, මණ්ඩලෙන් ප්‍රතික්ෂේප වුණ චිත්‍රපට, සිගරට්, වැඩිමවුණොත් ජොයින්ට් එකක් වගේ සාපේක්ෂව අහිංසක දේවල්. ඒත් ඉතින් විනය මණ්ඩලවලින් හායි හූයි ගාලා උඩ පැනලා නටපු, අහුවුණෙත් මුලු පාසැල් ජීවිතේටම හණ ගහන විත්ති භාණ්‌ඩ ඔව්වා.

විහිලු පැත්තක තියලා දැන් තියෙන තත්ත්වය දිහා බැලුවොත් මතුපිටින් සාමාන්‍යයි වගේ පෙනුණට මේක හරිම භයානක තත්ත්වයක්. අර අච්චාරු කරත්තෙට පුරුදු වෙච්ච අවුරුදු නමයෙ මායි යාලුවයි වගේ පුංචි උන් ඔය දෙන මත් ටොපියකට පුරුදුවුණොත් කව්ද මොකද්ද ඒකට කරන්න පුළුවන්? මොනා කරන්නත් දැනගන්නෙ කොහොමද?
ජීවිතේම රස්සාවලට කැප කරපු දෙමව්පියෝ ඉන්න තැන්වල පැය 13කට වඩා අවධානයෙන් ගිලිහෙන ළමයි මොනවා කරනවා ඇතිද? කව්ද දන්නෙ?

අනෙක් අතට ඉස්සර නාඳුනන මිනිස්සු දෙන දේවල් කන්න බොන්න එපා, නාඳුනන මිනිස්සු කතා කළාට කොහෙවත් යන්න එපා කියලා අපේ පරම්පරාවලට කරපු දැනුවත්කම අදට වලංගුද?
නාඳුනන කෙනෙක් හරි දෙන්නෙ සල්ලිවලට. ඒක සාමාන්‍ය ගනුදෙනුවක් හැටියට ගන්නෙ නැතිවෙන්න පුළුවන් ද දියුණු පරම්පරාවක ළමයි?
නාඳුනන අය එක්ක යන්න එපා කිව්වම GPS tracking ගැන විශ්වාසය නොතියා ඉඳීවිද තාක්ෂණිකව දියුණු ළමයි (ජංගම දුරකථන තියෙන ළමයි, බාටා දෙක දාගෙන ඉස්කෝලෙ යන ළමයි නෙවෙයි)?
තාක්ෂණික දියුණුව වල්බූරු නිදහසක් කරගත්ත පරම්පරාවක එක්ටැම්ගෙවල්වල හිරකරලා තියන්න පුළුවන් උන්මාද චිත්‍රලා ඉඳීවිද?

ලංකාව අරාජික වෙච්ච පහුගිය කාලයක අත්‍යාවශ්‍ය දේ පවා නිසියාකාරව නොලැබුණ කාලයක මත්ද්‍රව්‍ය විතරක් නිසියාකාරව සැපයුණේ කොහොමද?
පෙට්‍රල්, ගෑස්, කිරිපිටි, බෙහෙත් නැව් පහුකරගෙන මත්කුඩු නැව් නොපෙනීම ආවේ කොහොමද?
අන්න සැපයුම්කරුවො ආදර්ශයට ගන්න වටින!

දේශපාලනික අවුල්ජාලා අස්සෙ අවධානය වෙන අතක තියෙද්දි පිළිකාවක් ඔඩුදුවලා කියලා පැහැදිලියි. එතකොට ඒ අවුලුයි මේ පිළිකාවයි අතර අවස්ථා සම්බන්ධයක් තියෙන්න බැරිද?
අරගලවලට පිදුරුවුණේ දේශපාලනය විතරක්ම වෙන්නත් බෑ නේද?

නීතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම එක අරමුණක් බව ඊටපස්සේ සිවිල් සමාජයේ හැසිරීම එක්ක පැහැදිලි වෙන්න ඕන, මධ්‍යස්ථව 2022 අවුරුද්ද විශ්ලේෂණය කරන කෙනෙකුට. නීතිය සහ සාමය අවභාවිතවීම ගැන කතා කළ කොටසක්ම නීතිය සහ සාමයට කළ සැලකීම ගිය සතියෙත් අපි දැක්කා පාන්දරක. සම්මත නීතිය අවභාවිතයට එරෙහිව වෙන්න ඕන කැලෑ නීතිය වැළඳගැනීමෙන් නෙවෙයි. කැලෑ නීතිය අවශ්‍ය නම් අපිට පුළුවන් ආයෙත් දශක ගාණක් ආපස්සට ගිහින් ඉන්න!

හැබැයි මෙන්න මේකත් කල්පනා කරලා බලන්න. (අකුදි කියන විදියට)
සිවිල් සමාජය කියන කරත්තයෙ හරකාට පෙට්‍රල් ගහන්න දේශපාලනික බළල් (සහ කොටි) අත්වලට අමතරව එකතුවෙන ව්‍යාපාරික බළල් (සහ කොටි) අත් කැලෑ නීතිය අතට ගන්න ඔබව පෙළඹුවාට ඔරිජිනල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මකවෙන්නෙ නිහඬව. දේශපාලනික බලය ඒකෙ එක කොටසක් විතරයි.
එතකොට ඒ න්‍යාය පත්‍රයේ තව හුගාක් දේවල් තවම මතුනොවී තියෙන්න පුළුවන්. බැරි නැහැ. පාසැල්වලින් මතුවෙන්නේ එක කොටසයි, අයිස් කන්දේ මුදුනේ තියෙන කොඩිය තාම අපි දකින්නේ.

කමක් නෑ. සමහර ඔස්තාද්ලා කියනවනෙ "ලංකාවට එහෙම පට්ට ගේම් දෙන්න මොකද ලංකාව මහ එකක්ද" වගේ කතා.
නෑ මහත්මයා, ලංකාව 'මහ එකක්' නෙවේ තමා, ඒත් ඒකෙ 'මහ ඔයාලා වගේ අය' ඉන්නවනෙ. ඒකයි!

ඉතින් ඔයාලා දිගටම ඔය ගේම ගහං යන්න. පේන අපි බලං ඉන්නං.
නොපෙනෙන අය.. අනේ මන්දා..!


ප. ලි.

මතක තියාගන්න තමන්ගෙ දරුවෙක් හරි සමීපතමයෙක් හරි මතට හුරුවුණාම ඔය පෙනී ඉන්න සර්ව සාධාරණත්වය, දේශපාලන මත, අර කඳවුර මේ කඳවුර, එයා එහෙම නෑ, ආගමික මත, අරක මේක සේරම හිස් බයිලා විතරක් වෙන බව!

අන්න එතකොට තමයි සිසිල ගිනිගන්න පටන්ගන්නෙ. 

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #drugaddiction #lka

Friday, December 2, 2022

අහිංසක

අහිංසක හිටියේ මම කලින් වැඩ කරපු කාර්යාලෙක. ඒක ඇත්ත නම නෙවෙයි. නමුත් ඇත්ත නම එක්ක ලිව්වොත් ඒ මනුස්සයගේ පෞද්ගලිකත්වයට  අසාධාරණයක් වෙන්න ඉඩ තියෙන නිසා අපි අහිංසක කියමු.

අහිංසක එතන කාර්යාල කාර්ය සහායක. අවුරුදු හතළිහක විතර උස කලු මනුස්සයෙක්. නිතරම messenger bag එකක් කරේ දාගෙන අරහෙට මෙහෙට ඇවිදින්න තමයි එයාගෙ රාජකාරිය වුණේ. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අහිංසකගෙ වෙනසක් තිබ්බා. මොකක් හරි හේතුවකට ඇතිවුණු මානසික පීඩාවක් නිසා ඔහු ලේබල් වෙලා තිබ්බෙ 'අප්සෙට්' කියලා. ඔව් ඉතින් අපි ලේබල් කරන්න හුගක් කැමති සමාජයක්නෙ!

අහිංසක මෙසෙන්ජර් රස්සාවක් කළාට කොළඹ රාජකීයේ ඉගෙන ගත්තු, චතුරව ඉංග්‍රීසිය හසුරුවපු මනුස්සයෙක්. මම දන්නේ නෑ හැමෝම ඔහුට මානුෂිකව සැලකුවද නැද්ද කියලා. නමුත්, මනුස්සයෙක් හැටියට ඒ මනුස්සයා ගැන මට දැනුණ කම්පනය හින්දම බනින්න හිතෙන වෙලාවකවුණත් සෑහෙන්න ඉවසීමෙන් මානුෂිකව සැලකුව එක ගැන මම සතුටු වෙනවා, එදාටත් වඩා අද.

ඇයි අහිංසකට එහෙම වුණේ කියන එක ගැන කතන්දර ගොඩක්, එක එක අය කියලා තියෙනවා. එකක් සහෝදර සහෝදරියන් තුන්දෙනෙකුගෙ පවුලේ බාලයා වෙච්ච අහිංසකගෙ පාසැල් ගමන අතරතුර සිද්ධ වෙච්ච එයාගෙ තාත්තගේ මරණය නිසා ඔහු මානසිකව පීඩාවට පත්වුණා කියන එක. අනෙක් කාරණය සුපුරුදු ලෙස ප්‍රේම සම්බන්ධයක් බිඳවැටුණට පස්සෙ සිද්ධවෙච්ච දෙයක් කියන එක. ඔය කතන්දර දෙකෙන් කොයිකද ඇත්ත කියලා කියන්න දන්නෙ නෑ.

මම දන්න තරමින් අහිංසකට කොළඹට නුදුරින් ගෙයක් දොරක් පවා තිබ්බ කෙනෙක්. වැඩ නිසා සමහර දවසට රෑ වෙනකල් හිටියොත් තව කාවහරි එක්කන් යනගමන් අහිංසකවත් ගෙවල් කිට්ටුවට ඇරලවලා තියෙනවා. එහෙම දවසක "ma'am can you please give me two minutes, I'll get something for dinner and come" කියලා ළග කඩේකට දුවලා ගිහින් කෑම පාර්සලේකුත් අරං හනිහනිකට දුවගෙන එනවා. එතකොට මම ඇහුවම තමයි අහිංසක කිව්වේ එයා ගෙදර උඩ තට්ටුවේ ඉන්නවා, සහෝදරී එයාගෙ පවුල එක්ක පහළ ඉන්නවා කියලා. මේ කියන සහෝදරී කාර්යාලයේ සමහර පරණ කළමනාකාරවරු එක්ක කතාබහ කරලා තිබුණට මගෙ රාජකාරි කාලය ඇතුළත එහෙම කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ.නමුත් අහලා තියෙන හැටියට පෞද්ගලික බැංකුවක ඉහළ තනතුරක් දැරූ කෙනෙක්. නමුත් ඒ සහෝදර සම්බන්ධය හෝ පුද්ගලයන් ගැන විනිශ්චය කරන්න තරම් මං ඒ ගැන දන්නේ නැහැ.

අහිංසක අහිංසක වුණාට සමහර අවස්ථාවල හරිම ඉක්මණින් වෙනස්වෙන ගති, එක සැරේ වැඩ දමලා ගහලා යන ගති, නොකියා ගෙදර යන ගති වගේ ඒවා නිතරම තිබුණා. කොහොමත් සඳුදා සිකුරාදා වගේ වෙද්දී අවුල්. මං හිතන්නේ දවස ගානේ වැඩට එන රටාව කැඩෙන එක හින්දා වෙන්න ඇති සමහරවිට. එක දවසක් හදිසි වැදගත් ලියකියවිලි වගයක් එක්ක බෑග් එක පහළ ආරක්ෂක නිලධාරින්ගේ මේසයක් උඩ දාලා ගෙදර ගිහින් තිබ්බා. අහිංසක මට රපෝර්තු නොකළට පොඩි කීකරු ගතියක් තිබ්බ නිසා මං කතා කළාමත් අර තරම් සැරෙන් නොවුණට "I don't feel well, I went home" කියලා කිව්වට "No Ahinsaka, we need you here, please come back and help us" කිව්වම ආපහු ආව අවස්ථාත් තිබුණා. වැඩ අධිකම දවසක පාන්දර කතා කරලා "I can't come to work today ma'am, I don't have money for the bus" කියලා කිව්වම ලෝකෙම කරුණාව අමතකවෙන්න ආවත් (වෙන මනුස්සයෙක් කිව්වනම් ඔහොම) "No Ahinsaka, you come in a tuk, I'll pay for that" කියලා කොහොමහරි වැඩට ගෙන්න ගත්තා. සාමාන්‍යයෙන් එහෙම කිව්වම මනුස්සයෙක් උඩ පැනලා ත්‍රීවීල් එකක එන්න ඉඩ තිබ්බට ඒ මනුස්සයා එදත් ආවෙ බස් එකේ. එදා නාවා නම් වැඩ ගොඩක් අවුල්වෙන්නත් ඉඩ තිබ්බා.

කාර්යාලේ හැමෝම 'හා දැන් කඩේ වහමු' කියලා හිනා කතා ඉවර කරලා යනකල් අහිංසකත් පෙරහැරේ ඉන්න අලියා වගේ නොඉවසිල්ලෙන් එහෙට මෙහෙට වෙවී ඉන්නවා දොර ජනෙල් වහන්න බලාගෙන, එයාට කව්ද යනවා කියලා කියන්නේ කියලා බලාපොරොත්තුවක් නැතුව. පළවෙනිම දවසෙ එයාටත් අනිත් අයට වගේම යනවා කියලා කිව්වම ඒ පුදුමේ එවෙලෙම මූණෙන් පෙනුණා. පහුවදා උදේම දුවගෙන ඇවිත් මොනහරි කිව්වම තමයි මම දැනගත්තෙ අහිංසකට හොඳින් ඉංග්‍රීසි කතා කළහැකි බව. එදායින් පස්සෙ ඔහු එක්ක මගෙ සංවාද ඉතා කෙටිවුණත් ඉංග්‍රීසියෙන් කළේ මොකක්දෝ හේතුවකට ඔහු ඊට ප්‍රිය බවත් ඒක ඔහුට තමන් පිළිබඳව සන්තෝෂයක්/අභිමානයක් ගෙනදෙන කාරණාවක් බවත් මට තේරුම්ගිය නිසා.
තනතුර මොකක්වුණත් හැම කෙනෙකුටම ආත්මගරුත්වයක් තිබෙනවා. කාටවත් අයිතියක් නැහැ කෙනෙක් අඩු තනතුරක් හෝ සහයක තනතුරක් දැරූ පමණින් ඔවුන්ට අතපල්ලෙන් වැටුණු ලෙස සලකන්න. ඔය කතාවෙම තව පැත්තකුත් තියෙනවා. සමහර අවස්ථාවල එහෙම මානුෂිකව සලකන මිනිස්සුන්ගෙ කරේ නගින්න යන, ගසා කන්න හදන, නැත්නම් හොඳ මූණු පෙන්නගෙන අංචි අදින මිනිස්සුත් ඉන්නවා.

මම එතැනින් ඉවත්වූ පසුත් අහිංසක එතන හිටියාද නැද්ද මම හරියටම දන්නෙ නෑ. දැනට ටික දවසකට කලින් ආරංචියක් ලැබුණේ අවුරුද්දකට විතර කලින් අහිංසක මියගිහින් කියලා, මොළයෙ පිළිකාවකින් බවයි කියන්නෙ. ඒක මං හිතුවට වඩා ලොකු කම්පනයක්. යාලුමිත්‍ර සමාගමක සතුටු සාමීචියක් අතර දැනගත්ත ආරංචියෙ කම්පනය එවෙලේ නොපෙන්නා හිටියත් මම ගෙදර ඇවිල්ලත් හිතුවේ අයියෝ අසරණයා කියලා.

එක අතකට අහිංසක වගේ මිනිස්සු ඉක්මණ් ගමන් යන එක ඒ මිනිස්සුන්ට යහපතක් කියලා හිතලා හිත හදාගන්න උත්සාහ කරලා තමයි මේ සටහන ලියන්න හිතුවෙ. තමන්ගෙ වටා කොයිතරම් දේපල තිබ්බත්, ඥාති හිතවතුන් හිටියත් අහිංසක වගේ මිනිස්සු අසරණ වුණාම ඒක එක පැත්තකින් අනෙක් අයට කරදරයක්, අනෙක් අතට ඉල්ලමක්. ඒ වගේ තනිවෙච්ච, අසරණවෙච්ච මිනිස්සු හරිම ලේසියට තව කාගෙහරි ඉත්තො වෙනවා, රැවටීමට සූරාකෑමට ලක්වෙනවා. ඇත්ත හිතවත්කම් බොරු හිතවත්කම් වෙන්කරලා අඳුනගන්නත් බැරි එහෙම මිනිස්සු සාමාන්‍ය තනිවෙන මිනිස්සුන්ටත් වඩා අසාධාරණයට, අතවරයට ලක්වෙනවා.
ඉතින් එහෙම විඳවනවට වඩා එක අතකට හොඳ නැද්ද ඉක්මනින් ඒ කර්මය ඉවර කරගන්න එක.

ඉතින් අහිංසක, පරක්කු වෙලා දැනගත්තත් ඔබට සුබ ගමන්. ජීවත්ව හිටි කාලෙ ඔබව තවත් පීඩාවට පත් නොකර මානුෂිකව සලකන්න ඇති අතලොස්සකින් එකෙක් වීමම මට ලොකු සතුටක්.
ඔබේ සසර ගමන කෙටිවේවා. එතෙක් නිදුක් නිරෝගී සුවපත් යහපත් මිනිස් ආත්මභාවයන් ලබා සසර ගමන නිමා කිරීමට අවැසි විවරණ ලැබේවා.

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka

Saturday, November 26, 2022

වැලි වගේ ගෑණු

ඉර හැරිලත් ගිනි රස්නෙ ගහන ඔය කාන්තාරෙ මැද්දෙදි මට සිංදු කීපයක්ම මතක් වුණා.

පළවෙනි එක ලියලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්.. ඒ ගීතයේ ඉපදීම ගැන දයා ද අල්විස් හරිම ලස්සනට ලියලා තිබ්බා' එකෝමත් එක දවසක' පොතේ. දරුවෙක් එක්ක තනිවෙච්ච ගැහැණියකට ආදරේ කරන්න තරම් ලස්සන හිතක් තියෙන්න ඇති ප්‍රේම් වෙනස්වෙච්ච එකම පුදුමයක් තමයි..ඒකට ඉතින් වටපිටාවෙන් ආව උපදෙස්, විෂබීජත් හේතුවෙන්න ඇති. එච්චර සුන්දර දේවල් හිතන්න, කියන්න, ලියන්න පුළුවන්කම තිබ්බ හිතකට සමාජෙට අනුගත නොවී කෙළින් නැගිටින්න ශක්තියක් නොතිබ්බ එක අපරාදේ. සිංදුවටම නම් ඉස්සර ඉඳන්ම කැමතියි. ඒකෙ පසුබිම් කතාව දැනගත්තට පස්සෙ මැවිලා පේනවා ලේක්හවුස් පඩිපෙළ පාමුල නළදත් හිනාවකින් බලං ඉන්න ප්‍රේම්ව, දයාගේ අකුරුවලින් මැවිච්ච.

"කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිමගිර මුදුනත සිටියද මහද ගිනි ගනී.. "

ඒ සුන්දර ප්‍රේම්ව අහිමිවෙච්චා නම් ඔහොම කිව්ව කීදෙනෙකුට කාලය එක්ක වෙනස්වෙන්න පුළුවන් වෙන්න ඇතිද කියන එක අතුරු කතාවක්..

අනෙක සිංදුවක කොටසක්..
"සුදුවැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ.."

හිත නිකංම නිවී සැනහී යන මොකද්දෝ එකක් ඒ වචනවල, හඬේ සහ මෙලඩියෙ තියෙනවා. මට හරියටම මතක නෑ ඒත් අවුරුදු ගාණකට කලින් මොකක් හරි වැඩසටහනක ඇහුවා මතකයි ඒ පදවලින් ඇත්තටම කියවෙන්නෙ වැස්සක් බලාපොරොත්තුවෙන් ඉන්න පරිසරය ගැනයි කියලා. ඒක එහෙමත් ගන්න පුළුවන්. ඒත් මං නං කැමති ඒක ආදරේ විඳින ගැහැණු චරිතයකින් කියවන්න..හැම ගෑණියෙක්ටම එහෙම 'ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ' කියන්න පුළුවන් දවසක් ජීවිතෙ කවදාහරිම උදාවෙන්න ඕන.. 'ඇත්තටම' එහෙම කියන්න පුළුවන් දවසක්.. 😇

මතක් වෙච්චි අනෙක නිරෝෂා විරාජිනී ගයන වාලුකා කතරේ.. මේ දවස්වල නම් සෑහෙන්න සංවාදයට ලක්වෙන කතාවක් නිරෝෂා ගයන්නෙ. වැඩේ ඉතින් මේ සතියෙ ඕමාන් රැල්ල ඊළග සතිය වෙද්දී තවත් රැල්ලකින් වැහිලා යාවිද කියන එකයි බය.

ඔය කතාවෙ පැති ගොඩක් තියෙන්න ඕන. ඒ කලාපයට ගෘහ සේවය සැපයීමම විවාදාත්මක කාරණාවක්. හැම දුකක්ම කෙළවර සැපක් කියන්නෙ හිත නිවන කතාවක් විතරයි කියලා හිතෙන කතන්දර අරාබි කලාපයේ ගෘහ සේවයට යන අපෙ රටේ මිනිස්සුන්ගෙන් ඕනෑතරම් ඇහිලම දැන් ඒක 'තවත් එක කතාවක්' වෙලා. කොහොමහරි ගොඩයන්න තියෙන සීමිත විසඳුම්වලින් එක විසඳුමක් වුණාම මොන දුක විඳින්න හරි කැපකිරීම් කරන්න හරි බලාගෙන ඒ අවස්ථාව ගන්න මිනිස්සු හරිම පව්. හැබැයි එහෙම යන මිනිස්සුන්ව එක එක වලවල්වලට ඇදලා දාන්නෙත් ඒ පංතියෙන්ම තමයි.

ඔය එළියට ඇදෙන්නෙ ඒ වගේ එක උදාහරණයක් විතරයි. අනෙක ඉතින් ළිඳට වැටිච්ච මිනිහා ගොඩ එන්න උත්සහ කරන්නෙත් ළිං කටෙන්ම මිසක් ගැඹුරට කිමිදිලා ළිං බිත්තියකින් උමං කටින්න තරම් හයිහත්තියක් බලාපොරොත්තු වෙන්න බෑ.
ඔන්න එහෙම හාරන උමගක් මහ කාන්තාරෙකට හැරවෙන එකක් නෑ කියලා සහතිකයක් කොහෙවත් දීලා තියෙනවා නම් කමක් නෑ.

අපේ මිනිස්සු පව් කියලා ගෘහ සේවිකා චක්‍රය දිගින් දිගටම කැරකෙනවා අපි බලං ඉමු. ශනිදා වාසනාවේ පිංපොං බෝල ඇහිලෙනවා වගේ පුරුෂාධිපත්‍යයේ ආසාවලුයි ධනපති වර්ගයක අමානුෂිකත්වයයි දෑඟිලි විහිදලා එයින් එක එක ගෑණු උස්සලා කබලෙන් ලිපට අතාරින හැටි බලලා ගණං හිලව් ලියලිය ඉමු.

වෙන මොනව කරන්නද ඉතින් නේ?

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka #women

Wednesday, November 23, 2022

පපරෙ හිනා

ටුක් එක නුගේගොඩ සුපර්මාර්කට් හන්දියේ ට්‍රැෆික් ලයිට්වලට නැවැත්තුවා. මං හිටියේ ලොකු කල්පනාවක නිසා එතන මොකක්ද වෙමින් තිබ්බේ කියලා අවධානයක් තිබ්බේ නෑ. හැබැයි පපරේ එකක් ඇහෙන හින්දා බැලුවම වයසක අන්කල් කෙනෙක් පොඩි බෆල් එකක් අතේ තියාගෙන හිටගෙන ඉන්නවා. පිරිසිදු පාටට පිළිවෙලට පීච් පාට අත්දිග කමිසයක් සුදු සරමට යටකරලා ඇඳලා කලු බෙල්ට් එකකුත් දාලා. මං පපරෙ එක එන්නෙ කොහෙන්ද බැලුව හින්දද කොහෙද ටුකුවට ඈතින් එබිලා බලලා 'Hello Madam' කිව්වා ලස්සනට හිනාවෙලා. මම ලාවට හිනාවෙලා ටක් ගාලා අහක බලාගත්තා ආධාර කරදරයක් කියලා හිතලා. අන්කල් ටිකක් වෙලා ඉඳලා ළගට ඇවිත් හොඳ පැහැදිලි ඉංග්‍රීසියෙන් "Miss, if I were your age, I could have asked to marry you" කියලා දත් නැති කටින් ලස්සනට හිනාවුණා😁 තරුණ කාලේ හැඩට ඉන්න ඇති නෂ්ඨාවශේෂ තාම ඉතුරු ලස්සන හිනාවක් ඒක😎 මගේ කල්පනාව නිසා මොකද්ද ඒ කියලා හිතාගන්න බැරුව තත්පරයක් දෙකක් බලං ඉඳලා "aw, thank you" කියලා මාත් හිනාවෙන්න ගත්තා. එතකොටම කොළ වැටුණ නිසා ටුකුව පිටත්වුණා.

ටුකු රියදුරු අහනවා "ඇයි මිස් ඒ මනුස්සයා සල්ලි ඉල්ලුවද" කියලා. මං කිව්වා නෑ කියලා. ඒ ගමන ඒ මනුස්සයා කියනවා "එච්චර වයසට ගිහිල්ලත් විනෝදෙන් ඉන්නවා වගේ. සමහරවිට මේ මිනිස්සු මහන්සි වෙලා යන වෙලාව නිසා තව කාටහරි පොඩ්ඩක් සන්තෝසයක් ගේන්න හිතන් ඔහොම සිංදු දාගෙන ඉන්නවද දන්නේ නෑ." කියලා. සමහරවිට. ඕක තත්පර කීපයක් ඇතුලත වෙච්ච සිද්ධියක් නිසා මම දන්නේ නෑ ඇත්තටම ඒ අන්කල් කව්ද ඇයි එතන ඉන්නේ කියලා.

හැබැයි ඒ හිනාව නම් හරිම ලස්සනයි. අර කිව්වත් වගේ සමහරවිට මගේ කල්පනාව දැකලා විහිලුවක් කරලා හිනස්සන්න හිතුවා වෙන්නත් ඇති. 

ඒ කියන්නේ මාත් තාම පරක්කු නැහැ මිත්‍රවරුනි. අවුරුදු 70ක් 80ක් වෙලා (එච්චර කල් හිටියොත්) මගෙ මොඩ්ල් කොල්ලෙක්ට, ඒ වෙද්දී නළදත්-less හිනාවක් දාලා Boy if I were your age, I could have asked to marry you කිව්වොත් කොහොමට තියෙයිද කියලා හිත හිත තනියම හිනාවෙවී තමයි ගමනෙ ඉතුරු කොටස ආවේ.😂

ඒ හිනාවට පින් සිද්ධ වේවා අන්කල්.❤️

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal

Sunday, November 20, 2022

නිකා මාකටින්

ආයෙත් නිකා කතාවක් ඇදිලා ඇවිත්නේ? කාලෙන් කාලෙට මතුවෙනවා.

සාමාන්‍යයෙන් ක්‍රිකට් ගැන මම දන්න අලබෝලයක් නැතිවුණත් මාකටින් ගැන දන්නවා. මේ කියන නිකායට ජනප්‍රිය චරිත ගෑවීම සහ ඒ ජනප්‍රියත්වය මොහොතකින් අංශක 180කින් හැරවීම (සමහරු 360කින් හැරවීමක් ගැන කියනවා. ගණිතමය සංකල්පයේ හැටියට ඒක එහෙම කළොත් හිටිතැනටම තමා එන්නේ‍😜) පහුගිය කාලය පුරාම නිරන්තරයෙන් උදාහරණ දැකදැක සංගක්කාර වගේ මාකටිං කප්පිත්තෙක් (Captain = කප්පිත්තා) මේ තරම් යෝධ පිම්මක් පනින්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද?

Any marketing is better marketing කියලා හිතලා වැඩ කරන ඇතැම් අයගේ කුලකයට මෙතෙක් කල් නොවැටුණු සංගා ඇයි දැන් එච්චර දරුණු තීරණයක් ගන්නේ?
යෙහාලි වෙනයි සංගා වෙනයි වගේ රැඩිකල් ඉන්ඩිපෙන්ඩන්ට් ටෝක්ස් දෙන්න කට ඇරපු අය පොඩ්ඩක් ඉවසන්න. මේක ලංකාවනේ. මෙච්චර කල් කීල්ස් කරත්තේ තල්ලු කරපු එකේ ඉඳන් ඔක්කොම බ්‍රෑන්ඩින් එකට කරපු, ආදර්ශමත් යුවලක් ලෙස කැපී පෙනුණු ඒ දෙන්නා අතරට ඔය ඔයාලගේ අනවශ්‍ය විෂබීජ දාන්න එපා ප්ලීස්! 😅

සංගක්කාර මාකටින් කප්පිත්තෙක් කියලා මං උඩ කිව්වේ ඇයි? ලංකාවේ ක්‍රිකට්වල හැම තලයකම, පසුබිමකම වගේ නියෝජනයන් තියෙනවා. එතකොට ලංකාවේ පොෂ් පීපල් හෝ වැඩිමනත් වෙන්ඩ පොෂ් පීපල්ට සනත්ගෙ බැටිං, මුරලිගෙ බෝලිං අර්ජුනගේ කූල් ඇටිටියුඩ් විතරක් බලලා චියර් කරන්න තමයි තිබ්බෙ. හැබැයි අර ඒගොල්ලොන්ගේ idols එතන නැතිකමේ niche එක ගාණට අඳුනගත්ත කෙනෙක් සංගා. අනිවාර්යයෙන්ම සංගා හොඳ යහපත් පසුබිමක් සහිත උගත් මනුස්සයෙක්. එතකොට ඔය අපේ මුවග නිතර රැඳෙන උගත් බුද්ධිමත් සංකල්පය තියෙනවනෙ. ඒක තිබුණේ සීමිත ක්ෂේත්‍ර කීපයක් අරඹයා විතරනෙ. ඒ සංකල්පයේ ඌනතාව මෑත කාලයේදී ක්‍රිකට්වලට තිබ්බ බව හරිම ලස්සනට තමන්ව position කරලා පෙන්නලා දෙන්න සංගා සමත්වුණා, ඒකෙ ඉතින් ආයෙ කතා දෙකක් නැහැ. මගෙ අදහසට අනුව නම් සංගාගේ personal branding එක හොඳ හින්දම තමයි සමහර ප්‍රේක්ෂකයන්ට ඕන වුණේ දේශපාලනයට ගන්නත්. ඔහුගේ ව්‍යාපාරවලත් මුදල් හැරුණම ප්‍රධානම පදනම ඔහුගේ ප්‍රතිරූපය.

මේකෙන් කියන්නේ නෑ ඔහුට කලින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැදගත් මිනිස්සු, මහත්හොරු නොවන මහත්වරු, උගත් බුද්ධිමත් මිනිස්සු හිටියේ නෑ කියලා. මෙතන වෙලා තියෙන්නේ යම් වෙලාවක ඇතිවුණ හිස්කමකට,එතන එහෙම හිස්කමක් තිබ්බා නේද කියලා දැනෙන්නම තමන්ගෙන් ලස්සනට පුරවන්න සංගා සමත්වුණ එකයි. අන්තිමට brand is a perception නේ!

හැබැයි ඒ එක්කම එන දුර්වලතාත් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම brand එකක් මාකට් ලීඩ් වෙද්දී පොඩි අභිමානයක්, තමන් ගැන අධිතක්සේරුවක් ඇතිවීමේ අවධානමක් තියෙනවා. ඒ අවධානම ඇතිවීම සහ ඒවායෙ පසුවිපාක සම්බන්ධයෙන් ඕනැතරම් ගෝලීය උදාහරණ තියෙනවා.

හැබැයි, සංගා කියන්නේ හොඳ marketing product එකක්. මාකට් කරන්න පුළුවන්, උත්සහ නොකළත් දැන් නිකම්ම මාකට් වෙන brand එකක්. (signal, sunlight වගේ).
අනෙක් අතට කියනවා නම් he is a product on sale. (no offence) සිංහලෙන් කිව්වොත් අපහාසයක් හැටියට ගන්න ඉඩ තියෙන නිසා සරලව එහෙම කියමු.

එතකොට ඔන්න දැන් අහන්න තියෙන ප්‍රශ්නය:
තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපට තියෙනවා. (ඒ නිදහස වැඩිවීමේ ප්‍රශ්න වෙනම කතාවක්)

ඇයි සංගා negative බව දැන දැන ඔය නිකා දායකත්වය ප්‍රසිද්ධ කරන්නේ (තමන්ගෙ බිරිඳ හරහාවත්)?
වැරදිලාද? ලණුවක්ද? සල්ලිවලටද?

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka #religiousfreedom #SLCricket #branding

Wednesday, November 16, 2022

Tadka (2022)

(2022 නොවැම්බර් 16දින සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට) 

Tadka (2022)
IMDb 7.1/10
Genre: Rom-com
Language: Hindi

ආකර්ෂණය සහ ප්‍රේමයට අත්පොත් තියන ජීවිතේ දෙවැනි දශකය වෙනම අත්දැකීමක්. ආදරේමද දන්නෙත් නැති, ආදරේ කියලා උපකල්පනය කරගෙන, ආකර්ෂණයයි ආදරයයි අයිතිකරගැනීමේ ආසාවයි අතර දෝලනයවෙමින් ඉන්න ඒ දෙවැනි දශකය අපේ පරම්පරාවට දැනුණු විදිහ අපේ කලින් පරම්පරාවට දැනිච්ච විදිහට වඩා වෙනස්. අපි දෙගොල්ලොන්ටම වඩා අලුත් පරම්පරාවට දැනෙන හැටි වෙනස්.
අපේ කලින් පරම්පරාව ලියුමකින්, ඉඳහිට කලාතුරකින් දැකගන්න හමුවෙන්න ලැබීමෙන් අත්දැකපු සම්බන්ධතා අපේ පරම්පරාවේදී අඩුම තරමේ ඉඳහිටක එන දුරකථන ඇමතුමකින් හරි වැඩිදියුණු වෙලා තිබ්බා. එතනින් එහා පරම්පරාවල සම්බන්ධතාවල ශක්තියත් දුර්වලතාවත් දෙකම තාක්ෂණික පදනම වෙන්නත් පුළුවන්. ඇතිවෙන්න ලේසියි, බිඳෙන්නත් ලේසියි, බිඳීම අමතක කරන්න පෙර පරම්පරාවලට සාපේක්ෂව වඩා ලේසියි.

එහෙම සුන්දර කාල පහුකරලා ජීවිතේ තුන්වැනි දශකයත් ආදරයට දුෂ්කර නොවෙන කාලයක්. ජය පැරදුම දෙකම විඳගෙන, යම්තාක් දුරකට හිත් හදාගෙන, සාමාන්‍යයෙන් සමාජ සම්ප්‍රදායට අනුකූලව විවාහය, දරුවන් කියන සම්මත අරමුණු බහුතරයකගේ තුන්වැනි දශකයේදී ඉෂ්ඨ වෙලා ඉවරවෙනවා.

දුෂ්කර හතරවැනි දශකයේ දී ප්‍රේම කරන එක. ප්‍රේම කරන එකටත් වඩා ඊට කලින් දශක දෙකේ අත්දැකීම්වලට පුළුවන් මනුස්සයෙක්ගේ හතරවැනි දශකය මුස්පේන්තු කරවන්න හරි ආදර සම්බන්ධතා ගැන කළකිරීමක් හෝ බයක් ඇතිකරවන්න හරි. ඇත්තටම හතරවැනි දශකයට පය ගහන්නේ තෙම්පරාදු වෙලා, නැත්නම් Tadka (Seasoning) වෙලා. ඒක නිසා චූටි අඩුලුහුඬුකමක් වුණත් වැඩියෙන් දැනෙනවා. හරියට අවුරුදු ගාණක් කෑව කෑමක ලුණු අඩුවැඩිකමක් ටක්ගාලා දැනෙනවා වගේ.
ටූකාරාමුත් මධුරාත් හිටියේ එතන..

හතරවැනි දශකය හරිම විපිළිසර, සංකීර්ණ දශකයක්. කෙනෙකුට සමීපවෙන්නේ කොහොමද, ඒ කෙනාට අවශ්‍ය මොනවද, ඒක ආසාවක්ද ආකර්ෂණයක්ද ආදරයක්ද කියලා ඇතිවන විචිකිච්ඡාව, තමන් ගැනම ඇතිවන අනාරක්ෂිත හැඟීම්, පරණ නරක අත්දැකීම් වගේ සෑහෙන ප්‍රශ්න කරගහගෙන කෙනෙක් හතරවැනි දශකයට පය තියන්නේ. විශේෂයෙන්ම අවිවාහක ටයිටලය දරාගෙන එද්දි. ඒ කිසිම සම්බන්ධතාවයකදී සම්පූර්ණ විශ්වාසයෙන්, පිරිසිදු නිකළැල් හදවතකින් කළ කුලුඳුල් ප්‍රේමයක හැඟීම ඇතිවෙන්න සාධාරණ පසුබෑමක් මනුස්සයෙක්ගෙ හිතේ ඇතිවෙන්න පුළුවන්. ආයෙත් රැවටෙනවද, හිත රිදවෙනවද, මේක ඇත්තටම ආදරයක්ද නැත්නම් වෙනත් අවශ්‍යතාවයක්ද, තත්පර විනාඩි පැය කටුවල ගමන කොච්චර වේගවත්ද වගේ අතිශය පෞද්ගලික සිතුවිලි වගේම සමාජය, පවුල, ඥාතීන් ඇතුළු හැමදෙනාගේම 'සියඹලා' අනෙක් හැම දශකයකටම වඩා මේ දශකයේදී දරාගන්න වෙනවා.

ජීවිතේ කවදාවත් ආදරේ නොකර විවාහ නොවී ඉන්න හිතපු ටූකාරාම්ට වැරදි නොම්මරයකින් ආව අත්දැකීමත් ඒ වගේ. සමහරවෙලාවට වැරදි "නොම්මරවලට" පුළුවන් අපේ ජීවිත උඩුයටිකුරු කරන්න, හොඳට නරකට දෙකටම!
වාසනාවකට හරි අවාසනාවකට හරි වැරදි ඇමතුම දුන්නෙත් ටූකාරාම්ගේ කුලකයේම කෙනෙක් හැබැයි ටූකාරාම් වගේ බලාපොරොත්තු අත හැරපු කෙනෙක් නොවුණාම..
ඔව් ඉතින් කතාව නම් මසාලා තමයි..

මේක බලන්නද එපාද කියලා මට කියන්න බෑ. ඇයි මං ඒක බැලුවේ කියලත් මම දන්නේ නෑ. චිත්‍රපටයේ රගපෑම්, කතාව, ගලායාම ගැන මට විශේෂ හැඟීමක් ඇතිවුණේ නැතුවට තැන් කීපයක යන දෙබස් තමයි මේක ලියන්න ඕන කියන සිතුවිල්ල ඇතිකෙරෙව්වේ.

"Am I a thing? You'll say anything and it won't hurt me? You'll keep on making fun out of me. I do have a space of my own right? I'm also a human being right? I too have feelings right? Now I am scared of relationships, what can I do now? Not scared whether the girl will give me happiness or not. I'm scared that whether I'll be able to keep her happy or not. I'm in a dilemma for her. I'm like this only, what can I do? For that will you make fun of me? It's not right, Isn't it? I have my fiefdom, please don't enter it. Poke your nose into everything, what is this? You married twice. Why did the first wife run away? Why did your second wife leave you? Did I ever ask why did that happen? I never asked you. You have a space of your own, to endure that pain. There's a corner and I don't have the right to enter that corner. I can understand that. Because you're my friend. I must understand that. Not possible, not possible to develop relationships. What can I do? In my journey thus far, I have done it alone, just a few more steps only. What's in it? There's a voice ringing in my ears. Her name is Madhura. I have given a shape to that voice. Though a little hazy. I'm unable to see her form but she's there. If you gouge out her from me, if you take her out, okay, I have taken her out. Now there's another girl, go and meet her. Go and meet her. How is it possible dude? When you take out something, it will hurt you, right? It'll bleed, right? Can you share that pain? Okay buddy take this 100 grams,you take this 100 grams, you take this 100 grams. Is it possible to happen? It is my pain dude. It'll remain my pain forever. It is not possible, dude. Bloody! How many times it had happened. I wanted to cry in front of you. I wanted to rest my head on your shoulders and cry. But I didn't because I felt you would make fun out of me. Even when I am alone, I don't cry. I don't believe in it. Because I am scared. I fear someone seeing it. I'll not cry. So this is what I am. I am weak. Be my friend, come on"

මේක තමයි මුළු චිත්‍රපටයම එක මිටකට ගන්න ප්‍රබලම, සංවේදීම තැන.. එහෙම තැන් හොඳටම දැනෙන්නේ මව්භාෂාවෙන් නිසා සිංහලට සංක්ෂිප්ත කළොත්..

"මාත් මනුස්සයෙක් නේද? උඹ මොනවා කිව්වත් මට දැනෙන්නේ රිදෙන්නේ නැද්ද? ඔව් මම ආදරේ කරන්න බයයි. මං බය කෙල්ල මට සතුටක් ගේනවද නැද්ද කියන එක ගැන නෙවෙයි. මට බය එයාව සතුටෙන් තියන්න මට පුළුවන් වෙයිද කියලා. මම එයා වෙනුවෙන් විඳවන්නේ මේ. මට මගේ කියලා ඉඩක් තියෙනවා. උඹටත් තියෙනවා.. හැබැයි මම උඹේ ඒ පෞද්ගලිකත්වයට අතදාන්නේ නෑ. එහෙම කරන්න මට කිසිම අයිතියක් නෑ. මම උඹේ විදිහට විහිළු කරන්නේ නෑ. ඒක උඹේ විදිය. මේ මගේ විදිය, මං ඒකට මොකද්ද කරන්නේ? මෙච්චර දුරක් මං ආවෙ තනියම. තව ටිකයි මට තියෙන්නේ යන්න. ඔව් මට සම්බන්ධයක් ඇතිකරගන්න බෑ, මං මොනව කරන්නද? මගේ කණ්වල දෝංකාර දෙන එක කටහඬක් තියෙනවා. ඒ මධුරාගෙ. ඒකට මම හැඩයක් දීලා තියෙනවා. හරියටම පැහැදිලි නැතත් එයා එතන ඉන්නවා. උඹට ඕන එයාව මගෙ හිතෙන් උගුල්ලා අයින් කරන්න , ඉරලා දාන්න. හරි එහෙම මම අයින් කළා කියමු. මගෙ හිතේ කොටසක් එහෙම උදුරලා දැම්මම මට වේදනාවක් නැද්ද? ඒක ලේ ගලන තුවාලයක් නෙවෙයි ද? ඒ ලේ ගලන තුවාලේ පිටින් ඉන්න මට උඹ කියනවා අර කෙල්ලව උඹට ගැලපෙනවා ගිහින් බලපං, මේ කෙල්ලව හම්බවෙයං කියලා. මම කොහොමද එහෙම කරන්නේ? ඒක මගේ වේදනාව, ඒක උඹලට ග්‍රෑම් සීය ගානේ බෙදලා මට සැහැල්ලු වෙන්න බෑ. මේ වේදනාව මුළු ජීවිත කාලෙම මට තියෙයි. මට කොච්චර හිතිලා තියෙනවද උඹට මේ ටික කියලා අඬන්න. ඒත් මට ඒක කරන්න බෑ. උඹ මට හිනාවෙයි කියලා මට බයයි. මට තනියම අඬන්න හිතිලා තියෙනවා, ඒක කරන්නත් මට බයයි කව්රු හරි දැකලා හිනාවෙයි කියලා. එහෙම කරන්න එපා මචං, ඇත්තටම මට යාලුවෙක් වෙයං"

අඬාගන්න බැරිකමට හිනාවේවි නානා පටේකර් ඔය ටික කියන විදිය බලන්නම ඕන ඒක දැනෙන්න නං.

නානාගෙන් තව වැඩක් ගන්න තිබ්බා කියලා හිතුණට චිත්‍රපටයම තියෙන්නේ නානාගේ රඟපෑම මත කියලා මට නම් දැනුණේ. ශ්‍රියා සරන් සාමාන්‍ය රඟපෑමක්. තප්සිගේ අනිත් රඟපෑම් එක්ක බැලුවම මේක හරිම ප්‍රාථමික මට්ටමක තියෙනවා වගේ දැනෙනවා.
මේක romantic comedyයක් නිසා අවුලක් නෑ, ඒත් මේ මාතෘකාව හරියටම අල්ලන්න පුළුවන් නිර්මාණයක් ආවොත් අනිවාර්යයෙන්ම ඒක සෑහෙන්න දෙනෙක්ව මතක හිටින රිද්දන එකක් වේවි.

~✒️ Aash Weerasinghe



Monday, November 14, 2022

ලාංකීය වීදිනාට්‍ය කලාවේ නැවුම් බලාපොරොත්තුව!

නාට්‍ය සහ රංග කලාව
මුල සිට සරලව
හිරුණිකා එරාංජලි ප්‍රේමචන්ද්‍ර යට්ටෝවිට

ශ්‍රී ලාංකික වීදි නාට්‍ය කලාවේ පියා කලාකීර්ති ගාමිණී හත්තොටුවේගම සූරීන්ටවත් එතුමාගේ ගෝලයන්ටවත් බැරිවුණා ලංකාවේ වීදි නාට්‍ය කලාව මෙච්චර දුරක් ගෙනියන්න. ඒකම ඇති හිරුණිකාට, ඔයා පාර්ලිමේන්තු ඉන්නම ඕන කෙනෙක් කියලා අහගන්න❤️

මේවා දකිද්දි එහා ලෝකේ ඉඳන් භාරත:
"දුක් මහන්සියෙන් හම්බකරලා, හැම සැපසම්පතක්ම දීලා, විශාඛාවෙන් උගන්නලා, විදේශ අධ්‍යාපනය දීලා, ඊළග පරම්පරාවලටත් ඇතිවෙන්න ව්‍යාපාර හදලා දීලා ඔයාව හැදුවේ මේවා කරන්නද මයෙ පුතේ.. 😔💔"

මං හිටගන්නෙ හිරු එක්ක. කාන්තාවන් හැටියට අපි මේ වෙලාවේ ඉන්න ඕන එයා එක්ක! 
Wild card round එකක් දීලා හිරුණිකාව පාර්ලිමේන්තුවට ගන්න අපි රජයට බල කරමු!
මෙන්න සිනමා කලාව බාරදෙන්න සුදුසුම ආමාත්‍යවරිය! ❤️

#හිරුණිකාටජයවේවා #අපේහිරුඅපටහොඳා #ලාංකීයසිනමාවේනවබලාපොරොත්තුව

~✒️ Aash Weerasinghe


Sunday, November 13, 2022

මරණයට හිනැහෙන අපි

බොහොම සංයමයකින් ලියන්න ඕන වගේම බොහොම සංයමයකින් කියවන්නත් ඕන මාතෘකාවක් මේක.

අරගලයේ ක්‍රියාකාරී සමාජිකාවක් කියන තරුණියකගේ මරණයක් දෙයාකාරයකට බුකියේ 'සැමරෙනවා'. කොටසක් අඬනවා, කොටසක් හිනාවෙනවා. දේශපාලනික මතවාදය කෙසේ වෙතත් මානුෂීයව 'කිසිම' කෙනෙකුගේ විපතක් ප්‍රාර්ථනා කිරීමවත් විපතකට සරදම් කිරීමවත් මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.

ආපස්සට පොඩ්ඩක් හැරිලා බැලුවොත් මේක මෙහෙම සිද්ධවෙන පළවෙනි වතාව නොවෙන බව තේරුම් ගන්න පුළුවන්.
මාස කීපයකට කලින් ජැක්සන් ඇන්තනි මහත්මයා මාරක අනතුරකට මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ ඔහුගේ දේශපාලනික මතවාදය නිසාම බුකිය, ට්විටරය ඇතුලු සමාජ මාධ්‍යවල කොයිතරම් නම් අමානුෂික සාපකිරීම්, මඩගැසීම් සිද්ධවුණාද? දේශපාලනය පැත්තක තියලා බැලුවොත් ජැක්සන් කියන්නේ රටක් වටින මිනිහෙක්, අපිට ඉන්න කලා සම්පතක්. ඔහුගෙන් හිස්වන (එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා) අඩුව මකන්න පුළුවන් තරමේ වෙනත් කලාකාරයෙක් පේනතෙක් මානයක තවම නැහැ. අද වෙද්දි ඒ මනුස්සයා ගැන කිසිම ආරංචියක් නෑ. තිබ්බත් අර සිද්ධවුණ දේවල් අත්දැකපු පවුලේ මිනිස්සු, ඥාති හිතවතුන් ආරංචියක් දෙයිද?

ඒ දවස්වලම ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන මහින්ද රාජපක්‍ෂ අසනීපයකින් රෝහල් ගත කළා කියලා ගිය ආරංචියට විතරක් කීදෙනෙක් සතුටුවුණාද? රතිඤ්ඤා දැම්මද? මැරෙනකල් කාලය මැන්නද? කොයිතරම් නම් සාප කළාද?

තවත් හිටපු ජනාධිපතිවරයෙක් වෙන රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ අවස්ථාවේ ඔහුගේම ජනසවිය ව්‍යාපාරයෙන් ලද මුදලින් කිරිබත් කෑ මිනිස්සු හිටියා නේද?

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියට බෝම්බ ප්‍රහාරය එල්ල වූ වෙලාවේ ඒ සතුට සැමරූ විරුද්ධවාදීන් හිටියා නේද?

දේශපාලනිකව වැරදි තියෙනවා. නමුත් ඔය අද කතාකරන  'මනුෂ්‍යත්වය' ඒ හැමෝටමත් අදාළයි.
(මේවා කතා කිරීම ජනප්‍රිය මතයට විරුද්ධයි. කමක් නෑ, ජනප්‍රිය මතයට මගේ මතය කවදාවත් නැවෙන්නේ නෑ.)

දේශපාලනය පැත්තක තියලා සමාජයක්, රටක් විදිහට ගත්තම ඔය අවස්ථා ඔක්කොම මට නම් සමානයි. කලින් අවස්ථාවලදි (මෑතක සිදුවූ සිද්ධීන්වලදි) අමනුස්සයෝ වගේ හැසිරුණ කොටසම මේ සිද්ධියේදී හරිම සංවේදීව, ආවේගශීලීව "සයිබරයේ මනුෂ්‍යත්වය' වෙනුවෙන් පෙනී ඉන්නවා. ගොඩක් දේවල් වගේ එයාලගේ මනුෂ්‍යත්වයත් ඊනියාවාදී!
කන්න ඕනෑවුණාම කබරයත් තලගොයා වෙනවා. ඒක අනිත් පැත්තට වුණාම මොණරු වගේ පශ්චාත්භාග එළියේ තබාගෙන මනුෂ්‍යත්වයේ පිල් විදහගෙන නටනවා.

අපි වෙනස් කරන්න හදන්නේ මොකද්ද? මනුෂ්‍යත්වයේ ප්‍රාථමික ලක්ෂණවත් ආරක්ෂා කරගන්නේ නැතුව කරන්න උත්සහ කරන හෝ බලාපොරොත්තුවන වෙනස මොකද්ද?
තව කෙනෙකුගේ මරණයක් ප්‍රාර්ථනා කරන්න වගේම මරණයකට හිනාවෙන්නත් පුළුවන් අමනුෂ්‍යයන්ට පුළුවන් ද සාරධර්මවලින් පෝෂිත සුන්දර සමාජයක්, රටක් ගැන කතා කරන්න? කටින්ද?

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka #hypocrisy #inhumanity

Saturday, November 12, 2022

කහ, කහ වීම

සංගීතයට, කලාවට ප්‍රිය මනුස්සයෙක් හැටියට ලංකාවේ රියැලිටි වැඩසටහන් සමහරක ප්‍රේක්ෂකයෙක් මාත්. කාලයක ඉඳන්. පහුගිය අවුරුද්දෙ ඉඳන් බැලුවෙ නම් Voice Sri Lanka විතරයි. Season 1 සහ Teens ගුණාත්මක භාවය අනුව මේ වතාවෙත් සෑහෙන බලාපොරොත්තු සහගතවයි වැඩසටහන බලන්න ගත්තේ.

පළවෙනි දවස බැලුවා. 
දෙවැනි දවසත් බැලුවා. 
තුන්වැනි, හතරවෙනි දවස බලද්දී තමා මා තුළ ජීවත්වන ක්‍රිෂ්ණා වස්දණ්ඩ පොළවේ ගහලා "මේ මොන මයන්නක්ද අයිසේ මේ!" කියලා අහලා චැනල් එක මාරු කළේ.

අන්තර්ජාතික සන්නාම බහුතරයක් තමන්ගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන කලාපයට අනුව සුළු සුළු වෙනස්කම් කරනවා. මෙහෙ මැක්ඩොනල්ඩ්ස්වල රයිස් ඇන්ඩ් කරි තියන එක තමයි ඕකට දෙන්න පුළුවන් සරලම උදාහරණය.

 මට ඇත්තටම විශ්වාස නැහැ ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් පිටපතට මරණගෙවල්වල ශෝකාලාප එකතුකරපු පිටපත් රචකයා දැන් සිරසට ගිහින් ද කියලා.
මේක දක්ෂකම් පෙන්නන තැනක්ද නැත්නම් කුලියට අඬන වේදිකාවක්ද? කොයිතරම් නම් විපිළිසර වුණාද කියනවා නම් ආයෙත් බැලුවා හිරු ස්ටාර්ද මේ කියලා!

හැම ගායකයෙක්ම ගායිකාවක්ම පිටිපස්සෙ මොකක් හරිම දුක කතාවක් තියෙනවා! ඒ මොකවත්ම නැත්නම් යාලුවා තරහාවුණා, අක්කා බැඳලා ගියා කියලා හරි වේදිකාවේ කඳුළක් නොහෙලපු කෙනෙක් හොයන එකට වඩා ලේසියෙන් කිසාකෝතමී නොමළ ගේකින් අබ හොයාගන්නවා, ෂුවර්!
මොකක්ද මේ විහිළුව???

තරගකාරයොත් අඬනවා, විනිශ්චයකාරයොත් අඬනවා, කියන්නේ නැති දේවල් විනිශ්චයකාරයෝ හාරහාර අහනවා, ඇහුවේ නැත්නම් තරගකාරයො කියනවා. ගම සමග පිළිසඳර හොඳා! 😅

හරි ඉතින් කලාකාරයෝ සංවේදී මිනිස්සු තමයි. හැබැයි ඕනෑම දෙයක් ඕනෑවට වඩා කරන්න ගියාම අවුල්. මීට වඩා මාකටිං ගේම් ගහන සිරසට හැම තරගකාරයටම දුක මාකට් කරන්න කියන්න වෙන තත්වයක් ඇතිවීම හොයලා බලන්න ඕන වැඩක්! එච්චරටම ඉච්ඡාභංගත්වයකට යන්න තරම් තරගයක් දෙන වෙන චැනල් එකක රියැලිටි තරගයක්වත් තියෙනවද? නැත්නම් ඕනෑවට වඩා කැටයම් දාන්න ගිහින් තොරණ බලියක් කරගන්න දත කනවද? 

ඔය බොරුව සහ දුක මාකට් කිරීමේ කලාව හෙවත් yellow journalism පටන්ගත්තේ 1800 ගණන්වලදී ඇමරිකානු මුද්‍රිත මාධ්‍ය කියලා තමයි කියවෙන්නෙ. (හඳ ගමන වගේ වෙන්නත් පුළුවන්) හැබැයි සමහරවිට ඊට කලින් ඉඳන්ම තියෙන්න ඇති. ඒකනේ ඔය අපි අහලා තියෙන කවිකොළ, රජ කාලේ ප්‍රශස්ති ගායනා එහෙම ඔය ආරේට ගිහින් තියෙන්නේ. රාමායණය, මහ භාරතය (මහාවංශය, චූලවංශය අපේ අයට කොහොමත් වහකඳුරු නිසා ඒ උදාහරණ ඕනෑ නෑ) පවා හරියට බැලුවොත් yellow journalism ඡායාවල්! 
මොකද්ද මේ yellow journalism කියනවා නං ඒකේ ලක්ෂණ ටිකක් කිව්වම වඩා පැහැදිලි වෙයි. 

    ●කැපී පෙනෙන සිරස්තල, පිංතූර, ප්‍රස්ථාර අරවාමේවා. බොහෝ විට අන්තර්ගතයට හාත්පසින්ම වෙනස්, අවධානය ඉල්ලන සිරස්තල (ලංකාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය සහ Youtube යන්නෙත් මේ ආරේට) 

    ●ලස්සනට කැටයම් දාලා, තලු මරලා, කෙන්ද කන්ද කරලා, ජනතාව කම්පනයට පත් කරලා, කුපිත කරවලා, කතාව රබර් කරලා කියන්න පුළුවන් පුද්ගලයන් යොදාගැනීම (චමුදිත, රංගන වගේ අපේ දේශීය නිෂ්පාදන ඇරුණම මෙහෙම කට්ටිය සමාජ මාධ්‍යවලත් අපමණයි!) 

    ●ඕනෑම කුණු කතාවක් පළවෙනියෙන්ම ඉදිරිපත් කිරීමට ඇති තරගකාරීත්වය (සියලුම විද්‍යුත් මාධ්‍යවල අරගලයේ හැසිරීම එක උදාහරණයක්) 

    ●Jingoism (දැඩි දේශානුරාගය සහ ජාත්‍යාලය (අපේ වීරවංශ ලොක්කා වගේ විදේශ ප්‍රතිපත්ති ගේම කෝල් කිරීමට භාවිතා කිරීම එක උදාහරණයක්) හෝ සංවේදී විෂයයන් සහ ඊට අනුබද්ධ දේ (දේශීය, සංස්කෘතික, ආගමික, පාරම්පරික ආදි) දැඩි ලෙස ගැරහීමට ලක් කිරීම (ලංකාවේ ජනප්‍රිය වෙන්න මේක කොයිතරම් නම් ලේසි ක්‍රමයක් ද කියලා සමාජ මාධ්‍ය භාවිතය දිහා බැලුවම පැහැදිලි වෙනවා) 

    ●ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය චරිතවල 'කුණු කතා' හාරැවිස්සීම සහ ලුණු ඇඹුල් එක්කර ලිවීම/කීම/නිෂ්පාදනය (ලංකාවේ බහුතර youtube නාලිකා) 

    ●බහුතර මතය, ජනප්‍රිය මතයට පෝර දැමීම සහ ඒ වෙනුවෙන් අවස්ථානුකූලව පෙනී සිටීම (අරගලය කාලවකවානුව තුළ සියලු විද්‍යුත් මාධ්‍යවල හැසිරීම) 

    ● නොවටිනා සිදුවීම් හෝ චරිත ප්‍රසිද්ධ කරවීම සඳහා කටයුතු කිරීම (ලංකාවේ අපට තේරෙන භාෂාවෙන් නම් කබ්බෝ ෆෝම් කිරීම) 

ඔය කාරණා ටික අරන් බැලුවම මම හිතන්නේ සුද්දටත් yellow journalism උගන්නන්න පුළුවන් මට්ටමක අපි ඉන්නවා දැන්. සමහරවිට ඒගොල්ලොන්ටවුණත් සාධාරණ ඊර්ෂ්‍යාවක් වුණත් ඇතිවෙන්න බැරි නෑ අපේ වැඩ දැක්කම. අන්න එදාට තමයි සුද්දා වුණත් අලුතෙන් දෙයක් අඳුන්වල දෙන්න කලින් දෙසැරයක් හිතන්න පෙළඹෙන්නේ😂

සිරසේ මේ වතාවේ න්‍යාය පත්‍රය මොකක්ද කියලා මම දන්නේ නෑ. ඔය රටාවට Voice Global අනුමැතියක් තියෙනවා ද දන්නෙත් නෑ. 
(සමහරවිට high context index එකේ උඩම ඉන්න පුළුවන් ඉන්දියාවේ තත්ත්වයත් මෙහෙම වෙන්න පුළුවන්. Voice India බලලා නෑ. නමුත් ඉන්දියාවේ වුණා කියලා ලංකාවේත් ඒක එහෙම වුණාට කමක් නෑ කියලා සාධාරණීකරණ තර්කයක් ගේන්න තරම් අපි ඉන්දියාවේ දූපතක් නෙවෙයිනේ) 

 මේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක් හැටියට සිංදුවක් අහලා දක්ෂකමක් බලලා සතුටු වෙන්න තියෙන අවස්ථාවක් මළ අඳෝනාවක්, අඬෝවැඩියාවක් කරලා, කොහොමත් ආතතියෙන් ඉන්න මිනිස්සු තව ආතතියට පත් කරවන්න එපා ඉතින්! මොකද ප්‍රශ්න ඕන නම් මිනිස්සුන්ට තමතමන්ගේ එව්වයි තමන්ගේ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ එව්වයි හොඳටම ඇති අඬ අඬා රසවිඳින්න. ඒත් නැත්නම් කඩේ ගිහින් ආවත් ඇඬෙන තත්ත්වයකනේ අපි ඉන්නේ. 

සිරස උත්සහ කරන්නේ හැමෝටම ප්‍රශ්න තියෙනවා බ්‍රෝ කියලා මිනිස්සුන්ගේ හිත සනසවන්න හෝ දුක සාමාන්‍යකරණය කරන්න වගේ සද් අරමුණක් ක්‍රියාත්මක කරවීම වෙන්න බෑ කියලා පෙරවැරදි නිසා හිතෙනවා. හැබැයි මේක මෙහෙම මාර ප්‍රශ්න ගොඩක් තියෙන රටක් කියලා මිනිස්සුන්ගේ ඔලු තව කුරුවල් කරන්න වක්‍රාකාරව උත්සහකිරීමක් වෙන්න නම් සෑහෙන ඉඩක් තියෙනවා. 

මේ යන විදියට අන්තිමේදී ලංකාවේ මාධ්‍ය කලාව කහ-කහ මාධ්‍ය කරයිද කියලත් සාධාරණ සැකයක් ඇතිවේගෙන එනවා! 

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka #realityshow #YellowJournalism

Thursday, November 10, 2022

ලංකාවේ අපි 🇱🇰

මගේ ලිවිලි ගැන පෞද්ගලිකව විචාරයක් දුන්නා මිත්‍රයෙක්. මේකේ මීට කලින් විසංවාද ගොඩක් තියෙනවා. මේ කොටස විතරක් ගත්තම, (හැබැයි මේ වචන ගැන මම වග කියන්නේ නෑ, පැහැදිලිවම propaganda නෙවෙයි!✋)

මිත්‍රයා: "ඔයා ලියන ඒවයේ හැටියට you are real simple, genuine Sri Lankan"
(typical නොකිව්ව එක ගැන නම් ඇත්තටම සතුටුයි🌼)

මම: 🤔🤔 "මට ඒක ප්‍රශංසාවක් හැටියට ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් දැන් තියෙන තත්වේ හැටියට Sri Lankan කීමම ලැජ්ජාවක් හැටියටනේ අපේ බහුතරයක් සලකන්නේ. Genuine කෙසේවෙතත් Sri Lankan කිව්වම පට්ට ගොඩයෝ, ළිං මැඩියෝ කියලනේ කියන්නේ කට්ටිය" 

මිත්‍රයා: "Those are mod hybrid Sri Lankans" 

වෙනත් ප්‍රශ්න නැත ස්වාමීනි! 👩‍⚖️

****

ශ්‍රී ලාංකිකයෝ තරම් ශ්‍රී ලංකාවට ගරහන්නේ නෑ කොටි ඩයස්‌පෝරාවවත්!
මේක අස්සේ ඉන්නත් ඕන, අතපයක් නොසොල්වා සුරලොව සැපසම්පතුත් ලැබෙන්න ඕන.(ඇත්තටම දුක්විඳින, දුෂ්කර තත්ත්වයන් නෑ කියලා මේකෙන් අදහස්වෙන්නේ නැහැ✋) හැබැයි ශ්‍රම සම්මාදමට කැමති නෑ! පංගුපේරුවට තමයි වැඩ කරන්න ඕන. තව පුළුවන් හැබැයි මෙන්න මෙච්චරයි දෙන්නේ කියලා ඇඟෙන් ඇටයක් යන ගාණට ලෝබකමෙන් තමයි රටට, දැයට, සමාජයට, ආයතනයට දායකත්වය ලබා දෙන්නේ. හැබැයි කතාකරද්දි ඒ තරම් නිර්මල, පවිත්‍ර, අවංක චරිත තුන්ලෝකේම නෑ😅 අධි-සුචරිතවාදියෝ.

අද දැක්කා පෝස්ට් එකක් ලංකාව නිරයකට සමාන කරලා. ඒකෙ ඉපදීම පිනක් කියා හිතන මිනිස්සු ඉන්න එකට අඬා වැටිලා. තව කට්ටිය සුපුරුදු බයිලා ටිකම ගහලා දෙදාස් පන්සීයක මෙව්වා එකකුත් තියෙනවය, ඒත් නිරයක්ය, අරකය, මේකය කියලා. 
වෙන්න ඇති.
තමතමන්ගේ නැණ සහ අත්දැකීම් අනුවනේ මතයක් දරන්නේ. නමුත් ඉතින් ඔයතරම් අමාරුවෙන් නිරයකට වෙලා ඉන්න අවශ්‍ය නෑ මට නම් හිතෙන්නේ. දුෂ්කර නම්  දෙව්ලොවට මාරුවක් අරන් යනවා මිසක් මොකටද මේ තරම් වයිරයෙන් ක්‍රෝධයෙන් නිරයේ පැහෙන්නේ🙄 යන්න මාර්ග මොකෝ අපි නොදන්නවැයි ඉතින් 😉😎

ලංකාවේ කව්රු හරි කියනවා නම් බොරු සුචරිතවාදේ කෙල පැමිණ ඉන්නේ දේශපාලකයෝ විතරයි කියලා කණ අතගාලා කණ්ණාඩියක් ඉස්සරහට එක්කන් යන්න. ඒකම පිනක්😂👌

ප. ලි. 
ඔය කලින් කිව්ව විචාරය දුන්න මිත්‍රයම කිව්වා මම තව කාටවත් ඒ ගොල්ලොන්ගේ අදහස කියන්න ඉඩක් නොදී ලියලා දානවා කියලා😂 අදත් ඉතින් ඒකම තමයි කළේ😉 ජනප්‍රිය අදහස එක්ක එකඟවෙලා ඒකට පෝර දාලා ලියන්න ඇඟිලි නැවෙන්නේ නෑ😜 එහෙම එකෙක් දෙකෙක් හරි ඉන්නත් එපැයි ලෝකේ බැලන්ස්වෙන්න. 

~✒️ Aash Weerasinghe 

#AW #thaniya #medusasjournal #srilankanstyle #hypocrisy

Wednesday, November 9, 2022

ගුණේ අන්කල්

 හුනස්නෙන් නැගිට්ටවෙන තරම් කම්පනයක් ගෙනාව ඒ ආරංචිය ආවේ සඳුදා උදේ. ගුණේ අංකල්ගේ මරණය ගැන. 

ගුණදාස රාළහාමි මුලු ජීවිත කාලයම අචල හිතවත්කමින් සහ පක්ෂපාතීත්වයෙන් අපේ තාත්තා ඇතුළු පවුලේ අය එක්ක රැඳිච්ච, අලුත් ලෝකයට අරුමයක් වෙන 'අවංක හිතවත්කම' කියන එකට හොඳම උදාහරණයක් වෙච්ච, ඒ වඳවී යන ජීවී කුලකයේ සුන්දර මනුස්සයෙක්. කෙටිකාලීන හිතවත්කම්, වාසි ලාබ ප්‍රයෝජන ගැන අරමුණු, පරාජයේදී පසුබෑමේදී දාලා යන මිනිස්සු අතර ගුණේ අංකල් වගේ මිනිස්සු අතලොස්සයි අලුත් ලෝකේ ඉතුරුවෙලා ඉන්නේ. එහෙම එකේ ඒ වගේ කෙනෙක් ගියා කියන එක වෙනමම කණගාටුවක් ගේන කාරණාවක්.

ගුණේ අංකල් දැඩි එජාප පාක්ෂිකයෙක්. සීයාගේ කාලයේ ඉඳන්ම නොවෙනස්ව තාත්තලා එක්ක රැඳිච්ච හොඳම හිතවතෙක්. ඥාතීත්වයකුත් තියෙනවා අපේ තාත්තගේ මව් පාර්ශවයෙන්. පක්ෂ මතිමතාන්තර වෙනස්වුණාට පස්සේ වුණත්, මතවාද විරෝධතා අතර වුණත් කවදාවත් හිතවත්කම් අත්නොහැර කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී හිටිය දුර්ලභ ගණයේ ජීවියෙක්. 

ෂොට් එකක් දාලා, විහිළුවක් කරගෙන හිටිය අහිංසක මනුස්සයා මාස දෙකකට විතර කලින් මුණගැහුණු වෙලාවෙත් සාමාන්‍ය හොඳ ශරීර සෞඛ්‍යයෙන් හිටියා. ගුණේ අංකල් නැතිවෙලා තියෙන්නේ හදිසියේ ඇතිවුණු හෘදයාබාධයකින්, තනියම හිටිය වෙලාවක. ඒ මොහොතේ අංකල්ට මොනවා හිතුණද මොනවා දැනුණද කියලා හිතද්දිත් ඒක හරිම සංවේදීව දැනෙනවා. ගෙදර එන්න ප්‍රමාද නිසා හොයද්දි තමයි පවුලේ අය දැනගෙන තියෙන්නේ. ඒ කතාව අහද්දිත් දැනෙන කම්පනය වචන කරන්න අමාරුයි. 

ගුණේ අංකල් අන්තිමට හම්බවෙච්ච වෙලාවෙත් නංගිට විහිළු කරමින් කිව්වම රුසියාවෙන් වොඩ්කා බෝතලයක් ඕන කියලා එයා ඒක දෙන්න යන්න බලං හිටියා අංකල්ව හම්බවෙලා. ඒත් අංකල් ඔක්කොටම කලින් හරි ඉක්මණ් ගමනක් ගිහින්, ඇවිත් යන්න කියන්න බැරි. 

හරි දුකයි ගුණේ අංකල්. තාත්තා මේ ආරංචිය කියද්දිත් කිව්වේ 'ඉන්නම ඕන මිනිහෙක්' කියලා. ඇත්තටම ඉන්නම ඕන මිනිහෙක් අංකල්. හරිම දුකෙන් වුණත් ප්‍රාර්ථනා කරන්නේ පුළුවන් නම් මේ සංසාර ගමනේ කොහෙදි හරි ආයෙ මුණ ගැහෙමු. ඒත් පුලුවන් ඉක්මණින් මේ ඝෝර කඨෝර සංසාරයෙන් මිදෙන්න, එතෙර වෙන්න ලැබේවා, නිවනට ශාන්තියට පත්වේවා. එතෙක් එළඹෙන සෑම ආත්මයකම යහපත් නිදුක් නිරෝගී මනුස්සභාවයන් ලබා සුගතිගාමී වේවා! 
එතෙක් සුබ ගමන්! 🌼

~ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka

Sunday, November 6, 2022

වස්ත්‍ර ප්‍රශ්න

ඉස්කෝලෙන් අයින්වෙලා දශක එකහමාරක් විතර. හැබැයි ඒ දශක එකහමාර තිස්සේම මොකද්දෝ හේතුවකට මං සැරින් සැරේ දකින හීනයක් තියෙනවා. වැස්සක, මඩ වෙච්ච ඉස්කෝලෙ ඇවිදිනවා (ඒ හීනෙදිම මිසක් වැස්සකටවත් ඉස්කෝලෙට ගොඩවෙලා නෑ😅). ඉස්කෝලෙ ඇතුලට යන්නේ කොහොමද කියලා දකින්නේ නැතිවුණාට ඉස්කෝලෙ වත්ත පුරා මඩවලවල් උඩින් පැනපැන බිල්ඩින් පුරා ඇවිදිනවා තමයි දකින්නේ.

දැන් ඔය හීන කියවන විශේෂඥයෝ මොනව කියාවිද මම දන්නේ නෑ. හැබැයි අවංකවම මට ඉස්කෝලෙ ඉන්න කාලේත් එයින් පිටවුණාට පස්සේත් විශේෂ, මහ ලොකු බැඳීමක් දැනිලා නෑ. එහෙම ආදිශිෂ්‍ය සංගං බදාගෙන, පරණ ඉස්කෝලෙ යාලුවො බදාගෙන, උත්සව පවත්වගෙන ඉන්න තමන්ගේ ඉස්කෝලෙට ආදරේ මිනිස්සු අනන්ත ඉන්නවා. ඒ හැමදෙයක්ම දිහාම මම මැදහත් සිතෙන් උපේක්ෂාවෙන් බලාගෙන මගේ පාඩුවේ ඉන්නවා, විවේචන විචාර නැහැ. අපරාදේ කියන්න බෑ ඉස්කෝලෙන් මට මහ වරදක් කරලත් නෑ. ඒ කාලයේදි මගෙන් සහ දෙමාපියන්ගේ උපරිම යුතුකම් ඉස්කෝලෙට කළා මිසක් ලොකු බලාපොරොත්තු තියාගෙන, බදාගෙන, නටාගෙන ඉන්න තරම් දරුණු බැඳීමක් හද පත්ලෙන්ම ඉපදිලා නෑ ඉතින්.🤷‍♀️

සමහරවිට මේ වතාවේ ගියේ ගුරු සාරිය විසඳන්නද දන්නේ නැහැනේ! 😅

සාරිය ගැනත් මට තියෙන්නේ බොහොම උපේක්ෂා සහගත මතයක්. සාරිය බොහොම සුන්දර ඇඳුමක් (අඳින පිළිවෙල අනුව ප්‍රධානවම). යාර හයකට පුළුවන් නාරි ලාලිත්‍යය උපරිමේටම නලවලා ගන්න (ආයෙමත් නිසි සහ ගැලපෙන විදිහට ඇන්ඳම) වෙන කිසිම කාන්තා ඇඳුමකට වඩා. ඒත් ඒ පිළිවෙත වෘත්තීය මට්ටමට එද්දී තරමක් වෙනස් වෙලා, වැදගත් සහ සංවර ඇඳුමක් හැටියට තමයි සැලකෙන්නේ. ඒකෙ කිසිම වරදක් මම දකින්නේ නැහැ. නිරන්තරයෙන් සාරි නොඅඳින, සාරි ඇඳිය යුතු අවස්ථා මගහැර අත්‍යවශ්‍යම කාරණයේදී විතරක්ම නාහෙන් අඬමින් සාරි අඳින මං වගේ ජීවියෙක්ට සදාචාරාත්මක අයිතියක් නැහැ තවකෙකුට සාරි අඳින්න හෝ නාඳින්න 'බලකරන්න'.
හැබැයි සාරිය අඳින රැකියාවක් බාරගනිද්දී ඒ බව පැහැදිලිව දැනගෙනයි රැකියාව බාරගන්නේ කියන එක  මම හිතන්නේ අපි හැමෝටම එකඟවෙන්න පුළුවන් ප්‍රායෝගික කතාවක්. (දිනපතා සාරිය අඳින්න අකමැති කෙනෙක් නිසා ඒක අනිවාර්ය වන රජයේ හෝ බැංකු වැනි ආයතනවලට සම්බන්ධ වෙන්න මම හීනෙකින්වත් උත්සාහ කරන්නේ නැහැ, මම ඒකට අකමැති නිසා.) 

හැබැයි මේ සමාජයේ ගැටෙන කොට මම දකිනවා සාරියට විශේෂත්වයක් ගෞරවයක් අපේ සමාජයේ බහුතරයක් තුළ තාම තියෙන බව. එතකොට ගුරුවරියන් සාරි ඇඳීම හෝ නෑඳීම මට අදාළ නැති වුණත්, ඒ ගැන විශේෂ මතයක් නැතිවුණත් සමහරවිට ඒ සමාජ සම්මතය "හදිසියේම" "විශේෂයෙන්" අභියෝගයට ලක් කළ යුතු කාරණාවක් හැටියට මට පෞද්ගලිකව දැනෙන්නේ නෑ. මොකද ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට තියෙන දැවෙන ප්‍රශ්නය ගුරුවරියගේ වස්ත්‍රය නෙවෙයි! 
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අර ට්‍රැක පැන්න මල්ලීට වඩා ප්‍රශ්න තියෙනවා! හැබැයි ඉස්සෙල්ලම ට්‍රැක පැන්නේ මල්ලිටද ලෝකල් ස්ටාලින්ටද නැත්නම් චමුදිතට ද කියන එක කිකිළි ද බිත්තරේද කියන එකට වඩා උභතෝකෝටිකයක් වෙන හින්දා මේ තකහනියක් සාරියකට රට ගිනිතියන්න පුළුවන් වීම හිතලා බලන්න වටින කාරණාවක්! 

තව අතුරු කතාවක් තියෙනවා, ලියන්නම ඕන එකක්. 

අවුරුදු 19න් මම පළවෙනි රස්සාව පටන්ගත්තේ. එතකොට මාත් එක්කම ටෙලිකොම් සම්බන්ධ වුණ අපි ඔක්කොම එකම වයස්වල  40ක් 50ක් විතර හිටි ලොකු කණ්ඩායමක්. අපිට තිබුණේ සේවාමුර නිසාත් දවල් දවසේ අධ්‍යාපන වැඩ නිසා වැඩි හරියක් රාත්‍රී සේවා මුර කළ නිසාත් ඉස්කෝලෙන් එළියට ආ ගමන් පුරුද්ද නිසාත් අපි බහුතරය ඔෆිස් ගියේ ඩෙනිමයි ටී-ෂර්ට් එකයි සපත්තුයි දාගෙන! සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණ සේවා සම්බන්ධ ක්ෂේත්‍රයට ඕක අලුත් දෙයක් නොවුණට 51%ක් රජයට අයත් ඒ වනතුරුත් දෙපාර්තමේන්තු සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම වෙනස් නොවී තිබුණ ටෙලිකොම් ජ්‍යෙෂ්ඨයන්ට අපේ මේ "ඇඳුම" බිකිනියක් වගේ දැනුණ වග පුදුමයක් නෙවෙයිනේ!
පළවෙනිම වෙඩිමුරය එල්ලවුණේ මටයි මගේ හොඳම යාළුවටයි (මොකද අපි දෙන්නම වැඳිය යුතු අය වඳින ජාතියේ නොවුණු නිසා ඕන අංචියක පළවෙනි නොම්මර කැරකුණේ අපිට😅). ඔහොම එනවද ඔෆිස් කියලා ජ්‍යෙෂ්ඨ උත්තමාවියන් රංචුවක් ගේම කෝල් කළාම අපිටත් එකසැරේ වෙනස්වීමේ උවමනාව ඇතිවුණේ නෑ! වැඩේ තියෙන්නේ ඒ වෙද්දී කොටසක් වෙනස්වෙමින් හිටි නිසා අපි කලු බව වැඩිපුර පෙනීගිය එකයි! 🦍

 ආයතනයේ සාමාන්‍ය විදිහ ඒක වුණහමත් පහසුව තිබුණාට මොකද්දෝ අඩුවක් අර formal නොඇඳ හර්තාල් කරපු මටම දැනිච්ච අවස්ථා ඊට පහුකාලයක ඕනෑතරම් ඇතිවුණා. 

අනිත් කාරණය අපි තරුණ මදයට කිව් සැණින් ඊට අනුගත නොවුණට ඊටපස්සේ වෙනස්වුණා (අර ගේම කෝල් කළ අයටමත් ඉවසගන්න බැරිවෙන තරමට, ඇතැම් වෙලාවල. තරහවෙන්න ඕන නෑ ඉතින්. අපි හැමෝම පෘථග්ජන මිනිස්සුනේ😁) 

එහෙම වෙනස්වෙච්ච අපි formal attire කෙල පැමිණෙමින් සිටින අතර ටෙලිකොම් සභාපති ධූරයට කාන්තාරත්නයක් පත්වුණා 2008 අවුරුද්දේ. කාන්තාවක් හැටියට එතුමිය ආව හැටියේ ගැහුවා චක්‍රලේඛයක් සේරම මහිලාවන් චකබ්ලාස් වෙලා යන්න. ටෙලිකොම් සේවිකාවන් සියලු දෙනාට සාරිය අනිවාර්යයි, සාරිය නොඅඳින්නේ නම් කලිසම (සහ බ්ලවුසය) පමණයි!, කිසිමාකාරයක සාය සහ ගවුම තහනම්! කියලා. අර මොකාගෙද මොකද්ද එකට මොකද්දෝ වුණා වගේ ඒ වෙද්දි ඩෙනිමෙන් Mondy ගවුමට, සායට මාරුවෙලා හිටි අපිටත් වුණේ ඒවා ගුලිකරලා අල්මාරිය මුල්ලට කරලා සාරියට වංගුවක් ගහලා කලිසමට මාරුවෙන්න. 

මොකක්ද ඔය චක්‍රලේඛයේ අරමුණ කියලා දන්නේ උඩ ඉන්න දෙයියොයි සභාපතිතුමියයි එතුමියට ලණුව දුන්න අයයි විතරයි! 🙄
කකුල් පේන එක නම් ප්‍රශ්නේ වුණේ රූපවාහිනිය රොක් කරලා ගත්ත ගංගනාත් දිහාවත් බලලා හැදෙන්න තිබ්බා (පටන්ගත්තෙම ප්‍රවෘත්ති මේසෙ යටින් කකුල් පෙන්නලනේ🙈)

ඊටපස්සේ තමයි ලස්සන වැඩ පටන්ගත්තේ. 

මේ ලියන අහිංසක දැරිය එවකට කිලෝ 50ක උපරිමයකට යටත් වූ කටුබොඩියක්. හැබැයි කුලකයේ අනිත් අයගෙන් වෙනස් නොවූ නිසා, ඒ සුහුඹුල් වයසේදී තමන්ගේ විලාසිතාව ඇත්තේ කොතනදැයි කියා අවබෝධ කරගන්නට උත්සාහ කරමින්, ආයතනයේ සහ ගෙදර නීති සංග්‍රහය යටතේ පර්යේෂණාත්මක අවධියක හිටියේ. ඒ ශරීර කූඩුවට ගැලපෙන ඇඳුම් kiddies cornerවලින් හොයාගන්නට සිදුවූ අවස්ථාත් තිබුණා. Slim fit, straight cut කලිසම් formal attire එකට අයිති බව නොදන්නා බව පෙන්වූ බවලතුන් අලි කොටි වග වලසුන් ගහණ වනයක් ("වණයක්") ඒක, එකල.😂

දවසක් අපේ ප්‍රධානියා බොහොම කලබලයෙන් මාව ඩෝමෙට්‍රියට කැඳෙව්වා. (කාර්යාලයේදි නැතුව එතනදි කතා කරන්න හේතුව මම අදටත් දන්නෙ නෑ). අපරාධකාරයෙක් දිහා වගේ මගේ ඉහේ සිට දෙපතුලට බැලුවා. එදා ඇඳන් හිටියෙත් slim fit කලිසමට බ්ලවුස් එක යට කරලා (tuck කරලා) boots (casual නෙවෙයි formal boots) දාලා.
හරිම ලැජ්ජාශීලි මේ මහත්මිය මට කියනවා "මොකද්ද අනේ ඔයා මේ අඳින හැටි. ඔයා lift එකට නැග්ගම ඔක්කොම  පිරිමි ළමයි ඔයා දිහා බලනවා. මට හරිම ලැජ්ජයි! ඔයා ඔහොම අඳින්න එපා" 
(ඉතින් හත්දෙවියනේ, අවුරුදු 20ක 21ක කෙල්ලෙක් දිහා නොබලා ඉඳීද කොල්ලො? 🤷‍♀️) 

(ඒ දවස්වල ඉවසීම එහෙම නිල්. නහර වැඩියි. තරුණ ඇඩ්‍රිනලින් උනන්නේ නෑ, විදිනවා😅) 
" ඇයි මිස් මොකක්ද මගේ ඇඳුමේ ප්‍රශ්නේ? Chairperson කිව්වේ කකුල් පේන්න අඳින්න බෑ කියලා ඉතින් මගේ කොහෙවත් මොකුත් පේන්නේ නෑනේ" (හරිම අවංකව අහිංසකව මං මගේ හිසේ සිට දෙපතුල වනතුරු පරිස්සමින් බලමින්) 
(ප්‍රධානියා ලැජ්ජාවෙන් ඇඹරෙමින්) "ඒ වුණාට ඇඟට හිරයි වගේ නේ. ඒකනේ මිනිස්සු බලනවා ඇත්තේ"
🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️
(ලබා උපන් හැටියට කැහැටු ශරීරයක් ලබා හිටියාට මං මක්කරන්නද නේ? එහෙමයි කියලා නිලමෙට රෙදි ඔතන්නැහෙ රෙදි ඔතලා පුම්බලා ඇඳුම් අඳින්නද නැත්නම් නයිටි වගේ බාච්චු අඳින්නද මේ මට යෝජනා කරන්නේ කියලා වචන ලොප්වුණ විපිළිසරයකට ලක් වෙලා හිටියා මම මිනිත්තුවක් විතර. ඔව් ඒක ලොකු කාලයක්!) 
"මිස්, මගේ ඇඟේ තරමට තමයි ඉතින් මං මේ අඳින්නේ. අනික එහෙම උලුප්පා පෙන්නන්න තරම් දෙයක් මට නෑනේ, මේ පේනවනෙ ඉතින්. මට හිර නෑනේ මේ ඇඳුම් 😳ඇයි මිස් එහෙම හිතුවේ😳 ආ ඉන්නකෝ ඔන්න බලන්න මට පිටිපස්සේ සාක්කුවට මුලු අතම දාන්න පුළුවන් හරිම පහසුවෙන්, හිර නම් බෑනේ නේද" (ඇඳුමේ තව ඉඩකඩ ඇති බව සනාථ කරන්න දත කමින්) 
"අනේ මන්දා ඔයාට ඕවා කියලා වැඩක් නෑ" කියලා ප්‍රධානියා දඩස් ගාලා දොර ඇරගෙන තව මොනවාදො තර්ජනයක් කරලා ගියා යන්න. 

ඔන්න ඔහොමයි "ඇඳුම" "ජාතික ප්‍රශ්න" වෙන්නේ! 

වෘත්තීයට ගැලපෙන ලෙස ඇඳීම පැළඳීම අනිවාර්යයි, ඒකේ කිසිම තර්කයක් නෑ. සාරි ඇඳන් පීනන්න බෑ කියලා කොහේද දැක්කා. ඔව්, සාරි ඇඳන් ලියුම් බෙදන්න බෑ හැබැයි යාපනේ කෙල්ලෝ සාරි ඇඳන් බයිසිකල් පදිනවා. හැබැයි ඒ බයිසිකලේ යන කෙල්ලට ඒ සාරියම පිටින් තරුපහේ හෝටලේක reception එකේ වාඩිවෙන්න බෑ, ඒ සාරිය පිටින් Sri Lankan crew එකේ ඉන්න බෑ. වෙනස් වෙන්න වෙනවා. 
IT field එකේ කාන්තා ප්‍රධානියෙක් සාරියක් ඇඳන් වැඩ කරද්දි ඒක ඒ පරිසරයට ගැලපෙන්නේ නෑ. රජයේ ආයතනයක කාන්තා ප්‍රධානියෙක් ත්‍රීපීස් ෆෝමල් කිට් එකක් ගහලා සාරි අඳින බහුතරයක් අස්සේ වැඩ කිරීම ගැලපෙන්නේ නෑ. Academic field එකේ සාරිය අඳින විදිහට බැංකුවක සාරිය අඳින්නෙ නෑ. Model shoot එකක වැස්සක තෙමෙන රංගනයකට අඳින විදිහට සාරිය බැංකුවකටවත් රජයේ ආයතනයකටවත් ගුරුවරියකටවත් අඳින්න බෑ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය, අපි පුරුදු වෙලා ඉන්න රටාව. සාම්ප්‍රදාය අතික්‍රමණය කරන්න කියලා අර උපාධි ලෝගුව යටින් ගවුම ඇන්ඳ නංගිට කරන්න පුළුවන් වුණෙත් පිංතූර දාලා 'අවධානයද මේ ඉල්ලන්නේ' කියලා අහගත්ත එක විතරයි. 

දැන් ඔය උඩ කිව්ව නොගැලපෙන යමක් ගුරුවරියකගේ සාරිය සම්බන්ධයෙන් මේ මෑතකදී වුණාද? 
හදිසියේම වෙනසක අවශ්‍යතාවය මතුවුණේ කොහෙන්ද? කාටද? ඇයි? 
බහුතරයට ඒක ඕනෑ බව දැනගත්තේ මොන පදනමකින්ද? 

අනෙක් අතට, 
සාරිය නෙවෙයි බිකිණිය ඇඳන් ආවත් ඉගැන්වීමේ ක්‍රමවේදයේ ඉඳන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලංකාවට අත්‍යාවශ්‍ය නැද්ද? 
ඒවා කොහෙන්ද කොහොමද පටන්ගන්න ඕන?

තව ප්‍රශ්න තියෙනවාද, ප්‍රශ්න?? 
#ලංකාවටමට්‍රැක්

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka #formalattire #teachers

Monday, October 31, 2022

අනී හමුවීම

ඒ හිතවතුනි, කොරෝනා කියා මාරයෙක් අප දෙස බලමින් තලු මරමින් ඉන්නා බවක  සලකුණක්වත් නැති BC (Before Corona) යුගය. සකලසිරින් පිරි සිරි ලංකාවේ අප ඒ වෙද්දී මාස්ලෝගේ පිරමීඩයේ උඩට කිට්ටු කරමින් හිටි නිසා සුපර්මාර්කට්වල එහෙම නිබඳ ජනගඟක් ඒ කාලේ ගැවසුණා. නිකංම නෙවෙයි, තල්ලු කරගන්නට අමාරු තරම් ගැල පටවාගත් කරත්ත එකිනෙකා හා තරග කරමින්.

මමත් එහෙම ගැල් තරගයකට මූණදීමේ අවධානම අරගෙන හන්දියේ කීල්ස් කඩේට ගොඩවුණේ ගොම්මංවෙලාවේ ගෙදර යනගමන්. කොහොමත් එදා ටිකක් වැඩිපුර කෝපිත් බීලා, හොඳ වැඩකොටසක් ගැන පෙරනිමිති දැකලා, බොහොම තෘප්තිමත් සතුටු මානසිකත්වයක හිටියේ. ඉතින්  අර ගැල තල්ලු කරාගෙන රාක්ක අතර සක්මන් කරද්දී මිත්‍රවරුනි මම දැක්කා මගේ පරණ මිතුරියක් ඉන්නවා. හරිම හැඩ ගෑණු ළමයෙක් මගේ ඒ මිතුරිය. අහල පහළම හිටියත් අපි බොහොම කාලෙකින් මුණගැහිලා තිබුණෙත් නෑ, සමාජ ජංජාලේ ඇරුණම. ඉතින්, මාත් අතක් ඔසවා 'හායිඊඊඊ' කියා ආචාර කළාම ඒ දැරිවිගෙත් අත එසවී මුහුණ කළඑළි වුණා. ඒ එක්කම එයාගේ ගැල ළග හිටි කාන්තාවක් මගේ හිසේ හිට දෙපතුල වෙනතුරු බලමින් 'කව්ද ඒ?' කියා කුටුකුටුවෙන් අහනවාත් මගේ තීක්ෂණ ඇසට අසුවුණා. මේ දැරිවිත් ඒ ගැල පසෙක දමා මා සිටි දෙසට නාරිගමනින් ඇදුණා එක ඇඟිල්ලක් කටේ ගසාගෙන. දැන් අපේ මේ ජවනිකාව දිග හැරෙන්නේ කීල්ස් ෆාමසිය පසුබිම් කරගෙන. ඒ දවස්වල කීල්ස් වන්දනා නොකර ගෙදර යන්නේම නැතිතරම් වත්කම් තිබූ නිසා කීල්ස් සේවක මණ්ඩලය මාව හොඳින්ම දන්නවා. ෆාමසියේ අන්කලුත් කණ්ණාඩි දෙක හදමින් කටත් බාගෙට ඇරගෙන මේ සිදුවීම බලා ඉන්නවා මට හොරැහින් පේනවා මිත්‍රවරුනි.

හැබැයි අර නාරිලතා ගමනින් එන ළමයා මගේ මිතුරිය වෙන්න බෑ කියලා අකුණක් කෙටුවා වගේ මට දැනීනොදැනී ගිහින් ලැජ්ජාවක සේයාවක් මගේ සුෂුම්නාව දිගේ ඩී එස් ගුණසේකර ගමනක් යනවා මට දැනුණා. මාත් ඉතින් දැන් මක්කොරන්ටද කියලා 'හායි, මම අර ඉස්සර වෑන් එකේ ගියේ' කියලා වැලීරියන් කඩුව එළියට ගත්තා. (ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිය ලැජ්ජාවක් වෙච්චි ගමන් කඩුව අතට ගන්නවනේ, ඒක කෙමක්)
(අර වෑන් කතාව වෙනම ලියන්න ඕන එකක්)
එතකොට මේ දැරිවි මෙතුවක් කටේ ගසාගෙන හිටි ඇඟිල්ලෙන් තමන්ටම තට්ටු කරන් "mmm... me, xxxx" කියලා තමන්ගේ නම කිව්වා. ඔව්, අර පොඩි ළමයි තමන්ව අඳුන්නලා දෙන්නේ. අන්න එහෙම.
දවස පුරා බිව් කෝපි මගේ දෑසින් වැගිරෙන්නට වගේ ආවා මිත්‍රවරුනි, මේ පණ්ඩිත මට වැරදුණා කියලා දැනිච්ච හැඟීමට!
කමක් නෑ ඉතින් වැරදීම දේව ගතියක්නේ. මම වහාම මනුස්සයෙක් හැටියට මගේ වරද නිවැරදි කරගත්තා බස බස ගාලා එළියට ගත්ත කඩුවෙන්ම 'සමාවෙන්න මම හිතුවේ මගේ යාලුවෙක් කියලා. ඔයා ඒ වගේමයි. ආයෙමත් සමාවෙන්න' කියලා. මිල්ටන් මහත්තයා පවා එහෙම කියලා තියෙනවනේ,
'තරහා වනු එපා අයදිමි මා සමා
ඔබ හා මා කතා කළේ
මාගේ යෙහෙළියකැයි සිතා
ඔබ ඈ වාගේමයි' කියලා!

ඉතින් මේ දැරිවි බොහොම සුන්දරව හිනාවෙලා 'ආ ඒකට කමක් නෑ' කියලා පිළිගත්තට මට බැල්මක් දීගෙන ටික වෙලාවක් බලා හිටියා ' ඇත්තටම ඔයා මාව දන්නේ නැද්ද ගෑණියේ' වගේ. ඒක නම් කමක් නෑ. ගැල පිටිපස්සේ හිටපු එයාගේ වැඩිහිටියා මා දිහා රවාගෙන හිටි හැටියට එතනින් ඉක්මනින් මාරුවීම හොඳ බව දැනිලා මම ගැල තල්ලු කරගෙන වෙනත් රාක්ක පේළියක් අස්සට වැදී සැඟවී ගියා.

ඒ අතර කීප සැරයක්ම මට ඒ දැරිවිව මුණ ගැහුණා. කොයිතරම් නම් සුරතල්ද කියනවා නම් තේකොළ රාක්කෙ උඩ තියෙන එකක් ගන්න උස මදිකමට මාලු කපමින් උන් කීල්ස් කාර්යමණ්ඩලය එක්කං එන්න තරම්. ඒකත් අර ඇඟිල්ල කටේ ගසාගෙන 'අනීඊඊ මේ අන්න අරක අරන් දෙන්නකෝඕඕ' කියලා. එහෙම කියද්දී කාටද මොන හිතකින් ද බෑ කියන්න පුළුවන් නේද?
ටික වෙලාවක් එහෙම ජවනිකා දිගැරෙද්දි මට ආයෙත් අකුණක් කෙටුවා වගේ මතක ඡායාවක් ආවා මේ දැරිවි ප්‍රසිද්ධ මාධ්‍යයේ දැක්කදෝ මන්දා කියලා!!

මම ගෙදර එනකොටත් ඒ දෙපළ කීල්ස් දොරටුව ළග හිටන් හිටියා, වැඩිහිටියා ඒ වනතුරුත් අචල රැවීමෙන්!

ගෙදර ඇවිත් ලයිව් ඇට් 55 දුන්නම මිත්‍රවරුනි හරියටම සාක්ෂාත් කරගත්තේ අනී මම වැරදිලා කතා කරලා තියෙන්නේ නිළියකට කියලා! 🤦‍♀️🤦‍♀️🤦‍♀️ කව්දෑ ඉතින් දන්නේ නේද. 🤷‍♀️🤷‍♀️🤷‍♀️
:
:
:
:
:
:
:
:
ප. ලි. ඈ කව්දැයි කියා විමසීමෙන් වළකින්න. කියන්නේ නෑ නෑ නෑ නෑමයි😜

~✒️ තනියා

#AW #thaniya #medusasjournal #බයිට්කතා

Tuesday, October 25, 2022

ප්‍රතිලෝමව සමානුපාතිකයි!

ධනය ඇති තැන මොළය නැත, 
මොළය ඇති තැන බලය නැත, 
ධනයද බලයද දෙකම ඇති තැන මොළයද මිනිස්කමද යන දෙකම නැත!

බහුතර අලුත් සල්ලිකාරයන්ට සහ ඔවුන්ගේ ඊළඟ පරම්පරාවටමොළේ  නෑ, මනුස්සකමත් නෑ, සල්ලාලකමයි බේබදුකමයි තකතීරුකමයි තමයි තියෙන්නේ. ඕක තමයි ලංකාවේ සාමාන්‍ය තත්ත්වය. ඉතාමත්ම කලාතුරකින් එහෙම නොවිච්ච තැන් තියෙනවා, ඒ සමහරවිට පවුලේ හැදියාව අනුව. ලංකාවේ ඕනතරම් උදාහරණ තියෙනවා.

ලංකා සමාජයේ බහුතරය දුවන්නේ සල්ලි දිහා බලාගෙන. බුද්ධිමත්කම දිහා බලන් දුවන්නේ දේශපාලනේදී වාසිගන්න හදන විකල්ප බලවේග විතරයි, ඒකත් නමට! 😅
එතකොට සල්ලි නැතත් තියෙන බව නොපෙන්නුවොත් සමාජෙන් කොන්වෙන නිසා සකල ශ්‍රී ලාංකිකයාට ඕන සුද්දෙක්ගේ වැසිකිළි කැසිකිළි හෝදලා හරි සල්ලි ඇතිබව පෙන්වන්න! නැත්නම් කුඩු විකුණලා, හොර අරක්කු පෙරලා, සූදූ පිටි/බූරු පිටි කරවලා, ගණිකා නිවාස කරවලා හරි සල්ලි හොයන්න! තියෙන බව රඟදක්වන්න. ඒ වගේ සමහර නයි කතා අහන් ඉන්නකොට මුචලින්දලාගේ කිරිකිත්තලත් පරාදවෙලා පෙනේ පාත් කරගෙන හැංගෙනවා, කැළණි ගඟේ😅 ඒ සල්ලි ආවේ කොහොමද, ඒවා කලුද සුදුද කියලා කිසිම කෙනෙක් හොයන්නේ නෑ. මොකද සල්ලි පස්සෙ නිරායාසයෙන්ම බලයක් අපේ සමාජයම හදලා දීලා තියෙනවා. 

මිනිසුන්ට අමතක වෙන දෙයක් තමයි බලෙන් පුම්බලා පෙන්නන්න හදන හුගක් දේවල් ඇත්තටම නැතිබව. ඒ එක්කම මුල පටන් තිබ්බ මිනිසුන්ට ඒක අතිශය සාමාන්‍යකරණය වෙලා විශේෂයෙන් කියන්න, රඟන්න, නටන්න අවශ්‍යතාවක් නැතිවෙන බව. අනෙක සල්ලිවලට වැදගත්කම ගන්න බැරිබව. 

දැන් මේ යාලට පැනලා ඩෙගා නටපු පිරිසෙත් මට පේන්නේ ඔය සංසිද්ධියම තමයි. ලංකාවේ ධනය, බලය එක්ක මුග්ධකම අනුලෝමව සමානුපාතිකයි. වාහන භාවිතාව ඒකේ එක කියැවීමක් (parameter එකක්). නිකමට තමන්ගේ අත්දැකීම්වලින් බලන්න. නන්නත්තාර වෙලා හිටපු මනුස්සයෙක්ට එක සැරේ සල්ලි ලැබෙනවා. එතකොට ඒ මනුස්සයා ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? ඉගෙනගෙන නැත්නම් ඉගෙනීමක් කරන්න පටන්ගන්න එකද නැත්නම් වාහනයක් ගන්න එකද? ලංකාවේ වාහන මාකට් එකේ පර්යේෂණයක් කරලා බැලුවා නං අධිසුඛෝපභෝගී වාහන සමහරක්, ජනප්‍රියවම Prado, Montero, Range Rover, Defender ගන්න පාරිභෝගිකයන්ගේ පසුබිම ගැන, මේ කතාව තහවුරු කරගන්න පුළුවන් වෙයි. Jeep/SUV වර්ගයට පට්ට ආස මිනිස්සු ඉන්නවා, ඒක passion එකක් කරගත්ත මිනිස්සු ඉන්නවා. මේ කතා කරන්නේ ඒ අතලොස්ස ගැන නෙවෙයි. වාහනෙන් හැකියාව, තරාතිරම පෙන්නන්න පුළුවන් කියලා අන්ධ විශ්වාසයකින් සහ ආකල්පයකින් වාහන ගන්න මිනිස්සු බහුතරය ගැන. නිකමට ඔය විලාසිතා මන්දිර, සුපිරි වෙළෙඳසල් වගේ තැන්වල වාහන නැවතුමක් නිරීක්ෂණය කරන්න. බොහෝ අවස්ථාවල වාහනය දැක්කම හිමිකරු සහ මගීන් ගැන කරන උපකල්පන හරියටම හරියන අවස්ථා තියෙනවා. ලංකාවේ අපි අපිට හැංගිලා ගැහුවට මූණට මූණ අභියෝග කරන්න එහෙම බය ජනසමාජයක් නිසා ඔය වගේ පර්යේෂණ කරලා නැතුව ඇති. ඔන්න සමාජ විද්‍යාර්ථීන්ට කරනවා නං කරන්න වැඩක්😉

හරි ඒ කතන්දරේ පැත්තක තියමුකෝ. 
දැන් මේ වාහන 35 කාගේද? නීති කඩාගෙන කඩාගෙන ගිහින් නීතියේ දෙවඟනට වස්ත්‍ර ඉල්ලේ කරන්න තරම් හයිකාරයෝ නැතිකරපු, ගිනිතියපු, මරපු, ගෙදර යවපු රටේ මේ කව්ද මොනවද කරන්නේ? නම්ගම්, හැඳුනුම්පත් අංක, වාහන අංක තියෙනවා නම් ඇයි ඒවා මාධ්‍යවලින් ප්‍රසිද්ධ නොකෙරෙන්නේ, ප්‍රියමාලිගේ ලැයිස්තුවකුත් සංසරණය වෙච්ච සමාජ මාධ්‍යවලත් තාම නම් නෑ මේ ලැයිස්තුව. ඇයි? 
වනජීවීන් සංරක්ෂණය, පරිසර සංරක්ෂණය ගැන දැඩි උනන්දුවක් දක්වපු/දක්වන ඔක්සිජන් දේශපාලන බලවේගත් තාම නිහඬයි. ඇයි?
කාගෙ හුණුද මේ කිල්ලෝටේ ඇත්තේ? 
මේකත් නිකංම යටපත් වෙලා යාවිද? 
යාල එක්ක ආත්මයෙන්ම බැඳිච්ච සජිත් ප්‍රේමදාසත් නිශ්ශබ්දයි. ඇයි? 
මේකත් රාජපක්ෂලාගේ වැඩක්ද? එහෙනම් අරගලය අසාර්ථක වුණාද? 

එතකොට යාලට සරණක් ඇත්තටම නැද්ද? 
 
~✒️ Aash Weerasinghe

#justiceforyala #lka

https://youtu.be/ZgYIFcLuma4

Tuesday, October 18, 2022

හිතුවක්කාරී (2022) - ITN

2022 ඔක්තෝබර් 18දා සිනමාවේදීන් සමූහයට

මාස කීපයකට කලින් youtube සරනකොට ITN නාලිකාවේ යන කතාවක කොටසක් හම්බුණා. විචිත්‍රවත් වර්ණ හින්දයි පොඩි තරුණ vibe එකකුයි ආව හින්දා බැලුවම මුල් කොටසේ ඉඳන්ම බලන්න ආසාවක් ඇතිවුණා. කතාවේ නම 'හිතුවක්කාරී' 😬

සාමාන්‍යයෙන් හැම නාට්‍යයක්ම බැලෙන්නේ නැතිවුණාට ෆිට් එකක් හම්බුණොත් නිදි කිරමින් හරි බලන කැත පුරුද්දක් මට තියෙනවා. ඒක Fringe season පිටින් එක දිගට බැලීමෙන් ඇතිවෙච්ච කැත පුරුද්දක් 😁

ITN එක මම හිතන්නෙ සාපේක්ෂව ගුණාත්මක භාවය බලනවා තාම නාට්‍ය තෝරද්දි. අනිත් නාලිකාවලට සාපේක්ෂව. මට එහෙම නාට්‍ය කීපයක් හම්බවෙලා watch later දාං ඉන්නවා දැං සෑහෙන්න කාලයක් කාලවෙලාව හොයාගන්නකල්.

'හිතුවක්කාරී' මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ තිර රචනයක්. කමෙන්ට්ස්වලින් දැනගත්ත හැටියට විජය සේතුපති රඟපාන Kadhalum Kadanthu Pogum කියන දමිළ චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන බවයි පේන්නේ. හැබැයි ඒ චිත්‍රපටය තැනින් තැනින් බැලුවම මට හිතෙන්නේ මේ නාට්‍යය චිත්‍රපටයට වඩා හොඳ තැනක තියෙනවා කියලා. 

එමාෂා සහ සාරාංග ප්‍රධාන චරිත රඟපාන මේ කතාවේ කතා නොකරම බැරි චරිතය ජයන්තදාස් නැත්නම් ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා රඟපාන චරිතය. සැරපරුෂ, නීතියට වැඩකරන තාත්තෙක් වුණාට හැම තාත්තෙක්ම නියෝජනය කරන ඒ චරිතයට උපරිමම සාධාරණයක් ඉටුවෙලා තියෙනවා. ඒ චරිතය දැක්කම එතන ඉන්නේ ජයන්තදාස්වත් ශ්‍රියන්ත මෙන්ඩිස්වත් නෙවෙයි තමන්ගේ තාත්තා කියලා ඕනම කෙනෙකුට දැනෙන්න රඟපානවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. නිතරම මම දකිනවා ගොඩක් අය කමෙන්ට්ස්වල තමන්ගේ තාත්තා මතක්වෙලා සංවේදී වූ බව ලියලා තියෙනවා❤️ පළිඟු මැණිකේ නාට්‍යයේ හිටිය නාහෙට නාහන තරුණයා කොච්චර නං වෙනස්වෙලා ද කියලා පුදුමයක් දැනෙනවා.  කාලය ගතවන ඉක්මණ.

මම පෞද්ගලිකවම නම් එතරම් ප්‍රියතාවයක් හෝ විශේෂත්වයක් නොදැරුවත් සාරංග දිසාසේකර ධනාගේ චරිතයට උපරිම කැපවීම දෙනවා. ඒකේත් හොඳම ටික ඒක නෙවෙයි. නාරද දිසාසේකරගේ ගීත බොහොමයක් සාරංග මේ චරිතය තුළ ගායනා කරනවා. ඒ ටික ඉතින් ආයෙ පංකාදු පහයි! 👌❤️

සුන්දර එමාෂා නවක නිළියක් වුණත් මේ රන්මිණි හැටියට කරන රඟපෑම හොඳටම හොඳයි, ස්වභාවිකයි. හැඟීම් නිරූපණයත් ඉතාම හොඳ මට්ටමක තියෙනවා. මේ නාට්‍යයට ගිවිසුම් අත්සන් කළ එකම නුවණැති තීරණයක් කියලා තමා මට හිතෙන්නේ. 
සාරංග එමාෂා දෙන්නගේ තිරයේ ගැලපීමත් ඉතාමත්ම හොඳයි කියලා හිතෙනවා. 

නැන්දගේ (චාන්දනී) චරිතයත් ආයෙ ඉතින් නැන්දම තමයි😂 චරිතයක් කියල නොදැනෙන තරම් හොඳට ඒ රංගන ශිල්පිනිය රඟපානවා. පොඩි දැරිවිට නං සෑහෙන්න විවේචන එල්ලවෙනවා වයසට නොගැලපෙන හැසිරීමක්, කතා විලාසයක් සහ අප්‍රසන්න චරිතයක් කියලා. මං හිතන්නේ අද දකින්න ලැබෙන සමහර ළමයින්ගේ හැසිරීම තමයි ඉතින් ඒ පෙන්නුම් කරන්නේ කියන එක. ඒක කොයිතරම් අප්‍රසන්න ද කියලා ඔහොම දකිද්දී තේරුම් ගියාට ඇත්තටම සිද්ධ වෙද්දී ඇස් කණ් නාසා පියාගෙන ඉන්න දෙමව්පියන්ට දුන්න අවවාදයක් වගේ දැනෙන්නේ. දරුවෙක් හැටියට ඒ චරිතයට ඈ වෙනුවෙන් එකඟවෙන්න ඇත්තේ වැඩිහිටියො වෙන්න ඇති, ඒ අරගෙන තියෙන්නේ ලොකු අවධානමක්. සම්පූර්ණ ප්‍රේක්ෂක ප්‍රතික්ෂේපවීමකට දශම ගාණක වෙනසක් තියෙන තරමට හොඳ රඟපෑමක් ඒක. 

කාන්ති අක්කාගේ චරිතයත් කතා නොකරම බැරි තරම් හොඳ, තාත්වික රඟපෑමක්. ඒ රංගන ශිල්පිනියගේ නමත් දන්නේ නැහැ, මීට කලින් නම් දැකලා නැහැ. සමහරවිට වෙනත් නිර්මාණවල හිටියද දන්නේ නැහැ. කොහොම වෙතත් තව නිර්මාණවල දකින්න වටිනා කෙනෙක්. 

සමස්‌තයක් විදිහට ගත්තම ප්‍රධාන චරිතවල ඉඳන් සුළු චරිත වෙනකල්ම අධ්‍යක්‍ෂවරයා විසින් හොඳට හසුරුවා තියෙනවා. කෘත්‍රිම ගතියක් නොදැනෙන තරම්. ඒ චරිත රඟපාන හැමෝමත් සමස්තයක් විදිහට තාත්වික රඟපෑමක් කරලා තියෙනවා💐 

කතාවේ දෙබස් ගැන නං නොකියා බෑ. අධි- බොළඳ වෙන්නෙත් නැතුව අධි-බැරෑරුම් වෙන්නෙත් නැතුව හරි ගාණට සමබරව දෙබස් ලියැවිලා තියෙන්නේ. හිනාවෙන්න තියෙනකොට හිනාවෙන්න වගේම අඬන්න තියෙනකොට ඇඬෙන්න දෙබස් ලියලා තියෙනවා.

ඒ ඇරෙන්න පසුබිම් සංගීතය😂 මුලදි නම් මොන විකාරයක් ද කියලා හිතුණට කතාවේ ගලායාම එක්ක ඒකත් ගැලපිලා යන හින්දා ඒක වෙනම රසේකුත් එකතු කරනවා. 

දැන් නම් කතාව අවසන් වෙලා. ඒත් youtube එකේ සේරම කොටස් තියෙන නිසා නිවීසැනසිල්ලේ බලන්න පුළුවන් වෙයි කැමති කෙනෙකුට.💐
ආ මේ ළගදි මම දැක්කා කෝච්චියේ මගෙ එහා පැත්තෙ වාඩිවෙලා හිටිය තරුණයෙකුත් කතාව ජංගමයාගෙන් බලනවා😇

~✒️ Aash Weerasinghe

Tuesday, October 11, 2022

මිනිස් පළිහ සහ ප්‍රබාකරන් පැටව්

"අපි හැමදෙයක්ම කරන්නේ දරුවන් වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්!" නිතරම ඇහෙන කතාවක්. හැබැයි මේක ඇත්තටම එහෙමද?
පහුගිය කාලේ ඇතිකරපු (ඇතිවෙච්ච කියන්න බැරිබව දැන් දැන් තේරුම් යන නිසා) අරගලේ අස්සෙ දරුවා තරම් අවභාවිත වුණ මිනිස් පළිහක් තවත් තිබ්බේ සිවිල් යුද්ධේ අන්තිම කාලේ ප්‍රභාකරන් විසින් සිවිල් වැසියන් අවභාවිත කළ අවස්ථාවේ වෙන්න ඕන.

අරගලේ පළවෙනි දවසේ මිරිහානට දරුවො කරපින්නාගෙන ඇවිත් ඉටිපන්දමක් පත්තු කළහම ඒක විහාරමහාදේවි කතාවක් කරගෙන, රූප අඹාගෙන හදාගෙන ජාත්‍යන්තරේ අවධානය ගන්න කරපු වෑයම සාර්ථක වුණ හින්දා ඊටපස්සේ ඉඳන් යන හැම එකටම දරුවො ඉස්සර කරන් යන්න විතරක් නෙවෙයි මේ වසංගත අස්සේ අලුත උපන් කිරිකැටියොත් කරපින්නාගෙන ඇවිත් මාධ්‍ය සංදර්ශන තියන්න තරම් රැඩිකල්වාදී දෙමව්පියන් ඉන්න රටක් මේක! හයක් හතරක් නොතේරෙන දරුවගේ අතට ජාතික කොඩිය දීලා තමන්ට අවශ්‍ය දේශපාලන කතාව කියවන ගිරව් හැටියට තමන්ගෙ දරුවා/දරුවො භාවිතා කරපු, දේශපාලන අතකොළු බවට පත් කරපු 'අතිමානුෂීය' දෙමව්පියන් ඉන්න රටක් මේක!
ඒ වගේ යුතු/අයුතු ජනරාශියක් අස්සෙ කඳුළුගෑස්, ගුටිබැට, අනතුරු රාශියක් සිදුවන බව දැනදැන ඊට ඇති ඉඩකඩ දැනදැන තමන්ගේ දරුවන්ව හිතාමතා අනතුරකට ලක් කරපු නූතනවාදී, අධිමානුෂීය, සර්වසාධාරණ පරම්පරාවක් ඉන්න රටක් මේක! 
මතක ඇතිනම් පොල්දූව හන්දියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් වෙලාවක තමන්ගේ දරුවට හුස්මගන්න බැරිවුණා කියලා ප්‍රචණ්ඩව හැසිරිච්ච තාත්තා. දරුවට ප්‍රථමාධාර දෙනවා වගේම ඔය ඇත්ත තේරුම් ගන්න තරම් අවබෝධයක් තිබ්බ ප්‍රායෝගික මිනිහෙක් එතන හිටියානම් දැනදැන දරුවාව අනතුරුදායක තැනකට ගෙනවිත් දරුවාගේ අනුමැතියකින් තොරව තමන්ගේ දේශපාලනයේ ආයුධයක් කරගත්ත ඒ තාත්තටත් ගැලපෙන ප්‍රථමාධාරේ දෙන්න තිබ්බා! හැබැයි ඉතින් එක ජාතියේ කපුටු රංචු අස්සේ මොණරු හොයාගන්න බෑනේ. ඔය එක සිදුවීමක් විතරයි. 

ඒත් ඉතින් අපි කතාකරන්නේ දරුවාගේ ආරක්ෂාව, අනාගත සුරක්ෂිතබාවය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ (වඩා විහිළු සහගත ලෙස) තවකෙකුට ඇති ස්වාධීන මතයක් දැරීමේ අයිතිය තහවුරු කිරීම වගේ ලොකු කතන්දර. එන්ජීඕමය තෘප්තියක් ගෙනදෙන 'ජාත්‍යන්තර කතන්දර'! 

දිනපතා පෙනී හෝ නොපෙනී දරුවන් සියගණනක් කායික, මානසික හිංසනයට, අතවරයට, අඩන්තේට්ටම්වලට, අවභාවිතයට ලක්වෙන රටක ඉතාමත් ප්‍රසිද්ධියේ, කෘත්‍රිමව නිර්මාණය කරන ලද නමුත් ඒ බව නොපෙන්වන "දේශපාලනික අරගලයක" දරුවා කියන බාලවයස්කාර ප්‍රාණියා තමන්ට හයක් හතරක් අවබෝධයක් නැති දේශපාලන න්‍යාය පත්‍රයක, තමන්ගේ අනුමැතියකින් තොරව පළිහක් විදිහට භාවිතා කෙරෙනවා, තමන්ගේම දෙමව්පියන් විසින්! එතකොට දරුවා තමන්ගේ බූදලයක්යැයි සලකන සාම්ප්‍රදායික මතය අභියෝගයට ලක්කරන නූතන දෙමව්පියනුත් තාම ඉන්නෙ ඒ හණමිටිය කරපින්නාගෙන නෙවෙයිද, සංකල්පමය වශයෙන් විතරක් නෙවෙයි භයානක විදිහට ප්‍රායෝගිකව? 

දැන් මේක සාධාරණීකරණය කරන්න උත්සහ කරන මිනිස්සු කියාවි දරුවා වෙනුවෙන් පෙනී සිටියේ, දරුවො වෙනුවෙනුයි මේවා කළේ, උන්ට අනාගතේ හදන්නයි මෙහෙම කළේ, උන් මේ ඉතිහාසය දැනගන්න ඕන හින්දයි ගෙනිච්චෙ වගේ බයිලාමය හේතු. දරුවාගේ අනාගතය හදන්න නම් දරුවා ඉස්සෙල්ලම ආරක්ෂිතව වැඩිහිටි වයසට අවතීර්ණ වෙන්න ඕන! තමන්ගේ වටාපිටාවේ සිද්ධවෙන දේ ගැන තාර්කිකව හිතාබලන්න හැකියාවක් තියෙන්න ඕන (අලුත උපන් දරුවන්ට, අතදරුවන්ට, බාලවයස්කාරයන්ට ඒ හැකියාව එනවා නම් ලෝක පුදුමයක් වෙන්න ඕන, සාමාන්‍ය දරුවන්ට එහෙම නෑ නමුත් මේ නූතනවාදී රැඩිකල්වාදී දෙමව්පියන්ගේ ජානමය විශේෂත්වයක් නිසා ඔවුන්ට දාව ඒ වගේ සුවිශේෂී දරුවො ඉපදිලාද දන්නෙ නෑ!). අඩුම තරමින් සිරීමක් නොවෙන තරමට දරුවන් 'මල්' වගේ සලකන දෙමව්පියන් මිනිස් ගුලාවක පෑගීමට, පොඩිවීමට, තෙරපීමට තමන්ගේ දරුවා ලක්කරාවිද කොයිතරම් අසාධාරණ අන්තිම සටනකදී වුණත්? දරුවො ඉන්න අයට පුළුවන් ඒක තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න! ජාතික එකෙන් අහන්න යන්න එපා, එයාලා හයහතරක් නොතේරෙන දරුවො ඉස්සරහදී දෙමව්පියන් කපා කොටා වෙඩි තියා මරාදැම්ම, පැහැරගෙන ගිය ත්‍රස්තවාදයක හිටපු බව අමතක වේවි! 

ලෝකේ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම, ගැටුම්කාරී තත්ත්වයකදීම දරුවා වෙළඳ භාණ්ඩයක්, දේශපාලන අතකොලුවක්, ඉත්තෙක්, බූදලයක් බවට පත්වෙනවා. බොරුනම් මැදපෙරදිග කලාපයේ යුධ ආවරණය බලන්න! ඒක තමයි ගැහැණුන්ට වඩා අවධානය ගන්න තියෙන සාර්ථකම ක්‍රමය! 
වැඩේ තියෙන්නේ අද ලංකාව වගේ සුන්දර සාධාරණ සමාජයකත් ඒක එහෙම වෙන එකයි! බලන්න ඒකෙත් හැටි ඉතින් 😏

Sunday, October 2, 2022

දර්ශනයෙන් වියැකි දර්ශන්

2022 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ හෙළ රිදී තිරය සමූහයන්ට. 

මැරිච්ච මිනිසුන්ට තරම් ජීවත්වෙන මිනිස්සුන්ට මල් ලැබෙන්නේ නෑ! මැරුණට පස්සේ ලැබෙන ආදරෙන් කළඳක් ජීවත්වෙද්දි ලැබෙන්නේ නෑ!

දර්ශන් ගිහින්. 
මහා රලු ගොරෝසු කටහඬකින් කැඩි කැඩි සිංහල කතා කරපු දර්ශන් යන්න ගිහින්. ලස්සන සුකොමළ කඩවසම් වීරයො පහුකරගෙන ගමනක් යන්න හිටිය රලු පෙනුමැති දර්ශන් යන්නම ගිහින්.
දැන් හැමෝම දර්ශන්ට ආදරෙයි. හැමෝටම දර්ශන් පොරක්,අතිවිශිෂ්ට රංගධරයෙක්, සුපිරි චරිතයක්. ඒත් ඒ ආදරේ, ප්‍රශංසා, වර්ණනාවලින් දශම ගාණක් වෙන්නැති දර්ශන් ජීවත්වෙද්දි විඳින්න ඇත්තේ! ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි අපිට ඒක වෙනස් කරන්න බැරිද?
අවුරුදු 41ක් කියන්නේ මැරෙන්න වයසක් නෙවෙයි. එතකොට දර්ශන්ගෙ රලු හඬ පිටිපස්සෙ හැංගිච්ච රහසුත් ඒකට හේතු වෙන්න ඇති. අපරාදේ.

අපි ආස චරිත මැරුණම ඒගොල්ලො සදා අමරණීයයි කියලා අපි බැනර් ගහනවා. එයාලට පේන්නේ නෑ.
පෙට්ටි බදාගෙන, සිහිසුන් වෙනකල් එතෙක් කල් ජීවත් වෙච්චි මනුස්සයට නොකිව්ව ආදරේ කියකියා වැලපෙනවා. මිනියට ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ නෑ.
ඉන්නකල් නින්දා අපහාස කරන මිනිස්සු මැරුණට පස්සේ අවසන් ගෞරව දක්වනවා. මිනියට සතුටක් දැනෙන්නේ නෑ.
ඉන්නකල් කරපු කිසිම හොඳක් නොදැක්ක මිනිස්සු මරණ ගෙදර ගුණකථන කරනවා. ඒ මැරුණේ මිනිහෙක් නෙවෙයි දෙවියෙක් තරමට ගුණ වයනවා. මිනියට ඇහෙන්නේ නෑ.
ටික දවසක් යද්දී අපිට ඒ ඔක්කොම අමතක වෙනවා. පළවෙනි දවසේ වල වටකරන මල්වඩම්, දුක්මූණු ටික ටික වාෂ්පවෙලා අතීතෙට එකතුවෙනවා. ඉඳලා හිටලා දවසක කොහෙහරි කව්රු හරි අහවලා මැරුණනේ, අපරාදේ කියනවා. තව කෙනෙකුට එහෙම දෙයක් වෙච්ච බවක්වත් නිච්චි නැතුව යනවා. 

ආයෙමත් තව කව්රු හරි යන්න යනකල් අපි ජීවත් වෙන්න ආදරේ කරන අයව කැපකරනවා. කාලය නෑ, කාලය නෑ කියලා එහාට මෙහාට දුවනවා. 
ආයෙත් කව්රු හරි ගිය දවසට එයාලට ආදරේ පානවා, වැලපෙනවා, කම්පාවෙනවා. 
ඕක තමයි අපි අපිට දෙන වටිනාකම. 

දවසක අපි හැමෝම ඔය ගමන යනවා. හැබැයි ඒ යන්න ඉස්සර වගේ වයස විතරක්ම බලපාන්නේ නෑ. අපිට අපි මුණගැහුණම ගණන් නොගෙන ඉන්න පුරුදු වෙලා නිසා ඔය වගේ දෙයක් වුණාම කම්පාව වැඩියෙන් දැනෙනවා. 
එහෙම නොවෙන්න අපිට බැරිද අද අපි අනෙකාව දකින අන්තිම මොහොත වෙන්නත් පුළුවන් කියලා ඔලුවේ තියාගෙන ජීවත් වෙන්න. සමහරවිට එතකොට අර අපි අර රාමු කරන්න හදන ලෝකේ ඊටවඩා ලස්සනට ඉබේම හැදෙන්න පුළුවන් නේද? 

දර්ශන්ලා හැමතැනකම ඉන්නවා. යන්න දීලා ගියායින් පස්සෙ මොනව කළත් ආපහු හරවන්න බැරි යාත්‍රාවකට ගොඩවදිනකල් පසුතැවීමට හේතු හදානොගෙන ඉන්න බලමු. 
දුකයි දර්ශන්❤️
ඔයා මෙහෙ ඉන්න ඕන මිනිහෙක්. කමක් නෑ එතෙරවෙන්න. ආයෙමත් මේ චක්‍රයේ කොටසක් නොවී ඉක්මණට එතෙර වෙන්න. 
සුබ ගමන්.💐

~✒️ Aash Weerasinghe

ඉලක්කං වයස!

200 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට. 

Sharmaji Namkeen (2022)
IMDb 7.6/10
Genre: Drama

"Today's generation has become very smart and practical. For them every relationship is like a ladder, which they climb to get ahead in life. And when the ladder becomes useless they just throw it awa..."

"Last scene of the film 'Baghban'. They should make it compulsory in schools and colleges. It's a life lesson."

"How do you guys do it all day? I'm losing my mind. How much do I walk around and watch TV? It's been six weeks and the story if the TV show is also stuck at the same point."

"Sharma, you need to throw your watch in the gutter. This is how retired life is. Slow and long. You'll get used to it."

"I don't want to man. Is it a compulsion?"

"Mr. Sharma, What's the issue here? The government must have put some thought in deciding the retirement age, right?"

"Does the brain stop functioning at 58? Amitabh Bachchan is still acting, he's 78. And do the big industrialists sit at home after 58? Nonsense."

අවුරුදු 31ක් එකම ආයතනයක, ආසාවෙන් අවංකව වැඩ කරපු මනුස්සයෙක්ට පුළුවන් ද විශ්‍රාමය ලේසියෙන් දරාගන්න? මුළු දවසම නිකමෙක් වගේ එක තැනකට වෙලා ඉන්න? පොඩි පොඩි අමාරුකම් ඇඟට දැනුණට, බඩ වැඩිහරියක් වේලීමයි බුරුබුරු ගෑමයි කියන අන්ත දෙක බදාගෙන හිටියට, දණිස් පොල්කටු ටිකක් ක්රීං ක්රීං ගෑවට හිතේ හයිය එහෙමම තියෙන මුලු ජීවිත කාලයම ක්‍රියාශීලි වෙච්චි මනුස්සයෙක්ට පුළුවන් ද එහෙම ලේසියෙන් සෙටියක දවසම වාඩිවෙලා නානාප්‍රකාර ටීවී වැඩසටහන් බලමින් කාලෙ කන්න?

ශර්මා මහත්තයත් හිතුවෙ එහෙමයි. ඒත් ශර්මා මහත්තයාට ඕන දේවල්, ආස දේවල් කරන්න බැරිවිදියට පවුලයි සමාජයයි බයිලා අකෘති හදාගෙන ඒවට අනුගත වෙලා ජීවත් වෙන්න උත්සාහ කරමින් හිටියේ. වැන්දඹු තාත්තෙක් හැටියට වෙනදා දරුවන්ට කෑම හදලා කවලා පොවලා ඉස්කෝලෙ යවලා වැඩට ගිහින් ඇවිත් ආයෙත් උයලා කවලා පොවලා work-life balance එක තියාගත්ත ශර්මා මහත්තයාට පුළුවන් ද උදේට උයලා පිහලා දරුවො වැඩට/ඉස්කෝලෙට යවලා ආයේ හවස උන් එනකල් ගෙදරට වෙලා බුකවගෙන ඉන්න?

අපි හැමෝම වැඩ කරද්දි, කාර්යබහුල වෙද්දී හිතනවා අයියෝ මේ කරුමේ ඉවර වෙලා නිදහසේ ඉන්නේ කවද්ද කියලා. ඒ කරුමේ ඉවරවුණාම අයියෝ මේ කම්මැලිකම ඉවසගන්නේ කොහොමද කියලා තැවෙනවා. මම බොහොම ළගින් දැකලා තියෙනවා අපේ සීයාගේ විශ්‍රාම ජීවිතය ගෙවිච්ච හැටි. වැඩි කතාබහක් නැති මහා ආඩම්බරකාරයෙක් වුණ සීයා අන්තිම කාලේ ගෙදරට හැරෙන මහ පාරේ තිබ්බ වින්කලයක පවා නැවතිලා රටතොට ගැන පැය ගණන් කතාවක් දාගෙන ඉඳලා එන්න පටන් ගත්තම අපි ඉතින් හොඳටම හිනාවුණා. සීයට දවස ගෙවාගන්න ඕන වුණේ වැඩ, වැඩ, වැඩ! . විශ්‍රාම ගියත් පරණ පුරුද්දටම පාන්දර ඇහැරගෙන, අපිවත් කෑගහලා ඇහැරවලා, බුදුන් වැඳලා, තේ බීලා, මිදුල් අතුගාලා, දවසෙ පත්තර බලලා (ඒ දවස්වල පත්තර බිල ලයිට් බිල වගේ. සේරම පත්තර එනවා), ලිපි මොනවහරි ලියලා, හවස් වෙද්දි බොරුවට කඩේ යනවා. ඒ ගිහින් එද්දි කැඩිච්ච පාරවල්, බෝක්කු අරක මේක ගැන වෙච්චි කතා අනුව ඒවට ලියුම් ලියන්න, පරණ මිත්‍රයන්ට කතා කරලා වැඩ කරවගන්න වගේ සමාජ සේවා වැඩත් හොයන් එනවා. අපි ඕපයක් කිව්වත් අපිට රැව්ව ගෙරෙව්ව සීයා එහෙම වෙලාවක අහන්න ලැබිච්ච ඕපත් ඉතින් හවස තේ බොනගමන් කියලා අම්මගෙයි ආත්තම්මගෙයි හිනාවට ලක්වෙනවා. ඒ වැඩ මුකුත්ම නැත්නම් දෝණි, ඒ කිව්වේ අපේ අම්මා එක්ක කුමන්ත්‍රණය කරලා රහස් මන්ත්‍රණ කරලා වත්තේ තියෙන ගහක් කප්පවලා, මොකක්හරි වෙනසක් කරවලා ආත්තම්මව අවුස්සගෙන බැණුම් අහනවා. ඊටපස්සේ රෑට ඕගන් එක ගහමින් සිංදුවක් කියලා එහෙම නිදාගන්න යනවා.(සීයාගෙ පුතාලා එහෙම අමද්‍යප නොවුණට සීයා සම්පූර්ණයෙන්ම අමද්‍යප කෙනෙක්, මැරෙනකල්ම ඒ ප්‍රතිපත්තිය කඩ නොකළ) ඒ එක්කම ඉතින් ඕන එකයි එපා එකයි හැම එකම ප්‍රශ්න කරනවා. මට ඉස්සර තරහත් යනවා. දැන් ටිකක් තාත්තාත් ඒ වගේ වේගෙන එනවා දැක්කම මම ගෙදර හිනාවෙනවා  "වීරසිංහ මහත්තයත් දැන් බස්නායක මහත්තයා වගේ වේගෙන එන්නේ" කියලා.❤️

ශර්මා මහත්තයත් ඒ වගේ තමයි. ඒකාකාරී බව නැතිකරගන්න නොකළ දෙයක් නෑ. සූම්බාත් කළා නෙව, හරි ගියේ නෑ ඉතින්. ඒ මදිවට තියෙන තරමක් ෆේස්බුක්, වට්ස්ඇප් ආදී නානාප්‍රකාර මාධ්‍යජාලාවලත් සැරිසරනවා. ඒවයේ ඕපදූපත් බලනවා. බොරුවලටත් ඇත්ත කියලා රැවටෙනවා. මතකනේ අර රැට්ටගෙ තාත්තා ටික්ටොක් කරන්න ගත්තා? අන්න ඒ වගේ. ටික්ටොක් විතරයි මෙයත් නොකළේ! 
පස්සේ තමයි අමුතු වැඩක් සෙට්වෙන්නේ. මොකද ශර්මා මහත්තයාට පුළුවන් පුදුම රහට කෑම හදන්න. ඒ කෑම ඉවිල්ල දැක්කත් රසනහර පිනා යනවා. බොරුනම් බලන්නකො. 

ඇත්තටම ඔය සමාජ මාධ්‍යවල ගැහැණුන්ට වඩා අතවරයට, අපහාස උපහාසයට ලක්වෙන්නේ වැඩිහිටියන්! ඒ ඇයි කියනවා නම් ඔවුන්ට සමාජ මාධ්‍ය සංස්කෘතිය අලුත්. පරණ පරම්පරාවල යාලුමිත්‍රකම්, හිතවත්කම් තිබ්බේ ෆොටෝවලට දාන හාට් රියැක්ට්ස්වල නෙවෙයි. ඒවා දීර්ඝකාලීනව පැවතුණෙත් ඒක හින්දමයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද අනවශ්‍ය ඇලීම්-ගැලීම් නැහැනෙ. අනික ඒ හිතමිත්‍රකම්වල දැන් ඒවයට වඩා අවංකකමක් තිබ්බා කියලා මට හිතෙනවා. දැන් සමාජ මාධ්‍යවල පවතින බහුතර මිනිස් සම්බන්ධතා මැනෙන්නේ පිංතූරවලට පෝස්ට්වලට දාන ලයික්, රියැක්ට්ස්වලින්, කමෙන්ට්ස්වලින්. ඊළගට එතන අනවශ්‍ය තරමට පෞද්ගලිකත්වය ප්‍රකාශවීම නිසා නැති ප්‍රශ්න. මිනිස්සු මිනිසුන්ව මනින්නේ ඒ මනුස්සයගේ ෆෙස්බුක් වෝල් එකෙනුයි ඉන්ස්ටග්‍රම් අකවුන්ට් එකෙනුයි. මං හිතන්නේ සකරෙට වැරදුණේම හාහා සහ හාට් රියැක්ෂන්ස් බුකියට එකතු කිරීම හින්දා කියලා. පවුල් කැඩෙන්න වගේම හාහා නිසා හිතවත්කම් නැත්තට නැතිකරන්න පුළුවන් දැලිපිහියක්නෙ එයා ඔය ආසියාතික වඳුරන්ට දීලා තියෙන්නේ😅
එතකොට පරණ පරම්පරාවේ නොදැනුවත්කම සහ සමාජ මාධ්‍ය පරිශීලනයේ තියෙන අඬුලුහුඬුකම් අලුත් පරම්පරාවල්වලට කුරිරු විනෝදයක්. එතනදි සහකම්පනය කියලා දෙයක් හරිම කණගාටුදායක විදිහට නැත්තටම නැතිවෙනවා. 
හැබැයි ඔය අතර වේගයෙන් අලුත් දේ ඉගෙනගන්නා වැඩිහිටියනුත් ඉන්නවා. 

විශ්‍රාම යෑමේ වයස ගැන කියනවා නම් ලංකාවේත් දැනට ක්‍රියාත්මක 55 සීමාව ගැන මම පෞද්ගලිකවම ලොකු සතුටක් නැහැ. කෙනෙකුට හැකියාව, ශක්තිය තියෙන තරම් කාලයක් වැඩ කරන්නට දීමේ ගැටලුවක් තිබිය යුතු නෑ කියලා මම හිතනවා. මොකද මුලු ජීවිත කාලයම වැඩ කරන්න හුරුවූ කෙනෙකුට ඒ නැවතීම නිසා ලැබෙන මානසික සහනයට වඩා අසහනය වැඩියි. ඒ බහුතර විශ්‍රාමිකයන්ට වෙන්නේ අර්ථසාධකෙන් එහෙම ලැබෙන සොච්චම් මුදල අරගෙන පරාජිතයෙක් වගේ ගෙදර යන්න. ඒ මුදලත් ඊටපස්සේ (බහුතරයක) ඩැහැගන්න බලන් ඉන්න දරුවන්ට බෙදන්න. එහෙම නොකළම උන් එකිනෙකා කුළල් කාගන්නා හැටි බලං සෝ සන්තාපයට පත්වෙන්න. ඊටපස්සේ ලෙඩදුකකට ගන්න තියෙන සල්ලියෙන් දරුවන්ට සලකන්න, ගෙවල් දොරවල්වල අඩුපාඩු පිළියම් කරන්න, ඉගෙන ගන්න දරුවන්ට යුතුකම් කරන්න, දීගතල යන දරුවන්ට දෑවැදි හදන්න. රජයෙ සේවකයන්ට තියෙන විශ්‍රාම වැටුප් සහනයවත් (ඒක මහලොකු දෙයක් නොවුණට) නැති පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන්ට ඔය ටික කළායින් පස්සෙ වෙන්නෙ හිඟා නොකා හිඟා කන්න. ඒ අස්සෙ දරුවන්ගෙ දරුවො බලාගන්න, ඉස්කෝලේ එක්කන් යන්න, පංති ගෙනියන්න, කඩේ පොලේ යන්න, බිල් ගෙවන්න යන්න ආදි අටෝරාසියක කම්කරු වැඩ මොන ඉහළ පුටුවකින් විශ්‍රාම ගියත් උරුමයි. ඒ අතරට ශර්මා මහත්තයට වගේ දරුවන්ට ලැජ්ජාවක් නොවී ජීවත්වෙන්න, හැසිරෙන්න, තීරණ ගන්න වගේ දණ්ඩ නීති සංග්‍රහයකටත් කොන්දේසි විරහිතව යටත්වීම අනිවාර්යයි. 

මා දන්නා තරමින් බොහෝ බටහිර රටවල් අනිවාර්යයෙන්ම විශ්‍රාමයෑමක් නිර්දේශ කරන්නේ සමහර සාධක මත. නැත්නම් වැඩ කළ හැකි තත්වයේ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට අවුරුදු 70වනතුරුත් වැඩ කරන්නට ඉඩ තියෙනවා (ඇතැම් ක්ෂේත්‍ර හැර). ඒක ඒ ආයතනමම විය යුතු නැහැ. වැඩිහිටියන් එකම තනතුරුවල රැඳීම නිසා ඊළග පරම්පරාවලට අසාධාරණයක් වීම මාත් පිළිගන්නවා. එතනදී නිසි කාලයෙදි නිසි තීරණ ගැනීමට පරම්පරා දෙකටම වගකීම් සහ යුතුකම් තියෙනවා වගේම එසේ ඉවත්වන වැඩිහිටි පරම්පරාවට නිසි ගෞරවය ලබාදෙන්නත් ගෞරවණීය පුරවැසියන් ලෙස ජීවත්වීමට ඉඩදීමටත් අපි හැමෝටම යුතුකමක් තියෙනවා. අපි හැමදෙනාම ජාති, ජරා, ව්‍යාධි, මරණ අනිවාර්යයෙන්ම දවසක අත්විඳිනවා. සුරක්ෂිත, සුරූපී, ධනවත්ම පුද්ගලයාට පවා ඒ අනිත්‍යයට මුහුණ දෙන්නට සිද්ධවෙනවා. ඒක අවබෝධ කරනොගෙන නොමැරෙන මිනිස්සු හැටියට වැඩිහිටියන් වගේම තරුණ පරම්පරාවත් ජීවත්වෙන්න උත්සහ කිරීම නම් විහිළුවක්. 

ශර්මා ජීගේ කතාව බලන්න. 
චිත්‍රපටය ගැන සුවිශේෂීම කාරණාව තමයි මේක රිෂී කපූර්ගේ අන්තිම චිත්‍රපටය. රූගත කිරීම් අතරතුර තමයි ඔහු රෝගාතුරව අපෙන් සමුගන්නෙ. ඒක නිසා ශර්මා මහත්තුරු දෙන්නෙක් චිත්‍රපටයේ ඉන්නවා. ඒ පරේශ් රාවල් ඒ අභියෝගය බාරගත්ත හින්දා. ටිකක් අමුතුයි වගේ මුලදි දැනුණට පස්සේ ඒකත් ව්‍යංග්‍යර්ථයක් වගේ දැනෙන්න පටන්ගන්නවා. හිතලා නොකළ දෙයක් වුණත් එකම චිත්‍රපටයේ එකම චරිතය පුද්ගලයන් දෙදෙනෙකු විසින් රඟදැක්වීම බහුතර විශ්‍රාමිකයා නියෝජනයක් හැටියට දැනෙනවා. 

තිරපිටපත Suprathik Sen සහ Hithesh Bhatia. Hitheshගේම අධ්‍යක්‍ෂණයක්. Amazon Prime Video බෙදාහැරීමක්. 

~✒️ Aash Weerasinghe

Sunday, September 25, 2022

සඳරැස් වළල්ල

"මට ඕන ඔයාව අඳුනගන්න"

අහලා පුරුදු කතාවක් වෙනස් කටහඬකින් ඇහුණම ඒකේ ස්වර උච්ඡාවචනයවීමයි අර්ථ විවරණයයි විශ්ලේෂණය කරන්න මගේ මනස එරමිණියා ගොතාගෙන වාඩිවුණේ කොන්දට සැප කොට්ටයක් හේත්තු කරවගෙන ලකලෑස්ති වෙලා.

"ඉතින් ඔයා මාව අඳුනනවනේ" කටට ආපු සරදම් හිනාව බීම වීදුරුවෙන් මුවා කරගෙන පුළුවන් තරම් සාමාන්‍ය විදිහට කිව්වේ අනුන්ගේ පව් තවකෙක් පිටින් යවන්න අවශ්‍ය නෑ කියලා හිතුණ හින්දා.

"ඔව් අඳුනනවා. ඒත් ඊට වඩා ඔයා ගැන දැනගන්න මං කැමතියි"
ඉංග්‍රීසියෙන් ආදරේ කරාම දැනෙන්නේ නෑ කියලා එකඟතාවක හිටිය, අමතක කරලා දැම්ම අතීත කතාවක් නාලාගිරි වේගෙන් ඔලුවට කඩාවැදුණා. ඔව් ඒක ඇත්ත තමයි. සම්බන්ධතාවකදී ඉංග්‍රීසිය භාවිතා කරන්නේ මම පුද්ගලයන්ව අතේ දුරින් තියාගන්නකොට, ඒත් නැත්නම් තරහක් පිටකරනකොට කියලා සමහරු තේරුම් අරගත්ත තැනුත් තිබ්බා. සමහර දේවල් ඉංග්‍රීසියෙන් කිව්වම දැනෙනවා, සමහර දේවල් නෑ. ආදරේ නම් තමන්ගේ භාෂාවෙන් අහන එක තමා සුන්දර. ඒවුණාට මේ කතන්දරේ මව් භාෂාවෙන් නොවෙන එක හොඳයි, ඇලෙන්න තියෙන ඉඩ අඩු කරගන්න එකනේ අරමුණ.

"වචන හැමෝටම දෙන්න පුළුවන්, වඩා වැදගත් ක්‍රියාවනෙ" කියලා කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් මගෙ කටින් පැන්නා නොහිතාම. ඒ වෙලාවේ මට අනිකව පෙනුණත් මගෙ බැල්ම අරමුණක් නැතිව වෙන කොහෙද මාත් නොදන්නා තැනක තිබ්බේ. ඒත් අනිකා පුදුමයෙන් වගේ මා දිහා බැලුවා මිසක් ඒ කතාව දිගේ නොයා එයාගේ අතීත කතන්දරයක් කියන්න පටන් ගත්තා. අනිවාර්යයෙන්ම අර පළවෙනි කතාව වගේ මගේ අනිච්ඡානුග උත්තරෙත් එයත් ඕනෑතරම් අහලා ඇති.

ඒක ලස්සන අවන්හලක්. මුහුදේ හඬයි අවන්හලේ සංගීතේ හඬයි ද්වන්ධ සටනක ඉන්න අතරේ වුණත් මම නිශ්ශබ්දව ඔහුගේ නොස්ටැල්ජියාව අවදිකිරීම අහන් හිටියා. මිනිස්සු තමන් ආස දේ,තමන්ට වටිනා දේ ගැන කතා කරද්දි ඒ දිහා බලං ඉන්න එක වෙනමම මොකද්දෝ එකක්. සාමාන්‍යයෙන් බැරෑරුම් මුහුණින් ඉන්න මනුස්සයෙක් දිලිසෙන ඇස්වලින් හිනා වපුර වපුර පරණ ප්‍රේම කතාවක් කියද්දි අවුරුදු විස්සක් ආපස්සට ගිහින් අහිංසක සතුටක් ලබන ඒ ජීවියගෙ කණෙන් ඇදලා වර්තමානයට ගන්න තරම් ලොකු ආකර්ෂණයක් තාම ඇතිවෙලා නැති හින්දා සාමාන්‍යයෙන් ආදරේදී එන මගේ ඉරිසියාව ලා හිනාවක් ඇඳගෙන ආඩම්බර ලාලිත්‍යයෙන් පැත්තකට වුණා. මගෙන් කතන්දර බලාපොරොත්තු වෙන්නට ඇති නමුත් ඒකට ඉල්ලීමක්වත්, බලකිරීමක්වත් නොකෙරුණ හින්දා මාත් නිශ්ශබ්දව හිටියා. මගේ වාරේ ආවහම අවුරුදු ගාණක් පුරුදු පුහුණු කළ වඩා ආරක්ෂිත පියවරට කතාව හරවාගන්න හැටිත් මම දන්නවානේ.

පුරුෂ ඇස්වල ආලෝක පුංජයන් දුවන හැටි නටන හැටි නොදැක නැතිවුණත් මේ මනුස්සයා ගැන නම් මට පුදුම නොවී ඉන්න බැරිවුණා. ප්‍රේමයෙන් උණුවෙලා වැගිරෙන මිනිස්සු වගේම ඔය ඇස්වල දුවන නානාප්‍රකාර තොරණ් ගණන් නොගෙන නොදැක්කා නොදැනුණා වගේ ඉඳීමේ "ලාදුරු කලාව" ප්‍රගුණ කරපු කෙනෙක් පුදුමයට පත්වීම කියන පුදුමය ඔඩුදුවන්න කලින් නතර කරගෙන මම කදිමට ලුණු තවරපු නිවිති කොළයක් ගෑරුප්පුවෙ ඔතාගත්තා.

"ඔයා වැඩිය කතා කරන්නේ නෑ නේද?"

"නෑනේ.."

"හ්ම්ම්.. ඒක තමයි."
ඒකත් මේ විශ්වයේ කීවතාවක් නම් ගෑණු මිනිස්සු අතර ඇතිවෙලා ඇති දෙබසක්ද කියලා ආයෙමත් හිනාවක් මතුවේගෙන ආවත් මෙච්චර දුකක් විඳලා ලස්සන හැන්ඳෑවක කතාබහක් කරන්නට කරපු ආරාධනාවට ඒ වගේ අවිනීතකමක් කරන්න තරම්ම මගේ හිත නරක්වෙලා තිබ්බේ නැති බව මම මටම මතක් කරගත්තා.

ටික වෙලාවකින් ඉබේම මම මගේ ආරක්ෂිත පියවරට සංවාදය හරවාගෙන තිබ්බ නිසා ඒ වෙද්දි දෙන්නම හරිහරියට ව්‍යාපාරික සංවාදයක් පටන් අරගෙන ඒ අතරම කෑමත් ඉවර කරලා තිබ්බේ. සෙනගත් තුනීවෙමින් සංගීතයත් ටිකක් තුනීවෙමින් තිබුණු හින්දා පේන මානේ මුහුද විතරක් ජයග්‍රහණය සමරමින් හිටියා.

"මං ආසයි මුහුදට, වෙරළට, බහින ඉරට" අනිකා කිව්වේ සපත්තු දෙක ගලවලා පුටුව යටින් තියන ගමන්.
මාත් කැමතිම වුණත් 'මාත්' කියන උත්තරේ කටින් එළියට නෑවිත් ආඩම්බරකමට මුලුගැන්නිලා හිනාවක් විතරක් එළියට තල්ලු කළා.

කිසිම සංවාදයක් නැතුවම අවන්හලේ ලී වැට හරියෙන්ම මුහුද පැත්තට හිටගත්තමයි ඒ වෙරළ තීරයේ ලස්සන පේන්නේ. නානාප්‍රකාර කහපාට විදුලි සැරසිලි පෙළක් තිබිලත් මුහුද තිබ්බේ අඳුරක. ලාවට සුදු පාට රළ විතරක් පේන තරම් අඳුරක. ඒත් වෙරළේ පිළිම දෙකක් වගේ හිටගෙන හිටිය අපිට උඩින් හඳ මුදුන් වෙලා, වටකුරුවට පායලා තිබ්බ හඳ වටේ විශාල රැස් වළල්ලක් ඇතිවෙලා තිබ්බේ. ඒක ඇත්තටම හරිම ලස්සනයි.
ඒ මොහොතේ හඳ එළියෙන් නෑවෙමින් පිළිම දෙකක් වගේ හිටගෙන මුහුද දිහා බලා ඉන්න ගැහැණියෙකුයි පිරිමියෙකුයි කොච්චර ප්‍රේමාන්විත, රෝමාන්තික දර්ශනයක් මවනවා වෙන්න පුළුවන් ද. එහෙම දෙයක් මම දැක්කා නම් අර අවන්හලේ පොල් අතු හෙවිලි කළ මේසෙකට වෙලා කවි කීයක් නම් ලියන්න තිබ්බද මෙලහකට.. අපරාදේ මං මේ ඉන්නේ ඉන්න ඕන තැන නෙවෙයිනෙ..
සාමාන්‍යයෙන් හැඟීම් දැනීම් තියෙන, වැරදි වැරදි හරි තවම ලබ්-ඩබ් ගාන හෘදය වස්තුවක් තියෙන මනුස්සයෙක් හැටියට මේ තියෙන සුන්දරත්වය නිසා හරි කවි කීයක් ලියවෙන්න තිබ්බද?..ඒත් ඒ ඔක්කොම නිකං ගල් ගැහිලා ගිහින් වගේ. හිතයි හදවතයි වෙන්කරන සන්ධියෙ මොකද්දෝ ලොකු ගුලියක් හිරවෙලා වගේ හිතත් වැඩ නොකරන හදවතත් වැඩ නොකරන මෙලෝ රෝමාන්තික ගතියක් නොදැනෙන ලෝකෙක හඳ එළියෙන් නෑවෙන ගෑණු ප්‍රතිමාව හිටියේ. පිරිමි ප්‍රතිමාව නං හඳ තරමටම ලස්සන ආලෝක කිරණ ඇස්වලින් නිකුත් කරනවා ගෑණු ප්‍රතිමාව නොදැක්කා නොවෙයි, නොදැක්කා වගේ හිටියා.

ඒ ඔක්කොම පැත්තක තියලා මං ආයෙත් සඳරැස් වළල්ල බලන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් තරුවලට පුදුමාකාර ආස මම මේතරම් ලස්සන සඳරැස් වළල්ලක් නම් දැක්කේ එවෙලේ තමයි.
බෙල්ල කැඩෙන්න තරම් නවාගෙන අහස බලන මාව දැක්කම අනිකාට හිනාගියා.

"ලස්සනයි නේද? දැක්කද අර රැස් වළල්ල?"

"හ්ම්ම්..ඔව්, ලස්සනයි"

"ආ.. මම ආසයි පින්තූර ගන්න" මම එකසැරේම බොහොම කලබලයෙන් කියලා දැම්මා. ඒ අර මාව අඳුනගන්න තරම් දෙයක් මම තාම කිව්වේ නෑ නේද කියන කල්පනාව හින්දා වෙන්න ඇති කියලා මං හිතන්නේ අනිකාටත් තේරෙන්න ඇති.
"ඉතින් දැනුත් ගන්න පිංතූර.. "

" නෑ.. කොච්චර පිංතූර ගත්තත් පියවි ඇහැට පේන හඳේවත් තරුවලවත් ලස්සන ඒ විදියටම පිංතූරවලට ගන්න බෑ.." මහ ලොකු කැමරාකරණ පිකාසෝ කෙනෙක් වගේ මම උත්තර දුන්නා.

අනිකා ඉස්ඉස්සෙල්ලාම ගෑණු ළමයෙක්ට කතා කරන්න ආව නවයෞවනයෙක් වගේ ලැජ්ජාවෙන් හිනාවෙවී මුහුදු වැලිවලට පයින් ගගහා මගේ කතාවට හූමිටි තිබ්බා. මාත් දිගටම හඳේ හැඩ බැලුවා. එතකොට තමයි අහන්න ඕනම කතාවක් මතක් වුණේ.
" ඇයි ඔයාට මට කතා කරන්න හිතුණේ?"

"දන්නේ නෑ. මට හිතුණා කතා කරලා බලනවා කියලා අපිට ඉදිරි ගමනක් තියෙනවද කියලා."

"ඇයි ඉතින් මම? මට නං ඒකට හේතුවක් පේන්නේ නෑ" සාමාන්‍යයෙන් ගෑණු එහෙම කතා කියන්නේ තමන්ට ආස උත්තරේ අනිකගෙන් අහන්න වුණත් මම ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ ඇහුවෙ නම් ඇත්තටම. පරණ කළකිරීමුත් අඳුරු මුහුදු මායිමේ පෙනීනොපෙනී යමින් තිබ්බා වගේ දැනුණ හින්දා. කොහොමටත් මොන උත්තරේ ආවත් මේ ගල් ගැහුණු හෘදය දියකරන්න ආයෙත් ඉතින් පුලුවන් වෙන සමතෙක් ඉන්න බෑ.

"හ්ම්ම්.. ඇයි ඔයා.. ඒක මම තාම දන්නේ නෑ. ඒකනේ ඔයාව අඳුනගන්න හදන්නේ. ඔයාට ආකර්ෂණයක් තියෙනවා. ඔයාගෙ පෞර්ෂයයට මම කැමතියි. ඔයා ලස්සනයි. හැබැයි ඒක හින්දමයි කියලා කියන්න මම කැමති නෑ. ජීවිත කාලෙම ඉන්න කෙනෙක් ගැන එච්චර ලේසියට තීරණය කරන්න බෑ.."
කපටි උත්තරයක් වගේ එකක් ආවා නේද කියලා මම හිතෙන් හිනාවෙන්න පටන්ගත්තා. ඒත් මූණෙන් හිනාවක් පළ නොකර බැරෑරුම් බැල්මෙන්ම හිටියා.

" හදිස්සියක් නෑ. අපි අපේ සංවාදය සාමාන්‍ය විදිහට පවත්වාගෙන ගිහින් බලමු වෙනසක් වේවිද කියලා.. වෙනසක් වුණොත් ඒක මගේ වාසනාවක්.. නැත්නම් ඉතින් සාමාන්‍ය විදිහටම යාලුකමක් තියෙයි.."

"හ්ම්ම්..."
මගේ ඔලුව ඇතුලේ එහෙම අදහසක් නැතිබව නොදන්නා අනිකාගේ සුබවාදී ආකල්පයට අගෞරවයක් නොකර ඉන්න තරම් පරිණතකමක් කාලය ලබාදීලා තිබීම කොච්චර නම් හොඳ ද කියලා ඒවෙලාවෙ නම් මට හිතුණේ ඇත්තටම. කාලය මොනවා කරාවිද කියලා අපි දන්නේ නෑ නේද කියන පුදුමය ඕනෑතරම් අත්විඳලා තියෙන හින්දා මම නිශ්ශබ්ද වුණා.

"අපි ආයෙත් දවසක මුණගැහෙනවනේ?"

"බලමු.."

අනිකා සුන්දර හිනාවක් ඉහලා රේල්පාරෙන් එතෙර වෙන්න අත පෑවා.

~තනියා

✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal





Thursday, September 22, 2022

වයිර නැති මුත්තු

වයිරමුත්තු අන්කල් යාපනෙන් ඇවිත් දකුණේ පදිංචි වෙලා තියෙන්නේ මං ඉපදෙන්නත් කලින්. වයිරමුත්තු අන්කල්ගේ අයියා තමයි ඉස්සර සීයාගේ කොණ්ඩේ කපන්නේ ගෙදරට ඇවිත්. එතකොට ඒ එක්කම තුන්වැනි පරම්පරාවෙ පළවෙනියටත් ඒ සැලකිල්ලම ලැබෙනවා. ඒත් මම පුංචි කාලේ කොණ්ඩේ කපන්න බයයි. ඒකට දැන් කොණ්ඩේ කපන්නේ බාබර්ලත් එපා කියද්දී😅 ඉතින් මාව පුටුවක වාඩි කරවලා ලොකු වයිරමුත්තු අන්කල් කොණ්ඩේ කපනකොට මම ගල් පිළිමයක් වගේ ඉන්නවා කටේ ටොෆියකුත් ඔබාගෙන ඒ කෙළ ටිකවත් ගිලින්න බයෙන් කතුර ඇනෙයි, කණ කැපෙයි වගේ පුංචි එවුන්ට තියෙන ප්‍රශ්න කෙළකෝටියකින් ඔලුව පුරෝගෙන.

පස්සේ කාලෙක ලොකු වයිරමුත්තු අන්කල් නැතිවුණා. පොඩි වයිරමුත්තු අන්කල් කොළඹ ආවා. අපිත් කොළඹ දී වයිරමුත්තු අන්කල්ගෙන් තමයි කොණ්ඩේ කැපුවේ. තාත්තා අනිවාර්යයෙන්ම ගියේ එයා ළගට. ලෝකේ හොඳම බාබර් ළගට ගියත් වයිරමුත්තු අන්කල් තරම් හිතට ඇල්ලුවේ නෑ තාත්තට කාවවත්.

වයිරමුත්තු අන්කල් එතකොට හිටියේ සොයිසාපුර. සොයිසාපුරේට ඇතුල්වෙන පාරේම හොඳ සැලෝන් එකක් කළේ. ගෝලයොත් සෑහෙන්න හිටියා. පදිංචි වෙලා හිටියෙත් සොයිසාපුර මහල් නිවාසෙකමයි. ඒ කාලේ දුවයි පුතයි පොඩියි. අන්කල් කොච්චර සෙනග පිරිලා හිටියත් කොච්චර වැඩ තිබ්බත් තාත්තා එක්ක ගියත් අපි තනියම ගියත් අපේ වැඩේ තමන්ම බාරගෙන කරනවා. ඒකත් උපරිමයෙන්. සාප්පුවට ඇතුල්වෙන සැණින් බීම ගෙන්නලා දීලා සෙනග වැඩිවෙලාවක වුණත් ළගට ඇවිත් කතාබහ කරලා හිටපු අහිංසක මනුස්සයෙක්. ඒ හින්දම වෙන්න ඇති භීෂණ දෙකකට එකසැරේ මූණ දුන්න දකුණේ පවා ඔහුගේ පවුල ආරක්ෂිතව කාගෙත් ආදර කරුණාවට ලක්වෙමින් තමන්ගේ ව්‍යාපාර කටයුතුවල යෙදුණේ. සොයිසාපුර තත්ත්වයත් ඒකමයි. දන්නා තරමින් හැමෝම සමග සහයෝගයෙන් සාමයෙන් පාඩුවේ ජීවත් වෙච්චි මනුස්සයෙක් වයිරමුත්තු අන්කල්.
ඊටපස්සේ කාලෙක සෑහෙන්න දේවල් ලෝකේ වෙනස්වුණා. අපිටත් වයිරමුත්තු අන්කල් බලන්න යන්න බැරිවුණා. ගරාජ් එකේ තියාගත්ත පුටුවක වාඩිකරලා පරිස්සමින් කොණ්ඩේ කැප්පෙව්ව පොඩි වීරසිංහත් වයසින් වැඩිලා කොණ්ඩෙට එක එක විජ්ජාවල් කරන්න ගත්තම වයිරමුත්තු අන්කල්ගේ පරණ කතුරු නිකම්ම අතෑරුණා.

ඊයේ හවස අම්මලා ගෙට ගොඩවුණේම "අනේ අපිට වයිරමුත්තු හම්බුණානේ" කියාගෙන,ඒකත් හරිම දුක මූණුවලින්.
ඊටපස්සේ මට ඉස්පාසුවක් තිබ්බේ නෑ කොහෙදිද මොකද අරකද මේකද අහගන්න. මොකද අවුරුදු ගානකින්නේ මම වයිරමුත්තු අන්කල් ගැන ඇහුවේ.
ලස්සනට ව්‍යාපාරය කරගෙන හිටිය අහිංසක මනුස්සයා අද හරිම කරදර ගොඩකින් හෙම්බත්වෙලා කියලා ඇහුවම මට කඳුළුත් ආවා. හොඳ වෙලාවට විදුලි කප්පාදුව නිසා කව්රුවත් දැක්කේ නෑ. දෙයියනේ කියලා සරුවට තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන හිටිය අන්කල් දැන් කොල්ලුපිටියේ පොඩි බාබර් සාප්පුවක වැඩ කරනවලු. තාත්තා හවස මතක්වෙලා කෝල් එකක් දීලා හොයාගෙන ගිහින් බලන්න. වයිරමුත්තු අන්කල්ගේ සුපුරුදු කොණ්ඩ කැපීමෙන් පස්සේ අපි පුංචි කාලේ හිටිය තාත්තා තමයි ගෙදර ආවේ❤️
අන්කල්ගේ එකම දුව කොරෝනා කාලේ නැතිවෙලා. දිවිනසාගැනීමක්. පුතාට අන්කල්ව පේන්න බැරිව ගිහින් ඇතිවුණු ප්‍රශ්න නිසා අන්කල්ට ගෙදර යන්න විදියක් නැතිව වැඩකරන තැනම නැවතිලා. කොහොමත් කෙට්ටු අන්කල් තවත් කෙට්ටු වෙලා ගිහින් කකුල් පවා තුවාලවෙලා වෙලාගෙන ඉන්න පිංතූර දැක්කම හරිම වේදනයි.

සාමාන්‍යයෙන් සිංහල දමිළ ප්‍රජාවන් දෙකටම අණවිණ කොඩිවින හදිහූනියම් ගැන විශ්වාසයන් තියෙනවනෙ. එක එක අයගේ විශ්වාසයන්ගේ මට්ටම් වෙනස්වුණාට. භක්තිමත් හින්දුවෙක් වෙන වයිරමුත්තු අන්කල්ගෙත් එහෙම කතාවක් තියෙනවා. සමහරවිට වෙන්නත් පුළුවන්. කර්ම ශක්තිය බලපානවා වගේම සමහර විනාශයන් තියෙනවා මිනිස්සු කරන. ඒවයේ බොරුව වගේම ඇත්තක් නැත්තේම නැතිබවට නම් අප්‍රසන්න අත්දැකීම් තියෙනවා. සමහරවෙලාවට මේවට ප්‍රසිද්ධියේ හිනාවෙන ඒවා විවේචනය කරන උගත් බුද්ධිමත් කියලා කියන මිනිස්සු පවා කොයිතරම් නම් මිථ්‍යාදෘෂ්ටික දේවල් තව කෙනෙක්ව විනාශ කරවීමේ අරමුණින් කරනවද කියලා (ප්‍රතිඵල කොහොම වුණත්) උදාහරණ දෙන්නත් පුළුවන් මට නම්😅 වචනයේ බලයෙන් විනාශයන් කරවන මිනිස්සුත් ඉන්නවා. ඔය මිථ්‍යාවන්ට එහා ගිය විනාශකාරී දේවල් තමා මිනිසුන්ගේ වචන සහ ක්‍රියාවන්. කෙනෙකුගේ හැම සර්ථකත්වයක්ම සතුටක්ම එක රැයින් විනාශ කරලා දාන්න පුළුවන් විසකුරු වචන සහ ක්‍රියාවන් ඇති මිනිස්සු අපි අතරම ඕනෑ තරම් ඉන්නවා, සමහරවිට අතිශය හෘදයාංගම, මිත්‍රශීලී, ආදරණීය වෙස්මූණු පැළඳගෙන!

මොකක් කොහොමවුණත් මේ ආරංචිය මට හරිම කණගාටුවක්. ඒ පැත්තේ යන වෙලාවක අනිවාර්යයෙන්ම ගිහින් මාත් අන්කල්ව බලලා එනවා. අන්කල්ට දැන්නම් මාව අඳුනගන්න පුළුවන් වේවිද දන්නේ නෑ. මිනිස් වර්ගයා බෙදිච්ච ලෝකේ වයිරමුත්තු අන්කල් වගේ අහිංසකයෙක්ට එහෙම දුකක් වෙච්ච එක මට දරාගන්න අමාරුයි, ඒක මගෙම කෙනෙකුට වුණා වගේ දැනෙනවා.

මනුස්සයෙක් ආදරෙන් සතුටෙන් සැනසීමෙන් දියුණුවෙමින් ඉන්නවා දකිද්දී තමන්ගේ ඇහේ කටු ඇනෙනවා නම් ඒ ලෙඩේ කොහොමහරි හොඳකරගන්න. දුර්ලභ මිනිස් ආත්ම ලබලා ඇවිත් අනුන්ට වින කරලා පව් පුරවගන්න එපා. මේ තියෙන කරදර මිනිස්සුන්ට හොඳටම ඇති, වැඩිත් එක්ක. ඒ අස්සට අහක යන කර්ම මිනීස්සුන්ගේ ඔලුවලටයි ජීවිතවලටයි හරවන්න එපා කොයි අරමුණෙන් කොයි හේතුවකටවත්. ඕවා විඳවනකොට විඳවන්න වෙන්නේ තමන්ටම විතරක් නෙවෙයි! තමන්ගේ වචන හරි ක්‍රියාවක් හරි මිථ්‍යාදෘෂ්ටික දෙයක් හරි හින්දා කෙනෙකුට හිත්වේදනාවක් දුකක් කරදරයක් වෙද්දී 'දැක්කද මම ෂොට් එක දුන්නා' කියලා සතුටු වෙනවා නං ඒ සතුට පිටිපස්සෙන් කරත්ත රෝදේ වගේ එන මහා දුක් ගැලකුත් තියෙන බව දැනගෙන ඉන්න.
කරුණාකරලා අනුන්ට වින කරන වෙලාව, මුදල්, ශ්‍රමය තමන්ට සෙතක් කරගන්න යොදාගන්න. ඒත් බැරිනම් ඒ කරන විනයක් තමන්ටම කරගන්න. තමන්ගේ ඇස්වල කටු ඇනිච්ච පළියට වෙන මිනිස්සුන්ට වල කපන්න නොයා!

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal

Friday, September 16, 2022

පුරුෂ භූමිකා

ටික දවසකට කලින් වෙච්ච සිද්ධියක් ගැන ලියන්න හිතමින් හිටියත් වෙලාවක් නොලැබීම ගැන කල්පනා කරමින් ඉන්න අතර ඒකට ගැලපෙන දෙවැනි සිද්ධියක් අත්දැක්කා. හැමදෙයක්ම සහේතුකයි කියලා සුභවාදීව ඒක බාරගත්ත මට ඇත්තටම හිතුනා පළවෙනි සිද්ධියට ගැලපෙනම ඌණ පූර්ණය ලැබෙන්නේ දෙවැනි සිද්ධිය එක්ක කියලා. 

පළවෙනි සිද්ධිය වුණේ පහුගිය සතියක තද වැස්සක් ඇදහැලිච්ච සතියේ දවසක. මම ගියා රාජ්‍ය බැංකුවකින් වැඩක් කරගන්න. බොහොම ඉඩකඩ සහිත ඒ කාර්යාලයේ සතියේ දවසක උදේ වරුව නිසා තරමක සෙනගකුත් හිටියා. එළියේ වැටෙන වැස්සේ හඬ පරදවාගෙන එක සැරේ පිරිමි කටහඬක් නැගුණා "උඹ ගිහින් වාඩිවෙයං, වාඩිවෙයං" කියලා. මාත් ඇතුළුව බොහෝ දෙනෙක් හැරිලා බැලුවා. වයස අවුරුදු 75ක් විතර වෙන කුදු ගැහුණු පිරිමියෙක්, කොට කලිසමක් ඇඳලා, අවැදගත් 'පෙනුමක්' නැහැ. ඒ ළගින්ම ඔහුගේ බිරිඳ කියන්න පුළුවන් වයස අවුරුදු 70ක විතර ගැහැණුකෙනෙක්. තරුණ කාලයේ බොහොම සුන්දරව ඉන්නට ඇතැයි කියන්නට පුළුවන්, තවමත් ඒ සුන්දරත්වයේ ශේෂයන් පෙනෙන උස, සුදු, කෙට්ටු කෙනෙක්. ඒ මනුස්සයා ගිහින් පුටුවක වාඩිවුණා, අපිත් අපේ වැඩවලට අවධානය යොමු කළා. මිනිත්තු ගාණක් යන්නට කලින් ආයෙමත් අර උස් පිරිමි හඬ ඇහෙන්න ගත්තා "යකෝ කීයක්ද ගන්නේ කියාපං". ආයෙමත් මිනිස්සු හැරිලා බැලුවා. අර වයසක කාන්තාව මාස්ක් එකට උඩින් අතින් කට වහගෙන ලැජ්ජාවෙන් වටපිට බලද්දි කලින්ට වඩා උච්ඡ ස්වරයෙන් ඇහුණේ හයන්නට පාපිල්ලක් එකතුකරලා පටන්ගන්න වචනයක්! අර වගේ ප්‍රසිද්ධ ස්ථානයක! බැංකුවේ ආරක්ෂක නිලධාරියා තුවක්කුවත් උස්සගෙන දුවගෙන ආවා. "මහත්තයා, මහත්තයා මේ මේක ප්‍රසිද්ධ තැනක්. මෙතන කුණුහරුප කියන්න එපා". ඒ තරහත් ගියා අර කාන්තාව පිටින් "උඹ ඕන මගුලක් කරගනිං, මං යනවා" කියලා නැගිට්ට අන්කල් නැවතුණා ටිකක් එහායින් හිටි අම්මෙකුයි දුවෙකුයි ළග "ඕකි මහ වල් පවුලක එකියක්! මගෙ ජීවිතේ විනාස වුණා මේකිව බැඳලා!" කියලා කතන්දරේ දිග අරිද්දිම ඒ දෙන්නා දුවගෙන ඇවිත් මට එහා පුටු දෙකක වාඩිවුණා. අන්කල් තව මොනවාදෝ කියවමින් ගියා වෙන්න ඇති, මම දැක්කේ නෑ ඊටපස්සේ.

දෙවැනි සිද්ධිය වුණේ ටුකුවක එද්දී. කොණ්ඩෙ සුදුම සුදු අන්කල් කෙනෙක්. ගමනේ සෑහෙන්න දුරක් එනතුරු අපි නිශ්ශබ්දයි. සෑහෙන්න මහන්සියෙන් හිටි නිසා නිශ්ශබ්දතාවය අවශ්‍යම වෙලා හිටිය දවසක්, වෙලාවක්. ගමනාන්තයට කිට්ටු වෙද්දි අන්කල් කියනවා "මිස් මට අවුරුදු 72යි. මම මිස්ට පුතේ කිව්වට කමක් නෑනේ? (මං හිනාවෙලා ඔලුව වැනුවා) පුතේ මම අවුරුදු 37ක් රාජ්‍ය සේවයේ හිටියේ. මගේ ජීවිතේ දුක සතුට දෙකම සමව ලස්සනට විඳගෙන තියෙනවා. මම බැන්ඳේ ගෙදරින් විරුද්ධව. මම මාතර, එයා නුවර (හරියටම මතක නෑ, අනික් පැත්ත වෙන්නත් පුළුවන්). ගෙවල්වලින් විරුද්ධව හොරෙන් පැනලා ගිහින් බැන්ඳේ. අපිට නොසෑහෙන්න ගහලත් තියෙනවා ගෙවල්වලින් ඒ කාලේ. අපි දෙන්නවම ගෙවල්වලින් අයින් කළා, සත පහක දෙයක් දුන්නේ නෑ. අපි දෙන්නා දුක් මහන්සියෙන් ගොඩ නැගුණා. අද දරුවො දෙන්නට ගෙවල් දෙකක් හදලා තියෙනවා. මුණුපුරු මිණිපිරියො හතරදෙනෙක් ඉන්නවා. ඒත් මගේ ලොකුම ජයග්‍රහණය තමයි එදා වගේම ආදරෙන් සමගියෙන් තාම මම මගේ නෝනා එක්ක ඉන්න එක. මේ සැප්තැම්බර් 22වෙනිදට අපි බැඳලා අවුරුදු 50ක් වෙනවා. ❤️ මගේ ටාගට් එක රුපියල් 8000 දවසට. ඒක දැන් මම හොයලා ඉවරයි. දවසේ ටාගට් එක හොයපු ගමන් මම ගෙදර යනවා. ඒකෙන් අනිවාර්යයෙන්ම මම වයිෆ්ට දවසට රුපියල් දෙදහක් අතට දෙනවා. එයාට ඒක ලොකු සතුටක්නෙ. ගෙදරට බඩුමුට්ටු මම ගෙනියනවා. තව 3000ක් විතර පෙට්‍රල්වලට තියලා ඉතිරි ටික ඉතිරි කරනවා. පුතේ, මම කියන්නේ කවදාවත් කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් නැතිවුණා කියලා වැටෙන්න එපා. ඒවා එනකල් ලැබෙනකල් බලං ඉන්නත් එපා. තමන්ගෙ මහන්සියෙන් නැගිටින්න. මට ඒ තරුණ කාලේ දෙමව්පියන් ගැන හරිම වයිරයක් ඇතිවුණා. මට මෙහෙම කළානේ, මාව අතෑරලා අසරණ කලානේ කියලා හිතුණා. ඒත් පස්සෙ මම හිතුවා නෑ එදා අම්මලා අපිව බාරගෙන කන්න බොන්න දීලා තියාගත්තා නං අද අපි තාම එතනමයි නේද කියලා. ඒක නිසා අදටත් මම නොවරදවාම එයාලගේ දාන දීලා පින් දෙනවා. (දැන් මගේ ගමනාන්තයට ඇවිත්) පුතේ කවදාවත් වයස ඔලුවට අරං අනේ දැන් මට බෑ කියලා හිතන්න එපා. මානසිකව එහෙම හිතුවම තමයි ශාරීරිකව දුර්වල වෙන්නේ. ශක්තිමත් වෙන්න කවදාවත් වරදින්නේ නෑ" මම ඉතින් අන්කල්ට ළග එන විවාහ සංවත්සරේට සුබ පතලා ටුකුවෙන් බැස්සා.

එකම වගේ වයස්වල වෙන්න පුළුවන් පුරුෂයො දෙන්නෙක්ගේ ආකල්පවල වෙනස බලන්න. අර පළවෙනි සිද්ධිය ගැන ලිවීම ප්‍රමාදවීම ආශිර්වාදයක් කියලා මට හිතුණා. මිනිස්සු වයස එක්ක පරිණත වෙනවා කියලා අපි කතාවට කිව්වට මම හිතන්නේ ඒක සර්වකාලීන, සියලු සත්වයන්ට පොදු සත්‍යයක් නෙවෙයි. මිනිස්සු කාලය සහ අත්දැකීම් එක්ක පරිණත වෙන්නේ තමතමන්ගේ නැණ පමණට සහ තව විවිධ පාරිසරික සාධක මත. අර පළවෙනියා වගේ අය අවුරුදු සීයක් ජීවත්වුණත් ඒ පරිණතවුණ තරම. දෙවැනියා වගේ අය අවුරුදු තිස්පහක් ජීවත්වුණත් සාධනීය පරිණතබවක් පෙන්නුම් කරන කුලකයක්.

දැන් මම මේ කතා දෙක ලිව්වහම කෙලින්ම කියන-නොකියන විවිධාකාර මත  ඇතිවෙන්න පුළුවන්. ඔව් සමහර දේවල් මිනිස්සු කියූ පමණින්ම ඇත්ත හැටියට ගන්නත් බෑ. සමහර දේවල්වල සැගවුණු අතුරු කතන්දරත් කන්දරාවක් තියෙන්න පුළුවන්. එක කතාවකින් හෝ මොහොතකින් මනුස්සයෙක්ව විනිශ්චය කරන එක කොයිතරම් සාධාරණද කියලා තර්ක විතර්ක ඕනෑතරම් අපට ගොඩ නගන්න පුළුවන් වුණත් ඇත්තටම වෙන්නෙ ඒක තමයි. දැන් කිසිම කෙනෙක් විනිශ්චය කරන්න අයිතියක් නැහැ කියලා හිතන්න පුහුණු කරන මම පවා මේ දෙන්නාට විනිශ්චයක් දුන් නිසානේ මේක ලිව්වේ!
එහෙම බැලුවම අපි "මාර" සත්තු!

ඒ මොනවවුණත් බලන්න සමහර තීරණ ජීවිත වෙනස් කරනවා හොඳට සහ නරකට දෙකටම. හැබැයි හොඳ තීරණයක් නරක් කරන්න පුළුවනුත් නරක තීරණයක් හොඳ කරන්න පුළුවනුත් අපිටමයි. ඒකට පුරුෂයා වගේම ගැහැණියටත් ඇත්තේ සම වගකීමක්. නමුත් තවමත් පුරුෂ මූලික ආසියාතික සමාජයක් වෙන අපේ, පුරුෂයාගේ තීරණවල, ආකල්පවල, හැසිරීම්වල, ක්‍රියා කලාපයේ වැඩිබරක් තියෙනවා. ගැහැණියගේ ඒ සාධකවල දායකත්වය වැඩිහරියක් ඇත්තේ තිරයෙන් පිටුපස. එක හේතුවක් ඒ දායකත්වය තිරයට ආවොත් අධි-ස්ත්‍රීවාදිනියන්,  අධි-ස්ත්‍රීවාදීන් පවා පව්කාරියට ගහන පළවෙනි ගල අතට ගන්නවා. ගල් ගැහීම පටන්ගන්නේ මෙහෙම හේතු පාඨක එක්ක 'අපෝ ඒ මිනිහා ගෑණිට බයයි, අපෝ ඒ ගෑණි යක්සණියක්, මහ හිතුවක්කාර අතිපණ්ඩිත ගෑණියෙක්, ඔහොම ගෑණු එක්ක පුලුවන් ද පවුල් කන්න, මං නං දනී කරන දේ මට ඔහොම ගෑණියෙක් හම්බුණා නං, කණට දෙකක් දීලා හදාගන්නේ එහෙනං... " එතකොට ඒ දායකත්වය තිරයට එන්නේ ඇයි කියන එක නෙවෙයි සමාජයට ඇතිවන ගැටලුව! විවාහය කියන්නේ සාමූහික වගකීමක් (සාමූහික කිව්වම හතරවරිගෙම ඒක අස්සට දාගන්න එපා, එතකොට ඒක විවාහයක් නෙවෙයි කැඳ හැලියක්, අන්තිමට මුට්ටියත් නෑ, කැඳත් නෑ, ලිප්ගලුත් නෑ. ඊළගට ස්පෙයාර්වීල් දාගන්නත් එපා එතකොට ඒක සල්පිලක්). සමහර අවස්ථාවල පුරුෂයා ගතයුතු වගකීම් නොගන්නා තැනකදි ගැහැණිය ඒ වගකීම ගන්නවා. අරං කුජීත කතන්දර අහගන්නවා. පුරුෂයා පුරුෂයෙක් නොවන කුටුම්භයක හෝ සම්බන්ධයක ගැහැණිය ඉබේම පුරුෂ භූමිකාවට තල්ලුවෙනවා! එහෙම නොවන අවස්ථාත් තියෙන්න පුළුවන්. හැබැයි අරම වුණාට පස්සෙ පුරුෂයාගේ පුරුෂත්වය ඌයියා වීමත් වලක්වන්න බැරිවෙනවා. එහෙම සමහර ඌයියාවන් සුවපත් කරන්නත් ආයෙමත් ගැහැණු අත්ගුණයක්ම අවශ්‍යත් වෙනවා. සංසාර චක්‍රය වගේ ඔය කතාව කව්රු කොහොම සම්බන්ධවුණත් නැවතීමක් නැතිවෙනවා. 

පුරුෂයන් පුරුෂයන් ලෙසත් ගැහැණුන් ගැහැණුන් ලෙසත් පවතින්න ස්වභාව ධර්මය ඉඩ සලසලා තියෙන ලෝකයක, තමන්ගේ තීරණ මත ඒ තුලනයට බාධා කරගන්න එපා විහින්! හැම ගැහැණියක්ම ගැහැණියක් ලෙස පවතින්න කැමතියි. අර්ධ-නාරී භූමිකා බලෙන් ඔවුන් මත පටවලා ඒ සුන්දරත්වය විනාශ කරගන්න පුරුෂයො ඒ නැතිවෙච්ච සුන්දරත්ව හොයාගෙන ගිහින් ආයෙත් තව සුන්දර ගැහැණියක්ව එතැනට පත්කරන්නත් එපා. පුරුද්දට ගියොත් ඕක ලෝක ලෙඩක්😂 

අනෙක් විශේෂම දේ ඔන්න ඔය තුලනය දෙයියන්ගේ නාමේට ගෙදරින් පටන් ගන්න. හෙට අනිද්දා පුරුෂයන් ගැහැණුන් විදිහට සමාජයට කළ එළි බහින්න නියමිත දරුවෝ ඉන්න අය විශේෂයෙන්ම, කරුණාකරලා ඔවුන්ට ඔවුන්ගේ භූමිකා සහ ශක්තීන් ගැන අවබෝධයක් ලබා දෙන්න. ඒක කොහොමද කරන්නේ කියලා මම දන්නේ නෑ, හැබැයි කොහොම හරිම කරන්න! 
නැත්නම් ඉතින් දෙවැනි කුලකයේ පුරුෂයෝ අනාගත ගැහැණුන්ට මුණගැහෙන්නේ කටුගෙවල්වලින් විතරයි! 
ඒකත් ඇටසැකිලි හැටියට! 

~✒️ Aash Weerasinghe